ඊජිප්තුවෙහි පළමුවන රාජවංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ඊජිප්තුවේ පළමු රාජවංශය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

පුරාතන ඊජිප්තුවේ පළමුවන රාජවංශය (හෙවත් රාජවංශය I) යටතට අයත් වන්නේ එක්සත් ඊජිප්තුවක් තුළ පාලනය ගෙන ගිය ඊජිප්තු රජවරුන්ගේ පළමුවන මාලාවයි. මෙය නාමර් රජු විසින් සිදුකළේ යැයි පැවසෙන ඉහළ සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කිරීමෙන් වහාම පසුව ඇරඹුණු යුගයයි. එසේම මෙය තිනිස් වටා බලය සංකේන්දුගත වූ මුල්කාලීන රාජවංශ යුගයේ ආරම්භය සනිටුහන් කරයි.

මෙම යුගයේ කාලසීමාව විද්වතුන් අතර වාදවිවාදවලට හේතු වී ඇත. මෙය දිවෙන්නේ මුල්කාලීන ලෝකඩ යුගය හරහා වන අතර, මෙය ක්‍රි.පූ. 34වන හා 30වන සියවස් අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇත. 2013දී සිදුකළ විකිරණශීලී කාබන් දින අධ්‍යයනයක් අනුව, පළමු රාජවංශයේ ආරම්භය - හොර්-අහාගේ සිංහාසනාරූඪය - ක්‍රි.පූ. 3100ට ආසන්න (3218–3035, මෙය 95%ක විශ්වාසයකින් යුතු ය) සමයක සිදු වූයේ යැයි සැලකේ.[1]

පාලකයින්[සංස්කරණය]

ඊජිප්තුවේ ඉතිහාසය තුළ පළමු රාජවංශයට අයත් යැයි විශ්වාස කෙරෙන රජවරුන් නම්:

නම දින සටහන්
නාමර්/මෙනස්(?) ක්‍රි.පූ. 32වන සියවසේ පමණ (?) බොහෝ විද්වතුන් නාමර් යනු මෙනස් ලෙස හඳුනාගත්ත ද, විද්වතුන් සුළු පිරිසක් මෙනස් යනු හොර්-අහා ලෙස හඳුන්වයි.[2]
හොර්-අහා ඇරඹීම ක්‍රි.පූ. 3080 ± 30 (p-අගය = 0.32)[3]
ඩ්ජර් ක්‍රි.පූ. 3073 – 3036 පමණ; වර්ෂ 41ක්
ඩ්ජෙට් ක්‍රි.පූ. 3008 - 2975 ?
මර්නෙයිත් (ඩෙන්ගේ මව) ක්‍රි.පූ. 3008? 2946–2916
ඩෙන් ක්‍රි.පූ. 2975–2935-2911 හෝ ක්‍රි.පූ. 2928–2911; වර්ෂ 19 සිට 50ක් (වර්ෂ 42)
අනෙඩ්ජිබ් ක්‍රි.පූ. 2916–2896; වර්ෂ 20
සෙමෙර්ඛෙට් ක්‍රි.පූ. 2912–2891 ?; වර්ෂ 20
ඛා ක්‍රි.පූ. 2906–2886 ?; වර්ෂ 30

මෙම රාජවංශය පිළිබඳ තොරතුරු රාජකීය නාම දරන ඇතැම් ස්මාරක සහ වෙනත් අංග මගින් ලැබේ. මේ අතරින් වඩාත් වැදගත්ම පුරාවස්තූන් ලෙස නාමර් ඵලකය සහ නාමර් සොංකෝල හිස ආදියත්, ඩෙන් සහ ඛා රජුන්ගේ ලැයිස්තු ද සැලකේ.[4] පැලර්මෝ පාෂාණයේ ඇති සංක්ෂිප්ත ලැයිස්තු හැරුණුවිට මුල් රාජවංශ ද්විත්වය පිළිබඳ වෙනත් සවිස්තර වාර්තා හමු නොවේ. මේ පිළිබඳ තොරතුරු සඳහන් මැනතෝගේ ඒජිප්ටියැකා විස්තරය, පුරාවිද්‍යාත්මක මෙන්ම ඓතිහාසික වාර්තා සමග නොගැ‍ළපේ. මැනතෝ විසින් පළමු රාජවංශයේ රජවරුන් නවදෙනකු නම්කොට තිබුණ ද, ඉන් වෙනත් මූලාශ්‍ර සමග ගැළපෙන්නේ එක් නාමයක් පමණි. එසේම ඔහු විස්තර ඉදිරිපත් කොට ඇත්තේ ද රජවරුන් සිව්දෙනකු පිළිබඳ පමණි.[5] මෙකල ඊජිප්තු රූපාක්ෂර හොඳින් සංවර්ධනය වී පැවතිණි. ඒවායේ හැඩය අවුරුදු තුන්දහසක් පුරාවටම වෙනස් වී ඇත්තේ ස්වල්ප වශයෙනි.

ඇබයිඩොස් සහ නැකාඩාහි ඇති පාරාවෝවරුන්ගේ විශාල සොහොන්ගැබ් මෙන්ම මෙම්පිස් අසල පිහිටි සකාරා සහ හෙල්වාන් සුසානභූමිවලින් පෙනී යන්නේ මෙකල ඉදිකිරීම් විශාල වශයෙන් දැව සහ මඩින් තැනූ ගඩොල්වලින් සිදුව ඇති බවයි. බිත්ති සහ ‍ගෙබිම සඳහා ගල් භාවිතා වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ආභරණ, බඳුන් සහ කලාතුරකින් ප්‍රතිමා නිර්මාණය සඳහා ගල් භාවිතා වී ඇත. ටැමරික්ස් (හෙවත් "ලවණ දේවදාර") ශාකය ඇබයිඩොස් බෝට්ටු වැනි බෝට්ටු නිර්මාණයට භාවිතා වී ඇත. මෙකල වඩාත් වැදගත් වූ දැවනිර්මාණ ක්‍රමවේදයක් ලෙස අචල කුඩුම්බි සන්ධි භාවිතය දැක්විය හැක. අචල කුඩුම්බි සකසන ලද්දේ එක් ලී කැබැල්ලක අග්‍රය දෙවන ලීයේ සිදුර තුළට ගැළපෙන පරිදි කපා සකස් කිරීමෙනි. නිදහස් කුඩුම්බියක් භාවිත වූ මෙම ක්‍රමයේ ප්‍රභේදයන් මධ්‍යධරණි සහ ඊජිප්තු නැව් නිර්මාණයේ දී වැදගත් විය. [6]

රාජකීය අවමංගල පිළිවෙතක් ලෙස මිනිස් බිලිපූජා[සංස්කරණය]

පළමු රාජවංශයේ සියලු පාරාවෝවරුන් විසින් අවමංගල චාරිත්‍රයක් ලෙස මිනිස් බිලිපූජා අනුගමනය කොට ඇත.[7] මේ බව සෑම පාරාවෝවරයකුගේම සොහොන්ගැබ අසල සේවකයින් සහ සත්ත්වයින් භූමදාන කොට තිබීමෙන් පෙනී යයි. ඩ්‍ජර්ගේ සොහොන්ගැබ සඳහා මිනිසුන් 338ක් භූමදාන කොට ඇත.[7] මෙහි දී බිලි දුන් මිනිසුන් සහ බූරුවන් වැනි සතුන් පාරාවෝවරයාට මරණින් මතු සහාය වේ යැයි සලකන්නට ඇත. කෙසේනමුත්, නොදන්නා හේතූන් මත මෙම රාජවංශයේ අවසානය වන විට මෙම පිළිවෙත ද අවසන් වී ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ඩී, එම්.; වෙන්ග්‍රොව්, ඩී.; ෂෝට්ලන්ඩ්, ඒ.; ස්ටීවන්සන්, ඒ.; බ්‍රොක්, එෆ්.; ගර්ඩ්ලෑන්ඩ් ෆ්ලින්ක්, එල්.; බ්‍රොන්ක් රැම්සේ, සී. (4 සැප්තැම්බර් 2013). "ඇන් ඇබ්සොලියුට් ක්රෝනොලොජි ෆෝ අර්ලි ඊජිප්ට් යූසිං රේඩියෝකාබන් ඩේටිං ඇන්ඩ් බෙයසියන් ස්ටැටිස්ටිකල් මොඩ්ලිං". ප්‍රොසීඩිංස් ඔෆ් ද රෝයල් සොසයිටි A: මැතමැටිකල්, ෆිසිකල් ඇන්ඩ් ඉන්ජිනියරිං සයන්සස්. 469 (2159): 20130395–20130395. doi:10.1098/rspa.2013.0395. 
  2. ඩී ඇතුළු පිරිස (2013) පවසන්නේ: "මෙම අධ්‍යයනය සඳහා, අප පදනම් දිනය ලෙස සලකන්නේ පළමු රාජවංශයේ අහා රජුගේ සිංහාසනාරූඪයයි. නමුත් ඔහුට පෙර රාජ්‍ය කළ නාමර් මුළු රාජ්‍යය පුරාම සිය දේශපාලන බලය හොබවා ඇත. ඓතිහාසික පදනම් දිනයන් නොයෙකුත් වෙනස්කම්වලින් යුක්ත අතර, එහි ඇස්තමේන්තු කිරීම් ක්‍රි.පූ. 3400 සිට 2900 දක්වා පරාසයක දිවෙයි."
  3. ඩී ඇතුළු පිරිස. 2013: "අපගේ විශ්ලේෂණය අනුව ඊජිප්තුවේ ආරම්භක දිනය ලෙස (අහා රජුගේ සිංහාසනාරූඪය) ක්‍රි.පූ. 3111–3045 හෝ ක්‍රි.පූ. 3218–3035 කාලපරාසය සලකා ඇත."
  4. "ඛා'ආ ඇන්ඩ් මර්නයිත් ලිස්ට්ස්", Xoomer, IT: වර්ජිලියෝ, http://xoomer.virgilio.it/francescoraf/hesyra/Egyptgallery03.html 
  5. මැනතෝ, Fr. 6, 7a, 7b. ටෙක්ස්ට් ඇන්ඩ් ට්‍රාන්ස්ලේෂන් ඉන් මැනතෝ, පරිවර්තනය ඩබ්. ජී. වැඩල් (කේම්බ්‍රිජ්: හාවර්ඩ් විශ්වවිද්‍යාලය, 1940), පිටු;27-35
  6. "අර්ලි ෂිප් කන්ස්ට්‍රක්ෂන් – ඛුෆු’ස් සෝලාර් බෝට්", ඊජිප්ට්, IL: රෙෂාෆිම්, ජනවාරි 2001, http://www.reshafim.org.il/ad/egypt/timelines/topics/shipconstruction.htm, ප්‍රතිෂ්ඨාපනය ඔක්තෝබර් 29, 2008 .
  7. 7.0 7.1 Shaw 2000, p. 68.

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

පූර්වප්‍රාප්තික වූයේ
නිර්මාණය
ඊජිප්තුවේ රාජවංශය
ක්‍රි.පූ. 3100 – 2890 පමණ
අනුප්‍රාප්තික වූයේ
දෙවන රාජවංශය