මණිද්වීපය

විකිපීඩියා වෙතින්

මණිද්විපය (සංස්කෘත: मणिद्वीप) හින්දු ආගමේ ආදි පරාශක්තිය නම් උත්තරීතර දෙවඟනගේ සදාකාලික උත්තරීතර වාසස්ථානයයි. දේවී ලෝක, දේවි ධාම, භක්ති ධාම සහ ශක්තී ධාම යනුවෙන්ද අරුත් ගන්වන්නේ මණිද්වීපයයි. පුරාණ ග්‍රන්ථයන්ට අනුකූලව විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්ති දේවීයගේ බෞතික ස්වරූපයන්ගේ නිවහන වන අතර එහි සෙවනැල්ල මහා විශ්ව ගර්භයට පතිත වන නිසා සහ සියලු ලෝකයන්ට වඩා උසස් වන හෙයින් සර්වලෝක ලෙසින් හඳුන්වයි. සමස්ථ විශ්වයන්හී උච්චතම ස්ථානය මෙන්ම ගෝලෝකය හෙවත් කෘෂ්ණ ලෝකය, වෛකුන්ඨය, කෛලාශය, බ්‍රහ්ම ලෝකය සහ මහා විශ්වය මෙයට පහලින් පිහිටයි. නිර්මාණ ක්‍රියාවලියේදි දෙවඟන තම ස්වකැමැත්ත පරිදි මෙම ද්වීපය නිර්මාණය කරන ලදි. සර්වබලධාරි දෙවඟනගේ සමස්ථ දසමහාවිද්‍ය ස්වරූපයන් ඇතුළු සියලු ස්වරූපයන් මෙහි වාසය කරන අතර ඇය සමඟ පරාශිව දෙවිඳුන්ගේ ඊට අනුරූප ස්වරූපයන් වාසය කරන්නේය.

නිරුක්තිය[සංස්කරණය]

මණිද්වීපය යන්නෙහි අරුත මාණික්‍යන්ගෙන් නිර්මිත දිවයින යන්නයි. දේවී භාගවත පුරාණයේ 12වන ග්‍රන්ථයේ 10-12 පරිච්ඡේදයන්හී දේවී ලෝකය පිළිබඳව සවිස්තරාත්මකව විග්‍රහා කර ඇත.[1]

මණිද්වීප ව්‍යුහය[සංස්කරණය]

පුරාණ[සංස්කරණය]

මණිද්වීපය පිළිබඳ විස්තරයක් ශ්‍රීමද් දේවි භාගවතම් සහ මහාභාගවත පුරාණය තුළ දක්නට ලැබේ.[2][3]

දේවී භාගවතම් 12.10.03:04 මුල් සංස්කෘත:

सर्वदो निजवासार्थ प्रकृत्या मूलभूतया ।
कैलासादधिको लोको वैकुण्ठादपि चोत्तमः ॥
गोलोकादपि सर्वस्मात्सर्वलोकोऽधिकः स्मृतः ।
नैतत्समं त्रिलोक्यां तु सुन्दरं विद्यते क्वचित्‌ ॥

ආරම්භයේදී මූල ප්‍රකෘති භගවති දේවිය විසින් කෛලාශය, වෛකුණ්ඨය සහ ගෝලෝකයට වඩා උසස් වූ මෙම ස්ථානය ඇයගේ වාසය සඳහා ඉදිකරන ලදී. සත්‍ය වශයෙන්ම මේ විශ්වයේ වෙනත් කිසිම ස්ථානයකට එය ඉදිරියේ නැගී සිටිය නොහැක. එහෙයින් මණිද්වීපය සර්වලෝක නම් වන සේක.

— සර්ග 12, පරිච්ඡේදය 10, ශ්ලෝක 03:04

මණිද්වීපය පිහිටා ඇත්තේ ඇත්තේ සුධා සමුද්‍රය නම් අමෘතය පිරුණු සාගරයක් වන මධ්‍යයේය.[4] මෙහි පිටතින්ම තිබෙන්නේ දොරටු සතරක් සහිත විශාල බැම්මකි එහි සෑම දොරටුවකම ආරක්ශකයන් සියය බැගින් සිටින අතර දෙවඟන බැහැ දැකීමට විවිධ විශ්වයන්ගෙන් එන සමස්ථ දේව ගණයාගේ වාහන නවතා තිබෙන බැවින් මෙහි සෑම විටම ඉතාම කලබලකාරී ස්වභාවයක්. මෙහි ඉතා මිහිරි පැන් සහිත ළිඳවල්ද තිබේ. දෙවනි ප්‍රාකාරය නිර්මාණය කර තිබෙන්නෙ රසදිය මිශ්‍ර සින්ක් සහ තඹ වලිනි. එම ප්‍රාකාරයට බොහෝ පිවිසුම් තිබෙන්නා සේම පළමු ප්‍රකාරයට වඩා ඉතාමත් විශාලය. එම ප්‍රාකාරය තුළ ලිං පොකුණු යනාදිය ද, සෑම විටම ඵල හට ගන්නා විශ්වයේ තිබෙන සෑම අකාරයේ වෘක්ෂයක්ම වර්ධනය වී තිබේ. එම සෑම වෘක්ෂයකම කොවුලන් සිටින අතර ඔවුන්ගේ හඬ ඉතාමත්ම මනරම්ය. බිගුන් මල් පැණි උරා බොන අතර ගිරවුන් සමණලුන් ඔබ මොබ සැරිසරම හා එහි පවතින යුශ රැගත් සප්ත ගංගාවන් පරිසරයේ සුන්දරත්වය වඩාවාලයි. තඹ ලෝහයන්ගෙන් නිර්මිත තෙවනි ප්‍රාකාරය සමචතුරස්‍රාකාර වන අතර මීටර් 84000 ක් පමණ විශාලය. මෙම ප්‍රකාරය තුළ කල්පවෘක්ෂයන් ( සිතූ පැතු සම්පත් දෙන වෘක්ෂයක්, ඉන්ද්‍ර දෙවියන් සතුවත් මෙවැනි වෘක්ෂයක් තිබේ) වලින් පිරුණු වනයක් තිබෙන අතර මෙහි සෘතුන් වලට අධිපති නිරිදුන් වාසය කරනු ලබයි. ඔහුගේ සිංහාසනය සහ ආභරණ නිමවා තිබෙන්නෙ සුවඳවත් පුෂ්පයන්ගෙනි. ඔහු නිරතුරුව පුෂ්පයන්ගෙන් රොන් ගමින් සිටින අතර මධු ශ්‍රී සහ මාධව ශ්‍රී යන බිරින්ඳෑවරු දෙදෙනා පිරිවරා සිටී. සිව්වන ප්‍රාකාරය ගොඩනගා ඇත්තේ ඊයම් ලෝහයෙනි. එහි උසද පෙර ප්‍රාකාරය හා සමානය. මෙම ප්‍රාකාරය තුළ මධ්‍ය උද්‍යානයේ වාසය කරනු ලබන්නේ තම පතිනියන් වන ශුක්‍ර ශ්‍රී සහ ශුචි ශ්‍රී සමඟින් වසන්ත සෘතුවයි. මෙහි සියලු ගස් වැල් ඉතා සශ්‍රීක සේම ජලයේද පවතින්නේ ඉතාමත්ම සිසිලසකි. පිත්තල ලෝහයෙන් නිර්මිත පස්වැනි ප්‍රාකාරය තුළ සඳුන් වෘක්ෂයන්ගෙන් ගහණ උද්‍යානයෙහි පාලකයා වන්නේ වස්සාන සෘතුවයි. ඔහු ගේ ඇස් අකුණුසැර සේය, ඔහුගේ ශරීර ආවරණ වන්නේ වැසි වළාකුලුයි. ස්වරය කුණාටුවක් මෙන්ය. නභ ශ්‍රී, නභශ්‍ය ශ්‍රී, ස්වරස්‍ය, රස්‍යසාලිණි, අම්භා, දුලා, නිරත්නි, අභ්‍රමන්ති, මේඝ යාන්තිකා, වර්ශ්‍යන්ති, චිවුනිකා සහ වරිධාරා යනුවෙන් බිරින්ඳෑවරු දොළොස් දෙනෙකි. මෙහි තිබෙන සෑම ගසක්ම ලා දළු වලින් යුක්තය.සෑම ගංගාවක් ම ඉතා වේගයෙන් ප්‍රවාහය වන්නා සේම පොකුණු සංසාර චක්‍රයට ඇලුණු මිනිසුන් මෙන් බොහෝ අපිරිසිදුය. ඉන්පසුව පවතින්නේ පංච ලෝහ වලින් නිර්මාණය කෙරූ සයවන ප්‍රාකාරයයි. මෙහි මධ්‍යයේ පවතින මන්දාර වෘක්ෂයන්ගෙන් පිරුණ උද්‍යානයෙහි විරාජමානව සිටින්නේ සරත් සෘතුවයි. ඔහුගේ පතිනියන් දෙදෙනා වෙන්නෙ ඉශූලක්ශ්මි සහ උර්ජාලක්ශ්මි යන දේවීන්‍ ය. ඉන්පසුව තියෙන්නෙ රිදි වලින් තැනු සත්වෙනි ප්‍රාකාරයයි. එහි මධ්‍යයේ තිබෙන්නේ නිරන්තරයෙන් පුෂ්පයන්ගෙන් විකසිත වී ඇති පරිජාතා වෘක්ෂයන්ගෙන් ගහණ උද්‍යානයයි. සර්වබලධාරී දෙවඟනගේ බැතිමතුන් මෙම මල් වල සුවදින් කුල්මත් වෙයි. මෙහි වාසය කරන්නේ හේමන්ත සෘතුවයි. ඔහුගේ බිරින්ඳෑවරු වන්නේ සහ ශ්‍රී, සහස්‍ය ශ්‍රී යන දෙදෙනායි. එමෙන්ම දේවියගේ භක්තිකයන් මෙහිදි වෘතයන්ද රකිනු ලබයි. රත්‍රන් වලින් නිර්මාණය කෙරු අටවැනි ප්‍රාකාරය මධ්‍යයේ පවතින්නේ ඵල වැල වලින් පිරුණු කධම්භ වෘක්ෂයක් සහිත උද්‍යානයකි. මෙහි පුෂ්පයන්ගේ පැණි භක්තියන් විසින් පානය කරනවා සේම මෙහි වාසය කරන්නෙ පිනි සෘතුවයි ඔහුගේ බිරින්ඳෑවරු වන්නේ තප ශ්‍රී සහ තපස්‍ය ශ්‍රී යන දේවීන්ය. ඒ වගේම දේවිය වෙනුවෙන් අගණා තෑගි නිර්මාණය කරන බැතිමතුන්ද මෙහි වාසය කරයි.

මෙම ප්‍රාකාරයට පසුව තිබෙන්නේ පුෂ්පරාග මාණික්‍යන්ගෙන් නිර්මිත නමවන ප්‍රාකාරයයි. ඒ තුළ විවිධ මාණික්‍යන් සහ දියමන්ති වලින් තැනු බොහෝ ප්‍රාකාර තිබෙන අතර නගරයේ මධ්‍යට විට එවායේ දීප්තියද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. මේ එක් එක් ප්‍රාකාර තුළ විවිධ අංගනයන් තුළ සෑම විශ්වයකම සිටින ආරක්ෂකයන්ගේ මූල ස්වරූපය වාසය කරයි. නැගෙනහිරින් පිහිටි ප්‍රදේශයේ පිහිටා ඇත්තේ සුරයන්ගේ නරපති වන ඉන්ද්‍ර දෙවිඳුන් සහ ඉන්ද්‍රානි දේවියගේ මනරම් අමරාවතී පුරයයි. සෑම විශ්වයකම සිටින ඉන්ද්‍ර දෙවිවරුන්ට වඩා ආලෝකයක් තේජසක් මෙම ඉන්ද්‍ර දෙවිඳුන්ට තිබේ. ගිනිකොණ ප්‍රදේශයේ තිබෙන්නේ අග්නි නගරයයි. මෙහි වාසය කරන්නේ සෑම විශ්වයකම සිටින අග්නි දෙවිවරුන්ගේ මූල තත්වයයි. එතුමා එතුමාගේ බිරින්දෑවරු වන ස්වාභා සහ ස්වදා සමගින් වාසය කරයි. දකුණු ප්‍රදේශයේ යම දෙවියනුත්, නිරිතදිගින් රාක්ශ නගරයත්, බටහිර දෙසින් වරුණ නගරයත්, වයඹ දෙසින් වායු නගරයත්, උතුරෙන් කුබෙර ප්‍රමුඛ යක්ඛයන්ගේ නගරයත් පිහිටා තිබේ. ගිණිකොණ දෙසින් පිහිටන්නේ රුද්‍ර ලෝකයයි. මෙහි රුද්‍ර දෙවියන් ප්‍රමුඛ එකාදශ රුද්‍රයන් මෙහි වාසය කරනු ලබයි. ඔවුන් ඉතා වියරුවෙන් සිටින අතර එය පිළිබිඹු වන්නේ මුඛයෙන් නිකුත් වන අග්නියෙනි. ඊසානදිගින් බද්‍රකාලි දේවිය සහ වීරබද්‍ර ඇතුළු කෝටියක් වූ රුද්‍රානීන් වාසය කරනු ලබයි. බද්‍රකාලි සහ වීරබද්‍ර දෙවියන්ගේ ශරීරය කාල වර්ණ වන අතර එතුමාගේ හස්තයන්හී ත්‍රිශුලයක් සහ උඩැක්කියක්ද, ගෙලෙහි නාගයෙකු මෙන්ම ශරීරය සත්ව සමකින් ආවරණය කරගෙන සිටී.

පුෂ්පරාග මාණික්‍යන්ගෙන් නිර්මිත එම ප්‍රාකාරයට පසුව පද්මරාග රත්නයන්ගෙන් නිර්මිත දසවන ප්‍රාකාරය පවති. එහි වාසය කරන්නේ සිව්සැට කාලාවන් වන අතර ඒ සෑම කලාවක් සඳහාම වෙන වෙනම ලෝක බැගින් තිබේ. ඔවුන් සෑම දෙනෙක්ගේම මුහුණු ඉතාමත් බියකරුය. සෑම කලාවකටම සහස්‍ර දහසක සෙනාව බැගින් සිටී. එම කලාවන් වන්නේ පිංගලාක්ශී, විශාලක්ශී, සමෘද්ධි, වෘද්ධි, ශ්‍රද්ධා, ස්වාහා, ස්වධා, මායා, ස්මඥා, වසුන්ධරා, ත්‍රීලොකධාත්‍රී, සාවිත්‍රී, ගායත්‍රී, ත්‍රිදශෙශ්වරී, සුරූපා, බහුරූපා, ස්කන්ධමාතා, අච්යුතප්‍රියා, විමලා, අමලා, අරුණී, ආරුණී, ප්‍රකෘති, විකෘති, ස්‍රිෂ්ටි, ස්ථිති, ස්මහෘති, සන්ධ්‍යා, මාතා, සතී, හම්සී, මර්දිකා, වජ්රිකා, පරා, දේවමාතා, භගවතී, දේවකී, කමලාසනා, ත්‍රිමුඛී, සප්තමුඛී, සුරාසුරවිමර්ධිනී, ලම්බොස්තී, ඌර්ධ්වකේශී, බහුශීර්ෂා, වෘකොදරී, රතරෙඛාවයා, ශෂිරෙකා, ගගණවෙගා, පවනවෙගා, භුවනපාලා, මදනාතුරා, අනංගා, අනංගමතනා, අනංගමෙඛලා, අනංගකුසුමා, විශ්වරූපා, සුරාදිකා, ක්සයංකරී, අක්ශෝභ්‍යා, සත්‍යවාදිනී, බහුරූපා, ශුචිව්‍රතා, උදාරා සහ වාගීසී යන දේවීන්ය. ඉන්පසු තිබෙන්නේ ගෝමේධ මාණික්‍යන්ගෙන් නිර්මිත එකලොස්වන ප්‍රාකාරයයි. මෙහි වාසය කරනු ලබන්නේ විවිධ අස්ත්‍ර ශස්ත්‍ර දරා සිටින දෙවඟනගේ දෙතිස් මහා ශක්තීන් වන විද්‍යා , හ්‍රී, පුෂ්ඨි, ප්‍රඥා, සිනිවාලි, කුහූ, රුද්‍රා, වීර්‍යා, ප්‍රභා, නන්දා, පොශාණි, රිධිදා, ශුභා, කාලරාත්‍රි, මහා රාත්‍රි, බද්‍රකාලි, කපර්ධිනි, විකෘති, ධන්ඩි, මුණ්ඩිනි, සෙන්ධුකන්ධා, ශිකන්ධිණි, නිශුම්භශුම්භමතනී (කෞශිකි), මහිශාසුරමර්ධිනි, ඉන්ද්‍රානි, රුද්‍රානි, ශංඛරාර්ධශාරීරිණී, නාරී, නිරායනී, ත්‍රීශූලිණි, පාලිණි, අම්භිකා සහ හ්ලාධිනි යන දේවීන්ය. ඔවුන් සියල්ලගේම පෙනුම ඉතාමත් භයංකර මෙන්ම ඔවුන් ජිවින්ගේ පාපි ක්‍රියාවන් විනාශ කරන්නීය. සෑම අයෙක්ටම දිගු දිවක් පිහිටා තිබෙන්නේය. එම දේවින් සියල්ලෝටම සමස්ථ විශ්වයන් සියල්ල එකවර විනාශ කිරීමේ හැකියාව ඇත්තාය.

දියමන්තීන්ගෙන් නිර්මිත ප්‍රාකාරය අන් සියලුම ප්‍රාකාරයන්ට වඩා උසින් වැඩිය. එහි සෑම පසෙකින්ම පිවිසුන් දොරටු ඇති අතර දෙවඟන ගේ දසමහාවිද්‍යා ස්වරූපයන් වාසය කරන්නෙ මේ තුලයි. මණිද්වීපයේ මහාරාඥිය වන භුවනේශ්වරි/ත්‍රිපුරසුන්දරී දේවිය තම සේවිකාවන් සමඟ විරාජමානව සිටින්නේ මෙහි මධ්‍යයේය. ඒ සෑම සේවිකාවක්ම ස්වරූපයෙන්ද, විවිධ වූ කලාවන්ගේද අග තැන්පත් වන්නෝය. දේවියගේ ආශිර්වාදය හේතුවෙන් ඔවුන් සියල්ලොම සදා තරුණ වියේම පසුවන්නෝය. එම අෂ්ට ශක්තීන් වන්නේ අනංගරූපා, අනංගමදනා, මදනාතුරා, භුවනවේගා, භුවනපාළිකා, සර්වශිෂිර,අනංගවෙදනා සහ අනංගමෙඛලා මෙයින් පසු තිබෙන්නේ වෛඩූර්‍ය මාණිකයෙන් සැඳුනු දහතුන්වන ප්‍රාකාරය තිබෙන අතර එය යෝජනා දහයක උසකින් යුක්තය. ඒවා තුළ වෛඩූර්‍ය මෑණික් වලින් සෑඳුනු නිවාස සහ මාර්ගද, අෂ්ට කෝණයන් තුළ සෑම විශ්වයක් තුළ සිටින සමස්ථ අශ්ඨ මාත්‍රිකා දේවින් ගේ සමස්ථය වෙන වෙනම වාසය කරනු ලබයි. මේ ප්‍රාකාරයේ පිවිසුම් දොරටු සතරේ දේවියගේ විවිධ වාහනද නවතා තිබේ. එක පෙදෙසක හස්ථීන් කෝටියක්ද, තවත් පෙදෙසක අශ්වයන් කෝටියක්ද, සිංහයන්, හංසයන්, ගුරුලන්, ගවයන් ආදියද සිටී. ඒ සමඟම අහස් යානාද, රථයන්ද අනේක ප්‍රමාණයක් නවතා තිබේ.

ඉන්පසුව තිබෙන්නේ ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් නිර්මාණය වුණු දහහතරවන ප්‍රාකාරයයි. ඒ තුළ ඉන්ද්‍රනීල මාණික්‍යන්ගෙන් නිර්මිත නිවාස සහ මාර්ග තිබේ. එමෙන්ම එහි ඉතා විශාල පද්මයක් මධ්‍යයේ සර්වබලධාරී දෙවඟනගේ ශක්තින් 16 වාසය කරයි. එනම්, කරාලි, විකරාලි, උමා, සරස්වති, ශ්‍රී දුර්ගා, ඌශා, ලක්ශ්මි, ශෘතී, ස්මෘති, දෘති, ශ්‍රද්ධා, මේධා, මතී, කාන්ති සහ ආර්‍ය ලෙසයි. මේ සියල්ල අන් කිසිවක් දේවියගේම විවිධ විවිධ ශක්ති ප්‍රභේදයන්ය. ඉන්පසුව තිබෙන්නේ මුතු වලින් නිර්මාණය වුනු පහළොස්වන ප්‍රාකාරයයි. ඒ තුල සිටින්නෙ දේවියගේ අශ්ඨ ශක්තින් වන අනංගකුසුමා, අනංගකුසුමාතුරා, අනංගමධනා, අනංගමධමාතුරා, භුවනපාලා, ගගණවෙගා, ශෂිකේහා සහ ගගණරෙඛා යන දේවීන්ය. මේ සියලු ශක්තීන් ඉතාමත් ඥාණාන්විත මෙන්ම සමස්ථ විශ්වයක් තුළ සිදුවන සියලු දෑ පිළිබඳව හොඳින් දැනුවත්. ඔවුන් විසින් මහා දේවියට සෑම විශ්වයක් තුල සිදුවන සෑම ක්‍රියාවක්ම නිරන්තරයෙන් වාර්තා කරනු ලබයි.

ඊලඟට මරකත මාණික්‍යන්ගෙන් නිමවුනු දහසයවෙනි ප්‍රාකාරය පිහිටා තිබේ. එහි ඇතුලත තිබෙන නිවාස, මාර්ග සහ ප්‍රාකාර සියල්ලද මරකත මාණික්‍යන් ගෙන්ම නිර්මිතය. මෙහි මධ්‍යයේ ඉතා විශාල කොන් සයක් සහිත යන්ත්‍ර ආකෘතියක් ඇති අතර එහි නැගෙනහිර කෝණයේ චතුර්වේදය ඇතුලු සියලු පුරාණ සමඟ බ්‍රහ්ම දෙවිඳුන් සහ සියලු අවතාර සමඟ ගායත්‍රී දේවිය වාසය කරයි. නිරිත දිග කෝණයේ සිටින්නෙ සරස්වතී දේවිය සමඟින් මහා විෂ්ණු දෙවිඳුන් සහ එතුමාගේ දස අවතාරයි. වයඹ දිශාවේ සිටින්නෙ ශිව දෙවියන් සහ පාර්වතී දේවියගේ ස්වරූපයි. ගිනිකොණ දිශාවේ වාසය කරන්නේ කුවේර සහ මහාලක්ෂ්මී දේවියයි. බටහරි දිශාවේ වාසය කරන්නේ කාම දෙවියන් සහ රතී දෙවඟනයි. මහාගණපති දෙවිඳුන් සහ එතුමාගේ ශක්තිය වන පුෂ්ඨි දෙවඟන වාසය කරන්නේ ඊශාණ දිශාවේය. මෙහි පෙන්නුම් කරන්නේ සෑම විශ්වයකම සිටින සියලුම ප්‍රධාන දෙවියන්ගේ සමස්ථයයි. සමස්ථයක් ලෙස ගත්විට දෙවඟනගේ ස්වරූප කෝටි 7ක් පමණ මෙහි වෙන් වෙන් වශයෙන් වාසය කරනු ලබයි.

යෝජනා සියයක් පමණ විශාල රතු කැට මාණික්‍යන්ගෙන් නිර්මිත දහහත්වන ප්‍රාකාරය තුළ සිටින්නේ හෘල්ලෙකා, ගගණා, රක්තා, කරාලිකා සහ මහොච්චුස්මා යන පංචමහා භූතයන්ට අධිපතී දේවින්ය. ඔවුන් සියල්ලෝම භුවනේශ්වරී දේවිය මෙන් තම අත් සතරෙහි පාශයක්, අංකුශයක්, වරද සහ අභය මුද්‍රාවන් දරා සිටින්නීය. එමෙන්ම මේ තුළ දේවියගේ සමස්ථ දසමහාවිද්‍යා ස්වරූපද, භුවනේශ්ව්රී දේවියගේ අවතාරද වාසය කරනු ලබයි.

මහාකාලි දේවියගේ ආසනය[සංස්කරණය]

නවරත්නයන්ගෙන් නිර්මිත දහඅටවන ප්‍රාකාරය තුළ බහිරවයන් විසින් ආරක්ෂා කරනු ලබන ඉතා විශාල කුළුනු දහස් ගණනකින් යුත් විශාල මැදුරක් මෙහි තිබෙන අතර එහි මධ්‍යයේ සූසැට යෝගිනියන් පිරිවරමින් ඉතා දිව්‍යමය කේසරයන් දහසකින් යුක්ත සිංහාසනයක විරාජමානව සිටින්නේ විශ්වයේ ආදි මහාවිද්‍යාව වන ශ්‍රී මහාකාලි දේවියයි. ඇයගේ වාහනය ලෙස ශිව දෙවියන්ගේ අප්‍රාණික සිරුර බිම වැතිරී සිටින අතර දේවියගේ ස්වාමියා වන ශ්‍රී මහාකාල ඇයගේ දකුණු පසින් විරාජමානව සිටී. ඔවුන් දෙදෙනාගේ ස්වරූපය රෞද්‍ර සේම අඳුරු පැහැතිය.

චින්තාමණී ගෘහය[සංස්කරණය]

දේවි ලෝකයේ බින්දු ස්ථානය හෙවත් සර්වබලධාරී දෙවඟනගේ ස්ථානය වන්නේ ශ්‍රී දේවිය වාසය කරන චින්තාමණි රත්නයන්ගෙන් නිර්මිත මන්දිරයයි. මෙහි එක්දහස් එකසියක් පමණ අලංකාර ස්ථම්භයන් දක්නට ලැබන අතර ඇතැම් ඒවා සූර්‍යකාන්ත මාණික්‍යන්ගෙන්ද, චන්ද්‍රකාන්ත මාණික්‍යන්ද, ඇතැම් ස්ථම්භ විද්යුත්කාන්ත රත්නයන්ගෙන්ද නිර්මිතය. මෙය මූල ප්‍රකෘති ශ්‍රී දේවියගේ රාජ මන්දිරය වන අතර සියලු ස්ථානයන්ගේ සර්ව උත්තරීතර ස්ථානය වන මෝක්ෂයේ ස්ථානයයි. මෙම මන්දිරය තුළ ප්‍රධානව ශෘංගාර මණ්ඩපය, මුක්ති මණ්ඩපය, ඥාන මණ්ඩපය සහ ඒකාන්ත මණ්ඩපය ලෙසින් ස්ථම්භ දහස බැගින් යුක්ත මණ්ඩප සතරක් තිබේ. ඒ එක් එක් මණ්ඩපයන්හී ආලෝකය සූර්‍යන් කෝටියකගේ රශ්මිය හා සමානය. මෙම මණ්ඩප සතරෙහි හාත්පසින් පිච්ච මල් වලින් සුවදවත් වන අලංකාර උද්‍යාන සහ එවා තුළ පද්මයන්ගෙන් පිරි විල් ඇති අතර බඹරුන් ගුමු ගුමු නාදයෙන් හාත්පසර පියාසර කරන්නේය. ශෘංගාර මණ්ඩපය තුළ ශ්‍රී දේවිය තම ආසනයේ විරාජමානව සිටිමින් දෙවි දේවතාවුන් විසින් ගායනා කරන ස්තෝත්‍ර ගායනාවන්ට සවන් දෙමින් සිටි. ඒ අතරම මුක්ති මණ්ඩපයේ සිටිමින් ජිවින්ව භව සාගරයෙන් එතෙර කිරිමට මුක්තිය ප්‍රධානය කරයි. ඒ මොහොතේම ඥාන මණ්ඩපය තුළදී බ්‍රහ්මයන්, මුණිවරුන් හට ඥානය ප්‍රධානය කරන අතර ඒකාන්ත මණ්ඪපය තුළ හිදිමින් ඇය තම සෙනාපතිවරුන් සමඟ නිමන්ත්‍රණයේ යෙදෙමින් සිටින්නීය.

මෙහි උච්චතම ස්ථානයේ පිහිටියේ දේවියගේ ප්‍රධානම සභාවයි. මෙය චින්තාමණි ගෘහ යනුවෙන් හඳුන්වන අතර මෑණියන්ගේ සර්ව උත්තරීතර සිංහාසනය පිහිටන්නෙ මෙහිය. බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර සහ ඊශ්වර යන පාද සතරෙන් යුක්ත මතුපිට සදා ශිව වූ ශිවාකර ආසනයක මහා භුවනේශ්වරී දේවිය විරාජමානව සිටින්නීය. එතුමියගේ දකුණු පසින් විශ්වයේ ගෘහපති වන භුවනේශ්වර මහාදේව විරාජමානව සිටී. නිර්මාණය අවස්ථාවේදි මෑණියන් තම ශරීරයේ දකුණු පාර්ශවයෙන් මහාදේව ප්‍රකට කෙරු අතර එතුමා හිස් පහකින් යුක්ත වේ. එතුමාගේ වම් උකුලේ දෙවඟන වැඩ සිටී. එතුමියගේ සේවිකාවන් වන්නේ ජයා, විජයා, අජිතා, අපරාජිතා, නිත්‍යා විලාසිණි, ධොග්ද්‍රී, අඝෝරා සහ මංගලා යන දේවීන්ය. ඔවුන් සියල්ල නිරතුරුවම මහාදේවිය උදෙසා ගීතිකා ගායනා කරමින් සිටින්නීය. දේවියගේ වම් පස ඇති වස්තු සම්භාරය ගංගාවක් බවට පරිවර්තනය වී සුධ සමුද්‍රයට එකතු වේ.

අනෙකුත්[සංස්කරණය]

ත්‍රිපුරා රහස්‍ය, ඥාන ඛණ්ඩය තුළ ත්‍රිපුර සුන්දරී දේවිය පවසන්නේ ඇයගේ බෞතික ස්වරූපයේ වාසස්ථානය මණිද්වීපය බවයි.[5]

විශ්වයෙන් එතෙර වූ, අමෘත සාගරයෙන් වට වූ මණිද්වීපයෙහි,කදම්බ (බක් මී) වෘක්ෂයන්ගෙන් වටවූ චින්තාමණී (වරයන් ලබාදෙන මාණික්‍ය) නම් ප්‍රාසාදයක් ඇත. එහි බ්‍රහ්මා, විෂ්ණු, මහේෂ සහ ඊශ්වර නියෝජනය කරන පාද හතරක් සහිත වේදිකාවක් ඇති අතර, වේදිකාවෙ පෘෂ්ඨය සදාශිව නියෝජනය වේ. එය මත, සදාකාලික විඤ්ඤාණයේ ස්වරූපයෙන් ත්‍රිපුරා ලෙස මාගේ ලෝකෝත්තර නොවන ස්වරූපය ස්ථාපනය කර ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Mani Dvipa the Abode of Devi Bhagavati".
  2. "Essence of Devi Bhagavatha Purana Mani Dvipa the Abode".
  3. Pushpendra Kumar. Mahabhagavata purana.
  4. "Devi Loka – Material World of Birth and Death".
  5. A. U., Vasavada (2014). Tripura-Rahasya (Jnankhanda) (English බසින්) (2014 ed.). Chowkhamba Sanskrit Series Office. p. 135. ISBN 8170804167.{{cite book}}: CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=මණිද්වීපය&oldid=508820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි