විජය රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
විජය
සිංහලේ රජ (තම්බපන්ණී රාජධානිය)
Consecration Of King Sinhala-Prince Vijaya (Detail From The Ajanta Mural Of Cave No 17).jpg
අජන්තා සිතුවම් වල ඇඳ ඇති විජයගේ ගොඩබැසීම
රාජ්‍ය සමය ක්‍රි.පූ.543 - ක්‍රි.පූ.505
පූර්වප්‍රාප්තිකයා කුවේණි
අනුප්‍රාප්තිකයා උපතිස්ස රජ
වල්ලභයා කුවේණි
දරුවන් ජීවහත්ත, දිසාලා
පියා සිංහබාහු
මව සිංහසීවලී

විජය රජු පාලි වංශකථාවන්හි සඳහන් කර ඇත ආකාරයට සිංහලේ පළමු රජු වේ. ඔහුගේ පාලන කාලය ක්‍රි.පූ. 543 - කි.පූ. 504 යන කාලය අතරතුරදී සිදුවිය.ශ්‍රී ලංකාවේ මහාවංශය ඔහු පිළිබඳව කරුණු සොයාගත හැකි ප්‍රාථමික මුලාශ්‍රයයි. විජයගේ පෙර ජීවිතය පිළිබඳ තොරතුරු සොයාගැනීම මුලාශ්‍ර වල හිඟතාවය නිසා අපහසු කාර්යයක් වී ඇත. එච්. ඩබ්ලිව්. කොඩින්ග්ටන් කියා සිටින්නේ විජය වූ කලි තේරුම් ගැනීමට අපහසු ඉතා සංකීර්ණ චරිතයක් බවයි.

විජය රජු පිළිබඳ සඳහන් මූලාශ්‍රය[සංස්කරණය]

ප්‍රධාන වශයෙන්, සිංහල ජනයාගේ ආරම්භය පැහැදිලි කරන මූලාශ්‍රවල එකිනෙකට වෙනස් විස්තර හතරක් දක්නට ලැබේ. නමුත් එම විස්තර සියල්ලේ ම කුමාරයෙක් සමඟ ලංකාවට පැමිණි පිරිසක් මඟින් සිංහල ජාතිය පැවත ගෙන එන බව දැක්වෙයි. මහාවංශයේ දී හා දීපවංශයේ දී මෙම කුමරු හඳුන්වන්නේ “විජය” නමිනි. එහෙත් ඇතැම් මූලාශ්‍රවල එම කුමරු වෙනත් නම් වලින් ද හඳුන්වයි.

මහාවංශයේ සඳහන් විස්තරය
මහාවංශයට අනුව විජය රජුගේ මිත්තණිය වංග හා කාලිංග වංශික කුමරියකි. ඇය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. අනතුරුව සිංහබාහු විසින් සිංහපුර නව රාජධානියක් පිහිට වනු ලබයි. එම රාජධානියේ යුවරජු බවට පත් වන්නේ විජය කුමරු යි. නමුත් ඔහුගේ වැරදි ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඔහු ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 700 දෙනෙකුට තම මව් රටින් පිටුවහල් වීමට සිදු වෙයි. අනතුරුව ශ්‍රී ලංකාවට ගොඩ බසින විජය ඇතුළු පිරිසට කුවේණි නම් යක්ෂ ගෝත්‍රික කුමරිය මුණ ගැසෙයි. විජය කුමරු විසින් කුවේණිය විවාහ කර ගන්නා අතර ඇගේ සහය ඇති ව ඇගේ ඥාතීන් මරා ලක්දිව රජ වෙයි. විජය රජුට හා කුවේණියට දරුවන් දෙදෙනෙකු ද වෙයි. නමුත් පිළිගත් සම්ප්‍රදායට අනුව විජය රජු ඉන්දියාවෙන් කුමරියක් ගෙන්වා ගෙන විවාහ වන අතර කුවේණිය ට සහ දරු දෙදෙනාට මාලිගාවෙන් පිටවී යාමට සිදු වෙයි. එසේ පිටවී යන අතරතුර කුවේණිය තම ඥාතීන් විසින් මරා දමනු ලබයි. මේ අතර වසර 38 ක් රට පාලනය කරන විජය රජු මිය යන්නේ කිරුළට නිසි උරුමක්කරුවෙකු නො සිටින පසු බිමක ය. විජයගේ මරණයෙන් හිස් වූ සිහසුනට මීළඟට පත් වන්නේ විජය රජුගේ සොහොයුරෙකුගේ පුතු වූ පණ්ඩුවාසුදේව කුමරුයි. විජය ඇතුළු පිරිසෙන් පසුකාලීන ව සිංහල ජාතිය බිහි වුණි.
දීපවංශයේ සඳහන් විස්තරය
දීපවංශයේ විජය රජතුමා පිළිබඳ ව සඳහන් වන විස්තරය මහාවංශයේ විස්තරයට සමාන වනමුත් කුවේණිය හා දකුණු ඉන්දීය කුමාරිය පිළිබඳ ව එහි සඳහන් වන්නේ නැත.
හියුං සියෑං භික්ෂුව ගේ වාර්තාව
හියුං සියෑං හිමියන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ දකුණු ඉන්දියාවෙන් පැමිණි සිංහයෙකු විසින් කුමාරිය පැහැර ගෙන යන බවයි. එහි වංග, කාලිංග හෝ ලාට රට ගැන සඳහනක් නැත. කුමාරිකාව සහ ඇයගේ දරු දෙදෙනා සිංහයාගේ ගුහාවෙන් පලා ගොස් දකුණු ඉන්දියාවේ තමන්ට උරුම රාජධානිය බලා පිටත් වෙයි. පසුව ඇගේ පුතු වන සිංහබාහු විසින් තම පියා ව (සිංහයා ව) ඝාතනය කරනු ලබයි. එම ක්‍රියාවට ඔහුට තෑගි හිමි වන නමුත් පීතෘඝාතන පාපයට දඬුවම් වශයෙන් නැවක දමා පිටුවහල් කරනු ලබයි. ඔහු රත්නදීපයට (ශ්‍රී ලංකාවට) ගොඩ බැස එහි පදිංචි වෙයි. මැණික් ලබා ගැනීමට දිවයිනට පැමිණි නාවික වෙළඳුන්ට කුමාරයා පහර දීමට පටන් ගනියි. පසුව කුමාරයා විසින් ඔවුන්ගේ දරුවන් ව යටත් කර ගෙන දිවයිනේ රඳවා ගනියි. එම දරුවන්ගෙන් සමාජයක් ගොඩ නැඟීමට කුමාරයාට හැකි වෙයි. මෙම වාර්තාවේ දැක්වෙන ආකාරයට සිංහබාහුට දරුවන් සිට ඇති අතර ඔවුන්ගේ මව කවුරුන් දැයි සඳහන් වන්නේ නැත. කුල ක්‍රමයට උපත ලබා දෙමින් සිංහබාහු විසින් සමාජය පන්ති වලට බෙදනු ලබයි. අනතුරුව ඔවුන් යුද්ධ කරමින් තම භූමි ප්‍රදේශය විශාල කර ගන්නා අතර එමගින් සිංහල ජාතිය බිහි වෙයි. මෙම වාර්තාවේ යක්ෂයින් ගැන සඳහන් වන්නේ නැත.

විජයාවතරණය[සංස්කරණය]

සිංහල අට්ටකථා මූලාශ්‍ර කර ගනිමින් ක්‍රි.ව.400 දී මහානාම භික්ෂුන් වහන්සේ ලියන ලද ශ්‍රී ලංකාවේ වංශකතාව මහාවංශය ඉන්දීය ඉතිහාසය සමග හොඳින් සැසදේ.

පෙලපත[සංස්කරණය]

කුවේණි[සංස්කරණය]

විජය ශ්‍රි ලංකා දිවයිනට පැමිණීමෙන් පසු යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. එහෙත් විජයට පහර දුන් ඇය ඔහුගේ පිරිස බිං ගෙයක සිරකර දැමුවාය.

තම පිරිස ආපසු නුදුනහොත් කුවේණිය මරා දමන බවට විජය තර්ජනය කළ විට ඇය ඔවුනට ආහාර හා ඇඳුම් ද සපයා දුන්නාය. ඉන්පසු කුවේනිය අවුරුදු 16 ක පමණ වයසැති තරුණියකගේ අනුරාගී ස්වරූපයක් ගෙන විජය තම වසඟයට ගත්තාය. ඉන් පසු ඇය කියා සිටියේ "මෙම රාජ්‍ය ඔහුට පාවා දෙන බවත් ඉන්පසු අනෙකුත් සියලු යක්ෂයින් මරා දැමිය යුතු බවත්ය" එසේ නොකළ හොත් ඔවුන් අතින් ඇයට මැරුම් කෑමට සිදුවන බව ද කුවේනිය කීවාය. විජය මෙය ඉටු කළේය. ඔහු යක්ෂයන් පරාජය කොට ඔවුන් දිවයිනෙන් පන්නා දැමුවේය. මේ සෑම අවස්ථාවකදිම කුවේනිය විජය පසු පසින් සිටියාය.

කුවේනිය විජය නිසා දරුවන් දෙදෙනකු ලැබුවාය. ඒ දියණියක හා පුතෙකි. පසුව විජයට ඇය ප්‍රතික්ෂේප කිරිමට අවශ්‍ය වී "යන්න දරුවන් දෙදෙනා අතහැර යන්න. මිනිසුන් යකුනට සෑම විටම බිය වෙති" යයි කීවේය. කුවේනිය තමන් පිටමං නොකරන ලෙස ආයාචනා කළ නමුත් පලක් නොවීය. ඇයට අවසානයේ මාළිගයෙන් පිට වීමට සිදු විය. දරුවන් ගෙන නොයන ලෙස කලින් කී නමුදු ඇය දරුවන් තමන්ගේ භාරයට ගත්තාය. ඒ වන විට විනාශ නොවී ඉතිරිව තිබු යකුන්ගේ නගරයකට ඇය ගියාය. එහෙත් එහි සිටි තම නෑදෑයින් අතින් ඇය මරුමුවට පත් වූයේ ඇය විසින් ඔවුන් පවා දුන් හෙයිනි. ඇගේ එක් මාමා කෙනෙකු දරුවන් කෙරේ සෙනෙහස ඇතිව ඔවුන් තම භාරයට ගෙන "ඔබලාද මරා දැමීමට පළමුව පලා යන්නැයි" ඔවුනට කිවේය. ඔවුන් දෙදෙනා මලය රටට පලා ගිය අතර එහි වාසය කිරීම ඇරඹුහ. 'පුලින්ද' නම් ජන වර්ගය ඔවුන්ගේ ඇරඹු‍නි. මීට වෙනස් කථාවක කුවේනිය යක්දෙස්සා ගලින් පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්‍රියාවට ශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේ කිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙම ශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපය නිසා යැයි යන මතය දරන පිරිස් සිටිති.

විජය සහ කුවේණි කතන්දරය අපට සිහිපත් කරන්නේ ඔඩිසිස්-සර්ස් හමුවයි. සර්ස් නැමැත්තියද මන්ත්‍රකාරියක් සේම ඉන්ද්‍රජාලිකාවකි. කුවේනි පිළිබඳ කතාන්දරය ද ප්‍රචන්ඩත්වය මෙන්ම කණගාටුදායක සිදුවීම්වලින් ද යුක්තය. කුවේනිය සහ විජය යන දෙදෙනාම ද්‍රෝහිවූවන් සහ දැඩි සිත් ඇත්තවුන් වශයෙන් විස්තර කෙරී ඇත. කුවේනිය එය තහවුරු කර තිබුණේ තමන්ගේම වර්ගයා පවා දිමෙනි. විජය ඔහුගේ නිර්දය ක්‍රියා කලාපයෙනි. ඇත්තෙන්ම විජය කුවේනිය පිටමං කිරිමට අදහස් ක‍ළේ, උසස් කුල කාන්තාවක් සරණ පාවා ගෙන ඇය අග මෙහෙසිය බවට පත් කර ගැනීමටයි. මෙහි දේශපාලන අරුතක්ද තිබිණ. එනම් රජ පෙළපතක කුමාරිකාවක් සරණ පාවා ගැනීමෙන් ඉන්දියානු උප මහාද්වීපයේ අනෙකුත් රජවරුන් හා සම තත්වයක් හා ඔහුගේම වූ රජයක නියමාකාර හිමිකම ඔහුට ලැබේ යයි විජය සිතුවේය.

අනිත් අතින් ගත් කළ කුවේනියද ලංකාවේ පදිංචිකාරයන් වු රාමායනයෙහි සඳහන් යක්ෂයගෙන්ද, රාවණා පරපුරේ යක්ෂයන්ගෙන්ද පැවත එන තැනැත්තියක ලෙස සැලකුනි. එක් ජනප්‍රිය ජන කථාවක කියවෙන්නේ කුවේණියගේ දරුවන් මලය දේශයට පැන නොගිය බවයි. ඒ වෙනුවට ඔවුන් වනාන්තර ගත වී ඇත. වැද්දන් සම්භවය වී ඇත්තේ ඔවුන්ගෙනි. මෙය කුවේනිය හා ඇගේ පිරිස සම්බන්ධයෙන් කළ කරුණු පැහැදිලි කිරීමක් විය හැකිය. ඉන්දියාවෙන් පැමිණි මුල්ම පදිංචිකරුවන් ලංකාවේ ස්වදේශික ජනයා සමග නිසැක ලෙසම ආශ්‍රයකරන්නටද ආරවුල් කරගන්නටද ඇත. යක්ෂ (යක්බ) ඇතැම් විට දර්ශනය නොවන පිරිසක් ලෙස හැඳින්වේ. එසේ නැතහොත් ලංකාවේ වනාන්තර ගැන නොදන්නා පිරිසට එසේ පෙනි යන්නට ඇත. අද ද වනයේ ගමන් කරන විට ඉතාම නිශ්ශබ්දව හා කිසිදු ලකුණක් ඉතිරි නොවන ආකාරයට ගමන් කිරිමට වැද්දන්ට පුළුවන. විශේෂ කරුණක් වන්නේ මහාවංශය ලිවීමට මුල් කර ගත් දීපවංශයේ කුවේනිය ගැන කිසිදු සඳහනක් නොමැති විමයි.

රාජ්‍ය සමය සහ අභාවය[සංස්කරණය]

මේ අතර විජයගේ අමාත්‍යවරු තම නායකයාට සුදුසු බිරිඳක් සෙවීම ආරම්භ කළහ. ඔවුනට එවැනි කාන්තාවක් හමු වන්නේ පඬු රටෙනි. ඒ දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ පඬි රජුගේ දියණියයි. පඬි රජු තම දියණිය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළා පමණක් නොව "තම දියණියක් ශ්‍රී ලංකාවට යැවීමට කැමැත්තෙන් සිටින අය ඉන්නේ නම් ඔවුන්ගේ දියණියට ඇඳුම් සපයා ඒවා ඔවුන්ගේ දොරකඩ තැබිය යුතුය. එවිට එම සළකුණෙන් අප ඒවා ලබා ගන්නවා ඇත" යනුවෙන් නියෝගයක්ද කළේය. මෙහිදී විජයගේ පිරිසේ සෑම කෙනෙකුටම බිරිඳක් ලැබුණේය. (ඔවුන්ගේ පළමු බිරින්දෑවරු ඔවුන්ගේ මුහුදු ගමනේදී ඔවුන්ගෙන් වෙන් වූහ. පුරාණ කථාවලට අනුව එකී බිරින්දෑවරු මාලදිවයිනට යැවෙන්නට ඇත.

අමාත්‍යවරු ඔවුන්ගේම නමින් තම්බපන්නිය අවට නගර ආරම්භ කිරීමට තරම් නිර්භය වූ බව පෙනේ. උජ්ජෙනි, උරුවෙල, උපතිස්සගම, විජිත සහ අනුරාධගාම යනාදී වශයෙනි. මෙයින් අනුරාධගාම ඉතා හොඳ ආරම්භයක් වූයේය. එය ඉන් පසු අවුරුදු දහසක පමණ කාලයක් රජරට අගනුවර විය.

පඬි රටේ කුමරිය මෙහි ළඟා වූ පසු ඇමතිවරු විශාල උත්සවයක් සංවිධානය කොට විජය අභිෂේක කරවූහ. අභ්‍යන්තර වශයෙන් වෙනස් පුද්ගලයෙකු වීමට විජයගේ විවාහය සහ වයස බලපාන්නට ඇත. ඉන් පසු ගත වූ අවුරුදු තිස් අටක කාලය ඔහු දැහැමිව සහ සාමකාමී පාලනයක් ගෙන ගියේය.

පඬි රටෙන් පැමිණි කාන්තාවන් දකුණු මදුරෙයි නගරය මුල් කොට පැමිණි බව මහාවංශය සඳහන් කරයි. බොහෝ සිංහල විද්වතුන් එම ප්‍රදේශය වර්තමාන තමිල්නාඩුවේ මදුරෙයි ලෙස අර්ථකතනය කරති. උතුරු මධුර යනු උත්තර ප්‍රදේශයේ මථුර නගරයයි. කෙසේ වෙතත් දමිළ ඉතිහාසයේ මදුරෙයි යනුවෙන් සඳහන් වන නගර එකකට වැඩි ගණනක් තිබී ඇත. දෙමළ සාහිත්‍ය තොරතුරුවල සඳහන් වන්නේ සංගම් යුගයේ කාව්‍ය සංග්‍රහවල පිටපත් සංසන්දනය කර බැලීමට විද්වතුන් පිරිස තුන්වරක් රැස් වූ බවයි. මෙයින් අන්තිම එක පවත්වන ලද්දේ මධුරෙයි හිදීය. දෙවැන්න කපටපුරම් නගරයේ පැවැත්විණ. එහෙත් පළමු වැන්න පවත්වන ලද්දේ තෙන් මදුරෙයි නොහොත් සිංහලට පරිවර්තනය කළහොත් දකුණු මදුරෙයිහිදීය. මෙම (තෙන් මදුරෙයි නොහොත්) දකුණු මදුරෙයි නම් ස්ථානය වර්තමාන කොර්කායි අසළ තමිල්නාඩුවේ ගිණිකොන දිග වෙරළේ පිහිටි සැබෑ නගරයක් වූ බව ඉතිහාසඥයෝ විස්තර කරති. එය විජය විසින් ලංකාවේ ගොඩනංවන ලද 'තම්බපණ්නි' නම් ජනාවාසයට ඉතා කිට්ටු ස්ථානයක්ව තිබෙන්නට ඇත. තෙන්මදුරෙයි නම් ස්ථානය මහාවංශයේ දැක්වෙන දක්ඛිණ මධුරා නම් ස්ථානය හා සම කරන්නේනම් පළමු සංගම් පැවැත්වූ තැන මිථ්‍යා ස්ථානයක් නොව සැබෑ ඓතිහාසික නගරයක් ලෙසින් අපට පිළිගැනීමට සාක්ෂි තිබේ.

විජයගේ අභාවය වටා බැඳුණු සිද්ධීන් ගැන බලන විට එම කාලය තුළ රජයේ ස්වභාවය පිළිබඳව ගැඹුරු දර්ශනයක් නැතහොත් අඩු ගණනේ එහි ආදර්ශයක් පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට පිළිවන. කලින් දැක තිබෙන කරුණුවලට අනුව විජයට බිරිඳක් සෙවීමේදී සහ නගර නිර්මාණය කිරීමේ කාර්යයන්හිදී මූලික කරුණු ඉටුකර ඇත්තේ අමාත්‍යවරු විසිනි. ඔවුනට ඒ සඳහා නිදහසක් සහ බලයක් තිබුණු බව පෙනී යයි. මීට සමගාමීව විජය මිය ගිය අවස්ථාවේදී විජය විසින් තෝරන ලද අනුප්‍රාප්තිකයා වූ සුමිත්ත, සිංහපුර සිට පැමිණෙනතෙක් අමාත්‍යවරු උපතිස්ස ගම සිට අවුරුද්දක් පාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. එසේ වුවද සුමිත්ත මෙහි නොපැමිණි අතර ඒ වෙනුවට ඔහුගේ පුතා වූ පඬුවස් දෙව් පැමිණ විජයගේ පරම්පරාව දිගටම පවත්වා ගෙනයාම තහවුරු කරමින් රටේ පාලනය ගෙන ගියේය.

Ancestors[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

විජය රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාම
පූර්වප්‍රාප්තික වූයේ
බම්බා රජ
හෙලදිව යක්‍ෂ ගෝත්‍රික රජ
රජරට රජ
ක්‍රි.පූ.544 BCක්‍රි.පූ. 505
අනුප්‍රාප්තික වූයේ
උපතිස්ස රජ
Regent
"https://si.wikipedia.org/w/index.php?title=විජය_රජ&oldid=413898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි