ඊජිප්තුවේ දහනවවන රාජවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පුරාතන ඊජිප්තුවේ දහනවවන රාජවංශය (රාජවංශය XIX)[1] යනු ඊජිප්තු නව රාජධානියේ එක් යුගයකි. පාරාවෝ හොරෙම්හෙබ් විසින් සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළ අමාත්‍ය Iවන රැම්සෙස් මෙම රාජවංශයේ ආදිකර්තෘ ලෙස සැලකේ. මෙම රාජවංශය වඩාත් ප්‍රචලිත වූයේ කනාන්හි මෙම රාජවංශය ලද යුධ ජයග්‍රහණ හේතුවෙනි.

මුල්කාලීන 18වන රාජවංශයේ රණකාමී රජවරුනට අසල්වැසි රාජධානිවලින් එල්ලවූයේ සුළු ප්‍රතිරෝධයකි මේ නිසා සිය ආධිපත්‍යය පහසුවෙන් පැතිරවීමට ඔවුනට හැකි විය. 18වන රාජවංශයේ අවසානය වන විට මෙම තත්ත්වය බෙහෙවින් වෙනස් විය. හිටයිට්වරුන් ක්‍රමිකව සිරියාව සහ කනාන් වෙත සිය ආධිපත්‍යය පතුරුවාලූයේ අන්තර්ජාතික දේශපාලනයේ බලවතකු බවට පත්වීමටයි. Iවන සෙටි සහ ඔහුගේ පුත් IIවන රැම්සෙස්ට මේ සඳහා මුහුණදීමට සිදු විය.

19වන රාජවංශයේ පාරාවෝවරුන්[සංස්කරණය]

19වන රාජවංශයේ පාරාවෝවරුන් ආසන්න වහයෙන් වර්ෂ එකසිය දහයක් පමණ රාජ්‍ය පාලනය ගෙනගොස් ඇත. එය ක්‍රි.පූ. 1292 පමණ සිට ක්‍රි.පූ. 1187 තෙක් විහිදිණි. Iවන සෙටිගේ රාජ්‍ය සමය පිළිබඳ චරිතාපදාන ලියූ ජේ. වොන් බෙකරැත් සහ පීටර් බ්‍රෑන්ඩ් යන දෙදෙනාම වර්තමානයේ ඔහුගේ රාජ්‍ය සමය වර්ෂ 15ක් නොව 11ක් ලෙස සලකති.[2] ඒ අනුව, වර්ෂ 11ක් ලෙස එනම් ක්‍රි.පූ. 1290-1279 ලෙස සලකනු ලබයි. එම නිසා සෙටිගේ පියා සහ පූර්වප්‍රාප්තිකයා ඊජිප්තුව පාලනය කරන්නට ඇත්තේ ක්‍රි.පූ. 1292-1290 අතර කාලයේ ය. මෙම රාජවංශයේ බොහෝ පාරාවෝවරුන් තීබ්ස්හි රජුන්ගේ නිම්නයේ (KV ලෙස නම් කෙරේ) භූමදානය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තීබානු සිතියම්කරණ ව්‍යාපෘති වෙබ්අඩවියෙන් ලබාගත හැක.[3]

ඊජිප්තුවේ දහනවවන රාජවංශයේ පාරාවෝවරු
රජුගේ නම සිහසුන් නාමය දිනය භූමදානය භාර්යාව(න්)
රැම්සෙස් I මෙන්පෙහ්ටිරේ ක්‍රි.පූ. 1292–1290 KV16 සිට්රේ
සෙටි I මෙන්මාට්රේ ක්‍රි.පූ. 1290–1279[4] KV17 (මුට්-)ටුයා
රැම්සෙස් II උසර්මාට්රේ සෙටෙපෙන්රේ ක්‍රි.පූ. 1279–1213 KV7 නෙෆටාරි
ඉසෙට්නොෆ්‍රෙට්
මාට්හොර්නෙෆරුරේ
මෙරිටාමෙන්
බින්ටනැත්
නෙබෙට්ටාවි
හෙනුට්මිරේ
මෙර්නෙප්ටාහ් බේන්රේ මෙරිනෙට්ජෙරු ක්‍රි.පූ. 1213–1203 KV8 ඉසෙට්නොෆ්‍රෙට් II
සෙටි II උසර්ඛෙපෙරුරේ ක්‍රි.පූ. 1203–1197 KV15 ට්වෝස්රෙට්
ටඛාට්
ටියා
අමේනමෙසේ මෙන්මිරේ-සෙටෙපෙන්රේ ක්‍රි.පූ. 1201–1198 KV10 නොදනී
සිප්ටාහ් සෙඛඉයෙන්රේ මෙරිඅමුන් / අඛේනරේ සෙටෙපෙන්රේ ක්‍රි.පූ. 1197–1191 KV47 නොදනී
ට්වෝස්රෙට් රැජින සිට්රේ මෙරිටාමුන් ක්‍රි.පූ. 1191–1189 KV14 නැත

Iවන සෙටි සහ IIවන රැම්සෙස්[සංස්කරණය]

කාඩේෂ්හි සටන (ක්‍රි.පූ. 1274) අවට කාලයේ ඊජිප්තු සහ හිටයිට් අධිරාජ්‍ය.

ඊජිප්තුව නව රාජධානියේ Iවන සෙටි සහ IIවන රැම්සෙස් ("මහා") යටතේ එහි උච්චස්ථානයට පත් විය. මෙම රජවරු ලිබියානුවන්ට සහ හිටයිට්වරුන්ට එරෙහිව ප්‍රබල ලෙස සටන් වැදුණහ. පළමුව Iවන සෙටි විසින් කාඩේෂ් නගරය යටත් කරගත් අතර ඊජිප්තුව සහ හටි අතර නිල නොවන සාම ගිවිසුමක් ලෙස ඔහු එය හටිහි මුවාටල්ලිට භාරදීමට ඔහු තීරණය කළේ ය. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිතා, පසුව IIවන රැම්සෙස් සිය පස්වන වර්ෂයේ දී කාඩේෂ් වෙත ප්‍රහාරයක් රල්ල කළේ ක්‍රි.පූ. 1274 ඔහුගේ දෙවන සිරියානු ආක්‍රමණයේදී ය; මෙහි දී ඔහු හසු විය. නමුත් නේ’අරින්ගේ පැමිණීමට ස්තූතිවන්ත වන්නට රැම්සෙස්ට සිය හමුදා හිටයිට්වරුන් සමග සටනින් ඉවතට ගෙනයාමට හැකි විය. පසුව හිටයිට්වරුන්ගේ අභ්‍යන්තර දුෂ්කරතා ප්‍රයෝජනයට ගනිමින් IIවන රැම්සෙස් සිය අටවන සහ නවවන රාජ්‍ය වර්ෂවල දී කාඩේෂ් සහ දකුණු සිරියාවේ ප්‍රදේශ යටත් කරගත්තේ ය. වසර 120ක සිට කිසිදු ඊජිප්තු සෙබලකු ළඟා වී නොතිබූ ටියුනිප් තරම් උතුරු ප්‍රදේශ දක්වා ගමන් කිරීමට ඔහු සමත් විය. අවසානයේ ඔහු හිටයිට්වරුන්ට එරෙහි යුද්ධය ඊජිප්තුවේ භාණ්ඩාගාරයට සහ හමුදාවට දැරිය නොහැකි බව වටහා ගත්තේ ය.[5] සිය 21වන රාජ්‍ය වර්ෂයේ දී, රැම්සෙස් උර්හි-තෙෂුබ්ගේ අනුප්‍රාප්තිකයා වූ IIIවන හැටුසිලි සමග ප්‍රථම වාර්තාගත සාම ගිවිසුම අත්සන් කළේ ය. මෙම ක්‍රියාවත් සමග ඊජිප්තු-හිටයිට් සබඳතා වැඩිදියුණු විය. IIවන රැම්සෙස් හිටයිට් කුමරියන් දෙදෙනකු විවාහ ද කරගත්තේ ය. මින් පළමුවැන්නිය ඔහුගේ දෙවන සෙඩ් උත්සවයෙන් පසුව විවාහ කරගැනිණි. ජොසෆස් වැනි මුල් කාලීනයින් විශ්වාස කළේ මෝසෙස් ජීවත් වූයේ IIවන රැම්සෙස් රාජ්‍ය සමයේ කියා ය. (නමුත් මේ සඳහා භව්‍ය රජවරුන් ගණනාවක් ඇත)

මෙර්නෙප්ටාහ්[සංස්කරණය]

මෙර්නෙප්ටාහ්ගේ උරුමකරුවන් අතර සිහසුන උදෙසා පැවති අභ්‍යන්තර අරගල හේතුවෙන් රාජවංශය පරිහානියට පත් විය. අමෙන්මෙසේ විසින් මෙර්නෙප්ටාහ්ගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා වූ IIවන සෙටිගෙන් සිහසුන පැහැරගත් බැව් පෙනේ. නමුත් ඔහුට ඊජිප්තුව පාලනය කළ හැකි වූයේ වර්ෂ හතරක් පමණි. ඔහුගේ මරණින් පසු නැවත බලය ලබාගත් සෙටි අමෙන්මෙසේගේ ස්මාරක බොහෝමයක් විනාශ කළේ ය. මාලිගයේ සෙටිට සේවය කළේ චාන්සලර් බායි නැමැත්තකි. බායි මුලින් හුදු 'රාජකීය ලේකම්වරයකු' වුව ද, පසුව ඊජිප්තුවේ බලවත්ම තැනැත්තන්ගෙන් අයකු බවට පත්වූයේ රජුන්ගේ නිම්නයේ සිය සොහොන්ගැබ (KV17) තනාගැනීමේ විරළ වරප්‍රසාදය ද හිමි කරගනිමිනි. බායි මෙන්ම සෙටිගේ අගබිසව වූ ට්වෝස්රෙට් රැජින පිළිබඳව ද පුරාතන ඊජිප්තු ජනශ්‍රැතිය තුළ වූයේ යහපත් ආකල්පයක් නම් නොවේ.[6] සිප්ටාහ්ගේ මරණින් පසු ට්වෝස්රෙට් රැජින වර්ෂ දෙකක් ඊජිප්තුවේ පාලනය මෙහෙයවූවා ය. නමුත් මාලිගයේ කුමන්ත්‍රණ සහ බල අරගල මධ්‍යයේ ඇගේ පාලනය තවදුරටත් රඳවාගැනීමට ඇය අපොහොසත් විය. විසිවන රාජවංශයේ ආදිකර්තෘ වන සෙට්නැඛ්ටේ විසින් ඇයව ධුරයෙන් පහ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

දහනවවන රාජවංශය කාලරේඛාව[සංස්කරණය]

ට්වෝස්රෙට්සිප්ටාහ්සෙටි IIඅමෙන්මෙසේමෙර්නෙප්ටාහ්Ramesses IIසෙටි Iරැම්සෙස් I

පින්තූර ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kuhrt, Amélie (1997). The Ancient Near East. London: Routledge. පි. 188. https://books.google.com/books?id=V_sfMzRPTgoC&pg=PA188. 
  2. Peter J. Brand(2000). The Monuments of Seti I: Epigraphic, Historical and Art Historical Analysis. Brill.. p.308
  3. "Sites in the Valley of the Kings". Thebanmappingproject.com. Retrieved 2012-09-22.
  4. J. von Beckerath (1997) (in German). Chronologie des Äegyptischen Pharaonischen. Phillip von Zabern. p. 190
  5. N. Grimal, A History of Ancient Egypt (Oxford: Blackwell, 1992), pp. 256f.
  6. Grimal, p. 270
පූර්වප්‍රාප්තික වූයේ
දහඅටවන රාජවංශය
ඊජිප්තුවේ රාජවංශය
ක්‍රි.පූ. 1292–1189
අනුප්‍රාප්තික වූයේ
විසිවන රාජවංශය