හොරෙම්හෙබ්

විකිපීඩියා වෙතින්

හොරෙම්හෙබ් (ඇතැම්විට හොරෙම්හැබ් හෝ හැරෙම්හැබ් ලෙස උච්චාරණය කෙරේ; අරුත ප්‍රීතිඝෝෂාවට ලක් වන හොරස්) යනු ඊජිප්තුවේ 18වන රාජවංශයේ අවසාන පාරාවෝවරයායි. ඔහු ක්‍රි.පූ. 1319 සිට 1292 අගභාගය දක්වා හෝ[1] හෝ ක්‍රි.පූ. 1306 සිට 1292 ගභාගය දක්වා (ඔහු වර්ෂ 14ක් පාලනය කළ නිසා) දක්වා රාජ්‍ය පාලනය සිදු කළේ ය. ඔහු පෙර සිටි රාජකීය පවුලට සම්බන්ධයක් නොදැක්වූවකු බැවින්, සාමාන්‍ය උපතක් ඇත්තකු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පාරාවෝ වීමට පෙර හොරෙම්හෙබ් ටුටන්ඛාමුන් සහ ආයි යටතේ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා ලෙස කටයුතු කොට තිබේ. සිහසුනට පත්වීමෙන් පසු, ඔහු ඊජිප්තු රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළේ ය. එසේම පෙර සිටි අමර්ණ පාලකයන් විසින් ආරම්භ කළ ප්‍රතිපත්තිවලට එරෙහිව නිල වශයෙන් කටයුතු කළේ ය. මේ හේතුවෙන්, මතභේදකාරී අමර්ණ යුගයෙන් පසු රාජ්‍යය ගොඩනැගූ තැනැත්තා ලෙස ඔහුව සලකනු ලබයි.

හොරෙම්හෙබ් විසින් අක්නාටන්ගේ ස්මාරක විනාශ කොට, ඒවායේ කැබලි යොදා ගනිමින් සිය ගොඩනැගිලි ව්‍යාපෘති ඉදිකළේ ය. එසේම ටුටන්ඛාමුන් සහ ආයිගේ ස්මාරක බලෙන් පැහැරගත්තේ ය. හොරෙම්හෙබ්ට දරුවන් නොසිටි හෙයින් ඔහු සිය අමාත්‍ය පරමෙසේ සිය අනුප්‍රාප්තිකයා ලෙස පත්කළේ ය. පරමෙසේ පසුව Iවන රැම්සෙස් ලෙස සිහසුනට පත් විය.[2]

මුල්කාලීන වෘත්තිය[සංස්කරණය]

හොරෙම්හෙබ් හෙරක්ලියොපොලිස් මැග්නා හෝ ෆායුම් පිවිසුම අසල නයිල් බටහිර ඉවුරේ පිහිටි පුරාතන හ්නෙස් (නූතන ඉහ්නාස්යා එල්-මෙදිනා) ප්‍රදේශයේ සම්භවය වන්නට ඇතැයි සැලකේ. එයට හේතුව ඔහුගේ සිංහාසනාරූඪ පාඨය මගින්, තමන්ට සිහසුන ලබා දීම වෙනුවෙන් හ්නෙස්හි හොරස් දෙවිඳුන්ට ස්තුති කර ඇති නිසායි.[3]

හොරෙම්හෙබ් ලියන්නකු අයුරින් නිරූපිත ප්‍රතිමාවක්

ඔහුගේ දෙමව්පියන් නොදන්නා නමුත්, ඔවුන් සාමාන්‍ය වැසියන් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රංශ (සෝර්බෝන්) ඊජිප්තුවේදියකු වන නිකොලස් ග්‍රිමල් අනුව, හොරෙම්හෙබ් යනු අක්නාටන්ගේ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූ පාටෙනෙම්හෙබ් (ප්‍රීතිඝෝෂා මධ්‍යයේ වැජඹෙන ආටන්) නොවන බව පෙනේ.[4] ග්‍රිමල් තවදුරටත් පවසන්නේ හොරෙම්හෙබ්ගේ දේශපාලන දිවිය ආරම්භ වන්නට ඇත්තේ ටුටන්ඛාමුන් සමයේ බවයි. මෙම්පිස්හි ඔහුගේ සොහොන් දේවස්ථානයේ ඔහු රජුගේ පසෙකින් සිටිනු නිරූපණය කර තිබීම එයට හේතුවයි.[5]

හොරෙම්හෙබ්ගේ දිවිය පිළිබඳ මුල්ම වාර්තාව අපට හමුවන්නේ ඔහු "[ඊජිප්තුවේ] විදේශ කටයුතු සඳහා නියෝජිතයකු ලෙස" කටයුතු කළ අවස්ථාවේ දීයි. මෙකල ඔහු පෞද්ගලිකව නුබියානු ආණ්ඩුකාරවරුන් හමුවීමට දූත මෙහෙවරක යෙදී ඇත.[5] මෙහි ප්‍රතිඵලයක් ලෙස "මියාම්හි කුමරු (අනිබා)" ටුටන්ඛාමුන්ගේ රාජසභාව බැහැ දැකීමට පැමිණ ඇත. මෙම සිදුවීම හුයි ප්‍රතිරාජයාගේ සොහොන්ගැබේ නිරූපණය කොට තිබේ.[5] ටුටන්ඛාමුන් රජ සමයේ, ක්ෂණිකව උසස් වීම් ලද හොරෙම්හෙබ් හමුදාවේ ප්‍රධාන සෙන්පති සහ පාරාවෝගේ උපදේශක තනතුරට පත් විය. හොරෙම්හෙබ්ගේ මෙම විශේෂිත තනතුරු ඔහු නිලධාරියකුව සිටි සමයේ ඉදි වූ ඔහුගේ සකාරා සොහොන්ගැබේ සටහන් කොට ඇත. ඒවා අතර, "උරුමක්කාර කුමරු, රජුගේ දකුණු පස චාමරධාරියා, සහ හමුදාවේ ප්‍රධාන සෙන්පති"; "දකුණේ සහ උතුරේ විදේශ රාජ්‍යවල රජුගේ අඩිපාරේ යන රජුගේ සහායකයා"; "හමුදාව අබියස දකුණු සහ උතුරු රාජ්‍ය සඳහා රජුගේ පණිවිඩකරුවා"; සහ "එකම සහායකයා, ආසියාතිකයින් මරා දැමූ දිනයේ යුදබිමේ රජුගේ දෙපා මුල වූ" වැනි නාමයන් වේ.[6]

ටුටන්ඛාමුන් රජු නව යොවුන් වියේ දී මියයන විට, ළමා රජු විසින් හොරෙම්හෙබ් නිල වශයෙන් ර්පැට් හෙවත් ඉරි-පැට් (මූලිකව "ප්‍රවේණි හෙවත් කිරුළහිමි කුමරු") සහ ඉඩ්න්ව් (මුළු භූමියේම "රජුගේ නියෝජ්‍යයා") යන තනතුරුවලට නම් කොට තිබිණි. මෙම පදවි නාමයන් ටුටන්ඛාමුන්ගේ රජ සමයේ ඉදි වූ හොරෙම්හෙබ්ගේ එකල සකාරාහි මෙම්ෆයිට් පෞද්ගලික සොහොන්ගැබේ සටහන්ව ඇත. ළමා රජුගේ

... කාර්ටුෂයන් පසුව රජ වූ හොරෙම්හෙබ් විසින් සිය භාවිතයට යොදා ගත්ත ද, එම කාර්ටුෂයන් සුප්‍රකට ගෞරවයේ රන් දර්ශනයට යාබද ගල් කුට්ටියක තිබී හමු වී ඇත. මෙහි විශාල කොටසක් දැනට ලෙයිඩ්න්හි තබා ඇත. මෙම දර්ශනයේ සහ ඊට යාබද 76 දර්ශනයේ රාජකීය යුවළ නිරූපිත අතර, එහි රජු සහ විදේශීය යටත් පාලකයින් කණ්ඩායමක් අතර අතරමැදියා ලෙස හොරෙම්හෙබ් කටයුතු කරනු නිරූපිත ය. එම නිසා මෙම රාජකීය යුවළ ටුටන්ඛාමුන් සහ අන්ඛෙසෙනමුන් බව පැහැදිළි වේ. මේ හේතුවෙන් හොරෙම්හෙබ් සිය සොහොන්ගැබේ සඳහන් කොට ඇති පදවි නාමයන් ප්‍රබන්ධ ඒවා නොවන බව විශ්වාස කිරීමට සිදු වේ.[7]

හොරෙම්හෙබ්ගේ සොහොන්ගැබේ ඇති කැටයමක්. 'ගෞරවයේ රන්' කරපටිය දරා සිටින අවස්ථාවකි.

ඉරි-පට් (ප්‍රවේණි කුමරු) යන නාමය හොරෙම්හෙබ්ගේ සකාරා සොහොන්ගැබෙහි සුලබව දක්නට ලැබෙන අතර, එය වෙනත් වචන සමග සංයුක්ත කොට නොමැත. මෙය තනිව භාවිත කර තිබීම නිසා, ඊජිප්තුවේදියකු වන ඇලන් ගාඩිනර් දක්වන්නේ පුරාතන නීත්‍යානුකූල ප්‍රවේණික ඉරි-පැට් යන නාමය "කිරුළහිමි කුමරු" තනතුරට සමාන බවයි.[8] මේ අනුව පැහැදිළි වන්නේ ටුටන්ඛාමුන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස නම්කෙරුණේ ආයි නොව හොරෙම්හෙබ් බවයි. මේ බව ලන්දේසි ඊජිප්තුවේදියකු වන ජැකොබස් වැන් ඩිජ්ක් මෙසේ දක්වයි:

හොරෙම්හෙබ්, ටුටන්ඛාමුන්ගෙන් පසු සිහසුන ලබාගැනීමට අදහස් කළ බවට කිසිදු සාක්ෂියක් නැත. එසේම රජු දරුවන් නොමැතිව මිය යන බව ඔහු අපේක්ෂා නොකරන්නට ඇත. එසේම මෙම කිරුළහිමි කුමරු පත්වීම රජු උරුමකරුවකු බිහිකළ විට අවසන් වන බව අදහස් වේ. ඒ අනුව, ඔහුට ටුටන්ඛාමුන්ගෙන් පසු සිහසුනට පත්විය හැකි වූයේ රජු අඩු වයසින් මරණයට පත්වුවහොත් හෝ දරුවන් නොමැතිව මියයාම සිදුවුවහොත් පමණි. එසේම මෙම ඉහළ සහ පහළ ඊජිප්තුවේ ප්‍රවේණි කුමාර තනතුර සහ රජුගේ නියෝජ්‍යයා තනතුර දෙවැනි වන්නට ඇත්තේ රජ තනතුරට පමණක් බවට සැකයක් නැත. එසේම රජු දරුවන් නොමැතිව අකාලයේ මියයාමත් සමග හොරෙම්හෙබ් සිහසුනට නම් කෙරෙන්නට ඇත. නමුත් පැහැදිළි කරගත යුත්තේ, හොරෙම්හෙබ්ගේ සිංහාසනාරූඪය නොව ආයිගේ සිංහාසනාරූඪය පිළිබඳවයි. වසර දහයක් පුරාවට හොරෙම්හෙබ් නිල වශයෙන් සිහසුනට නම්කොට තිබුණත්, ටුටන්ඛාමුන්ගේ මරණින් පසු ආයිට සිහසුනට පත් වීමට හැකි වූයේ මන් ද?[9]

වියපත් ආයි අමාත්‍යවරයා හොරෙම්හෙබ්ගේ ප්‍රකාශය නොසලකා ටුටන්ඛාමුන්ගෙන් පසු සිහසුනට පත්වන්නට ඇත්තේ ටුටන්ඛාමුන්ගේ මරණය සිදු වූ කාලයේ හොරෙම්හෙබ් ආසියාවේ යුද්ධයක නිරත වී සිටි නිසා විය හැකි ය. හොරෙම්හෙබ්ගේ භාණ්ඩ කිසිවක් ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුනොවීම මීට හේතුවයි. ඊජිප්තුවේදීන් විසින් මෙම KV62 සොහොන්ගැබේ තිබී මායා සහ නැඛ්ට්මින් යන උසස් නිලධාරීන් විසින් ප්‍රදානය කළ භාණ්ඩ සො‍යාගෙන ඇත. එසේම ටුටන්ඛාමුන්ගේ බිසව වූ අන්ඛෙසෙනමුන් සාමාන්‍ය වැසියකු වූ හොරෙම්හෙබ් සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළ බැවින්, ඔහුට ඊජිප්තුවේ රජ විය නොහැකි වන්නට ඇත.[10] කෙසේනමුත්, හොරෙම්හෙබ් නොසලකා හැර, ආයි සිය පුත්‍රයා හෝ හදාගත් පුත්‍රයා වූ ඉහත සඳහන් නැඛ්ට්මින්ගේ නාමය ආයිගෙන් පසු සිහසුනට යෝජනා කර ඇති බව පෙනේ.[11][12]

වසර හතරක් වැනි කෙටි කාලයක් පැවති ආයිගේ රාජ්‍ය සමයෙන් පසු, සිය හමුදාවේ ප්‍රධාන සෙන්පති තනතුර සහ ටුටන්ඛාමුන් සහ ආයි යටතේ ඊජිප්තුවට සේවය කොට දිනාගත් විශ්වාසය ආධාරකරගනිමින් සිහසුනට පත්වීමට හොරෙම්හෙබ් සමත් විය. මඳකලෙකින්ම, සිහසුනට හිමිකම් කී ප්‍රතිවාදී නැඛ්ට්මින් ඉවත් කළ හොරෙම්හෙබ්, ආයිගේ WV23 සොහොන්ගැබ විනාශ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි දී, ආයිගේ මිනීපෙට්ටිය කැබලි කොට ඇති අතර, සොහොන්ගැබේ බිත්තිවලින් ආයිගේ නාමය සහ රුව ඉවත්කොට [බොහෝවිට] ආයිගේ මමිය ද විනාශ කරන්නට ඇති බව පෙනේ.[13] කෙසේනමුත්, ටුටන්ඛාමුන් විසින් ඔහුව සිය උරුමකරු ලෙස පත්කළ බැවින්, හොරෙම්හෙබ් ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබට අතතැබූයේ නැත. මීට අමතරව මෙඩිනෙට් හබුහි ආයිගේ මතකාගාර දේවස්ථානය විශාල කොට තනවා සිය භාවිතයට ගත් හොරෙම්හෙබ්, එහි අඩි 17ක් උසැති දැවැන්ත ප්‍රතිමාවේ පසුපස වූ ආයිගේ නාමය මකාදමා එතැන සිය නාමය කෙටවී ය.

අභ්‍යන්තර පතිසංස්කරණය[සංස්කරණය]

හොරෙම්හෙබ් සහ අමුන් නිරූපිත ප්‍රතිමාවක්, මියුසියෝ ඉජිසියෝ.

සිහසුනට පත්වීමෙන් පසු, හොරෙම්හෙබ් විසින් අක්නාටන්ගේ සමයේ සිදුකළ දේශපාලනික වෙනස්කම් විපර්යාසයකට ලක් කරන ලදී. එයට හේතුව අක්නාටන්ගේ සමයේ රාජ්‍ය බලය, අමුන් පූජකයන්ගෙන් අක්නාටන්ගේ රාජ්‍ය නිලධාරීන් වෙත මාරු වී තිබීමයි. හොරෙම්හෙබ් විසින් "විනිසුරුවන් සහ ප්‍රාදේශීය නායකයින් පත් කළ අතර ... දේශීය ආගමික අධිකාරිය යළි හඳුන්වා දුන්නේ ය". එසේම නීත්‍යානුකූල බලය "ඉහළ ඊජිප්තුවේ සහ පහළ ඊජිප්තුවේ" "පිළිවෙලින් තීබ්ස් සහ මෙම්ෆිස්හි අමාත්‍යවරුන් අතර බෙදාදුන්නේ ය."[14]

මෙම පියවර පිළිබඳ රජු විසින් ඔහුගේ කාර්නැක්හි දසවන අටලුව පාමුල ඉදිකළ ශිලාස්තම්භයේ සටහන්ව ඇත. මෙම ශිලාව ඇතැම්විට හොරෙම්හෙබ්‍ගේ මහා ආඥාව ලෙස හඳුන්වයි.[15] මෙය රජු විසින් භූමි ද්විත්වය යළි ස්ථාපනයට සහ රාජ්‍ය අධිකාරය සීමා කිරීමට රජු විසින් කළ මුල් ආඥාවේ පිටපතකි. මෙම ශිලාස්තම්භයේ නිර්මාණය සහ එය ස්ථාපිත ප්‍රමුඛ ස්ථානය දෙස සලකා බැලීමේ දී පෙනී යන්නේ, හොරෙම්හෙබ් විසින් අභ්‍යන්තර ප්‍රතිසංස්කරණය කෙරෙහි විශාල අවධානයක් යොමු කොට ඇති බවයි.

හමුදාව ප්‍රතිසංස්කරණය භාජනය කළ හොරෙම්හෙබ් සිය 7වන වර්ෂයේ දී, ඩේර් එල්-මෙදිනාහි සේවක මණ්ඩලය ප්‍රතිසංවිධානය කොට තිබේ. එසේම ඔහුගේ 8වන වර්ෂයේ දී මායා නැමැති නිලධාරියා විසින් ‍සොහොන් හොරුන් විසින් හානිකොට තිබූ IVවන තුත්මෝස්ගේ සොහොන්ගැබ ප්‍රතිසංස්කරණය කොට තිබේ. අමුන්හි පූජක මණ්ඩලය ප්‍රතිසංස්කරණයට භාජනය කළ නමුත්, අමුන් පූජකයන්ට ප්‍රමුඛ බලයක් හිමි නොවීමට හොරෙම්හෙබ් වගබලා ගත්තේ ය. එහි දී ඔහු තමන්ට පක්ෂපාතී, ඊජිප්තු හමුදාවෙන් පැමිණි පූජකවරුන්ව එම තනතුරුවලට පත්කළේ ය.[16] සිය රාජ්‍ය සමය තුළ හොරෙම්හෙබ් ඊජිප්තුව පුරා දේවස්ථාන සහ ගොඩනැගිලි ගණනාවක් ඉදිකරවී ය. එසේම ඔහු විසින් කාර්නැක් දෙවොලේ මහා ස්තම්භ ශාලාවේ දෙවන, නවවන සහ දසවන අටලු තොරණ් ඉදිකරවන ලදී. මෙහි පළමුව දැක් වූ අටලු ද්විත්වය ගොඩනැගීම සඳහා යොදාගන්නා ලද්දේ මෙහි වූ අක්නාටන්ගේ ස්මාරකවල ප්‍රතිචක්‍රීකරණය කළ ටලටට් කුට්ටි ය.[17]

සිය අනපේක්ෂිත සිංහාසනාරූඪය හේතුවෙන් හොරෙම්හෙබ් තමන් වෙනුවෙන් සොහොන්ගැබ් දෙකක් ඉදිකොට තිබිණි. ඉන් පළමුවැන්න ඔහු වංශවතකුව සිටි කාලයේ මෙම්පිස් අසල සකාරා ඉදිවූවකි. අනෙක ඔහු රජ වූ පසු ඉදිකළ, තීබ්ස්හි රජුන්ගේ නිම්නයේ පිහිටි KV57 සොහොන්ගැබයි. ඔහුගේ ප්‍රධාන බිරිඳ වූයේ මුට්නෙඩ්ජ්මෙට් රැජිනයි. ඇය ඇතැම්විට නෙෆර්ටිටිගේ නැගණිය වන්නට ඇත. ඔවුනට දරුවන් සිටියේ නැත. එසේම හොරෙම්හෙබ් බලයට පත්වීමට පෙර මියගිය ඔහුගේ පළමු බිරිඳ වූ අමේනියාට ද දරුවන් සිටි බවට වාර්තා නැත.[18]

රාජ්‍ය සමයේ දිග: වර්ෂ 26/27ක් ද නැතහොත් වර්ෂ 14ක් ද?[සංස්කරණය]

ඔහුගේ KV57 සොහොන්ගැබේ ඇති හොරෙම්හෙබ්ගේ ශෛලමය ‍මිනීපෙට්ටිය සහ බිතු කැටයම්.

මෙම රජුගේ රාජ්‍ය සමයේ දිග විද්වතුන් අතර මතභේදයට තුඩු දන් මාතෘකාවකි. හොරෙම්හෙබ්ගේ පැහැදිළිව හඳුනාගත් උපරිම දිනයන් රජුන්ගේ නිම්නයේ ඔහුගේ රාජකීය සොහොන්ගැබෙන් හමු වූ රජුගේ වයින් ගබඩාවට අයත් වර්ෂය 13 සහ වර්ෂය 14 සඳහන් වයින් ලේබල යුගලකින් හමු වේ. නමුත් සම්ප්‍රදායිකව විශ්වාස කෙරෙන්නේ හොරෙම්හෙබ්ගේ උච්චතම අවුරුද්ද කාර්නැක්හි ඔහුගේ මතකාගාර දේවස්ථානයෙන් හමු වූ කැඩීගිය ප්‍රතිමාවක උරහිසෙහි සටහන් කොට ඇති ආගමික ලේඛනයෙහි සඳහන් දිනය බවයි. මෙය ආගමික මංගල්‍යයක් සඳහා රාජකීය ප්‍රතිමාවක් තැනවීමට රජුගේ හැඩරුව විස්තර කරන ලේඛනයකි. තීන්තෙන් ලියූ මෙම ලේඛනයෙහි වර්ෂය 27, ෂෙමුගේ පළමු මාසය දිනය 9,අමුන්ට ප්‍රිකරන, සිය සතුරන්ට ද්වේශ කරන, හොරෙම්හෙබ් මෙම අවස්ථාව සඳහා දෙවොලට ඇතුළු වූ දිනයේ ලෙස සඳහන් ය. (JNES 25[1966], පි. 123) BASOR 211(1973) තුළ ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ් විසින් අංක.37 පාදක සටහනෙහි දක්වන්නේ, ලේඛනය තුළ හොරෙම්හෙබ්ගේ නාමය භාවිත කොට තිබීමත්, දිගු "මෙරිඅමුන්" (අමුන්ගේ ප්‍රියයා) යන විරුදය භාවිත කොට තිබීමත් නිසා පෙනීයන්නේ, මෙමගින් එකල ජීවත් වූ රජු පිළිබඳ මිස, මියගිය රජකු පිළිබඳ විස්තර නොවන බවත් ය.

ඊජිප්තුවේදියක වන රොල්ෆ් ක්‍රවුස්, DE 30(1994) පත්‍රය තුළ සඳහන් කරන්නේ, මෙම දිනය හොරෙම්හෙබ්ගේ රාජාභිෂේකය සිදු වූ දිනය අනුස්මරණය කරන්නක් බවයි. ඒ අනුව, මියගිය හෝ පවතින රජුගේ සිංහාසනාරූඪය සැමරීම සඳහා විශේෂ උත්සවයක් හෝ පොදු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කෙරෙන්නට ඇත. ක්‍රවුස් සිය කල්පිතයට අධාර ලෙස මුලින් "A Curious Error" යන තේමාව යටතේ ජැක් ජැන්සන් විසින් BIFAO 84(1984) පත්‍රය තුළ ප්‍රකාශිත IFAO 1254 යන ‍ඔස්ට්‍රාකාවෙන් හමු වූ සාක්ෂි ගෙනහැර දක්වයි.[19] මෙම ඔස්ට්‍රාකාව තුළ නොහඳුනන ඩේර් එල්-මෙදිනා කම්කරුවකු සේවය නොපැමිණි දින ගණන පිළිබඳ සඳහන් අතර, එහි වර්ෂය 26 III පෙරෙට් දිනය 11 සිට වර්ෂය 27 II අඛෙට් දිනය 12 දක්වා කාලය පිළිබඳ වාර්තා ඇත.[20] මෙහි ඇති වැදගත් ලක්ෂණය නම්, මෙම ඔස්ට්‍රාකාවේ වර්ෂය 26 සිට වර්ෂය 27 දක්වා කාලය තුළ IV පෙරෙට් දිනය 28 සහ I ෂෙමු දිනය 13 යන අන්තරය අවට වර්ෂයක වෙනසක් දක්නට ලැබීමයි. හොරෙම්හෙබ්ගේ මෙම වර්ෂය 27 දිනය පිහිටන්නේ මෙම අන්තරය තුළ ‍වන අතර, එමගින් හොරෙම්හෙබ්ගේ රාජාභිෂේක දිනය සිහි කිරීමක් සිදුකළ බව ක්‍රවුස්ගේ අදහසයි. ආයිගේ සිංහාසනාරූඪය දිනය ද III පෙරෙට් මාසයක සිදු වී ඇත.[21] මැනතෝ විසින් ආයිගේ රාජ්‍ය සමය වර්ෂ 4කුත් සහ මාස 1ක් ලෙස දක්වා ඇති හෙයින්, මෙම පාලකයා ඇතැම්විට IV පෙරෙට් මාසය අවට හෝ I ෂෙමුහි මුල් භාගයේ මිය යන්නට ඇත. IFAO 1254 යන ඔස්ට්‍රාකාවේ සඳහන් නිශ්චිත දිනය මෙයයි. ඔස්ට්‍රාකාවේ සඳහන් තොරතුර වන කම්කරුවන් කණ්ඩායමකට වඩා එක් කම්කරුවකු පිළිබඳ ගැටලුව පමණක් සටහන් කොට තිබීම මගින් පෙනීයන්නේ, වැඩබිමේ ලියන්නාට IV පෙරෙට් 28 සහ I ෂෙමු 13 අතර දින යෙදීමේ දී වරදක් සිදු වී නැති බවයි.

කෙසේනමුත්, මැනතෝගේ වාර්තා සූක්ෂ්මව අධ්‍යයනය කළ විට පෙනී ගොස් ඇත්තේ මැනතෝ විසින් පාරාවෝගේ සමයේ (සහ මරණය සිදු වූ) අවසාන මාසය සැලකිල්ලට ගෙන නැති බවයි. මෙම ක්‍රමය භාවිත වූයේ ලේඛන හෝ ස්මාරකවල සිවිල් දිනැයුම්වල පමණි. මැනතෝ විසින් සම්පූර්ණ රාජ්‍ය වර්ෂ සපයා ඇති අතර, එම වර්ෂයේ මුල සිට ගැන රජු මියගිය මාසය (ඔහු එය දන්නා බව සිතූයේ නම්) සටහන් කොට ඇත. උදාහරණයක් ලෙස ඉතිහාඥයා විසින් (සාවද්‍ය ලෙස) හට්ෂෙප්සුට් වර්ෂයේ 9වන මාසයේ මියගිය බව සිතා ඇත්තේ IIIවන තුත්මෝස් සිහසුනට පත්වූයේ ග්‍රීෂ්ම ඍතුවේ පළමු මාසයේ 4වන දිනයේ (සිවිල් දිනදර්ශනයේ 9වන මාසය) බව ඔහු දැන සිටි නිසායි. ඒ අනුව ඔහු ඇගේ රාජ්‍ය සමය වර්ෂ 21ක් සහ මාස 9ක් බව නිර්ණය කොට ඇත. (මේරියන් ලුබැන්)

අමුන්ට පූජාවක් පවත්වන හොරෙම්හෙබ් නිරූපිත කාර්නැක්හි 10වන අටලුවේ ඇති කැටයමක්

ජැන්සන් සිය මුල් BIFAO 84 වාර්තාව තුළ සැකපහළ කරන්නේ IIවන රැම්සෙස් සහ IIIවන රැම්සෙස් වැනි සියවසකින් කාලක් පමණ කාලයක් රජකළ නව රාජධානියේ පාරාවෝවරුන් කිසිවකගේ සිංහාසනාරූඪ දිනයන් මෙම කාල රාමුව ‍තුළ නොමැති බවයි. එම නිසා මෙම වර්ෂ වෙනස ලියන්නාගේ අතපසුවීමක් බව යෝජනා කරන ඔහු මෙම ඔස්ට්‍රාකාව IIIවන රැම්සෙස්ගේ බවට අනුමාන කරයි. IIIවන රැම්‍සෙස්ගේ සිංහාසනාරූඪය සිදුවූයේ I ෂෙමු දිනය 26 දා වන අතර ඔහු පවසන්නේ ලියන්නාගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම වර්ෂ වෙනස සති දෙකක් අඩුවෙන් දක්වා ඇති බවයි. එසේම මෙම ඔස්ට්‍රාකාවේ අක්ෂර විද්‍යාව 20වන සියවසට අයත් යැයි ජැන්සන් පවසන්නේ මෙහි පසුකාලීන නව රාජධානි සම්ප්‍රදාය දැකගත හැකි නිසායි. එසේම මෙය 20වන රාජවංශයට අයත් ඔස්ට්‍රාකා රැසක් හමුවන ග්‍රෑන්ඩ් පුටිට් ප්‍රදේශයෙන් හමුව තිබීමත් එයට සාධකයක් වශයෙන් දක්වා ඇත. කෙසේනමුත්, මෙම ආකාරයේ ලේඛන IIවන රැම්සෙස්ගේ ස්මාරකවලින් ද හමුවන බැවින්, 18වන රාජවංශයේ අවසාන භාගයේ, හොරෙම්හෙබ්ගේ සමයේ මෙම අක්ෂර ක්‍රමය වෙනස් ආරක් ගත් බව සිතිය හැකි යැයි ෆ්‍රෑන්ක් යර්කෝ වරක් පවසා ඇත. එපමණක් නොව, ජැන්සන්ගේ අක්ෂරවිද්‍යාත්මක අධයනයට ආශ්‍රේය කරගත් මහාචාර්ය ජෝර්ජස් පෝස්නර් ව්ස්ෆ් (නොපැමිණි) සහ අඛෙට් (ජලගැල්ම) යන පාඨයන්හි ස්වරූපය සලකා බලමින් යෝජනා කර ඇත්තේ 19වන රාජවංශයට අයත් දිනයකි. මෙම කලාපයේ 20වන රාජවංශයට පෙර ග්‍රෑන්ඩ් පුටිට් පෙදෙසින් 19වන රාජවංශ සමයේ ඔස්ට්‍රාකාවන් ද හමු වී ඇති බව ජැන්සන් වරක් සඳහන් කොට ඇත.[22] මෙය පසුකාලීන 18වන රාජවංශයට අයත් විය නොහැකි බව ඉන් ගම්‍ය නොවේ. මීට අමතරව, ජැන්සන් සහ ක්‍රවුස් යන දෙදෙනාම විසින් IFAO 1254 ඔස්ට්‍රාකාවේ සාපේක්ෂව රූපාක්ෂරවල ඇති ඌනතාව හේතුවෙන් මෙය IIIවන රැම්සෙස්ගේ සමයට අයත් බවට පැහැදිලිවම සනාථ කළ නොහැකි බව පවසා තිබේ. එම නිසා මෙම ලේඛනය නිර්මාණය වූ කාලය පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාගැනීම දුෂ්කර ය. එබැවින් වර්ෂ වෙනස මත පදනම්ව මෙම ලේඛනය හොරෙම්හෙබ්ගේ සමයට නිර්ණය කිරීම විහිලුවකි. මීට අමතරව, පෙට්‍රී එකතුවේ ඇති හානි වූ බිතු සිතුවම් කොටසක හොරෙම්හෙබ්ගේ 15වන හෝ 25වන වර්ෂයක් පිළිබඳ සඳහන් වේ.

මෙස් ශිලාලේඛනය නැමැති තවත් වැදගත් ලේඛනයක හොරෙම්හෙබ්ගේ 59වන වර්ෂයේ මෙස්ගේ පවුලට අවාසි වන පරිදි නඩු තීන්දුවක් දුන් අවස්ථාවක් පිළිබඳ වාර්තා වේ.[23] මෙම මෙස් ශිලාලේඛනය ලියැවුණේ IIවන රැම්සෙස් රජසමයේ බැවින්, මෙකල අමර්ණ යුගයේ පාරාවෝවරුන්ගේ නම් නිල රාජාවලියෙන් ඉවත් කොට තිබූ හෙයින්, හොරෙම්හෙබ්ගේ 59 වර්ෂයට, නිශ්චිතවම අක්නාටන්ගේ 17 වසරක පාලනය, නෙෆර්නෙෆරුආටන්ගේ වසර 2ක පාලනය, ටුටන්ඛාමුන්ගේ වසර 9ක පාලනය සහ ආයිගේ වසර 4ක පාලනය ඇතුළත් කොට ඇත. මේ අනුව බැලූ කල, ඉහත පාලකයින් රාජ්‍ය සමයයන් වර්ෂ 59න් අඩුකළ විට, හොරෙම්හෙබ්ගේ පාලන සමය ලෙස වර්ෂ 26–27ක් ලැබේ.

1987දී ස්වීඩනයේ, ගෝතන්බර්ග්හි පැවැත්වුණු ප්‍රකට සමුළුවක දී, කෙනත් කිචන් සඳහන් කළේ, හොරෙම්හෙබ්ගේ 59 වර්ෂය පිළිබඳ මතය "ලියන්නාගේ වැරදීමක්" ලෙස පැහැදිළි කිරීමට දරන කල්පිතයන් මගින් අතිවිශාල නඩුවිභාග ලැයිස්තු සහ ඔහුගේ පවුලෙන් සොරාගත් වටිනා ඉඩම් නැවත ලබාගැනීමට මෙස් දැරූ උත්සාහය පිළිබඳවත් පැහැදිළි කළ නොහැකි බවයි. සැබැවින්ම මෙස් විසින් නීතිමය විවාදය ප්‍රමාද කළා විය හැකියි. විවිධ සාක්ෂිකරුවන් සහ පැමිණිලිකරුවන් විසින් සිදු කළ අධිකරණ සාක්ෂි ප්‍රකාශ සිය සොහොන්ගැබෙහි සටහන් කිරීමෙන් සිය පවුලේ සාමාජිකයින් මෙම භූමිය නැවත දිනාගැනීමට සිදුකළ වික්‍රමාන්විත අරගලය නොමැකෙන ලෙස සනිටුහන් කිරීමට මෙස් උත්සාහ දරා ඇති බව පෙනී යයි. හොරෙම්හෙබ්ගේ 59 වන වර්ෂයේ සිය පවුලට සිදු වූ නීතිමය අවහිරය අමතක කිරීමට මෙස්ට අවශ්‍ය නොවූ බව පෙනී යයි. කිචන් සිය වාර්තාවෙහි තවදුටත් සඳහන් කරන්නේ, කාර්නැක්හි හොරෙම්හෙබ්ගේ දැවැන්ත ගොඩනැගිලි ව්‍යාපෘති ද ඔහුගේ මේ දිගු රාජ්‍ය සමය පිළිබඳමතය තහවුරු කරන බවයි. එසේම ඔහු අවධාරණය කරන්නේ "ඊජිප්තුවේ මෙන්ම ලෝකය වටා කෞතුකාගාරවල හමුවන දිනයා නොමැති 'පසුකාලීන 18වන රාජවංශ' යුගයට බොහෝ පෞද්ගලික ස්මාරක සැබැවින්ම හොරෙම්හෙබ් යුගයට අයත් බවයි." මේ හේතුවෙන් හොරෙම්හෙබ් සිහසුනට පත්ව මියයන විට අවම වශයෙන් වසර 27ක් හෝ බොහෝ විට වසර 28ක් රාජ්‍ය පාලනය කරන්නට ඇත. මැනතෝගේ විස්තරයෙහි හොරෙම්හෙබ්ගේ රාජ්‍ය සමය ලෙස දැක්වෙන වර්ෂ 4කුත් මාස 1ක කාලය ආයිගේ යැයි පිළිගැනේ. කෙසේනමුත්, මැනතෝගේ විස්තරයෙහි සඳහන් තැනැත්තාගේ රාජ්‍ය සමය දශකයකින් වැඩි කොට වර්ෂ [1]4 සහ මාස 1 ක් ලෙස දක්වා එය හොරෙම්හෙබ්ට අදාළ කළ යුතු බව විශ්වාස කෙරේ.

හොරෙම්හෙබ්ගේ නව රාජ්‍යසමයේ දිග[සංස්කරණය]

2006 සහ 2007 වර්ෂවල ජී.ටී. මාටින්ගේ මූලිකත්වයෙන් මෙහෙයවුණු පුරාවිද්‍යාත්මක කැනීම් වාර තුනකින් සොයාගත් සාක්ෂි අනුව පෙනී යන්නේ හොරෙම්හෙබ් මියගොස් ඇත්තේ උපරිම වශයෙන් වර්ෂ 14ක් රාජ්‍ය විචාරීමෙන් පසුව බවයි. මේ සඳහා පාදක වී ඇත්තේ රජුගේ KV57 සොහොන්ගැබේ මහා වළෙහි (ළිං කුටිය E ලෙස හඳන්වයි) ඝනව විසිරී තිබූ සුන්බුන් අතර තිබී මෑතක දී හමු වූ කැටයම් කළ වයින් බඳුන් කැබලි සහ සටහන් අංග 168 ය. වර්ෂ ඇතුළත් වයින් බඳුන් කැබලි 46න්, 14ක කිසිවක් නොතිබූ මුත් එහි දින සූත්‍ර සඳහන් විය. සටහන් 5ක වර්ෂය 10+X, සටහන් 3ක වර්ෂය 11+X, සටහන් 2ක වර්ෂය 12+X සහ සටහන් 1ක වර්ෂය 13+X ලේඛන ඇත. මේ අතර, ලේඛන 22ක "[හොරෙම්හෙබ්ගේ] වර්ෂය 13 සහ ලේඛන 8ක වර්ෂය 14" ලෙස දැක් වේ. නමුත්, මේවා එකකවත් හොරෙම්හෙබ් සඳහා ඉහළ රාජ්‍ය සමයයක් දක්වා නැත.[24]

මෙම ලේඛනවල සඳහන් සම්පූර්ණ පාඨයන් මෙසේ කියැවෙයි:

"වර්ෂය 13. හොරෙම්හෙබ්-මෙරෙන්-අමුන්ගේ වතුයායෙහි වයින්, L.P.H., අමුන්ගේ බල ප්‍රදේශයෙහි. බටහිර ගංගාව. ප්‍රධාන වයින් වෙ‍ළෙඳ ටයි."[24]

මේ අතර, වර්ෂය 14 ලියවිලිවල, තනි තනි වශයෙන් "ඉතා හොඳ තත්ත්වයේ වයින්" වැනි විශේෂිත වයින් නාමයන් හෝ, එක් තැනක "මිහිරි වයින්" සහ වයින් වත්තේ පිහිටීම දක්වා ඇත.[24] මෙයට පොදු උදාහරණයක් ලෙස වර්ෂය 14 වයින් සටහනෙහි පාඨයක් මෙසේ දැක්විය හැක:

"වර්ෂය 14, හොරෙම්හෙබ්-මෙරෙන්-අමුන්ගේ වතුයායේ හොඳ තත්ත්වයේ වයින්, L.P.H., අමුන්ගේ බලපෙදෙසෙහි, අට්ෆිහ්හි මිදි වත්තෙනි, ප්‍රධාන වයින් වෙළෙන්දා හටි."[24]

වෙනත් 14වන වර්ෂයේ සටහනක මෙම්ෆිස් (?), නැගෙනහිර ගංගාව සහ ඒවායේ වයින් වෙළෙන්දන් නැඛ්ටමුන්, [මෙර්-]සෙගෙර්-මෙන්, රාමෝස් සහ වෙනත් අය ලෙස දක්වා ඇත.[25]

"KV57 සටහන්වල ලක්ෂණ සහ ගැළපීම අනුව සලකා බැලූ විට හොරෙම්හෙබ් 14වන වර්ෂයේ හෝ අවම වශයෙන් ඔහුගේ 15වන වර්ෂයේ මිදි අස්වැන්න නෙලීමට පෙර භූමදාන කරන්නට ඇති බව දැඩිව පෙනී යයි."[25] මෙම සාක්ෂිය "හොරෙම්හෙබ්ගේ ඩේර් එල්-මෙදිනා වලින් හමු වූ වර්ෂය 2,3,4,6,13 සහ 14, නමුත් එයට වඩා වැඩි දිනයන් සඳහන් නොවන වයින් සටහන් සමග බෙහෙවින් ගැළපෙයි"... සෙඩ්මන්ට්වලින් හමු වූ හොරෙම්හෙබ්ගේ යැයි විශ්වාස කෙරෙන සටහනක වර්ෂය 12 යනුවෙන් සඳහන් ය."[26] හොරෙම්හෙබ්ගේ 14වන වර්ෂයෙන් පසු සින නිර්ණිත ශිලාලේඛන නොමැති වීම හොරෙම්හෙබ්ගේ රාජකීය KV57 සොහොන්ගැබෙහි වැඩ අවසන් නොකිරීම මගින් ද පැහැදිළි කළ හැක--"මෙය [වසර 26 හෝ 27ක] දීර්ඝ රාජ්‍ය සමය පිළිබඳ පවසන විද්වතුන් විසින් සිය අවධානය යොමු නොකළ කාරණයකි. ප්‍රමාණය සහ අලංකරණ ක්‍රමවේදය අතින් මෙම සොහොන්ගැබ Iවන සෙටි රජුගේ සොහොන්ගැබට සමානත්වයක් දක්වයි. නමුත් Iවන සෙටිගේ සොහොන්ගැබ හොරෙම්හෙබ්ගේ සොහොන්ගැබට වඩා අතිශයින් විසිතුරු ය. සෙටි සිය සොහොන්ගැබ දශකයක් තුළ දී සම්පූර්ණ කර අවසන් කරගැනීමට සමත් වුවද, හොරෙම්හෙබ් සිය සැලසුම් කළ කුටි තුනක් විසිතුරු කර අවසන් කිරීමට සමත් වූයේ නැත. එසේම ඔහුට සිය භූමදාන ශාලාවේ ද වැඩ නිම කළ නොහැකි විය. හොරෙම්හෙබ් සිය 7වන හෝ 8වන වර්ෂයේ ‍සිය රාජකීය සොහොන්ගැබ තැනීමට ආරම්භ කළේ යැයි සිතමු ... එවිට තවත් අවුරුදු 20ක් ගත වීත් ඔහුට සිය සොහොන්ගැබ අවසන් කරගත නොහැකි වීම අභව්‍ය දෙයක් නොවේ ද?"[27] එමනිසා අදවන විට බහුතරයක් විද්වතුන් විසින් හොරෙම්හෙබ්ගේ රාජ්‍ය සමය ලෙස පිළිගන්නේ වර්ෂ 14කුත් සහ මාස1කි. මෙය වයින් ලේඛන සහ 14 වන වර්ෂයෙන් පසුව දින හමු නොවීම යන පැහැදිළි සාධක මත පදනම්ව නිගමනය කෙරුණකි. මෙඩිනෙට් හබු අවමංගල සේවස්ථානයේ වර්ෂය 27 ලේඛනය සහ මෙස්ගේ වර්ෂය 59 ශිලා ලේඛනය සලකා වැන් ඩිජ්ක් පවසන්නේ IIවන හෝ IIIවන රැම්සෙස්ගේ 27වන වර්ෂයේ හොරෙම්හෙබ්ගේ දෙවොලේ ඉදි කළ හොරෙම්හෙබ්ගේ ප්‍රතිමාවක් පිළිබඳ සඳහන් පළමුවන ලේඛනය සහ මෙස්ගේ සමයේ නිමැවූ දෙවන ලේඛනය "බැරෑරුම් අයුරින් නොගත යුතු බවයි. එසේම දිගු රාජ්‍ය සමය පිළිබඳ දැඩි මතධාරීන් පවා මෙම සාධකවල මතුපිට අගය පිළිබඳ පිළිබඳ පමණක් සිතා කටයුතු නොකරන බවයි". එසේම වුල්ෆ්ගැං හෙල්ක් පැහැදිළි කරන පරිදි IIIවන අමෙන්හොටෙප් සහ හොරෙම්හෙබ් අතර සියලු පාරාවෝවරුන් පිළිබඳ නිශ්චිත ඊජිප්තු දින ක්‍රමයක් නොමැති වීම මීට හේතු වී ඇත.[28]

අනුප්‍රාප්තිය[සංස්කරණය]

KV57: හොරෙම්හෙබ්ගේ සොහොන්ගැබ
සකාරාහි හොරෙම්හෙබ්ගේ මෙම්ෆයිට් සොහොන්ගැබේ ඉදිරි අංගනය.

හොරෙම්හෙබ් විසින්, අමර්ණ යුගයෙන් පසු එළැඹි අභ්‍යන්තර ව්‍යාකූලත්වය අවසන් කරමින් ඊජිප්තුව බලය සහ විශ්වාසය අතින් නගා සිටුවීම සිදු කරන ලදී. මෙම තත්ත්වය Iවන සෙටි සහ IIවන රැම්සෙස් යන රජවරුන් යටතේ 19වන රාජවංශයේ පිබිදීමට හේතු විය. හොරෙම්හෙබ් සිහසුනට උරුමකරුවකු බිහි කිරීමට උත්සාහ දැරුව ද, එය අසාර්ථක වූ බව පෙනේ. ඔහුගේ දෙවන බිරිඳගේ මමියේ කුස තුළ භ්‍රෑණයක් තිබීම මේ බව සනාථ කරයි. සකාරාහි කැනීම්වල නියුතු ජෙෆ්රි මාටින් පවසන්නේ හොරෙම්හෙබ්ගේ දෙවන බිරිඳ වූ මුට්නෙඩ්ජ්මෙට් භූමදාන කර ඇති ස්ථානය හොරෙම්හෙබ්ගේ සකාරා සොහොන්ගැබේ කු‍ටිවලට පිවිසෙන ළිඳක පත්ලේ ඇති බවයි‍. ඔහු පවසන්නේ "අමුන්හි ගීගයන්නිය සහ රජුගේ බිසව වූ මුට්නෙඩ්ජ්මෙට් උදෙසා ලියැවුණු අවමංගල පාඨයන් සහිත ඇලබැස්‍ටර් බඳුනක්, මෙන්ම ඇගේ කුඩා ප්‍රතිමාවක කැබලි ද [මෙහි තිබී හමු විය] ... අවමංගල බඳුනේ ඇගේ නාමය සහ තනතුරු සඳහන්ව ඇති බැවින් එය වෙනත් කෙනකුගේ භූමදානයක් වෙනුවෙන් භාවිතයට ගැනුණක් විය නොහැක."[29]

හිස්කබලේ අස්ථි කොටස් සහ ‍ශ්‍රෝණිය ඇතුළු ‍සිරුරේ සෙසු කොටස්වල විශේෂඥ විශ්ලේෂණයක් මගින් පෙනී ගොස් ඇත්තේ, එය කිහිප වරක් දරු පසූතිය සිදු කළ වැඩිමහල් කාන්තාවකගේ බවයි. මීට අමතරව, අඩු වයසින්ම ඇගේ දත් හැලී ගොස් ඇති අතර, වැඩි කාලයක් ඇයට ආහාරයට ගත හැකි වූයේ මෘදු ආහාර පමණි. මැදි-හතලිස් වියේ දී පමණ ඇය මියගොස් ඇත්තේ දරුඋපතක දී විය හැක. ඇගේ අස්ථි අතර භ්‍රෑණයක හෝ අලුත උපන් ළදරුවකුගේ අස්ථි තිබීමෙන් මේ බව පැහැදිළි වේ. [සොහොන්] කොල්ලකරුවන් විසින් පැහැදිළිවම මවගේ සහ දරුවාගේ මෙම මමී ද්විත්වය පහළ භූමදාන කුටීරයෙන් ඇදගෙන විත් තිබේ. අනතුරුව ස්තම්භ ශාලාවේ දී ඒවා කඩා දමා ඇත. මුට්නෙඩ්ජ්මෙට්ගේ නාමය කැටයම් කළ භාණ්ඩ සැලකිල්ලට ගත් විට බොහෝ විට මෙම වැඩිහිටි අස්ථි රැජිනගේ විය හැකි අතර, ඇය සිය පාරාවෝ සැමියාට සිහසුනට උරුමකරුවකු ලබා දීමට උත්සාහ දැරීමේ දී මියයන්නට ඇත.[29]

හොරෙම්හෙබ්ට දරුවන් නොවූ හෙයින්, ඔහු සිය අමාත්‍යවරයා වූ පරමෙසේ සිහසුනට උරුමකරු ලෙස නම්කළේ ය. පරමෙසේගේ පක්ෂපාතීත්වයත්, ඊජිප්තුවේ රාජකීය අනුප්‍රාප්තිය සුරක්ෂිත කිරීමට ඔහුට පුතකු මෙන්ම මුණුපුරකු ද සිටීමත් නිසා ඔහුව මේ තනතුරට පත් කරන්නට ඇත. Iවන රැම්සෙස් යනුවෙන් සිහසුනට පත් වූ පරමෙසේ නව රාජධානියේ 19වන රාජවංශය ආරම්භ කළේ ය. මරණය වන විටත්, හොරෙම්හෙබ්ගේ KV57 සොහොන්ගැබෙහි වැඩ අවසන් වී තිබුණේ නැත. හොරෙම්හෙබ්ට පෙර කාලයක වසර 26ක් රජ කළ IIවන අමෙන්හොටෙප් ද මෙසේ මියයන විට සිය සොහොන්ගැබ තනා අවසන් කරගත නොහැකි වූ රජකෙනෙකි.

ප්‍රබන්ධ තුළ නිරූපණ[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

රූපවාහිනිය[සංස්කරණය]

  • බ්‍රිතාන්‍ය නළුවකු වූ නොන්සෝ අනෝසී විසින් 2015 කෙටි රූපවාහිනී කතාමාලාවක් වූ Tut තුළ ඔහුගේ චරිතය නිරූපණය කළේ ය. මෙම එක්සත් ජනපදය තුළ ස්පයික් නාළිකාව ඔස්සේත්, එක්සත් රාජධානිය තුළ චැනල් 5 නාළිකාව ඔස්සේත් විකාශය කරන ලදී.

සංගීත[සංස්කරණය]

ෆිලිප් ග්ලාස්ගේ ඔපෙරාවක් වන අක්නාටන්හි චරිතයකි, හොරෙම්හෙබ්. මෙය අතිමන්ද්‍ර ස්වරයකින් ගායනා කෙරෙන්නකි.

සාහිත්‍යය[සංස්කරණය]

  • නික් ඩ්‍රේක්ගේ තුන්ඈඳුතු අද්භූත නවකතා වන The Book of the Dead, Tutankhamun සහ The Book of Chaos තුළ චරිතයක් ලෙස හොරෙම්හෙබ් නිරූපිත ය.
  • පී. සී. ඩොහර්ටිගේ තුන් ඈඳුතු ඓතිහාසික නවකථා වන An Evil Spirit Out of the West, The Season of the Hyaena සහ The Year of the Cobra තුළ හොරෙම්හෙබ් ප්‍රධාන චරිතයකි.
  • හොරෙම්හෙබ් ප්‍රධාන චරිතයක් ලෙස පෝලින් ගෙජ්ගේ The Twelfth Transforming ඓතිහාසික නවකථාව තුළ දක්වා ඇත.
  • කේටී හැම්ස්ටඩ්ගේ තුන් ඈඳුතු කෘති වන Kiya: Hope of the Pharaoh, Kiya: Mother of the King සහ Kiya: Rise of a New Dynasty තුළ හොරෙම්හෙබ් ද ප්‍රධාන චරිතයකි.
  • මිචෙල් මොරාන්ගේ Nefertiti නවකථාවේ සුළු චරිතයකි, හොරෙම්හෙබ්.
  • ලින්ඩා සුසෑන් රොබින්සන්ගේ Lord Meren ඊජිප්තු අභිරහස් කතාමාලාවේ හොරෙම්හෙබ්ගේ චරිතය දක්නට ඇත.
  • හොරෙම්හෙබ් සුළු චරිතයක් ලෙස චී ෂිනොහරාටග් ජපන් ග්‍රැෆික් නවකථාවක් වන, Red River තුඵ නිරූපිත ය. මෙය පුරාතන ඇනටෝලියාව සහ පුරාතන ඊජිප්තුව වටා ගෙතුණකි.
  • මිකා වෝල්ටරිගේ ජනප්‍රිය ඓතිහාසික නවකථාවක් වන Sinuhe, The Egyptian තුළ හොරෙම්හෙබ් ප්‍රධාන චරිතයකි.
  • කයිරෙස් ලෙස නම්කොට ඇති හොරෙම්හෙබ් ඇලන් ඩෘරිගේ අමර්ණ යුගය පිළිබඳ නවකථා ද්විත්වයක් වන A God Against the Gods (ඩබල්ඩේ, ජූලි 1976, ISBN 0-385-00199-1) සහ Return to Thebes (ඩබල්ඩේ, පෙබ. 1977, ISBN 0-385-04199-3) තුළ ප්‍රධාන චරිතයකි. 2015දී වර්ඩ්ෆයර් ප්‍රෙස් ආයතනය මගින් මේවා යළි මුද්‍රණය කරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. එරික් හෝර්නන්ග්, රොල්ෆ් ක්‍රවුස් සහ ඩේවිඩ් වෝබර්ටන් (සංස්කාරකවරු), ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි (හෑන්ඩ්බුක් ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස්), බ්‍රිල්: 2006, පි.493 කාලානුක්‍රම වගුව
  2. "රැම්සෙස්". carlos.emory.edu.
  3. ඇලන් ගාර්ඩිනර්, "ද කොරොනේෂන් ඔෆ් කිං හැරෙම්හැබ්," JEA 39 (1953), පිටු.14, 16 & 21
  4. "වර්චුවල් ඊජිප්ටියන් මියුසියම් - ද ෆුල් කලෙක්ෂන්". virtual-egyptian-museum.org.
  5. 5.0 5.1 5.2 නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, බ්ලැක්වෙල්:1992, පි. 242.
  6. ජෝන් ඒ. විල්සන් "ටෙක්ස්ට්ස් ෆ්‍රොම් ද ටූම්බ් ඔෆ් ජෙනරල් හොර්-එම්-හෙබ්" ඉන් ඒන්ෂන්ට් නියර් ඊස්ටර්න් ටෙක්ස්ට්ස් (ANET) රිලේටිං ටු ද ඕල්ඩ් ටෙස්ටමන්ට්, ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, 2වන සංස්කරණය, 1955. පිටු.250-251
  7. ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්පිස්. ජැකොබස් වැන් ඩිජ්ක් විසින් සිදු කරන ලද ඓතිහාසික සහ ප්‍රතිමා විද්‍යාත්මක අධ්‍යයන, ග්‍රොනින්ජන් විශ්වවිද්‍යාල නිබන්ධනය. ග්‍රොනින්ජන් 1993. "පළමු පරිච්ඡේදය: හොරෙම්හෙබ්, ප්‍රින්ස් රීජන්ට් ඔෆ් ටුටන්ඛ්'අමුන්," පිටු. 17-18 (මාර්ගස්ථ: පිටු. 9-10)
  8. ඇලන් ගාර්ඩිනර්, ද කොරොනේෂන් ඔෆ් කිං හැරෙම්හැබ්, ඊජිප්තු පුරාවිද්‍යා ජර්නලය, වෙළුම. 39 (1953), පිටු.13-31
  9. ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්: ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්. ‍ජැකොබස් වැන් ඩිජ්ක්ගේ ඓතිහාසික සහ ප්‍රතිමාශිල්පීය අධ්‍යයනය, ග්‍රොනින්ජන් විශ්වවිද්‍යාලීය නිබන්ධනය. ග්‍රොනින්ජන් 1993. "පළමු පරිච්ඡේදය: හොරෙම්හෙබ්, ප්‍රින්ස් රීජන්ට් ඔෆ් ටුටන්ඛ්’අමුන්," පිටු.48-49 (මාර්ගස්ථ: පිටු.40-41)
  10. ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්: ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්. ජැකොබස් වැන් ඩිජ්ක් විසින් සිදුකරන ලද ඓතිහාසික සහ ප්‍රතිමාවිද්‍යාත්මක අධ්‍යයන, Ibid., පිටු.50-51 සහ 56-60 (මාර්ගස්ථ: පිටු.42-43 සහ 48-52)
  11. වුල්ෆ්ගැං හෙල්ක්, Urkunden der 18. Dynastie: Texte der Hefte 20-21 (බර්ලින්: ඇකඩමී-වර්ලැග්, 1984), පිටු.1908-1910
  12. ද නිව් කිංඩම් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්: ද නිව් කිංඩහ් නෙක්‍රොපොලිස් ඔෆ් මෙම්ෆිස්. ජැකොබස් වැන් ඩිජ්ක් විසින් සිදුකළ ඓතිහාසික සහ ප්‍රතිමාශිල්පීය අධ්‍යයනය, ග්‍රොනින්ජන් විශ්වවිද්‍යාලීය නිබන්ධනය. ග්‍රොනින්ජන් 1993. "පරිච්ඡේදය එක: හොරෙම්හෙබ්, ප්‍රින්ස් රීජන්ට් ඔෆ් ටුටන්ඛ්'අමුන්" පිටු. 59-62 (මාර්ගස්ථ: පිටු. 51-54)
  13. රජුන්ගේ නිම්නයේ බටහිර සංකීර්ණයේ 23 සොහොන්ගැබ; බලන්න පෝටර් ඇන්ඩ් මොස්, ටොපෝග්‍රැෆිකල් බිබ්ලියෝග්‍රැෆි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ටියන් හයිරොග්ලිෆ් ටෙක්ස්ට්ස්, රිලීෆ්ස් ඇන්ඩ් පාට්ස්, වෙළුම. 1, කොටස 2, (ඔක්ස්ෆර්ඩ් ක්ලැරන්ඩන් ප්‍රෙස්:1960), පිටු. 550-551
  14. නිකොලස් ග්‍රිමල්, op.cit., පි.243
  15. "ද ග්‍රේට් එඩික්ට් ඔෆ් හොරෙම්හෙබ්". reshafim.org.il.
  16. පීටර් ක්ලේටන්, ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, 1994. පි.137
  17. ග්‍රිමල්, op.cit., පිටු.243, 303
  18. ජොයිස් ටිල්ඩෙස්ලි, ක්රෝනිකල් ඔෆ් ද ක්වීන්ස් ඔෆ් ඊජිප්ට්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් 2006. පි.140
  19. රොල්ෆ් ක්‍රවුස්, "Nur ein kurioser Irrtum oder ein Beleg für die Jahr 26 und 27 von Haremhab?" ඊජිප්තුවේදය පිළිබඳ සාකච්ඡා 30, 1994, පිටු.73-85
  20. ජැක් ජැන්සන්, අ කියුරියස් එරර්, BIFAO 84(1984), පිටු.303-306.
  21. ජේ. වොන් බෙකරැත්, Chronologie des Pharaonischen Ägypten, Mainz, (1997), පි.201
  22. ජැන්සන්, op. cit., පි.305
  23. "ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් මෙස්". reshafim.org.il.
  24. 24.0 24.1 24.2 24.3 ජැකොබස් වැන් ඩිජ්ක්, නිව් එවිඩන්ස් ඔන් ද ලෙන්ග්ත් ඔෆ් ද රීන් ඔෆ් හොරෙම්හෙබ්, ඊජිප්තුවේ ඇමරිකානු පර්යේෂණ මධ්‍යස්ථානයේ ජර්නලය (JARCE) 44, 2008, පි.195
  25. 25.0 25.1 වැන් ඩිජ්ක්, JARCE 44, පි.196
  26. වැන් ඩිජ්ක්, JARCE 44, පිටු.197-98 මෙහි පහත නම් සඳහන් අයගේ වාර්තාවල සටහන් ඇත: ජී. නෙජිල්, La ceramique du Nouvel Empire a Deir Medineh (කයිරෝ) 1938, 15:6 (වර්ෂය 2); වයි. කෝනිග්, Catalogues des etiquettes de jarres hieratiques de Deir el Medineh (කයිරෝ, 1979-1980), nos. 6299 (වර්ෂය 3), 6295 (වර්ෂය 4), 6403 (වර්ෂය 6), 6294 (වර්ෂය 13) 6345 (වර්ෂය 14) සහ ජී. ටී. මාටින්, "Three Objects of New Kingdom Date from the Memphite Area and Sidmant. 3. An inscribed amphora from Sidmant," ජේ. බේන්ස් ඇතුළු පිරිසගේ., පිරමිඩ අධ්‍යයන සහ වෙනත් රචනා දැක්වීම අයි. ඊ. එස්. එඩ්වඩ්ස් (ලන්ඩන් 1988), 118-120, pl.21.
  27. වැන් ඩිජ්ක්, JARCE 44, පි.198
  28. හෙල්ක්, Urkunden IV, 2162 & වැන් ඩිජ්ක්, JARCE 44, පිටු.198-99
  29. 29.0 29.1 ජී. මාර්ටින්, ද හිඩ්න් ටූම්බ්ස් ඔෆ් මෙම්ෆිස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් (1991), පිටු.97-98

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • ඇලන් ගාර්ඩිනර්, The Inscription of Mes: A Contribution to Egyptian Juridical Procedure, Untersuchungen IV, Pt. 3 (ලෙයිප්සිග්: 1905).
  • ජූර්ගන් වොන් බෙකරැත්, Chronologie des pharaonischen Ägypten, MÄS 46, Philip Von Zabern, Mainz: 1997
  • නිකොලස් ග්‍රිමල්, A History of Ancient Egypt, බ්ලැක්වෙල් බුක්ස්: 1992
  • කේ. ඒ. කිචන්, The Basis of Egyptian Chronology in relation to the Bronze Age," වෙළුම 1: පිටු. 37-55 in "High, Middle or Low?: Acts of an International Colloquium on absolute chronology held at the University of Gothenburg 20–22 අගෝස්තු 1987." (සංස්: පෝල් ඇස්ට්‍රොම්).

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හොරෙම්හෙබ්&oldid=385962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි