පළමුවන කාශ්‍යප රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සීගිරි පර්වතය.jpg

ධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාශ්‍යප කුමරු පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් හේ භින්න මාතෘක විය.මුගලන් කුමරු සොත්තිසේන රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්ව‍ය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්‍රහණයෙන් පසු පිය රජු‍ගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි‍‍:ව:477 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය බලය පැහැර ගන්නා ලදී.


වංශකථාගත තොරතුරු[සංස්කරණය]

පීතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.

එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.

වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය.

සීගිරිය-තාක්ෂණික කලාගාරයක්....[සංස්කරණය]

සීගිරිය යනු ස්වභාවික හා නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පය යන දෙයාකාරයම උපයෝගි කරගත් කලා භූමියකි.සීගිරිය අක්කර 1200ක පමණ භූමි භාගයක් වුව ද තවමත් එහි සංරක්ෂණය කර ඇත්තේ අක්කර 200ක් පමණි.වායුසමීකරණයන් නූතන තාක්ෂණයෙන් බිහිවුව ද සීතල මාළිඟා සංකල්පය අතීතයේ ද පැවති බවට ඔප්පු වන්නේ සීගිරියෙන් එවැනි නටඹුන් හමුවීම තුළිනි.මාළිඟා බිත්තිවල කුහර තුළින් ජලය ගලා යෑමට සැලැස්වීමෙන් උෂ්ණත්වය අඩු කිරීමට උත්සහා දරා ඇත.ලොව ප්‍රථමයෙන් කුරුගස් කලාව හෙවත් බොන්සායි ක්‍රමය ද ලොවට හඳුන්වා දී ඇත්තේ සීගිරිය තුළින් බවට මතයක් ඇත.එයට සාක්ෂි ලෙස විශාල මල් පෝච්චි 17ක් පර්වත ඉස්මත්තෙන් හමුව ඇත.එමෙන් ම කැටපත් පවුර මත රචනා වූ සීගිරි ගී වලින් ද එකල මහජනයාගේ කලාකාමී බව නිර්මාණශීලී බව , භාෂා විලාසය පිළීබඳ ව තොරතුරු අපට අනාවරණය වෙයි.


සීගිරි චිත්‍ර[සංස්කරණය]

‍තෙත බදාම‍යේ ඇඳි එකම බිතු සිතුවම් අපට සීගිරියෙන් හමු වේ. මෙම බදාමය සෑදීමට එකල චිත්‍ර ශිල්පියා හුඹස් මැටි,මී පැණි,දහයියා,කිරි ආදිය උපයෝගී කොටගෙන ඇත.අතීතයේ දී මෙහි චිත්‍ර 500ක් පමණ වුව ද අද වනවිට දී මෙහි ශේෂව පවතින්නේ චිත්‍ර 22ක් පමණි.සියුම්,තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර වියළීමට පෙර ඇඳ ගත යුතු වූ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බදාමය සකසා එවේලේ ම නිර්මාණය කර අවසන් කරන්න‍ට ඇත.රේඛා වැරදුණු සටහන් තැන තැන දක්නට ලැබීමෙන් සනාථ වන්නේ,අතිශය නිදහස් ආරයෙන් ඒවා එක එල්ලේම ඇඳ ඇති බවකි.


ජල තාක්ෂණය[සංස්කරණය]

ස්වයංක්‍රීයව අද ද ක්‍රියාත්මක වන ජලමල්,ජල උද්‍යාන නූතන ඉංජිනේරුවා ද මවිත කරවන සුලු ය.මෙහි සැලසුම්කරණය , තාක්ෂණය තුළ වර්තමාන ඉංජිනේරුවා පවා නොදත් දේ ගැබ්ව ඇත.පයිප්ප බට නොතිබූ යුගයක කාණු පද්ධතිය ක්‍රමවත්ව සකස් කිරීමෙන් මෙම ජල තටාක සඳහා ජලය ලබාගෙන ඇත. ඒ සඳහා එක පොකුණක ජලය අනෙකට යන පරිදි අනුපිළිවෙළට සකස් කර ඇත.


සාරාංශය[සංස්කරණය]

කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි.මෙම සුවිශාල කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීම ද සුවිශේෂ ය.සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකිය හැක.කාශ්‍යප රජු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සදහන් වේ.සීගිරිය අසල වූ පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ.පුරා වසර දහ අටක් රජ කළ කාශ්‍යප රජ විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුතුමා සඳහන් කරයි. මේ අනුව බලන විටදී කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත් සීගිරිය ද බලකොටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය.






මූලාශ්‍ර[සංස්කරණය]

සිව්දෙස හා මුතුහර සඟරා ලිපි ආශ්‍රයෙනි.


‍වැඩිදුර කියැවුම්[සංස්කරණය]

  1. සීගිරි ගී
  2. සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ


"https://si.wikipedia.org/w/index.php?title=පළමුවන_කාශ්‍යප_රජ&oldid=212504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි