හින්දු ධර්මය

විකිපීඩියා වෙතින්
(හින්දු වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

හින්දු ආගම (සංස්කෘත භාෂාව: हिन्दू धर्म, හින්දු ධර්මය​, सनातन धर्म, සනාතන ධර්මය) ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවය ලත් ආගමික සම්ප‍්‍රදායකි. එය බිලියන 1.2කට අධික අනුගාමිකයන් හෝ ගෝලිය ජනගහනයෙන් 15-16%ක් සිටින ලොව තුන්වන විශාලම ආගම වේ.[1] ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ ලෙස බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය.

හින්දු සමය වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමයි. එහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත.

හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියකි. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සදහා වන මාර්ගෝපදේශ ද සදහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්‍රධාන තැනක් හිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහාභාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවද් ගීතාව ද වේ.

නිරුක්තිය[සංස්කරණය]

හින්දු යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ඉන්දු-ආර්ය/සංස්කෘත මූල සින්ධු යන්නෙනි. භාවිතයන් සහ විශ්වාසයන් එකතුවක් විස්තර කිරීම සඳහා ඉංග්‍රීසි යෙදුම "Hinduism" යන වචනය භාවිතා කිරීම තරමක් මෑත කාලීන ඉදිකිරීමකි: එය ප්‍රථම වරට රාජා රාම් මෝහන් රෝයි විසින් 1816-17 දී භාවිතා කරන ලදී. "හින්දු ආගම" යන යෙදුම 1830 දී පමණ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට විරුද්ධ වූ සහ අනෙකුත් ආගමික කණ්ඩායම් වලින් තම තමන් වෙන්කර හඳුනා ගැනීමට කැමති ඉන්දියානුවන් විසින් නිර්මාණය කරන ලදී.[2][3][4] බ්‍රිතාන්‍යයන් ප්‍රජාව දැඩි ලෙස ආගම අනුව ප්‍රජාව වර්ග කිරීමට පටන් ගැනීමට පෙර, ඉන්දියානුවන් සාමාන්‍යයෙන් තමන්ව නිර්වචනය කළේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හරහා නොවේ. ඒ වෙනුවට, අනන්‍යතාවන් වෙන් කර aඑත්තේ බොහෝ දුරට ප්‍රදේශය, භාෂාව, වර්ණ, ජාති, රැකියාව සහ නිකාය පදනම් කරගෙන ය. 18 වන ශතවර්ෂයේදී යුරෝපීය වෙළඳුන් සහ යටත් විජිතවාදීන් ඉන්දියානු ආගම්වල අනුගාමිකයන් සාමූහිකව හින්දු ලෙස හැඳින්වීමට පටන් ගත්හ.[5]

"හින්දු" යන වචනය බොහෝ පැරණි වන අතර, එය ඉන්දියානු උප මහාද්වීපයේ වයඹ දෙසින් පිහිටි ඉන්දු ගංගාව සඳහා නම ලෙස භාවිතා කර ඇති බව විශ්වාස කෙරේ. පුරාණ වාර්තාවලට අනුව හින්දු යන යෙදුම භූගෝලීය යෙදුමක් වන අතර එය ආගමකට යොමු නොවේ.

හින්දුසමය සහ එහි විශ්වාස[සංස්කරණය]

tiny globe
බ‍්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන ති‍්‍රමූර්තිය නිරූපණය කෙරෙන ඉන්දියාවේ දෙවොලක දක්නට ලැබෙන කැටයමක්.

හින්දුසමය අතිශයින් ම සංකීර්ණ ආගමකි. හින්දු ආගමට අධ්‍යාත්මිකත්වය සහ සම්ප්‍රදායන් පිළිබඳ විවිධ අදහස් ඇතුළත් වේ.ප්‍රශ්න කළ නොහැකි ආගමික බලධාරීන් නැත, පාලන මණ්ඩලයක්, අනාගතවක්තෘවරුන් හෝ කිසිදු බැඳීමක් ඇති ශුද්ධ ග්‍රන්ථයක් නොමැත; හින්දු භක්තිකයන්ට ඒකදේවවාදී, බහුදේවවාදී, සර්ව දේවවාදී, සමේශ්වරවාදී, අද්වෛතවාදී, අදේවවාදි හෝ මානවවාදී ඔනෑම මාර්ගයක් තෝරාගත හැකිය.[6]

හින්දු ආගම යන යෙදුමෙන් ආවරණය වී ඇති පුළුල් පරාසයක සම්ප්‍රදායන් සහ අදහස් නිසා, පුළුල් නිර්වචනයකට පැමිණීම දුෂ්කර ය.[7] හින්දු ධර්මය ආගමක්, ආගමික සම්ප්‍රදායක්, ආගමික විශ්වාස සමූහයක් සහ "ජීවන මාර්ගයක්" ලෙස විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත.[8][note 1] බටහිර දෘෂ්ටි කෝණයෙන්, අනෙකුත් ඇදහිලි මෙන්ම හින්දු ආගම ද ආගමක් ලෙස සුදුසු ආකරයෙන් හැඳින්වේ. බටහිර යෙදුමේ ආගම ලෙස හැඳින්වුවද, ඉන්දියාවේ එය ධර්ම ලෙස අරුත් ගන්වයි.[9]

දර්ශවාදය[සංස්කරණය]

හින්දු ආගම පොදුවේ හැඳින්වෙන පරිදි ප්‍රධාන ධාරාවන් ගණනාවකට බෙදිය හැකිය. ප්‍රධාන දර්ශන හයෙන් වෙදාන්ත සහ යෝග යන දර්ශන දෙක දැනට ප්‍රමුඛ වේ.[10] ප්‍රධාන දෙවිවරුන් හෝ දෙවිකෙනෙකු ප්‍රමුඛ කොට වර්ගීකරණය කරන ලද, ප්‍රධාන හින්දු ආගමේ නූතන නිකායන් හතර වන්නේ වෛෂ්ණව (විෂ්ණු), ශෛව (ශිව), ශක්ති (දේවි) සහ ස්මාර්ත (දෙවිවරුන් පස් දෙනෙකු එක සමාන ලෙස සලකනු ලැබේ) වාදය යි. හින්දු ආගම ද බොහෝ දිව්‍යමය ස්වරූප පිළිගනී, බොහෝ හින්දු භක්තිකයන් දෙවිවරුන් තනි පුද්ගල නොවන නිරපේක්ෂ, අවසාන යථාර්ථයේ හෝ දෙවියන්ගේ ස්වරූපයන් හෝ ප්‍රකාශනයන් ලෙස සලකයි, සමහර හින්දු භක්තිකයන් පවසන්නේ නිශ්චිත දෙවියෙකු උත්තරීතරත්වය නියෝජනය කරන බවත් අනෙකුත් විවිධ දෙවිවරුන් මෙම උත්තරීතර දෙවියන්ගේ විවිධ ප්‍රකාශන බවත්ය.[11] අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ අතරට ආත්මන්, පුනරුත්පත්තිය සහ කර්මය මෙන්ම ධර්මය කෙරෙහි විශ්වාසය (යුතුකම්, අයිතිවාසිකම්, නීති, හැසිරීම, ගුණධර්ම සහ නිවැරදි ජීවන රටාව) ඇතුළත් වේ.

මැක්ඩැනියෙල් (2007) විසින් හින්දු භක්තිකයන් අතර හැඟීම් ප්‍රකාශනය තේරුම් ගැනීම සඳහා හින්දු ආගම ප්‍රධාන වර්ග හයකට සහ බොහෝ සුළු වර්ග වලට වර්ගීකරණය කරයි. මැක්ඩැනියෙල්ට අනුව ප්‍රධාන වර්ග වන්නේ ජන හින්දු ආගම වන අතර එය දේශීය සම්ප්‍රදායන් සහ ප්‍රාදේශීය දෙවිවරුන්ගේ ඇදහිලි මත පදනම් වූ අතර පැරණිතම, සාක්ෂරතාවයෙන් තොර ක්‍රමය වේ. වෛදික හින්දු ආගම ක්‍රිස්තු පූර්ව 2 වැනි සහස්‍රයේ දක්වා සොයා ගත හැකි වේදවල මුල්ම ස්තර මත පදනම් වේ. වෙදාන්ත හින්දු ධර්පමය පදනම් වී ඇත්තේ දැනුම සහ ප්‍රඥාව අවධාරණය කරන අද්වෛත වේදාන්ත ඇතුළු උපනිෂද් වල දර්ශනය මතය. යෝගී හින්දු ධහම අභ්‍යන්තරික දැනුවත්භාවය අවධාරණය කරමින් පතංජලිගේ යෝග සූත්‍ර ලියවිල්ල ප්‍රධාන වශයෙන් අනුගමනය කරයි.

හින්දු දැක්ම[සංස්කරණය]

සනාතන ධර්මය[සංස්කරණය]

හින්දු අනුගාමිකයින්ට හින්දු ධර්මය යනු ජීවන රටාවකි. බොහෝ අනුගාමිකයන් හින්දු ආගමේ ශාස්ත්‍රීය ස්වරූපය "සනාතන ධර්ම", "සදාකාලික නීතිය" හෝ "සදාකාලික මාර්ගය" ලෙස හඳුන්වයි. හින්දු භක්තිකයන් හින්දු ධර්මය සලකන්නේ වසර දහස් ගණනක් පැරණි බවටය. ධර්මය යන සංස්කෘත වචනයට ආගමට වඩා පුළුල් අර්ථයක් ඇති අතර එය ආගම යන වචනය හා සමාන නොවේ. හින්දු ජීවිතයක සියලු අංග, එනම් ධනය (අර්ථ), ආශාවන් ඉටු කිරීම (කාම) සහ විමුක්තිය (මෝක්ෂය) ලබා ගැනීම, "නිවැරදි ජීවන රටාව" සහ ඒවා ඉටු කිරීමේදී සදාකාලික එකඟතා ප්‍රතිපත්ති ඇතුළත් ධර්මයේ කොටසකි.[12][13]

දේව සංකල්පය

හින්දුසමය වනාහි ඒකදේවවාදය, බහුදේවවාදය, සර්වේශ්වරවාදය, ඒකත්වවාදය සහ අදේවවාදය වැනි විශ්වාස අන්තර්ගත සංකීර්ණ පද්ධතියකි. එය ඇතැම්විට බොහෝ දෙවිවරු ඇතැයි යන්න පිළිගනිමින් එක් දෙවිකෙනෙකු ඇදහීමයැයි ද ඇතැම්හු පවසති. කෙසේවෙතත් මෙම සියලූම හැදින්වීම් ඉතා සරල ඒවා බවත් එමගින් හින්දුසමය පිළිබද පැහැදිලි හැදින්වීමක් ඉදිරිපත් කිරීම දුෂ්කර බවත් පෙනේ.

පුද්ගලයා තුළ ආත්මය යනුවෙන් හදුන්වන නිත්‍ය පදාර්ථයක් ඇතැයි බොහෝ හින්දුහු විශ්වාස කරති. අද්වෛත වාදය අනුව මෙම පුද්ගල ආත්මය අවසාන විග‍්‍රහයේදී විශ්ව ආත්මය වන බ‍්‍රහ්මන් ගෙන් වෙනස් නොවේ. උපනිෂදයෙහි ඉගැන්වෙන පරිදි යමෙකු පුද්ගල ආත්මය හා විශ්වීය ආත්මය වන බ‍්‍රහ්මන් යනුවෙන් අවබෝධ කර ගැනීම මෝක්ෂය සාක්ෂාත් කරගැනීම වන්නේය.

අනෙකුත් ද්වෛතවාදී නිකායයන්ට අනුව බ‍්‍රහ්මන් යනු පුද්ගලත්වයක් හිමි දෙවියෙකු වේ. එහිදී ඔහුට වන්දනමාන සිදු කෙරේ. ආත්මය දෙවියන් මත රදා පවත්නා අතර මෝක්ෂය හෙවත් විමුක්තිය දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහ දේව කරුණාව මත රදා පවතී. දෙවියන් උත්තරීතර පුද්ගලයෙකු ලෙස සලකන කල්හි ඔහු ඊශ්වර, භගවාන් හෝ පරමේශ්වර ලෙස හදුන්වයි.

ඊශ්වර පිළිබඳ විවිධ අර්ථකථන පවත්නා බව ද මෙහිලා සඳහන් කළ යුතුය. මීමාංසක සම්ප‍්‍රදායයෙහි ඊශ්වර පිළිබඳ විශ්වාසයක් නොමැත. අද්වෛතවාදීහු බ‍්‍රහ්මන් සහ ඊශ්වර එක අයෙකු ලෙස සලකති. සෞන්දර්යාත්මක ප‍්‍රවණතාවකින් යුතු සාංඛ්‍ය වැනි නිකායිකයින් ද දක්නට ලැබේ.

අර්ථ දැක්වීම්[සංස්කරණය]

tiny globe
දිවාලි නමින් හදුන්වනු ලබන ආලෝකය පිළිබඳ උත්සවය හින්දු ආගමික චාරිත‍්‍ර අතර මූලික වේ. දිවාලි උත්සවයේදී බොහේවිට දල්වනු ලබන සාම්ප‍්‍රදායික පහන් මෙම සේයාරුවෙහි දිස්වෙයි.

හින්දු ජනයාගෙන් බහුතරය දෛනිකව සිය ආගමික චාරිත‍්‍රවිධිවල නිරත වෙති. බොහෝ හින්දුහු සිය නිවෙස්වල ආගමික පුදපූජා පවත්වති. කෙසේවෙතත් පළාත, ගම්පියස හෝ ඒ ඒ පුද්ගලයා අනුව අනුගමනය කරනු ලබන එකී පුදපූජා විවිධ ස්වරූප ගන්නා බව ද දැකිය හැකිය. හින්දු බැතිමත්හු උදෑසන අවදිව ස්නානය කිරීමෙන් අනතුරුව සූර්ය නමස්කාරය වැනි ස්තෝත‍්‍ර ගායනාවල නිරතවීම බොහෝ විට දෛනිකව සිදුවෙයි. මෙය සාමාන්‍යයෙන් සිදු කෙරෙනුයේ සිය නිවසෙහි ඒ සඳහා විශේෂයෙන් වෙන් වූ ස්ථානයක පහන් දැල්වීමෙන් සහ දෙවිවරුන්ගේ ප‍්‍රතිමා ඉදිරියෙහි ආහාර ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් ද පසුවය. මෙහිදී ඔවුහු ආගමික ග‍්‍රන්ථ සජ්ඣායනයෙහි ද භක්ති ගීත හා මන්ත‍්‍ර ගායනයෙහි ද භාවනා කිරීමෙහි ද යෙදෙති. පවිත‍්‍රත්වය සහ අපවිත‍්‍රත්වය හෙවත් කිල්ල පිළිබඳ විශ්වාසය හින්දු ආගමික චාරිත‍්‍රවිධි හා බැඳ පවතින්නක් වන අතර කවර පුද්ගලයෙකු විසින් වුව ද පුදපූජාවන්හි නිරතවීමට පෙර පවිත‍්‍රත්වයට පත්වීම සිදු කළ යුතු වේ. මෙම කාර්යය සඳහා ජලය උපයෝගී කරගැනීම බොහෝවිට සිදුවන්නකි. යාගය බොහෝ අනුසස් ඇති දෙයක් බවත් ජීවිත කාලයේදී යහපත් කි‍්‍රයාවන්හි නිරත වීමෙන් රැස්කරගනු ලබන පුණ්‍ය සම්භාරය ඊළග භවයේ දුක අඩුකර ගැනීමට හේතු වන බවත් හින්දුහු විශ්වාස කරති. න්‍යායාත්මක වශයෙන් උසස් තන්හි ලා සලකනු ලැබූව ද ගිනිදෙවියන් පිදීමේ වෛදික චාරිත‍්‍රය අද දක්නට ලැබෙනුයේ කලාතුරකිනි. හින්දු විවාහ උත්සවයන්හිදී මෙන් ම අවමංගල්‍ය අවස්ථාවලදී ද වේද මන්ත‍්‍ර ගායනය නම් අදත් සිදුවෙයි.

ඉපදීම , විවාහය සහ මරණය වැනි ජීවිතයේ වැදගත් අවස්ථා පිළිබඳ හින්දු ආගමික චාරිත‍්‍ර පිළිබඳව සළකා බැලීමේදී අන්නප‍්‍රශාන් යනුවෙන් හැඳින්වෙන කුඩා දරුවන්ගේ ඉඳුල් කටගෑමේ චාරිත‍්‍රය , උපනයනම් යනුවෙන් හැඳින්වෙන පූනනූල පැළඳවීමේ චාරිත‍්‍රය සහ ශ‍්‍රාධ් යනුවෙන් හැඳින්වෙන මියගිය අය වෙනුවෙන් දෙනු ලබන දානය විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. තරුණ යුවලක් විවාහ ගිවිස ගැනීම සහ ඔවුනගේ විවාහය සිදුවන දිනය සහ වේලාව ජ්‍යෙතිර්වේදියෙකුගේ උපදෙස් මත දෙමාපියන් විසින් තීරණය කරනු ලැබීම අදත් ඉන්දියාවේ බොහෝවිට සිදු වන්නකි. සන්‍යාසීන් සහ වයස අවුරුදු පහට අඩු දරුවන් වැනි ඇතැම් දෙනාගේ හැරුණු විට අනෙකුත් පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම අත්‍යාවශ්‍ය වන අතර මෘතදේහය රෙදිවල ඔතා දරසෑයක තැන්පත්කර ආදාහනය කිරීම සිදුවෙයි.

ආශ්‍රම ක්‍රමය[සංස්කරණය]

ආශ්‍රම ක්‍රමය යටතේ, මිනිසෙකුගේ මධ්‍යන ජීවන කාල අවුරැදු 100 ක් ලෙස සලකන ලදී. මෙය අවුරැදු 25 කින් යුත් කාල පරිච්ඡේද 4 කට බෙදන ලදී. එක් එක් පරිච්ඡේදයේ අරමුණ ලෙස සලකන ලද්දේ අනුගාමී ජීවන අවධි 4 ක් සම්පුර්ණ කිරීමය.

හින්දු ආගමේ ආශ්‍රම ක්‍රමය මගින් පහත අරමුණු 4 ක් ඉ්ෂට කිරීමට හැකිවන බව විශ්වාස කෙරේ. එනම්ථ ධර්ම, අර්ථ (ධනය) කාම, මොක්ෂා

ආශ්‍රමය/අවධිය වයස විස්තරය

බ්‍රහ්මචර්යා(ශිෂ්‍ය ජීවිතය) 5 -24 වයස 4 හැවිරිදි තෙක් පවුල සමග ජීවත්ව සිටි ළමයාව ගුරැ කුලයට යවා අධ්‍යාත්මික අෂ්‍යාපනයක් ලැබීමට සලස්වන ලදී. මේ යටතේ ළමයා භාවනා ක්‍රම ඉගෙනගත් අතර ධර්ම පිළිබදවද උගන්වන ලදී

ග්‍රිහස්ත(ගෘහීය ජීවිතය) 25 - 49 පරමාදරශී ගෘහි ජීවිතයක් තමන්ගේ පවුල හා සමාජය වෙනුවෙන් කැප කල යුතු ජීවිතයක් විය යුතු බව විශ්වාස කරන ලදි

වනපුස්ථ(විශ්‍රාමක ජීවිතය) 50 -74 ගෘහස්ථ රාජකාරින් අවසන් කිරීමෙන් අනතරැව මෙම අවධිවට එළිමෙලදී. මෙහිදි තමන්ගේ දැනුම බෙදා හැර, හිමිකම් අත්හැරිම අවසාන අවධියට සුදානම් විය

සන්‍යාස(හිමිකම් අත්හැර ගිය ජිවිතයයි) 75 -100 මේ අවධියේදී අධ්‍යාත්මික කටයුතු කාලය කැපර යුතු අතර භාවනා කිරීමෙන් මොනක්ඹා නමැති තත්වය කරාඑළඹීමට උත්සාහා කරන ලදී

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Hindu Countries 2021". World Population Review (in ඉංග්‍රීසි). 2021. Retrieved 2021-06-02.
  2. Singh 2008, පිටු අංකය: 433.
  3. Doniger 2014, පිටු අංකය: 5.
  4. Parpola 2015, පිටු අංකය: 1.
  5. "A short note on the short history of Hinduism".
  6. Kurtz, Lester, ed. (2008). Encyclopedia of Violence, Peace and Conflict. Academic Press. ISBN 978-0-12-369503-1.
  7. Flood 1996, පිටු අංකය: 6.
  8. Sharma 2003, පිටු අංක: 12–13.
  9. Radhakrishnan & Moore 1967, p. 3; Witzel 2003, p. 68
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Matthew Clarke 2011 28 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. Flood 1996, පිටු අංකය: 14.
  12. Knott 1998, පිටු අංකය: 111.
  13. Hacker, Paul (2006). "Dharma in Hinduism". Journal of Indian Philosophy. 34 (5): 479–496. doi:10.1007/s10781-006-9002-4. S2CID 170922678.


උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

"https://si.wikipedia.org/w/index.php?title=හින්දු_ධර්මය&oldid=493260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි