භික්ෂූන් වහන්සේ
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන් වන භික්‍ෂූන් වහන්සේ අතීතයේ සිටම තම ජීවිතය පොදු ජනයාගේ යහපත වෙනුවෙන් කැප කළ පිරිසක් වූහ. තම පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතාවන්ට වඩා සමාජ සේවයට මුල් තැන දෙමින් කටයුතු කිරීම, උන්වහන්සේ සතු වගකීමක් විය. ‘බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න’ යන බුද්ධ අවවාදය පිළිගත් භික්‍ෂූන් වහන්සේට, ආරක්‍ෂා කිරීමට ධනයක් නොවී ය. වාසය කිරීමට ස්ථිර ආවාසයක් නොවී ය. ගිහි ජීවිතය හා සම්බන්ධ වගකීම් වලින් නිදහස් වූ උන්වහන්සේට පොදුජන යහපත වෙනුවෙන් කැපවීමට කිසි බාධාවක් නොවී ය. ගිහියාට බරක් නොවෙමින්, ඔහු දෙන සිවුපසය ලබාගනිමින් ජීවත් වූ භික්‍ෂූන් වහන්සේ මහණදම් පුරමින් තමාගේ විමුක්තිය සළසාගත් අතර, ගිහියාගේ ආධ්‍යාත්මික දියුණුව ඇතිකිරීමට ද කටයුතු කළහ. මෙසේ පැවිද්දා, ගිහියාගේ සිවුපසයෙන් යැපුණු අතර, ඔහුගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවවාද අනුශාසනා කිරීම තම යුතුකම සේ සළකා කටයුතු කළ හෙයින්, දෙපිරිස අතර සමීප සම්බන්ධයක් ඇති විය.
බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් පසුව ගිහි සමාජය වෙනුවෙන් භික්‍ෂුව ඉටු කළ සේවය තවදුරටත් පුළුල් විය. වෙදකම් කිරීම, ඡ්‍යොතිෂ කටයුතු කරදීම, සෙත් ශාන්ති කරදීම ආදී කටයුතු නිසා, භික්‍ෂුව වෙත ගිහි ජනයාගේ පැමිණීම වෙනදාට වඩා වැඩි විය. අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ද පන්සල කටයුතු කළ නිසා, ලාංකික සමජයේ මෙම ගිහි පැවිදි බැඳීම තවත් දැඩි විය. වර්තමානයේ වූවද ගිහි ජනයාගේ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කර ගැනීමට මෙන්ම ලෞකික ජීවිතයේ සාර්ථකත්වය ඇති කර ගැනීමට, භික්‍ෂු සමාජයේ ඇසුර අවශ්‍ය වෙයි. ගිහියාගේ සහ පැවිද්දාගේ මෙම සියලු අරමුණු, පරමාර්ථ නිසි අයුරින් ඉටුකර ගත හැකි වන්නේ, ඔවුනොවුන් අතර මනා සම්බන්ධතාවක් පැවතුණුහොත් පමණි.
බෞද්ධ සමාජයේ ගිහි පැවිදි සියලු දෙනාගේම ප‍්‍රධානම අරමුණ වන්නේ සසර දුකින් මිඳීමය. නමුත් ඊට පළමුව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියා උත්සාහ කළ යුතු ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ධර්මානුකූල මඟ පෙන්වීම ලබාදීම, පැවිද්දාගේ යුතුකම වෙයි. පැවිද්දා විසින් ලබා දිය යුතු මෙම මඟ පෙන්වීම කුමක්දැයි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අයුරු, සිඟාලෝවාද සූත‍්‍රයෙහි දැක්වෙයි. ඒ අනුව ගිහි ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව පැවිද්දකු විසින් ඉටු කරනු ලබන, ඉටු කළ යුතු, සේවා මෙසේ ය.
01. පවෙන් වැළැක්වීම
2. කුසළ කර්මයන්හි යෙදවීම
3. සෙත් පැතීම
4. නොදන්නා දෙය ඉගැන්වීම
5. දැන සිටින දෙය පුහුණු කරවීම
6. සුගතියට මග කියා දීම
ගිහියාට පස්පව්, දස අකුසල් ආදියෙහි අනිසි විපාක පෙන්වා දෙමින්, ඔහු දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ආදී පුණ්‍ය කටයුතු වල යොදවනු ලබන්නේ භික්‍ෂූන් වහන්සේ ය. එසේම උපතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී තම දායකයන්ට සෙත් පැතීම උන්වහන්සේගේ සිරිතකි. දරුවකු මවුකුසින් බිහිවීමට ආසන්න වන විට සෙත් පිරිත් කියවා ගන්නා අතර, පසුව නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, නව නිවෙසකට ගෙවැදීම, රැකියා සඳහා පිටත්වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, ආදී බොහෝ වැදගත් අවස්ථාවන්හිදී ආගමික චාරිත‍්‍ර වලට මුල්තැන දෙමින් ඒවා සිදුකිරීම, වර්තමානයේ වූවද දැකගත හැකි ය. එසේම මෙම අවස්ථාවන්හිදී භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම බොහෝ සෙයින්ම සිදු වෙයි. උන්වහන්සේ ද එවැනි අවස්ථාවන්වලදී දායකයන්ට සෙත් පැතීම තම යුතුකම සේ සලකති. ඈත අතීතයේ සිටම ගිහි ජනයාට ලෝකය, ජීවිතය පිළිබඳ ;මන්ම හොඳ නරක පිළිබඳද කියාදෙනු ලැබුයේ, පැවිදි උතුමන් විසිනි. එසේම ලාංකික සමාජයේ නූතන බටහිර අධ්‍යාපන ක‍්‍රමය ආරම්භ වීමට පෙර අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේ ද පන්සලයි. ගුරුවරයාගේ කාර්යය ද භික්‍ෂූන් වහන්සේගෙන් ඉටු වූ නිසා උන්වහන්සේට ලැබුණු සමාජ ගෞරවය තව තවත් වැඩි විය. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය ද ගිහියාට කියාදීම පැවිද්දාගේ වගකීම වෙයි. නරක, තිරිසන්, පේර්ත ආදී දුගතිවලින් මිදී, දිව්‍ය මානුෂික සැප සම්පත් ලබා ගැනීමේ මාර්ගය පෙන්වා දෙනුයේ ද භික්‍ෂූන් වහන්සේ විසිනි.
අනුරංග