Jump to content

මියොංසොං අධිරාජිනිය

විකිපීඩියා වෙතින්
මියොංසොං අධිරාජිනිය
කොරියාවේ අධිරාජිනිය (මරණාපරව)
උපත1851 ඔක්තෝබර් 19
යෝජු, ග්යොංගි පළාත, ජොසොන්
මරණය1895 ඔක්තෝබර් 8 (43 වියැති)
ඔඛොරු මණ්ඩපය, ගොන්චොංගුං, ග්යොංබොක්ගුං, සෝල්, කොරියාව
භූමදානයහොංන්‍යොං
වල්ලභයාකොරියාවේ ගෝජොං
දරුවන්පුත්‍රයෙක්
දියණියක්
කොරියාවේ සුන්ජොං
පුත්‍රයෙක්
පුත්‍රයෙක්
මරණාපර නාමය
කෙටි: මියොංසොං අධිරාජිනිය
*명성황후
*明成皇后
*මියොංසොං හ්වංහු
සම්පූර්ණ: දාරක සහ දයාබර, ශුද්ධ සම්භවයැති, වෙනස්වීම්වලට ඔබිනා, දෙව්ලොව එක්සත් කරන්නිය, අතිශයින්ම යහපත්, සහ අවංක සදාචාරාත්මක මියොංසොං මහා බිසෝ අධිරාජිනිය
*효자원성정화합천홍공성덕명성태황후
*孝慈元聖正化合天洪功誠德明成太皇后
පියාමින් චි-රොක්
මවයි වංශයේ හන්චං ආර්යාව
කොරියානු නම
හංගුල්명성황후
හන්ජා明成皇后
ප්‍රතිශෝධිත රෝමානුකරණයMyeongseong Hwanghu
මැකූන්–‍රයිෂවර්Myŏngsŏng Hwanghu
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.

මියොංසොං අධිරාජිනිය (19 ඔක්තෝබර් 1851 – 8 ඔක්තෝබර් 1895) හෙවත් සරලව මින් අගබිසව වශයෙන් හඳුන්වන්නේ ජොසොන්හි විසි හයවන රජු සහ කොරියානු අධිරාජ්‍යයේ පළමු අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ පළමුවන නීත්‍යානුකූල බිරිඳයි.

මෙයිජි ජපන් රජය විසින් මින් අගබිසව සිය රාජ්‍යයේ ව්‍යාප්තියට තර්ජනයක් ලෙස සලකා ඇත.[1] ඇයව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ගෝජොං රජුගේ පියා වූ හ්‍යුංසොන් දේවොන්ගුන් (ජපනුන් සමග කටයුතු කළ බලවත් රාජ්‍යාධිකාරියෙකි) අසාර්ථක කැරැලි කිහිපයක්ම ඇතිකළේ ය. මේ හේතුවෙන් ඇය ජපන් බලපෑම් පිළිබඳ දැඩි විරෝධී ස්ථාවරයක පසුවූවා ය.[2]

පළමු චීන-ජපන් යුද්ධයේ දී ජපානය ජයගැනීමත් සමග, මින් අගබිසව කොරියාව සහ රුසියාව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීමට උත්සාහ ගත්තේ, දේවොන්ගුන් විසින් නියෝජනය කළ කොරියාවේ ජපන් බලපෑම අවහිර කිරීමටයි. මෙකල කොරියාව වෙනුවෙන් පත්කළ ජපන් අමාත්‍යවරයා වූ මියුරා ගොරෝ සහ විශ්‍රාමගත් ලුතිනන් ජනරාල්වරයකු විසින් ජපානය කෙරෙහි වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ දේවොන්ගුන්ගේ පක්ෂයට ආධාර ක‍ළහ.

1895 ඔක්තෝබර් 8 දින හිමිදිරියේ, දේවොන්ගුන්ට පක්ෂපාතී හුල්ල්‍යොන්දේ භට කණ්ඩායම රාජකීය ආරක්ෂකයන් මැඬ ග්යොංබොක්ගුං මාලිගයට පහරදුන්නේ ය. දේවොන්ගුන්ගේ ප්‍රබල ආධාරකරුවකු වූ වූ බොම්සොන් සෙන්පතියාගේ නායකත්වය යටතේ හුල්ල්‍යොන්දේ නිලධාරීන් පිරිස විසින් ජපන් සෙබලුන් කණ්ඩායමකට ඇතුළුවීමට අවසර ලබා දිණි. මෙම ජපන් සෙබලුන් මාලිගය තුළට පහරදීම සඳහා මියුරාගේ මෙහෙයවීම මත බඳවා ගැනුණු පිරිසකි. අගබිසවගේ මාලිගය (ඔඛොරු මණ්ඩපය) වෙත ඇතුළුවීමෙන් පසු මෙම ඝාතකයින් විසින් "අගබිසව විය හැකි යැයි සැකකෙරුණු මාලිග ස්ත්‍රීන් තිදෙනකු මරාදමන ලදී. ඉන් එක් අයකු මින් අගබිසව බව තහවුරු කරගත් පසු, ඔවුහු එම සිරුරු ඔඛොරු මණ්ඩපය ඉදිරිපස පයින් වනාන්තරයේ දී දවා, අළු විසුරුවා හැරියහ."[3] මියයන විට ඇගේ වයස අවුරුදු 43කි.[4]

මින් අගබිසවගේ ඝාතනයෙන් පසු, විදේශ බලවේගවලවලට සිය සිතැඟි අනුව කටයුතු කිරීමට මගපෑදිණි.[5] මේ පිළිබඳ එල්ල වූ අන්තර්ජාතික විවේචන සංසිඳුවීම පිණිස ජපන් රජය "මියුරාව නැවත කැඳවා, හිරෝෂිමා දිස්ත්‍රික් අධිකරණය යටතේ ඔහුට නඩුපවරන ලදී. එයට දායක වූ යුධ නිලධාරීන්ව යුධ අධිකරණයට යොමුකෙරිණි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔවුන් සියල්ල වරදකරුවන් නොවන බව ප්‍රකාශයට පත්කෙරිණි."[4]

කෙසේනමුත්, මෙම ඝාතනය "කෙටි හිසකෙස් පණත් නියෝගය" (단발령, 斷髮令) සමග ඇති වූ කොරියාවේ ජපන්-විරෝධී ආකල්පය පොළඹවාලී ය. ඇතැම් කොරියානුවන් විසින් ඉයුල්මි ධර්මිෂ්ට හමුදා නම් වූ හමුදා සංවිධානය කරමින් දීපව්‍යාප්තව විරෝධතා සංවිධානය කරන ලදී.[6] අගබිසවගේ ඝාතනයෙන් පසු, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව කොරියාවේ සුන්ජොං අධිරාජයා) 1896දී, රුසියානු තානාපති වෙත පලාගියහ. මෙය ජපන් පාලනය යටතේ සිදු වූ ගැබෝ ප්‍රතිසංස්කරණය අවලංගු කිරීමට හේතු විය.[6] 1897 ඔක්තෝබර් මස, ගෝජොං රජු ග්යොංගුංගුං (නූතන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය.[6]

දකුණු කොරියාව තුළ මියොංසොං අධිරාජිනියගේ ජීවිත කථාව අලලා නිර්මාණය වූ ජනප්‍රිය නවකථා, චිත්‍රපටය සහ රූපවාහිනී කතාමාලාව හේතුවෙන් ඇය පිළිබඳ ප්‍රබෝධයක් ඇති වී ඇත. මීට අමතරව ඇගේ දිවිය ආශ්‍රයෙන් නිමැවුණු මියැසියක් ද පැවැත්විණි.

පසුබිම

[සංස්කරණය]

යුගයක අවසානය

[සංස්කරණය]

1864දී ජොසොන්හි චොල්ජොං රජු මියයමින් සිටි අතර සිහසුනට පිරිමි උරුමකරුවකු ද නොවී ය. මෙය රාජකීය පවුලේ ප්‍රතිවාදීන් වූ අන්දොං කිම් වංශිකයන්ගේ උපක්‍රම නිසා සිදු වූවකි. රාජකීය යි නිවස සමග අන්තර්විවාහ සම්බන්ධතා පැවැත්වීම මගින් අන්දොං කිම් වංශය සිය බලය තර කොටගෙන තිබිණි. චොල්ජොංගේ බිසව වූ අන්දොං කිම් වංශික චොරින් අගබිසව ඊළඟ රජු තේරීමට තමන්ට අයිතියක් ඇති බව ප්‍රකාශ කළා ය. නමුත් සම්ප්‍රදායිකව නව රජ කෙනකු තේරීමට අයිතිය හිමි වූයේ වැඩිමහල්ම වැන්දඹු රජබිසවහටයි. මෙකල වැඩිමහල්ම වැන්දඹු බිසව වූයේ චෝල්ජොංගේ නෑණන්ඩිය වූ පුංග්යෑං ජෝ වංශයේ මහා රාජකීය සින්ජොං වැන්දඹු අගබිසවයි. ඇය ජොසොන්හි හොන්ජොං රජුගේ පියාගේ (මරණාපරව ඉක්ජොං නම් විය) වැන්දඹුව වූ අතර, යි පවුල සමග විවාහයෙන් ඇගේ වංශය ද මාලිගයේ බලයට පත්ව තිබිණි.

සින්ජොං අගබිසව මෙය තම පුංග්යෑං ජෝ වංශිකයන්ගේ වාසියට හරවා ගැනීමට සිතුවා ය. මෙකල කොරියානු දේශපාලනය තුළ අන්දොං කිම්වරුන්ගේ එකම සැබෑ සතුරා වූයේ පුංග්යෑං ජෝ වංශිකයන් ය. චොල්ජොංගේ රෝගී තත්ත්වය උත්සන්න වන විට, මහා රාජකීය වැන්දඹු බිසව කිරුළහිමි සදෝ කුමරුගේ පාර්ශ්වයෙන් ජොසොන්හි යොංජෝ රජුගේ අප්‍රකට ඥාතියකු වූ යි හා-ඉයුං වෙත සමීප වූවා ය.

යි හා-ඉයුංගේ පවුල් ශාඛාව, යි වංශයේ අප්‍රකට ශාඛාවකි. ඔවුන් ජොසොන් රාජසභාව පුරා පැතිරි නිරන්තර දේශපාලන අරගලවලින් සිය දිවි ආරක්ෂා කරගත්තේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග සම්බන්ධතා නොපැවැත්වීමෙනි. යි හා-ඉයුං සිහසුනට අයෝග්‍ය වූයේ එකල නීතියට අනුව සෑම අනුප්‍රාප්තිකයකුම පෙර සිටි රජුට පසු පරම්පරාවක අයකු විය බවට නීතියක් පැවතීම නිසායි. නමුත් ඔහුගේ දෙවන පුත් යි මියොංබොක් ඒ සඳහා සුදුස්සකු විය.

යි මියොංබොක් ඒ වන විටත් 12වන වියේ පසු වූ නිසා ඔහු වෙනුවෙන්, ඔහුගේ පියා වූ යි හා-ඉයුංව වැඩබලන රජ ලෙස පත්කොට ඔහුව පහසුවෙන් මෙහෙයවීමට පුංග්යැං ජෝ වංශය සිතී ය. චෝල්ජොංගේ මරණය පිළිබඳ පුවත මාලිගයේ සිටි තම ඔත්තුකරුවන්ගෙන් යි හා-ඉයුං දැනගත් පසු, ඔහු සහ පුංග්යැං ජෝ වංශිකයින් ක්ෂණිකව ප්‍රවේණික රාජකීය මුද්‍රාව (රාජ්‍යත්වය නීත්‍යානුකූල කිරීම සහ වංශවතුන්ගේ පිළිගැනීම ලබාගැනීමට අත්‍යාවශ්‍ය වූවකි) තමන් සතුකොට ගෙන සින්ජොං අගබිසවට සිහසුනට උරුමකරු තේරීමට පූර්ණ අයිතිය හිමිකර දුන්හ. චෝල්ජොං රජුගේ මරණය පිළිබඳ දැනගන්නා විට, අන්දොං කිම් වංශිකයන් බල රහිත වූයේ නීති ප්‍රකාරව මහා රාජකීය වැන්දඹු සින්ජොං අගබිසව විසින් රාජකීය මුද්‍රාව අත්පත් කොටගෙන සිටීම නිසායි.

1864 සරත් ඍතුවේ දී, යි මියොංබොක් කුමරු ‍ජොසොන්හි ගෝජොං රජු ලෙස කිරුළු පැළඳි අතර ඔහුගේ පියාට හ්‍යුංසොන් දේවොන්ගුන් (හන්ජා:大院君; හංගුල්:대원군; "මහා අභ්‍යන්තර කුමරු") යන පදවි නාමය හිමි විය.

දැඩි කොන්ෆියුසියානුවාදී හ්‍යුංසොන් දේවොන්ගුන් ගෝජොංගේ සමයේ මුල්කාලයේ දී තමන් දක්ෂ සහ සූක්ෂ්ම නායකයකු බව ඒත්තු ගැන් වී ය. ඔහු විවිධ වංශිකයන්ගේ පාලනය යටතේ දූෂිත තත්ත්වයට පත්ව තිබූ පැරණි රජයේ ආයතන අවලංගු කළේ ය. ඔහු නීති පද්ධතිය මෙන්ම, රාජමාලි‍ගයේ අභ්‍යන්තර නීති හා සම්ප්‍රදායයන් ද ප්‍රතිශෝධනය කළේ ය. එසේම රාජකීය හමුදාවන්හි යුධ තාක්ෂණික ක්‍රමවේද ද දැඩි ප්‍රතිසංස්කරණයකට ලක්කළේ ය. වසර කිහිපයකින්ම ඔහුට මාලිගයේ සම්පූර්ණ පාලනය සුරක්ෂිත කිරීමට හැකි විය. ක්‍රමයෙන් පුංග්යැං ජෝවරුන්ගේ පක්ෂපාතීත්වය දිනාගත් ඔහු, රාජ්‍යය දූෂිත කොට ආගාධයකට ඇද දැමූ අවසාන අන්දොං කිම්වරයා ද ධුරයෙන් පහකළේ ය.

නව අගබිසව

[සංස්කරණය]

අනාගත මින් අගබිසව උපත ලැබූයේ 1851 ඔක්තෝබර් 19දින යෝහ්‍යුං මින වංශික රදළ පවුලක ය.[7][8][9][10] මෙය ග්යොංගි පළාතේ යෝජු ප්‍රදේශයේ පිහිටා ඇත. යෝහ්‍යුං මින් වංශයේ සම්භවය සිදු වූයේ ද මෙහි දී ය.[11]

යෝහ්‍යුං මින්වරුන් ඔවුන්ගේ කීර්තිමත් ඉතිහාසය තුළ කලක් ඉහළ නිලතල හොබවා ඇති වංශවතුන් විය. ඔවුන්ගේ වංශයෙන් අගබිසෝවරුන් දෙදෙනකු දායාද කොට තිබිණි. ඔවුන් නම් ජොසොන්හි තේජොං රජුගේ අගබිසව වූ වොන්ග්යොං අගබිසව සහ සුක්ජොං රජුගේ අගබිසව වූ ඉන්හ්යොන් අගබිසවයි.[11]

ඇගේ විවාහයට පෙර , අධිරාජිනිය හැඳින්වූයේ මින් චිරොක් (හංගුල්: 민치록;හන්ජා: 閔致祿) යන නාමයෙනි. නමුත් ඇතැම් ප්‍රබන්ධ වාර්තාවල ඇයව මින් ජායොං ලෙස හඳුන්වා ඇතත්, එය ඓතිහාසිකව සනාථ නොවූවකි.[11] අටවන වියේ දී, ඇයට පියා අහිමි විය. අනතුරුව ඇගේ මව වූ යි වංශයේ හන්චං ආර්යාව (හංගුල්:한산이씨) ඇය සමග ගම්ගෝදං (감고당) නිවස වෙත පදිංචියට ගියා ය. මාලිගයට ඇතුළත් වී අගබිසව බවට පත්වන තෙක්ම ඇය ජීවත් වූයේ එහි ය.[11]

ගෝජොං 15වන වියට එළඹෙන විට, ඔහුගේ පියා ඔහුට විවාහයක් සිදු කරදීමට තීරණය කළේ ය. සිය අරමුණු අනුව කටයුතු කළ හැකි අගබිසවක සෙවීමට දේවොන්ගුන් උත්සුක විය. ඒ අනුව, අගබිසව වන තැනැත්තිය සතුව දේශපාලන අපේක්ෂා සහිත ඥාතීන් නොමැති විය යුතු වූ අතර, මාලිගයේ සහ ජනතාවගේ ප්‍රසාදය හිමි වංශවත් පෙළපතක ස්ත්‍රියක් විය යුතු විය. විවාහාපේක්ෂිකාවන් එකින් එක ප්‍රතික්ෂේප කෙරුණු අතර, දේවොන්ගුන්ගේ බිරිඳ වූ යෝහ්‍යුං (මහා මාලිගයේ කුමරුගේ බිසෝ කුමරිය; යෝහ්‍යුං බිදේබුයින්; 여흥부대부인, 驪興府大夫人)[12] සහ ඔහුගේ මව යන දෙදෙනා එක්ව සිය වංශය වූ යෝහ්‍යූං මින් වංශයෙන් මනාලියක් යෝජනා කළහ.[11] මේ කාන්තාවන් දෙපළ එම දැරිය පිළිබඳ මෙසේ විස්තර ඉදිරිපත් කළහ: ඇය අනාථ දැරියක නමුත්, අලංකාර අංග ලක්ෂණවලින් යුතු ය. ඇ‍ය නිරෝගී සිරුරක් හිමි අතර සාමාන්‍ය මට්ටමින් අධ්‍යාපනය ලබා තිබිණි.[11]

දැඩි වරණයක් යටතේ මනාලිය තෝරාගත් අතර, අවසානයේ මාර්තු 6වන දේවොන්ගුන් සමග පැවැත්වූ රැස්වීමෙන් පසු 1866 මාර්තු 20 දින විවාහ මංගල්‍යය පැවැත්විණි.[13] යන්තම් 16 වැනි විය සපිරුණු මින්, 15 වියැති රජු සමග විවාහ වූ අතර ඇය ජොසොන්හි අගබිසව ලෙස සරසවා උත්සවයක් (책비, චේක්බි) පැවැත්විණි.[14] විවාහ මංගල්‍යය සහ ධුරයට පත්කිරීම චංදොක් මාලිගයේ ඉන්ජොං ශාලාවේ (인정전)[11] සහ උන්හ්යොන් මාලිගයේ නොරක් ශාලාවේ දී (노락당) පැවැත්විණි. රාජකීය විවාහ මංගල්‍යයන්හි දී මනාලිය පළඳින බොරු කොණ්ඩය මේ යන්තම් 16 වියැති මනාලිය හට බර වැඩි වූ හෙයින්, උසැති පාලිකාවක් පසුපස සිට ඇයට සහාය වූවා ය. විවාහයට පසුව මුතුන්මිත්තන් නැමදීමේ මංගල්‍යය දින තුනක් පුරා පැවැත්විණි.[15]

පෙර සිටි අගබිසෝවරුන් මෙන් නොව මෙම නව අගබිසව අපේක්ෂා සහගත, බලපෑම්කාරී තැනැත්තියක් බව වටහා ගැනීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වැඩි කලක් ගතවූයේ නැත. ඇය අධික වියදම්කාරී සාද සඳහා සහභාගී නොවූ අතර, අධික ලෙස විසිතුරු කළ විලාසිතා සඳහා රාජකීය ශිල්පාගාරය වෙත අවසර දුන්නේ කලාතුරකිනි. එසේම රාජකීය පවුලේ විවිධ කුමරියන් සහ බලවත් වංශාධිපති ස්ත්‍රීන් අතර සැඳෑ තේ පැන් සංග්‍රහ සඳහා ඇය කිසිදින අනුග්‍රහ දැක්වූයේ නැත. ඇය කොරියාවේ උසස් සමාජය සඳහා ප්‍රතිමූර්තියක් ලෙස හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ ද, අගබිසව මෙම භූමිකාව ප්‍රතික්ෂේප කළා ය. ඒ වෙනුවට ඇය කාලය ගතකළේ පිරිමින් වෙනුවෙන් රචිත ග්‍රන්ථ (උදාහරණ ලෙස වසන්ත සහ සරත් වාර්ෂික වාර්තා සහ එයට අනුරූප ෂුවෝ ෂුවාන්,[11]) කියවමිනි. එමගින් ඇය ඉතිහාසය, විද්‍යාව, දේශපාලනය, දර්ශනය සහ ආගම පිළිබඳ සිය දැනුම පුළුල් කොට ගත්තා ය.

ඇරඹුම

[සංස්කරණය]

මාලිගයේ ප්‍රමුඛත්වයට පත් වීම

[සංස්කරණය]

විසිවන විය වන විට, අගබිසව චංග්යොංගුං මාලිගයේ සිය කුටියෙන් පිටත සැරිසරන්නට වූවා ය. ඇය රාජ්‍ය පාලනයට ඇඟිලි ගසන බවට දේවොන්ගුන් සහ ඉහළ නිලධාරීන් චෝදනා කළ ද, ඇය ක්‍රියාකාරී දේශපාලනයෙහි නියැලුණා ය. අගබිසවගේ පුත්‍රයා ඉපදී දින සතරකින් මියයාමත් සමග, අගබිසව සහ හ්‍යුංසොන් දේවොන්ගුන් අතර පැවති දේශපාලන අරගලය මාලිගය පුරා ප්‍රකට විය. නිරෝගී පුත්‍රයකු බිහි කිරීමට අපොහොසත් වූ බව පවසමින් හ්‍යුංසොන් දේවොන්ගුන් ඇයට ප්‍රසිද්ධියේ චෝදනා කළේ ය. නමුත් අගබිසව සැකකළේ සිය මාමණ්ඩිය විසින් ඇයට ලබාදුන් ජින්සෙං විරේකකාරකය නිසා මෙය සිදුවන්නට ඇති බවයි.[16] දේවොන්ගුන්, ගෝජොං ලවා යොංබෝ ශාලාවේ දී (영보당귀인 이씨) ලී ග්වයි-ඉන් නැමැති උපබිසවට පිළිසිඳ ගැනීමට සැලැස්වූ අතර, 1868 අප්‍රේල් 16 දින ඇය වන්හ්වා කුමරුට (완화군) උපත ලබා දුන්නා ය. දේවොන්ගුන් විසින් එම දරුවා කිරුළහිමි කුමරු‍ ලෙස නම්කරන ලදී.

කෙසේනමුත්, වැඩිහිටි වියට පා තැබූ අගබිසව රහසේම හ්‍යුංසොන් දේවොන්ගුන්ට එරෙහිව බලවත් පක්ෂයක් ගොඩනැගුවා ය. අනතුරුව පක්ෂපාතී ඉහළ නිලධාරීන්, විද්වතුන් සහ ඇගේ වංශයේ සාමාජිකයන්ගේ සහාය ඇතිව හ්‍යුංසොන් දේවොන්ගුන් බලයෙන් ඉවත් කිරීම ඇගේ අරමුණ විය. අගබිසවගේ ඥාතියකු වූ මින් ස්‍යුං-හෝ සහ මාලිගයේ විද්වතකු වූ චෝයි ඉක්-හ්යොන් විසින්, ගෝජොං දැන් 22වන වියේ පසුවන බැවින් ඔහුට රාජ්‍ය පාලනය භාර දිය යුතු බව පවසමින්, හ්‍යුංසොන් දේවොන්ගුන්ට එරෙහි දෝෂාභියෝගයක් රාජකීය පරිපාලන සභාවට ඉදිරිපත් කරන ලදී. 1872දී, ගෝජොංගේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය හිමි වීමත් සමග, හ්‍යුංසොන් දේවොන්ගුන්ට විශ්‍රාම ගෙන යැංජුහි ඔහුගේ උන්හ්යොංගුං ග්‍රාමය වෙත යාමට සිදු විය. අනතුරුව අගබිසව විසින් රාජකීය උපබිසව සහ උපබිසව‍ගේ දරුවාව අගනුවරින් පිටත ග්‍රාමයක් වෙත පිටුවහල් කරන ලදී. ඔවුන්ගේ රාජකීය තනතුරු ඉවත් කෙරුණු අතර, ඉන් මඳ කලකට පසු එම දරුවා මරණයට පත් විය.

මේ නෙරපීම් සමග, මාලිගය තුළ සම්පූර්ණ බලය අගබිසව විසින් හිමිකරගත් අතර, ඇය ඇගේ පවුලේ සාමාජිකයන් මාලිගයේ ඉහළ තනතුරුවලට පත්කළා ය. අවසානයේ ඇය සිය සැමියා සමග එක් වී රාජ්‍ය පාලනය කළා ය. ඇය දේශපාලනය අතින් ගෝජොංට වඩා බෙහෙවින් ක්‍රියාශීලී විය.

"හුදකලා රාජධානිය" ඉස්මතු වීම

[සංස්කරණය]

මෙයිජි ප්‍රතිෂ්ඨාපනය නිවේදනය කරමින් පැමිණි ජපන් දූතයන් පිළිගැනීම කොරියාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග, ඇතැම් ජපන් වංශවතුන් හදිසි කොරියානු ආක්‍රමණයක් සඳහා අදහස් කළහ. නමුත් නව ජපන් රජය ඒ වන විට දේශපාලනිකව හා ආර්ථිකව ස්ථාවර තත්ත්වයක නොපැවති බැවින්, ඉවකුරා සභාව යුද්ධයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කළේ ය. හ්‍යුංසොන් දේවොන්ගුන් දේශපාලනයෙන් නෙරපීමත් සමග, ජපානය කොරියාව සමග සබඳතා අළුත් කරගැනීමට උත්සාහ දැරී ය. නමුත් 1873දී දොංනේ වෙත පැමිණි ජපන් රාජකීය දූතයින් නැවත හරවා එවන ලදී.

යුරෝපයේ අධිරාජ්‍ය අභිබවා යාමට සිතූ ජපන් රජය, “අසමාන ගිවිසුම්” යනුවෙන් පොදුවේ හඳුන්වන ගිවිසුම් ක්‍රමය අනුගමනය කරමින්, මීට ප්‍රතිචාර ලෙස උන්යෝ නැමැති ජපන් යුධනැව බුසන් වෙත යවන ලදී. එසේම තවත් යුධ නැවක් යොංහ්‍යුං බොක්ක වෙත යැවීමෙන් ඔවුහු කොරියාව සිය දොරටු විවර කරන ලෙස බලපෑම් කළහ. උන්යෝ නෞකාව ගංග්හ්වා දිවයිනේ සීමාන්තික මුහුදු තීරයේ සැරිසරන්නට වූයේ කොරියානු වෙරළබඩ කාලතුවක්කු ප්‍රහාර අපේක්ෂාවෙනි. උන්යෝ නෞකාව පලාගිය අතර, ජපන් රජය, කොරියානු රජය සමග ව්‍යාජ ගිවිසුමක් අත්සන් කරගැනීමට මෙය අවස්ථාවක් කරගත්තේ ය. 1876දී ගංග්හ්වා දිවයින වෙත නාවික යාත්‍රා හයක් සමග ජපන් අධිරාජ්‍යයේ දූතයින් පිටත් වූයේ මෙම අරමුණ ක්‍රියාත්මක කර ගැනීමටයි.

කොරියානු රාජසභාවේ බහුතරය මෙම පරම හුදකලා ප්‍රතිපත්තියට එකඟ වූහ. නමුත් ජපන් රජය සිය යුධ බලය යෙදවීමට ප්‍රියතාවක් දක්වන බව පෙනෙන්නට තිබිණි. රැස්වීම් ගණනාවකට පසු, ගංග්හ්වා ගිවිසුම අත්සන් කිරීමට නිලධාරීන් පිටත්කොට යවන ලදී. මෙය ජපානය කෙරෙහි එක්සත් ජනපදය අත්සන් තැබූ ගිවිසුම් ආකෘති කරගනිමින් නිමවූවකි. 1876 පෙබරවාරි 15 දින එය අත්සන් තැබුණු අතර, එමගින් කොරියාව ජපානයට විවෘත විය.

ජපන් වෙළඳාම සඳහා වරායයන් ගණනාවක්ම විවෘත කෙරිණි. එසේම නම්කළ ප්‍රදේශවල ඉඩම් මිලදී ගැනීමට ජපනුන්ට අවසර හිමි විය. මෙම ගිවිසුම මගින් ඉන්චොන් සහ වොන්සන් වරායයන් ජපන් වෙළඳුන්ට විවෘත කෙරිණි. පළමු වර්ෂය කිහිපය තුළ ජපානය වෙළඳාමේ ඒකාධිකාරය ඉසිලූ හෙයින් කොරියානු වෙළඳුන්ට මහත් පාඩු සිදු විය.

සමාජ විප්ලවය

[සංස්කරණය]

1877දී, ගෝජොං රජු සහ මින් අගබිසව විසින් ජපානයේ බටහිරකරණය සහ කොරියාව කෙරෙහි එහි බලපෑම අධ්‍යයනය කිරීම සඳහා කිම් ගි-සුගේ නායකත්වයෙන් යුත් සභාවක් පිහිටුවන ලදී

1881දී, කිම් හොංජිප්ගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ජපානය වෙත පිටත් කෙරිණි. ජපන් නගර කෙතරම් විශාල දියුණුවකට පත්ව ඇත්දැයි දැකීමෙන් කිම් සහ ඔහුගේ කණ්ඩායම විස්මයට පත් වූහ. වසර 50කට පෙර ජපානයේ සංවර්ධනය නොවූ නගර පරදවමින්, කොරියාවේ සෝල් සහ බුසන් නගර නැගෙනහිර ආසියාවේ පුරවර මධ්‍යස්ථාන ලෙස පැවති ආකාරය ඔහුට සිහිපත් විය. නමුත් 1877 වන විට බටහිරකරණය වූ ටෝකියෝ සහ ඔසාකා නගර හා සසඳන විට, සෝල් සහ බුසන් පුරාතන ඉතිහාසයක ශේෂයන් මෙන් දිස් විය.

ජපානයේ සිටින කාලයේ, කිම් ටෝකියෝවේ චීන තානාපතිවරයා වූ හෝ ජුං-චෑං සහ මන්ත්‍රී හුවාං ට්සුන්-හ්සියෙන් මුණගැසුණේ ය. ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයේ ක්විං චීනයට සහ ජොසොන් රාජ්‍යයට අත්ව ඇති ස්ථානය පිළිබඳ ඔවුහු සාකච්ඡා කළහ. හුවාං ට්සු-හ්සියෙන් කිම්හට තමන් විසින් ලියන ලද කොරියානු උපායඥානය නැමැති ග්‍රන්ථය ත්‍යාග කළේ ය.

මේ වන විට චීනයට නැගෙනහිර ආසියාවේ අධිපති ධුරය අහිමිව තිබූ අතර, කොරියාවේ යුධ බලය ජපානයට වඩා උසස් නොවී ය. මීට අමතරව රුසියානු අධිරාජ්‍යය ආසියාව වෙතට ව්‍යාප්ත වන්නට විය. හුවාං උපදෙස් දුන්නේ කොරියාව විසින් චීනය සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් පවත්වා ගන්නා අතරම, ජපානය සමග ද යම් කාලයකට සමීප සම්බන්ධතා ඇතිකරගත යුතු බවයි. එසේම රුසියාවෙන් ආරක්ෂා වීමට එක්සත් ජනපදය සමග සන්ධානයක් ඇති කර ගැනීම සුදුසු බව ඔහු පැවසී ය. එසේම බටහිර ජාතීන් සමග වෙළඳ සබඳතා ඇති කරගන්නා අතරම, බටහිර තාක්ෂණය ද අත් කරගත යුතු බව ඔහුගේ අදහස විය. ඔහු තවදුරටත් විස්තර කළේ චීනය භූමි ප්‍රමාණයෙන් විශාල බැවින් මෙම ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීම අපහසු වූ බවයි. නමුත් කොරියාව ජපානයට වඩා කුඩා බැවින් මෙය සාර්ථකව අනුගමනය කළ හැකි බව ඔහුගේ අදහස විය. එසේම ජපානයේ ආසියානු මහා භූමිය වෙත ව්‍යාප්ත වීමට කොරියාව බාධකයක් බව ඔහු අදහස් දැක් වී ය. එසේම කොරියානු තරුණයින් චීනයට සහ ජපානයට අධ්‍යයන කටයුතු සඳහා පිටත් කළ යුතු බවත්, විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍රය පිළිබඳ බටහිර ගුරුවරුන් කොරියාවට ගෙන්වාගත යුතු බවට ඔහු යෝජනා කළේ ය.

කිම් නැවත සෝල් වෙත පැමිණි පසු, මින් අගබිසව හුවාංගේ ග්‍රන්ථය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ අතර, ඇය එහි පිටපත් සියලු අමාත්‍යවරුනට ලබාදුන්නා ය. බටහිර ජාතීන්ට කොරියාවට ඇතුළු වීමට ඉඩ දී, වෙළඳාම විවෘත කිරීමට සහ ජපානය කෙරෙහි විමසිල්ලෙන් පසුවීමට ඇය යැංබැන්වරුන්ගේ සහාය බලාපොරොත්තු වූවා ය. ඇයට මුලින්ම බටහිරකරණ ක්‍රියාවලියට ජපන් ආධාර ගැනීමට අවශ්‍ය වූ අතර, පසුව ඉදිරි ව්‍යාපෘති සම්පූර්ණ කරගැනීමට බටහිර සහාය ලබා ගැනීම ඇගේ අරමුණ විය.

කෙසේනමුත්, රාජ්‍යය බටහිර ජාතීන් වෙත විවෘත කිරීමට යැංබැන්වරු විරුද්ධ වූහ. හ්‍යුංසොන් දේවොන්ගුන්ට විරුද්ධව දෝෂාභියෝගය ගෙනඒමට ආධාර වූ චෝයි ඉක්-හ්යුන් හුදකලාවාදී අදහස් දරන්නන්ගේ පාර්ශ්වය ගත්තේ ය. ඔහු පැවසූයේ ජපනුන් "බටහිර ම්ලේච්ඡයන්" වැනි බවත්, ඔවුන් විසින් කතෝලික ධර්මය වැනි විනාශකාරී මූලධර්ම පතුරුවන බවයි. (මෙම කරුණ හ්‍යුංසොන් දේවොන්ගුන් සමයේ මහත් වාදවිවාද වලට හේතු වූ විෂයයක් වූ අතර, එය අවසන් වූයේ විශාල හිංසා කිරීමකිනි)

සමාජමය වශයෙන් ගතානුගතික වූ යැංබැන්වරුනට, මින් අගබිසවගේ සැලසුම සමාජ ක්‍රමය බිඳදැහීහක් ලෙස පෙනීගියේ ය. "කොරියානු උපායඥානය" නැමැති කෘතිය බෙදාහැරීමට ප්‍රතිචාරයක් ලෙස රාජධානියේ සෑම පළාතකින්ම විද්වතුන්ගෙන් කිරුළ වෙත සිහිකැඳවුම් එවීම සිදු විය. ඔවුන් පැවසූයේ එම ග්‍රන්ථයේ සඳහන් අදහස් අභව්‍ය බවත්, ප්‍රායෝගික නොවන බවත් ය. එසේම බටහිර තාක්ෂණය අත්කර ගැනීම, රාජ්‍යය සවිබල ගැන්වීමට ඇති එකම ක්‍රමය නොවන බව ඔවුහු තවදුරටත් පැවසූහ. ඔවුන් යෝජනා කළේ හුවමාරු වන දූතයින්, වෙළඳාමේ යෙදෙන නැව් සංඛ්‍යාව සහ වෙළඳ අංග දැඩිව සීමා කළ යුතු බවයි. එසේම කොරියාව තුළ ඇති සියලු විදේශීය ග්‍රන්ථ විනාශ කළ යුතු බවත් ය.

මෙවන් විරෝධතා පැවතිය ද, 1881දී විශාල තොරතුරු සෙවීමේ මඬුල්ලක් ජපානය වෙත පිටත් කොට යැවුණු අතර, ඔවුහු දින හැත්තෑවක් තුළ ජපන් රජයේ කාර්යාල, කර්මාන්තශාලා, යුධ සහ පොලිස් සංවිධානයන්, සහ ව්‍යාපාර කටයුතු නිරීක්ෂණය කළහ. එසේම ඔවුහු විශේෂයෙන්ම ජපානයේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු ජපන් රජය බටහිරින් උකහා ගත් නිමැවුම් පිළිබඳ තොරතුරු ද රැස්කළහ.

මෙම වාර්තා මත පදනම්ව අගබිසව රජය ප්‍රතිසංවිධානය කළා ය. බටහිර, චීනය සහ ජපානය පිළිබඳ විදේශ කටයුතු මෙහෙයවීම සඳහා නව කාර්යාංශ 12ක් ස්ථාපනය කෙරිණි. එසේම වාණිජ කටයුතු හා අදාළ තවත් කාර්යාංශ කිහිපයක් පිහිටුවන ලදී. ආයුධ සහ යු‍ධෝපක්‍රම නවීකරණය සඳහා යුධ කාර්යාංශයක් ද ස්ථාපනය කෙරිණි. බටහිර තාක්ෂණය ආනයනය සඳහා සිවිල් දෙපාර්තමේන්තු කිහිපයක්ම පිහිටුවන ලදී.

එම වර්ෂයේම අගබිසව විසින් ඉහළම හමුදා ශිෂ්‍යයින්, ක්විං චීනය වෙත යැවීමට අවසර දුන්නා ය. නමුත් ජපානය විසින් ස්වකැමැත්තෙන්ම හමුදා ශිෂ්‍යයින්හට රයිෆල් සපයා, කොරියානු භටයින්ට එය භාවිතා කරන අයුරු පිළිබඳ පුහුණුව ලබා දීමට ඉදිරිපත් විය. ඇය ඊට එකඟ වූ අතර, බටහිර යුධ තාක්ෂණය පිළිබඳ ඉගෙනීමට හමුදා ශිෂ්‍යයින් චීනය වෙත යවන බව ද ඇය ජපනුන්ට සිහිපත් කළා ය. මෙම යුධ හමුදාව නූතනකරණය කෙරෙහි විරෝධතා ඇති විය. මෙම නව පුහුණු ඒකකය වෙත දැක් වූ විශේෂ සැලකිල්ල හේතුවෙන් වෙනත් හමුදා අතර අමනාපකම් ඇති විය. 1881 සැප්තැම්බර් මස, අගබිසවගේ පක්ෂය බලයෙන් පහකොට, රජුව ධුරයෙන් නෙරපා, හ්‍යුංසොන් දේවොන්ගුන්ගේ නීත්‍යානුකූල නොවන (තෙවන) පුත්‍රයා වූ යි ජේ-සොන් සිහසුනට පත් කිරීමට වූ කුමන්ත්‍රණයක් අනාවරණය විය. අගබිසව විසින් මෙම සැලසුව ව්‍යර්ථ කළා ය. නමුත් හ්‍යුංසොන් දේවොන්ගුන්ට දඬුවම් හිමි නොවූයේ ඔහු රජුගේ පියා වීම නිසායි.

1882 කෝලාහලය

[සංස්කරණය]

1882දී, පැරණි හමුදාවේ සෙබලු, නව හමුදා ඒකකය කෙරෙහි දැක්වූ විශේෂ සැලකිල්ල පිළිබඳ උරණ වූහ. ඔවුහු පුහුණු ඒකකයේ පරිපාලන ප්‍රධානියා වූ අගබිසවගේ ඥාති මින් ග්යොම්-හෝගේ නිවසට පහර දී එය විනාශ කළහ. අනතුරුව මෙම සෙබලු හ්‍යුංසොන් දේවොන්ගුන් වෙත පලාගියහ. දේවොන්ගුන් ප්‍රසිද්ධියේ මෙය විවේචනය කළ ද, පෞද්ගලිකව ඊට අනුබල දුන්නේ ය. හ්‍යුංසොන් දේවොන්ගුන් මෙම පැරණි හමුදා ඛණ්ඩවල පාලනය සියතට ගත්තේ ය.

ඔහු ග්යොංබොක්ගුංහි පිහිටා තිබූ සෝල් පරිපාලන දිස්ත්‍රික් කාර්යාලය වෙත පහර දීමට සෙබලුන්ට අණකළේ ය. යුධ මධ්‍යස්ථාන සහ විද්‍යා ආයතන පිහිටියේ ද මෙහි ය. මෙම සෙබලු, අගබිසවගේ ඥාතීන්ගේ පෞද්ගලික වතු සහ නිවෙස් කොල්ලකෑම හේතුවෙන් සිරගත කොට තිබූ සිය මිතුරන් බේරාගැනීමට පොලිස් ස්ථාන වෙත පහර දුන්හ. අනතුරුව මෙම සෙබලු රයිෆල් සොරකම් කොට, ජපන් පුහුණු නිලධාරීන් මරාදමන්නට වූහ. නමුත් ඔවුනට සෝල්හි ජපන් තානාපතිවරයාව මරාදැමීමට නොහැකි වූ හෙයින්, තානාපතිවරයා ඉන්චොන් වෙත පලාගියේ ය. මෙම යුධ විප්ලවකරුවන් අනතුරුව මාලිගය වෙත ගමන් කළ ද, ඒ වන විට අගබිසව සහ රජු වෙස්වලාගෙන පලාගොස් චොංජුහි ඇගේ ඥාතියකුගේ නිවහනක සැඟව සිට ඇත.

ග්යොංබොක්ගුංහි පාලනය සියතට ගත් විගස, දේවොන්ගුන් විසින් අගබිසවගේ ආධාරකරුවන් බොහෝමයක් මරාදමන ලදී. ඔහු වහාම අගබිසවගේ ප්‍රතිසංස්කරණ අවලංගු කළ අතර, නව හමුදා ඒකක සේවයෙහි යෙදවී ය. විදේශ ප්‍රතිපත්තිය නොබෝ කලකින්ම හුදකලා එකක් වූ අතර, චීන සහ ජපන් දූතයින්හට අගනුවරින් පිටවීමට බල කෙරිණි.

බීජිංහි කොරියානු දූතයින්ගේ ඉල්ලීම අනුව ලි හුං-චෑං විසින් යහපාලනය ස්ථාපිත කිරීම සහ චීන ව්‍යාපාර සුරක්ෂිත කරනු පිණිස චීන සෙබලුන් 4,500ක් එවන ලදී. මෙම සෙබලු හ්‍යුංසොන් දේවොන්ගුන්ව අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා එල්ල කොට චීනය වෙත රැගෙන ගියහ. රාජකීය යුවල නැවත පැමිණි අතර, ඔවුහු දේවොන්ගුන්ගේ සියලු ක්‍රියාමාර්ග නිෂ්ප්‍රභ කළහ.

1882 අගෝස්තු 10වන දින, ජපනුන් විසින් මින් අගබිසවගේ දැනුවත්භාවයකින් තොරව ගෝජොං රජුට පෞද්ගලිකව 1882 ජපන්-කොරියා ගිවිසුම අත්සන් කරන ලෙස බලකරන ලදී. මෙමගින් අරගලයේ දී හානි වූ ජීවිත සහ දේපළ වෙනුවෙන් ජපන් රජයට කොරියාව විසින් යෙන් 550,000ක් ගෙවිය යුතු බවටත්, සෝල්හි ජපන් තානාපති කාර්යාලයට ආරක්ෂාව සැපයීමට ජපන් සෙබලුන්ට අවසර දිය යුතු බවටත් අවධාරණය කෙරිණි. මේ බව අගබිසව දැනගත් පසු, ඇය චීනයට නව වෙළඳ එකඟතාවක් පිණිස යෝජනා කළා ය. එමගින් චීන ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද ප්‍රදානය කෙරුණු අතර, ජපනුන්ට ප්‍රවේශ විය නොහැකි වරායන්ට ළඟා වීමේ අවසරය ද හිමි විය. නව හමුදා ඒකක පාලනය සඳහා චීන අණදෙන නිලධාරියකු ඉල්ලා සිටි ඇය, මුහුදුබඩ රේගු සේවා මෙහෙයවීමට පෝල් ජෝර්ජ් වොන් මෝලෙන්ඩෝර්ෆ් නැමැති ජර්මන් උපදේශකයකු ද පත්කළා ය.

ඇමරිකාව වෙත දූත මෙහෙයුම

[සංස්කරණය]

1883 සැප්තැම්බර් මස, අගබිසව විසින් ඇමරිකානු උපදේශකයන් සමග ඉංග්‍රීසි භාෂා පාසැල් ස්ථාපනය කරන ලදී. 1883 ජූලි මස ඇය ඇමරිකාව වෙත විශේෂ දූත පිරිසක් පිටත් කළ අතර, එහි නායකත්වය ඇගේ ඥාතියකු වූ මින් යොං-ඉක් විසින් දරන ලදී. මෙම දූතපිරිස නව කොරියානු ජාතික ධජය රැගෙන සැන් ෆ්‍රැන්සිස්කෝ වෙත ළඟා වූ අතර, ඔවුහු බොහෝ ඇමරිකානු ඓතිහාසික ස්ථාන නැරඹූ අතර, ඇමරිකානු ඉතිහාසය පිළිබඳ දේශනවගට සවන් දුන්හ. සැන් ෆ්‍රැන්සිස්කෝවේ නගරාධිපති සහ වෙනත් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඔවුන් වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබිණි. දූතපිරිස චෙස්ටර් ඒ. ආතර් ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට පෙනී සිටි අතර, එහිදී ජපන් තර්ජන සහ කොරියාවේ ඇමරිකානු ආයෝජන පිළිබඳ සාකච්ඡා කෙරිණි. සැප්තැම්බර් මස අවසානයේ දී, මින් යොං-ඉක් සෝල් වෙත පැමිණ, අගබිසවට මෙසේ වාර්තා කළේ ය;

මා උපත ලැබූයේ අඳුරේයි. මම ආලෝකය දෙසට තමන් කළෙමි. නමුත් උත්තමාවියනි, මා නැවත අඳුරට පැමිණි බව ඔබතුමියට පවසන්නේ දැඩි කනස්සල්ලෙනි. මම බටහිර සංවිධානයෙන් යුත් උස් ගොඩනැගිලිවලින් යුත් සෝල් නුවරක් පිළිබඳ කල්පනා කරමි. එමගින් ඇයට ජපන් ම්ලේච්ඡයන්ට එරෙහිව නැගී සිටිය හැකි වේවි. මේ රාජධානියට ඉදිරියෙන් බොහෝ විශාල දේ ඇත, බොහෝ විශාල දේ. උත්තමාවියනි, අප සැකයකින් තොරව මෙම නිසල පුරාතන රාජධානිය වඩාත් නවීකරණය කළ යුතු වේ.

ප්‍රතිසංස්කරණවාදීන්ට එරෙහිව මධ්‍යස්ථ මතධාරීන්

[සංස්කරණය]

1870 දශකයේ අග වන විට ‍ජොසොන් රාජ්‍යය බටහිරකරණයට සම්පූර්ණ සහයෝගය දැක් වූ ප්‍රගතිශීලී යැංබැන් පිරිසක් ද වූහ. කෙසේනමුත්, ඔවුනට අවශ්‍ය වූයේ ක්විං චීනය සමග බැඳීම් ඉවත හෙලා ක්ෂණික බටහිරකරණයක් කරා යාමටයි. මෙම චීන-ප්‍රතිරෝධී මතය පිළිබඳ නොදත් අගබිසව, ඔවුනට ප්‍රගතිශීලීභාවය සහ ජාතිකවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් වාර ගණනාවක් ලබාදුන්නා ය. ඔවුහු ස්ත්‍රී පුරුෂ සමානත්වය, කාන්තාවන් සම්පූර්ණ අයිතිවාසිකම් ලබා දීම වැනි බටහිරකරණය වූ අසල්වැසි ජපානය විසින් අනුගමනය කොට නොතිබූ අධ්‍යාපන සහ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා පක්ෂ වූහ. අගබිසව ආරම්භයේදී ම ලත් ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වූවා ය. නමුත් ඔවුන් දැඩි චීන-විරෝධීන් බව දැනගත් පසු ඇය ඔවුනට විරුද්ධ වූවා ය. චීනය සමග සම්බන්ධතා ක්ෂණිකව අත්හැරීම ඇයගේ බටහිරකරණ සැලැස්මේ අංගයක් නොවිණි. ඇය චීනය සහ ජපානය දුරස් කර බටහිර ජාතීන් ළං කරගැනීමෙන් ජොසොන් රාජ්‍යයට ඇති විය හැකි අර්බුද පිළිබඳ වටහා ගත්තා ය. එසේම ඇයගේ පාක්ෂිකත්වය හිමි වූ සදේ පක්ෂය චීන-හිතවාදී සහ ක්‍රමික බටහිරකරණ-හිතවාදී ආකල්ප දැරූවකි.

කෙසේනමුත් 1884දී, ප්‍රගතිශීලීන් සහ සදේ පක්ෂය ආරවුල් උත්සන්න විය. නාවික උපතානාපති ජෝර්ජ් සී. ෆෝල්ක් ඇතුළු ඇමරිකානු තානාපති නිලධාරීන්,මේ උද්ගතව ඇති ගැටලුව පිළිබඳ අසන්නට පැබුණු විට, ඔවුනට හිංසා කෙරුණු අතර, ඔවුහු ඍජුවම අගබිසවට මේ පිළිබඳ වාර්තා කළහ. අගබිසවගේ ආධාර ඇතිව මෙම දෙපාර්ශ්වය සමගි කොට ජොසොන් රාජ්‍යය සාමකාමී ලෙස නූතන යුගය වෙත සංක්‍රමණය කරවීමට ඇමරිකානුවන් උත්සාහ දරා ඇත. ඉන්පසු අගබිසව මෙම දෙපාර්ශ්වයේම අදහස් සහ සැලසුම්වලට කැමැත්ත පලකළා ය. චීනය සමග සබඳතා අත්හැරීම හැර ප්‍රගතිශීලීන්ගේ සෙසු අදහස්වලට අගබිසව සහාය පලකළා ය.

නමුත් සදේවරුන් අප්‍රිය කළ ප්‍රගතිශීලීහු චීනය කෙරෙහි බලපෑම් කරනු සඳහා ජපන් තානාපති නිලධාරීන්ගේ ආධාර පැතූහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1884 දෙසැම්බර් 4දින මාලිගය තුළ කුමන්ත්‍රණයක් දියත් වූ අතර මෙය රුධිර වැගිරීම්වලින් ගහන විය. ප්‍රගතිශීලීන් විසින් උසස් සදේ නිලධාරීන් ගණනාවක්ම මරා දැමූ අතර, අගනුවරින් පලාගිය හෝ මරාදැමුණු සදේවරුන්ගෙන් හිස් වූ තනතුරු ඔවුන් විසින් අත්පත් කරගන්නා ලදී.

මෙම නව පරිපාලනය රජු සහ අගබිසවගේ නමින් නොයෙකුත් ආඥා නිකුත් කළේ ය. ඔවුහු දේශපාලන, ආර්ථික, සමාජ, සහ සංස්කෘතික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සුක වූහ. කෙසේනමුත්, ප්‍රගතිශීලීන්ගේ ප්‍රචණ්ඩකාරී බව දැක, අගබිසව ඔවුන්ගේ ක්‍රියාමාර්ගවලට සහාය දීම ප්‍රතික්ෂේප කළා ය. එසේම ඇයගේ නමින් අත්සන් කෙරුණු ඕනෑම ලේඛනයක් බල රහිත වන බවත් ඇය නිවේදනය කළා ය. කෙසේනමුත්, මෙම නව පරිපාලනය ඉස්මතු වී දින දෙකකට පසු, යුවාන් ෂි-කායිගේ විධාන අනුව චීන සෙබලු ඔවුන්ව මැඬ පැවැත්වූහ. මෙහිදී ප්‍රගතිශීලීන් කිහිප දෙනකු මියගියේ ය. නැවත වරක් ජොසොන් රජයෙන් මුදල් ලබාගැනීමට මෙය අවස්ථාවක් කරගත් ජපන් රජය මින් අගබිසවගේ දැනුවත්භාවයකින් තොරව ගෝජොං රජුට ගිවිසුමක් අත්සන් කරන ලෙස නියෝග කළේ ය. හන්සොං ගිවිසුම මගින් මෙම අරගලයේ දී හානි වූ ජපන් ජීවිත සහ දේපළ සඳහා විශාල වන්දියක් ඉල්ලා සිටියේ ය.

1885 අප්‍රේල් 18 දින චීනයේ ටියෑන්ජින් නගරයේ දී ජපානය සහ චීනය අතර ලි-ඉටෝ එකඟතාව ඇති කරගන්නා ලදී. එම එකඟත්වය අනුව ඔවුන් ජොසොන් දේශයෙන් සිය හමුදා ඉවත් කරගත යුතු විය. ඔවුනට සිය හමුදා එවීමට හැකි වූයේ තම දේපළවලට හානි වේ නම් පමණි. එසේම හමුදාව එවීමට ප්‍රථම අනෙක් පාර්ශ්වය කලින් දැනුවත් කළ යුතු විය. එසේම මෙම ජාතීන් දෙදෙනාම සිය යුධ උපදේශකවරුන් ලෙස අලුතෙන් පැමිණි ඇමරිකානුවන් පත්කර ගැනීමට එකඟ වූහ. ජපනුන් කොරියාවෙන් සිය සෙබලුන් ඉවත් කරගත් අතර තානාපති ආරක්ෂකයන් ලෙස ඉතා සුළු සෙබලුන් සංඛ්‍යාවක් රැඳ වී ය. නමුත් අගබිසව ජපනුන් කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් දැරූ නිසා ඇය චීන දූතයන් රැස් කර ආයාචනා කොට චීන සෙබලුන් 2,000 දෙනකු ලබා දෙන ලෙස අයැද සිටියා ය. එම සෙබලුන් ජොසොන් පොලිස් නිලධාරීන් හෝ වෙළඳුන් ලෙස වෙස්වලාගෙන රඳවන ලද්දේ සැක කටයුතු ජපන් ක්‍රියාකාරකම්වලින් දේශ සීමා ආරක්ෂා කරගැනීම සහ කොරියානු සෙබලුන් පුහුණු කිරීම සඳහායි.

නවෝත්පාදක අගබිසව

[සංස්කරණය]

අධ්‍යාපනය

[සංස්කරණය]

අවසානයේ "උදෑසන සන්සුන් බවේ භූමිය" වෙත සාමකාමී කාලයක් උදා විය. බහුතරයක් ජපන් සෙබලුන් ජොසොන් රාජ්‍යයෙන් ඉවත් කර ගැනීමත්, චීනය ආරක්ෂාව සැලසීමට සූදානම්ව පැවතීමත් නිසා, ශීඝ්‍ර බටහිරකරණ සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක විය. 1880 සිටම ප්‍රභූ දරුවන් සඳහා මාලිග පාසලක් පිහිටුවීමට සැලසුම් කර තිබුණත්, එය ක්‍රියාත්මක වූයේ 1885 මැයි මස අගබිසවගේ අනුමැතිය හිමිවීමත් සමගයි. ඇමරිකානු මිෂනාරිවරුන්ගේ සහයෝගයෙන් "යුග්යොං කුං-‍වොන්" (육영공원, 育英公院, රාජකීය ඉංග්‍රීසි පාසල) නැමැති මාලිග පාසලක් පිහිටුවූ අතර එහි විෂයමාලා සංවර්ධනය මෙහෙයවූයේ හෝමර් බී. හල්බර්ට් සහ වෙනත් මිෂනාරිවරුන් තිදෙනකු විසිනි. මෙම පාසල ලිහිල් අධ්‍යාපනය සහ යුධ අධයාලනය ලෙස අංශ දෙකකින් සමන්විත විය. මෙහි පාඨමාලා උගන්වන ලද්දේ ඉංග්‍රීසි බසින් ඉංග්‍රීසි පෙළපොත් ඇසුරෙනි. කෙසේනමුත්, අවම ශිෂ්‍ය පැමිණීම හේතුවෙන් 1893දී අවසාන ඉංග්‍රීසි ගුරුවරයා වූ බන්කර් ඉල්ලා අස්වීමත් සමග පාසල වසාදැමිණි.[17]

අගබිසව පළමු බාලිකා අධ්‍යාපන ආයතනය වූ එව්හා ඇකඩමියට සිය අනුග්‍රහය ලබාදුන්නා ය. මෙය 1886දී ඇමරිකන් මිෂනාරිවරියක් වූ මේරි එෆ්. ස්ක්‍රැන්ටන් විසින් සෝල් නුවර පිහිටුවන ලද්දකි. (පසුව එව්හා විශ්වවිද්‍යාලය බවට පත් විය) 1887දී අගබිසව විසින් පෞද්ගලිකව මෙයට "එව්හා" (අරුත "පෙයාර්ස් කැකුළ"; ජොන්ජු යි වංශයේ සංකේතයයි) යන නාමය ලබා දුන් අතර, ස්ක්‍රැන්ටන් මෙනවියගේ උත්සාහය අගය කරනු පිණිස ඵලකයක් ප්‍රදානය කරන ලදී. අගබිසවට ගෞරවයක් වශයෙන් එම නාමය යෙදීමට ස්ක්‍රැන්ටන් මෙනවිය කැමති වූවා ය. කොරියානු ඉතිහාසයේ සාමාන්‍ය හෝ වංශවත් දැරියකට අධ්‍යාපනයට අයිතිය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. සැබැවින්ම, එව්හා ඇකඩමියේ ආරම්භක ගුරුවරියක වූ ලුයිසා රොත්වෙයිලර් දුටුවේ මුල්කාලීනව මෙය අධ්‍යාපන ආයතනයකට වඩා දිළිඳු දැරියනට ආහාර සහ ඇඳුම් සපයන ස්ථානයක් ලෙසයි.[17] මෙය සුවිශේෂී සමාජ විපර්යාසයකි.[18]

ජොසොන් කොරියාවේ බටහිර අධ්‍යාපනය නඟා සිටුවීමට ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් බෙහෙවින් දායක විය. සිය මාමණ්ඩිය මෙන් ක්‍රිස්තු භක්තිකයන්ට හිංසා නොකළ ඇය, ‍‍විවිධ මිෂනාරිවරුනට ජොසොන් රාජ්‍යයට පැමිණීමට ආරාධනා කළා ය. ඔවුන් සතු බටහිර ඉතිහාසය, විද්‍යාව, සහ ගණිතය පිළිබඳ දැන සිටි ඇය එය අගය කළා ය. එසේම එම දැනුම අත් කරගැනීමෙන් සිය ජාතියට අත්වන වාසි ද ඇය දැනසිටියා ය. හුදකලාවාදීන් මෙන්, ක්‍රිස්තියානි ධර්මයෙන් කොරියානු කොන්ෆියුසියානු සදාචාරයට හානියක් වේ යැයි ඇය දුටුවේ නැත.[තහවුරු කර නොමැත] ආගමික සහජීවනය තවත් ඇගේ අරමුණක් විය.

මුද්‍රණ ක්ෂේත්‍රය

[සංස්කරණය]

ජොසොන් රාජ්‍යයේ මුද්‍රණය වූ පළමු පුවත්පත වන්නේ "හන්සොං සුන්බෝ" නැමැති හන්ජා බසින් වූ පුවත්පතයි. එය මුද්‍රණය කරන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ නියෝජිතායතනයක් වූ බක්මුන්-ගුක් (ප්‍රකාශක නිවස) විසින් රජයේ නිල ත්‍රෛමාසික ගැසට් පත්‍රය ලෙස ය. සමකාලීන පුවත්, බටහිරකරණය පිළිබඳ ලිපි සහ රචනා මෙන්ම ජොසොන්හි වැඩිදුර බටහිරකරණය පිළිබඳ ප්‍රවෘත්ති ද ඇතුළත් විය.

1886 ජනවාරි මස බක්මුන්-ගුක් ආයතනය විසින් හන්සොං ජුබෝ (සතිපතා සෝල්) නැමැති නව පුවත්පතක් මුද්‍රණය කරන ලදී. 1888දී චීන රජයේ පීඩනය හේතුවෙන් මෙම කොරියානු-භාෂා පුවත්පත් මුද්‍රණය අහෝසි කරන තෙක්ම, එය සන්නිවේදන මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.

1894 තෙක්ම කොරියානු හන්ජා බස වෙනුවට මුළුමණින්ම හංගුල් බසින් වූ පුවත්පතක් මුද්‍රණය වූයේ නැත. ගෝජොං රජුගේ සහ අගබිසවගේ අනුග්‍රහය මත ප්‍රකාශයට පත්කෙරුණු ගන්ජෝ සින්බෝ (සෝල් පුවත්) නැමැති පුවත්පත අඩක් කොරියානු බසින් සහ අඩක් ජපන් බසින් ලියැවුණකි.

වෛද්‍යවිද්‍යාව, ආගම සහ සංගීතය

[සංස්කරණය]

1884 සැප්තැම්බර් මස අගබිසවගේ ආරාධනය පරිදි හොරේස් නිව්ටන් ඇලන්ගේ පැමිණීමත් සමග නිල වශයෙන් ජොසොන් රාජ්‍යය තුළ කිතුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. අගබිසවගේ අවසරය ඇතිව ඔහු සෙසු මිෂනාරිවරුන් රජයේ සේවකයන් ලෙස පත්කර ගැනීමට මඟපාදා ගත්තේ ය. 1885 පෙබරවාරි මස ග්වංහ්යේවොන්හි පළමු බටහිර රාජකීය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවන ලදී. මෙය නූතන වෛද්‍ය ක්‍රමය හඳුන්වා දීමට ගත් සමාරම්භක පියවරකි.[19]

1885 අප්‍රේල් මස, ප්‍රොතෙස්තන්ත මිෂනාරීන් රැළක්ම ජෝසොන් රාජ්‍යය වෙත ඇදී එන්නට විය. අවසානයේ අගබිසව විසින් තමන්ව පරාජය කොට ඇති බව මින් බියපත් වූ හුදකලාවාදීහු වටහා ගත්හ. අදහස්, තාක්ෂණය, සහ සංස්කෘතීන් වෙත පමණක් නොව කොරියාවේ දොරටු ආගම්වලට ද විවෘත විය. හ්‍යුංසොන් දේවොන්ගුන් (ඒ වන විටත් චීන රැඳවුම් භාරයේ පසු වූ) සහ බලය අහිමි වූ හුදකලාවාදීනය බලා සිටීම හැර කළ හැකි වෙනත් කිසිවක් කොවී ය. 1885 මැයි මස හොරේස් ග්‍රාන්ට් අන්ඩර්වුඩ් හා ඔහුගේ බිරිඳ, විලියම් බී. ස්ක්‍රැන්ටන් හා ඔහුගේ බිරිඳත්, ඔහුගේ මව වූ මේරි ස්ක්‍රැන්ටන් යන පිරිස කොරියාව සිය නව නිවහන බවට පත්කර ගත්හ. ඔවුහු සෝල් නුවර තුළ සහ ගම්බද පෙදෙස්වල ක්‍රිස්තියානි දේවස්ථාන ඉදිකළහ. ඉන් මඳ කලකට පසු, හ්‍යුංසොන් දේවොන්ගුන්ගේ පාලන සමයේ 1866දී හිංසාවට ලක්කෙරුණු කතෝලික මිෂනාරිවරුන් ද කොරියාව වෙත පැමිණෙන්නට විය.

නොයෙකුත් විපර්යාසයන් සිදු කරමින් ක්‍රිස්තියානි මිෂනාරිවරු රට නූතනකරණයට වැදගත් දායකත්වයක් සැපයූහ. සමානාත්මතා සංකල්පය, මානව අයිතිවාසිකම් සහ නිදහස, ආගමික කටයුතු සඳහා පිරිමි මෙන්ම ගැහැනු යන දෙපාර්ශ්වයම සම්බන්ධ කරගැනීම වැනි අදහස් ජෝසොන් රාජ්‍යයට අලුත් දෑ විය. රජය තුළ මෙම අගයයන් ඒකාබද්ධ කරගැනීම පිළිබඳ අගබිසව උද්දාමයට පත්වූවා ය. ක්‍රිස්තියානි අධ්‍යාපන වැඩසටහන් ආධාර කරගනිමින් සාක්ෂරතාව නගා සිටුවීම ද අගබිසවගේ අරමුණක් විය. ඇය වසර කිහිපයකින්ම එම අභිමතාර්ථය ඉටුකොට ගත්තා ය.

සංගීත ක්ෂේත්‍රයේ ද ප්‍රබල වෙනස්කම් රැසක් ඇති විය. සම්ප්‍රදායික පෙරදිග සංකල්ප විස්ථාපනය කරමින් බටහිර සංගීත න්‍යායන් ප්‍රචලිත විය. ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් විසින් හඳුන්වා දුන් ක්‍රිස්තියානි ගීතිකා සහ බටහිර ගීත, සංගීතය පිළිබඳ කොරියානු අදහස්වල ප්‍රගමනයට හේතු විය. 1890දී ඕර්ගනය සහ වෙනත් බටහිර සංගීත භාණ්ඩ හඳුන්වා දෙන ලදී. එසේම අගබිසවගේ අවසරය මත 1893දී කොරියානු බසින් ක්‍රිස්තියානු දේව සේතෝත්‍ර සංග්‍රහයක් මුද්‍රණය කරන ලදී. කෙසේනමුත් අගබිසව කිසිදින කිතුසමය වැළඳ ගත්තේ නැත. ඇය ‍ෂමනවාදී සහ කොන්ෆියුසියානුවාදී අදහස් ඇති සැදැහැති බෞද්ධ කාන්තාවක වූවා ය. ඇගේ ආගමික ප්‍රතිපත්ති වක්‍රාකාරයෙන් බොහෝ නූතන කොරියානුවන් සතු බහුවිධතා සහ ආගමික සහනශීලී සංකල්පයන්ට හේතු වූයේ ය යන්න අතිශයෝක්තියක් නොවේ.

යුධ ක්ෂේත්‍රය

[සංස්කරණය]

1883දී ජපානයෙන් සහ එක්සත් ජනපදයෙන් නූතන ආයුධ ආනයනය කරන ලදී. 1884දී පළමු යුධ කර්මාන්තශාලා ස්ථාපනය සහ නව හමුදා නිල ඇඳුම් නිර්මාණය සිදු විය. ගෝජොං සහ අගබිසවගේ හවුල් අනුග්‍රහය මත කොරියාවේ යුධ අංශය නූතනකරණය වේගවත් කිරීම පිණිස තවත් ඇමරිකානු යුධ උපදේශකවරුන් කොරියාවට එවන මෙන් එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කෙරිණි. සෙසු ව්‍යෘපෘතිවලට සමගාමීව යුධ ව්‍යාපෘතිය සඳහා දිගු කාලයක් ගතවන බව පෙනෙන්නට විය. මෙවැනි සමගාමී ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම රාජ්‍යයකට විශාල අභියෝගයකි. ජපානය පවා ජොසොන් රාජ්‍යය තරම් වේගයෙන් නූතනකරණය නොවිණි. එසේම එහි මෙවැනි ව්‍යාපෘති රැසක් එක්වර ක්‍රියාත්මක කෙරුණේ නැත. 1960-1980 දශකය වන විට නැගෙනහිර ආසියාවේ ශීඝ්‍ර සංවර්ධනයේ දැවැන්තයකු වීමට කොරියාවට හැකි වූයේ මෙම ප්‍රතිපත්ති නිසායි.

1883 ඔක්තෝබර් මස, ඇමරිකානු අමාත්‍යවරයකු වූ ලුෂියස් ෆූට් පැමිණියේ බටහිරකරණය අරඹා නොතිබූ ජෝසොන්හි පැරණි හමුදා ඒකක නූතනකරණය මෙහෙයවීම සඳහායි. 1888 අප්‍රේල් මස, එක්සත් ජනපදයේ සිට ජනරාල් විලියම් මැක්එන්ටයර් ඩයි සහ වෙනත් යුධ උපදේශකවරුන් දෙදෙනකු ද, මැයි මාසයේ දී තවත් සිව්වන උපදේශකයකු ද පැමිණියේ ය. ඔවුහු ශීඝ්‍ර යුධ සංවර්ධනයක් රැගෙන ආහ.

"‍යොන්මු ගොංවොන්" නැමැති නව යුධ පාසලක් ඇරඹුණු අතර, එහි නිලධාරීන් පුහුණු වැඩසටහනක් ද ක්‍රියාත්මක විය. කෙසේනමුත් හමුදාව චීන සහ ජපන් හමුදා හා සම තත්ත්වයට පත්වන විට නාවික හමුදාවක් පිළිබඳ අදහස නොසලකා හැරිණි. නමුත් මෙලෙසින් නාවික හමුදාව වැඩිදියුණු කිරීම අතපසු වන විට ජොසොන් රාජ්‍යයේ මුහුදු සිමා ආක්‍රමණ සඳහා විවෘත විය. මෙය ප්‍රබල අතපසු වීමක් ලෙස සැලකෙන්නේ වසර 300කට පමණ පෙර ජොසොන්හි නාවික හමුදා නැගෙනහිර ආසියාවේ ශක්තිමත්ම හමුදාව ලෙස සැලකුණු නිසායි. මේ වන විට කොරියානු නාවික හමුදාව සමන්විත වූයේ පැරණි නෞකාවලිනි. ඒවාට නූතන නාවික හමුදාවලින් තමන්වවත් ආරක්ෂා කරගත හැකි වී ද යන්න සැකසහිත ය.

කෙසේනමුත්, මඳ කාලයකට කොරියානු යුධ සේවය පිළිබඳ ඉමහත් විශ්වාසයක් ගොඩනැගෙන්නට විය. මෙම ක්‍රියාදාමය නතර කරන්නට මැදිහත් නොවුවහොත් ශීඝ්‍රයෙන් වර්ධනය වන කොරියානු හමුදා හේතුවෙන්, තම රජයට තර්ජනයක් එල්ල වේ යැයි ජපානය බියට පත් විය.

ආර්ථිකය

[සංස්කරණය]

1888දී සියලු කොරියානු වරායයන් ජපන් සහ බටහිර වෙළඳුන්ට විවෘත කිරීමෙන් පසු, විදේශ වෙළඳාමට බාහිර සහභාගීත්වය ශීඝ්‍රයෙන් ඉහළගියේ ය. 1883දී, අගබිසවගේ අනුග්‍රහය සහ එක්සත් රාජධානියේ සර් රොබට් හාර්ට්, 1වන කනිෂ්ඨ සාමිවරයාගේ මෙහෙයවීම අනුව සමුද්‍රීය රේගු සේවාවක් ස්ථාපිත කෙරිණි. මෙම සමුද්‍රීය රේගු සේවාව මගින් විදේශ වෙළඳාම මෙහෙයවුණු අතර තීරු බදු අයකර ගැනීම සිදු විය.

1883 වන විට, ආර්ථිකය තවදුරටත් ජපන් ඒකාධිකාරය යටතේ පැවතුණේ නැත. එහි බහුතරයක් පාලනය කරන ලද්දේ කොරියානුවන් විසිනි. සෙසු කොටස බටහිර ජාතීන්, ජපානය සහ චීනය අතර බෙදී ගියේ ය. 1884දී, දේදොං සහ චංදොං සමාගම වැනි මුල්ම කොරියානු වාණිජ සමාගම් ආරම්භ විය. කොරියානු මුදල් භාවිතය සුරක්ෂිත කරමින්, කාසි අච්චු ගැසීමේ කාර්යාංශය විසින් 1884දී "තංගොජොන්" නැමැති නව කාසි විශේෂයක් හඳුන්වා දෙන ලදී. 1886 වන විට බටහිර ආයෝජන මැනවින් ව්‍යාප්තව පැවතිණි.

අගබිසව විසින් නූතන කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ලබා දුන් විශාල භූමිවල, ඒ. එච්. මේටර්න්ස් නම් ජර්මන් ජාතිකයා, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර ඇතිව "ඇමරිකානු ගොවිපළ" නැමැති ව්‍යාපෘතිය ඇරඹී ය. ගොවි උපකරණ, බීජ, සහ කිරි ගවයින් එක්සත් ජනපදයෙන් ආනයනය කෙරිණි. 1883 ජූනි මස, යන්ත්‍රෝපකරණ කාර්යාංශයක් ස්ථාපිත කෙරුණු අතර වාෂ්ප එන්ජින් ආනයනය කෙරිණි. ගෝජොං සහ අගබිසව විසින් කොරියානු ආර්ථිකය බටහිර වෙත පිළිගත හැකි මට්ටමකට රැගෙන ආව ද, දේශපාලන බාධා, විශේෂයෙන්ම අගබිසවගේ ඝාතනය හේතුවෙන් නූතන නිෂ්පාදන පහසුකම් සංවර්ධනය වූයේ නැත. එය එසේවුවත්, 1883 සහ 1885 අතර කාලයේ සන්නිවේදන පහසුකම් සංවර්ධනය කරමින්, ජොසොන්, චීනය සහ ජපානය අතර ටෙලිග්‍රාෆ් මාර්ග ඉදි විය.

පෞදගලික දිවිය

[සංස්කරණය]

මුල් වර්ෂ

[සංස්කරණය]

මින් අගබිසව පිළිබඳ සවිස්තරාත්මක වාර්තා කොරියාවේ ජාතික පර්ෂද පුස්තකාලයෙන් සහ ලිලියාස් අන්ඩර්වූඩ්[20] විසින් තබන ලද වාර්තාවලින් ලැබේ. ලිලියාස්, මින් අගබිසවගේ සමීප සහ විශ්වාසවන්ත ඇමරිකානු මිතුරියක වූ අතර 1888දී මිෂනාරිවරියක ලෙස කොරියාවට පැමිණි ඇය, අගබිසවගේ වෛද්‍යවරිය ලෙස පත්කෙරිණි.

මෙම මූලාශ්‍ර දෙක මගින්ම විස්තර වන්නේ අධිරාජිනියගේ පෙනුම, කටහඬ, සහ පොදු පැවතුම් පිළිබඳ ව ය. ඇයගේ මුහුණ ප්‍රබල ලක්ෂණවලින් යුතු මෘදු මුහුණකි. ඇගේ පෞද්ගලික වාග් විලාසය මෘදු සහ උණුසුම් ය. රාජ්‍ය කටයුතු මෙහෙයවන විට, ඇය සිය අදහස් දැඩි ස්ථාවරයකින් යුතුව ප්‍රකාශයට පත් කරන්නී ය. ඇගේ පොදු හැසිරීම් විලාසය චාරිත්‍රානුකූල වූ අතර, ඇය මාලිගයේ ආචාරධර්ම සහ සම්ප්‍රදායික නීති දැඩිව අනුගමනය කළා ය. අන්ඩර්වුඩ් අගබිසව පිළිබඳ මෙසේ සඳහන් කරයි:[21]

මා හට, අගබිසව ඇගේ විශිෂ්ටතම අයුරින් නිරූපිත සැබෑ රූපයක් මහජනතාවට ලබා දිය හැකි වේ යැයි පතමි. නමුත් අගබිසව ඇගේ ඡායාරූපයක් ගැනීමට අවසර දුන්න ද එය මා හට සිදු කළ නොහැකියි. එසේ කළහොත් කතාබහේ යෙදෙන විට ඇය සතු මනහර හැසිරීම, ඇගේ චරිතය සහ බුද්ධිය එවිට අනාවරණය නොවේවි. එවිට ඔවුනට තැන්පත් ස්වභාවයෙන් සිටින විට ඇගේ මුහුණ පමණයි දැකගත හැකි වන්නේ. ඇය සියලු කොරියානු ස්ත්‍රීන් මෙන් ඇගේ කෙස්කළඹ මැදින් බෙදා තදින් එහෙත් ඉතා මෘදු අයුරින් මුහුණෙන් පිටුපසට ඇද හිසෙහි පිටුපස මඳක් පහළින් ගැටගැසුවා ය. ඇය පටු කළු පැහැ පටියකින් ගැටගැසූ කුඩා ආභරණයක්... හිස මුදුනේ පැළඳියා ය. උත්තමාවිය ආභරණ පිළිබඳ යොමු කරන්නේ මඳ අවධානයක් බව පෙනෙන අතර, ඇය පැළඳියේ ආභරණ ස්වල්පයක් පමණි. කොරියානු කාන්තාවන් කර්ණාභරණ නොපැළැඳි හෙයින් ඇය ද ඒවා පැළඳියේ නැත. එසේම ඇය මාලයක්, හාරිච්චියක්, හෝ වළලු පවා පළඳිනු කිසිදින මා දැක නැත. ඇයට මුදු බොහෝ ප්‍රමාණයක් තිබිය හැකියි. නමුත් ඇය යුරෝපීය නිෂ්පාදන පැළඳ සිටිනු මා දැක ඇත්තේ වරක් හෝ දෙවරක් පමණයි... කොරියානු සම්ප්‍රදාය අනුව, දිගු සේද පටිවලින් අලංකාර කරන ලද, විසිතුරු රන් ආභරණ ගණනාවක්ම ඇය පැතිවලින් දරා සිටියා ය. ඇය අර්ධව ශිෂ්ටාචාරගත වූ යැයි පැවසෙන ජාතියක අයකු ලෙස සිතීම බෙහෙවින් අපහසු ය...මඳක් පැහැපත් සහ සිහින්, තියුණු ලක්ෂණ සහ දීප්තිමත් තියුණු ඇස්වලින් යුත් ඇය ඇගේ රූමත්බව හේතුවෙන් එක්වරම මා දෙස බැලූයේ නැත. නමුත් කිසිවකුට එම මුහුණේ ඇති ධාරණ ශක්තිය සහ චරිතාත්මක බලයට ආධාර විය නොහැකියි...

සිය විවාහයේ ආරම්භක සමයේ තරුණ අගබිසව සහ ඇගේ සැමියාගේ අදහස් එකිනෙක ගැළපුණේ නැත. ඔවුහු දෙදෙනාම එකිනෙකාගේ හැසිරීම් පිළිකුල් කළහ. ඇය සිය කුටිය තුළ රැඳී සිට අධ්‍යයන කටයුතුවල නියැලෙන්නට ප්‍රියකළ අතර, ඔහු ප්‍රියකළේ රාත්‍රියේ පානය කරමින්, රාජකීය සාද සහ භෝජන සංග්‍රහවලට සහභාගී වෙමින් විනෝද වන්නටයි. සැබැවින්ම රාජ්‍යයේ කටයුතු පිළිබඳ අවධානය යොමු කළ අගබිසව, යැංබැන් පිරිමින් සඳහා සාමාන්‍යයෙන් නිර්දිෂ්ට දාර්ශනික, ඉතිහාස සහ විද්‍යා ග්‍රන්ථ කියවන්නට යෙදුණා ය. වරක් ඇය සිය සමීප මිතුරියකට පවසා ඇත්තේ, "ඔහු මාව අප්‍රිය කරයි" යනුවෙනි.

අගබිසව විසින් තමන්ට විශ්වාසය තැබිය හැකි අය පිළිබඳ සොයා බලන බව මාලිග නිලධාරීන්ට දැනගන්නට ලැබිණි. මාලිග සම්ප්‍රදාය අනුව ඇයට යෝජිත පරිදි, විවාහ රාත්‍රියේ සිය විවාහය සම්පූර්ණ කරගැනීමට ඇය උත්සාහ නොදැරුවා ය. නමුත් පසුව, නිරෝගී උරුමකරුවකු බිහි කිරීමේ දී ඇයට බෙහෙවින් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු විය. විවාහයෙන් වසර පහකට පළමු ගැබ් කාලයේ, ඇය විශාල අපකීර්තියකට මුහුණු දුන්නේ ඇයගේ බිළිඳු පුතු ඉපදී මඳ කලෙකින් මියයාම නිසායි. ඇගේ දෙවන පුත්‍රයා වූ සුන්ජොං කිසිදින නිරෝගී දරුවකු නොවී ය. ඔහු නිතර රෝගී වෙමින් සති ගණන් ඇඳට වී විවේක ගනිමින් සිටි අයෙකි. මුල්කාලයේ මින් අගබිසවට සැබෑ වශයෙන්ම ගෝජොං සමග එකඟත්වයට පැමිණීමට නොහැකි වුවත්, අවසානයේ ඔවුනට එක් වීමට හැකි විය.

පසුකාලීන වර්ෂ

[සංස්කරණය]
මියොංසොං අධිරාජිනියගේ ඝාතනයෙන් වර්ෂ දෙකකට පසු 1895දී පැවැත්වුණු ඇගේ ජාතික අවමංගල පෙළපාලිය

පසුකාලීන වර්ෂවල දී, අගබිසව හා රජු අතර සහයෝගය වර්ධනය විය. ගෝජොංගේ උපදේශකයන් විසින් ඔහුට රජයේ පාලනය භාර ගෙන ජාතියේ පරිපාලනය මෙහෙයවීමට බලකරන ලදී. කෙසේනමුත්, අයකු ඔහුට සිහිපත් කර දුන්නේ ගෝජොංව සිහසුනට තෝරාගැනුණේ ඔහුගේ නිපුණතාවවත් (ඔහු කිසිදින විධිමත් අධ්‍යාපනයක් නොලද අයෙකි), ඔහුගේ රුධිර පෙළපත (සාමාන්‍ය රුධිරය සමග මිශ්‍ර වූවෙකි) නිසාවත් නොවන බවත්, හුදෙක්ම ඔහුගේ පියාගේ මාර්ගයෙන් ඔහුව මෙහෙයවීමට පුංග්යෑං ජෝ වංශිකයන්ට අවශ්‍ය වූ හෙයින් පමණක් බැවින් ය. රාජ්‍යයේ වගකීම් භාරගැනීමට සුදුසු වයසට පත් වූ විට ගෝජොං අභ්‍යන්තර කටයුතු මෙහෙයවීමට සිය බිරිඳගේ සහාය ලබා ගත්තේ ය. මෙහි දී  ගෝජොං සිය බිසවගේ ඥානය, විදග්ධභාවය සහ ඉක්මණින් ඉගෙනීමට ඇති හැකියාව පිළිබඳ පැහැදීමට පත් විය. රාජධානියේ ගැටලු ක්‍රමයෙන් විශාල වන විට, ගෝජොං නිරතුරු අගබිසවගේ උපකාර පැතී ය. මෙලෙසින් ඇය අපහසු අවස්ථාවල ඔහුගේ පසුපස පර්වතයක් මෙන් රැඳීසිටියා ය.

ජොසොන් රාජ්‍යය නූතනකරණයට ලක්වන කාලයේ, ‍ගෝජොං සිය බිසව සමග ප්‍රේමයෙන් පසු වූ බව පැවසීම සාධාරණ ය. ඔවුහු පෞද්ගලිකව මෙන්ම නිල වශයෙන් ද එකිනෙකා සමග වැඩි වේලාවක් ගත කළහ. ඔවුහු එකිනෙකාගේ ගැටලු හුවමාරු කර ගත් අතර, එකිනෙකාගේ සතුට, වේදනාව තමන්ගේම කොට ගත්හ. අවසානයේ ඔවුන් බිරිය සහ සැමියා ලෙස කල්ගත කළහ.

ඔහු තුළ ඇය කෙරෙහි ඇති සෙනෙහස කිසිදා නොමියෙන බව අගබිසවගේ මරණින් පසු රජු වරක් ප්‍රකාශ කොට තිබේ. අගබිසවගේ මරණින් පසු රජු කුටියක් තුළට වී අගුළු ලා ගෙන, සිය රාජකාරි ප්‍රතික්ෂේප කරමින් සති ගණනක් සිටි බව පැවසේ. අනතුරුව ඔහුට සිය කැමැත්ත පරිදි කටයුතු කළ නොහැකි වූ අතර, ජපනුන් විසින් යෝජනා කළ ගිවිසුම් එකකට පසු අනකක් වශයෙන් අත්සන් කරමින් ජපනුන්ට විශාල බලයක් ලබාදුන්නේ ය. අගබිසවගේ මරණින් පසු ඔහුගේ පියා නැවත දේශපාලන බලය ලබා ගෙන, ජපන් නිලධාරීන්ගේ ආධාර ඇතිව සිය ලේලියගේ (මින් අගබිසවගේ) තත්ත්වය මරණාපරව අගබිසව සිට සාමාන්‍ය වැසියකු දක්වා පහත හෙළීමට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. සෑමවිටම අන්‍යන් විසින් යොදා ගැනුණු, තමන් වෙනුවෙන් හඬක් නොනැගූ ගෝජොං විසින් මෙසේ පැවසූ බව විද්වතුන් සඳහන් කොට ඇත. "රාජධානිය බේරා ගත් කාන්තාවට අවමන් කිරීමට වඩා, මා විසින් මාගේ මැණික්කටුව කපාගෙන රුධිරය ගලායාමට සැලැස්වීම යහපත් ය". ගෝජොං සිය පියා සහ ජපනුන් විසින් සිදුකළ යෝජනාවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඔවුන්ව නැවත හරවා යැවී ය.

ඝාතනය

[සංස්කරණය]
ග්යොංබොක්ගුංහි ගොන්චොංජොන් ස්ථානයේ පිහිටි ඔඛොරු මණ්ඩපය; අධිරාජිනිය ඝාතනය වූයේ මෙහි දී ය.

කොරියාව තුළ ඉයුල්මි සිද්ධිය (을미사변, 乙未事變) යනුවෙන් හඳුන්වන මින් අගබිසවගේ ඝාතනය සිදු වූයේ 1895 ඔක්තෝබර් 8 දින මුල් හෝරාවන්හි දී, ගොන්චොංගුං (건청궁, 乾淸宮) හි ඔඛො-රු (옥호루, 玉壺樓) මණ්ඩපයේ දී ය. මෙම ගොන්චොංගුං යනු ග්යොංබොක්ගුං මාලිගයේ පසුපස පෞද්ගලික රාජකීය නිවහනයි.[22]

ඔක්තෝබර් 8දින මුල් හෝරාවන්හි දී, මියුරා ගොරෝ යටතේ සිටි ජපන් නියෝජිතයන් විසින් මෙම ඝාතනය සිදුකරන ලදී. මියුරා මෙම සිදුවීමට ඔකමොටෝ ර්යූනොසුකේ (岡本柳之助), සුගිමුරා ෆුකාෂි (杉村 濬), තුනිමොටෝ ෂිගියාකි (國友重章), සසේ කුමටෙට්සු (佐瀨熊鐵), නකමුරා ටටෙ‍යෝ (中村楯雄), හිරයාමා ඉවහිකෝ (平山岩彦), සහ පනහකට අධික ජපන් මිනිසුන් පිරිසක් හවුල් කරගන්නා ලදී. එසේම ජපන්-හිතවාදී නිලධාරීන් වූ ලුතිනන් සෙන්පති වූ බොම්-සොන් (우범선, 禹範善) සහ ලුතිනන් සෙන්පති යි දු-හ්වැං (이두황, 李斗璜) යන නිලධාරීන් ද ආධාර වූහ. මෙම සෙන්පතීන් දෙදෙනා ජපනුන් විසින් පුහුණු කළ රාජකීය හමුදා ඛණ්ඩයක් වූ "හුල්ල්‍යොන්දේ"හි අණදෙන නිලධාරීන් විය.[22] වූ බොම්-සොන් සෙනපතියා[23] සහ යි දු-හ්වැං සෙන්පතීන් මෙහෙයවන ලද හුල්ල්‍යොන්දේ කොරියානු සෙබලුන් 1,000ක් පමණ දෙනා මාලිගය වටලා එහි දොරටු විවෘත කරන ලද්දේ, ජපන් රොනින් ඝාතකයින්ට ඇතුළු වීම සඳහායි.

ග්වංග්හ්වාමුන් ඉදිරිපස දී, ‍වූ බොම්-සොන් විසින් මෙහෙයවන ලද හුල්ල්‍යොන්දේ සෙබලුන්[23] සහ හොං ග්යේ-හුන් (홍계훈, 洪啓薰) සහ අන් ග්යොං-සු (안경수, 安駉壽)[22] විසින් මෙහෙයවූ කොරියානු රාජකීය සෙබලුන් අතර සටනක් ඇති විය. මෙම සටනේ දී හොං ග්යේ-හුන් සහ යි ග්යොං-ජික් (이경직, 李耕稙) අමාත්‍යවරයා මරණයට පත් විය. අනතුරුව රොනින් ඝාතකයෝ ගොන්චොංගුං තුළ පිහිටි ඔඛොරු (옥호루, 玉壺樓) වෙත ඇතුළු වී අධිරාජිනිය මරා දැමූහ. අවතුරුව අධිරාජිනියගේ දේහය පුළුස්සා භූමදාන කරන ලදී.[22]

ජපන් ඉතිහාසඥ පීටර් ඩ්‍යූස් විස්තර කරන්නේ මෙම ඝාතනය "භයානක, නොහික්මුණු සහ සාහසික ක්‍රියාවක්" බවයි.[24] අගබිසව "අහංකාර සහ දූෂිත ස්ත්‍රියක" ලෙස හඳුන්වන ඩොනල්ඩ් කීන් ඇයව මරා දැමූ ආකාරය පිළිබඳ පවසන්නේ "වචනයෙන් කිව නොහැකි තරමේ ම්ලේච්ඡ" ආකාරයක් බවයි.[25]

ඇසින් දුටු වාර්තාවක්

[සංස්කරණය]
සෝල්හි හන්සොං සින්බෝ ගොඩනැගිල්ල ඉදිරිපස සිටින මින් අගබිසවගේ ඝාතකයින් (1895)

ඝාතනය සිදු වූ භූමියේ වූ බොම්-සොන්ගේ මෙහෙයවීමෙන් යුතු කොරියානු සෙබලුන් දුටු බව කිරුළහිමි සුන්ජොං කුමරුන් විසින් ප්‍රකාශ කොට තිබේ. අනතුරුව වූ හට "මවගේ ඝාතකයා" යන චෝදනාව ඉදිරිපත් කරන ලදී. මෙම චෝදනාවට අමතරව, වූ ඝාතනය කරනු පිණිස සුන්ජොං විසින් ඝාතකයින් දෙදෙනකු පිටත් කර හරින ලදී. 1903 ජපානයේ හිරෝෂිමාහි දී මෙම සැලසුම සාර්ථක විය. ඒ වන විට වූ ජපන් කාන්තාවක් සමග විවාහ වී, පසුව ප්‍රකට උද්භිදවිද්‍යාඥයකු සහ කෘෂිකර්ම විද්‍යාඥයකු වූ වූ ජං-චූන් (禹長春 우장춘) උපත ලබා තිබිණි.

2005දී, රුසියානු විද්‍යා ඇකඩමියේ මහාචාර්ය කිම් රෙඛෝ (김려춘; 金麗春) විසින් රුසියානු අධිරාජ්‍යයේ විදේශ ප්‍රතිපත්ති ලේඛනාගාරයේ (Архив внешней политики Российской империи; AVPRI) රුසියානු ගෘහනිර්මාණ ශිල්පියකු වූ ඇෆනැසි සෙරෙඩින්-සැබටින් (Афанасий Иванович Середин-Сабатин) විසින් මේ සිද්ධිය පිළිබඳ ලියන ලද විස්තරයක් ගෙනහැර දක්වා ඇත.[26] එකල සෙරෙඩින්-සැබටින්, ඇමරිකානු ‍ජනරාල්වරයකු වූ විලියම් මැක්එන්ටයර් ඩයි සමග කොරියානු රාජ්‍ය සේවයේ යෙදී සිටි තැනැත්තෙකි. අප්‍රේල් මස මහාචාර්ය කිම් විසින් මෙම ලේඛනය ප්‍රසිද්ධ කරන ලෙස ම්යොංජි විශ්වවිද්‍යාලයේ (명지대학교; 明知大學校) පුස්තකාල LG එකතුවෙන් ඉල්ලා සිටියේ ය. 2005 මැයි 11 දින මෙම ලේඛනය ප්‍රසිද්ධ කෙරිණි.

දකුණු කොරියාව තුළ මෙම ලේඛනය මුදා හැරීමට අවුරුදු පහකට පමණ පෙර, එහි පරිවර්තිත පිටපතක් එක්සත් ජනපදය තුළ භාවිතයේ පැවතිණි. මෙය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ කොරියානු පර්යේෂණ මධ්‍යස්ථානය විසින් 1995 ඔක්තෝබර් 6 දින ඉයුල්මි සිද්ධියේ 100වන සංවත්සරය සිහිපත්කිරීමට මුදා හැර තිබිණි.[27]

මෙම වාර්තාවේ සෙරෙඩින්-සැබටින් මෙසේ විස්තර කරයි:

අගබිසවගේ අංශය පිහිටි මාලිග අංගණය ජපනුන්ගෙන් පිරීගියේ ය. ඇතැම්විට එහි 20ක් හෝ 25 වැනි සංඛ්‍යාවක් සිටින්නට ඇත. ඔවුන් අසාමාන්‍ය ගවොම් හැඳ, අසිපත් දරා සි‍ටි අතර, ඉන් සමහරක් පිටතට දිස් විය. ... ඇතැම් ජපනුන් මාලිගයේ සහ විවිධ ගෘහයන්හි සෑම අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරමින් සිටි අතර, සෙස්සන් අගබිසවගේ පෙදෙස වෙත පැමිණ එහි වූ කාන්තාවන් වෙත කඩාපනින්නට විය. ... මම ... ජපනුන් විසින් අගබිසවගේ මාලිගයේ භාණ්ඩ උඩුයටිකුරු කරනු දුටුවෙමි. ජපන්නු දෙදෙනෙක් එක් මාලිග ස්ත්‍රියකව අල්ලා ගත් අතර, ඇයව එම ගෘහයෙන් පිටතට රැගෙන ගොස් තරප්පු පෙළ දිගේ පහළට ඇදගෙන ගියහ. ... මීට අමතරව එක් ජපනෙකු ඉංග්‍රීසි බසින් මාගෙන් විමසූයේ, "අගබිසව කොහේ ද? අගබිසව අපට පෙන්වන්න!" යනුවෙනි... ප්‍රධාන සිංහාසන ශාලාව පසුකරන විට, මා දුටුවේ උරෙනුර ගැටෙමින් ජපන් සෙබලුන් සහ නිලධාරීන්, හා කොරියානු මැන්ඩරින්වරුන් එය වටකොට සිටින බවයි. මෙහි සිදුවන්නේ කුමක් දැයි මට නොවැටහිණි.[28]

දායක වූ පාර්ශ්ව

[සංස්කරණය]

මින් අගබිසවගේ ඝාතනය සම්බන්ධයෙන් ජපානයේ දී, මිනිසුන් 56 දෙනකුට චෝදනා පැවරිණි. හිරෝෂිමා අධිකරණය විසින් මේ සියලු දෙනාවම නිදහස් කරන ලද්දේ සාක්ෂි හිග වූ නිසායි.[29]

ඔවුන් අතර පහත පුද්ගලයන් වේ[30]

කොරියාව තුළ, 1896 පෙබරවාරි 11 දින ගෝ‍ජොං රජු විසින් පහත පුද්ගලයින් ඉයුල්මි සිව් ද්‍රෝහීන් ලෙස නම් කරන ලදී:

ප්‍රතිඵලය

[සංස්කරණය]

ගැබෝ ප්‍රතිසංස්කරණය සහ මියොංසොං බිසවගේ ඝාතනය කොරියාව තුළ ජපනුන්හට කළුපැල්ලමක් ඇති කළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොරියානු අර්ධද්වීපයේ කොරියානු නිදහස උදෙසා, ඇතැම් කොන්ෆියුසියානු විද්වතුන්, ගොවීන් ආදීන් එක් වී 60කට අධික ධාර්මික හමුදා සංවිධානය විය.

ඝාතනයෙන් පසු, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව සුන්ජොං අධිරාජයා) 1896 පෙබරවාරි 11 දින රුසියානු තානාපතිවරයාගේ රැකවරණය පතා පලාගියහ. එසේම එහිදී ගෝජොං විසින් ඉයුල්මි සිව් ද්‍රෝහීන් ප්‍රකාශයට පත්කරන ලදී. කෙසේනමුත්, විදේශ බලපෑම් සහ නිදහස් සංවිධානවල ජනතා අදහස් හේතුවෙන් 1897දී, ගෝජොං ග්යොංගුංගුං (නූතන දොක්සුගුං) වෙත පැමිණියේ ය. එහි දී ඔහු කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය. කෙසේනමුත්, චීන-ජපන් සහ රුසියානු-ජපන් යුද්ධ හමුවේ ජපානය ජය ලැබීමත් සමග, 1910දී කොරියාව ජපන් යටත් විජිතයක් බවට පත් විය.

අවමංගල පෙරහැර සහ සොහොන්ගැබ

[සංස්කරණය]
1895 මියොංසොං අධිරාජිනියගේ අවමංගල්‍යය

1897දී, රුසියානු සහාය ඇතිව ගෝජොං රජු යළි සිහසුනට පත් වූ අතර, ඔහු සිය ආදරණීය මින් අගබිසවගේ ශේෂයන් ගෞරවාන්විතව භූමදානයට පියවර ගත්තේ ය. ඇගේ ශෝක පෙරහැර සෙබලුන් 5,000ක්, පොලිස් නිලධාරීන් 650ක්, ලන්තෑරුම් 4,000ක්, ඇයට ගෞරව වශයෙන් ලියැවුණු ලේඛන සිය ගණනක් සහ මරණින් මතු දිවියේ දී භාවිතයට ගැනීමට සංකේතයක් ලෙස විශාල දැව අශ්ව ප්‍රතිමා ආදියෙන් සමන්විත විය. මින් අගබිසවගේ අවමංගල්‍යය වෙනුවෙන් ගෝජොං රජු විසින් ස්ථාපිත උපහාරයන් හි, ජපනුන්ට එරෙහිව ඇගේ විදග්ධ සහ වික්‍රමාන්විත ක්‍රියාවන් සහ ඇය කෙරෙහි තමන් තුළ ඇති නොමියෙන ප්‍රේමය පිළිබඳ සඳහන් ය. මින් අගබිසවගේ ශේෂයන් දකුණු කොරියාවේ ග්යොංගිහි, නම්යංජු පෙදෙසේ භූමදානය කරන ලදී.[41]

විපාකය

[සංස්කරණය]

2005 මැයි මස, කුනිටොමෝ ෂිගියාකිගේ මුණුපුරා වූ, 84 වියැති ටට්සුමි කවානෝ (川野 龍巳) විසින් දකුණු කොරියාවේ, ග්යොංගිහි, නම්යංජු ස්ථානයේ පිහිටි මියොංසොං අධිරාජිනියගේ සොහොනට ගෞරව බුහුමන් දැක් වී ය.[37][42] සිය මුත්තණුවන් වෙනුවෙන් ඔහු මියොංසොං අධිරාජිනියගේ සොහොන ඉදිරියේ සමාව ඉල්ලා සිටියේ ය.[37]

2009 සිට, කොරියානු සංවිධාන, ජපන් රජය විසින් සිදු කළ මින් අගබිසවගේ ඝාතනය සම්බන්ධයෙන් විනිශ්චයක් ඉල්ලා සිටියි. ඔවුන් ප්‍රකාශ කරන්නේ "1910 කොරියා-ජපන් ඈඳගැනීමේ ගිවිසුම හරහා වසර 35ක් පුරාවට ඝාතනය වූ කොරියානු ජනයා වෙනුවෙන් වසර 100ක් ගත වීමෙන් පසුත් ජපන් රජය නිල වශයෙන් සමාව ඉල්ලා නොමැති බව"යි. ජපන් රජය අගෝස්තු 15 දින අධිරාජයාගේ සමාව ඉල්ලීමේ ප්‍රකාශයක් සමග, ඝාතන සිද්ධි සම්බන්ධව අදාළ ලිපිගොනු ඉදිරිපත් නොකළහොත් නීති මාර්ගයෙන් කටයුතු කරන බව ඔවුහු පවසති.[43]

  • මහා-මහා-මහා-මහා-මුත්තණුවන්
  • මහා-මහා-මහා-මහා-මිත්තණිය
    • යි මැතිණිය (이씨, 李氏), යි ග්වං-ජොංගේ (이광정, 李光庭) දියණියයි.
  • මහා-මහා-මහා-මහා-මුත්තණුවන්
    • මින් යු-ජුං (민유중, 閔維重) (1630–1687).
  • මහා-මහා-මහා-මහා-මිත්තණිය
    • සොං ආර්යාව (송씨, 宋氏); මින් යු-ජුංගේ දෙවන බිරිඳයි; සොං ජුන්-ගිල් (송준길, 宋俊吉) ගේ දියණියයි, සොං ජුන්-ගිල් හ්යෝජොං රජ සමයේ යොංගුයිජොං කෙනෙකි.
  • මහා-මහා-මහා-මුත්තණුවන්
  • මහා-මහා-මුත්තණුවන්
    • මින් ඉක්-සු (민익수, 閔浸沒) (1690–1742).
  • මී-මුත්තණුවන්
    • මින් බෙක්-බුන් (민백분, 閔百奮) (1723–?).
  • මුත්තණුවන්
    • මින් ගි-හ්යොන් (민기현, 閔耆顯) (1751–1811).
  • පියා
    • මින් චි-රොක් (민치록, 閔致祿) (1799–1858).
  • මව
    • යි වංශයේ හන්චං ආර්යාව (한창부 부인 이씨) (본관: 한산 이씨, 이규년의 딸), මින් චි-රොක්ගේ දෙවන බිරිඳයි.
  • සැමියා
  • පුතුන්
    • නම් නොලද පුත්‍රයෙක් (උපත 1871).
    • සුන්ජොං අධිරාජයා (25 මාර්තු 1874 – 24 අප්‍රේල් 1926).
    • නම් නොලද පුත්‍රයෙක් (උපත 1875).
    • නම් නොලද පුත්‍රයෙක් (උපත 1878).
  • දියණිය
    • නම් නොලද දියණියක් (උපත 1873).

පදවි නාමයන්

[සංස්කරණය]

සිය දිවිය පුරා මින් අගබිසව නොයෙකුත් පදවි නාමයන් දැරුවා ය: යැංබැන් වංශවත් පවුලක සාමාජිකාවක ලෙස, අගබිසව ලෙස, සහ කොරියානේ උපරාජයා ලෙස ඇය තනතුරු දැරුවා ය. ඇගේ මරණින් පසු කොරියානු අධිරාජ්‍යය බිහිවීමත් සමග ඇයට තවත් නාමයන් ප්‍රදානය කෙරිණි. මෙම මරණාපර නාමයන් අතර ඇය වඩාත් ප්‍රචලිත “මියොංසොං අධිරාජිනිය” යන නාමය ද වේ.

  • 19 ඔක්තෝබර් 1851 – 20 මාර්තු 1866: මින් ආර්යාව, යෝහ්‍යුං මින් වංශයේ මින් චි-රොක්ගේ දියණිය
  1. "මින් ආර්යාව"
  2. "මින් චි-රොක්ගේ දියණිය"
  • 20 මාර්තු 1866 – 1 නොවැම්බර් 1873: රාජෝත්තමාවිය, ජොසොන්හි අගබිසව
  • 1 නොවැම්බර් 1873 – 1 ජූලි 1894: රාජෝත්තමාවිය, ජොසොන්හි රාජ්‍යාධිකාරී රැජිනිය
  • 1 ජූලි 1894 – 6 ජූලි 1895: රාජෝත්තමාවිය, ජොසොන්හි අගබිසව
  • 6 ජූලි 1895 – 8 ඔක්තෝබර් 1895: රාජෝත්තමාවිය, ජොසොන්හි රාජ්‍යාධිකාරී රැජිනිය (ඉහත මුල් තනතුරු හතර 王妃殿下 왕비전하 වංග්බි ජොන්හා / 中殿媽媽 중전마마 ජුංජොන් මමා / 中宮殿媽媽 중궁전마마 ජුංගුංජොන් මමා ලෙස යෙදේ.)
  • කොරියාවේ මියොංසොං අධිරාජිනිය (මරණාපර නාමය)

ඡායාරූප සහ සිතුවම්

[සංස්කරණය]
ඉනෝයි කඔරු විසින් ගෝජොං රජු සහ මින් අගබිසව මුණගැසෙනු නිරූපිත ජපන් සිතුවමක්

ඇය නිල රාජකීය පවුල් ඡායාරූපයක සිටි බවට වාර්තාවල සඳහන්ව ඇත. එවැනි රාජකීය පවුල් ඡායාරූපයක් අදවන විට සොයාගන්නට නැත. නමුත් ඇගේ මරණින් පසු ගත් ගෝජොං, සුන්ජොං, සහ සුන්ජොංගේ බිරිඳ වූ කිරුළ හිමි කුමරුගේ බිසෝ කුමරිය නිරූපිත පවුල් ඡායාරූපයක් දක්නට ඇත.

වෙනත් ඡායාරූප

[සංස්කරණය]

2003 KBS නාළිකාවේ ප්‍රවෘත්ති විකාශය මගින් වාර්තා කෙරුණේ අධිරාජිනියගේ යැයි සැලකෙන ඡායාරූපයක් අනාවරණය වී ඇති බවයි.[44] මින් සූ-ග්යොංගේ මුත්තණුවන් විසින් විශාල මුදලක් ගෙවා මෙම ඡායාරූපය මිලට ගන්නා ලද්දේ එය සිය පවුලේ උරුමයක් ලෙස සලකායි. මෙම ඡායාරූපයේ කාන්තාවක් හා ඇයට පසුපසින් පරිවාර ජනයන් වේ. ඇතැම් විශේෂඥයින් පවසන්නේ මෙම ඡායාරූපයේ නිරූපිත කාන්තාව පැහැදිළිවම උසස් නිලයක් දරන්නියක් බවත්, ඇයගේ වස්ත්‍ර රාජකීය පවුලේ පුද්ගලයින් පමණක් විසින් හැඳි වස්ත්‍ර බව හඳුනාගත හැකි බවත් ය. කෙසේනමුත්, ඇගේ වස්ත්‍රවල අධිරාජිනියගේ වස්ත්‍රවල පැවති මෝස්තර අල්ප බව පැවසේ.

ජපන් සිතුවම

[සංස්කරණය]

2005 ජනවාරි 13 දින, සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්යවරයකු වූ ලී තේ-ජින් (이태진, 李泰鎭) විසින් ටෝකියෝවේ පැරණි පොත් වෙළඳසැලකින් ඔහු සොයාගත් සිතුවමක් ප්‍රසිද්ධියට පත්කළේ ය. 1895 ජනවාරි 25 දින ප්‍රකාශිත ෆූසොකුගහෝ (風俗畫報) ජපන් පුවත්පතේ ‍මෙම 84 වන සංස්කරණයේ ගෝජොං රජු සහ අගබිසව විසින් ජපන් නියෝජ්‍ය තානාපතියා වූ ඉනෝයි කඔරු පිළිගන්නා අයුරු නිරූපිත සිතුවමක් ඇත.[45] මෙම සිතුවමේ 1894 දෙසැම්බර් 24 දිනය සහ ඉෂිසුකා (石塚 ) නැමැති චිත්‍ර ශිල්පියාගේ අත්සන සමග, "අපගේ කාරුණික ‍උපදේශයෙන් සලිත වූ [කොරියානු] රජු සහ රැජින, පළමුවරට ස්ථිර ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව වටහා ගත්හ" යන පාඨය සඳහන්ව ඇත. ලී පවසන්නේ මෙහි වස්ත්‍ර සහ පසුබිම විස්තරාත්මකව දක්වා ඇති හෙයින්, එය එම සිදුවීම සිදු වූ අයුරෙන්ම ඇඳ ඇති බවයි. මෙහි රජු මෙන්ම ඉනෝයි ද අගබිසව දෙස බලා සිටින බැවින්, මෙම සංවාදය අගබිසව සහ ඉනෝයි අතර සිදු වූ බවත් රජු එය අසා සිටි බවත් පැවසේ.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

[සංස්කරණය]

එම්ප්‍රස් මියොංසොං යන රූපවාහිනී කතාමාලාව තුළ සහ මියැසිය තුළ ඇගේ නාමය මින් ජා-යොං (민자영; 閔紫英) ලෙස දක්වා ඇත. නමුත් ලිඛිත මූලාශ්‍රවල මේ බවට කිසිදු සාක්ෂියක් නැත.

2009 වර්ෂයේ චිත්‍රපටයක් වූ ද ස්වෝර්ඩ් විත් නෝ නේම් යන්න මියොංසොං අධිරාජිනිය වටා ප්‍රබන්ධ කළ ප්‍රේම කථාවකි.[46]

එසේම කොරියානු රූපවාහිනී කතාමාලාවක් වන ගන්මන් ඉන් ජොසොන් තුළ ඇගේ චරිතය නිරූපිත ය. මෙම කථාව ඇරඹෙන්නේ 1876, එනම් ගෝජොං අධිරාජ‍යාගේ තෙවන වර්ෂයේ දී යි.

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ පාක්, ජොං-හ්යෝ (박종효) (1 ජනවාරි 2002). "일본인 폭도가 가슴을 세 번 짓밟고 일본도로 난자했다". සින්ඩොංගා 新東亞. pp. 472–485. {{cite news}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  2. ^ "කොරියන් විමෙන් ඉන් රෙසිස්ටන්ස් ටු ද ජැපනීස්". 2002-03-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. ^ බ්යොං-කුක් කිම්, "ඇසැසිනේෂන් ඔෆ් එම්ප්‍රස් මියොංසොං," කොරියා ටයිම්ස්, 28 දෙසැම්බර් 2001
  4. ^ a b "ක්වීන් මින්". 2006-02-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ^ එස්. සී. එම්. පේන්, ද සයිනො-ජැපනීස් වෝ ඔෆ් 1894–1895: පර්සිප්ෂන්ස්, පවර්, ඇන්ඩ් ප්‍රයිමසි (කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 2003), පි. 316
  6. ^ a b c 아관파천 (කොරියානු බසින්). නේවර්/දූසන් විශ්වකෝෂය.
  7. ^ ඇතැම් මූලාශ්‍ර පවසන්නේ ඇය සැප්තැම්බර් 25 උපත ලද බවයි. මෙම දින වෙනසට හේතුව දිනදර්ශන ක්‍රමයන්ගේ වෙනසයි. "ක්වීන් මින්". 2006-02-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  8. ^ ඇය උපන් නිවස 1687දී, එනම් සුක්ජොං රජුගේ 13වන වර්ෂයේ ඉදිවූවකි. පසුව 1975 සහ 1976දී එය නැවත ඉදිකෙරිණි. 1904දී, ඇය විසින් අධ්‍යාපනය හදාළ භූමියේ ඇගේ සැමියා වූ ගෝජොංගේ අත්අකුරින් යුත් ශෛලමය ස්මාරකයක් (තංගංගුරිබි ලෙස හඳුන්වයි) පිහිටුවන ලදී. http://myhome.shinbiro.com/~kelly98/place2.html
  9. ^ එම නිවසේ ඇය උපතේ සිට අටවන විය දක්වා ජීවත්වූවා ය. 1687දී, අධිරාජයාගේ මාමණ්ඩිය (ඉන්හ්යොන්‍ අගබිසවගේ පියා) වූ, මින් යු-ජුං වෙනුවෙන් මණ්ඩපයක් ඉදි කෙරිණි. නමුත් අදවන විට ශේෂ වී ඇත්තේ ප්‍රධාන ගොඩනැගිල්ල පමණි. පසුව 1995දී මෙම ගොඩනැගිල්ල එහි ස්වාභාවික ස්වරූපය ලැබෙන පරිදි ප්‍රතිසංස්කරණය කෙරිණි. ඇගේ උපත සිහිකිරීම පිණිස, ළමා වියේ අධිරාජිනිය පාඩම් කළ කුටිය තුළ "අධිරාජිනිය මියොංසොං තංගංගුරි" (මියොංසොං අධිරාජිනිය උපන් ග්‍රාමය) යනුවෙන් කැටයම් කළ ස්මාරකයක් පිහිටුවා ඇත. http://www.yeoju.gyeonggi.kr/eng/tour/remain_04.asp
  10. ^ මෙම ශිලාලේඛනය 250 × 64 × 45 cm3 යන මිනුම්වලින් සමන්විත ය. 1904දී ඇගේ සැමියා වූ ගෝජොං (ග්වංමු අධිරාජයාගේ 8වන වර්ෂය (ගැප්ජින්), 5වන මාසය, 1වන දිනය) විසින් පිහිටුවන ලද මෙය 明成皇后誕降舊里碑 명성황후탄강구리비 මියොංසොං හ්වංහු තංගංගුරිබි ‘මියොංසොං අධිරාජිනියගේ උපන් ස්ථානය සඳහා වන ශිලා ඵලකය, ඇගේ පැරණි ගම්මානය’ ලෙස කියවනු ලබයි. http://www.minc.kr/rhmin/queen/myungsung/11_tomb.htm#tangang
  11. ^ a b c d e f g h ක්වීන් මින් ඔෆ් කොරියා: කමිං ටු පවර් http://www.gkn-la.net/history_resources/queen_min_tmsimbirtseva_1996.htm
  12. ^ Tදේවොන්ගුන්ගේ බිරිඳ මහා මාලිගයේ කුමරුගේ බිසෝ කුමරියයි.
  13. ^ මෙය පවතින (චන්ද්‍ර) දිනදසුන මත පදනම්ව ඉදිරිපත් වූ දිනයන් ය. බලන්න http://www.gkn-la.net/history_resources/queen_min_tmsimbirtseva_1996.htm
  14. ^ මෙම තනතුර "මධ්‍ය ශාලාවේ උත්තමාවිය" (ජුංජොන් මමා, 중전마마, 中殿媽媽) ලෙස ඇමතිණි.
  15. ^ හිස්ට්‍රි රිසෝසස් ඔෆ් ක්වීන් මින්
  16. ^ ස්සෙපන්ස්කි, කැලී, "ක්වීන් මින් ඔෆ් ජෝසොන් කොරියා". http://asianhistory.about.com/od/southkorea/p/Queen-Min-of-Korea.htm
  17. ^ a b නෙෆ්, රොබට් (30 මැයි 2010). "කොරියා'ස් මොඩර්නයිසේෂන් ත්‍රෑ ඉංග්ලිෂ් ඉන් ද 1880ස්". ද කොරියා ටයිම්ස්. සෝල්, කොරියාව: ද කොරියා ටයිම්ස් සමා. සම්ප්‍රවේශය 31 මැයි 2010.
  18. ^ 이화학당 梨花學堂 (කොරියානු බසින්). නේට්/ කොරියානු සංස්කෘතික විශ්වකෝෂය. 1887년 학생이 7명으로 늘어났을 때, 명성황후는 스크랜튼 부인의 노고(勞苦)를 알고 친히 '이화학당(梨花學堂)'이라는 교명을 지어주고 외무독판(外務督辦) 김윤식(金允植)을 통해 편액(扁額)을 보내와 그 앞날을 격려했다. 당초에 스크랜튼 부인은 교명(校名)을 전신학교(專信學校, සම්පූර්ණ භාරකාර පාසල)라 지으려 했으나, 명성황후의 은총에 화답하는 마음으로 '이화'로 택하였다.이는 당시에 황실을 상징하는 꽃이 순결한 배꽃〔梨花〕이었는데, 여성의 순결성과 명랑성을 상징하는 이름이었기때문이다. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  19. ^ 1885 අප්‍රේල් 23 දින, මෙම රෝහල "ජෙජුංවොන්" යනුවෙන් නැවත නම්කරන ලදී. අනාගත යොන්සෙයි විශ්වවිද්‍යාලය සහ විභේදිත රෝහල බවට පත්වන්නේ මෙයයි.
  20. ^ මුලින් ලිලියාස් හෝර්ට්න් විය. හොරේස් ග්‍රාන්ට් අන්ඩර්වුඩ්ගේ (1851–1921) බිරිඳයි.
  21. ^ ෆි‍ෆ්ටීන් ඉයර්ස් අමං ද ටොප්-නොට්ස්, පිටු.89–90 http://www.gkn-la.net/history_resources/queen_min_tmsimbirtseva_1996.htm
  22. ^ a b c d (කොරියානු) 을미사변 乙未事變 (කොරියානු බසින්) නේවර් විශ්වකෝෂය
  23. ^ a b [[:ko:우범선|]]
  24. ^ පීටර් ඩ්‍යූස්, ද ඇබකස් ඇන්ඩ් ද ස්වෝර්ඩ්: ද ජැපනීස් පෙනිට්‍රේෂන් ඔෆ් කොරියා, 1895–1910 (බර්ක්ලි ඇන්ඩ් ලොස් ඇන්ජලීස්: යුනිවර්සි‍ටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස්, 1995), පි. 111.
  25. ^ ඩොකල්ඩ් කීන්, එම්පරර් ඔෆ් ජැපෑන්: මෙයිජි ඇන්ඩ් හිස් වර්ල්ඩ්, 1852–1912 (නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්, 2002), පි. 517.
  26. ^ "අකවුන්ට් ඩිස්ක්‍රයිබ්ස් එම්ප්‍රස් මියොංසොං'ස් ඇසැසිනේෂන්". ද කොරියා ටයිම්ස්. 12 මැයි 2005.
  27. ^ ඇලෙක්සී සෙරෙඩින්-සැබටින් (1895). "ටෙස්ටිමනි ඔෆ් ද රෂියන් සිටිසන් සෙරෙඩින්-සැබටින්, ඉන් සර්විස් ඔෆ් ද කොරියන් කෝර්ට්, හූ වෝස් ඔන් ඩියුටි නයිට් ඔෆ් 26 සැප්තැම්බර්". කොලොම්බියා විශ්වවිද්‍යාලය.
  28. ^ http://koreaweb.ws/ks/ksr/queenmin.txt
  29. ^ "ඩිසන්ඩන්ට්ස් ඔෆ් කොරියන් ක්වීන්'ස් ඇසැසින්ස් ඇපොලොජයිස්". ද චෝසුන් ඉල්බෝ. 9 මැයි 2005.
  30. ^ හන් යොං-වූ (한영우) (20 ඔක්තෝබර් 2001). එම්ප්‍රස් මියොංසොං ඇන්ඩ් කොරියන් එම්පයර් (명성황후와 대한제국) (කොරියානු බසින්). හ්යෝහ්යොං පබ්ලිෂිං (효형출판). ISBN 89-86361-57-4.
  31. ^ a b පීටර් ඩ්‍යූවස්, ද ඇබකස් ඇන්ඩ් ද ස්වෝර්ඩ්, පි.76
  32. ^ a b ඩොනල්ඩ් කීන්, එම්පරර් ඔෆ් ජැපෑන්, පි.520
  33. ^ ඩොනල්ඩ් කීන්, එම්පරර් ඔෆ් ජැපෑන්, පි.59
  34. ^ ඩොනල්ඩ් කීන්, එම්පරර් ඔෆ් ජැපෑන්, පි.515
  35. ^ පීටර් ඩ්‍යූවස්, ද ඇබකස් ඇන්ඩ් ද ස්වෝර්ඩ්, පි.111
  36. ^ කෙනත් බී. පයිල් (1969). ද නිව් ජෙනරේෂන් ඉන් මෙයිජි ජැපෑන්: ප්‍රොබ්ලම්ස් ඔෆ් කල්චරල් අයිඩෙන්ටිටි, 1885–1895. ස්ටැන්ෆෝර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. p. 65. ISBN 0804706972.
  37. ^ a b c d කිම් ගි-චොල්; යු සොක්-ජේ (9 මැයි 2005). 명성황후 시해범 110년만의 사죄 (කොරියානු බසින්). ද චෝසුන් ඉල්බෝ.
  38. ^ ඩොනල්ඩ් කීන්, එම්පරර් ඔෆ් ජැපෑන්: මෙයිජි ඇන්ඩ් හිස් වර්ල්ඩ්, 1852–1912 (නිව් යෝක්: කොලොම්බියා යුනිවර්සිටි ප්‍රෙස්, 2002), පි. 516.
  39. ^ හන්‍ යොං-වූ, එම්ප්‍රස් මියොංසොං ඇන්ඩ් කොරියන් එම්පයර්, පි 47~50
  40. ^ හිස්ට්‍රි’ස් ග්‍රේට් අන්ටෝල්ඩ් ස්ටෝරීස්, ජෝසෆ් කමින්ස්
  41. ^ ජෝසෆ් කමින්ස්. හිස්ට්‍රි'ස් ග්‍රේට් අන්ටෝල්ඩ් ස්ටෝරීස්.
  42. ^ "ඇසැසින්'ස් ග්‍රෑන්ඩ්සන් ස්පීක්ස් ඔෆ් ඉමෝෂනල් ජර්නි". ද චෝසුන් ඉල්බෝ. 10 මැයි 2005.
  43. ^ Korean Legal.org, http://www.koreaexpertwitness.com/blog/Korea,%20Don%20Southerton%20expert%20witness,%20Don%20Southerton%20Korea%20expert,%20Korea%20consulting,%20Korea%20consultant/empress-myeongseong/
  44. ^ "ෆොටෝ ඔෆ් ද ලාස්ට් එම්ප්‍රස්". KBS නිව්ස්. 28 දෙසැම්බර් 2003.
  45. ^ "ජැපනීස් ඉලස්ට්‍රේෂන් ඔෆ් ලාස්ට් කොරියන් ක්වීන් ඩිස්කවර්ඩ්". ද චෝසුන් ඉල්බෝ. 13 ජනවාරි 2005.
  46. ^ http://www.imdb.com/title/tt1465518/synopsis

‍වැඩිදුර කියවීමට

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මියොංසොං_අධිරාජිනිය&oldid=473326" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි