මිරිසවැටිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මිරිසවැටිය චෛත්‍යය (ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඇසුරෙනි)

ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ.

පිහිටීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇති මෙම චෛත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ස්ථානයක ඉදිකර ඇතැයි සැළකේ. මෙම චෛත්‍යය සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම චෛත්‍යය ඉදි වූ ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලයේදී ලංකාවේ අගනුවර ලෙස පැවතියේද අනුරාධපුරය යි.

පුරාවෘත්ත[සංස්කරණය]

තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ.

ප්‍රතිසංස්කරණ[සංස්කරණය]

ඉදි කරන ලද දින සිට මෙරට රජකම් කළ රජුවරුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වූ මිරිසවැටිය චෛත්‍යයට අටවන, නමවන සහ දහවන ශතවර්ෂවල ලංකාවට පැමිණි ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් හානි සිදු විය. මෙම චෛත්‍යය කිහිප වරක්ම කඩා බිඳ දමන ලදි. ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලයේ රජ කළ පළමුවන ගජබා රජු මෙම ථූපයට ආරක්ෂිත ආවරණයක් ඉදි කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 209 - 231 කාලයේ රජ කළ වෝහාරිකතිස්ස රජු එහි ඡත්‍රය ප්‍රතිසංස්කරණය කළේ ය. පසුව ක්‍රිස්තු වර්ෂ 914 - 923 අතර කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජු මෙහි සියළුම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ අතර පොළොන්නරුවේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙය අඩි දෙසිය හයක් දක්වා උස් කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත. පසුව 1888 වර්ෂයේ දී ගරා වැටී ඇති මෙම චෛත්‍යය වර්තමානයේ දී රජය විසින් ප්‍රතිසංස්කරණය කොට බැතිමතුන්ට වන්දනා මාන කළ හැකි පරිදි සංරක්ෂණය කොට ඇත. මෙම ස්ථානයට අයත් ගොඩනැගිලි අතර දුටුගැමුණු රජතුමා විසින් තනවන ලද උපෝසථාගාරයක් ද, දෙවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 650 - 659) විසින් තනවන ලද විශාල මන්දිරයක් ද, හතරවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 898 - 914) විසින් තනවන ලද බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කිරීම සඳහා වූ  "චන්දන ප්‍රාසාද" නම් වූ ගොඩනැගිල්ලක් ද වේ.

වන්දනා ගාථාව[සංස්කරණය]

අභය රාජ සධාතුක කුත්තවරං - සුනිඡායකතං බහුමාණිකං සකලහිතං පණමේසදා - මරිච්වට්ටික චෙතිය මුත්තමං

තේරුම

දුටුගැමුණු රජතුමා විසින් සර්වඥධාතු සහිත වූ උතුම් ජය කොන්තය නිධාන කොට කරවන ලද මිරිසවැටිය චෛත්‍යය නමදිමි.


සේයා රූ එකතුව[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිරිසවැටිය&oldid=399940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි