Jump to content

කොරියානු අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්
කොරියානු අධිරාජ්‍යය
මහා කොරියානු අධිරාජ්‍යය

대한제국(大韓帝國)
දේහන් ජේගුක්
1897–1910
කොරියානු අධිරාජ්‍යය හී කොඩිය
ධජය (1899–1910)
{{{coat_alt}}}
රාජකීය මුද්‍රාව
උද්යෝග පාඨය: 광명천지
(හන්ජා: 光明天地)
(සිංහල: භූමිය ආලෝකවත් කරන්නට ඉඩ දෙන්න)
කොරියානු අර්ධද්වීපයේ භූමිය
කොරියානු අර්ධද්වීපයේ භූමිය
අගනුවරහන්සොං (සෝල්)
පොදු භාෂාවන්කොරියානු
ආගම
නව-කොන්ෆියුසියානුවාදය
කොරියානු බුදු දහම
ක්‍රිස්තියානි ආගම
රජයපරම රාජාණ්ඩුව
අධිරාජයා 
• 1897–1907
ගෝජොං (පළමු)
• 1907–1910
සුන්ජොං (අවසන්)
අග්‍රාමාත්‍යa 
• 1894–1896
කිම් හොං ජිප්
• 1897–1898
යුන් යොං සුන්
• 1905
හන් ක්‍යු සුලු
• 1905–1907
පාක් චේ සූන්
• 1907–1910
යේ වන්යොං
ව්‍යවස්ථාදායකයජුංචුවොන් (중추원,中樞院)
ඓතිහාසික යුගයනව අධිරාජ්‍යවාදය
• අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම
13 ඔක්තෝබර් 1897
17 අගෝස්තු 1899
17 නොවැම්බර් 1905
1907
29 අගෝස්තු 1910
ජනගහණය
• 1900[1]
17,082,000
ව්‍යවහාර මුදලයැං (1897–1902)
වොන් (1902–10)
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
‍ජොසොන්
ජපන් පාලනය යටතේ කොරියාව
කොරියානු ජනරජයේ තාවකාලික රජය
වර්තමානයේ මෙය අයත් වන්නේ උතුරු කොරියාව
 දකුණු කොරියාව
 චීනය (1909ට පෙර)
a 총리대신 (總理大臣) පසුව නාමය 1905දී 의정대신 (議政大臣) ලෙස වෙනස් කෙරුණු අතර, 1907දී 총리대신 ලෙස යළි නෙම්කෙරිණි.

කොරියානු අධිරාජ්‍යය (කොරියානු: 대한제국; හන්ජා: 大韓帝國; දේහන් ජේගුක්; කොරියානු උච්චාරණය: [tɛ.ɦan.dʑe.ɡuk̚]; සාහිත්‍යමය "මහා කොරියානු අධිරාජ්‍යය") ප්‍රකාශයට පත්කරන ලද්දේ 1897 ඔක්තෝබර් මස, 1894 සිට 1895 තෙක් පැවති දොංහක් ගොවි විප්ලවය සහ රට ආගාධයකට ඇද දැමූ 1894-1896 කාලයේ පැවති ගැබෝ ප්‍රතිසංස්කරණ හේතුවෙනි. 1910 අගෝස්තු මස ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියානු අධිරාජ්‍යය පැවතිණි.

ගෝජොං අධිරාජයාගේ සමයේ යුධ, ආර්ථික, ඉඩම් ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය සහ නොයෙකුත් කර්මාන්ත අර්ධ වශයෙන් බටහිරකරණයට ලක් විය. ග්වංමු ප්‍රතිසංස්කරණ ඔස්සේ කොරියාවේ සිදුවූ බටහිරකරණය සහ කාර්මීකරණය පිළිබඳ ජපානය දැඩිව විමසිලිමත් විය. ජපානයේ නේවාසික-ජනරාල්වරයා වූ ඉටෝ හිරොබුමිගේ ඝාතනයෙන් පසු, කොරියානු අධිරාජ්‍යය ඈඳා ගැනීමට ජපානය තීරණය කළේ ය.

ඉතිහාසය

[සංස්කරණය]

පසුබිම

[සංස්කරණය]
සෝල්හි පැරණි රුසියානු තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක්; 1896දී ගෝජොං රජු සහ ඔහුගේ කිරුළහිමි කුමරු ග්යොංබොක් මාලිගයේ සිට සෝල්හි රුසියානු තානාපති කාර්යාලය වෙත රැකවරණය පතා පැමිණියහ.

ජොසොන් රාජවංශ‍ කොරියාව නාමිකව චීන ක්විං රාජවංශයේ ගැති රාජ්‍යයක් විය. 19වන සියවසේ අවසානය දක්වා, කොරියාව වෙත සිය අණසක පැතිරවීම සඳහා ක්විං සහ ජපානය අතර අරගලයක් පැවතිණි. පළමු චීන-ජපන් යුද්ධය ඇතිවූයේ කොරියානු භූමියේ සහ අවට මුහුදුවල බැවින් විදේශ බලපෑම්වලට එරෙහිව නැගී සිටීමට ජොසොන් සතුව පැවති බලය ක්‍රමයෙන් හීන වී යන්නට විය. මේ වනවිට නව බලවතකුව සිටි ජපානය, පරිහානියට පත්වෙමින් පැවති දුර්වල ක්විං රාජවංශයට ෂිමොනොසෙකි ගිවිසුම අත්සන් කිරීමට බලකළේ ය. මෙම ගිවිසුම අත්සන් කිරීම නිසා දකුණුදිගින් රුසියානු අධිරාජ්‍යය ව්‍යාප්ත වීම වැළකුණු අතර, ක්විං සතුව පැවති ලියාඕදොං අර්ධද්වීපය සිය අණසකට නතු කරගන්නට ජපානයට හැකි විය. මෙය කොරියාවට වැදගත් ප්‍රදේශයක්ව පැවතිණි. කෙසේනමුත්, මෙම ගිවිසුම ඊසානදිග චීනය කෙරෙහි තමන් දැක්වූ ලැදියාවට එරෙහිවීමක් ලෙස සැලකූ රුසියාව, ක්‍රමයෙන් ප්‍රංශය සහ ජර්මනිය සිය පාර්ශ්වයට හරවා ගත්තේ ය. ඔවුහු ලියාඕදොං අර්ධද්වීපය යළි ක්විං චීනය වෙත භාරදිය යුතු බවට ප්‍රකාශ කරන්නට වූහ.

මේ කාලයේ, විදේශ බලවේගවලට විරෝධය පෑම‍ට තරම් ජපානය බලවත් නොවූ හෙයින්, ලියාඕදොං අර්ධද්වීපය වෙත අයිතිවාසිකම් පෑම අත්හැර දැමීමට එයට සිදු විය. රටවල් තුනක (රුසියාව, ප්‍රංශය, ජර්මනිය) මැදිහත්වීම හේතුවෙන් රුසියාව නැගෙනහිර ආසියාවේ තවත් බලවතකු ලෙස නැගී සිටින්නට වූයේ ක්විං චීනය විස්ථාපනය කරමිනි. කොරියානු දේශපාලනය කෙරෙහි ජපන් මැදිහත් වීම් වළක්වනු වස් ජොසොන් රාජ මාලිගයේ බොහෝ නිලධාරීන් ද රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කරගෙන තිබේ. ගෝජොං රජුගේ භාර්යාව වූ මින් අගබිසව (මරණාපරව මියොංසොං අධිරාජිනිය යන පදවි නාමය පිරිනමන ලදී) ද මෙම වෙනස වටහාගත් අතර, ඇය ජපන් බලපෑම් මර්දනය කිරීමට රුසියාව සමග සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත්තා ය.

ජපන් බලපෑමට එරෙහිව නැගී සිටි ප්‍රබල චරිතයක ලෙස මින් අගබිසව සැලකේ. අගබිසවගේ කටයුතු තමන් හට තර්ජනයක් බව වටහාගත් ජපානය, සිය කොරියාවේ තානාපතිවරයා වන සිටුවර ඉනෝඕ ඉවත් කොට එම ධුරයට, ලුතිනන් ජනරාල් මියුරා පත්කළේ ය. මියුරා ජපන් රාජකීය හමුදා පසුබිම්ක ඇත්තෙකි. 1895 ඔක්තෝබර් 8 දින, මින් අගබිසවගේ ඝාතනය මෙහෙයවූයේ මියුරා විසින් බව පොදුවේ පිළිගැනේ. ඇයව මරාදැමුණේ ග්යොංබොක් මාලිගයේ රජුගේ නිල සයනාගාර‍ය වූ ගොන්චොං මාලිගය තුළදී ය.

අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම

[සංස්කරණය]
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

සිය භාර්යාව වූ මින් අගබිසවගේ ඝාතනයෙන් පසුව, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව සුන්ජොං අධිරාජයා බවට පත්) 1896දී රුසියානු තානාපති කාර්යාලය වෙත පලාගියේ ය. මින් අගබිසවගේ ඝාතනය සිදුවූ සමයේ සිට රුසියානු ආරක්ෂාවේ සිට රජු යළි පැමිණීම තෙක් කාලසීමාව තුළ කොරියාව තුළ අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද වෙනස් වීම් රැසක්ම සිදු විය. 1894 වන විට, රාජකීය අමාත්‍ය මණ්ඩලයේ වූ ප්‍රගතිශීලීන් සහ ප්‍රතිසංස්කරණවාදීන් විසින් නව නීති සම්පාදනය කළ අතර, කොරියාවේ යල් පැනගිය සමාජය අලුත්වැඩියා කිරීම එමගින් අරමුණු කෙරිණි. මෙම නීති ගැබෝ ප්‍රතිසංස්කරණය යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා ආරම්භ වූ වර්ෂය (1894) පාදක කරගනිමිනි.[2]

මේ අතර, නූතනකරණය වන කොරියානු සමාජයක් බිහි කිරීම අරමුණු කරගත් නව ප්‍රතිසංස්කරණ අභ්‍යන්තරව නොයෙකුත් මතභේදයන්ට ලක් විය. ජපානයේ කොරියා ආක්‍රමණ (1592–98) සමයේ සිට සාමාන්‍ය ජනයාගේ සහ වංශවතුන්ගේ මනස තුළ මුල්බැස තිබූ ජපන්-විරෝධී ආකල්පය 1876 ගංග්හ්වා ගිවිසුමත් සමග රාජසභාවේ සහ සමාජයේ ඉහළ පෙළේ යුධ නිලධාරීන්ගේ ද සිත් තුළ ව්‍යාප්ත විය. කොරියානු රාජමාලිග දේශපාලනය කෙරෙහි මැදිහත් වීම් සහ මින් අගබිසව ඝාතනයට ජපානය සිදුකළ දායකත්වය හේතුවෙන් මෙම හැඟීම බහුතරයක් ජනයා අතර ව්‍යාප්ත විය. කෙසේනමුත්, නව සහ නූතන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ජපන්-හිතවාදී ප්‍රගතිශීලී දේශපාලනඥයින් දායක වූ අතර, මෙහි දී වඩාත්ම මතභේදයට හේතු වුයේ පුරුෂ කෙස්වැටි (කොරියාවේ සම්ප්‍රදායයක්ව පැවති) කපා දැමීමට බල කිරීමයි. මෙය ඉමහත් විරෝධයකට සහ අසහනයකට හේතු විය. මෙය මින් අගබිසවගේ ඝාතනයේ වරදකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින් පසු වූ ඉයුල්මි තාවකාලික හමුදාවේ පිබිදීමට පසුබිම් විය.

1897දී, විදේශයන්ගේ බලපෑම මෙන්ම නිදහස් සංවිධාන විසින් ගොඩනැගූ මහජන මතය හේතුවෙන් ගෝජොං රජු ග්යොංගංගුං (වර්තමාන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු "මහා කොරියානු අධිරාජ්‍යය" (හංගුල්: 대한제국) ප්‍රකාශයට පත්කිරීම නිවේදනය කළ අතර, ජාතික නාමය නිල වශයෙන් ඉහත පරිදි වෙනස් කළේ ය. එසේම, ග්වංමු (හංගුල්: 광무, හන්ජා: 光武) (අරුත ආලෝකයේ යුධභටයා) නැමැති නව යුග නාමයක් ද ප්‍රකාශයට පත්කළේ ය. මෙලෙසින් 1636 මැංචු ආක්‍රමණයට පෙර යුගයේ මෙන්, කොරියාව ක්විං චීනයේ ගැති රාජ්‍යයක් ලෙස පැවති ඓතිහාසික බැමි බිඳහෙළිණි. ග්වංමු අධිරාජයා බවට පත් ගෝජොං කොරියාවේ පළමු අධිරාජකීය රාජ්‍ය නායකයා සහ පාරම්පරික රාජ්‍යෙශයා වේ. මෙලෙසින් පැරණි ලෝකයේ අවසානය සනිටුහන් කළ අතර, ඈත පෙරදිග සම්ප්‍රදායික සුහද පරායත්ත ක්‍රමය අහෝසි විය. අධිරාජ්‍යයක් ලෙස කොරියාවේ නව තත්ත්වය මගින් අර්ථ ගැන්වුණේ "ක්විංහි සියලු බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම ස්වාධීන" බවයි. එනම් කොරියාව 1895 ෂිමොනොසෙකි ගිවිසුම අනුව කොරියාවට බාහිරව ක්විං බලපෑම් එල්ල නොවිය යුතු අතර, ගිවිසුම අනුව "පූර්ණ සහ පරම" නිදහස හිමි විය.

"මහා හන් අධිරාජ්‍යය" යන සාහිත්‍යමය අරුතැති මෙහි නාමය තෝරාගැනුණේ කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි යුගයේ සම්හන් රාජ්‍ය සන්ධානය යළි පුනර්ජීවය ලද බව සංකේතවත් කිරීමටයි. මෙය ඓතිහාසික රාජ්‍යවල නම් ඇසුරෙන් නව රාජ්‍ය නම් කිරීමේ සම්ප්‍රදාය (ගුබොන් සින්චම්, හන්ජා: 舊本新參, හංගුල්: 구본신참) අනුව යෙදූවකි. අධිරාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමේ වැදගත්කම නම්, සෙස්සන්ගෙන් කොරියාවේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය කිරීමටයි. ඓතිහාසිකව අධිරාජයා යන පදවි නාමය භාවිතයට ගැනීමට අවසර තිබුණේ දෙව්ලොව පුත්‍රයා ලෙස සැලකුණු චීන අධිරාජයාටයි. කොරියානු රාජවංශ විසින් තමන් චීනයේ යටත් රාජ්‍ය ලෙස හඳුන්වාගෙන තිබූ අතර, තමන් හා චීනය සම තත්ත්වයේ පවතින බව ප්‍රකාශ කිරීමට එඩිතර වී නැත. ජපානය විසින් මෙයිජි ප්‍රතිෂ්ඨාපනය ප්‍රකාශයට පත් කිරීමත් සමග ජපානයේ අධිරාජයා ජපන් රජයේ රාජ්‍යෙශයා ලෙස සැලකිණි. එකල ජපානයේ මෙයිජි ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ පුවත ඇසූ කොරියානු රජය එම වෙනස පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් කොරියාවේ අධීශ්වරයා ලෙස චීන අධිරාජයාගේ අධිකාරීත්වය අභියෝගයට ලක් කිරීමට උත්සාහ දරා නොතිබිණි. නමුත් ජපානයේ ක්‍රමවේදය අනුව කොරියාව ද චීනයේ යටත් රාජ්‍යයකට වඩා සමානයකු ලෙස සැලකිණි. මේ හේතුවෙන් කොරියාවේ තත්ත්වය අධිරාජ්‍යයක් ලෙස උසස් කිරීමට හැකියාව හිමිවූයේ චීන-ජපන් යුද්ධයෙන් පසුවයි.[3]

කොරියානු අධිරාජ්‍ය සමයේ බටහිරකරණ ප්‍රතිපත්තිය

[සංස්කරණය]

පසුබිම

[සංස්කරණය]
1900දී, බටහිර ඇඳුම් කොරියානු සිවිල් නිලධාරීන්ගේ නිල ඇඳුම බවට පත් විය. ඉන් වසර කිහිපයකට පසුව, සියලු කොරියානු පොලිස් නිලධාරීන්ට ද නූතන නිල ඇඳුම් පැළඳීමට නියම විය.
කොරියානු අධිරාජ්‍යය සමයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානියා වූ යි යොං-ඉක්
1903දී සෝල්හි වීදිකාරයක්

සෙසු බටහිරකරණය වූ රාජ්‍ය වෙත සංචාරය කිරීමෙන් පසුව, සිය දේශය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කිරී‍මේ අවශ්‍යතාව කොරියානු නිලධාරීහු සහ රාජ්‍යතාන්ත්‍රිකයන් කණඩායමක් අවබෝධ කරගන්නට වූහ. බොහෝ විද්වතුන් බටහිර ශිෂ්ටාචාරය පිළිබඳ දැනුවත් වූ අතර, යුරෝපයේ සහ ඇමරිකාවේ නූතනකරණය වූ බලවත් ජාතීන් පිළිබඳ දැනුවත් කෙරිණි. පසුව, මෙම කණ්ඩායම තුළ වූ ප්‍රගතිශීලීන් විසින් 1894දී ගැබෝ ප්‍රතිසංස්කරණය ආරම්භ කළ අතර, මහා‍ කොරියානු අධිරාජ්‍යය සමයේ මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදීන් විසින් ග්වංමු ප්‍රතිසංස්කරණය ක්‍රියාවට නංවන ලදී.

කොරියානු රාජ මාලිගය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ඇමරිකානු මිෂානරිවරුන් ද බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට උපකාරී විය. රාජකීය මූල්‍ය අනුග්‍රහය සහ ආධාර යටතේ ඇමරිකානු මිෂනාරි වෛද්‍යවරයකු වූ හොරේස් එන්. ඇලන් විසින් ග්වංහ්යේවොන් ස්ථාපනය කරමින් බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වා දෙන ලදී. මෙය පසුව සෙවරන්ස් රෝහල බවට පත්වූ අතර, එය කොරියාවේ පැරණිතම බටහිර-ආරේ රෝහල වේ. මීට අමතරව, මිෂනාරිවරුන් විසින් කොරියානු දැරියන්හට බටහිර අධ්‍යාපනය ලබාදෙන ලදී. මීට‍ පෙර කාන්තාවනට අධ්‍යාපන ක්‍රමය තුළ අධයාපනය අවසර ලබා දී නොතිබිණි.

ග්වංමු ප්‍රතිසංස්කරණය

[සංස්කරණය]

කර්මාන්ත විප්ලවයේ පසුකාලීන ආරම්භකයකු ලෙස කොරියාව නූතනකරණය සහ බටහිරකරණය කිරීමේ අරමුණින් ග්වංමු ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක විය. ග්වංමු යුගයේ දී, බටහිර ආරේ නිල ඇඳුම් කොරියාව වෙත හඳුන්වා දෙන ලදී. ආරම්භයේ දී, කොරියානුවන් බටහිර වස්ත්‍රවලට විරෝධය පාන්නට වූ අතර, මෙයිජි ප්‍රතිෂ්ඨාපනයෙන් පසුව බටහිර වස්ත්‍ර අනුගමනය කළ ජපානය ඔවුන්ගේ සමච්චලයට ලක් විය. මුලින්ම, කොරියානු අධිරාජයා විසින් ප්‍රෂියානු-ආරේ රාජකීය වස්ත්‍ර භාවිතා රකන ලද අතර, රාජ්‍ය තාන්ත්‍රිකයන් ද බටහිර වස්ත්‍ර පළඳින ලදී. 1900දී, බටහිර ඇඳුම් කොරියානු සිවිල් නිලධාරීන්ගේ ද නිල ඇඳුම බවට පත් විය. වසර කිහිපයකට පසුව, සියලුම කොරියානු සෙබලුන් සහ පොලිස් නිලධාරීන්ට ද බටහිර නිල ඇඳුම් ඇඳීමට නිර්දේශ කෙරිණි.

යුධ විෂයය සැලකූ විට, 1890 දශකයේ මුල් භාගයේ කොරියානු හමුදාවට සෙබලුන් 5,000ක් වැනි සුළු පිරිසක් ඇතුළත් විය. රුසියානු-ජපන් යුද්ධයට මඳ කාලයකට පෙර එය 28,000 තෙක් වැඩි විය. 1896 සිට රුසියානු නිලධාරීන්ගේ පුහුණුව ලත් බර්ඩන් රයිෆල්ධාරී ශක්තිමත් රාජකීය ආරක්ෂකයන් 1,000කින් සම්නවිත හමුදාවක් වැඩිදියුණු කළ හමුදාවේ හරය ලෙස ක්‍රියා කළේ ය. මෙම හර ඒකකයේ සිට සෙබලුන් ඇතැම් අවස්ථාවල වෙනත් ඒකක වෙත මාරුකොට යැවිණි. එම ඒකක සෑම එකක්ම මිනිසුන් 900 බැගින් සමන්විත වූ , රෙජිමේන්තු පහකින් යුක්ත විය.[4]

1897දී, ඉඩම් හිමිකාරීත්වය නූතනකරණය කිරීමේ අරමුණින් ග්වංමු රජය විසින් මහාමාන සමීක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. බටහිර සමීක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට අමතරව, ඇමරිකානු සමීක්ෂකයින් කුලියට ගන්නා ලදී. සමීක්ෂණයෙන් පසුව, භූමියේ නිශ්චිත මිනුම පෙන්වන "ජිග්යේ" නැමැති දේපළ නාමයක් අධිකාරීන් විසින් නිකුත් කළ යුතු බවට යෝජනා විය. මෙම ප්‍රතිසංස්කරණය ඉඩම් බදු ක්‍රමය ප්‍රතිසංස්කරණයට ද සමීපව දායක විය. මෙය මෙහෙයවන ලද්දේ කොරියාවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළ යි යොං-ඉක්ගේ නායකත්වය යටතේ ය. 1904–1905 රුසියානු-ජපන් යුද්ධය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇනහිටිණි. නමුත් ඒ වනවිට සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක සමීක්ෂණ කටයුතු අවස්නව පැවතිණි.

හන්සොං විදුලිබල සමාගමේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල.

මෙකල ග්වංමු රජය විසින් නූතන නාගරික යටිතල ව්‍යූහ ද ඉදිකරන ලදී. 1898දී, අධිරාජයා විසින් ඇමරිකානු ව්‍යාපාරිකයන් සමග හවුල් ව්‍යාපාර සිදු කිරීමට අනුමැතිය ලබාදෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහජන විදුලිබල ආලෝකකරණ ජාල ක්‍රියාත්මක කළ හන්සොං විදුලිබල සමාගම සහ විදුලි වීදිකාර් ක්‍රමය බිහි විය. සෝල් නැවුම් උල්පත් ජල සමාගමට ද ඇමරිකානු සම්බන්ධතා පැවතිණි. 1902දී, එනම් කොරියාවට දුරකථනය හඳුන්වා දී වසර දෙකකට පසු පළමු දිගු-දුර පොදු දුරකථනය ස්ථාපනය කෙරිණි.

ග්වංමු යුගයේ දී, කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තිය ද කොරියානු රජය විසින් මෙහෙයවන ලදී. එහි දී තාක්ෂණ සහ කර්මාන්ත පාඨශාලා ආරම්භ කිරීමට සහාය ලබාදෙන ලදී. මේ කාලයේම, දේශීය වෙළඳපොල විලාසිතා ඉල්ලුම සපිරීමට බිහිවූ නූතනකරණය වූ රෙදි විවීමේ කර්මාන්තශාලා සමග කොරියාව තුළ රෙදි විවීමේ ක්ෂේත්‍රයේ ප්‍රගමනයන් රැසක් සිදු විය. උදාහරණයක් වශයෙන් සේද නිර්මාණය කිරීම සඳහා නූල් කැටීමේ සහ රෙදි විවීමේ යන්ත්‍ර නිර්මාණය විය. මෙය විදේශයෙන් ගෙන්වූ මිලාධික යන්ත්‍ර සඳහා ආදේශකයක් ලෙස භාවිතා විය.[5]

කෙසේනමුත්, විදේශයන් මත රඳාපැවැත්ම, ප්‍රජාතන්ත්‍රවාදය මැඬලීම සහ මන්දගාමීභාවය හේතුවෙන් ග්වංමු ප්‍රතිසංස්කරණය විප්ලවවාදී එකක් ලෙස නොසැලකේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ජපානය සහ රුසියාව අතර අරගලයට කොරියාව මැදි විය.

පසුකාලීන ප්‍රගමනයන්

[සංස්කරණය]
1904 රුසියානු-ජපන් යුධ සමයේ සෝල්හි වීදියක ප්‍රයාණයෙහි නියැළෙන ජපන් පාබල හමුදා.

1904 අගෝස්තු 22 ජපානය සහ කොරියාව අතර පළමු ගිවිසුම වූ පළමු ජපන්–කොරියා සම්මුතිය අත්සන් තැබිණි. 1905 ජූලි 17 දින, ‍ටැෆ්ට්-කට්සුරා සම්මුතිය (ටැෆ්ට්–කට්සුරා සිහිපන ලෙස ද හඳුන්වයි) අත්සන් තැබිණි. මෙය සැබැවින්ම එක්සත් ජනපදය සහ ජපානය අතර රහස් එකඟතාවක් නොව, එක්සත් ජනපද සහ ජපන් රජයේ සාමාජිකයන් අතර එ.ජ.-ජපන් සබඳතා පිළිබඳ පැවැත්වුණු සාකච්ඡා විස්තර කෙරෙන සටහන් මාලාවකි.[6] ජපන් අග්‍රාමාත්‍යවරයා වූ ටරෝ කට්සුරා විසින් යුධ ලේකම් විලියම් හොවාර්ඩ් ‍ටැෆ්ට් ටෝකියෝවේ නතර වී සිටි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොරියා ප්‍රශ්නය පිළිබඳ ටැෆ්ට්ගේ අදහස් ප්‍රකාශයක් (රූස්ට්වෙල්ට් පරිපාලනයේ නියෝජිතයකු ලෙස) ලබා ගත්තේ ය.[7] ටැෆ්ට් සිය සිහිපතෙහි විස්තර කළේ ජපානය සමග අධීශ්වර සම්බන්ධයක් ඔස්සේ කොරියාව "ඈත පෙරදිග ස්ථිර සාමයක්" කරා පියනැගිය යුතු ආකාරයයි.[7]

1905 සැප්තැම්බර් මස, රුසියානු-ජපන් යුද්ධය නිමාවට ප්ත කරමින් රුසියාව සහ ජපානය විසින් පෝට්ස්මවුත් ගිවිසුම අත්සන් කරන ලදී. මෙලෙසින් ස්ථිරව කොරියාව වෙත වූ ජපන් බලපෑම ශක්තිමත් කෙරිණි. 1905 ශීත ඍතුවේ දී ග්වංමු අධිරාජයා විසින් කොරියාවෙන් පිටත රාජ්‍ය වෙත රහස් රාජ්‍ය තාන්ත්‍රික දූත ගමන් පිටත් කරන ලද්දේ සිය ස්වාධිපත්‍යය රැක ගැනීමට ජපන් විමර්ශනය යටතේ සාමාන්‍ය දූත මෙහෙයුම් සිදුකළ නොහැකි හෙයිනි.[8]

අධිරාජකීය නිලධාරියකු සහ පසුව ජපනුන්ට එරෙහි නිදහස් සටන්කරුවකු වූ යි බොම්-ජින්; 1907දී ගෝජොං විසින් හේග් වෙත පිටත් කරන ලද රහස් දූත මෙහෙයුම්වලට ඔහු උපකාර විය.

1905 නොවැම්බර් 17 දින, කොරියාවේ දී යුල්සා ගිවිසුම ("1905 එකඟතාව", "පංච පනත් ගිවිසුම" හෝ "දෙවන ජපන්-කොරියා සම්මුතිය" යන නම්වලින් ද හඳුන්වයි) අත්සන් කෙරුණේ ආචාර්ය හෝමර් හල්බර්ට් ඉදිරියේ ය. වාර්තා අනුව, කොරියානු විදේශ අමාත්‍යාංශයේ මුද්‍රාව බලෙන් පැහැර ගෙන ජපනුන් විසින් සම්පාදිත ලේඛනයට එහි මුද්‍රාව තැබූ බව පැවසේ.මෙම බලකළ "ගිවිසුමෙන්" සතියකට පසු, රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එහි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉවත් කරග්නනා ලද්දේ, කොරියාව සිය නව "රැකවරණ රාජ්‍ය" තත්ත්වය එක්ස්ත ජනපදයට දැනුම්දීමටත් පෙරයි.[9]

1907දී නෙදර්ලන්තයේ හේග් වෙත ග්වංමු අධිරාජයා විසින් පිටත් කරන ලද රහස් දූතයින් තිදෙනා වන යි ජුන්, යි සං-සොල් සහ යි වි-‍ජොං.

අන්තර්ජාතික අවබෝධය සහ නීතිය අනුව ආරම්භ වූ අධිරාජ්‍යය අවසානයේ, යුධමය අතින් දුර්වල රාජ්‍යයක් බවට පත්විය. ක්‍රමයෙන් ග්වංමු අධිරාජයා හට සිහසුන අත්හැරීමට බලකෙරුණු අතර, 1907දී ඔහු සිය පුත්‍රයා වූ සුන්ජොං අධිරාජයාහට සිහසුන පැවරූයේ සුන්ජොං කොරියානු අධිරාජ්‍යයේ දෙවන සහ අවසන් අධිරාජයා බවට පත් කරමිනි. මෙලෙසින් ගෝජොංහට සිහසුන අත්හැරීමට සිදුවූයේ යුල්සා ගිවිසුමේ කොන්දේසි කඩකරමින් හේග් සාම සමුළුව ([‍[1907 හේග් සම්මුතිය]]) වෙත නියෝජිතයන් පිටත් කර හැරීම හේතුවෙනි. හේග් දූත මෙහෙයුම සඳහා මූලිකත්වය ගත් යි සං-සොල් සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරීන් වූ යි ජුන්, යි වි-ජොං යන අය කොරියාවේ ස්වාධිපත්‍යය යළි ප්‍රකාශ කිරීමට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න දැරූහ. හේග් නුවර දී කොරියාව විසින් යටත්විජිත බලවත් රාජ්‍යවලින් ආයාචනා කළ ද, කොරියාව වෙත වර්ධනය වෙමින් පැවති ජපන් බලපෑම යටතේ කොරියාව ලද රැකවරණ රාජ්‍ය තත්ත්වය ස්වභාවික සහ වාසිදායක බව අධිරාජ්‍යවාදී යුගයේ බටහිර ජාතීන්ට පෙනීගියේ ය.

1910 අගෝස්තු 22 දින, ජපන්–කොරියා ඈඳාගැනීමේ ගිවිසුම ඔස්සේ කොරියානු අධිරාජ්‍යය ජපානය වෙත ඈඳාගැනිණි. මෙලෙසින් කොරියාවේ ස්වාධිපත්‍යය පැහැරගැනුණු 35 වසරක ජපන් යටත්විජිත පාලන සමය ඇරඹිණි.

කොරියානු අධිරාජ්‍යයට ප්‍රථම ගෝජොසොන්, බුයෝ, ගොගුර්යෝ, සිල්ලා, බෙක්ජේ, බල්හේ සහ ගොර්යෝ යන රාජවංශවල ඇතැම් පාලකයින් විසින් අධිරාජ තත්ත්වය තමන්ට හිමි බව ප්‍රකාශ කරමින් එක්තරා කාලසීමාවන් තුළ අධිරාජකීය පදවි නාම භාවිතා කොට ඇත.

කොරියානු අධිරාජ්‍ය‍යේ පදවි සහ ආමන්ත්‍රණ ශෛලීන්

[සංස්කරණය]
  • හ්වංජේ (皇帝 황제), අධිරාජයා, ඇමතුම් විලාසය ලෙස අධිරාජකීය රාජෝත්තමයාණන් (陛下 폐하 ප්යේහා) යන්න යෙදේ.
  • හ්වංහු (皇后 황후), අධිරාජිනිය (වල්ලභ), අධිරාජකීය රාජෝත්තමාවිය යන විලාසය සමගින් යෙදේ.
  • හ්වංතේහු (皇太后 황태후), වැන්දඹු අධිරාජිනිය, අධිරාජකීය රාජෝත්තමාවිය යන විරුදය සමගින් යෙදේ.
  • තේහ්වංතේහු (太皇太后 태황태후), මහා වැන්දඹු අධිරාජිනිය, වත්මන් අධිරාජයාගේ ජීවත්වන මිත්තණියයි. මැයට ද අධිරාජකීය රාජෝත්තමාවිය යන ආමන්ත්‍රණ ශෛලිය යෙදේ.
  • හ්නංතේජා (皇太子 황태자), අධිරාජ්‍යයේ කිරුළහිමි කුමරු, අධිරාජයාගේ වැඩිමහල්ම පුත්‍රයායි. අධිරාජකීය ‍උතුමාණන් (殿下 전하 ජොන්හා) යන්න සමග යෙදේ.
  • හ්වංතේජා-බි (皇太子妃 황태자비), අධිරාජ්‍යයේ (වල්ලභ) කිරුළහිමි කුමරිය, අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
  • චින්වං (親王 친왕), (අධිරාජකීය) කුමරු, අධිරාජයාගේ පුත්‍රයායි. අධිරාජකීය උතුමාණන් යන්න සමග යෙදේ.
  • චින්වංබි (親王妃 친왕비), (අධිරාජකීය) (වල්ලභ) කුමරිය, අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
  • ගොංජු (公主 공주), අධිරාජ්‍යයේ කුමරිය, අධිරාජයාගේ සහ ඔහුගේ වල්ලභ අධිරැජිනිය‍ගේ දියණියයි. අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
  • ඔංජු (翁主 옹주), අධිරාජ්‍යයේ කුමරිය, අධිරාජයාට දාව ඔහුගේ උපබිසවකට උපන් දියණියන්ට මෙය භාවිතා වේ. මේ සමග අධිරාජකීය උත්තමාවිය යන ඇමතුම් විලාසය යෙදේ.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

උද්ධෘත

[සංස්කරණය]
  1. ^ 권태환 신용하 (1977). 조선왕조시대 인구추정에 관한 일시론.
  2. ^ Pratt, Keith (1999). Korea: A Historical and Cultural Dictionary. p. 194.
  3. ^ Seth, Michael J (2010). A History of Korea: From Antiquity to the Present. Rowman & Littlefield Publishers. p. 225. ISBN 978-0742567160.
  4. ^ Keltie 1900, පිටු අංකය: 791.
  5. ^ Jae-gon Cho. The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire. Seoul: Jimoondang Publishing Company (2006)
  6. ^ Nahm, Andrew. "The impact of the Taft-Katsura Memorandum on Korea: A reassessment," Korea Journal. October 1985, p. 9.
  7. ^ a b Nahm, p. 10.
  8. ^ Kim, Ki-Seok, "Emperor Gwangmu's Diplomatic Struggles to Protect His Sovereignty before and after 1905," Korea Journal, (Summer 2006). p. 239.
  9. ^ Kim, p. 245.

ප්‍රභව

[සංස්කරණය]
  • Dong-no Kim, John B. Duncan, Do-hyung Kim (2006), Reform and Modernity in the Taehan Empire (Yonsei Korean Studies Series No. 2), Seoul: Jimoondang Publishing Company
    • Jae-gon Cho, The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire.
  • Pratt, Keith L., Richard Rutt, and James Hoare. (1999). Korea: a historical and cultural dictionary, Richmond: Curzon Press. ISBN 9780700704637; ISBN 9780700704644; OCLC 245844259
  • The Special Committee for the Virtual Museum of Korean History (2009), Living in Joseon Part 3: The Virtual Museum of Korean History-11, Paju: Sakyejul Publishing Ltd.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොරියානු_අධිරාජ්‍යය&oldid=591818" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි