දුටුගැමුණු රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
දුටුගැමුණු රජ
මහ රජ
Anuradhapura17.jpg
ශ්‍රී ලංකාවෙහි, අනුරාධපුරයෙහි, රුවන්වැලිසෑය ස්ථූපය අසල පිහිටුවා ඇති දුටුගැමුණු ප්‍රතිමාව
රාජ්‍ය සමයක්‍රිපූ 161 - ක්‍රිපූ 137
අභිෂේකයක්‍රිපූ 161
පූර්වප්‍රාප්තිකයාඑළාර
අනුප්‍රාප්තිකයාසද්ධාතිස්සo
වල්ලභයාරන්මැණිකා බිසව
වංශයඅනුරාධපුර
පියාකාවන්තිස්ස රජ
මවශර්වරී (විහාර )දේවි

දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජෙකි. දුට්ඨගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද හැඳින්වේ. ක්‍රි.පූ 161 සිට ක්‍රි:පූ 137 දක්වා කාලය තුල ලංකාව පාලනය කළ මෙතුමා රජරට පාලකයාව සිටි ආක්‍රමණික එළාර රජ පරදා චෝළ අධිරාජ්‍යයෙන් ලාංකීය ජනතාව රැක ගත්හ.

ඉතිහාසය[සංස්කරණය]

ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට ආක්‍රමණික නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහු‍ගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබු‍වේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. දුටුගැමුණු ලෙස පසු කලෙක හදුන්වන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින් පසු ඔහු "ධර්මගාමිණී" ලෙසද හඳුන්වන ලදි.[තහවුරු කරන්න] මහාවංශයට අනුව දුටුගැමුණු රජු සිය යුද්ධ මෙහෙයුම දියත් කරනු ලැබුවේ “මාගේ වෑයම රජ සැප විදීම සඳහා නොව, බුද්ධාගමේ චිරස්ථිතිය සඳහාය“ යනුවෙන් පවසමිනි.

රජ පවුලේ තොරතුරු[සංස්කරණය]

මහාවංශය තුල දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය සඳහා පරිච්ජේද 11 වැයකොට ඇත. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත එන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ කැළණිතිස්ස රජ දියණිය වූවිහාරමහා දේවිය ඔහු‍ගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නංවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු ගාමිණී අභය ලෙසද දෙවැනි තිස්ස ලෙසද නම් කෙරිණ

දුටුගැමුණු රාජකීය ධජය

අභ්‍යන්තර යුද්ධය සහ මුල් කාලයේ පාලනය[සංස්කරණය]

වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ.

කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු - කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුනුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.

රජරට ආක්‍රමණය[සංස්කරණය]

තමාගේ ආරක්ෂාව තහවුරු කර ගැනී මෙන්පසු දුටුගැමුණු උතුර ආක්‍රමණය කිරීමට සැළසුම් කළේය. මෙයට රජරට පමණක් නොව අර්ධ ස්වාධීන පාලන සංස්ථාවන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් විය. ඒ හැරුණු විට සංඝයා වහන්සේලා පිරිසක්ද ආශිර්වාදය පතා භාවනාව බලාපොරොත්තුවෙන් සර්වඥ ධාතු අඩංගු කොතයක්ද ගෙන යන ලදී. මේ සියල්ල හැරුණු විට ඔහුගේ පියා විසින් දිවයිනේ විවිධ පෙදෙස් වලින් කැදවා පුහුණු කල නන්දි මිත්‍ර, සුරනිමල, මහාසේන, ථෙරපුත්තාභය, ගෝඨාභය, භරණ, වසභ, වේළුසුමන සහ පුස්ස දේව නම් වු දස මහා යෝධයින්ද එක්වූහ. මෙම යුද්ධ ව්‍යාපාරයේදී දුටුගැමුණු විසින් දෙමළ පාලකයින් බොහෝ සංඛ්‍යාවක් පරාජය කරනු ලැබුහ. (මහා වංශය අනුව 32 ක් තරම් සංඛ්‍යාවක් ) විජිත නගරය හාර මසක් මුලුල්ලේ වට කිරීමෙන් පසු ආරක්ෂාව සදහා දෙමළ සේනාවෝ උණු දිය හා තාර දුටුගැමුණුගේ ඇතුන්පිට වත් කළහ. මෙම කාලයේදී ඔහු ගැමි ප්‍රධානියෙකුගේ දියණියකු වු රන් එතනා විවාහ කර ගත්තේය. මෙම ගැමි ප්‍රධානියා ඒ වන විට අනුරාධපුරයේ එළාරට තුටු පඩුරු යවමින් සිටි කෙනෙක්. රජුගේ උපාය ශිලි බවත් කණ්ඩුලගේ නිර්භීත භාවයත් යුද්ධයේ ජයග්‍රහණයට ඉවහල් විය. යුද්ධය උච්චස්ථානයට පැමිණියේ අනුරාධපුරයේ නැගෙන හිර දොරටුවේදීය. එහිදි කණ්ඩුල ඇතු අරා සිටි දුටුගැමුණු මහාපබ්බත නම් ඇතු අරා සිටි මහළු එළාර සමග සටන් කොට අවසා‍නයේ හෙල්ලකින් ඇන එළාර ජිවිතක්ෂයට පත් කළේය. මෙම සටන ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීම් වලින් එකකි.

අනුරාධපුරයේදී ලත් දුටු ගැමුණුගේ ජයග්‍රහණය පෙර නොවු විරූ තත්ත්වයකට පත්වුයේ සම්පුර්ණයෙන් වාගේ ශ්‍රී ලංකාවේ පාලනය ඔහුට නතු වීම නිසයි. එසේ වුවත් එපමණකින් ඔහුගේ දුෂ්කර තත්වය නිම නොවිනි. ඔහු පරාජයට පත් කල එළාර චෝල අධිරාජ්‍යයෙන් පැමිණි රජ කෙනෙකු වුවත් ඔහු ඉතා යුක්ති ගරුක ධාර්මික රජේකු ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබිණ. දුටු ගැමුණු වෙනත් අයට වඩා වෙනස් මගක් ගෙන මියගිය එළාර රජුට පුජනීයත්වයක් දෙනු පිණිස එළාරගේ දේහය ආදාහනය කර සොහොන් ගෙයක් තනවා එම සොහොනට ගරු කළ යුතු බවට නියෝග පැනවීය. තවදුරටත් කියතොත් ඔහුගේ කීරිතිමත් ජයග්‍රහණය ගැන මෙනෙහි කරද්දි ඔහුට සතුටක් නොදැනුනේ ලක්ෂ ගාණක් ජීවිත විනාශ වු හෙයිනි. මෙය සනාථ වන්නේ වංශ කථා වලට අනුව (68 සහ 69 අතර) ඔහු විසින් කළා ගේ සැළකෙන ස්ථුප, විහාර ආරාම, පුජනීය ස්ථාන ඇතුලු අප්‍රමාණ වු ආගමික ගොඩනැගිලි ගැන කල්පනා කරන විටය.

පාලනය සහ ඉදිකිරීම් වැඩ[සංස්කරණය]

දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදය ද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුන ද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.

ලක්දිව දුටුගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය තුළ අරාබිය, පර්සියාව සහ සමහර බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යය ද ඇතුළත් වූයේ යැයි කිව හැක.

තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටුගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අද ද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටුගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.

මහාවංශයේ සඳහන් වන ප්‍රථම ගොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමඟ දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.

දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමට ද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.

සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින් ද හැදින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන්පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදී ය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටුගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ අසිරිමත් පෙළහර මැද ධාතුන් වහන්සේලා තැන්පත් කරන අයුරු ද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි මහරහතන් වහන්සේලා ද ඉන්දු - ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ මහරහන්වහන්සේලා ඇතුළු ලක්ෂ ගණනින් ගිහි පැවිදි සැදැහැවත් පිරිස් පැමිණි බව මහාවංශයේ සඳහන් වේ.

තවත් සැළකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්ථූපයක් තැනීම ද සඳහන් වේ.

අනර්ඝ නිර්මාණ දායකත්වය[සංස්කරණය]

අනුරාධපුරය අලංකාර මෙන්ම ඵෙතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරී‍‍මට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුනු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පළවෙනි නිර්මාණය වන මිරිසවැටිය ‍ඉතා වැදගත්ය. ලෝවාමහාපාය නම් වූභික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුනු ලැගුම්ගෙය ද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. තවද මෙතුමා ඉදිකළ රුවන්වැලිසෑය අග්‍රගන්‍ය නිර්මාණයකි. අනුරාධපුර නගරයෙ‍‍හි ‍ පිහිටි පූජනීය දාගැබකි, රුවන්වැලිසෑය දාගැබ . ජනතා වන්දනා මානයට‍ ලක්වන මෙම පුජනීය ‍ස්ථූප , ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය අතින් පළමු ස්ථානයට‍ පත්ව ඇත.දුටුගැමුණු රජතුමා නිර්මාණය කළ මෙම අනර්ඝ දාගැබ මහාථුප, ස්වර්ණමාලි ‍දාගැබ සහ රත්නමාලි මහ දාගැබ යන නම් වලින් ද ‍හැදින්වෙයි. රුවන්වැලිසෑ ‍දාගැබ බුද්ධ පාදස්පර්ශයෙන් නැහැවුන සොලොස්මස්ථාන වලින් එකක් වන අතර අනුරාධපුර පුජනීය නගරයට අයත් අටමස්ථාන‍ වලින් ද එකකි. රුවන්වැලි ස්ථූපය උසම දාගැබ් වලින් එකක් වන අතර 20 වන සියවසේ ප්‍රතිසංස්කරණයෙන් පසුව උසින් අඩි 338 ක් වේ. වට ප්‍රමාණය (මුල් පේසාවේ) අඩි 942 ක් වෙයි. වට ප්‍රමාණය (ගර්භයේ මුල)අඩි 807 කි.

රුවන්වැලිසෑයේ විවිධ අංගයන් වල උස,පළල,දිග ආදිය මෙසෙයි.(20 වන සියවසේ ප්‍රතිසංස්කරණයෙන් පසුව)

(මිනුම් ඒකකය - අඩි)

පාදම - 01 එක් පේසා වළල්ලක් - 04 තුන් මහල් පේසාව - 12 ගර්භය - 150 හතරැස් කොටුව - 37 පැත්තක දිග -72 දේවතා කොටුව (කොටස් දෙකකින් යුක්තයි) - 26 කොත් කැරැල්ල (වළලු 44 ක් කැටයම් කර ඇත.) - 87 කොත - 24 චූඩා මාණික්‍යය - 1 සලපතල මළුව (දිග) - 472 ගජන් මළුව (වැලි මළුව) - 676 පළල - 662 ඇත් පවුරේ ඇති ඇතුන් ගණන - 338


රුවන්වැලිසෑය ගොඩනැගීම[සංස්කරණය]

රුවන්වැලිසෑය


මේ පිළිබඳව දේවානම්පියතිස්ස රජතුමා විසින් වෙසක් දිනයක ලියන ලද ශිලා ලේඛනයකට අනුව දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑය දාගැබ නිර්මාණය කරන ලදි.

  1. පළමුව භූමිය මනින ලදි.
  2. රියන් 7ක් බිම හාරන ලදි.
  3. ගල් අඩිතාලමක් යොදන ලදි.
  4. මිටියෙන් තලා ගල් කඩන ලදි.
  5. ගල් බිම අතුරා අලින් ලවා පාගවා බිම සකසන ලදි.
  6. හිමාලෙයන් මැටි ගෙන්වා ගොඩනැගීම අරඹන ලදි.

දාගැබ අංග නිර්මාණය ඇරඹුනි. ඉන්දියාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාගේත් ලාංකීය භික්ෂූන් වහන්සේලාගේත් පූර්ණ මගපෙන්වීම ලැබිණි. බුද්ධපරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු රටවල් අටකට පිටත්කර අතර මෙම රටවල දාගැබ් තනවා ධාතු තැන්පත් කරන ලදි. ඉන් ලැබුන ධාතු රුවන්වැලිසෑය දාගැබ තුළ ද තැන්පත් කර ඇත.

රජුගේ මරණය[සංස්කරණය]

මහ‍ ‍‍දාගැබ සාදා නිම කිරීමට පෙරාතුව දුටුගැමුණු රජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.‍ මෙය දන්නා රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරන ලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන් හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනාමානයට පූජා කරන ලදි. අවසානයේදී සද්ධාතිස්ස රජතුමා ද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.

අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමා ද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමා ද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේවිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බව ද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බව ද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන්ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ රංමැණිකා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්‍ගේ උපස්ථායිකාවක් වන බව මාහාවංශයේ ද සදහන් වෙයි‍.

විශිෂ්ටත්වය[සංස්කරණය]

තුන්සිංහලයම ඵක්සේසත් කල පළමු මහා නිරිදාණන් වනුයේ දුටුගැමුණු රජතුමාය. මහා වංශයේ වීරයා ලෙස සිංහල වංශ කථා‍වෙහි මෙතුමා හැදින්වෙයි. විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටු කරන ලදි.

මෙවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැඳුම්[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=දුටුගැමුණු_රජ&oldid=441970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි