මුල්කාලීන රාජවංශික යුගය (ඊජිප්තුව)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(මුල්කාලීන රාජවංශ යුගය (ඊජිප්තුව) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
  1. යළියොමුවසැකිල්ල:තොරතුරුකොටුව රට

ඊජිප්තුවේ පෞරාණික හෙවත් මුල්කාලීය රාජවංශික යුගය යනු ක්‍රි.පූ. 3100දී ඉහළ සහ පහළ ඊජිප්තුව එක්සත් කිරීමෙන් වහාම පසුව එළඹෙන යුගයයි. සාමාන්‍යයෙන් මෙයට පළමු සහ දෙවන රාජවංශ ඇතුළත් කොට ඇත. මෙයට නැකාඩා III යුගයේ සිට ක්‍රි.පූ. 2686 පමණ පැරණි රාජධානි සමයේ ආරම්භය දක්වා පුරවිද්‍යාත්මක කාලසීමාව අයත් යැයි සැලකේ.[1] පළමු රාජවංශයත් සමග අගනුවර තිනිස් සිට මෙම්ෆිස් වෙත ගෙනයන ලදී. මෙකල ඒකාබද්ධ ඊජිප්තුව පාලනය කරන ලද්දේ දේව-රජකු විසිනි. දකුණෙහි ප්‍රධාන පූජනීය භූමිය ලෙස ඇබයිඩොස් පැවතිණි. පුරාතන ඊජිප්තු ශිෂ්ටාචාරයේ මූලිකාංග වූ කලාව, ගෘහනිර්මාණ ශිල්පය සහ ආගමික ක්ෂේත්‍රයේ බොහෝ සංකල්ප හැඩගැන්වීම සිදුවූයේ මුල්කාලීන රාජවංශික යුගයේ ය‍.

ඊජිප්තුව ඒකාබද්ධ කිරීමට පෙර, මෙම භූමිය ජනාවාස වී තිබුණේ ස්වාධීන ගම්මානවලිනි. මුල්කාලීන රාජවංශ සමග, ඊජිප්තු ඉතිහාසයේ ඉන් අනතුරුව එළැඹි යුගයන්හි මෙම දේශය භූමි ද්විත්වය ලෙස ප්‍රකට විය. ජාතික පරිපාලනයක් ස්ථාපිත කළ පාරාවෝවරුන් විසින් රාජකීය ආණ්ඩුකාරවරුන්ව පත්කරන ලදී. මධ්‍යම රජයේ ගොඩනැගිලි සාමාන්‍යයෙන් දැවයෙන් හෝ වැලිගලින් ඉදිකළ විවෘත දේවස්ථානයන් විය. පැරණිතම ඊජිප්තු රූපාක්ෂර දක්නට ලැබෙන්නේ මෙම යුගයට මඳ කාලයකට පෙර සිට ය. නමුත් ඔවුන්ගේ කථන භාෂාව පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි.

සංස්කෘතික පරිණාමය[සංස්කරණය]

පුරාතන ඊජිප්තුවේ මුල්කාලීන රාජවංශික යුගයේ නිර්මාණය වූ ඵලකයක්; මෙමගින් බෝට්ටුවක සිටින මිනිසකුත්, හිපොපොටේමස් සහ කිඹුලකුගේ රුව ද නිරූපණය වේ.
N16
N16
tȝwy 'භූමි ද්විත්වය'
රූපාක්ෂර වලින්

ක්‍රි.පූ. 3600 පමණ වන විට, නයිල්හි නියෝලිතික සමාජ බෝග වගාව සහ සතුන් ගෘහස්ථකරණය මගින් සිය සංස්කෘතිය මුල්බැසවීමට සමත් වූහ.[2] ක්‍රි.පූ. 3600න් පසුව ඊජිප්තු සමාජය වර්ධනය වෙමින් ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් බවට ශීඝ්‍රයෙන් පරිනාමණය විය‍.[3] දකුණු ලෙවැන්තයේ කුඹල් කර්මාන්තයට සම්බන්ධ නව විශේෂ මැටි බඳුන් මෙකල නිර්මාණය විය. මෙම යුගයේ තඹ භාවිතය වඩාත් සුලබ විය.[3] අව්වේ-වියළන ලද ගඩොල් නිපදවීමේ මෙ‍සපොතේමියානු ක්‍රියාවලිය, ආරුක්කු සහ අලංකෘත ගිල්ලුම් බිත්ති වැනි ගෘහනිර්මාණ අංග මෙකල ප්‍රචලිත විය.[3]

මෙම සංස්කෘතික ප්‍රගමනයන් හා සමගාමීව, ඉහළ නයිල් ගංගාවේ හෙවත් ඉහළ ඊජිප්තුවේ සමාංයන් සහ නගර එක්සත් කිරීම මෙකල සිදු විය. එම කාලයේම නයිල් ඩෙල්ටාව හෙවත් පහළ ඊජිප්තුවේ සමාජය ද එක්සත් වන්නට විය.[3] අනතුරුව ඉහළ සහ පහළ ඊජිප්තුව අතර නිතරම යුද්ධ පැවතිණි.[3] ඉහළ ඊජිප්තුවේ නාමර් නැමැති රජකු සිය රාජ්‍ය සමය තුළ දී, ඩෙල්ටාවේ විසූ සතුරන් පරාජය කොට ඉහළ සහ පහළ ඊජිප්තුව තනි පාලනයකට යටත් කොට ඒකාබද්ධ කරන ලදී.[4] ඵලක තුළ නාමර් ද්විත්ව කිරුළ පැළඳ සිටිනු නිරූපිත අතර, ඉහළ ඊජිප්තුව සංකේතවත් කෙරෙන නෙළුම් මලක් සහ පහළ ඊජිප්තුව සංකේතවත් කෙරෙන පැපිරස් පොකුරු ඊජිප්තුවේ ප්‍රදේශ දෙකෙහිම එක්සත්බවේ සංකේතයක් ලෙස දක්වා තිබේ. මෙය සියලු අනුප්‍රාප්තික පාරාවෝවරුන් විසින් ද යොදාගෙන තිබේ. පුරාණෝක්තිවේදය අනුව, ඊජිප්තුව ඒකාබද්ධ කිරීම පහළ ඊජිප්තුව සංකේතවත් කෙරෙන හොරස් නැමැති කුරුලුගොයි-දේවතාවා විසින් ඉහළ ඊජිප්තුව සංකේතවත් කෙරෙන සෙට් දෙවියන්ව පරාජය කරන අයුරින් නිරූපිත ය.[5] දිව්‍යමය රාජ්‍යත්වය ඉදිරි සහස්‍ර ත්‍රිත්වය තුළ ඊජිප්තුව තුළ පැවතුණු අතර, මෙය ඊජිප්තු රජයේ පදනම ලෙස සැලකෙයි.[6] නයිල්හි සමාජයන් ඒකාබද්ධ කිරීම සහරාව වියළීම හා සම්බන්ධ ය.

පූර්වරාජවංශික සමයේ මෙන් ගොවීන්ගේ අවමංගල සිරිත් එලෙසම පැවති අතර, ධනවතුන් එයට වඩා තරමක් වැඩිදියුණු පිළිවෙතක් අනුගමනය කොට තිබේ. මේ නිසා ඊජිප්තුවරුන් විසින් මස්ටාබාවන් ඉදිකිරීම අරඹා තිබේ. මෙය පසුව පසුකාලීන පැරණි රාජධානි සමයේ පඩි පිරමිඩය වැනි ව්‍යූහයන්ට මූලාදර්ශය වී ඇත. ධාන්‍ය කෘෂිකර්මාන්තය සහ මධ්‍යගතකරණය හේතුවෙන් රාජ්‍යය ඉදිරි වර්ෂ 800 තුළ සමෘද්ධිමත්භාවයට හේතු විය.

ඊජිප්තුවේ පළමු රජු පහළ ඊජිප්තුවේ මෙම්ෆිස් නගරයේ සිහසුනට පත්වීඹටත් බොහෝ කලකට පෙර සිට ඊජිප්තුව සංස්කෘතික සහ ආර්ථික අතින් ඒකාබද්ධව පැවති බව පෙනේ. මෙය සියවස් ගණනාවක් පුරා පැවතිණි. දේශපාලනික ඒකාබද්ධභාවය ඇතිවූයේ ක්‍රමිකව ය. ඇතැම්විට සියවසක් පමණ පුරා ප්‍රාදේශික දිස්ත්‍රික්ක වෙළඳ ජාල ස්ථාපනය කොට මහා පරිමාණයෙන් කෘෂිකාර්මික ශ්‍රමය ලබාගැනීමේ හැකියාව ඇතිකරගත් සමයේ දිව්‍යමය රාජ්‍යත්වය ද අධ්‍යාත්මිකව වර්ධනය වන්නට ඇත. මෙය හොරස්, සෙට් සහ නෙයිත් දේව වන්දනාවට සමාන වූ අතර, ජීවමාන පුද්ගලයින් ඇදහීම රට පුරා ව්‍යාප්ත විය.[7]

මෙම යුගයේම ඊජිප්තු ලේඛන ක්‍රමය වැඩිදියුණු වීම සිදු විය. මූලිකව ඊජිප්තු ලේඛන කලාව විවිධ අර්ථ සහිත සංකේත කිහිපයකින් සමන්විත ය. 3වන රාජවංශයේ අවසානය වන විට, මෙය සංකේත 200කට වඩා වැඩි ප්‍රමාණයක් තෙක් වර්ධනය විය. මේ අතර ශබ්ද රූප මෙන්ම සංකල්ප රූප ද ඇතුළත් විය.[6]

මුල්කාලීන රාජවංශික සමයේ වැදගත් ස්ථාන පෙන්වන ඊජිප්තුවේ සිතියමක් (එබිය හැකි සිතියම)

පළමු පාරාවෝ[සංස්කරණය]

මැනතෝ අනුව ඉහළ සහ පහළ ඊජිප්තකුව එක්සත් කළ පළමු රජු වූ මෙනස් යනු නාමර්ම බව වර්තමාන පිළිගැනීමයි. සැබැවින්ම, පළමු රාජවංශයේ වාර්තාගත පැරණිතම රජු ද නාමර් වේ. ඔහු ප්‍රථමයෙන් ඩෙන් සහ කා'ආගේ රාජාවලියෙහි දක්නට ලැබේ.[8] මෙමගින් පෙනෙන්නේ පළමු රාජවංශයේ රජුන් අතර නාමර් වැදගත් මූලාරම්භක රජකු බවයි. භූමි ද්විත්වයෙහි සංකේත සමග නිරූපණය කොට ඇති පැරණිතම රජු ද නාමර් ය. (බලන්න නාමර් ඵලකය; මෙය බාර ඔප්පු කරන ලද විශ්වීය ඵලකයකි. මෙහි නාමර් ඉහළ සහ පහළ ඊජිප්තුවේ කිරුළ පැළඳ සිටිනු නිරූපිත ය.) එසේම ඇතැම්විට ඒකාබද්ධභාවය අත් කරගත් පළමු රජු ද ඔහු විය හැක. මේ නිසා වර්තමාන පිළිගැනීම වනුයේ "මෙනස්" සහ "නාමර්" යනු එකම අයකු බවයි.[3] විකල්ප මතයන් අනුව යෝජනා වී ඇත්තේ නාමර් යනු නැකාඩා III යුගයේ අවසන් රජු බවත්,[5] සහ හොර්-අහා යනු "මෙනස්" විය හැකි බවත් ය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ෂෝව්, ඉයන්, ed (2000). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 479. ISBN 0-19-815034-2. 
  2. කාල් රෝබක්, The World of Ancient Times (චාල්ස් ස්ක්‍රිබ්නර්'ස් සන්ස් ප්‍රකාශන: නිව් යෝක්, 1966) පි. 51.
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 කාල් රෝබක්, The World of Ancient Times (චාල්ස් ස්ක්‍රිබ්නර්'ස් සන්ස්: නිව් යෝක්, 1966) පි. 52-53.
  4. කාල් රෝබක්, The World of Ancient Times (චාල්ස් ස්ක්‍රිබ්නර්'ස් සන්ස් ප්‍රකාශකයෝ: නිව් යෝක්, 1966), පි. 53.
  5. 5.0 5.1 කාල් රෝබක්, The World of Ancient Times, පි. 53.
  6. 6.0 6.1 කිනෙයාර්, ජැක්විස්. "Early Dynastic Period" (PDF). The Ancient Egypt Site. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2012. 
  7. The Penguin Historical Atlas of Ancient Egypt; පිටු. 22-23 (1997) බිල් මැන්ලී විසිනි.
  8. කා'ආ සහ මර්නෙයිත් ලැයිස්තු http://xoomer.virgilio.it/francescoraf/hesyra/Egyptgallery03.html

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • ෂෝව්, ඉයන් (2003). The Oxford History of Ancient Egypt. එ.රා.: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 978-0-19-280458-7. 
  • විල්කින්සන්, ටෝබි (2001). Early Dynastic Egypt: Strategies, Society and Security. නිව් යෝක්: රූට්ලෙජ්. ISBN 0-415-26011-6. 
  • වෙන්ග්‍රෝ, ඩේවිඩ් (2006). The Archaeology of Early Egypt: Social Transformations in North-East Africa, c. 10,000 to 2,650 BC. නිව් යෝක්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-521-83586-0. 

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Ancient Near East