Jump to content

දාගැබ්

විකිපීඩියා වෙතින්
(ස්ථූප වෙතින් යළි-යොමු කරන ලදි)

දාගැබ හෙවත් ස්ථූප ගොඩනැගුණේ බුදුන් වහන්සේ සිහිකිරීම සඳහාය. බෞද්ධ ස්ථූපයේ ආරම්භය ඈත අතීතයට විහිදී යයි. ‍බෞද්ධයන් ස්ථූපයක් ගොඩනැංවූයේ බුදුන් වහන්සේගේ පූජනීය නෂ්ටාවශේෂ හෝ උන්වහන්සේගේ පවිත්‍ර සලකුණු තැබූ ස්ථාන මුල්කරගෙනය. මෙසේ ගොඩනැංවූ බෞද්ධ ස්ථූපවලට මහත් භක්තියකින් සැලකීමට බෞද්ධයෝ අමතක නොකළහ. ‍මේ තත්වය මැනවින් විද්‍යමානවූයේ ඉන්දියාවේය. ස්ථූප ගොඩනැගීම ආරම්භවූයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීමය. ඒ බව ලංකාවෙන් ලැබෙන තොරතුරුවලින්ද තහවුරු වේ. උන්වහන්සේද චෛත්‍යය අගය කරඇත. " රමණීයං වෝ ආනන්ද චාපාල චේතියං,රමණීයං එරන්දද චේතියං ........." යන බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ උන්වහන්සේ චාපාල,සාරන්දද ආදී චෛත්‍යය ස්ථාන රමණීයත්වයෙන් අගය කළබවය. බුදුන් ජීවමාන කාලයේදී බෞද්ධ ස්ථූප ගොඩනැංවුණු බවට ලංකාවෙන් ලැබෙන සාධක නම්,තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් බුදුන් වහන්සේට විළඳ හා මීපැණි පිළිගැන්වීමෙන් පසුව ලැබුණු කේශධාතු තැන්පත්කර ගිරිහඬුසෑය ඉදිකළබව සඳහන්වීමය. මෙය බුරුම මූලාශ්‍රවලද සඳහන් වේ. එනම් බුරුම ජාතිකයන් විශ්වාස කරන්නේ ඔවුන්ට ලැබුණු කේශධාතු තැන්පත්කර බුරුමයේ ස්වේදගොන් චෛත්‍යය ගොඩනැංවූ බවය. ඒ මගින් පැහැදිලි වන්නේ බුදුන් ජීවමාන කාලයේ බුරුමයේද බෞද්ධ ස්ථූප ගොඩනැංවීම ආරම්භ වූ බවය.මීට අමතරව බුදුන්ගේ ලංකාගමනයේදී මහියංගණයට වැඩමකළ අවස්ථාව සිහිගැන්වීමට සුමන සමන් දෙවියන් විසින් මහියංගණ චෛත්‍යය ඉදිකිරීමද,කැළණියට වැඩමකළ අවස්ථාවේ හිඳගත් මැණික් පුටුව තැන්පත් කිරීමෙන් මණිඅක්ඛිත රජු විසින් ඉදිකරවන ලද කැළණි චෛත්‍යයද බුදුන් වහන්සේ ජීවමාන කාලය හා සම්බන්ධවන චෛත්‍යය වේ.


එමෙන්ම ආනන්ද හිමියන් බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු දේහය පිළිබඳව කෙසේ කටයුතු කළ යුතුද යන්න ඇසූවිට උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමෙන් පසුව හතරමං හංදියක ස්ථූපයක් තනා පුදපූජාදිය පැවැත්විය යුතු බවයි.එයින් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ ජීවමානව නොමැතිවිට ශාසනයේ පැවැත්ම සඳහා තමන් උදෙසා චෛත්‍යයට පුදසත්කාර කිරීම යෝග්‍ය බවයි.උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් එසේ කළ අතර එම චෛත්‍යය වන්දනය අද දක්වාත් ක්‍රියාත්මක වේ.

ඉන්දියාවේ බෞද්ධ චෛත්‍යය වඩාත් ප්‍රචලිත තත්වයට පත්වූයේ අ‍ශෝක අධිරාජ්‍යයාගේ සමයේදීය. රජතුමා අසූහාරදහසක් වෙහෙර විහාර තැනවූ බව ජනප්‍රවාදයෙහි මෙන්ම වංශකථාවලද සඳහන් වේ. ඒ අනුව ලෝකයේ වැඩිම වෙහෙර විහාර සංඛ්‍යාවක් ගොඩකැංවූ පලකයා ලෙස සැලකෙන්නේ අශෝක අධිරාජ්‍යයාය.

බෞද්ධ ස්ථූපයේ ප්‍රභවය

[සංස්කරණය]

බෞද්ධ ස්ථූපය ද මහා පුරුෂ ඇදහීම සම්බන්ධයෙන් ඇති වූ සංකේතයකි. මහා පුරුෂ ගණයට සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අර්හත් ශ්‍රාවක, චක්‍රවර්තී රාජ යන සිව්දෙනා අයත් වේ. චක්‍රවර්තී රජුගේ ද ශරීරය දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත ය. පරිනිර්වාණයෙන් පසු බුදුහු ධර්මකාය ස්වරූපයෙන් සදාකාලික වෙති. බෞද්ධ ස්ථූපය තුළ ඒ බුදුහු ජීවමාන ව වැඩ සිටිති. ස්ථූපය සියලු බුදුවරුන් වැඩ සිටින මණ්ඩලයක් ලෙස තාන්ත්‍රික බෞද්ධයෝ ද සලකති. බුද්ධ වංශයේ බුදුරදුන් ථූපයට සමාන ලෙස සලකා තිබීමෙන් මෙය තවදුරටත් තහවුරු වේ.

මහායාන සම්ප්‍රදායට අනුව සම්භෝගය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසීතානුව්‍යඤ්ජනවලින් සමන්විත ය. ධර්මකායේ සම්භෝග අවස්ථාව ඉන් දැක්වේ. මේ අනුව ධර්මකාය හෙවත් බුදුරදුන් හෝ එය මානවරූප ව සංකේතවත් කෙරෙන සම්භෝගකාය හෝ ධ්‍යානී බුදුවරු තැන්පත් කොට ස්ථූප තැනීම ‍ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කර ස්ථූප තැනීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන ලදී.

ථෙරවාදීහු ‍ඓතිහාසික සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඇතුළු පශ්චිම භවික මානුෂී බෝධිසත්වයන්ට ද මහා පුරුෂත්වය ආරෝපණය කළහ. මෙසේ දෙපක්ෂය ම මහා පුරුෂ සංකල්පය පිළිගෙන ඇති බවත් මහා පුරුෂයන් සිටින ස්මාරකයන් ලෙස හෝ මහා පුරුෂ සංකේතයක් වශයෙන් ස්ථූපය දෙපක්ෂය ම පිළිගෙන ඇති බව අනාවරණය ‍වෙයි. ‍මේ තත්ත්වය අනුව බෞද්ධ ස්ථූප වෛදික මහා පුරුෂ සංකල්පය බැඳි හිරණ්‍ය ස්ථූප ප්‍රභව කොට ඇති බව අග්‍රාවාලගේ මතය නිවැරදි සේ පෙනේ.

බෞද්ධ ස්ථූපයේ ඉතිහාසය

[සංස්කරණය]

බෞද්ධ ස්ථූප ගොඩනැඟීම ආරම්භ වූයේ බුදුන් ජීවමාන ව සිටියදී ම ය. බුදුන් ජීවමාන ව සිටියදී ම පිරිනිවන් පෑ ශාරිපුත්ත, මොග්ගල්ලාන අගසව් දෙනමගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තනන ලදී. ඒ සඳහා උපදෙස් දෙන ලද්දේ බුදු රජාණන් වහන්සේ ය. බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට ප්‍රථම ආනන්ද හිමියන් විමසන ලදුව තමන් වහන්සේ පිරිනිවීමෙන් පසු ව මෘත දේහය සක්විති රජෙකුගේ මෘතදේහයට මෙන් සලකා ආදාහනය කොට සිව් මංසන්ධියක ස්ථූපයක් තනවා ප්‍රදක්ෂිණා කිරී‍මෙන් මල්දම් පැළඳවීමෙන් සුවඳසුණු ගැල්වීමෙන් එය පූජා කරන ලෙස පැවසූ බව මහා වග්ගයෙහි සඳහන් වේ. මෙය ප්‍රාග් බෞද්ධ චක්‍රවර්තී වන්දනාව අනුගමනය කිරීමකි. මේ දෙකෙන් ම මහා පුරුෂ වන්දනාව අදහස් කෙරේ.

සර්වාස්තිවාදි වි‍නයෙහි දැක්වෙන පරිදි අනාථ පිණ්ඩික ද බුදු රජාණන් වහන්සේගෙන් කෙස් හා නිය ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තැනීමට බුදු රජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන ඇත. එම ස්ථූපය බිත්ති රතු, කළු, සුදු වර්ණ ආලේප කිරීමට ද මෛතුන රූප හැර වෙනත් ඕනෑ ම රූපයක් ඇඳීමට ද දොරටුවලට දොරවල් සවි කිරීමට ද දොරටු ඉදිරිපිට ‍වටේට ගරාදි වැට තැනීමට ද විමානවල කුඩා ස්ථූප තැනීමට ද කුළුණු යෙදීමට හා ඒවා පාට කිරීමට ද ඔහු බුදුන්ගෙන් අවසර ලබා ගෙන ඇත.

මහා සාංඝික විනයෙහි එන පරිදි බුදුරදුන් විසින් ම කාශ්‍යප බුදුරදුන් උදෙසා ස්ථූපයක් තනවන ලදී. ගඩොලින් තනන ලද එම ස්ථූපය රන් හා රිදී තහඩුවලින් වසන ලදී. එම ස්තූපය යොදුනක් උස ය. එහි අර්ධ විෂ්කම්භය යොදුන් භාගයකි. ලෝකඩවලින් ගරාදි වැට තනන ලදී. මේ ස්ථූපය තැනීම සඳහා අවුරුදු 7 දින 7 ක් ගත වී ඇත. ස්ථූපයේ හතර පැත්තේ විමාන සිංහ හා ඇත් රෑප ද විය.

කාකි රජු විසින් කරවන ලද ස්ථූපයක් ගැන මහා සාංඝික විනයෙහි සඳහන් වේ. බුදුරදුන් උපන්, බුදු වූ, දම්සක් පැවැත් වූ, පිරිනිවන් පෑ තැන්වල ද චෛත්‍ය තනවනු ලැබී ය.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්ව‍ය ලබා සති හතක් ගිය තැන උන්වහන්සේට පළමු ආහාරය පිදූ තපස්සු හා භල්ලුක යන වෙළඳ සහෝදරයන් දෙදෙනා උන්වහන්සේගෙන් ලබා ගත් කෙස් ශ්‍රී ලංකාවට ගෙනැවිත් නැගෙනහිර වෙරළේ තිරියාය නමින් ප්‍රසිද්ධ ස්ථානයේ ස්ථූපයක් කරවා එහි තැන්පත් කළ බවට සෙල්ලිපියක සඳහන් වේ.

තවද බුදුහු මුලින් ම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සමන්තකූටය වාස භවනය කරගත් මහා සුමන දෙවියෝ බුදුන්ගෙන් ලබාගත් කේශ ධාතු තැන්පත් කර මහියංගන චෛත්‍ය කර වූ බව මහා වංශයේ සඳහන් වේ.

‍‍ගෞතම බුදුරජාණන් වහන්සේට ජ්‍යෙෂ්ඨ සමකාලිකයෙක් වූ මහාවීර තුමන්ගේ නායකත්වයෙන් පහළ වූ ජෛන ආගමේ ද ස්ථූප වන්දනාව පිළිගෙන තිබේ. එම ස්ථූප බෞද්ධ ස්ථූපවලට සමාන බව සී.එස්.ෂා පවසයි. එම නිසා බෞද්ධයන් බුදුරදුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ස්ථූප තැනීමට පෙර ජෛනයන් මහාවීර තුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප තනන ලද බව සිතිය හැකි ය.

බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ භෂ්මාවශේෂ කොටස් අටකට බෙදා රටවල් අටකට භාර දෙන ලදී. ඒ භෂ්මාවශේෂ ලබාගත් රජගහනුවර අජාසත්ත, වේසාලියෙහි ලිච්ඡවීහු, කපිලවස්තුවේ ශාක්‍යයෝ, අල්ලකප්පයෙහි බුලයෝ, පාචෙය්‍යයෙහි මල්ලවයෝ, කුසිනාරාවේ මල්ලවයෝ ශාරීරික ධාතු කොටස් තැන්පත් කොට ස්ථූප තනා පිදූහ. ධාතු බෙදූ බඳුන (කුම්භය) තැන්පත් කොට ස්ථූපයක් තනා පිදුවේ ය. පිප්ඵලී වනයේ මෞරවයෝ බුදුරදුන්ගේ මෘතදේහය දැවූ සෑයේ අඟුරු ලබා ගෙන ඒවා තැන්පත් කොට ස්ථූපයක් තනා පිදූහ. මේ අනුව බුද්ධ පරිනිර්වාණයට අනතුරුව බෞද්ධ ස්ථූප දහයක් තනා පුදනු ලැබු බව අනාවරණය වෙයි.

රාමගාමයෙහි ස්ථූපයේ තැන්පත් කර තිබූ ධාතු පසු ව මාඤ්ජේරික නාග භවනයෙහි ඝරයක් සහිත ස්ථූපයක තැන්පත් කර තිබී ක්‍රි.පූ.2 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දුට්ඨගාමිණී රජු විසින් ලබා ගෙන මහා ථූපයේ (රුවන්වැලි සෑයෙහි) තැන්පත් කරන ලද බව මහා වංශයේ සඳහන් වේ.

ස්ථූප ඉන්දියාවෙන් ප්‍රභවය ලැබූවක් නොවිය හැකි ය. සුමේරියානු වාස්තු විද්‍යාවේ මෙම ස්මාරක විශේෂයට සමාන සිග්ගුරත් නමින් ගොඩනැඟිලි විශේෂයක් වෙයි. චන්චායු යන දෙවියන් වැඳීමට හා මළවුන් ඇදහීමට එය සම්බන්ධ වේ. පිරමිඩ්ස් ද ස්ථූප විශේෂයකි. ක්‍රි.පූ. යුගයට අයත් ස්ථූප රෝමයේ ඉටුය්කන්හි තිබේ. ඒවා බෞද්ධයන්ගේ වෘත්තාකාර ස්ථූපවලට බෙහෙවින් සමාන ය. මේ අනුව සලකන කල්හි ස්ථූපය නමැති ගොඩනැඟිලි වර්ගය අවුරුදු දහස් ගණනක් අතීතයට විහිදී ගිය පෙර අපර දෙදිග ම රටවලට උරුම වූවක් වේ.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්ථූපය

[සංස්කරණය]

ඉන්දියාවේ අ‍ශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී ලංකාවේ පාලනය කළ දේවානම්පියතිස්ස රජ දවස එනම් ක්‍රි.පූ 3 වන සියවසේදී මෙරටට බුද්ධාගම ලැබුණේ මහින්දාගමනයත් සමගය. බුදු දහම ලැබීමෙන් පසු ලංකාවේ ගොඩනනංවන ලද ප්‍රථම චෛත්‍යය ලෙස සඳහන් වන්නේ ථූපාරාම ත්‍යයයි.ඒ සඳහා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් ලැබුණු බව මහාවංශයේ සඳහන් වේ.මේ අනුව ථූපාරාමය ගොඩනැංවීමේදී භාරතීය ‍බෞද්ධ ආභාසය ඒ සඳහා ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් පසුකාලීනව ගොඩනංවන ලද බෞද්ධ ස්ථූප නිර්මාණයේදී ලංකාවේ ගෘහනිර්මාණ ශිල්පියා දේශියත්වයට ගැලපෙන පරිදි චෛත්‍යය නිර්මාණයට පෙළඹී ඇති බව විද්වතුන්ගේ මතය වේ. ශ්‍රී ලාංකිකයන්ගේ විශිෂ්ට හැකියාවන් මෙන්ම සාමය, සහෝදරත්වය,සහයෝගය වැනි උතුම් ගුණාංගයන් මෙම චෛත්‍යය නිර්මාණයන් තුළින් පිළිබිඹු වන බව ඒ දෙස බලන ඕනෑම පුද්ගලයෙකුට සිතේ.ඉනිදියාවේ සාංචි ස්ථූපය වැනි ස්ථූප දෙස බලන විට ලංකා ස්ථූපයේ වර්ධනය දේශීය ගෘහනිර්මාණශිල්පය අනුව යමින් අලංකාරත්වයෙන් හා දර්ශනීයත්වයෙන් ඉදිරියට ගෙනගිය බව පැහැදිලි කාරණයකි.රුවන්වැලි මහාසෑය,අභයගිරිය, ‍ජේතවනය වැනි චෛත්‍යය ලෝකයා මවිතයට පත්කරවන්නේ ඉහත ලක්‍ෂණයන්ගේ බලපෑමෙන් බව කිවහැකිය.

දාගැබක ප්‍රධාන අංග

[සංස්කරණය]

මුල් යුගය

[සංස්කරණය]

මුල් කාලයේ චෛත්‍යයක තිබුණු අංග ක්‍රමයෙන් විකාශනය වී ඇතිබව පෙනේ.භාරතයේ සාංචි ස්ථූපය ගොඩනංවන ලද්දේ ගල්වැටකින් වටවුණු භූමි භාගයකය.චෛත්‍යයට ඇතුළුවීමට දොරටු සතරක් සතර දිශාවෙන් විය.

ගොනුව:New parts of stupa.jpg



එම දොරටුවල අලංකාර කැටයම් දක්නට ලැබේත ස්ථූපය ඉදිකරන ලද්දේ එම මළුවෙහි මැද පිහිටි වේදිකාවකය.මෙම වේදිකාවට නැඟීමට පියගැටපෙළක් විය.මෙම වේදිකාව මත ඉදිකරන ලද අර්ධ ගෝලාකාර දාගැබ ස්ථූපය විය.එම ගර්භය මුදුනෙහි තවත් මේදියක්ද ඒ මත හතරැස් කොටුවක්ද ඉදිවිය.ඒ හතරැස් කොටුව මත හරිමැද යෂ්ටියක් විය. එම යෂ්ටිය මත ඡත්‍රයක් විය.චෛත්‍යයට වැදගත්කම ගෙනදුන් ධාතු නිධානය කරන ලද්දේ අර්ධ ගෝලාකාර හැඩැති ධාතු ගර්භයෙහිය.


පසුකාලීන යුගය

[සංස්කරණය]

පසුකාලයේදී මෙම චෛත්‍යයේ අංග වැඩිවිය. ඒ අනුව වැලිමළුවක් ,සලපතල මළුවක් හා පේසා වළලු එකතුවිය. ධාතුගර්භය ඉදිකළේ මෙම පේසා වළලු මතය.අද එය ස්ථූපයේ අලංකාරය සඳහා නිර්මාණය වූවක් බවට පත්ව තිබේ.එමෙන්ම ධාතුගර්භය මත ස්ථූප ආරම්භයේදී පැවති කුඩා මේදිය සතරැස් කොටුවක් බවට පත්විය.ඒ මත කලින් තිබූ ඡත්‍රය හා සම්බන්ධ යෂ්ටිය දේවතා කොටුව වශයෙන් හැඳින්වීය. දේවතා කොටුවේ පහළ සිට ඉහලට සිහින් හැඩයටකළ නිර්මාණය කොත්කැරැල්ල විය.කොත්කැරැල්ල මුදුනේ ස්ථූපය අලංකාර කරමින් කොතක් පැළඳූ අතර කොත මුදුනෙහි පළිඟුවක් විය.


කාලයාගේ ඇවෑමත් සමඟම ස්ථූපයට තවත් අංග ඒකරාශි විය. දොරටු සතරෙහි තොරණ සතර හා සම්බන්ධ ම්‍ළුවට නැග එන ගල්පඩිපෙලද ඒ ආශ්‍රිතව කොරවක්ගල්,මුරගල් හා සඳකඩපහණක්ද එකතුවිය. මීට අමතරව චෛත්‍යය හා සම්බන්ධ කර ස්ථූපයේ හතර පැත්තෙහි සමාන්තර වාහල්කඩ සතරක්ද පසුකාලයේදී ඉදිවිය. එම වාහල්කඩ ඉදිකළේ චෛත්‍යයේ ශක්තිය වර්ධනය කිරීමටත් අලංකාරය ඇතිකිරීමට හා වන්දනාකරුවන්ට මල්පහන් ආදී තම පූජා භාණ්ඩද තැන්පත් කිරීමටය.ඒ සඳහා වාහල්කඩ ආශ්‍රිතව ශෛලමය මල් ආසනයක්ද විය.

දාගැබ් වර්ග

[සංස්කරණය]

නිධන් වස්තුව අනුව දාගැබ් වර්ග

[සංස්කරණය]

ශාරීක චෛත්‍ය දාගැබ්

[සංස්කරණය]

පාරිභෝගික චෛත්‍යය දාගැබ්

[සංස්කරණය]

පාරිභෝගික චෛත්‍යය දාගැබ්

[සංස්කරණය]

හැඩය අනුව දාගැබ් වර්ග

[සංස්කරණය]

බෞද්ධ ස්ථූප ගත්විට ඒවා විවිධාකාර හැඩයන්ගෙන් යුක්ත වේ. ස්ථූප ප්‍රධාන වර්ග කිහිපයකි.

  • ඝණ්ඨාකාර
  • ඝඨාකාර
  • බුබ්බුලාකාර
  • ධාන්‍යාකාර
  • ආමලාකාර
  • පද්මාකාර

ඝණ්ඨාකාර

[සංස්කරණය]

ඝණ්ඨාකාර චෛත්‍යය ඝණ්ඨාවක ස්වරූපය ගනී.මෙම චෛත්‍යය වර්ගය ප්‍රමාණයෙන් කුඩාවන අතර බුදුදහම ලැබීමෙන් පසු ලංකාවේ ඉදිකළ ප්‍රථම දාගැබ ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වේ.එය ථූපාරාම දාගැබය.

ථූපාරාම දාගැබ



ඝඨාකාර

[සංස්කරණය]

ඝඨාකාර චෛත්‍යය යනු කළයක හැඩයට නිර්මාණය කර ඇති චෛත්‍යය වේ.පොළොන්නරු දිස්ත්‍රික්කයේ පිහිටි සෝමාවතී චෛත්‍යයයත් මඟුල් මහාවිහාර ස්ථූපයත් ඝඨාකාර හැඩයෙන් යුක්තය.




බුබ්බුලාකාර

[සංස්කරණය]

දියබුබුලක හැඩයගත් චෛත්‍යය මේ නමින් හැදින්වේ.ලෝකයා මවිතයට පත්කරන රුවන්වැලි මහාසෑය බුබ්බුලාකාර හැඩයගනී.එමෙන්ම තිස්සමහාරාම ස්ථූපය,පොළොන්නරුවේ කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර බුබ්බුලාකාර හැඩයෙන් යුක්තය.ඝණ්ඨාකාර චෛත්‍යය ලෙස ථූපාරාමය හැදින්වේ

රුවන්වැලි මහාසෑය

ධාන්‍යාකාර

[සංස්කරණය]
කැළණි චෛත්‍යය


ධාන්‍යාකාර චෛත්‍යය ධාන්‍ය ගොඩක හැඩයගනී.ශ්‍රී ලංකාවේ ධාන්‍යාකාර චෛත්‍යයකට කදිම උදාහරණය නම් කැළණි චෛත්‍යයයි. වී ගොඩක හැඩය අනුව සැලසුම් කර ඇති ස්ථූප ධාන්‍යාකාර නමින් හැඳින් වේ. ක්‍රි.පූ. 3 වන සියවසේ දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාමය කරවන ලද්දේ මෙම ආකෘතියට අනුව ය. පසු ව කරන ලද ප්‍රතිසංස්කරණවල දී වෙනස් වී වර්තමානය වන විට ඝණ්ඨාකර හැඩය ගෙන තිබේ. කැළණිය, කැබැල්ලෑ ලෙන, පණික්කින්කුලම යන ස්ථානවල පිහිටි ස්ථූප මේ වර්ගයට අයත් වේ.








පද්මාකාර

[සංස්කරණය]

පද්මාකාර චෛත්‍යය නෙළුමක ස්වරූපය ගනී.පොළොන්නරුවේ දෙමළ මහාසෑයත් බුත්තල යුදගනා වෙහෙරත් පද්මාකාර හැඩයෙන් යුක්ත වන්නේය.

ගොනුව:Demalamahaseya.jpg
රන්කොත් වෙහෙර

ආමලාකාර

[සංස්කරණය]

නෙල්ලි ගෙඩියක ස්වරූපය ගත් චෛත්‍යය ආමලාකාර චෛත්‍යය වන්නේය. මෙවැනි ස්ථූප වර්තමානයේ දක්නට නැත.



මෙම ස්ථූප වර්ග හැරෙන්නට බෞද්ධ රටවල තවත ස්ථූප වර්ග දැකිය හැක.

● අණ්ඩාකාර(බිත්තරයක හැඩය)
● පලාණ්ඩිවාකාර(ලූනුගෙඩියක හැඩය)
● චතුරස්‍රාකාර(හතරැස් හැඩය)
● අෂ්ටස්‍රාකාර(අටපට්ටම් හැඩය)
● සිලින්ඩරාකාර(සිලින්ඩරයක හැඩය)

චේතියඝරය

[සංස්කරණය]

ස්ථූපයක ආරක්‍ෂාව සඳහා කරවන ලද ගෙය චේතියඝරය වේ.එය ථූපඝරය ලෙසද හැදින්වේ.ථූපඝරය ඉදිකරන ලද්දේ ථූපය වටා ඇති කවාකාර බිමෙහි ස්ථූපය වටා කළුගල් කණු පේළි දෙකක් සිටුවා ඒ මත කවාකාර වහලක් ඉදිකිරීමෙනි.චේතියඝරයක් ඉදිකිරීමේ මූලික පරමාර්ථය වූයේ අව්වෙන් වැස්සෙන් චෛත්‍යය ආරක්‍ෂාකර ගැනීමය.එසේම චෛත්‍යය වන්දනාකරුවන්ට සෙවණ සැලසීමද චේතියඝර ඉදිකිරීමෙහි තවත් පරමාර්ථයක් විය.

ලංකාවේ ප්‍රථමවරට චේතියඝරයක් ඉදිකිරීම පිළිබඳව සඳහන් වන්නේ අනුරාධපුර යුගයෙහි දේවානම්පියතිස්ස රජ දවසය. දේවානම්පියතිස්ස රජතුමා ථූපාරාම චෛත්‍යය ආවරණයකොට චේතියඝරයක් ඉදිකළ බව මහාවංශයේ සඳහන් වේ. එම චේතියඝරය තිබුණු බවට ඒ වටා ඇති ගල්කණු සාක්‍ෂි වශයෙන් අදද දක්නට ලැබේ.පසුකාලීනව වසභ රජතුමාද ථූපාරාමයට ථූපඝරයක් කරවූ බව වංශකථාවල සඳහන්ය.මීට අමතරව වසභ රජතුමාගේ බිසවක වූ පොත්තා කුමරිය ශ්‍රී මහා බෝධි මළු‍වෙහි චෛතයයක් කරවා එයට චේතියඝරයක්ද කරවූ බව මහාවංශයේ සඳහන් වේ.මේ අනුව චේතියඝරය චෛත්‍යයට ආරක්‍ෂාවක් මෙන්ම අලංකාරයක්ද ගෙනදුන් බව පැහැදිලි වේ.


දාගැබ් ඇති රටවල්

[සංස්කරණය]
සාංචි ස්තූපය,ඉන්දියාව
සාංචි ස්තූපය-2,ඉන්දියාව
Wan song monk චීන ස්තූපය
සෙන්සෝජී ස්තූපය තෝකියෝ,ජපානය
බුරුමයේ ස්වේදගොන් ස්තූපය
බුරුමයේ ස්වේදගොන් ස්තූපය
  • ශ්‍රී ලංකාව
  • කොරියාව
  • තායිලන්තය
  • කාම්බෝජය
  • ලාඕසය
  • තායිවානය
  • වියට්නාමය
  • පිලිපීනය
  • හොංකොං
  • සිංගප්පූරුව
  • මලයාසියාව
  • ඉන්දුනීසියාව
  • මොන්ගෝලියාව
  • ඉන්දියාව
  • නේපාලය
  • භූතානය
  • බංග්ලාදේශය
  • චීනය
  • ජපානය
  • බුරුමය



මේ අනුව බෞද්ධ ස්ථූපය සිංහල බෞද්ධයාගේ මෙන්ම සෙසු බෞද්ධ රටවල්වල බෞද්ධ ජනතාවගේ සංස්කෘතියේ ප්‍රධාන ලක්‍ෂණයක් බව අවිවාදයෙන් පිළිගතයුතු වේ.

පිංතූර එකතුව

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්ථූප කිහිපයක්

[සංස්කරණය]

විවිධ රටවල බෞද්ධ ස්ථූප

[සංස්කරණය]

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දාගැබ්&oldid=563196" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි