දස මහා යෝධයෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ලංකාදවීපයේ රුහුණු රට දුටුගැමුණු රජ හා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙකු වන රජරට එළාර රජ අතර රජරට ආධිපත්‍යය පතා, ඇතිවූ මහා සංග්‍රාමයේදී දුටුගැමුණු රජගේ හමුදාවේ සිටි ප්‍රධානීන් 10 දෙනා දස මහා යෝධයෝ නමින් හැඳින්වේ. දුටුගැමුණුගේ පිය රජු කාවන්තිස්සයන්ගේ රාජ්‍ය සමයෙහිදී, පුරුෂයන් රාජ සේවයට තෝරා ගනු ලැබ, යථා කලයේදී තරුණ කුමරු හට සේවය කිරීම සඳහා යොදවා ගනු ලැබ ඇත[1].

තම කණිටු සොහොයුරු තිස්ස හා සමග දුටුගැමුණුගේ සටන් අතරතුරදී, දස රණශූරයන් මධ්‍යස්ථ හා අපක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ දෙබෑයන් අතර හටගැනෙන එවන් වියවුලකදී එසේ අපක්ෂපාතීව සිටින බවට කාවන්තිස්ස රජු හට දිවුරා පොරොන්දු වීම නිසාවෙනි[2].

රජුන් දෙදෙන (එනම් දුටුගැමුණු හා එළාර) අතර විජිතපුර හිදී වූ තීරණාත්මක සංග්‍රාමයෙහිදී, නන්දිමිත්‍ර සමග නිර්මලයා (සුරනිමල) පුරයෙහි දක්ෂිණ ද්වාරය අත්පත් කර ගැනීම සඳහා සටන් මෙහෙයවූහ. මහාසෝන (සේන), ගෝඨයිම්බර හා ථෙරපුත්තාභය පූර්වදිශා ද්වාරය අත්පත් කරගනු වස්ද, අනෙකුත් රණශූරයින් සතර දෙන උත්තර හා පෑළදිග ද්වාර ගනු වස්ද සටන් වැදුනහ [3].


නන්දිමිත්‍ර[සංස්කරණය]

දස මහා යෝධයන්ගෙන් එළාර රජුගේ සේනාවෙහි සෙන්පතියෙකු වූ මිත්ත ගේ බෑණනුවන් වීම නිසා මයිළනුවන් අනුව යමින් නම් ලද, නන්දිමිත්‍ර විය යුතුය. සැම තැන දණගා බඩගා යෑම වලක්වනු වස්, කුඩා මිත්ත කුරහන්ගලකට බැඳ දමා තිබුනද, ඔහුගේ මහත් ශක්තියෙහි බල මහිමයෙන් මහ බරැති කුරහන් ගලද ඇදගෙන තැන තැන යෑමට සමත් වීම, ඔහු හට නන්දිමිත්‍ර යන නම පටබැඳීමට හේතු කාරක වීලු. මහාවංශ විස්තරය දක්වන අන්දමට නන්දිමිත්‍ර ඉන් ඉක්බිතිව උත්තම තෙරුවන් නමැදූ රජෙකු හට සේවය කරනු වස් රෝහණ දේශයට ගමන් කලේය (මහාවංශ, පරිච්ඡේදය 23, පාඨය 4-15)– ‍යන විශ්වාසමාත්‍රය බොහෝ ශාස්ත්‍රධරයන් විසින් ප්‍රශ්නාංකයට ලක් කරමින් තර්ක කරනුයේ, දමිළ ප්‍රවේණිය හමුවේ වුවද, එළාර වුවද බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනයෙහි ලා පුරෝගාමීව කටයුතු කල බවය (ද සිල්වා, 2005).[4]

A

සුරනිමල[සංස්කරණය]

මහාවංශයට අනුව (පරිච්ඡේදය 23,පාඨය 16-44) නිමල,කොට්ටිවාල ප්‍රදේශයෙහි කණ්ඩකවිත්තික ග්‍රාමයෙහි,සම්හ නමැති ගම්-ප්‍රධානියෙකුගේ සත්වැනි පුත්‍රයා විය. තුරුණු වියෙහි වූ නිමල, කාවන්තිස්ස රජුගේ සුළු රැජිනකගේ පුත්‍රයෙකු වූ දීඝාභය කුමරුගේ සේවය සඳහා යවනු ලැබීය.කච්චකතිත්ථ නමැති තොටු‍පළ ප්‍රදේශය පාලනය කල දීඝාභය,ද්වාරමණ්ඩල ග්‍රාමයේ චේතිය කන්ද අසල විසූ කුණ්ඩලි නම් බ්‍රාහ්මණයෙකු වෙත දූත මෙහෙවරක් සඳහා, නිමල යැව්වේය.කච්චකතිත්ථ සිට ද්වාරමණ්ඩල දක්වා වූ යොදුන් දහඅටකට වැඩි මෙම විශාල දුර තරණය කොට, ඉන් පසු තිසා වැවේ ස්නානය කරනු වස් අනුරාධපුරයටද ගොස්,බ්‍රාහ්මණයා විසින් ත්‍යාග කල බොහෝ වටිනා පුණ්ණවද්දන වස්ත්‍රද අතැතිව නැවත කච්චකතිත්ථ හි තම ස්වාමීවූ කුමරු වෙත පැමිණීමට නිමල හට ගතවූයේ එක් දිනක් පමණි.නිමල මින් ඉක්බිතිව,සුර-නිමල යන නම් ලැබීය.

සුරනිමල යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය.

ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් බාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී.

දීඝජන්තු සටන - පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය.

අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටි දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී.

තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය.

තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ.

මහාසෝන[සංස්කරණය]

මහාවංශයට [පරිච්ඡේදය 23, පාඨය 45-48] අනුව මහාසෝන යෝධයා, කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. ‍එකල සෝන ලෙස හැඳින්වුනු ‍දස වියැති කොළුවා, ‘විසල් තල්-ගස්’ මුලිනුදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද කියැවේ.

ගෝඨයිම්බර[සංස්කරණය]

ගෝඨඉම්බර යෝධයා

දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨඉම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි.

ජයසේන යක්ෂයා හා සටන - මෙවන් උත්සවයකදී රිටිගල වසන ජයසේන නම් යක්ෂයා තම භාර්යාවට ආවේශ වීම නිසා කිපුණු ඔහු යක්ෂයා හට සටනට අභියෝග කළේය. යක්ශයන් හා සටන් කොට ජය ගැනීම මිනිසුන්ට කළ නොහැකි බව පවසා පහළ මට්ටමේ දෙවිවරු ගණනාවක් යෝධයා වැලැක්වීමට තැත් කළහ. නමුත් ඔවුන්ට ඇහුම්කන් නොදී ගෝඨඉම්බර සටනට ඉදිරිපත් විය.

මේ සටනේදී යක්ෂයාගේ බොටුව කැඩී යන පරිද්දෙන් ගෝඨඉම්බර විසින් පහරක් එල්ල කරන ලදී. (මෙහිදී යක්ෂයා ගෝඨඉම්බරට වඩා බලවත් වුවද ගෝඨඉම්බර යනු ත්‍රිහේතුක පශ්චිම භවිකයෙකි. යක්ෂයා අහේතුක උපතක් ලද කෙනෙක් නිසා පින්බලයෙන් වැඩි යෝධයා පහසුවෙන් ජය ගත්තේය.) පසුව යක්ෂයාගේ හීස වෙනුවට වලස් හිසක් සවිකළ මහාසෝණා යකා ගැන ජනප්‍රවාදයක් උපත ලැබීය.

මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය.

රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය.

ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය

ථෙරපුත්තාභය[සංස්කරණය]

කොට කන්ද අසබඩ කිට්ටි ග්‍රාමයේ rම්පති වූ රෝහණ නමැති ගෘහපතියාට දාව උපන් ගෝඨාභය, දස වස් හෝ දොළොස් වස් වන විට, පැසුණු මිනිසුන් සතර හෝ පස් දෙනෙකුට එසවිය නොහැකි මහා පාෂාණ ඔසවා වීසි කිරීමට සමත් වී ඇත. ගෝඨාභයගේ පියාණන් වූ රෝහණ, මහාසුම්ම නමැති තෙරණුවන්ගේ අනුග්‍රාහකයාව සිට තෙරණුවන්ගේ දහම් දෙසුමකට සවන් දී සෝවාන් නම් පළමු ඵලයට පත්වීලු. රෝහණ පසු කලෙක භික්ෂුවක ලෙස පැවදි බව ලැබ පසුව අරහත් ඵලයට පත් වීම නිසා, ගෝඨාභය ඉන්ඉක්බිතිව තෙරණුවන්ගේ පුතු ලෙස අරුත් දෙන ථෙර-පුත්-අභය ලෙස හැඳින්වීමට ඇරඹී තිබේ (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨය 55-63).

මහාභරණ[සංස්කරණය]

මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 64-67) අනුව භරණ උපත ලැබ ඇත්තේ කෝපකන්දර ග්‍රාමයේ කුමාර නමැත්තෙකුට දාවය. අවුරුදු දහයක හෝ දොළසක කොළුවෙකුව සිටියදී, වනයේ සාවුන් එලවාගෙන ගොස් උන් අල්වා පයින් මැඬීමට සමත් වූ බවද, පසුව දහසය විය වූ විට දිව ගොස් කුරුමුවන්, ගෝනුන් හා වල්-හූරන් දඩයම් කිරීමට සමත් වූ බැවින්, මහත් යෝධයෙකු බවට පිළිගැනුමට ලක් වූ බව කියැවේ.

වේළුසුමන[සංස්කරණය]

lakshithadayarathna1991@gmail.com

වේළුසුමන යෝධයා

කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී.

මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී.

විහාර මහා දේවියගේ දොළදුක් - ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය.

මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය.

ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය ).

ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ.

කච්චදේව[සංස්කරණය]

නකුලනාග පුදේශයෙහි මාහිසදෝනික ග්‍රාමයෙහි අභය නමැත්තාගේ බාලම පුතු ලෙස උපතේදී දේව යන නම් ලැබීය. මදක් කොරගැසීම නිසා කච්චදේව යන නම පටබැඳී ඇත. විශාල කුළුහරකුන් හඹා ගොස්, උන් වලගයෙන් අල්වා, ඔහුගේ හිසට උඩින් කරකවා පොළොවට ගසා දැමීමට මෙම තරුණ කොළුවා සමත් වී ඇත[5].

ඵුස්සදේව[සංස්කරණය]

මහාවංශය (පරිච්ඡේදය 23, පාඨය 82-89) අනුව, සිට්ඨලපබ්බත විහාරය අසබඩ ගවිට නම් ග්‍රාමයේ, උප්පල නමැත්තාගේ පුතු ලෙස ඵුස්සදේව මෙලොව එළිය දැක ඇත. කොළුවෙකු ලෙස විහාරය වෙත ගිය ඵුස්සදේව හට හක්ගෙඩිය, හෙණ හඬ තරම් ශබ්දයකින් ලෙස පිඹීමට හැකිවීම නිසා, උම්මාදඵුස්සදේව ලෙස නම් ලැබීය. පසුව ඵුස්සදේව, කිසිදා ඉලක්කය නොවරදන දුනුවායෙක් බවට පත් විය.

ලභියවසභ[සංස්කරණය]

ථුලධර කන්ද අසල, විහාරවාපි ග්‍රාමයෙහි ගෘහපති මත්තගේ පුතු ලෙස උපන් වසභ, ලභියවසභ – (දක්ෂකම්) ලාභි වසභ – ලෙස නම් ලැබුවේ ඔහුගේ මහත් ශරීර ශක්තිය හේතුවෙනි. විසිවන වියෙහි පසුවුනු වසභ, මිනිසුන් දොළොසකු විසින් පවා ගෙනගිය නොහැකි පස් කන්දරාවක් කිසිදු වෙහෙසක් නොදරමින්ම තනිවම ගෙනගොස් වසභ-වැව තැනීමට දායක වී ඇත (මහාවංශය, පරිච්ඡේදය 23, පාඨ‍ය 90-95).

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ගයිගර්, විල්හෙල්ම් (පරි. ජර්මානු); සහ බෝඩ්, මේබල් හේන්ස් (පරි. ඉංග්‍රීසි). (1912). මහාවංශ – ද ග්‍රේට් ක්‍රොනිකල් ඔෆ් සිලෝන්. යළි-මුද්‍රණය (2003). ඒසියන් එඩ්‍යුකේෂන් සර්විසස්. මදුරාසිය: ඉන්දියාව.
  2. ගුණසේකර, බී (සංස්). (1900). රාජාවලිය – අ හිස්ටොරිකල් නැරටිව් ඔෆ් සිංහලීස් කිංස්. යලි-මුද්‍රණය (1995). ඒසියන් එඩ්‍යුකේෂන් සර්විසස්. මදුරාසිය: ඉන්දියාව.
  3. රාජාවලිය
  4. ද සිල්වා, කේ.එම්. (2005). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකන්. විජිත යාපා පබ්ලිකේෂන්ස්. කොළොඹ: ශ්‍රී ලංකාව, පිටු 15-17
  5. මහාවංශයට (පරිච්ඡේදය 23, පාඨය 78-81)


"https://si.wikipedia.org/w/index.php?title=දස_මහා_යෝධයෝ&oldid=434262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි