අහ්මෝස් I

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අහ්මෝස් I (ඊජිප්තු: Jˁḥ ms(j.w), ඇතැම්විට අමෝසිස් I, "අමෙනෙස්" සහ "ආහ්මෙස්" ලෙස ලියනු ලැබේ; අරුත ඉයාහ්ට උපන් [5]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තු පාරාවෝවරයකු වන අතර, ඔහු දහඅටවන රාජවංශයේ ආරම්භක පාලකයා විය. තීබානු රාජකීය ගෘහයේ සාමාජිකයකු වූ ඔහු සෙකෙනෙන්රේ ටාඕ පාරාවෝවරයාගේ පුත්‍රයා විය. ඔහුගේ සොහොයුරා දාහත්වන රාජවංශයේ අවසන් පාලකයා වූ කාමෝස් රජු ය. ඔහුගේ පියාගේ හෝ මුත්තණුවන්ගේ සමයේ තීබ්සය තුළ පහළ ඊජිප්තුවේ පාලකයන් වූ හික්සොස්වරුන්ට එරෙහිව කැරලි ඇති විය. ඔහුට සත්වන විය සපිරෙන විට, ඔහුගේ පියාව ඝාතනය කෙරිණි.[6] ඔහුට වයස අවුරුදු දහයක් පමණ වනවිට ඔහුගේ සොහොයුරා වසර තුනක් රජකම් කොට නොහඳුනන හේතූන් හේතුවෙන් මියගියේ ය. සිය සොහොයුරාගේ මරණින් පසු, Iවන අහ්මෝස් සිහසුනට පත් විය.[7] සිංහාසනාරූඪයෙන් පසුව, ඔහුව නෙබ්-පෙහ්ටි-රේ (ශක්තියෙහි අධිපති රේ) යනුවෙන් හැඳින්විණි. ඔහුගේ අහ්මෝස් යන නාමය, 'ආහ්' (බලන්න ඉයාහ්) යන දිව්‍යමය නාමය සහ '-මෝස්' යන සංයුක්ත ස්වරූපය සන්ධි වීමෙන් තැනුනකි.

ඔහුගේ රාජ්‍ය සමයේ, ඔහු ඩෙල්ටා ප්‍රදේශයෙන් හික්සොස්වරුන් සම්පූර්ණයෙන් නෙරපා දැමීමට සමත් විය. අනතුරුව තීබානු පාලනය සම්පූර්ණ ඊජිප්තුව පුරා ව්‍යාප්ත කළ ඔහු, ඊජිප්තු බලය එහි පැරණි යටත් විජිත වූ නුබියාව සහ කනාන්හි ස්ථාපනය කළේ ය.[7] අනතුරුව ඔහු රටේ පරිපාලනය ප්‍රතිසංවිධානය කළ අතර, ගල් වැඩපළවල් සහ පතල් යළි විවෘත කළේ ය. මධ්‍ය රාජධානි සමයේ ඉදි නොවූ දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේ ය. මෙම ගොඩනැගිලි ව්‍යාපෘතියේ දී ස්වදේශික පාරාවෝවරයකු විසින් ඉදිකළ අවසන් පිරමිඩය ඉදි වීම ද සිදු විය. අහ්මෝස්ගේ නායකත්වය යටතේ නව රාජධානිය සඳහා පදනම යෙදුණු අතර, මෙම යුගයේ ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 16වන සියවසේ මැද කාලයට අයත් යැයි සැලකේ.

පවුල[සංස්කරණය]

අහ්මෝස් පැවතෙන්නේ තීබානු දාහත්වන රාජවංශයෙනි. ඔහුගේ මුත්තණුවන් සහ මිත්තණිය වූ, සෙනඛ්ටෙන්රේ අහ්මෝස් සහ ටෙටිෂෙරිහට අවම වශයෙන් දරුවන් දොළොස් දෙනකුවත් සිටි බව පෙනේ. මෙම දරුවන් අතර, සෙකෙනෙන්රේ ටාඕ සහ ආහොටෙප් ද විය. ඊජිප්තු රැජිනි සම්ප්‍රදාය අනුව සෙකෙනෙන්රේ ටාඕ සිය සොයුරිය වූ ආහොටෙප් සමග විවාහ විය. ඔවුන්ගේ දරුවන් වූයේ කාමෝස්, Iවන අහ්මෝස් සහ දියණියන් කිහිප දෙනෙකි.[8] සිය පියාගේ සම්ප්‍රදාය අනුගමනය කළ Iවන අහ්මෝස් සිය සොයුරියන් කිහිප දෙනකු විවාහ කරගත් අතර, ඉන් අහ්මෝස්-නෙෆටාරි ඔහුගේ ප්‍රධාන භාර්යාව විය.[9] ඔවුනට මෙරිටාමුන් B, සිටාමුන් A ඇතුළු දියණියන් මෙන්ම, සියාමුන් A, අහ්මෝස්-අන්ඛ්,[10] Iවන අමෙන්හොටෙප් සහ රාමෝස් ඇතුළු පුත්‍රයින් ද විය.[11] (මෙහි දක්වා ඇති "A" සහ "B" තත්ත්වයන් එකම නාමය සහිත රාජකීය දරුවන් සහ භාර්යාවන් වෙන් කර දැක්වීමට ඊජිප්තුවේදීන් අනුගමනය කරන සම්මුතිය අනුව යොදා ඇති බව සලකන්න) පසුකාලීන රජකු වූ Iවන තුත්මෝස්ගේ භාර්යාව වූ මුට්නොෆ්‍රෙට් ද ඔවුන්ගේ දරුවකු විය හැක. අහ්මෝස්ගේ උරුමකරු වූ‍යේ අහ්මෝස්-අන්ඛ් ය. නමුත් ඔහු සිය පියාට පෙර මියගියේ ය. ඔහුගේ මරණය අහ්මෝස්ගේ 17වන සහ 22වන රාජ්‍ය වර්ෂ අතර සිදුවී යයි සැලකේ.[12] අහ්මෝස්ගෙන් පසු ඔහුගේ වැඩිමහල්ම ජීවත්ව සිටි පුත්‍රයා වූ Iවන අමෙන්හොටෙප් සිහසුනට පත් විය. ඇතැම්විට ඔවුන් කෙටි හවුල් පාලන සමයක් ද ගෙන යන්නට ඇත.

17වන සහ 18වන රාජවංශවල රාජකීය පවුල අතර පෙළපතේ විශේෂ බිඳ වැටීමක් සිදු නොවිණි. පසුකාලීන යුගයක ටොලමියානු රාජවංශ සමයේ මැනතෝ නැමැති ඉතිහාසඥයා වාර්තා කොට ඇත්තේ ආසන්න වශයෙන් සියවසක පමණ කාලයකට පසු හික්සොස් බලය මුලිනුපුටා දමමින්, මුළු රාජ්‍යය පුරාම ස්වදේශික ඊජිප්තු පාලනය ස්ථාපිත කිරී‍ම හේතුවෙන් මෙය නව රාජවංශයක ආරම්භයක් ලෙස සැලකිය හැකි බවයි.[13]

දින සහ රාජ්‍ය සමයේ දිග[සංස්කරණය]

අහ්මෝස්ගේ රාජ්‍ය සමය නිශ්චිතව නිර්ණයට ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ සමයේ සිදු වූ සිරියස් තාරකාවේ සූර්ය උදාව උපයෝගී කරගත හැක. නමුත්, මෙම නිරීක්ෂණය සිදු කළ ස්ථානය පිළිබඳ විවිධ අදහස් ඇත. මේ නිසා විවිධ මූලාශ්‍රවල ඔහුට ක්‍රි.පූ. 1570–1546, 1560–1537 හෝ 1551–1527 වැනි රාජ්‍ය සමයයන් ලබා දී තිබේ.[14][15] මැනතෝ විසින් අහ්මෝස්ගේ රාජ්‍ය සමය වර්ෂ 25ක් සහ මාස 4ක් ලෙස වාර්තා කොට තිබේ.[14] (නමුත්, ‍මැනතෝ විසින් මෙම රාජවංශයේ පළමු පාලකයා ලෙස "ටෙත්මොසිස්" නැමැත්තකු දක්වන හෙයින්, මින් වෙනත් අයකු පිළිබඳ අදහස් වේ යැයි සිතිය හැක) මෙම තොරතුරට සාක්ෂි ලෙස ‍ටුරාහි ශිලා වැඩපළකින් හමුවූ ඔහුගේ රාජ්‍ය සමයේ 'වර්ෂය 22'ට අයත් ශිලාලේඛනය දැක්විය හැක.[16] ඔහුගේ මමිය පිළිබඳ සිදුකළ වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ ඔහු මියයන විට වයස තිස්පහක් පමණ බවයි. මේ අනුව ඔහු 10වන වියේ දී සිහසුනට පත්වූයේ නම්, වර්ෂ 25ක රාජ්‍ය සමයයක් පිළිබඳ සාක්ෂි ලැබේ.[14] විකිරණශීලී කාබන් කාලනිර්ණ ක්‍රමවේදය අනුව ඔහුගේ රාජ්‍ය සමයේ ආරම්භය ලෙස ක්‍රි.පූ. 1570–1544 අතර කාලසීමාව ලැබේ. මෙහි මධ්‍ය අගය ක්‍රි.පූ. 1557යි.[17]

ඩේවිඩ් රොහ්ල් විසින් ඔහුගේ රාජ්‍ය සමය සඳහා විකල්ප දින (ක්‍රි.පූ. 1194 සිට 1170 දක්වා) යෝජනා කර ඇතත්[18], 2010 දී විකිරණශීලී කාබන් කාලනිර්ණ දින ප්‍රකාශයට පත්වීමටත් පෙර බොහෝ ඊජිප්තුවේදීන් විසින් එම දිනයන් ප්‍රතික්ෂේප කරන ලදී.

යුධ ව්‍යාපාර[සංස්කරණය]

ටොරන්ටෝවේ රාජකීය ඔන්ටේරියෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති
Iවන අහ්මෝස්ගේ නාමය සඳහන් කිණිස්සක්

තීබ්ස්හි ස්වදේශික රජවරුන් සහ හික්සොස් රජ අපෙපි අතර අරගලය ආරම්භ වූයේ සෙකෙනෙන්රේ ටාඕ රජුගේ සමයේ ය. එය අවසන් වූයේ වසර 30කට පමණ පසු වරින්වර පවත්නා අරගල සහ යුද්ධයන් මධ්‍යයේ Iවන අහ්මෝස් රාජ්‍ය සමයේ ය. හික්සොස්වරුන්ට එරෙහි සටනක දී සෙකෙනෙන්රේ ටාඕ මරාදැමුණු බව සිතිය හැක. මේ බව ඔහුගේ දැඩිව තුවාල වී තිබූ මමියෙන් අනාවරණය වේ. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ කාමෝස් (අහ්මෝස්ගේ වැඩිමහල් සොයුරා වූ) විසින් හික්සොස් අගනුවර වූ අවාරිස් (නූතන ටෙල් එල්-ඩබා) අවට ප්‍රදේශවල ආක්‍රමණ දියත් කළ බැව් පෙනේ.[6] කාමෝස්ට කෙටි රාජ්‍ය සමයයක් පැවති බවට සාක්ෂි තිබේ. ඔහුගේ ඉහළම සනාථ වූ රාජ්‍ය වර්ෂය, වර්ෂය 3 වන අතර, ඔහුගෙන් පසු Iවන අහ්මෝස් සිහසුනට පත් විය. ඇතැම්විට අපෙපි ද ඒ අවට කාලයේ මිය යන්නට ඇත. අපෙපි වෙනුවෙන් අවොසෙරේ සහ අකෙනියෙන්රේ යන රාජකීය නාමයන් ද්විත්වයක් භාවිත වූ අතර, එය අහ්මෝස්ගේ විරුද්ධවාදී හික්සොස් රජු විසින් විවිධ අවස්ථාවන්හි දී භාවිතා කරන නාමයන් වේ.

අහ්මෝස් සිහසුනට පත්වූයේ ළමා වියේදී ය. මේ නිසා ඔහුගේ මෑණියන් වූ ආහොටෙප් විසින් ඔහු නිසි වියට පත්වන තෙක් රාජ්‍යාධිකාරී ලෙස රාජ්‍ය පාලනය කර තිබේ. බලයට පත්ව සිටි සමයේ ඇගේ රාජකීය පදවි නාමයන්ගේ විස්තර සලකා බැලීමේ දී, ඇය විසින් "ඊජිප්තුව වෙනුවෙන් රැකබලාගන්නා" වැනි ධුරයක් උසුලා ඇති බව පෙනී යයි. අහ්මෝස් සම්පූර්ණ පාලනය අතට ගැනීමට පෙර, ඇය ක්‍රියාකාරී අයුරින් තීබානු බල මූලය ශක්තිමත් කළා ය. සැබැවින්ම IIවන අපෙපි යනු Iවන අපෙපිගේ අනුප්‍රාප්තිකයා වූයේ නම්, ඔහු ආහොටෙප්ගේ පාලන සමයේ මර්දනය වී සිටින්නට ඇත. එයට හේතුව බුබාස්ටිස්හි දකුණින් වූ කිසිදු ස්මාරකයක ඔහුගේ නාමය දක්නට නොලැබීමයි.[8]

හික්සොස්වරුන් ආක්‍රමණය[සංස්කරණය]

ඛාමුඩිගේ 11වන රාජ්‍ය වර්ෂයේ පමණ සිට හික්සොස් පාලනය යටතේ පැවති පහළ ඊජිප්තුවේ ප්‍රදේශ අහ්මෝස් විසින් ආක්‍රමණය කරන ලදී. නමුත් එහි සිදුවීම් අනුක්‍රමය පිළිබඳ සියලු දෙනාම එකඟ වන්නේ නැත.[19]

හික්සොස් අගනුවර වූ අවාරිස් ආක්‍රමණය කිරීමට පෙර සිදු වූ සිදුවීම් විශ්ලේෂණය කර බැලීම බෙහෙවින් අපහසු ය. මේ පිළිබඳ තොරතුරු සියල්ලම වාගේ ලැබෙන්නේ කෙටි එහෙත් වටිනා රයින්ඩ් ගණිතමය පැපිරසයේ පසුපස පෙදෙසිනි. මෙහි කෙටි දින සටහනක් අන්තර්ගත අතර[20] ඉන් එකක් පහත පරිදි දැක් වේ:

රාජ්‍ය වර්ෂය 11, ෂොමුගේ දෙවන මාසයේ, හීලියොපොලිස් වෙත ඇතුළුවන ලදී. අඛෙට් ඍතුවේ පළමු මාසයේ, 23වන දින, මෙම දකුණෙහි කුමරු ට්ජාරු වෙත ඇතුළු වූයේ ය.[21]

අතීතයේ මෙම රාජ්‍ය වර්ෂය අහ්මෝස්ට අයත් යැයි සැලකිණි. නමුත් වර්තමානයේ එය සැලකෙන්නේ අහ්මොස්ගේ හික්සොස් සතුරා වූ ඛාමුඩිට අයත් වූවක් බවයි. එයට හේතුව රයින්ඩ් පැපිරස් ලේඛනයේ අහ්මෝස්ව රජකු හෝ පාරාවෝවරයකු ලෙස නොව 'දකුණෙහි කුමරු' යන පහත් නාමයකින් දක්වා තිබීමයි. මෙය තීබානු ආධාරකරුවකුගේ නම් අහ්මෝස්ගේ තත්ත්වය එහි පැහැදිළිව සටහන් වනු නොඅනුමාන ය.[22] ඇන්තනි ස්පැලිංගර් විසින් කිම් රයිහොල්ට්ගේ 1997 ග්‍රන්ථයක් වූ The Political Situation in Egypt during the Second Intermediate Period, c.1800–1550 BC පිළිබඳ JNES 60 (2001) විචාරයක් තුළ සඳහන් කරන්නේ, ඩෙල්ටාවේ අහ්මෝස්ගේ ආක්‍රමණය විස්තර කෙරෙන රයින්ඩ් ලේඛනයෙහි මැද කොටස රයිහොල්ට් විසින් පරිවර්තනය කර ඇත්තේ "අඛෙට්හි 1වන මාසය, 23වන දිනය. දකුණෙහි-ඔහු (එනම් අහ්මෝස්) සිලේවලට එරෙහිව පහර දෙයි." යනුවෙන් බවයි.[23] ස්පැලිංගර් සිය විචාරය තුළ අවධාරණය කරන්නේ තමන් රයිහොල්ට්ගේ රයින්ඩ් ලේඛන පරිවර්තනය පිළිබඳ ප්‍රශ්න නොනගන බවයි. නමුත් ඔහු මෙසේ සඳහන් කරයි:

Iවන අහ්මෝස් පාරාවෝවරයාගේ රාජ පදවි නාමයන් කැටයම් කළ තඹ පොරෝ තලයක්; ඇෂ්මෝලියන් කෞතුකාගාරය.

"තීබානු-සම්භවයක් ඇති ලේඛනයක එහි පාරාවෝවරයා මෙම ආකාරයෙන් විස්තර කිරීම යුක්ති සහගත ද? මෙහි දිනයන් අහ්මෝස්ට සම්බන්ධ නම්, මෙහි රචකයා එම පාලකයාට අවනත වූවකුව සිටිය යුතුයි. මට නම් සිතෙන ආකාරයට, අහ්මෝස්ට සම්බන්ධ යැයි පැවසෙන මෙම වක්‍ර සඳහන—අහ්මෝස් විය හැකියි—හික්සොස් රාජවංශයේ ආධාරකරුවකු විස්තර කෙරෙනවා විය හැකියි. එම නිසා මෙම රාජ්‍ය වර්ෂ එම පාලකයාට මිස තීබානු [රජුට] සම්බන්ධයක් නොමැති බව සැලකිය යුතු ය."[24]

රයින්ඩ් පැපිරසය තුළ ඩෙල්ටාව ආක්‍රමණයේ දී අහ්මෝස් අනුගමනය කළ ඇතැම් යුධ උපක්‍රම සිතුවම් කොට ඇත. ජූලි මස හීලියොපොලිස් වෙත ඇතුළු වූ ඔහු, නැගෙනහිර ඩෙල්ටාව දිගේ ගමන් කළේ ට්ජාරු යටත් කර ගැනීමටයි. ඊජිප්තුවේ සිට කනාන් දක්වා වූ හොරස් මාර්ගයේ ප්‍රධාන දේශසීමා ආරක්ෂක ස්ථානය එය විය. ඔක්තෝබරයේ අවාරිස් සම්පූර්ණයෙන් අවහිර කරන ලදී. ට්ජාරු අල්ලා ගැනීමෙන් පසු[21] ඔහු කනාන් සහ අවාරිස් අතර සියලු ගනුදෙනු කපා හැරියේ ය. මින් පැහැදිළි වන්නේ ඔහු අවාරිස් අවහිර කොට, කනාන්හි සැපයුම් හෝ ආධාර වළක්වා හික්සොස් අගනුවර හුදකලා කිරීමට සැලසුම් කළ බවයි.[25]

මෙම ආක්‍රමණයේ පසු භාගය පිළිබඳ වාර්තා එයට සහභාගී වූ සෙබලකු වූ එබානාගේ පුත්, අහ්මෝස්ගේ සොහොන්ගැබෙන් හමු විය. මෙම වාර්තා අනුව පෙනෙන්නේ Iවන අහ්මෝස් විසින් හික්සොස් අගනුවර වූ අවාරිස් වෙත ආක්‍රමණ තුනක් දියත් කළ බවයි. එසේම ඔහුට ඊජිප්තුවේ දකුණින් වූ කුඩා කැරැල්ලක් ද මර්දනය කිරීමට සිදු විය. ඉන් පසු, සිව්වන ආක්‍රමණයේ දී ඔහු නගරය වටලෑවේ ය.[26] තුන් අවුරුදු ආක්‍රමණයකින් පසුව, ඔහු ගාසාව අසල ෂරුහෙන් බලකොටුව වැටලීමෙන් පසු හික්සොස්වරුන්ට එරෙහිව ජය ගැනීමට ඔහුට හැකි විය.[14][27] අවසානයේ අහ්මෝස් සිය 18වන හෝ 19වන රාජ්‍ය වර්ෂයේ අවාරිස් ආක්‍රමණය කොට ඇති බව පෙනී යයි. මේ බවට සාක්ෂි ලෙස "ටුරාවලින් හමුවූ 'කනාන්හි ගවයින්' යොදාගෙන අහ්මෝස්ගේ රාජ්‍ය වර්ෂය 22දී ශිලා වැඩපළක් විවෘත කළ බව දැක්වෙන කුරුටු ලිපිය" දැක්විය හැක.[28] අවාරිස් බිඳ වැටීමෙන් පසුව, අහ්මෝස් විසින් ෂරුහෙන් නගරය වැටලෑ අතර ඉන්පසුවයි, ගවයින් ආනයනය කෙරුණේ. මින් පැහැදිළි වන්නේ අහ්මෝස්ගේ වර්ෂ 25කින් සමන්විත රාජ්‍ය සමයේ, 18 හෝ 19වන වර්ෂයේ ඛාමුඩි පරාජය වී ඇති බවයි.[28]

විදේශ ආක්‍රමණ[සංස්කරණය]

හික්සොස්වරුන් පැරදවීමෙන් පසුව, අහ්මෝස් සිරියාව සහ නුබියාව වෙත ආක්‍රමණ දියත් කළේ ය. ඔහුගේ 22වන වර්ෂයේ සිදු කළ ආක්‍රමණයක දී, ලෙවැන්තයේ ඩ්ජාහු වෙත ළඟා වූ අතර, ඇතැම්විට යුප්‍රටිස් තරම් ඈතට ගමන් කරන්නට ද ඇත. නමුත් සාමාන්‍යයෙන් එතරම් දුරට ආක්‍රමණයක් මෙහෙයවූ පළමු පාරාවෝවරයා ලෙස සැලකෙන්නේ Iවන තුත්මෝස් ය. නමුත් අහ්මෝස් අවම වශයෙන් කෙඩෙම් (බිබ්ලොස් අසල පිහිටියේ යැයි විශ්වාස කෙරේ) වෙතවත් ආක්‍රමණ මෙහෙයවා ඇති බව ඔහුගේ බිසව වූ, අහ්මෝස්-නෙෆටාරිගේ සොහොන්ගැබෙන් හමු වූ ඔස්ට්‍රකනයක දැක්වේ.[29] මෙම ආක්‍රමණය පිළිබඳ තොරතුරු ඉතා අල්ප ය. මේ සඳහා තොරතුරු සියල්ලම පාහේ ලැබී ඇත්තේ ඊජිප්තු නාවික හමුදාවේ සේවය කළ එබානාගේ පුත්‍ර, අහ්මෝස්ගේ සොහොන්ගැබෙනි. නමුත් ඔහු මෙම ගොඩබිම් ආක්‍රමණයට දායක වී නැත. නමුත් මෙයට ආශ්‍රේයයන් වශයෙන් පසුකාලීන ක්‍රි.පූ. 16වන සියවසේ අහ්මෝස් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් අරමුණු කළේ හික්සොස් නගර විනාශ කර ඔවුන්ගේ බලය බිඳ දැමීමම මිස කනාන් ආක්‍රමණය කිරීම නොවන බව සනාථ කෙරෙන දකුණු කනාන්වලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාධක ගෙනහැර දැක්විය හැක. එහි බොහෝ බිම් සම්පූර්ණයෙන් වනසා දැමුණු අතර, මෙම යුගයේ ඒවා ප්‍රතිනිර්මාණය කෙරෙහි අවධානයක් යොමු නොවිණි.[30]

Iවන අහ්මෝස් විසින් නුබියාවේ සිදුකළ ආක්‍රමණ පිළිබඳ සවිස්තර වාර්තා හමු වේ. පළමු නුබියානු ආක්‍රමණයෙන් පසුව ආටා නැමැති නූබියානුවෙක් අහ්මෝස්ට එරෙහිව කැරලි ගැසී ය. නමුත් එය මර්දනය කෙරිණි. මෙම උත්සාහයෙන් පසුව, ටෙටියාන් නැමැති තීබානු-විරෝධී ඊජිප්තුවරයකු නූබියාවේ කැරලිකරුවන් රැස් කරගත් නමුත්, එම කැරැල්ල ද අසාර්ථක විය. අහ්මෝස් නුබියාව තුළ ඊජිප්තු පාලනය ස්ථාපනය කළේ ය. එය පාලනය කෙරුණේ බුහෙන්හි පිහිටුවූ නව පරිපාලන මධ්‍යස්ථානයකිනි.[9] ජාතික රජය යළි ස්ථාපනය කිරීමේ දී අහ්මෝස් විසින් තමන් සහ සිය රාජවංශයේ මුතුන්මිත්තන්ට උපකාර කළ කුමාරවරුන්ට ත්‍යාග ප්‍රදානය කළේ ය.[31]

කලාව සහ ස්මාරක ඉදිකිරීම්[සංස්කරණය]

අහ්මෝස් යටතේ ඉහළ සහ පහළ ඊජිප්තුව යළි ඒකාබද්ධ වීමත් සමග, කලාවන් සහ ස්මාරක ඉදිකිරීම් සඳහා ඔහුගේ නොමඳ සහාය හිමි විය. අහ්මෝස් විසින් රාජ්‍ය නිෂ්පාදනයෙන් දහයෙන් එකක් සම්ප්‍රදායික දෙවිවරුන්ගේ සේවාවන් සඳහා වෙන්කළ බව වාර්තා වේ.[32] එහිදී ඔහු දැවැන්ත ස්මාරක ඉදිකිරීම් යළි ආරම්භ කළ අතර, කලාවන්ට ද අනුග්‍රහ දැක්වී ය. නමුත් හික්සොස්වරුන් පාරජය කිරීම අහ්මෝස්ගේ රාජ්‍ය සමයේ සාපේක්ෂව පසුකලෙක සිදු වූ බැවින්, ඔහුගේ ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි වූයේ වසර හතක් පමණි.[33] ඉන් බොහෝමයක් සම්පූර්ණ කරන ලද්දේ ඔහුගේ අනුප්‍රාප්තිකයා මෙන්ම පුත්‍රයා ද වූ Iවන අමෙන්හොටෙප් විසිනි.[34]

Iවන අහ්මෝස්ගේ අත් පළඳනාවක කොටස්, ලූවර් කෞතුකාගාරය.

අහ්මෝස්ගේ සමයේ නිර්මාණ දෙවන අන්තර්මධ්‍ය යු‍ගයේ හමුවන නිර්මාණවලට වඩා උසස් අමුද්‍රව්‍යවලින් නිමැවූ ඒවා වේ. නමුත් ඔහුගේ සමයේ කලා ශිල්ප හැමවිටම පැරණි හෝ මධ්‍ය රාජධානිවල උසස්ම නිර්මාණ හා සැස‍ඳෙන්නේ නැත.[35] ඩෙල්ටාව සහ නූබියාව නැවත වරක් ඊජිප්තු පාලනයට නතු වීමත් සමග, ඉහළ ඊජිප්තුවේ හමුනොවන සම්පත් ද ලබාගත හැකි විය. රන් සහ රිදී නූබියාවෙන් ද, ලැපිස් ලැසුලි මධ්‍ය ආසියාවේ දුර බැහැර ප්‍රදේශවලින් ද, දේවදාර බිබ්ලොසයෙන් ද රැගෙන එන ලදී.[36] එසේම සිනායිහි සෙරාබිට් එල්-ඛාඩිම් හි පිහිටි නිල් මැණික් පතල් ද යළි විවෘත කෙරිණි.[37] ඊජිප්තුව සහ ක්‍රීටය අතර පැවති සම්බන්ධතාවයන්ගේ සැබෑ ස්වරූපය නොදන්නා මුත්, අවම වශයෙන් මිනෝවානු මෝස්තර සහිත භාණ්ඩ පවා මෙම යුගයෙන් හමුවී ඇත. ඊජිප්තුව ඊජියානු ප්‍රදේශය ද සිය අධිරාජ්‍යයේ කොටසක් ලෙස සලකන්නට ඇත.[36] සිය ස්මාරක සඳහා ගල් ලබා ගැනීමට අහ්මෝස් විසින් ටුරා හුනුගල් නිධිය විවෘත කොට තිබේ. එසේම ගල් ඇදගෙන යාම සඳහා ෆීනිෂියාවෙන් ගෙන්වාගත් ආසියාතික ගවයින් යොදාගෙන තිබේ. මේ බව ඔහුගේ හුනුගල් වැඩපලෙහි ශිලා ලේඛනයේ විස්තර වේ.[38]

Iවන අහ්මෝස්ගේ සමයේ කලා නිර්මාණ මධ්‍ය රාජධානි රාජකීය තීබානු ශෛලියට[39] සමානත්වයක් පෙන්වයි. එසේම මෙම යුගයේ ශිලාස්තම්භ ද එම ගුණාත්මයෙන්ම යුක්ත ය.[37] මෙමගින් පූර්ව-හික්සොස් යුගයට පෙර පැවති කලා සම්ප්‍රදායයන් යළි පිහිටුවීමට උත්සාහ ගෙන ඇති බවට මතයක් ගොඩනැගිණි. එසේවුව ද, Iවන අහ්මෝස්ගේ යැයි සැලකිය හැකි ප්‍රතිමා හමුව ඇත්තේ තුනක් පමණි: ඒ අතරට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇති ඔහු‍ගේ සොහොන්ගැබට (එය තවමත් සොයාගෙන නැත) අයත් යැයි සිතිය හැකි තනි ෂැබ්ටි රුවක්, සහ නිව් යෝක් මෙට්‍රොපොලිටන් කෞතුකාගාරයේ සහ ඛාර්ටුම් කෞතුකාගාරයේ ඇති ජීව-ප්‍රමාණයේ ප්‍රතිමා දෙකක් අන්තර්ගත ය.[39] මේ සියලු ප්‍රතිමාවන්හි අධිකව නෙරා ගිය ඇස් දක්නට ඇති අතර, මෙය පාරාවෝවරයා නිරූපිත ශිලාස්තම්භයක ද දැක්වෙන ලක්ෂණයකි. ශෛලිය මත පදනම්ව, එඩින්බර්ග්හි ස්කොට්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ තබා ඇති කුඩා හුනුගල් ස්ෆින්ක්ස් රුව ද Iවන අහ්මෝස් නිරූපණය කරන්නක් යැයි සිතිය හැක.[40]

වීදුරු නිෂ්පාදනය කිරීමේ කලාව අහ්මෝස්ගේ සමයේ වැඩිදියුණු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. වීදුරු පිළිබඳ පැරණිතම සාක්ෂි ෆෙයාන්ස් කැබලි ලෙස හමුවුවත්, ඕනෑකමින් සිදු කරන ලද වීදුරු කලා කෘති 18වන සියවස ආරම්භය වන තෙක්ම හමු නොවේ.[41] පැරණිතම වීදුරු පබළු අතරින් එකක අහ්මෝස් සහ Iවන අමෙන්හොටෙප් යන දෙදෙනාගේම නම් සඳහන් වන අතර, එහි ශෛලිය අනුව මෙම යුගයට අයත් යැයි සිතිය හැක.[42] අහ්මෝස්ගේ සමයයට පෙර වීදුරු නිෂ්පාදනය දියුණු නොවූයේ නම් සහ පළමු වස්තූන් ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ සමයට පසුකලෙක නිම නොවූ ඒවා නම්, එය එම කලාව වැඩිදියුණු කළ ඔහුගේ යටත්වැසියකුගේ වන්නට ඇත.[42]

ආහොටෙප් රැජිනගේ භූමදාන ස්ථානයේ දී හමුවූ ආභරණ සහ උත්සව ආයුධ; මේ අතර හික්සොස් සෙබලකුට පහර දෙන Iවන අහ්මෝස් නිරූපිත තලයක් ඇති පොරවක් සහ හික්සොස්වරුන්ට එරෙහිව රැජින දැක්වූ සහයෝගය වෙනුවෙන් ප්‍රදානය කෙරුණු රන් මැස්සන්ගේ රූ ද වේ.

අහ්මෝස් විසින් දෙවන අන්තර්මධ්‍ය යුගයට පෙර ඉදිවූ ආකාරයේ දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘති ආරම්භ කළේ ය. රටේ දකුණුදිගින්, බොහෝදුරට ගඩොල් යොදාගෙන ඉදිකෙරුණු දේවස්ථාන ඔහු විසින් ඉදිකරන ලදී. මින් එකක් නූබියානු නගරයක් වූ බුහෙන්හි පිහිටා ඇත. ඉහළ ඊජිප්තුව තුළ ඔහු විසින් කාර්නැක්හි අමුන් දේවස්ථානයට සහ ආර්මන්ට්හි මොන්ටු දේවස්ථානයට නව අංග එකතු කළේ ය.[37] ටුරාහි ශිලා ලේඛනයක් අනුව,[38] ඔහු විසින් සුදු හුනුගල් යොදාගෙන ප්ටාහ් දේවස්ථානයක් සහ අමුන්ගේ ඇතුළු නුවරක් ඉදිකරන ලදී. නමුත් මෙම ව්‍යාපෘති දෙකෙන් එකක්වත් නිමකළ නොහැකි විය.[37] ඔහු සිය මිත්තණිය වූ ටෙටිෂෙරි රැජින වෙනුවෙන් ඇබයිඩොස්හි ස්මාරකයක් ඉදිකළේ ය.[37]

මැන්ෆ්‍රඩ් බියෙටැක් විසින් අවාරිස් භූමියේ සිදුකළ කැනීම්වලින් පෙනී ගොස් ඇත්තේ පැරණි හික්සොස් අගනුවර පවුරු මත අහ්මෝස් විසින් මාලිගයක් ඉදිකර ඇති බවයි. බියෙටැක් විසින් වරක් මාලිගයේ බිත්ති විසිතුරු කර තිබූ මිනෝවානු-ආරේ සිතුවම් කැබලි කිහිපයක් සොයාගන්නා ලදී. ඊජියානු ශිෂ්ටාචාරය ඊජිප්තුවේ වෙළඳාම සහ කලාවන් කෙරෙහි ඇතිකළ බලපෑම පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක පවතී.[43]

අහ්මෝස්ගේ රාජ්‍ය සමයේ දී, තීබ්ස් අගනුවර මුළු ඊජිප්තුවේම අගනුවර බවට පත් වූයේ මුල්කාලීන මධ්‍ය රාජධානියේ 11වන රාජවංශ‍ යුගයේ මෙනි. එසේම එය අලුතෙන් ස්ථාපනය කළ වෘත්තීමය සිවිල් සේවාවේ මධ්‍යස්ථානයක් බවට පත් විය. මෙකල ලියන්නන් සහ රාජකීය ලේකම්වරුන් ලෙස විද්වතුන්ට විශාල ඉල්ලුමක් පැවතිණි.[44] තීබ්සය රටේ මැද පිහිටි බැවින්, එය අගනුවර ලෙස පිහිටුවීම යුද්ධෝපාය වශයෙන් ද වැදගත් තීරණයක් විය. ඒ නිසා උතුරින් හික්සොස්වරුන් ද, දකුණින් නුබියානුවන් සමග ද සටන් වැදීමට පහසු විය. මේ නිසා අනාගතයේ දී දේශ සීමාවන්හි ඇති විය හැකි ඕනෑම ගැටලුවකට මුහුණදීමේ හැකියාව රාජ්‍යය සතු විය.[32]

මෙහි වඩාත් වැදගත්ම ප්‍රගමනය ආගමික වැදගත්කමකින් යුතු ලෙස ද සැලකිය හැක: තීබ්සය ක්‍රමයෙන් රටේ ආගමික මෙන්ම දේශපාලනික මධ්‍යස්ථානය බවට ද පත් විය. එහි ප්‍රාදේශික දෙවියා වූ අමුන්, හික්සොස්වරුන්ට එරෙහිව සටන්වැදීමට අහ්මෝස්ව පෙළඹවූ බවට විරුදාවලි හිමි විය. කාර්නැක් දේවස්ථාන සංකීර්ණයේ (තීබ්සයට උතුරින් නයිල් නදියේ නැගෙනහිර ඉවුරේ) වැදගත්කම වැඩි වූ අතර, පෙර පැවති හීලියොපොලිස් පාදක කරගත් රා දේව වන්දනාව අභාවයට යමින් පැවතිණි.[45]

කාර්නැක් දෙවොලේ තිබූ අහ්මෝස්ගේ සේවාවන් විස්තර කෙරෙන ශිලා ස්තම්භ කිහිපයක් හමුව ඇත. මින් දෙකක ඔහු දෙවොලේ දායකයා ලෙස දක්වා තිබේ. "කුණාටු ශිලා ස්තම්භය" යනුවෙන් හඳුන්වන මින් එක් ශිලා ස්තම්භයක, මහා කුණාටුවකින් විනාශ වූ තීබ්ස්හි පැරණි රජවරුන්ගේ පිරමිඩ ඔහු විසින් ප්‍රතිනිර්මාණය කළ බැව් සඳහන් වේ.[46] ඊජියන් ප්‍රදේශවල තෙරා විදාරණය, කුණාටු ශිලා ස්තම්භයේ දැක්වෙන ඇතැම් හානි සඳහා ප්‍රභවයක් වන්නට ඇතැයි ඇතැම් විද්වත්හු පවසති.

පිරමිඩය[සංස්කරණය]

ඇබයිඩොස්හි පිහිටා තිබූ අහ්මෝස්ගේ පිරමිඩයේ නටබුන් 1899දී සොයාගැනුණු අතර, එය ඔහුගේ යැයි අනාවරණය කරගැනුණේ 1902දී ය.[47][48] එහි ආවරණ ගල් බොහෝමයක් වසර ගණනාවක් පුරා විවිධ ඉදිකිරීම් සඳහා සොරකම් කොට තිබේ. එය ගොඩනගා තිබූ රළු ගල් ගොඩැල්ල ඇද වැටී තිබේ. කෙසේනමුත්, ඇස නොගැටුණු ආවරණ ගල් පේළි දෙකක් ආතර් මේස් විසින් සොයාගන්නා ලදී. හුනුගල් ආවරණයේ සාධක අනුව ඔහු විසින් එහි බෑවුමේ ආනතිය අංශක 60ක් පමණ වන්නට ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇත. (ගිසාහි මහා පිරමිඩයේ අඩු තීව්‍ර අංශක 51 සමග සසඳා බැලීමේ දී)[49] මහා පිරමිඩ දෙවොලට යාබදව එහි නැගෙනහිරින් අහ්මෝස්ගේ රැජින වූ අහ්මෝස්-නෙෆටාරි විසින් ඉදිකළ දේවස්ථාන දෙකක් හාවි විසින් හඳුනාගන්නා ලදී. මින් එක් ව්‍යූහයක, අහ්මෝස්ගේ ‍22වන වර්ෂයේ එල්-මාසරා (ටුරා) හි ගල් වැඩපලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත් ප්‍රධාන භාණ්ඩාගාරික නෙෆර්පෙරෙට් නිලධාරියාගේ මුද්‍රාව සහිත ගඩොලු දක්නට ලැබේ. තෙවන විශාල දේවස්ථානය (දෙවොල C) ස්වරූපය සහ පරිමාණය අතින් පිරමිඩ දෙවොලට සමානත්වයක් දරන නමුත්, එහි ගඩොලු මුද්‍රා අනුව පෙනීයන්නේ එය අහ්මෝස්-නෙෆටාරි රැජින වෙනුවෙන් ඉදිකළ වන්දනා ස්ථානයක් බවයි.

පිරමිඩ සංකීර්ණයේ අක්ෂය කාන්තාරයේ කිලෝමීටරයක් පමණ දුරට පැතිර පවතින ස්මාරක මාලාව හා බැඳී පවතී යැයි සැලකේ. එහි අක්ෂය දිගේ ප්‍රධාන ව්‍යූහ ගණනාවක් දක්නට ලැබේ: 1) ඔහුගේ මිත්තණිය වූ ටෙටිෂෙරි රැජිනට පුදකළ විශාල පිරමිඩයක්; මෙහි අහ්මෝස් විසින් ඇයට පුද පූජා සිදුකරනු නිරූපිත ශිලා ස්තම්භයක් දක්නට ලැබේ. 2) ශිලාමය භුගත ගොඩනැගිලි සංකීර්ණයක්; මෙය ඔසිරියානු පාතාල ලෝකය නිරූපිත සංකේතාත්මක ව්‍යූහයක් හෝ සැබෑ රාජකීය සොහොන්ගැබක් විය හැක.[50] 3) උස් බෑවුමකට එදිරිව තනා ඇති පේසාමය දේවස්ථානයක්; මෙහි දැවැන්ත ගල් සහ ගඩොල් පේසා දක්නට ලැබේ. මෙම අංග IIIවන සෙන්වොස්රෙට්ගේ ස්මාරකය තැනීමට යොදාගත් පොදු සැලැස්ම අනුව නිමවා ඇති අතර, මෙහි ශෛලිය පැරණි සහ මධ්‍ය රාජධානි යුගයන්හි පිරමිඩ සංකීර්ණයන් සිහි ගන්වයි.[50]

මෙම පිරමිඩය අහ්මෝස්ගේ භුමදාන ස්ථානය ද, නැතහොත් ඔහුගේ ස්මාරකයක් ද යන්න මතභේදයට තුඩු දී ඇත. මේස් සහ ක’රෙලි වැනි පැරණි ගවේෂකයින්ට කිසිදු ඇතුළු කුටීරයක් අනාවරණය කරගත නොහැකි වූ හෙයින්, පිරමිඩයෙහි රළු ගල් හරයෙහි භූමදාන කුටීරයක් පවතී යැයි සිතිය නොහැක. ඇබොට් පැපිරසයෙහි සොහොන් බිඳීම් වාර්තාවල අහ්මෝස් රජුගේ සොහොන්ගැබක් පිළිබඳ සඳහන් නොවේ. තීබ්ස්හි මෙම රජුගේ සොහොන්ගැබ ලෙස හඳුනාගත හැකි කිසිදු ස්ථානයක් හමු නොවීම නිසා, හාවි පවසන පරිදි ඔහුගේ දේහය ඇබයිඩොස්හි භුමදානය කරන්නට ඇත. පසුගිය අවුරුදු කිහිපය තුළ නිශ්චිතවම පිරමිඩයේ පාදම අසලින් වන්දනා ව්‍යූහ ගණනාවක් අනාවරණය කරගෙන තිබේ. එසේම පිරමිඩයේ පාදමෙහි, අහ්මෝස් වන්දනාව සඳහා පූජකවරුන් විසින් භාවිත කළ සුසානයක් ද හමු වී තිබීම නිසා රජුගේ ඇබයිඩොස් වන්දනා මතය සනාථ කෙරෙන සාක්ෂි ලැබේ. කෙසේනමුත්, සෙසු ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ මෙම පිරමිඩය ඉදිවූයේ (ඇබයිඩොස්හි ටෙටිෂෙරිගේ පිරමිඩය මෙන්) ස්මාරකයක් ලෙස පමණක් බවයි. අහ්මෝස්ගේ දේහය සෙසු පසුකාලීන 17වන සහ මුල්කාලීන 18වන රාජවංශ රජවරුන් මෙන් ඩ්‍රා' අබු එල්-නගා'හි භූමදාන කරන්නට ඇතැයි ඔවුහු පවසති.[37]

මතකාගාර දේවස්ථාන සංකීර්ණයක කොටසක් ලෙස ඊජිප්තුවේ නිර්මාණය වූ අවසන් පිරමිඩය මෙයයි. නව රාජධානියේ ඉදිරි පාරාවෝවරුන් විසින් ප්‍රායෝගික සහ ආගමික හේතූන් මත පිරමිඩ ඉදිකිරීම නවතා ඇත. ගිසා සානුව පිරමිඩ ගණනාවක් සඳහා වාසස්ථාන සපයයි. නමුත් මෙය පිරමිඩ ඉදි කිරීමට බාධාවක් නොවිණි. තීබ්සයේ බෑවුම් සහිත භූ විෂමතාව හේතුවෙන් කාන්තාරයෙන් වටවූ භූමදානයන් ජලගැලීම් නිසා තර්ජනයට ලක් විය. පිරමිඩය සම්බන්ධ වූයේ හිරු දෙවි රේ සමග ය. පසුව ඔහුට හිමි තැන අමුන් දෙවියන්ට හිමි විය. අමුන්ගේ නාමයේ එක් අරුතක් නම්, සැඟවුණු තැනැත්තා යන්නයි. මේ අනුව දේවධර්ම න්‍යායාත්මකව, සැබෑ භුමදාන ස්ථානයෙන් මතකාගාර දේවස්ථානය සම්පූර්ණයෙන් වෙන්ව ඉදි කිරීමෙන් පාරාවෝවරයාගේ සොහොන්ගැබ සඟවා තැබිය හැකි විය. මේ නිසා පාරාවෝවරයාගේ භුමදාන ස්ථානය සොහොන් බිඳින්නන්ගෙන් සඟවා තැබිය හැකි විය. නව රාජධානියේ ඉදිරි සියලු පාරාවෝවරුන් රජුන්ගේ නිම්නයේ ශෛලමය සොහොන්ගැබ් තුළ භූමදානය කෙරිණි.[51]

මමිය[සංස්කරණය]

Iවන අහ්මෝස්ගේ මමීකරණය කළ හිස

Iවන අහ්මෝස්ගේ මමිය සොයාගන්නා ලද්දේ 1881දී හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඍජුවම ඉහළින් කඳු අතර පිහිටි ඩේර් එල්-බහ්රි කුටියක් තුළ තිබී ය. ඔහුගේ මමිය ඇතුළුව Iවන අමෙන්හොටෙප්, Iවන තුත්මෝස්, IIවන තුත්මෝස්, IIIවන තුත්මෝස්, Iවන රැම්සෙස්, Iවන සෙටි, IIවන රැම්සෙස් සහ IXවන රැම්සෙස් වැනි 18වන සහ 19වන රාජවංශයේ පාරාවෝවරුන්ගේ මමී ද එතැන විය. මීට අමතරව Iවන පිනෙඩ්ජෙම්, IIවන පිනෙඩ්ජෙම් සහ සියාමුන් වැනි 21වන රාජවංශයේ පාරාවෝවරුන්ගේ දේහයන් ද එම කුටියේ පැවතිණි.

Iවන අහ්මෝස්ගේ මමිය ලිහා බලන ලද්දේ ගැස්ටන් මැස්පරෝ විසින් 1886 ජූනි 9වන දින ය. එම දේහය තිබූයේ රූපාක්ෂරවලින් ඔහුගේ නාමය සටහන්ව තිබූ මිනීපෙට්ටියක තිබී ය. ඔහුගේ වෙලුම් පටිවල ද රූපාක්ෂරවලින් නැවත ඔහුගේ නාමය සටහන්ව තිබිණි. දේවදාර දැවයෙන් නිමකළ මිනීපෙට්ටියේ ශෛලිය අනුව පෙනී ගියේ එය 18වන රාජවංශ සමයට අයත් එකක් බවයි. මෙය රාජකීය ශෛලියෙන් නිම කර නොතිබූ අතර, එතරම් විසිතුරු ද නොවී ය. එහි ආලේප කර හෝ ගිල්වා තිබූ දෑ සියල්ල අතීතයේ දී ම ගලවා ඉවත් කර තිබූ බව පෙනී ගියේ ය.[52] ඔහුගේ දේහය මුල් භූමදාන ස්ථානයෙන් ඉවත් කර, යළි ඔතා ඩේර් එල්-බහ්රිහි කුටීරයේ තැන්පත් කර තිබෙන්නේ 21වන රාජවංශයේ පූජක රජකු වූ IIවන පිනෙඩ්ජෙම් සමයේ ය. ඔහුගේ නාමය ද මමියේ වෙලුම් අතර දක්නට ලැබේ. ඔහුගේ ගෙල වටා ඩෙල්ෆිනියම් මලින් කළ මාලයක් තැන්පත් කර තිබී ඇත. ඔහුගේ දේහය පුරාතන නිධන් සොරුන්ගේ පීඩාවන්ට ලක්ව ඇති බවට සාධක තිබේ. ඔහුගේ හිස දේහයෙන් වෙන්ව ඇති අතර, නාසය බිඳී ගොස් ඇත.[53]

දේහය 1.63m උසැති ය. මමියේ මුහුණ කුඩා අතර, කැපී පෙනෙන ලක්ෂණ දක්නට නැත. නමුත් ඔහුට අතිශය ප්‍රමුඛ ඉදිරි දත් පිහිටා ඇත. මෙය ආවේණික කුටුම්භීය ලක්ෂණයක් බව පෙනේ. එයට හේතුව මෙම ලක්ෂණය එම පවුලේම කාන්තා මමී කිහිපයක මෙන්ම, ඔහුගෙන් පැවතෙන්නකු වූ IIවන තුත්මෝස්ගේ මමියේ ද දක්නට ලැබීමයි.

කුටුම්භීය සමානත්වයන් දක්වමින් ගැස්ටන් මැස්පරෝ මමිය පිළිබඳ මෙසේ කෙටි විස්තරයක් ඉදිරිපත් කොට තිබේ:

...ඔහු මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත විය. මමීකරණය කරන සමයේ ඔහුගේ දේහය අඩි 5 අඟල් 6 (1.68m) පමණ උසකින් යුතු විය. නමුත් ගෙලේ සහ පපුවේ වර්ධනය සලකා බැලූ විට, ඔහුට අසාමාන්‍ය ශක්තියක් පැවති බව දක්නට ලැබේ. ප්‍රතිමා උඩුකය හා සලකා බැලීමේ දී හිස කුඩා ය. නළල පහත් සහ පටු ය. කොපුල් අස්ථි නෙරා ඇති අතර, ඝනකම්, රැලි වැටුණු හිසකෙස් ඇත. මුහුණ සැබැවින්ම ටියුවාක්‍රෙයි [සෙකෙනෙන්රේ ටාඕ] ට සමානත්වයක් පෙන්වයි. මෙම පාරාවෝවරුන් දෙදෙනාගේ සම්බන්ධතාව නොදැන සිටියකුට වුව ද, ඉන් ඔවුන්ගේ බන්ධුතාව පුරෝකථනය කළ හැක.[32]

මමියේ මුල්කාලීන අධ්‍යයන අනුව පෙනී ගියේ එය 50වන වියෙහි පසු වූ මිනිසකුට අයත් බවයි‍.[32] නමුත් පසුකාලීන අධ්‍යයන අනුව පෙනී ගියේ ඔහු මියයන විට මැදි-තිස්වන වියේ පසුවන්නට ඇති බවයි.[31] 1980දී මෙම මමියේ අනන්‍යතාවය (කයිරෝ කෞතුකාගාරය නාමාවලිය n° 61057) දන්ත චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූ ආචාර්ය ජේම්ස් හැරිස් සහ ඊජිප්තුවේදියකු වූ එඩ්වඩ් වෙන්ට් විසින් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ප්‍රශ්නාර්ථයක් විය. කයිරෝ කෞතුකාගාරයේ වූ රාජකීය මමී යැයි සැලකුණු මමී සියල්ලේම x-කිරණ ඡායාරූප ගැනීමට හැරිස්ට අවසර හිමි විය. ඉතිහාස වාර්තා අනුව Iවන අහ්මෝස් යනු සෙකෙනෙන්රේ ටාඕගේ පුත්‍රයකු හෝ මුණුපුරකු යැයි සැලකුණු නමුත් එම මමී දෙක අතර කපාලවක්ත්‍ර රූප විද්‍යාව බෙහෙවින් වෙනස් ය. එසේම එය ඔහුගේ සොයුරියක වූ අහ්මෝස්-නෙෆටාරිගේ යැයි සැලකුණ කාන්තා මමියෙන් ද බොහෝ වෙනස් ය. මෙම පරස්පරතාවන් සහ එම යුගයේ පිරිමි රාජකීය මමීවල සම්ප්‍රදාය වූ මමියේ දෑත් පපුව හරහට තබා තිබීමේ පිළිවෙත මෙහි දක්නට නොලැබීම හේතුවෙනුත්, මෙය රාජකීය මමියක් නොවන බවට විශ්වාසයක් ඇති විය. ඒ නිසා Iවන අහ්මෝස්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට අපහසු වී ඇත.[54]

මෙම මමිය සහ Iවන රැම්සෙස්ගේ යැයි පැවසෙන මමිය මේ වනවිට "The Golden Age of the Egyptian Military" යන ප්‍රදර්ශන තේමාව යටතේ ලුක්සෝර් කෞතුකාගාරයේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇත.[55]

අනුප්‍රාප්තිය[සංස්කරණය]

Iවන අහ්මෝස්ගෙන් පසුව ඔහුගේ පුත් Iවන අහ්මෝස් සිහසුනට පත් විය. සුළු විද්වතුන් පිරිසක් ප්‍රකාශ කරන්නේ අහ්මෝස් සහ අමෙන්හොටෙප් අතර වර්ෂ හයක් වැනි කාලයක් කෙටි හවුල් පාලන සමයක් පැවති බවයි. සැබැවින්ම හවුල්-පාලන සමයක් පැවතියේ නම්, අමෙන්හොටෙප් අහ්මෝස්ගේ 18වන රාජ්‍ය වර්ෂයට පෙර රජ වූවා විය නොහැක. එයට හේතුව කිරුළහිමි කුමරු වූ අහ්මෝස්-අන්ඛ් මියගියේ යැයි සිතිය හැකි අවම වර්ෂය එය වීමයි.[12] හවුල් පාලනයක් පැවති බවට ඉඟි කෙරෙන සාක්ෂි ඇතත්, එය සනාථ කෙරෙන නිශ්චිත සාක්ෂි හමු නොවේ.

ඉන් පළමු සාක්ෂිය නම් මේ දෙදෙනාගේම පුද්ගල නාමයන් එකකට පසු අනෙක වශයෙන් දැක්වෙන භාණ්ඩයි: මේ අතර පෙර සඳහන් කළ කුඩා වීදුරු පබළුව, කුඩා ෆෙල්ස්පාර් සුරයක් සහ බිඳුණු ශිලා ස්තම්භයක් වේ. මේවා මුල්කාලීන 18වන රාජවංශයේ සම්මත ශෛලියෙන් ලියැවී ඇත.[42] අවසන් ශිලා ස්තම්භයේ සඳහන් වන්නේ අමෙන්හොටෙප් හට "සදාකාලික ජිවය දුන්" බවයි. මෙම ඊජිප්තු රූඪි වදනෙන් පැවසෙන්නේ රජු ජීවත් වන බවයි. නමුත් අහ්මෝස් යන නාමය සමග සාමාන්‍යයෙන් මළ රජවරුන්ට දෙන විරුදයක් වන "හ‍ඬෙහි සත්‍යය" යන විරුදය මෙහි දක්නට නැත.[42] පුද්ගල නාමයන් ආරූඪ කරන්නේ සිහසුනට පත්වූ පසු බැවින්, එම අවස්ථාවේ මේ දෙදෙනාම ජීවත්ව සිටි බව අදහස් වේ. එසේම දෙදෙනා එකම කාලයේ රජ කළ බව ද සිතිය හැක. නමුත් ඇතැම්විට මෙය Iවන අමෙන්හොටෙප් විසින්, ඊජිප්තුව එක්සත් කළ සිය පියාගේ නාමය තමන්ට සම්බන්ධ කර දැක්වීමට ගත් උත්සාහයක් ද විය හැක.

දෙවන කරුණ නම්, Iවන අමෙන්හොටෙප් විසින් සෙඩ් උත්සවයක් සඳහා සූදනාම් වී ඇති බව හෝ එය සැමරීම අරඹා ඇති බව පෙනී යාමයි. නමුත් සාමාන්‍යයෙන් Iවන අමෙන්හොටෙප්ගේ රාජ්‍ය සමය වර්ෂ 21ක් ලෙස සැලකේ. සම්ප්‍රදායික සෙඩ් උත්සවයක් පැවැත්විය හැක්කේ පාලකයාගේ 30වන රාජ්‍ය වර්ෂයෙන් පසුව පමණකි. Iවන අමෙන්හොටෙප් තම පියා සමග හවුල් පාලන යුගයක් ගෙනගියේ නම්, ඔහු සෙඩ් උත්සවය සැමරීමේ දී තමන්ගේ තනි පාලන සමය ඇරඹි දිනයයට වඩා, පළමුව සිංහාසනාරූඪ වූ දිනය සලකා වර්ෂ ගණනය කර ඇති බව පෙනී යයි. මෙය කාර්නැක්හි ඔහුගේ සෙඩ් උත්සවයේ සූදානම විස්තර කළ හැකි හොඳම ආකාරයයි.[56] නමුත් මෙම සම්ප්‍රදාය කඩ කළ තවත් නව රාජධානි පාරාවෝවරුන් දෙදෙනකු විය; හට්ෂෙප්සුට් පාරාවෝවරිය ඇගේ හෙබ් සෙඩ් උත්සවය පැවැත්වූයේ ඇගේ 16වන වර්ෂයේ වන අතර, අක්නාටන් සෙඩ් උත්සවයක් පැවැත්වූයේ සිය 17වන වර්ෂයේ ආරම්භයේ ය.[57]

තෙවන සාධකය නම්, අහ්මෝස්ගේ බිරිඳ වූ අහ්මෝස්-නෙෆටාරි රැජින අහ්මෝස්ගේ 22වන රාජ්‍ය වර්ෂයට අයත් මාසරාහි හුනුගල් වැඩපළෙහි ශිලා ස්තම්භ දෙකක "රජුගේ මහා භාර්යාව" සහ "රජුගේ මව" යනුවෙන් හඳුන්වා තිබීමයි. සාහිත්‍යමය අරුත සැලකූ විට ඇය "රජුගේ මව" වන්නට නම් ඒ වනවිටත් අමෙන්හොටෙප් සිහසුනට පත්ව සිටිය යුතු ය. නමුත් IIවන ආහොටෙප් නැමැති රැජින කිසිදු හඳුනාගත් රජකුගේ මව නොවූව ද, එම ධුරය උසුලා ඇති හෙයින් එය හුදෙක් ගෞරව නාමයක් පමණක් වන්නට ද පුළුවන.[58] එසේම ඇගේ පුත් අමනෙම්හාට්, Iවන අමෙන්හොටෙප්ගේ සම-රාජ්‍යාධිකාරී ලෙස පත්කොට තිබී අමනෙම්හාට් ඔහුට පෙර මියගියා වන්නට ද හැක.[12]

මෙහි ඇති අවිනිශ්චිතතාව හේතුවෙන්, හවුල්-පාලන න්‍යාය සනාථ කිරීමට හෝ ඉවත ලීමට හැකි නොවේ. රේඩ්ෆෝර්ඩ් සහ මර්නෙන් යන දෙදෙනාම මේ සම්බන්ධයෙන් සිය කෘති තුළ තීරණයක් නොමැති බව දක්වා ඇත. එයට හේතුව හවුල් පාලනයක් පැවති බවට හෝ නොපැවති බවට ඇත්තේ ඉතා සුළු සාධක සංඛ්‍යාවක් බැවිනි. එසේ හවුල් පාලනයක් පැවතිය ද, ඉන් කාලානුක්‍රම අනුපිළිවෙලට වෙනසක් සිදු නොවන්නේ අමෙන්හොටෙප්ගේ රාජ්‍ය වර්ෂ ගණනය කොට ඇත්තේ ඔහු තනි පාලකයා වශයෙන් කටයුතු කළ පළමු වර්ෂයේ සිට වීම නිසායි.[59][60] කෙසේනමුත්, හවුල්-පාලන මතයේ ආධාරකරුවන් පවසන්නේ අහ්මෝස්ගේ රාජ්‍ය සමය තුළ ඔහුට එරෙහිව කැරැලි එකක්වත් අවම වශයෙන් ඇති වූ හෙයින්, සිහසුනට අරගලයක් ඇතිවීමට වැළැක්වීමට අයකුගේ මරණයට පෙර කිරුළට අනුප්‍රාප්තිකයකු නම් කිරීම තර්කානුකූල බවයි.[61]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ගාඩිනර් (1964) පි. 168.
  2. කොලොම්බියා විශ්වකෝෂය, සයවන සංස්කරණය (2008)
  3. 3.0 3.1 3.2 3.3 3.4 ක්ලේටන් (2006) පි. 100.
  4. 4.0 4.1 4.2 වියෙනර් සහ ඇලන් (1998) පි. 3.
  5. ද ඊජිප්ටියන් ලූනාර් ඩෙයිටි ඉයාහ් – ඩෙයිටි ඔෆ් ද අහ්මෝසයිඩ්ස් සම්ප්‍රවේෂණය 7 දෙසැම්බර් 2012
  6. 6.0 6.1 ෂෝව්. (2000) පි. 199.
  7. 7.0 7.1 ග්‍රිමල්. (1988) පි. 192.
  8. 8.0 8.1 ග්‍රිමල්. (1988) පි. 194.
  9. 9.0 9.1 ග්‍රිමල්. (1988) පි. 190.
  10. ඩොඩ්සන්. (1990) පි. 91.
  11. ඩොඩ්සන්, ඒඩන්; හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, පි. 126. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004.
  12. 12.0 12.1 12.2 වෙන්ට් (1975) පි. 271.
  13. රෙඩ්ෆෝර්ඩ්. (1965) පි. 28.
  14. 14.0 14.1 14.2 14.3 ග්‍රිමල්. (1988) පි. 193.
  15. හෙල්ක්, වුල්ෆ්ගැං. Schwachstellen der Chronologie-Diskussion පිටු. 47–9. Göttinger Miszellen, ගෝ‍ටින්ජන්, 1983.
  16. බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 12. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  17. ක්‍රිස්ටෝෆර් බ්‍රොන්ක් රැම්සේ ඇතුළු පිරිස., රේඩියෝකාබන්-බේස්ඩ් ක්රෝනොලොජි ෆෝ ඩයිනාස්ටික් ඊජිප්ට්, සයන්ස් 18 ජූනි 2010: වෙළු. 328. අං. 5985, පිටු. 1554–1557.
  18. ඩේවිඩ් රොහ්ල්, ෆේරෝස් ඇන්ඩ් කිංස් (1995), ISBN 0-609-80130-9
  19. ෂෝව්. (2000) පි. 203.
  20. ස්පැලිංගර්, ඇන්තනි ජේ. වෝ ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්: ද නිව් කිංඩම්, පි. 23. බ්ලැක්වෙල් පබ්ලිෂිං, 2005.
  21. 21.0 21.1 රෙඩ්ෆෝර්ඩ්. (1992) පි. 71.
  22. තෝමස් ෂ්නයිඩර්, ද රිලේටිව් ක්රෝනොලොජි ඔෆ් ද මිඩ්ල් කිංඩම් ඇන්ඩ් ද හික්සොස් පීරියඩ් (ඩයිනාස්ටීස් 12–17)' - එරික් හෝර්නන්ග්, රොල්ෆ් ක්‍රවුස් සහ ඩේවිඩ් වෝබර්ටන් (සංස්කාරකවරුන්), ඒන්ෂන්ට් ඊජිප්ටියන් ‍ක්රෝනොලොජි (හෑන්ඩ්බුක් ඔ‍ෆ් ඔරියන්ටල් ස්ටඩීස්) තුළ, බ්‍රිල්: 2006, පි. 195
  23. ඇන්තනි ස්පැලිංගර්, බුක් රීවිව්, වෙළු. 60, අං.4. ඔක්තෝබර් 2001, පි.299
  24. ස්පැලිංගර්. JNES 60, op. cit., පි. 299
  25. අහ්රම් (2005) සම්ප්‍රවේෂණය අගෝස්තු 23, 2006.
  26. බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙ‍කෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II, පිටු. 7–8. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906.
  27. රෙඩ්ෆෝර්ඩ්. (1967) පිටු. 46–49.
  28. 28.0 28.1 රෙඩ්ෆෝර්ඩ්. (1992) පි. 195.
  29. වෙයින්ස්ටයින්, ජේම්ස් එම්. ද ඊජිප්ටියන් එම්පයර් ඉන් පැලස්ටයින්, අ රීඇසස්මන්ට්, පි. 6. බුලටින් ඔෆ් ද ඇමරිකන් ස්කූල්ස් ඔ‍ෆ් ඔරියන්ටල් රිසර්ච්, n° 241. ශිශිරය 1981.)
  30. වෙයින්ස්ටයින්, ජේම්ස් එම්. ද ඊජිප්ටියන් එම්පයර් ඉන් පැලස්ටයින්, අ රීඇසස්මන්ට්, පි. 7. බුලටින් ඔෆ් ද ඇමරිකන් ස්කූල්ස් ඔෆ් ඔරියන්ටල් රිසර්ච්, n° 241. ශිශිරය 1981.
  31. 31.0 31.1 ෂෝව් සහ නිකල්සන්. (1995)
  32. 32.0 32.1 32.2 32.3 මැස්පරෝ, ගැස්ටන්. හිස්ට්‍රි ඔ‍ෆ් ඊජිප්ට්, කැල්ඩියා, සිරියා, බැබිලෝනියා, ඇන්ඩ් ඇසිරියා, වෙළුම 4 (12න්), ගුටෙන්‍බර්ග් ව්‍යාපෘතියේ ඊ-ග්‍රන්ථය, මුදාහළ දිනය: දෙසැම්බර් 16, 2005. EBook #17324.
  33. ෂෝව්. (2000) පි. 209.
  34. ෂෝව්. (2000) පි. 213.
  35. රයිස්. (2001) පි. 3.
  36. 36.0 36.1 කැටලොග් ජෙනරල් 34001, ඊජිප්ටියන් මියුසියම්, කයිරෝ.
  37. 37.0 37.1 37.2 37.3 37.4 37.5 ග්‍රිමල්. (1988) පි. 200
  38. 38.0 38.1 ක්වරි ඉනෝගියුරේෂන්, සම්ප්‍රවේෂණය ජූලි 28, 2006.
  39. 39.0 39.1 එඩ්නා ආර්. රැස්මුසන් ඇතුළු පිරිස. එටර්නල් ඊජිප්ට්: මාස්ටර්වර්ක්ස් ඔෆ් ඒන්ෂන්ට් ආට් ෆොම් ද බ්‍රිටිෂ් මියුසියම්, පිටු. 210–211.
  40. රස්මන්, එඩ්නා ඒ. "ආට් ඉන් ට්‍රාන්සිෂන්: ද රයිස් ඔෆ් ද එයිටීන්ත් ඩයිනාස්ටි ඇන්ඩ් ද එමර්ජන්ස් ඔෆ් ද තුත්මොසිඩ් ස්ටයිල් ඉන් ස්කල්චර් ඇන්ඩ් රිලීෆ්", හට්ෂෙප්සුට්: ෆ්‍රොම් ක්වීන් ටු ෆේරෝ. පි. 24–25. මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය. 2005. ISBN 1-58839-173-6
  41. කූනී, ජේ. ඩී. ග්ලාස් ස්කල්චර් ඉන් ඒන්ෂන්ට් ඊජිප්ට්. ජර්නල් ඔ‍ෆ් ග්ලාස් ස්ටඩීස් 2 (1960):11
  42. 42.0 42.1 42.2 42.3 ගෝර්ඩ්න්, ඇන්ඩෲ එච්. අ ග්ලාස් බීඩ් ඔෆ් අහ්මෝස් ඇන්ඩ් අමෙන්හොටෙප් I. පි. 296. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, වෙළු. 41, අං. 4, ඔක්තෝබර් 1982.
  43. ෂෝව්. (2000) පි. 208.
  44. ටිල්ඩෙස්ලි, ජොයිස්. ඊජිප්ට්'ස් ගෝල්ඩ්න් එම්පයර්: ද ඒජ් ඔෆ් ද නිව් කිංඩම්, පිටු. 18–19. හෙඩ්ලයින් බුක් පබ්ලිෂිං ලිමිටඩ්, 2001.
  45. ටිල්ඩෙස්ලි, ජොයිස්. ද ප්‍රයිවේට් ලයිව්ස් ඔෆ් ද ෆේරෝස්, පි. 100. චැනල් 4 බුක්ස්, 2004.
  46. ෂෝව්. (2000) පි. 210.
  47. ඊජිප්ටියන් ෆේරෝස්: අහ්මෝස් I, සම්ප්‍රවේෂණය ජූලි 19, 2006.
  48. අහ්මෝස් පිරමිඩ් ඇට් ඇබයිඩොස්, සම්ප්‍රවේෂණය ජූලි 22, 2006.
  49. ලෙහ්නර්, මාර්ක්. ද කම්ප්ලීට් පිරමිඩ්ස්, පි. 190. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, 1997.
  50. 50.0 50.1 ලෙහ්නර්, මාක්. ද කම්ප්ලීට් පිරමිඩ්ස්, පි. 191. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, 1997.
  51. ටිල්ඩෙස්ලි, ජොයිස්. ද ප්‍රයිවේට් ලයිව්ස් ඔෆ් ද ෆේරෝස්, පි. 101. චැනල් 4 බුක්ස්, 2004.
  52. ‍ෆෝබ්ස්, ඩෙනිස් සී. ටූම්බ්ස්,‍ ට්‍රෙෂර්ස්, මමීස්: සෙවන් ග්‍රේට් ඩිස්කවරීස් ඔෆ් ඊජිප්ටියන් ආකියොලොජි, පි. 614. KMT කමියුනිකේෂන්ස්, Inc. 1998.
  53. ස්මිත්, ජී. එලියට්. ද රෝයල් මමීස්, පිටු. 15–17. ඩක්වර්ත්, 2000 (යළි මුද්‍රණය).
  54. ෆෝබ්ස්, ඩෙනිස් සී. ටූම්බ්ස්, ට්‍රෙෂර්ස්, මමීස්: සෙවන් ග්‍රේට් ඩිස්කවරීස් ඔෆ් ඊජිප්ටියන් ආකියොලොජි, පි. 699. KMT කමියු‍නිකේෂන්ස්, Inc. 1998.
  55. බිකර්ස්ටැෆ්, ඩිලන්. එක්සැමයිනිං ද මිස්ට්‍රි ඔෆ් ද නයගරා ෆෝල්ස් මමී, KMT, පි. 31. වෙළු. 17 අංක 4, ශිශිරය 2006–07.
  56. වෙන්ට් (1975) පි. 272.
  57. ඒන්ෂන්ට් ඊජිප්ට්.
  58. ගෝර්ඩ්න්, ඇන්ඩෲ එච්. අ ග්ලාස් ‍බීඩ් ඔෆ් අහ්මෝස් ඇන්ඩ් අමෙන්හොටෙප් I පි. 297. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, වෙළු. 41, අං. 4, ඔක්තෝබර් 1982.
  59. රෙඩ්ෆෝර්ඩ්. (1967) පි. 51.
  60. මර්නේන්, විලියම් ජේ. ඒන්ෂන්ට් ඊජිප්ටියන් කෝරීජන්සීස්, ස්ටඩීස් ඉන් ඒන්ෂන්ට් ඔරියන්ටල් සිවිලයිසේෂන්, N° 40, පි. 114. චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයනායතනය, 1977.
  61. ගෝර්ඩ්න්, ඇන්ඩෲ එච්., අ ග්ලිස් බීඩ් ඔෆ් අහ්මෝස් ඇන්ඩ් අමෙන්හොටෙප් I, JNES 41, අං. 4, ඔක්තෝබර් 1982, පි. 297

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • "Amasis I". කොලොම්බියා විශ්වකෝෂය, සයවන මුද්‍රණය. 2008. සම්ප්‍රවේශය 2010-08-13. 
  • ක්ලේටන්, පීටර් (2006). Chronicle of the Pharaohs. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්. ISBN 0-500-28628-0. 
  • ඩොඩ්සන්, ඒඩන් (1990). "Crown Prince Djhutmose and the Royal Sons of the Eighteenth Dynasty". The Journal of Egyptian Archaeology. චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 76: 87–96. JSTOR 3822009. doi:10.2307/3822009. 
  • එල්-අරෙෆ්, නෙවින්. "King of the Wild Frontier". අල් අහ්රම්. Archived from the original on 31 ජූලි 2010. සම්ප්‍රවේශය 2010-08-13. 
  • ගාඩිනර්, ඇලන් (1964). Egypt of the Pharaohs. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-19-500267-9. 
  • ග්‍රිමල්, නිකොලස් (1988). A History of Ancient Egypt. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්. 
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් (1992). Egypt, Canaan, and Israel in Ancient Times. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-691-00086-7. 
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් (1967). History and Chronology of the 18th Dynasty of Egypt: Seven Studies. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 
  • රයිස්, මයිකල් (2001). Who's Who in Ancient Egypt. රූට්ලෙජ්. ISBN 978-0-415-15449-9. 
  • ෂෝව්, ඉයන් (2000). The Oxford history of ancient Egypt. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-19-280458-8. 
  • ෂෝව්, ඉයන්; නිකොල්සන්, පෝල් (1995). The Dictionary of Ancient Egypt. හැරී එන්. ඒබ්‍රම්ස්, Inc.. ISBN 0-8109-9096-2. 
  • වෙන්ට්, රඩ්වඩ් එෆ්. (1975). "Thutmose III's Accession and the Beginning of the New Kingdom". Journal of Near Eastern Studies. චි‍කාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. 57 (1): 265–272. 
  • වියනර්, මැල්කම් එච්.; ඇලන්, ජේම්ස් පී. (1998). "Separate Lives: The Ahmose Tempest Stela and the Thera Eruption". Journal of Near Eastern Studies. චිකාගෝ විශ්වවිදයාලීය මුද්‍රණාලය. 57 (1): 1–28. doi:10.1086/468596. 

මූලාශ්‍ර[සංස්කරණය]

  • බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. Ancient Records of Egypt, වෙළු. II චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, චිකාගෝ, 1906. ISBN 90-04-12989-8.
  • Catalogue Gènèral 34001, ඊජිප්තු කෞතුකාගාරය, කයිරෝ.
  • ක්ලේටන්, පීටර්. Chronicle of the Pharaohs, තේම්ස් සහ හඩ්සන් ලිමිටඩ්, කඩදාසි බැම්ම සහිත 2006.
  • කූනි, ජේ. ඩී. Glass Sculpture in Ancient Egypt. Journal of Glass Studies 2 වෙළු. 11, 1960.
  • ‍ඩොඩ්සන්, ඒඩන්. Crown Prince Djhutmose and the Royal Sons of the Eighteenth Dynasty The Journal of Egyptian Archaeology, වෙළු. 76, 1990.
  • ඩොඩ්සන්, ඒඩන්. ඩියෑන්, හිල්ටන්. The Complete Royal Families of Ancient Egypt තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004. ISBN 0-500-05128-3.
  • එඩ්නා ආර්. රස්මන්, ඇතුළු පිරිස. Eternal Egypt: Masterworks of Ancient Art from the British Museum. 2001. ISBN 0-520-23086-8.
  • ගාඩිනර්, ඇලන් (ශ්‍රීමත්). Egypt of the Pharaohs, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1964. ISBN 0-19-500267-9
  • ගොර්ඩ්න්, ඇන්ඩෲ එච්. A Glass Bead of Ahmose and Amenhotep I. Journal of Near Eastern Studies, වෙළු. 41, අං. 4, ඔක්තෝබර් 1982.
  • ග්‍රිමල්, නිකොලස්. A History of Ancient Egypt. ලයිබ්‍රරී ආර්තීම් ෆෙයාර්ඩ්, 1988. ISBN 90-04-12989-8.
  • හෙල්ක්, වුල්ෆ්ගැං. Schwachstellen der Chronologie-Diskussion. ගෝටිංජර් මිෂෙලන්, ගෝටින්ජන්, 1983.
  • ලෙහ්නර්, මාක්. The Complete Pyramids. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්. 1997. ISBN 0-500-05084-8.
  • මැස්පරෝ, ගැස්ටන්. History Of Egypt, Chaldaea, Syria, Babylonia, and Assyria, වෙළුම 4 (12න්), ගුටෙන්බර්ග් ව්‍යාපෘතිය ඊ-ග්‍රන්ථය, මුදාහළ දිනය: දෙසැම්බර් 16, 2005. EBook #17324. https://www.gutenberg.org/files/17324/17324.txt
  • මර්නේන්, විලියම් ජේ. Ancient Egyptian Coregencies, Studies in Ancient Oriental Civilization. අං. 40. චිකාගෝ විශ්වවිද්‍යාලීය පෙරදිග අධ්‍යයනායතනය, 1977.
  • රෙඩ්ෆොර්ඩ්, ඩොනල්ඩ් බී. Egypt, Canaan, and Israel in Ancient Times. ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ප්‍රින්ස්ටන් NJ, 1992. ISBN 0-691-00086-7.
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. History and Chronology of the 18th Dynasty of Egypt: Seven Studies. ටොරන්ටෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1967.
  • ෂෝව්, ඉයන්. The Oxford History of Ancient Egypt. ඔක්‍ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2000. ISBN 0-19-815034-2.
  • ස්මිත් ජී. එලියට්. The Royal Mummies, ජෙරල්ඩ් ඩක්වර්ත් සහ සමාගම, 2000. ISBN 0-7156-2959-X.
  • ස්පැලිංජර්, ඇන්තනි ජේ. War in Ancient Egypt: The New Kingdom. බ්ලැක්වෙල් පබ්ලිෂිං, 2005. ISBN 1-4051-1372-3
  • ටිල්ඩෙස්ලි, ජොයිස්. Egypt's Golden Empire: The Age of the New Kingdom. හෙඩ්ලයින් බුක් පබ්ලිෂිං ලිමිටඩ්, 2001. ISBN 0-7472-5160-6.
  • ටිල්ඩෙස්ලි, ජොයිස්. The Private Lives of the Pharaohs. චැනල් 4 බුක්ස්, 2004. ISBN 0-7522-1903-0.
  • වෙයින්ස්ටයින්, ජේම්ස් එම්. The Egyptian Empire in Palestine, A Reassessment. Bulletin of the American Schools of Oriental Research: අං 241. ශිශිරය, 1981.
  • වෙන්ට්, එඩ්වඩ් එෆ්. Thutmose III's Accession and the Beginning of the New Kingdom. Journal of Near Eastern Studies, චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1975.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අහ්මෝස්_I&oldid=390965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි