ආයුර්වේදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආයුර්වේදය යනු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයකි. ‛ආයුෂ්’ යන්නෙන් දීර්ඝ ජීවිතය ද ‛වේදය’ යන්නෙන් උසස් දැනගැනීම නොහොත් උතුම් අනුශාසනය ද ගැනේ . මේ අනුව දිගු කලක් ජීවත්වීමට උපදෙස් දෙන උතුම් ශාස්ත්‍රය ‛ආයුර්වේදය’ ලෙසින් නම් කර ඇත.

මෙසේ ඉන්දියාවේ ජනිත වූවායැයි සැලකෙන ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි නම් මහ ඍෂි තුමාය. ආයුර්වේදය හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු ඉන්දියානු උප මහද්වීපයට ආවේනික පෞරාණික වෛද්‍ය ක්‍රමයකි. අද දින ද එය ඉන්දියාව නේපාලය සහ ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වු ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයකි. බටහිර රටවල ද ආයුර්වේදය ජනප්‍රියව පවතී. ආයුර්වේද යන්න ආයු යනු ජීවිතය හෝ දිර්ඝ ආයුෂ සහ වේද යනු දැනුම යන තේරුම ඇත්තකි. එලෙස ගත් කළ ආයුර්වේද යන්නෙහි දල අදහස “ජීවිතය පිළිබද දැනුම” / “දිර්ඝායුෂ පිළිබද දැනුම” හෝ “ජීවිතය පිළිබද විද්‍යාව” යන්නයි. චරක සම්හිතයට අනුව මෙහි ජීවිතය යන්නෙන් විග්‍රහ කෙරෙනුයේ සිරුර, සංවේදී අවයව, මනස සහ ආත්මය, මරණය සහ ජරාජීර්ණ වීම වළක්වන සාධක සහ පුනරුප්පත්තිය සදහා බලපාන සාධක එක්ව ගත් කලයි. ඉහතින් දැක් වූ පර්යාලෝකනයන්ට අනුව ආයුර්වේදයෙහි මුලික අරමුණ වන්නේ ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික සුසංයෝගයන් පවත්වා ගැනීමෙන් දිර්ඝායුෂ පවත්වා ගැනීමයි. ආයුර්වේදය යනු ‍ශල්‍ය චිකිත්සාව මගින් විදග්ධ සැත්කම් ක්‍රමය භාවිතා වන සම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රයන් අතරින් අතලොස්සකි.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

අතර්වන් වෙදයෙ උපාංගයක් වන ආයුර්වෙදය මහා බ්‍රහ්මයා ව්සින් කරවන ලද බව සුසැත සංහිතාවෙ දැක්වෙ

इह कलमायुवेदो नाम-- यदुपांग मतवे--


හින්දු බ්‍රාහ්ම පිළිරුවක්. හින්දු ආගම ආයුර්වේදයේ දිව්‍යමය ආරම්භයක් ගැන විශ්වාස කරයි.
‘දන්වන්තරි’ ආයුර්වේදය හි දෙවියා
නාගර්ජුන බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෙක් සහ විවිධ රෝගාබාධ සදහා නව ඖෂධ සොයා ගත් ප්‍රසිද්ධ ඖෂධ වේදියෙක්

ආයුර්වේදයෙහි උපත පිලිබදව පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව තොරතුරු ගමන් කර ඇත. ආදි ඍෂිවරු හෙවත් බහුස්‍රැතයන් ඉන්දියාවේ හිමාල කන්ද පාමුල එක්රැස්වී ඇත. ඔවුනගේ අරමුණ වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්නව දීර්ඝායුෂ විදීමේ රහස් පිළිබදව දැනුම වැඩිදියුණු කර ගැනීම හා හුවමාරු කර ගැනීමයි. ඔවුන්ගේ මෙම ප්‍රයත්නයෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ආයුර්වේදය හෙවත් ජීවිතය පිළිබද විද්‍යාව බිහිවීමයි.

ආයුර්වේදයෙහි භාවිතයන් සහ මුලාරම්භය පිළිබදව ලිඛිත පරිශීලන මාධ්‍යයන් නොමැත. ආයුර්වේදයෙහි වයස නිර්ණය කරනුයේ අමතර පර්යේෂණ සාක්ෂි සහ වේද යුගයෙහි විසු අග්නි වේශ විසින් රචිත අග්නිවේශ තන්ත්‍රිනම් ග්‍රන්ථයෙහි මුල්වරට ආයුර්වේදය පිළිබද සදහනක් කොට ඇත. මෙය පසුකාලීනව චරත විසින් චරක සම්හිත ලෙස සංශෝධනය කරන ලදී. ආයුර්වේද පිළිබද අනෙකුත් මුල් යුගයේ ලේඛනයන් වනුයේ චරක සම්හිත හා ශුස්රුත සම්හිතයි. ශිලා ලිපි පැවත ඒමට ප්‍රථම මෙම දැනුම ගුරුකුල ක්‍රමය ඔස්සේ වාචිකව පැවතුනි.

මුල් යුගයේ ලේඛනයන් රචිතව තිබුණේ කල්තබා ගත නොහැකි තල්පත්‍ර සහ බෝජපත්‍ර වලයි. මේවා පසු කාලීනව ශෛල හා තඹ පත්‍ර මත රචනා කරන ලදී. ආයුර්වේදය පිළිබදව රචිත ඇතැම් ශ්ලෝකයන් අතර්වේදයෙහි සදහන්ව ඇති අතර ආයුර්වේදයෙහි ඇතැම් ඒවා ඉතාමත් පැරණිය. ආයුර්වේද ක්‍රමයන් කාලයක් මුළුල්ලේ විකාශනයට පත්ව ඇත. ඇතැම් ඒවා පුරාණ වේද යුගයෙහි පටන් නව්‍යකරණය වෙමින් පවතින අතර ඉන්දියාවේ බුදුන් ජීවත් වු කාලයේ දී එය වැඩි වශයෙන් සිදු වී ඇත.

ආයුර්වේදයෙහි විවිධ සිද්ධාන්තයන් ගොඩ නැගීම සදහා හින්දු ආගම බොහෝ බලපෑම් ඇති කර ඇත. මුල් යුගයේදී දිව්‍යමය ප්‍රාඥයින් විසින් අවබෝධ කරගත් දැනුම සංකීර්ණ ස්මෘති ආධාරක මගින් සාමාන්‍ය මනුෂ්‍යයන් වෙතද පසු කාලීනව ක්‍රම ක්‍රමයෙන් ගමන් කර ඇත. ආයුර්වේද සම්ප්‍රදායන් පිළිබද විස්තර එක් එක් රචකයන් අනුව වෙනස් වේ. එසේ වන්නේ වාචිකව පැවත එන දත්තයන් විවිධ මාධ්‍ය ඔස්සේ පරිවර්තනය වීමෙනි. මුල්ම අ‍ායුර්වේද අත්පිටපත් රචනා කරන ලද ලේඛකයන් විසින් එහි එකිනෙකට වෙනස් ක්‍රම වේදයන් පිළිබද සදහන් කර ඇත.

ආයුර්වේදය හා ඉතිහාසය[සංස්කරණය කරන්න]

මහා භාරතයේ සදහන් වන අන්දමට ක්‍රිෂ්ණා දෙවිදුන් හට සම්බ් නම් පුතෙක් විය. ඔහු ලාදුරු රෝගයෙන් පීඩා වින්දේය. ඔහුට ප්‍රතිකාර කරනු වස් ක්‍රිෂ්ණ දෙවිදුන් විසින් ශක්‍ර ද්වීපයෙහි (නූතන ඉරානය) වෙසෙන විශේෂ බ්‍රහ්මයින් කොටසක් වෙත ආරාධනා කොට යවන ලදී. ඔවුන් සුර්යය නමස්කාරයෙහි නිරත වන්නන් සහ ප්‍රසිද්ධ දෛවඥයන් වුණි. ඔවුන් සම්බ් හට ප්‍රතිකාර කොට ලාදුරු රෝගය සම්පුර්ණයෙන් සුව කරන ලදී. ශක්‍ර ද්වීපයෙහි බ්‍රාහ්මණයින්හට මාගි බ්‍රාහ්මණයන් ලෙසද ව්‍යවහාර කෙරේ. සකල් ද්වීපයෙහි ආයුර්වේදය, දෛවඥවේදය, තාරකා විද්‍යාව පිළිබද විශේෂ දැනුමක් තිබූ අතර ඔවුන් සුර්යය නමස්කාරයෙහි යෙදෙන්නන් වූයෙන් සෞර යන නමින් හැදින්විණි. මොවුන්ගේ උපත පිළිබද වැඩි විස්තර භාවිශ්‍ය පුරාණයෙහි අන්තර් ගතය. ඔවුන් ආයුර්වේදයෙහිලා විශේෂ මෙහෙයක් ඉටු කළහ. නූතන ආයුර්වේදයෙහි නිර්මාතෘ වනුයේ මාගි හෝ සකල් ද්වීපයයි.


පුරාතන සාක්ෂි[සංස්කරණය කරන්න]

ඉන්දියානු දේශීය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය බුද්ධ වර්ෂ 3000 තරම් පැරණි අතීතයක් ඇති ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තරම් ඈත අතීතයකට දිවෙයි. මොහෙන්ජෝදාරෝ හා හරප්පා යන ඉතා හොදින් නගර නිර්මාණයක් සහිත වු ශිෂ්ටාචාරයන් මගින් ඉන්දියාවෙහි සශ්‍රික සංස්කෘතික උරුමයන් පිළිබදව සහ වැඩි දියුණු වු සනීපාරක්ෂක ක්‍රම සහිත සෞඛ්‍ය සේවයක් තිබු බවට සාක්ෂි ලබාදේ. හරප්පා නගර වලින් සොයා ගන්නා ලද නටඹුන් අනුව එහි වෛද්‍ය විද්‍යාව පැවති බවට සාක්ෂි ඇත. බුද්ධ වර්ෂ 1200 සහ 700 යන කාල වලදී චතුර්වේදයන් නිර්මාණය වුණි. රේග පිළිබද විස්තරය, ශාක සාර ඖෂධ සහ ඒවායින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම එම වේද හතරෙහිම විස්තර කෙරුණද ඍග් වේදයෙහි විශේෂිත සටහනක් ඇත.

අතර්වන' වේදයෙහි ශාකසාර ඖෂධ පිළිබද වර්ණනාත්මක ස්තෝත්‍ර අන්තර්ගතය. බොහෝ ශාක වලට දෙවියන්ට මෙන් නමස්කාර කර යාඥා කරන ලදී. මීට අමතරව සෙංගමාලයට සහ විවිධ ප්‍රවේනි ගත රෝග සදහා ප්‍රතිකාර කිරීමට විවිධ මන්තර වර්ග භාවිතා කෙරිණි. රෝග සුව කිරීම සදහා කරන ලද මැතිරීම් භයිසජ්ජ්‍යම් නම් වන අතර දීර්ඝායුෂ සහ සමෘද්ධිය ලබාදීම සදහා කරනු ලබන මැතිරීම් ආයුශ්‍යම් නම් වේ. මේවා අතුරින් ආයුශ්‍යම් පසුකාලීනව වෛද්‍ය විද්‍යාවේ දියුණුව සදහා උපකාරී වුණි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය[සංස්කරණය කරන්න]

ආයුර්වේදයේ නිර්මාතෘවරයා ලෙස සැළකෙනුයේ ධන්වන්තරි මහ ඍෂි තුමාය. මෙතුමා විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාරතයේ ව්‍යාප්ත කරනු ලැබු අතර එයින් වර්ෂ 400 කට පමණ පසු උත්තර භාරතයේ ජනයා අතර උග්‍ර අයුරින් ලෙඩ රෝග පැතිර යන්නට විය. එයින් පීඩාවට පත් ජනතාවට සෙත සැළසීම පිණිස එකල ජීවත් වූ මහා ඍෂිවරුන් හිමාලය පාමුල පංච නදී තීරයට එක්රැස්ව මෙය සඳහා පිළියම් සෙවූහ. එහි දී ගත් තීරණයකට අනූව භාරද්වාජ නම් මහ ඍෂිවරයාණන්ව ඉන්ද්‍රභවනයට යවා තිබේ. යථෝක්ත අවශ්‍යතාවය උදෙසා ප්‍රතිකාර පද්ධතියක් හදාරා ඒමට ඉන්ද්‍රභවනට පිවිසි භාරද්වාජ මහා ඍෂිතුමා ඉන්ද්‍රදේවයාගෙන් ආයුර්වේදය මැනවින් හදාරා නැවතත් භාරත දේශයට සම්ප්‍රාප්ත වී ඇත. නැවතත් රැස් වූ මහා ඍෂි සමුළුවේ දී භාරද්වාජ මහා ඍෂි තුමා තමන් උගත් ශාස්ත්‍රය සෙස්සන්ට ද ප්‍රගුණ කරවා ඇත.

ආයුර්වේද සම්ප්‍රදායන්[සංස්කරණය කරන්න]

ආත්‍රෙය සම්ප්‍රදාය[සංස්කරණය කරන්න]

ඒ අතර සිටි ආත්‍රෙය නම් මහා ඍෂි තුමා සිසු පරපුරක් බිහි කර ගනිමින් ආයුර්වේදයේ එන කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් අෂ්ඨ අංගයකින් සමන්විත ආයුර්වේදය ජනතාව අතර ව්‍යාප්ත කොට තිබේ. ආත්‍රෙය මහා ඍෂි තුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැගුණු මෙය ඇත්‍රෙය සම්ප්‍රදාය යනුවෙන් ද හදුන්වයි. මෙහි එන මූලධර්ම ආදී අධ්‍යන අංග ආයුර්වේද නිර්මාතෘ වශයෙන් සැළකෙන ධන්වන්තරින් ආයුර්වේද සම්ප්‍රදායට සමාන වේ.

මෙම සම්ප්‍රදායන් දෙක අතර ඇති එකම වෙනස වන්නේ ධන්වන්තරී සම්ප්‍රදාය ශල්‍ය චිකිත්සාවට ප්‍රධාන ස්ථානය දුන් අතර ආත්‍රෙය සම්ප්‍රදාය කාය චිකිත්සාවට ප්‍රමුඛත්වය දීම පමණයි.

කාශ්‍යප සම්ප්‍රදාය[සංස්කරණය කරන්න]

ඒ අතර යථෝක්ත සම්මේලනයේ දී ආයුර්වේදය උගත් කාශ්‍යප මහා ඍෂිවරයා ද සිසු පරපුරක් බිහි කර ගෙන ඇත. එය කාශ්‍යප සම්ප්‍රදාය නමින් හැඳින්විණි.

සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය[සංස්කරණය කරන්න]

ආත්‍රෙය මහා ඍෂිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෛද්‍ය අධ්‍යාපන සාකච්ඡාවකට දක්‍ෂිණ භාරතයෙන් අගස්ති මුනිවරයා ද ලංකාවෙන් පුලස්ති මහා ඍෂි තුමා ද සහාභාගී වී ඇත. එහි දී ආයූර්වේදය හැදෑරු අගස්ති මුනිවරයා දක්‍ෂිණ භාරතයේ විසු අසුරයන් වෙත පැමිණ එහි සුලභ බෞද්ධ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය ක්‍රමයක් බිහි කොට ඇත. එය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය යනුවෙන් හඳුන්වයි.

සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රය වනාහි ආයුර්වේදය මෙන්ම සම්පූර්ණ වූ විද්‍යාවකි. ආයූර්වේදයේ කාය චිකිත්සා, ශල්‍ය, ශාලාඛ්‍ය යන අංග තුන එකල ජන සමාජයෙහි බෙහෙවින් ප්‍රචලිතව ඇත. බුද්ධ කාලයේ දී දියුණූ තත්වයක පැවැති ශල්‍ය, ශාලාඛ්‍ය ක්‍රම දෙන භාරතීය බෞද්ධ සමයේ පිරිහීමක් සමගම අභාවයට පත් වී ඇත.

මෙම සම්ප්‍රදාය ද ආයුර්වේදයේ මූලධර්මයන් අනුගමනය කර ඇත. සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ‛සින්දුරම්’ ප්‍රතිකාරය බෙහෙවින් දියුණු වී තිබේ. මෙම සින්දුරම් ප්‍රතිකාරය පසු කාලීනව ‛රස වෛද්‍ය ක්‍රමය’ යන නාමයෙන් ආයුර්වේදයට සංකලනය වී ඇත්තේ තව තවත් දියුණු සොයා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසටය. මෙම සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය දක්‍ෂිණ භාරතය පුරාම ප්‍රචලිත වූවක් ලෙස මෙහි දී හැඳින්විය හැකිය.

ලක්දිවට සංක්‍රමණය[සංස්කරණය කරන්න]

‛ආයුර්වේද උප්පති කථාන’ මෙසේ දැක්විය හැකි අතර පුලස්ති මහා ඍෂිවරයා ද අගස්ති මුනිවරයා ද සිද්ධ වෛද්‍ය ක්‍රමයේ ප්‍රගතියට කටයුතු යොදා ඇත. පසුව ලංකාවට පැමිණ පුලස්ති මහා ඍෂිවරයා අසුරයන්ගෙන් පසු රටේ ශක්තිමත්ව සිටි සාමාජිකයෝ වූ රාක්ෂයන් වෙත විවිධ වෛද්‍ය ක්‍රමයන්ගේ සංකලන දේශිය ඖෂධ සම්පත් උපයෝගී කර ආයුර්වේද ක්‍රමය හඳුන්වා ඇත.

ආයුර්වේද ක්‍රමය ලක්දිවට සංක්‍රමණය වූයේ භාරතයෙන් බව පුරාවෘත්ත වලින් හෙලිවේ. දැනට ලක්දිව ව්‍යවහාර වන වෛද්‍ය ක්‍රමයට සිංහල වෙදකම හෙවත් ස්වදේශීය වෛද්‍ය ශාස්ත්‍රය යයි කියනු ලැබේ. දේශීය වෛද්‍ය ක්‍රමය, ජාතික වෛද්‍ය ක්‍රමය, සිංහල වෛද්‍ය ක්‍රමය යන විවිධ නම් වලින් මෙය හඳුන්වන අතර 1961 අංක 31 දරණ ආයුර්වේද පනතේ 89 ඡේදයෙහි එන අර්ථ නිරූපණ යටතේ ‛ආයුර්වේදය’ යන නාමය ආයුර්වේදය, සිද්ධ, යුනානි, යන වෛද්‍ය ක්‍රම තුනටම සංගෘහිත නාමයක් වශයෙන් හඳුන්වා ඇත.

ක්‍රි.ව. තුන්වන ශතවර්ෂයෙහි විසූ රජවරුන්ගේ අනුග්‍රහයෙන් ආයුර්වේදීය ශල්‍ය චිකිත්සාව දියුණු තත්වයක පැවති බව පුරාවෘත්ත වලින් කියැවේ. සිංහල බෞද්ධ නරපතියෙකු වූ බුද්ධදාස රජතුමා මීට කදිම නිදසුනකි.

ආයුර්වේදයේ අංග[සංස්කරණය කරන්න]

ශාඛාවන්[සංස්කරණය කරන්න]

  • කාය චිකිත්සාව
  • ශල්‍ය චිකිත්සාව
  • කෞමාරභෘත්‍යය (බාල රෝග චිකිත්සාව)
  • විෂ චිකිත්සාව
  • ග්‍රහ චිකිත්සාව
  • රසායන චිකිත්සාව
  • ඌරෟධ්වාංග චිකිත්සාව (ශාලාක්‍ය තන්ත්‍රය)
  • වෘෂ්‍ය චිකිත්සාව (වාජීකරණය)

(පංච මහා භූත) මුලික අංග පහ[සංස්කරණය කරන්න]

පුරාණ වේද චින්තන කර්මයට අනුව විශ්වාස වූ සියල්ල පංචමහාභූත නමින් හැඳින්වෙන අංග පහකින් සැදුම්ගෙන ඇත.

ආපෝ - ජලය , එමගින් රස සංවේදනය වේ. රස සංවේදන අවයව වන්නේ දිවයි.

තේජෝ - ගින්න , වර්ණ පිළිබඳව දෘෂ්ටිමය සංජානනය ලබාදේ (රූප ) , සංවේදක අවයවය වන්නේ ඇසයි.

වායු - වාතය , දැනීම පිළිබඳ අවබෝධයක් ලබා දේ. (ස්පර්ශ) සංවේදක අවයවය වන්නේ සමයි.

පෘථිවි - පෘථිවිය , ගඳ , සුවඳ පිළිබඳ දැනීම ඇති කරයි. (ගන්ධ) සංවේදක අවයවය වන්නේ නාසයයි.

ආකාශ - අවකාශය , ශ්‍රවණය ඇතිකරයි. (ශබ්ද) සංවේදක අවයවය කනයි.


ඉහතින් සඳහන් කරන ලද්දේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගෙඩනැගී ඇති පදනම හා මූලධර්මයන්ය. මෙකී අංග පහම අප ජීවිතය කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරනුයේ සිරුර සෑදී ඇත්තේ මෙම මහාභූතයින් (අංග) වලින් බැවිනි. සියළුම පදාර්ථයන් තරලමය ලෙසට සැලකේ. ඒවායෙහි සංඝටකයන් අතර තුල්‍යතාවය නිරන්තරයෙන්ම වෙනස් වේ.

තුන්දෝෂ[සංස්කරණය කරන්න]

ආයුර්වේදයෙහි සිරුර , මනස සහ අධ්‍යාත්මය අතර එකතුවක් ගැන විග්‍රහ කෙරේ. එක් එක් අංගවල ප්‍රමුඛතාවය අනුව සිරුර වර්ග තුනකි. මේවා තුන් දෝෂ නම් වේ.

  1. වාත (වා) - වාතය
  2. පිත්ත (පිත්) - පිත
  3. කඵ (සෙම්) - සෙම


සත්වැදෑරුම් දේහ පටකයන් ධාතු නම් වේ. සිරුරෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය වර්ග 3කි. ඒවා මාලා නම්වේ.

වාත[සංස්කරණය කරන්න]

මෙම දෝෂය මගින් සිරුරේ අභ්‍යන්තර හා බාහිරව ඇති ජීව විද්‍යාත්මක ක්‍රියාවලියන් කෙරෙහි ආරම්භය හා ක්‍රියාකාරීත්වය වෙත උදව් දේ. මේවා,

  1. ප්‍රාණ (හිස) - ජීවනාලිය වූ ශ්වසනයට උදව් වේ.
  2. උදාන (උගුර) - ග්‍රන්ථිමය ක්‍රියාකාරීත්වයට උදව් දේ
  3. සමාන (ආමාශය හා ග්‍රහණිය) - ආමාශය ක්‍රියාකාරිත්වයට උදව් දේ
  4. ව්‍යාන ( හෘදය හා රුධිර වාහිනී) - රුධිර සංසරණයට උපකාරී වේ
  5. අපණ(ශුක්‍ර තරලය , මලපහ , මුත්‍රා) - බහිස්‍රාවය සඳහා උපකාරී වේ.

පිත්ත[සංස්කරණය කරන්න]

මෙම දෝෂය සිරුරේ තාපය උත්පාදනය පරිවෘත්තීය හා නොයෙකුත් මානසික ක්‍රියාකරිත්වයන් සඳහා වගකියනු ලැබේ.

කඵ

මෙම දෝෂයෙහි ප්‍රධාන කෘත්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්න සිරු‍රක් පවත්වාගෙන යාම හා මේදය , ජලය හා අනෙකුත් තරලයන් අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමයි.

මේ එක් එක් දෝෂයන් එකිනෙක අතර සමතුලිතතාවයක් පවත්වා ගනිමින් පුද්ගලයාගේ සිරුර ප්‍රකෘති තත්වයෙන් පවත්වා ගැනීම සඳහා උපකාරී වේ. මෙම තුන්දොස්හි කිපීමෙන් ඇතිවන දේහ ක්‍රියාකරිත්වයේ අසමතුලිතතා හේතුවෙන් රෝග ඇතිවේ.



ආයුර්වේද ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

සාරාර්ථ සංග්‍රහය[සංස්කරණය කරන්න]

අනුරාධපුර යුගයෙහි මුල් අවධියේ සිටම ආයුර්වේද ශාස්ත්‍රය ලක්දිව පැවති බවට සාක්ෂි ඇතත් ඒ සමයෙහි ලියැවුණු වෛද්‍ය ග්‍රන්ථයක් යැයි කිව හැකිව තිබෙන්නේ බුද්ධදාස රජතුමන් විසින් ලියන ලද ‛සාරාර්ථ සංග්‍රහය’ පමණකි. මෙය සතුරු ආක්‍රමණ හමුවේ ඉතිරිවූ එකම ග්‍රන්ථය යැයි සිතිය හැක.

‛සාරාර්ථ සංග්‍රහය’ ආයුර්වේදීය ග්‍රන්ථයන් ඇසුරුකොට ලියූවක් බව පෙනේ. පසුකාලීනව මෙම ග්‍රන්ථයට සන්න ලියූවන් විසින් දක්ෂණාත්‍ය වෛද්‍ය සම්ප්‍රදායට අයත් අග්නි කර්ම විධිය හා වෙනත් ප්‍රතිකාර ක්‍රමයන්ද ඊට ඇතුලත් කරනු ලැබ ඇත.

භේසජ්ජ මංජුසාව[සංස්කරණය කරන්න]

මීළඟට දේශීය වෛද්‍ය ග්‍රන්ථයන් අතුරෙන් ප්‍රධාන ස්ථානයෙහිලා ගැනෙන්නේ අනවමදර්ශී සංඝරාජ මාහිමියන් විසින් මාගධී භාෂාවෙන් ලියන ලද ‛භේසජ්ජ මංජුසාව’යි. මේ සඳහා වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ලියන ලද සන්නය දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි උන්නතිය පිණිස කෙරුණු ශ්‍රේෂ්ඨතම කෘතියකි. මෙහි දකෂිණාත්‍ය සිද්ධ වෛද්‍ය මතයන් ද ඇතුලත් කර තිබේ.

යෝගාර්ණවය හා ප්‍රයෝග රත්නාවලිය[සංස්කරණය කරන්න]

පලමුවන බුවනෙකබාහු අවධියෙහි මයුරපාද හිමියන් විසින් ලියන ලද ‛යෝගාර්ණවය’ හා ‛ප්‍රයෝග රත්නාවලිය’ ද අගනා දේශීය වෛද්‍ය ග්‍රන්ථයෝ වෙති. මෙහි ද දක්ෂණත්‍ය සිද්ධ වෛද්‍ය ශාස්ත්‍රයට අයත් වෙද පිළියම් ඇතුලත් කර තිබේ. වරයෝග සාරය, ප්‍රයෝග සමුච්ඡය, යෝග පිටකය, වෛද්‍ය චින්තාමණිය ආදී ගi ග්‍රන්ථයන් හා යෝග රත්නාකරය, යෝග මුක්තාවලිය, වටිකාප්‍රකරණය, යෝග මාලාව ආදී පi ග්‍රන්ථයන් ද සිංහල පiයෙන් හා සංස්කෘත ශ්ලෝකයෙන් රචිත යෝග ශතකය මෙන්ම සිංහල පiමය සෙනහ ශතකය ආදී සංග්‍රහ ග්‍රන්ථයෝද දේශීය චිකිත්සාව ඉගෙනීම සඳහා යොදා ගනී.!

[සංස්කරණය කරන්න]

මේ දැක්වුණු ග්‍රන්ථ සියල්ලම විශේෂයෙන්ම දේශීය කාය චිකිත්සාවට අදාළ වේ. මීට අමතරව ගද්‍ය වූත්, පද්‍ය වූත් නොයෙක් දේශීය වෛද්‍ය ග්‍රන්ථ රාශියක් දක්නට ලැබේ. මෙසේ බලන කල දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හෙවත් සිංහල වෙදකම වූ කල්හි උතුරු ඉන්දියාවේ සකු බසින් සම්පාදිත ග්‍රන්ථයන් හා දකුණු ඉන්දියාවේ දෙමළ, තෙළිඟු , මලයාලි යන භාෂාවලින් ලියැවුණු ග්‍රන්ථයන්ද ඇසුරින් අපේ රටේ දේශගුණික හා ශාරීරික තත්වයන්ද සළකා බලමින් සකස් කරගන්නා ලද්දකි.

දඹදෙණි අවදියෙන් මෑත භාගයෙහි වරින් වර ලංකාවට පැමිණි කේරළ, චෝල, පාණ්ඩ්‍ය වැනි ජාතීන්වලට අයත් සිද්ධ වෛද්‍යවරයෝ දක්ෂිණ භාරතයෙහි එකල ප්‍රචලිතව පැවති උසස් ශාස්ත්‍ර ක්‍රමයන් හා විවිධ ඖෂධ හා වර්ග ද සිංහල වෛද්‍ය ශාස්ත්‍රයට ඇතුළත් කොට ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල ව්‍යාප්තිය[සංස්කරණය කරන්න]

ශ්‍රී ලංකාව පාලනය කළ විවිධ රජවරුන්ට මෙන්ම හෙළ වෙදකම මේ දක්වා නොනැසී ඉදිරියට ගෙන ඒමේ ගෞරවය හිමිවිය යුතු තව එක් පිරිසක් ද සිටී. එනම් අපගේ භික්ෂු පරපුරයි. වෙදකමින් විස්කම් පාමින් බොහෝ රෝගීන් සුවකළ භික්ෂූන් එදා මෙන් ම අදත් සිටී. එසේම ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් බිහිවූ වෙද පරම්පරා රුසක් ද සිටීම අපගේ දේශීය වෙදකම් පදනම බඳුය.

මෙසේ කලින් කලට දේශීය වෛද්‍ය ක්‍රමයට නවීනත්වයක් එක්වෙමින් වත්මන වන විට ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ මහත් වූ නවෝදයක් අද ශ්‍රී ලංකාව ලබමින් සිටී. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම සංස්කෘතික හා ජාතික දායාදය රැකගැනීම පිණිස විවිධ අයුරින් පරිශ්‍රමයක් දැරීම සතුටුදායකය. නමුදු සමහර ආයුර්වේද සංවර්ධන අංශයන්හි නියමුවන්ගේ විවිධ දුර්වලතා හේතුකොටගෙන යම් යම් බිඳවැටීම්වලට ද දේශීය වෛද්‍ය ක්‍රමය මේ වනවිටත් මුහුණ පා සිටී.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අනාගතය[සංස්කරණය කරන්න]

නවීන වෛද්‍ය විද්‍යාව හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සසඳන කල්හි ඇතැමුන් පවසන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු පර්යෙෂණ කර ඒවායින් ලැබිය යුතු නිගමනවලට මේ වනවිටත් එළැඹ සිටින විද්‍යාවක් බවත් නවීන වෛද්‍ය විද්‍යාව තවමත් පර්යේෂණ සිදුකරමින් ඉදිරියටත් නව්‍යකරණයට යොමුවන විද්‍යාවක් බවත්ය. මෙවැනි මත වලින් පැහැදිලි වනුයේ අපට උරුම වී ඇති දේශීය වෛද්‍ය විද්‍යාව නව්‍යකරණයට යොමුකළ යුතු බවයි. එසේ නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ අව්‍යාජ ඍෂිවරු නොව ආයුර්වේද වෛද්‍ය විද්‍යාඥයින් පිරිසකි. අප නොදන්නා එමෙන්ම භාරතයෙහිම වැළලී ගිය නොයෙකුත් වෛද්‍ය ක්‍රම සහ ඖෂධ පර්යේෂණ මාර්ගයෙන් සොයාගැනීමට උත්සුක විය යුතුය.

පුරාණ ලංකාවේත් භාරතයෙන් ප්‍රමුඛ තැන හිමිවූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යුරෝපීයයන්ට යටත්වීමෙන් පසු නොයෙකුත් විපර්යාසයන්ට පත්වෙමින් පිරිහීමට පත්විය.

අද පත්ව ඇති තත්වය[සංස්කරණය කරන්න]

මේ වනවිට බොහෝ ඖෂධ වර්ග ඉතා දුර්ලභය. එයට හේතුවී ඇත්තේ වන විනාශය හා ජනාවාසකරණයයි. මේ හේතුවෙන් වටිනා ඖෂධ සහමුලින්ම පාහේ විනාශ වෙමින් පවතී. එමෙන්ම ඖෂධ නිෂ්පාදකවරුන්ට ඖෂධ ලබාගත යුතු වන්නේ වැඩි මුදලක් ගෙවීමෙනි. එයින් සිදුවනුයේ නිෂ්පාදිත ඖෂධ මිල වැඩිවීමය. නමුදු බොහෝවිට සිදුවනුයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ඖෂධ ඇතුළත්කොට ඖෂධ නිෂ්පාදනය කිරීමත් ය. මේවායේ අහිතකර ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවටම ය.

මෙවැනි දේ නොදත් ජනතාව මෙවැනි ඖෂධ පානයෙන් පසුව සුව නොවීම නිසා මුළුමහත් වෛද්‍ය ක්‍රමය ගැනම කලකිරීමක් ඇතිකරගනී. අද වන විට පිරිසිදු මී පැණි ටිකක්, එළඟි තෙල් ටිකක් ලබාගැනීම ඉතා දුෂ්කරය. මන්ද වෙළෙන්ඳාට අවශ්‍ය වන්නේ මුදල් ඉපැයීමට මිස රෝග සුවකිරීමට නොවේ. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පාරිභෝගික ජනයා තුළ සැක සංකා පහළ වී ඇත.

පුරාණ භාරතයේ ධනවන්තරී, සුශ්‍රුත වැනි මහා ඍෂිවරයන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ පරතෙරට ගිය දේවත්වයෙන් සැළකිය යුත්තෝ වූහ. ඔවුන් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ යෙදුනු අයුරු ඉතා ප්‍රශංසනීය බව සුශ්‍රුත, සංගීතා වැනි ග්‍රන්ථ තුළින් පෙනේ. නූතන ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජර්මන් ජාතික හර්ස්බර්ග් මහතා දක්වන ආකාරයට හම්පිරිද්දම් ක්‍රමය සහිත ශල්‍ය වෛද්‍ය විiාවද ඔවුන් ලබාගෙන ඇත්තේ සුශ්‍රුත නම් ඉන්දියානු වෛද්‍යවරයාගෙනි. නමුත් ශල්‍ය වෛද්‍ය කර්මය ආයුර්වේද වෛද්‍යවරයාට තහනම් කිරීමෙන් ආයුර්වේදයේ ප්‍රමුඛස්ථානයක් දිය හැකි අංශයකට දේශීය වෛද්‍යවරයා යොමුවීමේ දොර කවුළු වසා දැමීමකි. ලංකායුර්වේදය දෙස නෙත් යොමුකළහොත් එහි පිරිහීම කුමන අයුරකින් සිදුවන්නේද? එයට පිළියම කුමක්ද? යන ගැටළුවට පිළිතුරු සැපයීමට උත්සුක වුවහොත් නුදුරු අනාගතයේදී පරිපූර්ණ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවක් තුළින් ශ්‍රී ලංකාද්වීපයට ඍෂි යුගයක් ලබාගැනීමේ සෞභාග්‍යය උදාවෙනු නොඅනුමානයි.

ආයුර්වේද ප්‍රදීපිකා, ආයුර්වේද ශාස්ත්‍රී චින්තා, ආයුර්වේද ඖෂධ සංග්‍රහය, ආයුර්වේදය මාසික සඟරාව

ආශ්‍රිත පිලි[සංස්කරණය කරන්න]


"https://si.wikipedia.org/w/index.php?title=ආයුර්වේදය&oldid=337226" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි