තුත්මෝස් IV

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

තුත්මෝස් IV (ඇතැම්විට IVවන තුට්මොසිස් හෝ තුත්මොසිස් ලෙස කියවනු ලැබේ. එහි අරුත තොත් ඔහුව දැරී ය යන්නයි) යනු ඊජිප්තුවේ, 18වන රාජවංශයේ 8වන පාරාවෝවරයායි. ඔහු ක්‍රි.පූ. 14වන සියවසේ පමණ ඊජිප්තුව පාලනය කොට ඇත. ඔහුගේ පෙරනාමය හෝ රාජකීය නාමය වන ‍මෙන්ඛෙපෙරුරේ යන්නෙහි අරුත "ස්වරූපයෙන් ස්ථාපිත කළ රේ" යන්නයි.[1]

දිවිය[සංස්කරණය]

IVවන තුත්මෝස් ගිසාහි මහා ස්ෆින්ක්සයට පුදපූජා සිදුකරන අයුරු නිරූපිත සිහින ශිලා ස්තම්භයේ සමීප දසුනක්. සැන් ජොසේහි රොසිකෘෂියන් ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති සැබෑ ප්‍රමාණයේ අනුරුවකිනි.

IVවන තුත්මෝස් උපත ලැබූයේ IIවන අමෙන්හොටෙප් සහ ටියා බිසවට දාව ය. නමුත් ඔහු කිරුළහිමි කුමරු නොවූ අතර, ඔහු IIවන අමෙන්හොටෙප් විසින් සිහසුනට තේරූ අනුප්‍රාප්තිකයා විය. ඇතැම් විද්වතුන් අනුමාන කරන්නේ තුත්මෝස් බලය ලබාගැනීමට සිය වැඩිමහල් සොයුරාව බලයෙන් පහකොට සිය අනපේක්ෂිත රාජ්‍යත්වය සාධාරණීකරණයට සිහින ශිලා ස්තම්භය ඉදිකරන්නට ඇති බවයි. තුත්මෝස්ගේ වඩාත් ප්‍රකට කාර්යය ලෙස ගිසාහි ස්ෆින්ක්සය ප්‍රතිසංස්කරණය කිරීම සහ සිහින ශිලා ස්තම්භය ඉදිකිරීම දැක්විය හැක. සිහින ශිලා ස්තම්භයේ තුත්මෝස්ගේ සටහනට අනුව, කුමරු ළමාවියේ දඩයම් චාරිකාවක නියැළී වෙහෙසට පත් වූ විට ගෙල දක්වා වැලිවලින් වැසී තිබූ මහා ස්ෆින්ක්සයේ හිස යට ගිමන් හැර ඇත. මඳ වේලාවකින් එතැන නින්ද ගිය ඔහුට සිහිනයක් පෙනුණු අතර, ඉන් කියැවුණේ ඔහු විසින් වැලි පාදා ස්ෆින්ක්සය ප්‍රතිසංස්කරණය කළහොත් ඔහුට ඊළඟ පාරාවෝ විය හැකි බව ස්ෆින්ක්සය ඔහුට පැවසූ බවයි. ස්ෆින්ක්සය ප්‍රතිසංස්කරණයෙන් පසු, ඔහු ස්ෆින්ක්සයේ සිංහ පා දෙක අතර කැටයම් ශිලා ඵලකයක් ස්ථාපනය කළ අතර එය දැන් සිහින ශිලා ස්තම්භය ලෙස හඳුන්වනු ලබයි. ස්ෆින්ක්සය ප්‍රතිසංස්කරණය සහ සිහින ශිලාවේ පාඨය තුත්මෝස්ගේ අනපේක්ෂිත රාජ්‍යත්වය නීත්‍යානුකූල කිරීමට ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.[2] ඔහුගේ කෙටි දස අවුරුදු පාලන සමය පිළිබඳ ඇත්තේ තොරතුරු ස්වල්පයකි. ඔහු සිය 8වන වර්ෂයේ (කොනොසෝ ශිලාවෙහි සඳහන් පරිදි) ක්‍රි.පූ. 1393 අවට නුබියාවේ කැරැල්ලක් මැඬලූ බව පැවසේ. තවත් ශිලා ස්තම්භයක ඔහුව සිරියාවේ ජයග්‍රාහකයා ලෙස හඳුන්වා ඇත.[3] නමුත් ඔහුගේ යුධ ජයග්‍රහණ පිළිබඳව ද තොරතුරු ඇත්තේ ස්වල්පයකි. IVවන තුත්මෝස් පිළිබඳ චරිතාපදානයක් ලියූ බෙට්සි බ්‍රයන් පවසන්නේ IVවන තුත්මෝස්ගේ කොනොසෝ ශිලාව මගින් විස්තර කර ඇත්තේ ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාරයේ රන් පතල් මාර්ග නුබියානුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට රජුගේ හමුදා ගත් දේශ සීමා ක්‍රියාදාමයක් පිළිබඳ බවයි.[4] IVවන තුත්මෝස්ගේ සමයේ තවත් වැදගත්කමක් ලෙස මිටානි රාජ්‍යය සමග සාමකාමී සබඳතා පවත්වා ගනිමින් මෙම සන්ධානය තහවුරු කරගැනීමට මිටානි කුමරියක සරණපාවා ගැනීම දැක්විය හැක. ඊජිප්තුවේ පැරණි සතුරකු වූ මිටානි දේශය සමග සබඳතා සඳහා මුලපිරූ IVවන තුත්මෝස්‍ පිළිබඳ අමර්ණ ලිපියක් වන EA 29 හි දැක් වේ. මෙය දශක ගණනකට පසු IVවන තුත්මෝස්ගේ මුණුපුරා වූ අක්නාටන්ගේ සමයේ මිටානියෙහි රජ කළ ටුෂ්රටා විසින් ලියන ලද්දකි. ටුෂ්රටා අක්නාටන්ට පවසන්නේ:

නිම්මුරෙයාගේ (IIIවන අමෙන්හොටෙප්) පියා [මෙන්ඛෙපෙරුරේ] මගේ මුත්තණුවන් වූ ආර්ටටාමාට ලියූ විට, ඔහු මගේ මුත්තණුවන්ගේ දියණිය එනම් මගේ පියාගේ සොයුරිය පිළිබඳ අසා ඇත. ඔහු 5,6 වතාවක්ම ලියුවද ඔහු ඇයව ලබා දී නැත. ඔහු මගේ මුත්තණුවන්ට 7වන වරට ලියූ විට එවැනි පීඩනයක් හමුවේ ඔහු ඇයව ලබාදුන්නේ ය. (EA 29)[5]

දින සහ රාජ්‍ය සමයේ දිග[සංස්කරණය]

ඛෙප්‍රෙෂය පැළඳ සිටින IVවන තුත්මෝස්, ලූවර් කෞතුකාගාරය.

IVවන තුත්මෝස්ගේ සමයේ ආරම්භය නිශ්චිතව කාලනිර්ණය කිරීම අපහසු ය. එයට හේතුව ඊජිප්තු කාලානුක්‍රමය නිර්ණය සඳහා යොදා ගන්නා තාරකා විද්‍යාත්මක දිනයන් ඔහු ඇතුළු පරම්පරා ගණනක ඉවත්කොට තිබීමයි. ‍එසේම මෙම ක්‍රමවේදයන් පිළිබඳ නිශ්චිත අර්ථනිරූපණයක් ද කොට නොමැත. තුත්මෝස්ගේ මුත්තණුවන් වූ IIIවන තුත්මෝස් සිහසුනට පත්ව ඇත්තේ නිශ්චිතවම ක්‍රි.පූ. 1504 හෝ 1479 යන දෙකෙන් එකක බව ඔහුගේ සමයේ චන්ද්‍ර නිරීක්ෂණ පදනම්ව පැවසිය හැක.[6] ඔහු ආසන්නව වර්ෂ 54ක් රාජ්‍ය පාලනය කොට ඇත.[7] ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ IIවන අමෙන්හොටෙප්, එනම් IVවන තුත්මෝස්ගේ පියා සිහසුනට පත්ව වර්ෂ 26ක් වත් රාජ්‍ය පාලනය කරන්නට ඇත.[8] නමුත් ඇතැම් කාලානුක්‍රම ප්‍රතිනිර්මාණවල ඔහුගේ සමය වසර 35ක් දක්වා දීර්ඝ කොට ඇත.[9] ඉහත සියලු සාධක සමාලෝචයෙන් පසු දැනට පිළිගැනෙන ප්‍රතිනිර්මාණය අනුව, IVවන තුත්මෝස්ගේ සමයේ ආරම්භක දිනය සඳහා ක්‍රි.පූ. 1401 අවට[10] හෝ ක්‍රි.පූ. 1400 අවට දිනයක්[11] පිළිගැනේ.

කිසිවකුට අවබෝධයක් ලබා ගත හැකි තරමට ඔහුගේ රාජ්‍ය සමයේ දිග පිළිබඳ තොරතුරු අල්ප ය. සාමාන්‍යයෙන් වසර නවයක් හෝ දහයක් ඔහු රාජ්‍ය කරන්නට ඇතැයි යෝජනා වී ඇත. මැනෙතෝ ඔහුගේ රාජ්‍ය කාලය ලෙස වසර 9කුත් මාස 8ක් දක්වා ඇත.[12] කෙසේනමුත්, 18වන රාජවංශයේ වෙනත් රජවරුන්ගේ බොහෝ නම් වෙනුවට මැනෙතෝ වැරදි රජවරුන්ගේ නම් යොදා ඇති නිසා ඔහුගේ රාජ්‍ය සමයේ දිග නිර්ණයට ස්මාරකවලින් ලැබෙන සාක්ෂි ද පදනම් කොට ගෙන ඇත.[13] IVවන තුත්මෝස්ගේ දින නිර්ණිත ස්මාරක අතුරින් තුනක් ඔහුගේ පළමු රාජ්‍ය වර්ෂයට ද, එකක් ඔහුගේ සිව්වන වර්ෂයට ද, තවත් එකක් අනුමාන වශයෙන් පස්වන වර්ෂයට ද, එකක් සයවැන්නට ද, දෙකක් හත්වැන්නට සහ තවත් එකක් නවවන රාජ්‍ය වර්ෂයට ද අයත් යැයි කාලනිර්ණය කොට ඇත.[14] වෙනත් ඔහුගේ වියහැකි නිර්ණිත වස්තූන් දෙකක්, එනම් වර්ෂය 19 සහ වර්ෂය 20 ලෙස සඳහන් වස්තු දෙකක් ඔහුට අයත් යැයි යෝජනා වී ඇත. නමුත් එය ඔහුගේ සමයට අයත් නොවන බවට ද යෝජනා ඇත.[14] මේ දිනවල රජුව හැඳින්වෙන නාමය IIIවන තුත්මෝස්ට අයත් යැයි වර්තමානයේ පිළිගැනේ—එම නාමය මෙන්‍ඛෙපෙර්රේ—වන අතර එය IVවන තුත්මෝස්ව හැඳින්වීමට භාවිත වූ මෙන්ඛෙපෙ[රු]රේ නොවේ. ඔහුගේ 8වන වර්ෂයේ කොනොසෝ ශිලාවෙන් පසු IVවන තුත්මෝස් සඳහා වෙනත් ඉහළ වර්ෂයන් හමු නොවන බැවින්[15] මැනතෝගේ වාර්තා මෙහි දී පිළිගෙන ඇත.[12] එක්තරා කාලානුක්‍රමික ප්‍රතිනිර්මාණයක් අනුව ඔහුට වසර 34-35ක් තරම් දිගු රාජ්‍ය සමයක් යෝජනා වී තිබුණ ද,[12][16] වර්තමානය වන විට බොහෝ විද්වතුන් පිළිගන්නේ ක්‍රි.පූ. 1401 සිට 1391 දක්වා වසර 10ක් ඔහු විසින් රාජ්‍ය පාලනය හොබවන්නට ඇති බවයි. නමුත් මේ දිනයන් මඳක් එහා මෙහා විය හැක.

ස්මාරක[සංස්කරණය]

කාර්නැක්හි IVවන තුත්මෝස්ගේ පරිශෛලීය ශාලාව

බොහෝ තුත්මොසීය රජවරුන් මෙන්, මේ රජු ද විශාල පරිමාණයේ ඉදිකිරීම් සිදුකළේ ය. IIIවන තුත්මෝස් විසින් ආරම්භ කර තිබූ කාර්නැක් දෙවොලේ නැගෙනහිර ඔබලිස්කය සාදා නිම කළේ IVවන තුත්මෝස් විසිනි. මීටර් 32ක් (අඩි 105ක්) උසැති මෙය එතෙක් ඊජිප්තුවේ සිටුවා තිබූ උසම ඔබලිස්කය විය.[3] IVවන තුත්මෝස් විසින් එය ටෙ‍ඛෙන් වැටි හෙවත් 'අසමසම ඔබලිස්කය' ලෙස නම්කොට ඇත. ක්‍රි.ව. 357දී මෙම ඔබලිස්කය IIවන කොන්ස්ටන්ටියස් අධිරාජයා විසින් රෝමයේ සර්කස් මැක්සිමස් භූමිය වෙත රැගෙන විත් ඇත. අනතුරුව Vවන සික්ස්ටස් පාප්වරයා විසින් ක්‍රි.ව. 1588දී එය "පියැසා සැන් ජියෝවනි" නැමැති ස්ථානයේ පිහිටුවන ලදුව අදවන විට එය 'ලැටරන් ඔබලිස්කය" ලෙස හඳුන්වනු ලබයි.[17]

ප්‍රධාන කාර්නැක් දෙවොල් ගොඩනැගිල්ලේ නැගෙනහිර නැතහොත් පසුපස බිත්තිවලට ඉදිරියෙන් IVවන තුත්මෝස් රජු විසින් අනර්ඝ දෙව්මැදුරක් සහ පරිශෛලීය (peristyle) ශාලාවක් ඉදි කොට ඇත.[18] මෙම දෙව්මැදුර "ප්‍රධාන [කාර්නැක්] දෙවොලට අතුළුවීමට අවසර නොතිබූ ජනයා වෙනුවෙන් ඉදිවූවකි. මෙය අමුන් දෙවිඳුන් සඳහා වූ 'සවන් දීමේ මධ්‍යස්ථානයක්' වූ අතර එමගින් නගරයේ ජනයාගේ යාඥා අමුන් දෙවිඳුන්ට ශ්‍රවණය කළ හැකි විය."[19] IVවන තුත්මෝස්ගේ මෙම කුඩා ඇලබැස්ටර් දෙව්මැදුර සහ පරිශෛලීය ශාලාව[20] අදවන විට ප්‍රවේශමෙන් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කාර්නැක්හි Centre Franco-Egyptien D'Étude des Temple de Karnak (CFEETK) සභාවේ ප්‍රංශ විද්වතුන් පිරිසක් විසිනි.[21]

භූමදානය[සංස්කරණය]

IVවන තුත්මෝස්ගේ කාර්නැක්හි කුඩා දෙවොල
IVවන තුත්මෝස්ගේ මමියෙහි ඇති රෝගී පෙනුම[තහවුරු කරන්න].

IVවන තුත්මෝස්ගේ දේහය රජුන්ගේ නිම්නයේ, KV43 සොහොන්ගැබෙහි භූමදානය කරන ලදී. නමුත් පසුව ඔහුගේ දේහය KV35 සොහොන් ගැබෙහි රහස් කුටියක් තුළ තැන්පත් කරන ලදී. පසුව 1898දී වික්ටර් ලොරෙට් විසින් එය සොයාගන්නා ලදී. ඔහුගේ දේහය අධ්‍යයනය කිරීමෙන් පෙනී ගොස් ඇත්තේ ඔහු දැඩිව ගිලන්ව සිට ඇති බවයි. ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIIවන අමෙන්හොටෙප් සිහසුනට පත් විය.

වෛද්‍යවිද්‍යාත්මක විශ්ලේෂණය[සංස්කරණය]

මෑතක දී ලන්ඩන් ඉම්පීරියල් කොලීජියේ ශල්‍ය වෛද්‍යවරයකු විසින් IVවන තුත්මෝස්ගේ සහ දහඅටවන රාජවංශයේ සෙසු අකාලයේ මියගිය පාරාවෝවරුන්ගේ (ටුටන්ඛාමුන් සහ අක්නාටන් ද ඇතුළු) මරණ පිළිබඳ විශ්ලේෂණය කොට ඇත. ඔහු නිගමනය කොට ඇත්තේ ඔවුන්ගේ අඩු වයසින් සිදු වූ මරණවලට හේතුව බොහෝ විට කුටුම්බ ශංඛක ඛණ්ඩිකා අපස්මාරය (familial temporal epilepsy) බවයි. IVවන තුත්මෝස්ගේ අකල් මරණය සහ සිහින ශිලාවෙහි සඳහන් ආගමික ස්වප්නය මෙහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇතැයි සැලකේ. එයට හේතුව මෙම ආකාරයේ අපස්මාර රෝගීනට අධික ආත්මීය දෘෂ්ටීන් සහ ආගමික දෘෂ්ටීන් දර්ශනය වන බැවිනි.[22]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ක්ලේටන්, පීටර්. ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්., 1994. පි.112
  2. පීටර් ක්ලේටන්, ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, 1994. පිටු.113-114
  3. 3.0 3.1 ක්ලේටන්, පි.114
  4. බ්‍රයන්, පි.335
  5. විලියම් එල්. මොරාන්, ද අමර්ණ ලෙටර්ස්, ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්, 1992. පි.93
  6. බ්‍රයන්, බෙට්සි. ද රීන් ඔෆ් තුත්මෝස් IV. පි.14. ද ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්, බැල්ටිමෝර්, 1991
  7. පීටර් ඩර් මැනුවලියන්. 'ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II. පි.20. Hildesheimer Ägyptologische Beiträge(HÄB) Verlag: 1987
  8. ඩොනල්ඩ් බී. රෙඩ්ෆෝර්ඩ්. ද ක්රෝනොලොජි ඔෆ් ද එයිටීන්ත් ඩයිනාස්ටි. පි.119. මෑත පෙරදිග අධ්‍යයන ජර්නලය, වෙළුම. 25, අංක. 2 (Apr., 1966)
  9. චාල්ස් සී. වැන් සික්ලන්. "අමෙන්හොටෙප් II", ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළුම. 1, පි.71. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  10. ජූර්ගන් වොන් බෙකරැත්, Chronologie des Pharaonischen Ägypten. ෆිලිප් වොන් සැබර්න්, මේන්ස්, (1997) පි.190
  11. ෂෝව්, ඉයන්; සහ නිකල්සන්, පෝල්. ද ඩික්ෂනරි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි.290. ද බ්‍රිටිෂ් මියුසියම් ප්‍රෙස්, 1995.
  12. 12.0 12.1 12.2 බ්‍රයන්, බෙට්සි. ද රීන් ඔෆ් තුත්මෝස් IV. පි.4. ද ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්, බැල්ටිමෝර්, 1991
  13. බ්‍රයන්, බෙට්සි. ද රීන් ඔෆ් තුත්මෝස් IV. පි.5. ද ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්, බැල්ටිමෝර්, 1991
  14. 14.0 14.1 බ්‍රයන්, බෙට්සි. ද රීන් ඔෆ් තුත්මෝස් IV. පි.6. ද ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්, බැල්ටිමෝර්, 1991
  15. BAR II, 823-829
  16. වෙන්ට්, ඊ.එෆ්.; සහ වෑන් සික්ලන්, සී. "අ ක්රෝනොලොජි ඔෆ් ද නිව් කිංඩම්." SAOC 39
  17. නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, බ්ලැක්වෙල් බුක්ස්, 1992. පි.303
  18. බැරී ජේ. කෙම්ප්, ඒන්ෂන්‍ට් ඊජිප්ට්: ඇනටමි ඔෆ් අ සිවිලයිසේෂන්, රූට්ලෙජ්, 1989. පි.202
  19. කෙම්ප්, පි.303
  20. කාර්නැක් ප්‍රොජෙක්ට් ඩේටාබේස් වෙත මාර්ගස්ථව සම්ප්‍රවේශ විය හැක: http://www.cfeetk.cnrs.fr/karnak/?iu=2775&hl=en
  21. අල්-අහ්රම්, ෆෘටිෆුල් රීසන්ස්, 21–27 නොවැම්බර් 2002, නිකුතු අංක.613
  22. ඇෂ්රාෆියන්, හියුටන්. (2012). "ෆැමීලියල් එපිලෙප්සි ඉන් ෆේරෝස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්’ස් එයිටීන්ත් ඩයිනාස්ටි". එපිලෙප්සි ඇන්ඩ් බිහේවියර්. 25 (1): 218–9. PMID 22169966. doi:10.1007/s12020-011-9581-z. 
"https://si.wikipedia.org/w/index.php?title=තුත්මෝස්_IV&oldid=385402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි