ලීලාවතී රැජින

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලීලාවතී රැජින
පොළොන්නරුවේ රැජින
Lilavati - Massa.jpg
ලීලාවතී රැජිනගේ සමයයට අයත් සුලබ තඹ මස්ස කාසියක්
පොළොන්නරු රාජධානියේ වල්ලභ රැජින
රාජ්‍ය සමය 1153-1186
පොළොන්නරු රාජධානියේ රාජ්‍ය කරන රැජින
රාජ්‍ය සමය 1197–1200
1209–1210
1211–1212
පූර්වප්‍රාප්තිකයා චෝඩගංග
අනිකංග මහාදිපාද
ලෝකිස්සර
අනුප්‍රාප්තිකයා සහස්සමල්ල
ලෝකිස්සර
පරාක්‍රම පාණ්ඩ්‍ය

ලීලාවතී රැජිණ (1197-1200, 1209-1210, 1211-1212) ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වාධිපත්‍යය පැතිර වු දෙවැනි කාන්තාව ලෙස ඉතිහාසයේ සඳහන් වේ. ලීලාවති රැජින ප්‍රසිද්ධියට පත් වුයේ පොළොන්නරුවේ රජකළ මහා පරාක්‍රමබාහු රජුගේ මෙහෙසිය ලෙසිනි. රාජකිය උරුමයක් ඇතිව සිටි ඇය පසුව එක ළඟ වු වාර කීපයක ශ්‍රී ලංකාවේ අග රැජිණ ලෙස ලංකාව පාලනය කලාය. ඒ පරාක්‍රයමබාහු රජතුමාගේ මරණයෙන් පසුව සෙන්පතිවරු කිප දෙනෙකුගේ ආධාර ඇතිවයි. ඇගේ ජීවිතය ගැන තොරතුරු සඳහන් ප්‍රධානතම ලේඛනය චූලවංශයයි. විශේෂයෙන් එහි 80 වෙනි පරිච්ඡේදයයි.

උපත හා ළමා කාලය[සංස්කරණය]

ලීලාවතිගේ උපත හා ළමා කාලය ගැන තොරතුරු ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් ඇයගේ තරුණ කාලයේ ලංකාවේ පැවති දේශපාලන තත්වය ඇයගේ ජීවිතයට බලපාන්නට ඇත. පළමු වැනි විජයබාහු (1055-1100) ඔහුගේ පාලනය ආරම්භයේදි බලවත් චෝල අධිරාජ්‍යය ලංකාවෙන් පලවා හැර රජරට රාජධානිය පුනරුත්ථාපනය කළේය. අනුරාධපුරයේ පැවති අගනගරය පුලත්ති නගරයට ගෙන ගියේය. සමගිය ටික කාලයක් පැවතියේ වුවද පළමු වැනි වික්‍රමබාහු රජුගේ පාලන සමයේ (1111-1132) දිවයින රජරට, දක්ඛිණදේශ සහ රුහුණ වශයෙන් වෙන වෙනම කොටස් තුනකට වෙන් විය. කෙසේ වෙතත් දක්ඛිණ දේශයේ උප රජු මානාභරණ, සහ ඔහුගේ සහෝදරයන් වූ රුහුණු රටේ උප රජවරුන් දෙදෙනා වූ සිරි වල්ලභ සහ කිත්තිසිරි මේඝ සමග වික්‍රමබාහු සිහසුන සඳහා අති දරුණු තරඟයක යෙදු‍නේය. තවදුරටත් කියතොත් ඒ සහෝදරයන් තිදෙනාම විජයබාහු රජුගේ සොහොයුරියගේ පුතුන් ය. එමෙන්ම පාණඩ්‍ය රජ පෙළපතටද සම්බන්ධයක් තිබුණු බැවින් සිහසුන සඳහා විශාල උරුමයක්ද තිබුනි.

ලීලාවතී යනු ශ්‍රී වල්ලභගේ සහ සුගලා නම් වූ ඔහුගේ බිරිඳගේ දියණිය බව ප්‍රකටය. ඇයට සහෝදරයෙකු සිටියේය. ඔහුද මානාභරණ නම් විය. ඇයට ඇගේ අනාගත සැමියා මෙන්ම මස්සිනා ද වූ මානාභරණගේ පුත් පරාක්‍රමබාහු ඇගේ තරුණ කාලයේදීම මුණ ගැසුනේය. කිත්තිසිරි මේඝගේ ඇවෑමෙන් පසු ඔහු දක්ඛිණ දේශයේ රජු විය. මානාභරණගේ පවුලේ අය රුහුණේ සිරි වල්ලභ සමග වාසයට පැමිණියහ. ඇය පරාක්‍රමබාහු සමග විවාහ වූයේ කුමන අවස්ථාවකද යන්න ගැන කරුණු හෙළි නොවේ.

ලීලාවතියගේ පවුලේ අය විශේෂයෙන් ඇගේ සහෝදරයා වූ රුහුණේ මානාභරණ (මොහු පරාක්‍රමබාහුගේ සොහොයුරියන් වූ මිත්තා සහ පබාවතී දෙදෙනාම විවාහ කර ගත්තේය) සහ මව් රැජින වූ සුගලා යන අය පරාක්‍රමබාහු සමග තිබුනේ හොඳ සම්බන්ධයක් නොවේ. මානාභරණ පරාක්‍රමබාහු සමග අවස්ථා කීපයකදී සටන් වැදුනේය. මෙවැනි අවස්ථා වල ලීලාවතී කුමන ක්‍රියා මාර්ගයක් ගත්තේදැයි යන්න එළිදරව් නොවේ.

රාජ්‍ය කාලය සහ මරණය[සංස්කරණය]

ඇයගේ බලපරාක්‍රමයෙන් යුත් ස්වාමි පුරුෂයාගේ පාලන කාලය තුළ ලීලාවතී බිසවගේ ක්‍රියාකාරකම් ගැන තොරතුරු අප්‍රකටය. අග මෙහෙසිය වශයෙන් ඇයට රජ මාළිගය තුළ තිබුණේ උසස් තත්වයකි. සිහසුන ඊළඟට උරුම විය යුත්තේ ඇගේ දරුවන්ටය. ඇය රජතුමා සමග සංග්‍රාම චාරිකාවල පවා යෙදෙන්නට ඇත. කෙසේ වෙතත් චූලවංශය ඒ ගැන සඳහන් නොකරන අතර පරාක්‍රමබාහු රජතුමාට දාව ඇයට දරුවන් සිටි බව අනුමාන වශයෙන්වත් සඳහන් කර නැත.

පරාක්‍රමබාහු රජතුමාගේ මරණයෙන් පසු ඇය නැවතත් ඉතිහාස මූලාශ්‍රවල පෙනී සිටින්නීය. කවිකාර රජු ලෙස හැඳින්වෙන දෙවැනි විජයබාහු, ඔහු රජ වී අවුරුද්දකින් පසු කුලින්ග වර්ගයේ මහින්ද නම් එදිරිවාදියෙකු අතින් මරු මුවට පත් විය. කිත්තිනිශ්ශංක විසින් මහින්ද බලයෙන් පහ කළේය. ඔහු කාලිංග කුමාරයෙකි. ඔහු විජයබාහුගේ ප්‍රධාන ඇමතිව සිටියේය. මෙම කිත්තිනිශ්ශංක, නිශ්ශංකමල්ල නමින් "1187" සිට "1196" දක්වා රජ කළේය.

නිශ්ශංක මල්ලගේ අභාවයෙන් පසු ඔහුගේ බාල සොහොයුරු වික්‍රමබාහු රජ විය. මාස කිහිපයකින් පසු ඔහුගේ බෑණා කෙනෙකු වූ චෝඩගංග විසින් ඔහු බලයෙන් පහ කරන ලදී. එවකට බලවත්ව සිටි කිත්ති සෙනෙවියා විසින් චෝඩගංග බලයෙන් පහ කරන ලදී. කිත්ති සෙනෙවියා තමන් රාජ්‍ය බලය ලබා ගන්නවා වෙනුවට ලීලාවතී බිසව රැජිණ ලෙස අභිෂේක කරවූයේය.

ලීලාවතී රැජිණගේ පාලන කාලයේ මුල් වර්ෂ තුන අත් වැරදි නොවුන කාලයක් ලෙස චූලවංශයේ සඳහන්වේ. පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය ලෙසට ලීලාවතී බිසවට සිහසුනට උරුම කම් කියූ අනිත් පුද්ගලයන්ට නොතිබුණු අයිතියක් ඒ සඳහා තිබෙන්නට ඇත. තව දුරටත් කියතොත් කිත්ති හෝ නිශ්ශංක මල්ල පරපුරේ අනික් අයට වඩා ඇයගේ කුලපරම්පරාව ගරු කටයුතු එකක් වන්න‍ට ඇත. ඇයට පුද කරන ලද ගෞරවය ගැන පැහැදිලි වන්නේ, ඔක්කාක වංශයේ කුමාරයෙක් වූ සහස්සමල්ල විසින් '1200 අගොස්තු 23" දින ඇය රජකමෙන් නෙරපීමෙන් පසුවද, ඇය නිරුපද්‍රිතව සිටීමෙනි. අයස්මන්න නම් වූ හමුදා ප්‍රධානියා සහස්මල්ල රජ කමෙන් නෙරපීය. ඔහුද කිත්ති මෙන් රජකම ප්‍රතික්ෂේප කොට නිශ්ශංකමල්ලගේ අග මෙහෙසිය කල්‍යාණිවතීට එය පැවරුවේය. අයස්මන්ත කිත්ති මෙන් නොව කිසියම් සාධාරණ බලයක් තමා වෙත තබා ගත්තේය. කල්‍යාණවතීගෙන් පසු ළමා ධම්මාසෝක රජු බවට පත් වූයේද අයස්මන්තගේ භාරකාරත්වය, සහ පාලනය යටතේය. කෙසේ වුවද "1209" දී අනිකන්ග මහාදීපාද යටතේ පැමිණි චෝල ආක්‍රමණික හමුදාව අයස්මන්ත සහ ධම්මාසෝක මරා දමන ලදී.

මෙයින් දින දාහතරකට පසු ලීලාවතී බිසව නැවත ප්‍රසිද්ධියට පත් වූයේ වික්කන්ත සමුනක්ක නම් හමුදා ප්‍රධානියා විසින් අනිකංග මරා දැමීම හේතුවෙනි. සැලකිය යුතු කාරණයක් වන්නේ චූලවංශය මෙම හමුදා ප්‍රධානියා "දුෂ්ඨයෙකු" ලෙස හැඳින්වීමයි. "දුෂ්ඨයා විසින් අනිකංග නම් රජතුමා මරා දමන ලදී. ඉන් අනතුරුව මීට කලින්ද රජ කළ පරාක්‍රමබාහුගේ අග මෙහෙසිය වූ ලීලාවතී නම් දේවිය අවුරුද්දක් රට කළාය". කලින් මහත් ගෞරවයෙන් සඳහන් කල ලීලාවති රැජිණ නැවත රාජ්‍ය පාලනයට දුෂ්ඨයෙකු හවුල් කර ගැනීම ගැන සඳහන් වන්නේ මක් නිසාද සහ අනිකංග නම් චෝල ආක්‍රමණිකයා ගැන ගෞරවනීය හැඳින්වීමක් කරන්නේ ඇයිද යන්න පැහැදිලි නැත.

අනතුරුව තවත් දකුණු ඉන්දීය සේනාවක් ("විරුද්ධ පැත්තේ වෙරළෙන් මහා දෙමළ හමුදාවක්") පැමිණ 1210 දී ලීලාවතී සිහසුනෙන් පහ කළහ. එහි ප්‍රධානියා ලෝකිස්සර "මුළු ලංකාවම සිය අණසක යටතට ගෙන පුලත්තිනගරයේ සිට මාස නමයක් රට පාලනය කළේය". අනතුරුව හමුදා නායක පරාක්‍රම විසින් ඔහු බලයෙන් පහ කරන ලදී. පරාක්‍රම නම් "මහා බලපරාක්‍රමයෙන් යුත් පුද්ගලයා" ලීලාවතී බිසව නැවතත් 1211 දී රැජිණ ලෙසට සිහසුනෙහි තැබුවේය. මෙම විස්තරය කිරීමේදී රැජිණ චූලවංශ කතුවරුන්ගේ මනාපයට පාත්‍ර වී තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ "ඉර හඳ පවතිනතාක් කල් රාජ වංශය රාජශ්‍රීයෙන් බැබළුනාය" යනුවෙන් සඳහන් කර තිබීමෙනි.

ඇයගේ මෙම අන්තිම රාජ්‍ය පාලන කාලය මාස හතකට සීමා විය. ඇයගේම ලේ නෑයෙකු වූ පරාක්‍රම පාණ්ඩ්‍ය විසින් ඇය බලයෙන් පහ කර රජරට රජු බවට පත් විය. මෙම ආක්‍රමණයට පසු ඓතිහාසික වාර්තාවල ලීලාවතී ගැන කිසිවක් සඳහන් නොවේ. පරාක්‍රම පාණ්ඩ්‍ය ඇය මැරවූ බවක් සඳහන් නොවෙතත් ඔහුගෙන් පසු 1215 දී ආක්‍රමණිකයෙකු ලෙස පැමිණි කෲර දුෂ්ඨ පාලකයෙකු ලෙස හැඳින්වෙන මාඝ විසින් ඒ දේ කරන්නට ඇත.

විශේෂත්‍වය[සංස්කරණය]

මධ්‍යකාලීන සිංහල රාජ්‍ය බලයේ පිරිහීම සහ ඇද වැටීම අතර කාලය ලීලාවතී රැජිණගේ ජීවිතය සහ රාජ්‍ය කාලය හා සමගාමීය. ඇයගේ ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් පසු ගත වූ අවුරුදු විසි හයක කාලය තුළ වෙන් වෙන් වශයෙන් පාලකයින් නම දෙනෙක් වූ අතර දකුණු ඉන්දීය චෝල හා පාණ්ඩ්‍ය ආක්‍රමණ තුනක් ද සිදු විය. ලීලාවතීගේ රජ පරම්පරාව විසින් චෝලයින් පන්නා දමා ස්වදේශික රාජ්‍යයක් බිහි කිරීමෙන් ලබා තිබූ ගෞරවය සහ අභිමානය ඉහත කී ආක්‍රමණ වලින් බිඳ වැටුනේය.

මෙම අවස්ථාවේදී රජරට, රුහුණ සහ දක්ඛිණ දේශයේ ක්‍රියාකාරී සටන් තිබුනේද යන්න ගැන අදහසක් ඇති කර ගැනීමද අසීරුය. විජයබාහුද අයිති සිංහල පාණ්ඩ්‍ය වංශයට ලීලාවතීද, පැහැදිළිවම අයිති වූ අතර, නිශ්ශංකමල්ල, වික්‍රමබාහු, චෝඩගංග, කල්‍යාණවතී රැජිණ සහ ධම්මාශෝක කාලිංග පරපුර නියෝජනය කළහ. කෙසේ වෙතත් තත්වය අවුල් කරන ලද්දේ අනිකංග වැනි ආක්‍රමණිකයින් (වෙනස් මූලාශ්‍රවල දැක්වෙන්නේ අනිකංග ධර්මාශෝකගේ පියා වශයෙනි.) සහ ඔවුනොවුන්ගේ වරිගයා අතරම තිබුණු බෙදීම්ය. (උදාහරණ වශයෙන් දෙවැනි වික්‍රමබාහු සහ චෝඩගංග එකානෙකා සමග සටන් කිරීම දැක්විය හැක.)

ලංකාව එක්සේසත් කොට ස්වදේශික බලය නැවත ගොඩ නැංවූ මහා සිංහල - පාණ්ඩ්‍ය රජ පරම්පරාවේ අන්තිමයා ලෙස ලීලාවතී රැජිණ ඉහළින්ම සඳහන් වේ. පළමුවැනි පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, දෙවැනි විජයබාහු, සහ ලෝකිස්සර ආදී රජවරු සමස්ත ලංකාවම (මෙම කාලය තුළ) පාලනය කළ අය වශයෙන් චූලවංශය පැහැදිළිවම කියයි. එහෙත් කෲර පාලක මාඝ (1215 - 1236) ගෙන් පසු දිවයින කොටස් කීපයකින් යුත් තරඟකාරී රාජ්‍යයන් කීපයකට බෙදී ගියේය.එතැන් සිට 1815 දක්වා ශ්‍රී ලංකාව එකම භූගෝලීය කලාපයකින් යුතු රටක් වශයෙන් පැවතුනේ නැත. අන්තිමට එසේ වූයේ යටත් විජිත පාලකයින් වූ බ්‍රිතාන්‍යයන් යටතේය.

සත්ත්ව විද්‍යාවෙහි[සංස්කරණය]

ශ්‍රී ලංකාවට ආවේණික ටෙට්‍රාබ්ලෙමිඩේ කුලයට අයත් සන්නාහ මකුළුවකු Shearella lilawati ලෙස නම්කෙරිණි.[1]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ෂියරෙල්ලා ලීලාවති ලෙහ්ටිනන්, 1981". වර්ල්ඩ් ස්පයිඩර් කැටලොග්. සම්ප්‍රවේශය 3 මැයි 2016.  Check date values in: |access-date= (help)

බාහිර සබැඳි[සංස්කරණය]

ලීලාවතී රැජින
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
චෝඩගංග
පොළොන්නරුවේ රැජින
1197–1200
අනුප්‍රාප්තික වූයේ
සහස්සමල්ල
පූර්වප්‍රාප්තික වූයේ
අනිකාංග මහාදිපාද
පොළොන්නරුවේ රැජින
1209–1210
අනුප්‍රාප්තික වූයේ
ලෝකිස්සර
පූර්වප්‍රාප්තික වූයේ
ලෝකිස්සර
පොළොන්නරුවේ රැජින
1211–1212
අනුප්‍රාප්තික වූයේ
පරාක්‍රම පාණ්ඩ්‍ය
"https://si.wikipedia.org/w/index.php?title=ලීලාවතී_රැජින&oldid=390999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි