හින්දු ආගම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

An article related to
හින්දු ආගම

හින්දු ආගමOm symbol.svg

ඕම්බ්‍රහ්මන්ඊශ්වර
හින්දුHistory of Hinduism

ද්වාරය:HinduismHinduSwastika.svg

Hinduism Portal
Hindu Mythology Portal

හින්දු ආගම (සංස්කෘත භාෂාව: हिन्दू धर्म, හින්දු ධර්මය​, सनातन धर्म, සනාතන ධර්මය) ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවය ලත් ආගමික සම්ප‍්‍රදායකි.

හින්දු සමය වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමකි. එහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. කි‍්‍රස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම හැරුණුවිට ලොව තෙවැනි විශාලතම ආගම හින්දු ආගමයි. සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය.

හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියකි. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සදහා වන මාර්ගෝපදේශ ද සදහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්‍රධාන තැනක් හිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවත්ගීතාව ද වේ.


හින්දුසමය සහ එහි විශ්වාස[සංස්කරණය කරන්න]

tiny globe
බ‍්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන ති‍්‍රමූර්තිය නිරූපණය කෙරෙන ඉන්දියාවේ දෙවොලක දක්නට ලැබෙන කැටයමක්.

හින්දුසමය අතිශයින් ම සංකීර්ණ ආගමකි. එහි ඇතැම් ඉගැන්වීම් බොහෝ හින්දුන් පිළිගනී. එහෙත් සියලූම නිකායයන් විසින් පොදුවේ පිළිගනු ලබන ඉගැන්වීම් හදුනාගැනීම උගහට බව විද්වත්හු පවසති. හින්දු ආගමේ සදහන් ප‍්‍රධාන තේමා අතර ධර්ම (ආචාර ධර්ම/යුතුකම්), සංසාරය (ඉපදීම, ජීවිතය, මරණය සහ නැවත නැවත ඉපදීමේ කි‍්‍රයාවලිය), කර්මය (කි‍්‍රයා සහ ඒවායේ විපාක), මෝක්ෂ (සසරින් මිදීම) සහ විවිධ යෝග (විමුක්තිය සදහා ප‍්‍රගුණ කළයුතු දෑ) ද පවතී.

දේව සංකල්පය

හින්දුසමය වනාහි ඒකදේවවාදය, බහුදේවවාදය, සර්වේශ්වරවාදය, ඒකත්වවාදය සහ අදේවවාදය වැනි විශ්වාස අන්තර්ගත සංකීර්ණ පද්ධතියකි. එය ඇතැම්විට බොහෝ දෙවිවරු ඇතැයි යන්න පිළිගනිමින් එක් දෙවිකෙනෙකු ඇදහීමයැයි ද ඇතැම්හු පවසති. කෙසේවෙතත් මෙම සියලූම හැදින්වීම් ඉතා සරල ඒවා බවත් එමගින් හින්දුසමය පිළිබද පැහැදිලි හැදින්වීමක් ඉදිරිපත් කිරීම දුෂ්කර බවත් පෙනේ.

පුද්ගලයා තුළ ආත්මය යනුවෙන් හදුන්වන නිත්‍ය පදාර්ථයක් ඇතැයි බොහෝ හින්දුහු විශ්වාස කරති. ඒකත්වවාදය අනුව මෙම පුද්ගල ආත්මය අවසාන විග‍්‍රහයේදී විශ්ව ආත්මය වන බ‍්‍රහ්මන්ගෙන් වෙනස් නොවේ. උපනිෂදයෙහි ඉගැන්වෙන පරිදි යමෙකු පුද්ගල ආත්මය හා විශ්වීය ආත්මය වන බ‍්‍රහ්මන යනුවෙන් අවබෝධ කර ගැනීම මෝක්ෂය සාක්ෂාත් කරගැනීම වන්නේය.

අනෙකුත් ද්වෛතවාදී නිකායයන්ට අනුව බ‍්‍රහ්මන් යනු පුද්ගලත්වයක් හිමි දෙවියෙකු වේ. එහිදී ඔහුට වන්දනමාන සිදු කෙරේ. ආත්මය දෙවියන් මත රදා පවත්නා අතර මෝක්ෂය හෙවත් විමුක්තිය දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහ දේව කරුණාව මත රදා පවතී. දෙවියන් උත්තරීතර පුද්ගලයෙකු ලෙස සලකන කල්හි ඔහු ඊශ්වර, භගවාන් හෝ පරමේශ්වර ලෙස හදුන්වයි.

ඊශ්වර පිළිබඳ විවිධ අර්ථකථන පවත්නා බව ද මෙහිලා සඳහන් කළ යුතුය. මීමාංසක සම්ප‍්‍රදායයෙහි ඊශ්වර පිළිබඳ විශ්වාසයක් නොමැත. අද්වෛතවාදීහු බ‍්‍රහ්මන් සහ ඊශ්වර එක අයෙකු ලෙස සලකති. සෞන්දර්යාත්මක ප‍්‍රවණතාවකින් යුතු සාංඛ්‍ය වැනි නිකායිකයින් ද දක්නට ලැබේ.

ආගමික පූජාවිධ[සංස්කරණය කරන්න]

tiny globe
දිවාලි නමින් හදුන්වනු ලබන ආලෝකය පිළිබඳ උත්සවය හින්දු ආගමික චාරිත‍්‍ර අතර මූලික වේ. දිවාලි උත්සවයේදී බොහේවිට දල්වනු ලබන සාම්ප‍්‍රදායික පහන් මෙම සේයාරුවෙහි දිස්වෙයි.

හින්දු ජනයාගෙන් බහුතරය දෛනිකව සිය ආගමික චාරිත‍්‍රවිධිවල නිරත වෙති. බොහෝ හින්දුහු සිය නිවෙස්වල ආගමික පුදපූජා පවත්වති. කෙසේවෙතත් පළාත, ගම්පියස හෝ ඒ ඒ පුද්ගලයා අනුව අනුගමනය කරනු ලබන එකී පුදපූජා විවිධ ස්වරූප ගන්නා බව ද දැකිය හැකිය. හින්දු බැතිමත්හු උදෑසන අවදිව ස්නානය කිරීමෙන් අනතුරුව සූර්ය නමස්කාරය වැනි ස්තෝත‍්‍ර ගායනාවල නිරතවීම බොහෝ විට දෛනිකව සිදුවෙයි. මෙය සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ සිය නිවසෙහි ඒ සඳහා විශේෂයෙන් වෙන් වූ ස්ථානයක පහන් දැල්වීමෙන් සහ දෙවිවරුන්ගේ ප‍්‍රතිමා ඉදිරියෙහි ආහාර ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් ද පසුවය. මෙහිදී ඔවුහු ආගමික ග‍්‍රන්ථ සජ්ඣායනයෙහි ද භක්ති ගීත හා මන්ත‍්‍ර ගායනයෙහි ද භාවනා කිරීමෙහි ද යෙදෙති. පවිත‍්‍රත්වය සහ අපවිත‍්‍රත්වය හෙවත් කිල්ල පිළිබඳ විශ්වාසය හින්දු ආගමික චාරිත‍්‍රවිධි හා බැඳ පවතින්නක් වන අතර කවර පුද්ගලයෙකු විසින් වුව ද පුදපූජාවන්හි නිරතවීමට පෙර පවිත‍්‍රත්වයට පත්වීම සිදු කළ යුතු වේ. මෙම කාර්යය සඳහා ජලය උපයෝගී කරගැනීම බොහෝවිට සිදුවන්නකි. යාගය බොහෝ අනුසස් ඇති දෙයක් බවත් ජීවිත කාලයේදී යහපත් කි‍්‍රයාවන්හි නිරත වීමෙන් රැස්කරගනු ලබන පුණ්‍ය සම්භාරය ඊළග භවයේ දුක අඩුකර ගැනීමට හේතු වන බවත් හින්දුහු විශ්වාස කරති. න්‍යායාත්මක වශයෙන් උසස් තන්හි ලා සලකනු ලැබූව ද ගිනිදෙවියන් පිදීමේ වෛදික චාරිත‍්‍රය අද දක්නට ලැබෙනුයේ කලාතුරකිනි. හින්දු විවාහ උත්සවයන්හිදී මෙන් ම අවමංගල්‍ය අවස්ථාවලදී ද වේද මන්ත‍්‍ර ගායනය නම් අදත් සිදුවෙයි.

ඉපදීම , විවාහය සහ මරණය වැනි ජීවිතයේ වැදගත් අවස්ථා පිළිබඳ හින්දු ආගමික චාරිත‍්‍ර පිළිබඳව සළකා බැලීමේදී අන්නප‍්‍රශාන් යනුවෙන් හැඳින්වෙන කුඩා දරුවන්ගේ ඉඳුල් කටගෑමේ චාරිත‍්‍රය , උපනයනම් යනුවෙන් හැඳින්වෙන පූනනූල පැළඳවීමේ චාරිත‍්‍රය සහ ශ‍්‍රාධ් යනුවෙන් හැඳින්වෙන මියගිය අය වෙනුවෙන් දෙනු ලබන දානය විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. තරුණ යුවලක් විවාහ ගිවිස ගැනීම සහ ඔවුනගේ විවාහය සිදුවන දිනය සහ වේලාව ජ්‍යෙතිර්වේදියෙකුගේ උපදෙස් මත දෙමාපියන් විසින් තීරණය කරනු ලැබීම අදත් ඉන්දියාවේ බොහෝවිට සිදු වන්නකි. සන්‍යාසීන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් වැනි ඇතැම් දෙනාගේ හැරුණු විට අනෙකුත් පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම අත්‍යාවශ්‍ය වන අතර මෘතදේහය රෙදිවල ඔතා දරසෑයක තැන්පත්කර ආදාහනය කිරීම සිදුවෙයි.

ආශ්‍රම ක්‍රමය[සංස්කරණය කරන්න]

ආශ්‍රම ක්‍රමය යටතේ, මිනිසෙකුගේ මධ්‍යන ජීවන කාල අවුරැදු 100 ක් ලෙස සලකන ලදී. මෙය අවුරැදු 25 කින් යුත් කාල පරිච්ඡේද 4 කට බෙදන ලදී. එක් එක් පරිච්ඡේදයේ අරමුණ ලෙස සලකන ලද්දේ අනුගාමී ජීවන අවධි 4 ක් සම්පුර්ණ කිරීමය.

හින්දු ආගමේ ආශ්‍රම ක්‍රමය මගින් පහත අරමුණු 4 ක් ඉ්ෂට කිරීමට හැකිවන බව විශ්වාස කෙරේ. එනම්ථ ධර්ම, අර්ථ (ධනය) කාම, මොක්ෂා


ආශ්‍රමය/අවධිය වයස විස්තරය

බ්‍රහ්මචර්යා(ශිෂ්‍ය ජීවිතය) 5 -24 වයස 4 හැවිරිදි තෙක් පවුල සමග ජීවත්ව සිටි ළමයාව ගුරැ කුලයට යවා අධ්‍යාත්මික අෂ්‍යාපනයක් ලැබීමට සලස්වන ලදී. මේ යටතේ ළමයා භාවනා ක්‍රම ඉගෙනගත් අතර ධර්ම පිළිබදවද උගන්වන ලදී

ග්‍රිහස්ත(ගෘහීය ජීවිතය) 25 - 49 පරමාදරශී ගෘහි ජීවිතයක් තමන්ගේ පවුල හා සමාජය වෙනුවෙන් කැප කල යුතු ජීවිතයක් විය යුතු බව විශ්වාස කරන ලදි

වනපුස්ථ(විශ්‍රාමක ජීවිතය) 50 -74 ගෘහස්ථ රාජකාරින් අවසන් කිරීමෙන් අනතරැව මෙම අවධිවට එළිමෙලදී. මෙහිදි තමන්ගේ දැනුම බෙදා හැර, හිමිකම් අත්හැරිම අවසාන අවධියට සුදානම් විය

සන්‍යාස(හිමිකම් අත්හැර ගිය ජිවිතයයි) 75 -100 මේ අවධියේදී අධ්‍යාත්මික කටයුතු කාලය කැපර යුතු අතර භාවනා කිරීමෙන් මොනක්ඹා නමැති තත්වය කරාඑළඹීමට උත්සාහා කරන ලදී

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_ආගම&oldid=388895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි