Jump to content

තුත්මෝස් III

විකිපීඩියා වෙතින්
(IIIවන තුත්මෝස් වෙතින් යළි-යොමු කරන ලදි)
මහා තියඩෝසියස් (රෝම අධිරාජයා, 379-395) ගේ පාදමෙහි සවි කළ IIIවන තුත්මොසිස්ගේ ඔබලිස්කය; මෙම ඔබලිස්කය වර්තමානයේ තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටා ඇත. 390දී, තියඩෝසියස් විසින් මෙම ඔබලිස්කය කැබලි තුනකට වෙන් කර කොන්ස්තන්තිනෝපලය වෙත රැගෙන එන ලදී. අදවනවිට ඉතිරිව ඇත්තේ ඉන් මුදුනේම කොටස පමණි. එය කිරිගරුඬ පාදමක පිහිටුවා තිබේ.

තුත්මෝස් III (ඇතැම්විට තුත්මොසිස් හෝ ටුත්මොසිස් III, තොත්මෙස් යනුවෙන් පැරණි ඉතිහාස වාර්තාවල දැක්වේ. මෙහි අරුත "තොත් නිසා උපන්") යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ හයවන පාරාවෝවරයායි. ඔහුගේ රාජ්‍ය සමයේ පළමු වර්ෂ විසි දෙක ඔහුගේ නැන්දණිය මෙන්ම සුළු මව ද වූ හට්ෂෙප්සුට් පාරාවෝවරිය සමග ගෙනගිය හවුල් පාලන සමයකි. මුල්කාලයේ ඔහුව දක්වා ඇති නිරූපණයන්හි මේ දෙදෙනාටම සාමාන්‍ය රාජකීය නාමයන් සහ ආභරණ දක්වා ඇති අතර, එක් අයකුට වඩා අනෙකෙක් ජ්‍යෙෂ්ඨ නොවන අයුරින් දක්වා ඇත.[3] ඔහු ඇගේ හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

හට්ෂෙප්සුට්‍ගේ මරණින් පසු, පාරාවෝවරයා ලෙස නැගී ආ IIIවන තුත්මොසිස්ගේ පසුකාලීන රාජ්‍ය සමයේ, ඔහු ඊජිප්තුව පෙර නොවූ විරූ ත‍රමේ දැවැන්ත අධිරාජ්‍යයක් ලෙස ව්‍යාප්ත කළේ ය. ඔහු ආක්‍රමණ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් මෙහෙයවා ඇති අතර, උතුරු සිරියාවේ නියා සිට නූබියාවේ නයිල්හි සිව්වන ඇල්ල දක්වා ආක්‍රමණ සිදුකළේ ය.

නිල වශයෙන් IIIවන තුත්මෝස් වර්ෂ හතළිස්හතරක් රාජ්‍ය පාලනය කර තිබේ. සාමානයෙන් ඔහුගේ රාජ්‍ය සමය ක්‍රි.පූ. 1479 අප්‍රේල් 24 සිට ක්‍රි.පූ. 1425 මාර්තු 11 තෙක් පැවතියේ යැයි පිළිගැනේ. නමුත් මෙම කාලයට හට්ෂෙප්සුට් සමග ගෙනගිය හවුල් පාලන සමය ද අන්තර්ගත ය. ඔහුගේ අවසන් රාජ්‍ය වර්ධ ද්විත්වයේ ඔහු සිය පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ IIවන අමෙන්හොටෙප් සිය කනිෂ්ඨ සම-රාජ්‍යාධිකාරිවරයා ලෙස පත්කළේ ය. ඔහුගේ පළමු පුත් කිරුළ හිමි අමනෙම්හාට් IIIවන තුත්මෝස්ට පෙර මියගියේ ය. IIIවන තුත්මෝස්ගේ මරණින් පසු ඔහුගේ දේහය රජුන්ගේ නිම්නයේ භූමදානය කෙරිණි.

IIIවන තුත්මෝස් යනු IIවන තුත්මෝස් රජුට දාව ඔහුගේ දෙවන බිරිඳක වූ ඉසෙට් හට උපන් පුත්‍රයායි.[4] ඔහුගේ පියාගේ මහා රාජකීය භාර්යාව වූයේ හට්ෂෙප්සුට් රැජිනයි. ඇගේ දියණිය වූ නෙෆරුරේ තුත්මෝස්ගේ අර්ධ-සොයුරිය විය.

IIවන තුත්මෝස් මියයන විට IIIවන තුත්මෝස් රාජ්‍ය පාලනය සඳහා ලාබාල වැඩි විය. මේ හෙයින් හට්ෂෙප්සුට් ඔහුගේ රාජ්‍යාධිකාරිණිය බවට පත්වූවා ය. නොබෝකලකින්ම සම-රාජ්‍යාධිකාරිණිය බවට පත් ඇය අනතුරුව තමන් පාරාවෝවරිය ලෙස ප්‍රකාශයට පත් කළ නමුත්, ළමා IIIවන තුත්මෝස්ට ඇති ඥාතීත්වය අමතක කළේ නැත. අධිරාජ්‍යයේ IIIවන තුත්මෝස්ට හිමිවූයේ සුළු බලයක් වන අතර, රාජ්‍යත්වයේ සම්ප්‍රදායික පදවිය හට්ෂෙප්සුට් විසින් දරන ලදී. ඇගේ රාජ්‍ය සමය සමෘද්ධිමත් යුගයක් වූ අතර, එකල නොයෙකුත් ප්‍රගමනයන් රැසක් සිදු විය. ඔහු නිසි වයසට එළඹ දස්කම් පෙන්වූ විට, හට්ෂෙප්සුට් ඔහුව සිය හමුදාවේ නායකයා ලෙස පත්කළා ය.

IIIවන තුත්මෝස්ට බිසෝවරුන් කිහිප දෙනකුම විය:

  • සාටියා: ඇය බොහෝ විට ඔහුගේ පළමුව උපන් පුත්‍රයා වූ අමනෙම්හාට්ගේ මව වන්නට ඇත.[5] නමුත් ඇතැම් මතයයන් අනුව කියැවෙන්නේ එම කුමරුගේ මව නෙෆරුරේ බවයි. නමුත් අමනෙම්හාට් ඔහුගේ පියාට පෙර මියගියේ ය.[2]
  • මෙරිට්‍රේ-හට්ෂෙප්සුට්: තුත්මෝස්ගේ අනුප්‍රාප්තික, කිරුළහිමි කුමරුන් වූ අනාගත IIවන අමෙන්හොටෙප් රජුගේ මව මෙරිට්‍රේ-හට්ෂෙප්සුට් ය.[5] සෙසු දරුවන් අතරට මෙන්ඛෙපෙරේ කුමරු සහ නෙබෙටියුනෙට්, මෙරියේටාමුන් (C), මෙරියේටාමුන් (D) සහ ඉසෙට් යන දියණියන් ද වේ. මෙරිට්‍රේ-හට්සෙප්සුට් යනු දිව්‍යමය පූජක හුයිගේ දියණියයි.[2]
  • නෙබ්ටු: ඇයව IIIවන තුත්මෝස්ගේ සොහොන්ගැබේ කුළුණක නිරූපණය කොට තිබේ.[2]
  • මෙන්වි, මෙර්ටි, මෙන්හෙට් යනු විදේශීයා භාර්යාවන් තිදෙනෙකි.[2]
  • නෙෆරුරේ: ඇතැම්විට IIIවන තුත්මෝස් සිය අර්ධ-සොයුරිය හා විවාහ වන්නට ඇත.[5] නමුත් මේ බවට පිළිගත හැකි සාක්ෂි හමුවී නැත. ඇතැම් අවස්ථාවල සාටියා වෙනුවට, අමනෙම්හාට්ගේ මව නෙෆරුරේ බවට ද යෝජනා වී ඇත.[2]

දින සහ රාජ්‍ය සමයේ දිග

[සංස්කරණය]

පුරාතන ඊජිප්තුවේ පහළ කාලානුක්‍රම ක්‍රමවේදය අනුව IIIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.තූ. 1479 සිට 1425 දක්වා කාලය ගැනේ. මෙය 1960 දශකයේ සිට ආයතනික කවයන්හි සම්මුතික ඊජිප්තු කාලානුක්‍රමය ලෙස සැලකෙයි.[6] නමුත් ඊජිප්තුවේ ඉහළ කාලානුක්‍රමය අනුව ඇතැම්හු එය ක්‍රි.පූ. 1504 සිට 1450 දක්වා සලකති‍.[7] දහඅටවන රාජවංශයේ සියලු දින මෙන්ම මෙම දිනයන් ද, විවාදයට හේතු වී ඇත්තේ Iවන අමෙන්හොටෙප් රජ සමයේ සොතිස් තාරකාවේ සූර්ය උදාව සම්බන්ධ සිදුවීම් වාර්තා කිරීමේ අවිනිශ්චිතතාවය නිසායි.[8] Iවන අමෙන්හොටෙප් රාජ්‍ය සමයයට අයත් පැපිරසයක, මෙම නිරීක්ෂණය වාර්තා කොට ඇති අතර, මෙය නූතන දිනදර්ශනය අනුව ඊජිප්තු කාලානුක්‍රමය ගොඩනැගීමට නිශ්චිතවම යොදාගත හැකිව තිබිණි. නමුත් මෙය සිදු කිරීමට එය නිරීක්ෂිත ස්ථානය පිළිබඳ දැන සිටිය යුතු වේ. මෙම ලේඛනයෙහි මෙම නිරීක්ෂණය සිදු කළ ස්ථානය පිළිබඳ කිසිදු සඳහනක් නැත. නමුත් සාධාරණ ලෙස, එය මෙම්ෆිස් හෝ හීලියොපොලිස් වැනි ඩෙල්ටා නගරයක හෝ තීබ්ස්හි සිට සිදු කළ එකක් යැයි සිතිය හැක. මෙම පිහිටුම් දෙක අනුව වසර විස්සක පමණ වෙනසක් සහිතව ඉහළ සහ පහළ කාලානුක්‍රම පිළිවෙලින් ලබාගත හැක.

IIIවන තුත්මෝස්ගේ රාජ්‍ය සමයේ දිග හඳුනා ගන්නට බෙහෙවින් උපකාර වී ඇත්තේ යුධ සෙන්පතියකු වූ අමනෙම්හෙබ්-මාහුගේ සොහොන්ගැබෙහි ඇති සටහන් ය.[9] අමනෙම්හෙබ්-මාහු වාර්තා කරන්නේ සිය ස්වාමියා වූ IIIවන තුත්මෝස් ඔහුගේ පනස්හතරවන රාජ්‍ය වර්ෂයේ,[10] පෙරෙට් ඍතුවේ තෙවන මාසයේ තිස්වන දිනයේ මියගිය බවයි.[11] IIIවන තුත්මෝස්ගේ අනුප්‍රාප්තික දිනය I ෂෙමු දිනය 4 ලෙස දැක්වෙන අතර, තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ ආධාර කරගනිමින් රජුගේ ආරම්භක සහ අවසාන රාජ්‍ය වර්ෂවල නිශ්චිත දිනයන් (පහළ කාලානුක්‍රමය අනුව) ගණනය කළ හැක. ඒ අනුව ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1479 අප්‍රේල් 24 සිට ක්‍රි.පූ. 1425 මාර්තු 11 දක්වා කාලය ලැබේ.[12]

තුත්මෝස්ගේ යුධ ව්‍යාපාර

[සංස්කරණය]

ඉතිහාසඥයින් විසින් යුධ විශේෂඥයකු ලෙස සලකනු ලබන IIIවන තුත්මෝස් රජු වසර 20ක් තුළ ආක්‍රමණ 16ක් මෙහෙයවා තිබේ. ක්‍රියාකාරී ව්‍යාප්තිවාදී පාලකයකු වූ ඔහු ඇතැම්විට ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රාහකයා හෙවත් "ඊජිප්තුවේ නැපෝලියන්" ලෙස හඳන්වනු ලබයි.[13] ඔහු විසින් ඔහුගේ හඳුනාගත් ආක්‍රමණ හැත්තෑවේ දී නගර 350ක් අල්ලාගත් බවත්, යුප්‍රටිස් සිට නුබියාව දක්වා මෑත පෙරදිග බොහෝ ප්‍රදේශ සිය පාලනයට නතු කරගත් බව වාර්තා වේ. Iවන තුත්මෝස් රජුගෙන් පසු යුල්‍රටිස් ගංගාව තරණය කළ පළමු පාරාවෝවරයා වූ ඔහු මිටැනි රාජධානියට එරෙහිව ආක්‍රමණ මෙහෙයවී ය. ඔහුගේ ආක්‍රමණ වාර්තා කාර්නැක්හි අමුන් දේවස්ථානයේ කැටයම් කර තිබිණි. බොහෝ අවස්ථාවන්හි දී, ඊජිප්තුවේ විසූ ශ්‍රේෂ්ඨතම රණකාමී පාරාවෝවරයා ලෙස හැඳින්වෙන ඔහු දකුණු සිරියාවේ සිට කනාන් සහ නූබියාව තෙක් විහිදුණු අධිරාජ්‍යයක් දක්වා ඊජිප්තුව පරිවර්තනය කළේ ය.[14] ඔහුගේ බොහෝ ආක්‍රමණවල දී, යටත් වනතෙක්ම සතුරන්ගේ නගරයෙන් නගරය පරාජයට පත් කිරීම සිදු විය. දුර්වල රාජ්‍ය හෝ නගර යටත් කරගැනීමේ දී උපායයන් යෙදීම ද සිදු විය.

තුත්මොසිස් නැමැති "රණකාමියා" පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහුගේ යුධ ජයග්‍රහණ නිසාම නොවේ. ඔහුගේ රාජකීය ලේකම සහ හමුදා සෙන්පති වූ තනුනි විසින් ඔහුගේ ආක්‍රමණ සහ රාජ්‍ය සමය පිළිබඳලියා තිබීම ද මෙයට හේතුවකි. තුත්මොසිස් හට විශාල බිම් සංඛ්‍යාවක් ආක්‍රමණයට අවකාශය හිමි වූයේ ආයුධ වැඩිදියුණු කිරීම නිසා යුද්ධෝපකරණ ක්ෂේත්‍රයේ සිදු වූ විප්ලවයත් සමගයි. හික්සොස්වරුන් අශ්වයන් විසින් ඇද‍ගෙන යන යුධරථ වැනි වැඩිදියුණු කළ ආයුධ භාවිතයෙන් ඊජිප්තුව ආක්‍රමණය කළ සමයේ ඊජිප්තු ජනයා මෙම ආයුධ භාවිතය උගත්හ. යාබද රාජ්‍යවලින් ඔහුට එල්ල වූයේ සුළු ප්‍රතිරෝධයක් පමණි. මේ නිසා ඔහුට සිය බලපෑම ව්‍යාප්ත කරලීම පහසු විය. ඔහුගේ හමුදාව වියළි බිම්වල බෝට්ටු පවා ගෙනගොස් ඇත. මෙම ආක්‍රමණ (වර්ෂ 20ක් තුළ සිදු වූ 17) පිළිබඳ තොරතුරු කාර්නැක්හි අමුන් දේවස්ථානයේ "ශුද්ධවන්තයින්ගේත් ශුද්ධවන්ත" කුටියෙහි කැටයම් කොට ඇත. මෙම සටහන් සෙසු ඊජිප්තු රජවරුන්ට සාපේක්ෂව වඩාත් නිරවද්‍ය සහ සවිස්තර‍ තොරතුරු සපයයි.

පළමු ආක්‍රමණය

[සංස්කරණය]
සිය සතුරන්ට දඬවම් පමුණුවන IIIවන තුත්මෝස්; කාර්නැක්හි හත්වන අටලුවේ වූ කැටයමකි.

IIIවන තුත්මෝස්ගේ විසි එක්වන වර්ෂයේ හට්ෂෙප්සුට් රැජින මියයාමත් සමග (ආර්මන්ට්වලින් හමුවූ තනි ශිලාස්තම්භය අනුව) කඩේෂ්හි රජු සිය හමුදා මෙගිඩ්ඩෝ වෙත මෙහයවී ය.[15] සිය හමුදාව රැස් කරගත් IIIවන තුත්මෝස් ඊජිප්තුවෙන් පිටත් වී අටවන මාසයේ විසිපස්වන දිනයේ ට්ජාරු (සිලේ) දේශසීමා බලකොටුව වෙත ළඟා විය.[16] ජම්නියා වැනි ඈත වෙරළබඩ තැනි දක්වා සිය සේනා මෙහයවූ තුත්මෝස් හම වර්ෂයේම නවවන මාසයේ මැදභාගය වන විට, මෙගිඩ්ඩෝ අසල පිහිටි කුඩා නගරයක් වූ යෙහෙම් වැනි අභ්‍යන්තර ප්‍රදේශ වෙත ළඟාවීමට සමත් විය.[16] අනතුරුව සිදු වූ මෙගිඩ්ඩෝහි සටන තුත්මෝස්ගේ සටන් හැත්තෑව අතුරින් විශාලතම සටන ලෙස සැලකෙයි.[17] තුත්මෝස් සහ මෙගිඩ්ඩෝව අතර මධ්‍ය පෙදෙසේ සිට කාර්මල් කන්ද වෙත විහිදුණු කඳු වළල්ලක් පිහිටා තිබූ අතර, එහි මාර්ග තුනක් අල්ලා ගත යුතු විය.[17] ඉන් උතුරු සහ දකුණු මාර්ග කන්ද වටා වැටී තිබූ අතර, එම මාර්ග ද්විත්වය වඩා ආරක්ෂිත බව ඔහුගේ මණ්ඩලය විසින් යෝජනා කරන ලදී. නමුත් නීර්භීත තුත්මෝස් (ඇතැම්විට මෙය පුරසාරමක් විය හැක) බියගුලු මණ්ඩලය වෙත දෝෂාරෝපණ එල්ලකොට අවදානම් මාර්ගයක් තෝරාගත්තේ ය.[18] එම මාර්ගය අරුනා දුර්ගය ඔස්සේ වැටී තිබූ අතර, ‍එය හමුදාවේ "අශ්වයකුට පසු අශ්වයකු සහ මිනිසකුට පසු මිනිසකු" වශයෙන් ගමන් කිරීමට තරම් ඉතා පටු වූ බව පැවසේ.[16]

තුත්මෝස්ගේ වාර්තාවන්හි මෙසේ ප්‍රශංසාත්මක සටහන් දක්වා තිබුණ ද, එවන් දුර්ගයක් සැබැවින්ම පවතියි‍. (නමුත් තුත්මෝස් දක්වා ඇති තරම් එය පටු නොවේ)[19] මෙය විශිෂ්ඨ යුධෝපායමය ක්‍රියාන්විතයක්‍ ලෙස සැලකේ. එස්ඩ්‍රේලන් තැන්නේ පිහිටි දුර්ගයෙන් ඔහුගේ හමුදාව පැමිණියේ කනාන් හමුදා සහ මෙගිඩ්ඩෝවේ අපර පෙදෙසටයි.[17] ඇතැම් හේතූන් නිසා, හමුදා දිස්වූ විගස කනාන් හමුදා පහර දුන්නේ නැත.[18] ඔහුගේ හමුදා තීරණාත්මක ලෙස එතැන පසුකළහ‍.[17] මෙම හමුදා ද්විත්වයේ ප්‍රමාණය නිර්ණය කිරීම අපහසු ය. නමුත් රෙඩ්ෆොර්ඩ් සඳහන් කරන පරිදි, එය තරණය කිරීමට ගතවූ කාලය සලකා ඊජිප්තු හමුදාවේ ප්‍රමාණයත්, අල්ලාගත් බැටළුවන් සහ එළුවන් සංඛ්‍යාව සලකා කනාන් හමුදාවේ ප්‍රමාණයත් නිර්ණය කළහොත් මෙම හමුදා දෙකම මිනිසුන් 10,000කින් පමණ යුතු වූ බව පෙනේ.[20] නමුත් බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඊජිප්තු හමුදාව වඩා විශාල වන්නට ඇති බවයි. කාර්නැක්හි අමුන් දේවස්ථානයේ IIIවන තුත්මෝස්ගේ වාර්තා ශාලාව අනුව, මෙම සටන සිදුවූයේ "වර්ෂය 23, I ෂෙමු [දිනය] 21, එනම් හරියටම නව සඳගේ උත්සවය දිනය"[21] – චන්ද්‍ර දිනයකි. IIIවන තුත්මෝස්ගේ අනුප්‍රාප්තිය ක්‍රි.පූ. 1479දී සිදුවූයේ යැයි සැලකූ විට, මෙම දිනය ක්‍රි.පූ. 1457 මැයි 9 ලෙස ලැබේ. මෙම සටන ජයග්‍රහණයෙන් පසු, ඔහුගේ හමුදා සතුරන් කොල්ලකෑම නැවැත්වූ හෙයින් සතුරන්ට මෙගිඩ්ඩෝව වෙත පලායන්නට හැකියාව ලැබිණි.[22] තුත්මෝස්ට මේ හේතුවෙන් නගරය වැටලීමට සිදු වූ අතර, මාස හතක් හෝ අටක් පුරා සිදුවූ වැටලීම් (බලන්න මෙගිඩ්ඩෝ වැටලීම) අවසානයේ එය ආක්‍රමණය කිරීමට ඔහුට හැකි විය.[22]

මෙම ආක්‍රමණය පුරාතන මෑත පෙරදිග දේශපාලන තත්ත්වය ඍජුවම වෙනස්වීමට හේතු විය. මෙගිඩ්ඩෝ අල්ලා ගැනීමෙන් පසු, තුත්මෝස් උතුරු කනාන් ප්‍රදේශයේ සම්පූර්ණ බලය නතු කරගත් අතර, සිරියානු කුමාරවරුන්ට පඬුරු කප්පම් සහ ඔවුන්ගේ පුත්‍රයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊජිප්තුව වෙත එවීමට සිදු විය.[23] යුප්‍රටිස්වලින් එහා විසූ ඇසිරියානු, බැබිලෝනියානු සහ හිටයිට් රජවරුන් සියලු දෙනා තුත්මෝස් වෙත ත්‍යාග ලබාදුන් අතර, මේවා "පඬුරු කප්පම්" වශයෙන් කාර්නැක්හි බිත්තිවල දක්වා තිබේ.[24] මේ අතරින් පැමිණ නොසිටියේ මිටැනි රාජ්‍යය පමණි‍. නමුත් ඉදිරි ඊජිප්තු ආක්‍රමණ මගින් එයට බොහෝ පීඩා සිදු විය.

කනාන් සහ සිරියාවේ සංචාරයන්

[සංස්කරණය]
කාර්නැක් දෙවොලේ නිරූපිත IIIවන තුත්මෝස්ගේ වාර්ෂික වාර්තා; මෙහි ඔහු සිය විදේශ ආක්‍රමණවලින් හිමි වූ පඬුරු ඉදිරිපට සිටගෙන සිටින අයුරු නිරූපිත ය.

තුත්මෝස්ගේ දෙවන, තෙවන සහ සිව්වන ආක්‍රමණ පඬුරු කප්පම් එකතු කිරීමට සිරියාව සහ කනාන් වෙත සිදුකළ හුදු සංචාර පමණක් බැව් පෙනේ.[25] සම්ප්‍රදායිකව, පළමු ආක්‍රමණයෙන් පසු දැක්වෙන විස්තර දෙවන යුධ ව්‍යාපාරය පිළිබඳවිස්තර කෙරෙන ඒවා යැයි සැලකේ.[26] මෙම පාඨයන් මගින් ඊජිප්තුවරුන් විසින් රෙටෙනු (දළ වහයෙන් කනාන්වලට සමාන ය) යනුවෙන් හැඳින්වූ ප්‍රදේශයෙන් හිමි වූ පඬරු පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. එසේම මේ යුගයේ ඇසිරියාව ද IIIවන තුත්මෝස්හට දෙවන "පඬුරක්" එවූ බව දැක් වේ.[27] කෙසේනමුත්, මෙම පාඨ තුත්මෝස්ගේ හතළිස්වන වර්ෂය හෝ ඉන් පසු කාලයකට අයත් ඒවා විය හැකි ය. එම නිසා මෙය හැමවිටම දෙවන ආක්‍රමණයට අයත් යැයි සැලකීම ද සිදුකළ නොහැකි ය.[26] තුත්මෝස්ගේ තෙවන ආක්‍රමණය කාර්නැක් දෙවොලේ සවිස්තරව දැක්වීමට තරම් එතරම් වැදගත්කමක් නොදරන බව පෙනේ. නමුත් එහි දී ඔහු කනාන්වලින් සොයා ගත් සතුන් සහ ශාක පිළිබඳ අධ්‍යයනය කොට කාර්නැක්හි විශේෂ කුටියක බිත්තිවල සිතුවම් කොට ඇත.[28] මෙම අධ්‍යයනය තුත්මෝස්ගේ විසිපස්වන වර්ෂයට අයත් ය.[29] තුත්මෝස්ගේ සිව්වන ආක්‍රමණය පිළිබඳ කිසිදු වාර්තාවක් හමු නොවේ.[30] නමුත් ඇතැම් විද්වතුන් පවසන්නේ පහළ ලෙබනන‍යේ බලකොටුවක් ඉදි කිරීම සහ පෙරහැර යාත්‍රාවක් ඉදි කිරීමට දැව කැපූ කාලයේ මෙය සිදුවන්නට ඇති බවයි.[31]

සිරියාව යටත් කරගැනීම

[සංස්කරණය]

IIIවන තුත්මෝස්ගේ පස්වන, සයවන සහ සත්වන යුධ ව්‍යාපාර සිරියාවේ ෆීනිෂියානු නගර සහ ඔරොන්ටස්හි කාඩේෂ් ප්‍රදේශයට එරෙහිව මෙහෙයවූ ඒවා වේ. තුත්මෝස්ගේ විසිනවවන වර්ෂයේ, ඔහු සිය පස්වන ආක්‍රමණය සිදුකළ අතර එහිදී ඔහු මුලින්ම නොහඳුනන නගරයක් යටත් කරගත්තේ ය.[32] අනතුරුව අභ්‍යන්තර පෙදෙස් වෙත ආක්‍රමණ මෙහෙයවූ ඔහු අර්ඩාටා නගරය හා ඒ අවට බිම් අල්ලා ගැනීමට සමත් විය.[33] මෙම නගරය කොල්ලකා දැමුණු අතර, තිරිඟු වගාවන් ගිනිබත් කෙරිණි. පෙර ආක්‍රමණ මෙන් නොව, IIIවන තුත්මෝස් අනතුරුව දකුණු සිරියාවට අයත් යැයි සිතිය හැකි ඩ්ජාහි ප්‍රදේශය වැටලී ය.[25] ඉන් පසු ඔහුට සිරියාව සහ ඊජිප්තුව අතර නාවික සැපයුම් සහ හමුදා ගෙන්වා ගැනීම පහසු විය.[33] මේ සඳහා ඍජු සාක්ෂි දක්නට නොලැබෙන මුත්, තුත්මෝස්ගේ තිස්වන වර්ෂයේ සිදු වූ හයවන ආක්‍රමණයේ දී කනාන් මගහැර ඍජුවම බිබ්ලොස් වෙත හමුදා නාවික මාර්ගයෙන් ප්‍රවාහනයට හැකියාව ලැබෙන්නට ඇත්තේ මේ නිසා බව විශ්වාස කෙරේ.[33] කුමන හෝ මාර්ගයකින් සිරියාව වෙත හමුදා පැමිණි පසු, ඔවුහු ජොර්දාන් නිම්නයේ දිගේ ගමන් කොට කාඩේෂ්ගේ බිම් කොල්ලකමින් උතුරට ගමන් කරන්නට වූහ.[34] නැවත බටහිර දෙසට ගමන් කොට, තුත්මෝස් සිමයිරාව අල්ලා ගත් අතර, අර්ඩාටාවේ කැරැල්ල ද මර්දනය කළේ ය.[35] මෙවැනි කැරලි ඇතිවීම වැළැක්වීමට තුත්මෝස් සිරියාවේ නගරවලින් ප්‍රාණ ඇපකරුවන් රැගෙන ගියේ ය. සිරියාවේ නගරය ජනයාගේ ජනප්‍රිය මනෝභාවයෙන් පාලනය නොකෙරිණි. එයට හේතුව වංශවතුන් කිහිප දෙනකු මිටැනිය සමග එකතු වී තිබීමයි.[34] මෙම වැදගත් පුද්ලයන්ගේ පවුල් සාමාජිකයින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගැනීමෙන්, ඔවුන්ගේ පක්ෂපාතීත්වය ඍජුවම ලබාගත හැකිබව තුත්මෝස් වටහා ගත්තේ ය.[34] කෙසේනමුත්, තුත්මෝස්ගේ තිස් එක්වන රාජ්‍ය වර්සයේ සිරියාව නැවත කැරැලි ඇති කරන්නට විය. මේ නිසා ඔහු සිය හත්වන ආක්‍රමණය යළි සිරියාව වෙත මෙහයවී ය. අනතුරුව උල්ලාසා වරාය නගරය[34] සහ කුඩා ෆීනීෂියානු වරායයන් කිහිපයක් අල්ලා ගැනීමට ඔහු සමත් විය.[35] වැඩිදුර කැරැලි ඇතිවීම වැළැක්වීමට ඔහු තවත් ක්‍රියාමාර්ග අනුගමනය කළේ ය.[34] සිරියාවේ අතිරික්ත ධාන්‍ය සියල්ල ඔහු විසින් අල්ලාගත් වරායයන්හි ගබඩාවල තැන්පත් කෙරිණි. එය යුධ කටයුතු සහ සිරියාව පාලනය කරන ඊජිප්තුවරුන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනිණි.[34] මේ හේතුවෙන් සිරියානු නගර දරිද්‍රභාවයට පත් විය. මෙලෙසින් එම නගරවල ආර්ථිකය බිඳවැටෙන විට කැරැලි සඳහා ඔවුනට අරමුදල් නොවී ය.[36]

මිටැනියෙහි ආක්‍රමණය

[සංස්කරණය]

IIIවන තුත්මෝස් විසින් සිරියානු නගරවල පාලනය සියතට ගැනීමෙන් පසු ඔහුගේ අටවන ආක්‍රමණයේ අරමුණ වූයේ මිටැනිය යටත් කරගැනීමයි. මෙය ඉන්දු-ආර්ය පාලන පන්තියක් සහිත හරියානු රාජ්‍යයක් විය. කෙසේනමුත් මිටැනිය වෙත ළඟා වීමට ඔහුට යුප්‍රටිස් ගංගාව තරණය කළ යුතු විය. මේ නිසා IIIවන තුත්මෝස් පහත යුධ උපක්‍රමය අනුගමනය කළේ ය. ඔහු ඍජුවම බිබ්ලොස් වෙත යාත්‍රා කොට[37] බෝට්ටු සාදවා එය ගොඩබිම දිගේ රැගෙන ගියේ ය. මෙය සිරියාව වෙත තවත් සංචාරයක් මෙන් දිස් විය.[35] අනතුරුව ඔහු ඒ වන විටත් යටත් කරගෙන තිබූ රාජ්‍ය කොල්ලකමින් උතුර වෙත ගමන් කළේ ය.[38] කෙසේනමුත්, ඔහු මෙතෙක් ආක්‍රමණය කොට නොතිබූ ඇලෙප්පෝ සහ කර්චෙමිෂ් නගරවල බිම් ඔස්සේ උතුර වෙත ගමන් කළේ ය. අනතුරුව සිය බෝට්ටුවලින් ඉක්මණින් යුප්‍රටිස් තරණය කළ ඔහු, මිටැනි රජුව අල්ලාගත්තේ මවිතයට පත් කරමිනි.[38] මිටැනිය ආකමණයක් බලාපොරොත්තු නොවූ බව පෙනිණි. මේ නිසා තුත්මෝස්ගෙන් අරක්ෂා වීමට ඔවුනට කිසිදු ආකාරයක හමුදාවක් නොතිබිණි. එසේම යුප්‍රටිස්හි වූ ඔවුන්ගේ නැව් ඊජිප්තු පැමිණීම වැළැක්වීමට උත්සාහ දැරී ය.[37] අනතුරුව නගරයෙන් නගරය කොල්ලකමින් IIIවන තුත්මෝස්‍ නිදහසේ ඉදිරියට යන විට, එහි වූ වංශවතුන් ගුහා තුළ සැඟව සිටි බව පැවසේ. (ඇතැම්විට මෙය ඊජිප්තුවරුන් එය වාර්තා කළ ස්වරූපයක් විය හැක)[38] මෙලෙසින් ප්‍රතිරෝධයක් එල්ල නොවූ හෙයින්, යුල්‍රටිස් තරණය අනුස්මරණය කරමින් තුත්මෝස් දෙවන ශිලා ස්තම්භයක් ද පිහිටුවී ය. මෙය දශක ගණනකට පෙර ඔහුගේ මුත්තණුවන් වූ Iවන තුත්මෝස් පිහිටුවූ ශිලාවට යාබදව පිහිටුවන ලදී.[38] ක්‍රමයෙන් මහජන හමුදාවක් මෙම ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වැදුණහ. නමුත් එය ඉතා දුර්වල ලෙසයි, සටනෙහි යෙදුණේ.[38] නිය් මාර්ගය ඔස්සේ IIIවන තුත්මෝස් අනතරුව සිරියාව වෙත ගමන් කළේ ය. එහිදී ඔහු හස්ති දඩයමක නිරත වූ බව සඳහන් වේ.[39] අනතුරුව විදේශ රාජ්‍යයන්ගෙන් පඬරු කප්පම් ලබාගත් ඔහු, විජයග්‍රාහී ලෙස ඊජිප්තුවට පැමිණියේ ය.[37]

සිරියාව වෙත සංචාර

[සංස්කරණය]
තුත්මෝස්ගේ ටෙඛෙන් වැටි ස්මාරකය අද වන විට රෝමයේ ස්ථාපනය කොට ලැටරන් ඔබලිස්කය ලෙස හඳුන්වනු ලබයි. මෙය ඊජිප්තුවේ සිට රෝමය වෙත ගෙනඒමට මුලපුරන ලද්දේ මහා කොන්ස්ටන්ටයින් (රෝම අධිරාජයා, 324-337) විසින් 326 දී ය. නමුත් එය ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් නැව් නැගීමට පෙර ඔහු මරණයට පත් විය. 357දී ඔහුගේ පුත් IIවන කොන්ස්ටන්ටියස් අධිරාජයා විසින් එය ස්ථාපනය කරන ලදී. මෙය නැව් මගින් ගෙන ආ ආකාරය සමකාලීන ඉතිහාසඥයකු වූ ඇමියේනස් මාර්සෙලිනස් විසින් වාර්තා කොට තිබේ.

සිය තිස්හතරවන වර්ෂයේ IIIවන තුත්මෝස් සිය නවවන යුධ ව්‍යාපාරය ලෙස නැවත සිරියාව වෙත පැමිණියේ ය. නමුත් මෙය අර්ධ-සංචාරක ජනතාවක් විසූ නුඛාෂ්ෂේ ප්‍රදේශයේ වූ හුදු වටලෑමක් පමණක් බව පෙනේ.[40] මෙහිදී ඔහු කොල්ල කෑ දෑ වාර්තා කර ඇත්තේ අල්ප වශයෙනි. මේ නිසා මෙය කුඩා වටලෑමකැයි සිතිය හැක.[41] කෙසේනමුත්, ඔහුගේ දසවන ආක්‍රමණයේ වාර්තාවල තවත් සටන් පැවති බව දැක්වේ. තුත්මෝස්ගේ තිස්පස්වන වර්ෂය වන විට, මිටැනියෙහි රජු විශාල හමුදාවක් සංවිධානය කළ අතර, ඇලෙප්පෝ ප්‍රදේශය අවට දී ඔවුහු ඊජිප්තුවරුන් සමග සටන් වැදුණහ.[42] සෑම ඊජිප්තු රජකු මෙන්ම තුත්මෝස් ද මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැව් සඳහන් වුවද, මෙම ප්‍රකාශය සැක සහිත ය. ඉතා කුඩා ධනයක් රැස් කරගෙන ඇති හෙයින්, මෙහි තුත්මෝස් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ ද යන්න විවාදයට තුඩු දී තිබේ.[42] කාර්නැක් දෙවොලේ තුත්මෝස්ගේ වාර්තාවන්හි සඳහන් වන්නේ ඔහු යුද්ධයේදී සිරකරුවන් දස දෙනකු පමණක් අල්ලාගත් බවයි.[43] ඇතැම්විට ඔහු මිටැනියානුවන්ව අපහසු තත්ත්වයකට ඇද දමන්නට ඇත.[42] එම ව්‍යාපාරයෙන් පසුවත් ඔහුට හිටයිට් පඬුරු හිමිවීම තුළින්, මෙම සටනේ අවසානය තුත්මෝස්ට වාසි සහගත අයුරින් සිදු වූ බව පෙනේ.[39]

ඔහුගේ ඉදිරි ආක්‍රමණ ද්විත්වය පිළිබඳ තොරතුරු නොදනී.[39] ඔහුගේ එකොලොස්වන ආක්‍රමණය ඔහුගේ තිස්හයවන රාජ්‍ය වර්ෂයේත්, දොළොස්වන ආක්‍රමණය තිස්හත්වන වර්ෂයේත් සිදු වූ බව පෙනේ. එයට හේතුව ඔහුගේ දහතුන්වන ආක්‍රමණය ඔහුගේ තිස්අටවන වර්ෂයේ සිදු වූ බව කාර්නැක්හි දක්වා තිබීමයි.[44] ඔහුගේ දොළොස්වන ආක්‍රමණයේ පඬුරු ලැයිස්තුවේ කොටසක් ඔහුගේ දහතුන්වන ආක්‍රමණයේ විස්තරයට වහාම පෙර පිහිටා තිබීමෙන් (විශේෂයෙන්ම වනගත ක්‍රීඩාවක් සහ අවිනිශ්චිත අනන්‍යතාවක් ඇති ඛනිජ පිළිබඳ) මෙය නුඛාෂ්ෂේ අවට තණබිම්වල සිදු වූ බව පෙනේ. නමුත් එය මතභේදයට තුඩු දී ඇත.[45]

ඔහුගේ දහතුන්වන ආක්‍රමණයේ දී තුත්මෝස් නුඛාෂ්ෂේ වෙත පැමිණියේ ඉතාම සුළු ආක්‍රමණයක් පිණිසයි.[44] ඊළඟ වර්ෂයේ, එනම් ඔහුගේ තිස්නවවන වර්ෂයේ ඔහු සිය දාහතරවන ආක්‍රමණය මෙහෙයවූයේ ෂාසුවරුන්ට එරෙහිව ය. මෙම යුධ ව්‍යාපාරය සිදු වූ ස්ථානය නිර්ණයට අපහසු වන්නේ ෂාසුවරුන් ලෙබනනයේ සිට එතෙරජෝර්දානය දක්වා සහ එඩොම් දක්වා වූ විවිධ ප්‍රදේශවල ජීවත් වූ සංචාරක ගෝත්‍රයක් වීම නිසායි.[46] මෙම සිද්ධියෙන් පසු, තුත්මෝස්ගේ ලේකම්වරුන් විසින් ආක්‍රමණ සඳහා සපයා ඇති අංක දක්වා ඇත්තේ හිස් ඉඩක් තුළ ය. එබැවින් ඒවා ගණනය කළ හැක්කේ දිනයන්ගෙන් පමණි. ඔහුගේ හතළිස්වන වර්ෂයේ විදේශ රාජ්‍යයන්ගෙන් පඬුරු කප්පම් එකතු කොට තිබේ. නමුත් සෙය ද ආක්‍රමණයක් ලෙස දක්වා තිබේ ද යන්න පැහැදිළි නැත. (එනම් රජු එයට පිටත්වූයේ ද නැතහොත් නිලධාරියකු පිටත්කළේ ද යන්න)[47] වාර්තාවල තුත්මෝස්ගේ ඊළඟ ආක්‍රමණය පිළිබඳ සඳහන් වන්නේ පඬුරු ලැයිස්තුව පමණකි.[48] නිය් අවට වටලෑමක් සිදු වූ බව හැර වෙනත් කිසිවක් ඉන් නිගමනය කළ නොහැක.[49] කෙ‍සේනමුත්, ඔහුගේ අවසන් ආසියානු ආක්‍රමණය මැනවින් විස්තර කොට තිබේ. තුත්මෝස්ගේ හතළිස්දෙවන වර්ෂයට මඳකලකට පෙර, මිටැනිය විසින් සිරියාවේ සියලු ප්‍රධාන නගරවල කැරැලි මෙහෙයවූ බව පෙනේ.[49] ගොඩබිමින් මෙන්ම වෙරළබඩ මාර්ග ඔස්සේ ද සිය හමුදා මෙහෙයවූ තුත්මෝස් අර්කා තැන්නේ වූ කැරැලි මර්දනය කොට ටියුනිප් බලා පිටත් විය.[49] ටියුනිප් අල්ලා ගැනීමනේ පසු, ඔහු කාඩේෂ් වෙත යළි සිය අවධානය යොමු කළේ ය. මිටැනියානු හමුදා ඛණ්ඩ තුනක් විනාශ කළ ඔහු විජයග්‍රාහීව ඊජිප්තුව කර පැමිණියේ ය.[50] කෙසේනමුත්, අවසන් ආක්‍රමනයේ ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ තොරතුරු අසම්පූර්ණ වන අතර, නිශ්චිත ද නැත. එයට හේතුව ඔහු කාඩේෂය අල්ලාගෙන නොතිබීමයි.[50] එසේම ඔහු‍ගේ මරණයට පෙර ටියුනිපය දිගු කලක සිට ඔහුට අයත් වී නොතිබිණි.[51]

නුබියානු ආක්‍රමණය

[සංස්කරණය]

තුත්මෝස් සිය පනස්වන රාජ්‍ය වර්ෂයේ තවත් එක් අවසන් ආක්‍රමණයක් මෙහෙයවා තිබේ. ඔහු නූබියාව අක්‍රමණය කොට නයිල්හි සිව්වන ඇල්ල දක්වා සේනා මෙහෙයවී ය. මෙතෙක් කිසිදු ඊජිප්තු රජකු එතරම් දුරක් සිය හමුදා මෙහෙයවා නොතිබිණි. නමුත් පෙර ඊජිප්තු රජවරුන් එම ප්‍රදේශවල ඊජිප්තු සංස්කෘතිය පැතිරවීමට සමත්ව තිබිණි. එසේම ගෙබෙල් බර්කාල්වලින් හමුවූ පැරණිතම ඊජිප්තු ලේඛනය තුත්මෝස්ගේ ආක්‍රමණයට වසර තුනකට පෙර ලියැවුණකි.[35]

ස්මාරක ඉදි කිරීම

[සංස්කරණය]

ඉදිකිරීම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ IIIවන තුත්මෝස් පනහකට අධික දේවස්ථාන සංඛ්‍යාවක් ඉදිකොට තිබේ. මින් සමහරක් අද දක්නට නොලැබෙන අතර, ඒ පිළිබඳ ලිඛිත වාර්තා පමණක් හමු වේ.[7] එසේම වංශවතුන් සඳහා සොහොන්ගැබ් ගණනාවක් ඉදිකිරීමට ඔහු අනුබල දුන්නේ ය. මෙම සොහොන්ගැබ් පෙරට වඩා විශිෂ්ඨ ශිල්පීය නිපුණත්වයකින් යුතුව නිර්මාණය කර තිබේ. එසේම ඔහුගේ රාජ්‍ය සමයේ ඉදිකිරීම් හා සම්බන්ධ ප්‍රතිමා ශිල්පය, සිතුවම් සහ කැටයම් යන අංගවල මහත් වෙනස්කම් ඇති විය. මින් බොහෝමයක් හට්ෂෙප්සුට් රැජිනියගේ සමයේ ආරම්භ වූ ඒවායි.

කලාත්මක ප්‍රගමනය

[සංස්කරණය]
මෙන්හෙට්, මෙන්වි සහ මෙර්ටිගේ සොහොන්ගැබෙන් හමුවූ කිරුළක්.
IIIවන තුත්මෝස් රජ සමයේ වීචුරු නිෂ්පාදනය ද දියුණු විය; මෙහි ඔහුගේ නාමය සහිත කෝප්පයක් දැක් වේ.
හේඩ්ජ් මුගුරක් සහ සෙඛෙම් සෙංකෝලයක් අතැතිව තමන් පිහිටුවූ ඔබලිස්ක ද්විත්වය ඉදිරිපිට සිටගෙන සිටින IIIවන තුත්මෝස්ගේ රුව; කාර්නැක්හි කැටයමකි.

තුත්මෝස්ගේ ගීහනිර්මාණ ශිල්පීන් සහ කලා ශිල්පීන් පෙර රජවරුන්ගේ සම්ප්‍රදායික කලා ශෛලිය දිගටම පවත්වාගෙන ගිය ද, පෙර සමයන්ට වඩා ඇතැම් සංවර්ධනයන් සිදු විය. ඔහු සිය රාජ්‍ය සමයේ වැඩි කාලයක් සම්ප්‍රදායික කැටයම් ශෛලීණ් අනුගමනය කළ ද, ඔහුගේ හතළිස්දෙවන වර්ෂයෙන් පසු, ඔහු පහළ ඊජිප්තුවේ රතු කිරුළ සහ ස්න්ඩ්ය්ට්-කෙටි සාය පැළඳ සිටින අයුරින් නිරූපණය කොට ඇත. මෙය පෙර නොවූ ශෛලියකි.[52] ගෘහනිර්මාණ ශිල්පය සැලකූ විට, ඔහුගේ කුළුණු භාවිත කිරීමේ සම්ප්‍රදාය ද පෙර නොපැවති එකකි. ඊජිප්තුවේ ඇති එකම දන්නා වංශාවලි ස්තම්භ කාණ්ඩය, වහලය දරා සිටීමට කුළුණු ගණනාවක් වෙනුවට විශාල කුළුණු දෙකක් භාවිත කරමින් ඔහු විසින් ඉදිකොට ඇත.[53] ඔහුගේ උත්සව ශාලාව ද විප්ලවීය නිර්මාණ අංගයකි. මෙය බැසිලිකා සම්ප්‍රදායෙන් නිර්මිත පැරණිතම හඳුනාගත් ගොඩනැගිල්ල ලෙස සැලකේ.[53] තුත්මෝස්ගේ සිත්තරුන් සිතුවම් ශිල්පයේ නව මානයන් සොයාගිය අතර, වර්ණගැන්වූ කැටයම් වෙනුවට සම්පූර්ණයෙන්ම සිතුවම් කළ පැරණිතම සොහොන්ගැබ් ඔහුගේ යුගයෙන් හමු වේ.[52] අවසානයේ, ඔහුගේ ස්මාරක ඉදි කිරීමට පමණක් නොව, තුත්මෝස්ගේ ශිල්පීන් වීදුරු නිර්මාණ ශිල්පය ද ප්‍රගුණ කළ බැව් පෙනේ. දහඅටවන රාජවංශයේ මුල් යුගයේ ඇරඹි මෙහි දී, මැද-රහිත ක්‍රමයේ පාන බඳුන් නිර්මාණය විය.[54]

කාර්නැක්

[සංස්කරණය]

තුත්මෝස් සෙසු ස්ථානවලට වඩා කාර්නැක් දෙවොල කෙරෙහි වැඩි අවධානයක් යොමුකළේ ය. ඉපුට්-ඉසුට්හි එනම්, මධ්‍යයේ ඇති ප්‍රධාන දේවස්ථානයෙහි සිය මුත්තණුවන් වූ Iවන තුත්මෝස් විසින් ඉදිකළ බහුටැම් ශාලාව ඔහු විසින් ප්‍රතිනිර්මාණය කරන ලදී. එසේම හට්ෂෙප්සුට්ගේ රතු දෙවොල ගලවා ඉවත් කළ ඔහු, එහි අමුන් දෙවියන් වෙනුවෙන් VIවන අටලුව ඉදිකළේ ය. ඔහු එය ඉදිරිපස ප්‍රවේශ කුටියක් තනවා එහි සිවිලිමට ආධාර ලෙස වංශාවලි කුළුණු ඉදිකරවී ය.[53] කුඩා දෙවොල්වලින් සමන්විත මධ්‍ය දෙවොල වටා බිත්තියක් ඉදිකළ ඔහු, ඒ සමග කම්හල් සහ ගබඩා ද ඉදිකළේ ය.[53] ප්‍රධාන දේවස්ථානයේ නැගෙනහිරින්, ඔහු සිය සෙඩ් උත්සවය සැමරීම පිණිස උත්සව ශාලාවක් ඉදිකළේ ය. මෙහි ප්‍රධාන ශාලාව බැසිලිකා සම්ප්‍රදායෙන් නිමවූවකි. එහි අන්තරාලයේ සෑම පැත්තකම සිවිලිමට අධාර ලෙස පිහිටි කුළුණු සහිත විය.[53] මෙහි මැද පේළි දෙක අනෙක් ඒවාට වඩා උසින් වැඩි නිසා, සිවිලිම බෙදෙන ස්ථානයේ කවුළුවක් සෑදී ඇත.[53] මෙම දේවස්ථානයේ ඇති කුඩා කුටි දෙකක් තුළ ඔහු සිය තෙවන ආක්‍රමණයේ දී කනාන් දේශයෙන් රැගෙන ආ පැළෑටි සහ සතුන් පිළිබඳ අධ්‍යයනයක් කැටයම් කොට ඇත.[55]

ඉපුට්-ඉසුට්හි නැගෙනහිර දෙසින් ඔහු ආටන් වෙනුවෙන් තවත් දෙවොලක් ඉදිකළේ ය. මෙය අමුන් දෙවියන්ට ආධාර වශයෙන් දක්වා ඇත.[56] මෙම දෙවොල ඇතුළත තුත්මෝස් සිය ටෙඛෙන් වැටි හෙවත් "අනන්‍ය ඔබලිස්කය" ඉදිකිරීමට සැලසුම් කළේ ය.[56] මෙම ටෙඛෙන් වැටිය යුගලක කොටසක් වෙනුවට තනිව පිහිටුවීමට තීරණය කෙරිණි. මෙය මෙතෙක් සාර්ථකව නිර්මාණය කළ උසම ඔබලිස්කය වේ. නමුත් වසැ තිස් පහකට පසු[57] IVවන තුත්මෝස් විසින් එය පිහිටුවන තෙක්ම එය සිටුවා තිබුණේ නැත.[56] පසුකලෙක මෙම ඔබලිස්කය IIවන කොන්ස්ටන්ටියස් අධිරාජයා විසින් රෝමයට ගෙනගිය අතර, එය ලැටරන් ඔබලිස්කය ලෙස හඳුන්වයි.

තවත් ක්‍රිස්තු භක්තික රෝම අධිරාජයකු වූ Iවන තියඩෝසියස් විසින් ක්‍රි.ව. 390දී කාර්නැක් දෙවොලේ වූ තවත් ඔබලිස්කයක් කොන්ස්තන්තිනෝපල් අශ්ව ක්‍රීඩාංගනයේ පිහිටුවන ලදී. මෙය වර්තමානයේ තියඩෝසියස්ගේ ඔබලිස්කය ලෙස හඳුන්වයි. මෙලෙසින් IIIවන තුත්මෝස්ගේ කාර්නැක් දෙවොලේ ඔබලිස්ක ද්විත්වයක් රෝම අධිරාජ්‍යයේ අගනුවරවල් ද්විත්වය වූ රෝමයේ සහ කොන්ස්තන්තිනෝපලයේ පිහිටුවා ඇත.

ප්‍රධාන දෙවොලේ දකුණින් අමුන් සිද්ධස්ථානය සහ මුට් දේවස්ථානය අතර තුත්මෝස් විසින් තවත් ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකරන ලදී.[56] ප්‍රධාන දෙවොලට වහාම දකුණින්, සිව්වන සහ පස්වන අටලු අතුරින් දෙවොලට ඇතුළු වීමට පැවති උතුරු දකුණු මාවත අසල ඔහු විසින් හත්වන අටලුව ඉදිකරන ලදී.[56] මෙය ඔහුගේ උත්සවය වෙනුවෙන් ඉදිකෙරුණකි. එහි පරාජය කෙරුණු සතුරන්ගේ රූ සහිත දර්ශනවලින් අලංකාර කර ඇත.[56] අටලුවේ දෙපස ඔහු විසින් දැවැන්ත රාජකීය ප්‍රතිමා ඉදිකරන ලදී. එසේම ද්වාරයේ දකුණු මුහුණත තවත් ඔබලිස්ක ද්විත්වයක් ඉදිකරවන ලදී.[56] නැගෙනහිර ඔබලිස්කයේ පාදම පමණක් දක්නට ලැබෙන අතර, බටහිර ඔබලිස්කය කොන්ස්තන්තිනෝපල් අශ්ව ක්‍රීඩාංගනය වෙත ගෙන යන ලදී.[56] තවත් දකුණින්, මාවත දිගේ ඔහු විසින් හට්ෂෙප්සුට් රැජින විසින් අරඹා තිබූ VIIIවන අටලුව නිම කරන ලදී.[53] මාවතේ නැගෙනහිර, ඔහු විසින් අඩි 250 හේ 400හි පූජනීය විලක් තැනවූ අතර, එය අසල ඇලබැස්ටර් බාක් දෙවොලක් ඉදිකළේ ය.[53] එසේම ඔහු රාජකීය කලා ශිල්පීන්ට සිය සත්ත්ව සහ ශාක එකතුව උද්භිද උද්‍යානයේ නිරූපණය කිරීමට නියම කරන ලදී.

සොහොන්ගැබ

[සංස්කරණය]
රජුන්ගේ නිම්නයේ IIIවන තුත්මෝස්ගේ සොහොන්ගැබ වන KV34හි බිත්තිවල ඇති ඇම්ඩුවැට් නිරූපණයක්.

තුත්මෝස්ගේ සොහොන්ගැබ (KV34) අනාවරණය කරගන්නා ලද්දේ 1898දී විකටර් ලොරෙට් විසින් රජුන්ගේ නිම්නයේ තිබී ය. මෙය දහඅටවන රාජවංශයේ සොහොන්ගැබ්වල දක්නට ලැබෙන පොදු සැලැස්මෙන් යුක්ත වන අතර, භූමදාන කුටීරයට පෙර ආලින්දයේ තියුණු හැරීමක් පිහිටා ඇත. ආලින්දය වෙත ප්‍රවේශ වීමට සෝපාන ද්විත්වයක් සහ කෝරිඩෝරයන් ද්විත්වයක් පිහිටි අතර, එයට පෙර චතුරස්‍රාකාර "ළිඳක්" වැනි ව්‍යූහයක් දක්නට ලැබෙයි.

නව රාජධානියේ වැදගත් අවමංගල ලේඛනයක් වූ ඇම්ඩුවැට්හි සම්පූර්ණ ප්‍රභේදයක් ආලින්දයෙහි දක්නට ලැබෙයි. ඊජිප්තුවේදීන් විසින් සොයාගත් පළමු සම්පූර්ණ අවමංගල පාඨය දැක්වෙන සොහොන්ගැබ මෙයයි. කුළුණු දෙකකින් ආධාර වන මෙම ලේඛනය, ‍ඕවලාකාර වන අතර සොකාර් දෙවිඳන්ගේ ලෙන සංකේතවත් කරමින් එහි තාරකා දක්වා ඇත. කුටිය මධ්‍යයේ කාර්ටුෂයක හැඩය ඇති විශාල රතු ක්වාට්සයිට් මිනීපෙට්ටියකි. කුටියෙහි මැද ඇති කුළුණු ද්විත්වයෙහි එක් කුළුණක, පසුකාලීන හිරු දෙවියන් සිහිපත් කෙරුණු රේගේ යාඥාවේ පාඨ අන්තර්ගත ය. මෙකල පාරාවෝවරයා මෙම දෙවියන් ලෙස හැඳින්විණි. අනෙක් කුළුණෙහි විශේෂ රුවක් දක්නට ලැබේ. එහි වෘක්ෂයක ස්වරූපය ගත් අයිසිස් දෙවඟන IIIවන තුත්මෝස්ට කිරි පොවනු නිරූපිත ය.

මෙහි බිතු සිතුවම් සරලව, “රේඛාමය” ආකාරයෙන් දක්වා ඇත. මෙහි රූපාක්ෂර බොහෝ රාජකීය සොහොන්ගැබ්වල දක්නට ලැබෙන වියදම් අධික සම්ප්‍රදායික ක්‍රමයට වඩා අවමංගල පැපිරස්වල ලියන ඇල අක්ෂර ක්‍රමයට ලියා තිබීම ද විශේෂත්වයකි. වර්ණගැන්වීම ද එසේම සරල වන අතර, ක්‍රීම් පැහැ පසුබිමෙහි කළු පැහැයෙන් යුතුව, විශේෂ ස්ථාන රෝස සහ රතු පැහයෙන් සිතුවම් කොට ඇත. මෙහි සැරසිලිවල පාරාවෝවරයා විසින් දෙවිවරුන්හට අපෙප් සර්පයා පැරදවීමට උපකාර කරන අයුරුත්, අනතුරුව හිරුගේ දිනපතා යළි උපත මෙන්ම ‍පාරාවෝවරයාගේ පුනරුත්පත්තිය ද තහවුරු කරන අයුරු නිරූපිත ය.[58]

හට්ෂෙප්සුට්ගේ ස්මාරක විකෘති කිරීම

[සංස්කරණය]
ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේවස්ථානයේ ඇති ප්‍රධාන ගොඩනැගිල්ලයි, ඩ්ජෙසර්-ඩ්ජෙසරු; මෙය සැලසුම් කරන ලද්දේ සෙනෙන්මුට් විසිනි. පාතිනන් ගොඩනැගිල්ලට පෙර කාලයක ඉදි වූ මෙය විශිෂ්ට සමමිතියකින් යුක්ත ය. මෙම භූමියේ ඉදි වූ පළමු සංකීර්ණය මෙය වූ අතර, පසුකලෙක මෙම භූමිය රජුන්ගේ නිම්නය ලෙස ප්‍රකට විය.

මෑතක් වන තුරුම විශ්වාස කෙරුණේ සිය සැමියා වූ IIවන තුත්මෝස්ගේ මරණින් පසු, හට්ෂෙප්සුට් රැජින විසින් IIIවන තුත්මෝස්ගෙන් සිහසුන 'පැහැරගත්' බවයි. IIIවන තුත්මෝස් ඇගේ සමයේ සම-රාජ්‍යාධිකාරී ලෙස කටයුතු කළ ද, පැරණි ඉතිහාසඥයන් සැකපහළ කළේ සිය මුල් දශක දෙක තුළ සිහසුන තමන්ට හිමි කරනොදීම පිළිබඳ IIIවන තුත්මෝස් සිය සුළු මවට කිසිදින සමාව නොදුන් බවයි.[59] කෙසේනමුත්, වර්තමානයේ, හට්ෂෙප්සුට් ඇගේ හමුදාව සිය උරුමකරුට භාර කර තිබූ බව හඳුනාගෙන තිබීම නිසා එම මතය ප්‍රතිශෝධනයට ලක්ව තිබේ. එසේම මෙම මතයට තවත් අනුබල දෙන කරුණක් නම් IIIවන තුත්මෝස් සිහසුනට අයිතිවාසිකම් පෑ බවට ද කිසිදු සාක්ෂියක් හමු නොවීමයි. හට්ෂෙප්සුට්ගේ ආගමික සහ පරිපාලන නායකයින් ඔහු යටතේ ද තබාගත්තේ ය.‍ එසේම හට්ෂෙප්සුට් රැජිනියගේ ස්මාරක ඇගේ මරණින් අවම වශයෙන් වසර විස්සක් ගතවනතුරුත්, එනම් IIIවන තුත්මෝස්ගේ පසුකාලීන යුගය වනතුරුත් හානියට පත්ව නොතිබූ බව පෙනී යයි. නමුත් තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙනගිය ඔහුගේ පුත් IIවන අමෙන්හොටෙප් ඇගේ කෘතීන් තමන්ගේ නිර්මාණ බව පෙන්වීමට උත්සාහ දරා ඇති බව අනාවරණය වී ඇත. එසේම IIIවන තුත්මෝස්ගේ මතකාගාර දේවස්ථානය හට්ෂෙප්සුට්ගේ දෙවොලට ඍජුවම යාබදව ඉදි කරතිබීමෙන් පෙනී යන්නේ, IIIවන තුත්මෝස්, හට්ෂෙප්සුට්‍ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වන්නට නොමැති බවයි.

හ‍ට්ෂෙප්සුට් රැජිනගේ මරණින් පසු ඇගේ බොහෝ ස්මාරක සහ රූප විකෘති කිරීම හෝ විනාශ කිරීම සිදු විය. මේ අතර ඩේර් එල්-බහ්රිහි ඇගේ සුප්‍රකට මතකාගාර දේවස්ථානය ද විය. සම්ප්‍රදායිකව මුල්කාලීන නූතන විද්වතුන් විශ්වාස කළේ මෙම ක්‍රියාවන් IIIවන තුත්මෝස්ගේ ඩැම්නේෂියෝ මෙමොරියේ (කිසියම් පුද්ගලයකු පිළිබඳ වාර්තා මකා දැමීම මගින් ඔහුට පරිභව කිරීම) ප්‍රතිපත්තියක් වන්නට ඇති බවයි. නමුත් චාල්ස් නිම්ස් සහ පීටර් ඩෝර්මන් වැනි විද්වතුන්ගේ මෑතකාලීන අධ්‍යයනයකින් පෙනීගොස් ඇත්තේ ඇතැම්විට මෙම මකාදැමීම් තුත්මෝස්ගේ හතළිස් හයවන හෝ හතළිස් හත්වන රාජ්‍ය වර්ෂයෙන් පසුව (ක්‍රි.පූ. 1433/2 පමණ) සිදුවන්නට ඇති බවයි.[60] තවත් පෙනෙන කාරණයක් නම් මෙම සත්කාරය හිමි වූයේ හට්ෂෙප්සුට් හට පමණක් නොවන බවයි. ඇගේ සමීපතමයකු වූ ප්‍රධාන සහායක සෙනෙන්මුට්ගේ ස්මාරක ද මෙසේ විකෘති කොට තිබෙනු දක්නට ලැබේ.[61] මෙවන් සාක්ෂි සලකා බලන විට පෙනීයන්නේ IIIවන තුත්මෝස් සිය අනුප්‍රාප්තියෙන් මඳ කලකට පසු කෝපයෙන් යුතුව ඇගේ ස්මාරක විනාශ කළ බවට වන ජනප්‍රිය මතය පිළිගත නොහැකි බවයි.

වර්තමානයේ, හට්ෂෙප්සුට්ගේ මතකයන් ඉතිහාසයෙන් මකාදැමීමට ඇති උත්සාහය IIIවන තුත්මෝස්ගේ පුත්‍රයා වූ අනාගත IIවන අමේනහොටෙප් සිය උරුමය තහවුරු කරගැනීමට සිදුකළ එකක් බව පෙනී යයි. ඔහු ඔහුට සමාන හෝ උසස් අයිතියක් සිහසුනට හිමිව තිබූ හට්ෂෙප්සුට් රැජිනියගේ ඥාතීන්ට විරුද්ධත්වයක් පෙන්වීමට මෙය සිදුකොට ඇති බව පෙනී යයි. හට්ෂෙප්සුට් රැජිනිය යටතේ සේවය කළ බලවත් ආගමික සහ පරිපාලන නිලධාරීන් IIIවන තුත්මෝස් යටතේ ද සේවය කර තිබීමෙන් පෙනී යන්නේ එම සිදුවීම ඉහත දැක්වූ කාලයට පෙර සිදුවූවක් නොවන බවයි.[60] පසුකලෙක, විකෘති කළ ඇගේ නිර්මාණ තමන්ගේ නිර්මාණ බවට IIවන අමෙන්හොටෙප් ප්‍රකාශ පවා සිදුකොට ඇත.

මරණය සහ භූමදානය

[සංස්කරණය]
IIIවන තුත්මෝස්ගේ මමීකරණය කළ හිස.
වියානාවේ කුන්ස්ට්හිස්ටොරිස්කස් කෞතුකාගාරයේ තබා ඇති IIIවන තුත්මොසිස්ගේ ප්‍රතිමාවක්.

ඇමරිකානු ඊජිප්තුවේදියකු වන පීටර් ඩර් මැනුවලියන් අනුව, අමෙනෙම්හෙබ් නැමැති නිලදාරියකුගේ සොහොන්ගැබේ ඇති චරිතාපදානය අනුව, IIIවන තුත්මෝස් ඔහුගේ 54වන රාජ්‍ය වර්ෂයේ, III පෙරෙට් දිනය 30 දින මිය‍ගොස් ති‍බේ. ඒ වනවිට ඔහු වර්ෂ 53, මාස 10 සහ දින 26ක් (Urk. 180.15) ඊජිප්තුව පාලනය කොට තිබිණි. මේ අනුව පෙනෙන්නේ IIIවන තුත්මෝස් ඔහුගේ පනස්හතරවන රාජ්‍ය වර්ෂයට මාසයකුත් දින හතරක් තිබිය දී මියගොස් ඇති බවයි.[62] හට්ෂෙප්සුට් සහ IIවන අමෙන්හොටෙප් සමග ගෙනගිය හවුල් පාලන සමය ඉන් අඩුකළ විට ඔහු ස්වාධීනව පාරාවෝ ලෙස වර්ෂ තිහකට අධික කාලයක් පාලනය ගෙනගොස් තිබේ.

IIIවන තුත්මෝස්ගේ මමිය හමුවූයේ 1881දී හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේවස්ථානයට ඉහළින් වූ ඩේර් එල්-බහ්රි ගබඩාවක තිබී ය. ඔහුගේ මමිය තවත් දහඅටවන සහ දහනවවන රාජවංශ පාරාවෝවරුන්ගේ මමී සමග තැන්පත් කොට තිබිණි. සෙසු මමී අතර Iවන අහ්මෝස්, Iවන අමෙන්හොටෙප්, Iවන තුත්මෝස්, IIවන තුත්මෝස්, Iවන රැම්සෙස්, Iවන සෙටි, IIවන රැම්සෙස් සහ IXවන රැම්සෙස් මෙන්ම විසිඑක්වන රාජවංශය‍ට අයත් Iවන පිනෙඩ්ජෙම්, IIවන පිනෙඩ්ජෙම් සහ සියාමුන් යන පාරාවෝවරුන්ගේ සිරුරු ද විය.

ඔහුගේ මමිය මුලින්ම ලිහා බලන ලද්දේ 1886දී ගැස්ටන් මැස්පරෝ විසින් ය යන්න ප්‍රචලිත වුවද, සැබැවින්ම පළමුව එය සිදුකරන ලද්දේ 1881දී එමිල් බෲග්ෂ් විසිනි. ඔහු විසින් ඩේර් එල්-බහ්රි සිට මමී ඉවතට ගැනීම මෙහෙයවන ලද අතර, ඒවා බෝලැක් කෞතුකාගාරය වෙත රැගෙන යන ලදී. මෙකල මැස්පරෝ මැස්පරෝ සිටියේ ප්‍රංශයේ ය. ඊජිප්තු ‍පුරාවස්තු සේවාවේ අධ්‍යක්ෂකවරයා මෙම මමී යළි ඔතන ලෙස නියෝග ‍කළේ ය. මේ නිසා 1886දී මෙය "නිල වශයෙන්" ලිහා විවෘත කරන ලද්දේ මැස්පරෝ විසිනි. මෙම මමිය ඒ වන විටත්, අයහපත් තත්ත්වයක පැවති බව ඔහු දැනසිටියේ ය‍.[63]

මෙම මමියට පුරාණ කාලයේ සොහොන් සොරුන්ගෙන් තදබල ලෙස හානි සිදු වී තිබේ. මෙම සොහොන්ගැබ යළි අනාවරණය කරගත් රැසල් පවුල විසින් වසර කිහිපයකට පෙර එහි වෙලුම් කපා ඉරා දමා තිබේ.[64] දේහය පිළිබඳ මැස්පරෝගේ විස්තරය මගින් සිරුරට සිදුව තිබූ හානියේ ප්‍රමාණය වටහා ගත හැක:

ඔහුගේ මමිය ආරක්ෂිතව සඟවා නොතිබිණි. 20වන රාජවංශය ආසන්නය වනතෙක්ම සොරුන් විසින් එය මිනීපෙට්ටියෙන් ඉවතට ඇද දමා තිබේ. ඔවුන් එහි වස්ත්‍ර ඇදදමා එය ආවරණය කොට තිබූ ආභරණ කොල්ලකා තිබේ. ඉක්මණින් කොල්ලකා ගැනීමට තැත් කිරීමේ දී එයට හානි වී තිබේ. අනතුරුව දේහය යළි තැන්පත් කෙරුණු අතර, වර්තමානය වනතෙක්ම එය යළි කිසිදු ආපදාවකට ලක්වූයේ නැත. නමුත් යළි-භුමදානයට පෙර දැවටුම්වල අලුත්වැඩියාවක් අවශ්‍ය විය. දේහයේ කොටස් ලිහිල් වූ බැවින්, ප්‍රතිෂ්ඨාපකයින් විසින් මමියට උචිත දැඩි බව ලබා දීමට එය හබල් හැඩැති දැව රාමුවක් තුළ තබා තෙරපා තිබේ. අනතුරුව සුදු පැහැයෙන් වර්ණ ගන්වා, ඇතුළු දැවටුම් තුනක් සහ පිටත එකක් වශයෙන් එතුම් ඇතිරිල්ල සිර කළ පටියට යටිත් තබා තිබේ.[65]

හානි වී නොතිබූ මුහුණ පිළිබඳ මැස්පරෝ මෙසේ සඳහන් කරයි:

වාසනාවට, එම්බාම්කරණය කළ සමයේ මුහුණ බදාමයකින් ආවරණය කර තිබී ඇති අතර, මෙම රළු හැසිරීම්වලින් එයට හානි සිදු වී නොමැත. ආරක්ෂක වෙස්මුහුණ ඉවත් කළ පසු එය නොඉඳුල් ලෙසින් පැවතිණි. එහි පෙනුම මෙම විජයග්‍රාහියා පිළිබඳ අපගේ පරමාදර්ශයට නොගැළපේ. ප්‍රතිමා තුළින් පුරුෂ ලක්ෂණවලින් පිරිපුන් ලෙස ඔහුව නිරූපණය නොකළත්, ශිෂ්ට, බුද්ධිමත් ලක්ෂණවලින් යුතුව නිරූපණය කොට තිබේ. නමුත් මමිය සමග සැසඳීමේ දී කලා ශිල්පීන් සිය ආකෘතිය පරමාදර්ශීකරණය කොට ඇති බැව් පෙනේ. නළල අසාමාන්‍ය‍ ලෙස පහළ ය. ඇස් ගැඹුරින් ගිලී ඇත. හනුව දැඩි ය. තොල් ඝනකම් ය. එසේම කම්මුල්-අස්ථි අතිශයින් ප්‍රමුඛ ය. IIවන තුත්මොසිස්ගේ සම්පූර්ණ දේහලක්ෂණ සැලකිල්ලට ගත් විට දැඩි ශක්තිමත්භාවයකින් යුතු වූ බව පෙනේ.[65]

මමියේ තත්ත්වය පිළිබඳ මැස්පරෝ අතිශයින් කනගාටුවට පත් විය. සෙසු මමී ද මේ හා සමානව හානි වී ඇතැයි අපේක්ෂා කළ ඔහු (නමුත් ඉතා අසතුටුදආයක තත්ත්වයක පැවතියේ මමී කිහිපයක් පමණි) තවත් අවුරුදු ගණනාවක් යනතෙක් තවත් මමියක් විවෘත කර බැලීමට උත්සාහ නොකළේ ය.[64]

ඩේර් එල්-බහ්රි ගබඩාවේ වූ සෙසු උදාහරණ මෙන් නොව සිරුර දරා සිටි දැවමය මමීරූපී මිනීපෙට්ටිය මුල් පාරාවෝවරයාටම අයත් වූවකි. එහි තිබූ රන් ආලේපන සහ සැරසිලි පුරාතන යුගයේ දී ම කොල්ලකා ඇති බව පෙනේ.

මමිය පරීක්ෂා කර බැලූ කායව්‍යච්ඡේදක ග්‍රැෆ්ටන් එලියට් ස්මිත් ප්‍රකාශ කළේ IIIවන තුත්මෝස්ගේ මමියේ උස මීටර 1.615 (අඩි 5 අඟල් 3.58) ක් බවයි.[66] මේ හේතුවෙන් තුත්මෝස් මිටි පුද්ගලයකු බවට ජනයා අතර විශ්වාසයක් පැතිර ගියේ ය. නමුත් උස නිර්ණය කළේ ස්මිත් පතුල් නොතිබූ අයකුගේ ය. මේ නිසා ඔහුගේ සැබෑ උස ස්මිත් විසින් පැවසූ උසට වඩා නිසැකවම වැඩි බව පෙනී යයි.[67] වර්තමානයේ IIIවන තුත්මෝස්ගේ මමිය කයිරෝ කෞතුකාගාරයේ රාජකීය මමී ශාලාවේ 61068 යන නාමාවලි අංකය යටතේ දක්වා ඇත.

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ක්ලේටන්, පීටර්. ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් සීමාසහිත සමාගම., 1994. පි.104
  2. ^ a b c d e f g ඩොඩ්සන්, ඒඩන්. හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්. පි. 132. 2004. ISBN 0-500-05128-3
  3. ^ පාට්‍රිජ්, ආර්., 2002. ෆයිටිං ෆේරෝස්: වීපන්ස් ඇන්ඩ් වෝෆෙයාර් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. මැන්චෙස්ටර්: ප්‍රීට්‍රී. පිටු: 202/203
  4. ^ ජොයිස් ටිල්ඩෙස්ලි, හැට්චෙප්සුට්: ද ෆීමේල් ෆේරෝ, පි. 94-95 වයිකිං, 1996.
  5. ^ a b c ඕ'කොනර්, ඩේවිඩ් සහ ක්ලයින්, එරික් එච්. තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි, මිචිගන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2006, ISBN 0472114670
  6. ^ කැම්ප්බෙල්, එඩ්වඩ් ෆේ ජූනියර්. ද ක්රෝනොලොජි ඔෆ් ද අමර්ණ ලෙටර්ස් විත් ස්පෙෂල් රිෆරන්ස් ‍ටු ද හයිපොතෙටිකල් කෝරීජන්සි ඔෆ් අමෙනෝෆිස් III ඇන්ඩ් අක්නාටන්. පි. 5. බැල්ටිමෝර්, ජෝන්හ් හොප්කින්ස් මුද්‍රණාලය, 1964.
  7. ^ a b ලිපින්ස්කා, ජැඩ්විගා. "තුත්මෝස් III," පි. 401. ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 3, පිටු. 401-403. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2001.
  8. ^ ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.202. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  9. ^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. ද ක්රෝනොලොජි ඔෆ් ද එයිටීන්ත් ඩයිනාස්ටි. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, වෙළු 25, අං 2. පි. 119. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1966.
  10. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 234. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  11. ^ මර්නේන්, විලියම් ජේ.ඒන්ෂන්ට් ඊජිප්ටියන් කෝරීජන්සීස්. පි.44. චිකා‍ගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග ආයතනය, 1977.
  12. ^ ජූර්ගන් වොන් බෙකරැත්, Chronologie des Pharaonischen Ägypten. මේන්ස්, ෆිලිප් වොන් සැබර්න්, 1997. පි. 189
  13. ^ ජේ. එච්. බ්‍රෙස්ටඩ්, ඒන්ෂන්ට් ටයිම්ස්: අ හිස්ට්‍රි ඔෆ් ද අර්ලි වර්ල්ඩ්; ඇන් ඉන්ට්‍රොඩක්ෂන් ටු ද ස්ටඩි ඔෆ් ඒන්ෂන්ට් හිස්ට්‍රි ඇන්ඩ් ද කැරියර් ඔෆ් අර්ලි මෑන්. අවුට්ලයින්ස් ඔෆ් යුරෝපියන් හිස්ට්‍රි 1. බොස්ටන්: ගින් සහ සමාගම, 1914, පි. 85
  14. ^ පිටු v-vi; පෙරවදන තුත්මෝස් III: අ නිව් බයෝග්‍රැෆි, මිචිගන් විශ්වවිදයාලීය මුද්‍රණාලය, 2006
  15. ^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. ඊජිප්ට්, කනාන්, ඇන්ඩ් ඊශ්‍රායල් ඉන් ඒන්ෂන්ට් ටයිම්ස්. පි. 156. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ප්‍රින්ස්ටන් NJ, 1992.
  16. ^ a b c ස්ටයින්ඩෝර්ෆ්, ජෝර්ජ්; සහ සීලි, කීත්. වෙන් ඊජිප්ට් රූල්ඩ් ද ඊස්ට්. පි. 53. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1942.
  17. ^ a b c d රෙඩ්ෆෝර්ජ්, ඩොනල්ඩ් බී. ඊජිප්ට්, කනාන්, ඇන්ඩ් ඊශ්‍රායල් ඉන් ඒන්ෂන්ට් ටයිම්ස්. පි. 157. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ප්‍රින්ස්ටන් NJ, 1992.
  18. ^ a b ස්ටයින්ඩෝර්ෆ්, ජෝර්ජ්; සහ සීලි, කීත්. වෙන් ඊජිප්ට් රූල්ඩ් ද ඊස්ට්. පි. 54. චිකාගෝ විශ්වවිද්‍යාලය, 1947.
  19. ^ ගාඩිනර්, ඇලන්. ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්. පි. 192 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1964
  20. ^ රෙඩ්ෆොර්ඩ් 2003, p. 197.
  21. ^ උර්කුන්ඩෙන් ඩෙර් 18. ඩයිනාස්ටී 657.2
  22. ^ a b ස්ටයින්ඩෝර්ෆ්, ජෝර්ජ්; සහ සීලි, කීත්. වෙන් ඊජිප්ට් රූල්ඩ් ද ඊස්ට්. පි. 55. චිකාගෝ විශ්වවිද්‍යාලය, 1942.
  23. ^ ස්ටයින්ඩොර්ෆ්, ජෝර්ජ්; සහ සීලි, කීත්. වෙන් ඊජිප්‍ට් රූල්ඩ් ද ඊස්ට්. පි. 56. චිකාගෝ විශ්වවිද්‍යාලය, 1942.
  24. ^ ගාඩිනර්, ඇලන්. ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්. පි. 193 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1964
  25. ^ a b ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 214. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  26. ^ a b රෙඩ්ෆෝර්ඩ් 2003, p. 53.
  27. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 191. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  28. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 192. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  29. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 213.
  30. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 193. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  31. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 214.
  32. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 195. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  33. ^ a b c රෙඩ්ෆෝර්ඩ් 2003, p. 217
  34. ^ a b c d e f රෙඩ්ෆෝර්ඩ් 2003, p. 218.
  35. ^ a b c d ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 215. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  36. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 219.
  37. ^ a b c රෙඩ්ෆොර්ඩ් 2003, p. 226.
  38. ^ a b c d e රෙඩ්ෆෝර්ඩ් 2003, p. 225.
  39. ^ a b c ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 216. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  40. ^ රෙඩ්ෆොර්ඩ් 2003, p. 81.
  41. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 83.
  42. ^ a b c රෙඩ්ෆෝර්ඩ් 2003, p. 229.
  43. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 84.
  44. ^ a b රෙඩ්ෆෝර්ඩ් 2003, p. 87.
  45. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 234.
  46. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 92.
  47. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 235.
  48. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 94.
  49. ^ a b c රෙඩ්ෆෝර්ඩ් 2003, p. 238.
  50. ^ a b රෙඩ්ෆෝර්ඩ් 2003, p. 240.
  51. ^ රෙඩ්ෆෝර්ඩ් 2003, p. 239.
  52. ^ a b ලිපින්ස්කා, ජැඩ්විගා. "තුත්මෝස් III," පි. 403. ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆොර්ඩ්. වෙළු. 3, පිටු. 401-403. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2001.
  53. ^ a b c d e f g h ලිපින්ස්කා, ජැඩ්විගා. "තුත්මෝස් III," පි. 402. ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 3, පිටු. 401-403. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2001.
  54. ^ ඩබ්. බී. හනී. රීවිව් ඔෆ් ග්ලසේ වෙසල්ස් බිෆෝ ග්ලාස්-බ්ලෝවිං බයි පෝල් ෆොසිං. පි. 135. විචාරකයන් සඳහා බර්ලිංටන් සඟරාව, (අප්‍රේ. 1941)
  55. ^ ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 302. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  56. ^ a b c d e f g h ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 303. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ් 1988.
  57. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II. පි. 330. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  58. ^ පෙමර්බර්ටන්, ඩේලියා සහ ෆ්ලෙචර්, ජොඈන්. ට්‍රෙෂර්ස් ඔ‍ෆ් ද ෆේරෝස්. පි. 61; ක්රෝනිකල් බුක්ස් LLC. 2004. ISBN 0-8118-4424-2.
  59. ^ ෂෝව්, ඉයන් සහ නිකොල්සන්, පෝල්. ද ඩික්ෂනරි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.120. හැරී එන්. ඒබ්‍රම්ස්, Inc. ISBN 0-8109-9096-2. 1995.
  60. ^ a b ෂෝව්, ඉයන්. ද ඔක්ස්ෆර්ඩ් හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 241. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. 2000. ISBN 0-19-280458-8
  61. ^ රස්මාන්, එඩ්නා ආර්. (සංස්.) එයර්නල් ඊජිප්ට්: මාස්ටර්වර්ක්ස් ඔෆ් ඒන්ෂන්ට් ආට් ෆ්‍රොම් ද බ්‍රිටිෂ් මියුසියම්. පි. 120-121. කැලිෆෝනියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 2001. ISBN 1-885444-19-2.
  62. ^ පීටර් ඩෙර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, හිල්ඩෙෂයිමර් ඒජිප්ටොලොජිෂ් බේයිට්‍රේජ් (HÄB) වර්ලැග්: 1987, පි. 20
  63. ^ ෆෝබ්ස්, ඩෙනිස් සී. ටූම්බ්ස්, ට්‍රෙෂර්ස්, මමීස්: සෙවන් ග්‍රේට් ඩිස්කවරීස් ඔෆ් ඊජිප්ටියන් ආකියොලොජි, පි. 43-44. KMT කමියුනිකේෂන්ස්, Inc. 1998.
  64. ^ a b රෝමර්, ජෝන්. ද වැලී ඔ‍ෆ් ද කිංස්. පි. 182. කාස්ල් බුක්ස්, 2003. ISBN 0-7858-1588-0
  65. ^ a b මැස්පරෝ, ගැස්ටන්. හිස්ට්‍රි ඔෆ් ඊජිප්ට්, කැල්ඩියා, සිරියා, බැබිලෝනියා, ඇන්ඩ් ඇසිරියා, වෙළුම 5 (of 12), http://www.gutenberg.org/files/17324/17324-h/v4c.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-12-18 , ගුටෙන්බර්ග් ව්‍යාපෘතියේ ඊ-ග්‍රන්ථය, මුදාහළ දිනය: දෙසැම්බර් 16, 2005. EBook #17325.
  66. ^ ස්මිත්, ජී. එලියට්. ද රෝයල් මමීස්, පි. 34. ඩක්වර්ත්, 2000 (යළි මුද්‍රණය)
  67. ^ ෆෝබ්ස්, ඩෙනිස් සී. ටූම්බ්ස්, ට්‍රෙෂර්ස්, මමීස්: සෙවන් ග්‍රේට් ඩිස්නවරීස් ඔෆ් ඊජිප්ටියන් ආකියොලොජි, පි. 631. KMT කමියුනිකේෂන්ස්, Inc. 1998.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • එලොයිස් ජාවිස් මැක්ග්‍රෝව්; "Mara, Daughter of the Nile"
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. (2003). The Wars in Syria and Palestine of Thutmose III. Culture and History of the Ancient Near East 16. ලෙයිඩ්න්: බ්‍රිල්. ISBN 90-04-12989-8. {{cite book}}: Invalid |ref=harv (help)
  • ඩර් මැනුවලියන්, පීටර්; Studies in the Reign of Amenophis II, Hildesheimer Ägyptologische Beiträge (HÄB) වර්ලැග්: 1987
  • ක්ලයින්, එරික් එච්. සහ ඕ'කොනර් ඩේවිඩ්, Thutmose III : A New Biography, මිචිගන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2006. ISBN 0-472-11467-0, මෙහි IIIවන තුත්මෝස් රජ සමයේ පරිපාලනය, කලාව, ආගම සහ විදේශ සබඳතා පිළිබඳ වැදගත් නව සමීක්ෂණ ලිපි ගණනාවක් අන්තර්ගත ය.
  • රයිසිංගර්, මැග්නස්, Entwicklung der ägyptischen Königsplastik in der frühen und hohen 18. Dynastie, ඇග්නස්-වර්ලැග්, මූන්ස්ටර් 2005, ISBN 3-00-015864-2
  • බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. Ancient Records of Egypt, [වෙළුම දෙක, දහඅටවන රාජවංශය], ඉලිනොයිස් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2001. ISBN 0-252-06974-9

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තුත්මෝස්_III&oldid=684389" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි