මහාවිද්‍යා

විකිපීඩියා වෙතින්
කාලී, තාරා, ශෝදශි, භුවනේශ්වරී, භෛරවී,
ඡින්නමස්තා, ධූමාවතී, බගලාමුඛී, මාතංගී සහ කමලා.

මහාවිද්‍යාවෝ (මහා විද්‍යාවන්) හෙවත් දශ-මහාවිද්‍යාවෝ යනුවෙන් හැඳින්වෙන්නේ විශ්වයේ ආරම්භයේ සිට විනාශය දක්වා පැවතෙන්නා වූ ආදි පරාශක්තියේ විද්‍යාවන් 10ක් පිළිබඳවයි.[1] එම මහාවිද්‍යාවන් 10 දෙනා වන්නේ කාලී, තාරා, ත්‍රිපුර සුන්දරී, භුවනේශ්වරී, භෛරවී, චින්නමස්තා, ධුමාවතී, බගලාමුඛී, මාතංගී සහ කමලා ය.

ක්‍රිස්තු වර්ෂ 1700 දී එහි උච්චතම අවස්ථාවට ළඟා වූ ශක්ති වාදයේ භක්ති අංශයේ නැගීම සනිටුහන් කරන බැවින් මහාවිද්‍යාවේ දියුණුව ශක්ත නිකායේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.

ශක්ත බැතිමතුන් විශ්වාස කරන්නේ එකම සත්‍ය දස ආකාරයකින් විද්‍යාමන වන බවයි. ශක්ත වාදයේ එක් ගුරු සම්ප්‍රදායකට අනුව මහාවිද්‍යාවන් මහාකාලි දේවියගේ ස්වරූප ලෙසින් හැඳින්වේ. මෙම සමස්ථ මහාවිද්‍යාවන් මණිද්වීපය තුළ වාසය කරයි.

නාමයන්[සංස්කරණය]

  1. කාලි : බ්‍රහ්මන්ගේ උත්කෘෂ්ඨ ස්වරූපයකි, කාලය සහ විනාශයට අධිපතිනිය යි, ආදි පරාශක්තිය ලෙසින් හඳුන්වයි. (කාලි කුල සම්ප්‍රදායේ සර්වබලධාරී දේවිය) මහාකාලි දේවිය අඳුරු පැහැයක් ගන්නා අතර මරණයේ රාත්‍රියටද වඩා අඳුරු පැහැතිය. අතීත, වර්තමාන සහ අනාගතය සංකේතවත් කරන නේත්‍රා තුනක් ඇත. ගෙලෙහි හිස් කබල් මාලයක් පැළඳි ඇය දිවි සමක් වස්ත්‍රය කොටගෙන සිටි. ඉන පටිය ලෙස පැළඳ සිටින්නේ අත් වලින් නිර්මිත පටියකි.
  2. තාරා : මුක්තිය කරා මඟ පෙන්වන, ආරක්ෂාව සලසන, සංසාර සාගරයෙන් එතෙර කරවන දේවිය යි. සමුද්‍ර මන්තනයේදි ශිව දෙවියන්ව හලාහල විෂෙන් බේරා ගනු ලැබුවේද ඇයයි. ඇයගේ ශරිර වර්ණය ලා නිල් පැහැතිය.
  3. ත්‍රිපුර සුන්දරී : බ්‍රහ්මන්ගේ උත්කෘෂ්ට ස්වරූපයකි. විශ්වයේ මුලය යි, සියල්ලෙහිම තුන් ආකාරයට අධිපතිනිය යි, ආදි පරාශක්ති, ලලිතා රාජ රාජේශ්වරී ලෙසින් හදුන්වනු ලබයි. (ශ්‍රී කුල සම්ප්‍රදායේ සර්වබලධාරී දේවිය) රන්වන් පැහැයෙන් යුක්ත වන අතර අත් සතරෙහි පාශයක්, අංකුසයක්, හී පහක් දුන්නක්/උක් දණ්ඩක් දරා සිටී.
  4. භුවනේශ්වරී : බ්‍රහ්මන්ගේ උත්කෘෂ්ඨ ස්වරූපයකි. සමස්ථ විශ්වයේම මාතාවයි, ඇයගේ ශරීරය රන් වන් පැහැයෙන් යුක්ත වන අතර අත් සතරෙහි පාශයක්, අංකුසයක් දරා සිටින අතර අභය සහ වරද මුද්‍රාවන් පෙන්වමින් සිටි.මණිද්වීපය නම් පරම අධිරාජයෙ නිර්මාතෘ සහ අධිරාජිනියයි. මූල ප්‍රකෘතිය ලෙසින්ද හැදින්වේ.
  5. භෛරවී : උග්‍ර ස්වරූපයකි. භෛරවගේ ස්ත්‍රී ස්වරූපය යි. ශරීරය රතු පැහැ වන අතර කෝපාවිෂ්ඨ නේත්‍රා ත්‍රිත්වයක් සහ අවුල් වූ හිස් කෙස් ඇත.
  6. චින්නමස්තා : තමාගේම හිස කපා ගත් ස්වරූපය යි.[2] ජයා සහ විජයා තෘප්තිමත් කිරීම සඳහා ඇය තමාගේම හිස කපා ගත්තාය. (රජස් සහ තමස් ගුණ සංකේතවත් වේ.) ඇය රතු පැහැයක් ගන්නා අතර, බියකරු පෙනුමක් ඇත.
  7. ධූමාවතී : ධූමාවතී තද දුඹුරු පැහැයකින් යුක්තය, ඇගේ සම රැලි වැටී ඇත, ඇගේ මුඛය වියළී ඇත, ඇගේ දත් සමහරක් වැටී ඇත, ඇගේ දිගු අවුල් වූ හිසකෙස් අළු පැහැයක් ගනී, ඇගේ ඇස් ලේ වැගිරීම් ලෙස පෙනෙන අතර ඇයට බිය උපදවන ස්වභාවයක් ඇත.
  8. බගලාමුඛී : සතුරන් අඩපණ කරන දේවිය යි. දේවියට රත්තරන් පැහැයක් ඇති අතර දීප්තිමත් ඇස් තුනක්, සශ්‍රීක කළු හිසකෙස් සහ නිහතමානී මධ්‍යස්ථ බවක් ඇත. ඇය කහ පැහැති වස්ත්‍රාභරණ දරා සිටින හෙයින් පිතාම්බරි ලෙසින්ද හැඳින්වේ.
  9. මාතංගී : රාජ ශ්‍යම්ලා ස්වරූපයෙදී ලලිතා දේවියගේ අග්‍රාමාත්‍යවරියකි. කථනයට අධිපති ස්වරූපය යි. මාතංගිගේ වර්ණය මරකත කොළ පැහැයෙන් නිරූපණය කෙරේ.
  10. කමලාත්මිකා (කමලා) : පද්මයක් මත වාසය කරන දේවිය යි. ඇතැම් විට තාන්ත්‍රික - ලක්ෂ්මි ලෙසින්ද ආමන්ත්‍රණය කරනු ලබයි. කමලා රන්වන් පැහැයකින් යුත් කළු හිසකෙස්, දීප්තිමත්, සන්සුන් ඇස් තුනක් සහිත කරුණාවන්ත ස්වරූපයකි.
The ten corresponding Avatars with Mahavidyas
no. මහා විද්‍යා දේවියගේ නම විෂ්ණු අවතාරයේ නම
1. කාලි ක්‍රිෂ්ණා
2. තාරා රාමා
3. ත්‍රිපුර සුන්දරී කල්කි
4. භුවනේශ්වරී වරහා
5. භෛරවී නරසිංහ
6. චින්නමස්තා පරුෂරාම
7. ධූමාවතී වාමන
8. තාරා කුර්ම
9. මාතංගී බුද්ධ
10 කමලාත්මිකා මත්ස්‍යය

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Sanderson, Alexis. "The Śaiva Literature." සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine Journal of Indological Studies (Kyoto), Nos. 24 & 25 (2012–2013), 2014, pp. 80.
  2. Daniélou, Alain (1991). The Myths and Gods of India: The Classic Work on Hindu Polytheism from the Princeton Bollingen Series. Inner Traditions / Bear & Co. pp. 284–290. ISBN 978-0-89281-354-4.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මහාවිද්‍යා&oldid=592867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි