හන්ජා

විකිපීඩියා වෙතින්
(හංජා වෙතින් යළි-යොමු කරන ලදි)
හන්ජා
වර්ගය
line-height:1.25em
භාෂාකොරියානු
පීතෘක ක්‍රම
Sister systems
කාංජි, ෂුයින්, සම්ප්‍රදායික චීන, ඛිටන් අක්ෂර, ජුර්චෙන් අක්ෂර
හන්ජා
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයහන්ජා
මැකූන්–‍රයිෂවර්හන්චා
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
මෙම ලිපියේ චීන පෙළ ඇතුළත් වෙයි. නිසි ප්‍රදර්ශන සහාය නොමැති වූ විට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු හෝ වෙනත් සලකුණු චීන අක්ෂර වෙනුවට ඔබට පෙනෙනු ඇත.

හන්ජා (කොරියානු උච්චාරණය: [ha(ː)nt͈ɕa]) යනු චීන අක්ෂර (චීන:漢字;පින්යින්:hànzì) සඳහා වන කොරියානු නාමයකි.[1] වඩාත් විශේෂිතව, එමගින් චීන බසින් උපුටාගෙන කොරියානු බසට ඇතුළත් කළ අක්ෂර එහි කොරියානු උච්චාරණය ඇතුළත් කොට ඇත. හන්ජා-මල් හෙවත් හන්ජා-ඉයෝ යන්න හන්ජා සමග ලිවිය හැකි වචන සඳහා ද, හන්මුන් (한문, 漢文) යන්න සම්භාව්‍ය චීන ලිවීම සඳහාත් භාවිත වුවද, "හන්ජා" සමහර අවස්ථාවන්හි මෙවන් වෙනත් අරමුණු සඳහා ද භාවිතා වේ. එයට හේතුව හන්ජා කිසිදින ප්‍රබල ප්‍රතිසංස්කරණයන්ට ලක්නොවීම නිසා එය බොහෝදුරට සම්ප්‍රදායික චීන සහ ක්යූජිටායි අක්ෂරවලට සමානත්වයක් දැක්වීමයි. නමුත් ඉතා සුළු හන්ජා අක්ෂර සංඛ්‍යාවක් නවීකරණයට ලක් වී හෝ කොරියානු දේශයට සීමා වී පවතී. නමුත් ජපානයේ සහ චීන මහාභූමියේ භාවිත වන සරල කරන ලද චීන අක්ෂර හන්ජා අක්ෂරවලට වඩා අඩු පහර සංඛ්‍යාවකින් යුක්ත ය.

කෙසේනමුත් දැන් හංගුල් ලෙස හැඳින්වෙන කොරියානු වාග්මාලාව, 1440 දශකයේ මහා සේජොං රජුගේ මූලිකත්වයෙන් විද්වතුන් පිරිසක් සම්පාදනය කළ නමුත්, එය පසුකාලීන 19වන සහ 20වන සියවසේ මුල්භාගය වන තෙක් පුළුල්ව භාවිතයට නොගැණිනි.[2] මෙලෙසින්, එම කාලය වනතෙක්ම කොරියානු සාහිතය තුළ කියවීම සහ ලිවීම සඳහා බහුලව භාවිත වූයේ හන්ජා බස වන අතර, බොහෝ කොරියානු ලියවිලි හන්ජා බසින් ලියැවී ඇත. අද පවා, පැරණි ලියවිලි (1990 දශකයට පෙර) හෝ මානව ශාස්ත්‍ර විද්වත් ලිපි කියවීමට නම් යමෙකුට චීන අක්ෂර පිළිබඳ හොඳ අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍ය ය. හන්ජා බස තරමක් හෝ ඉගෙනීම යමෙකුට චීන-කොරියානු වදන්වල නිරුක්තිය වටහාගැනීමට පහසුවක් වන අතර යමෙකුට සිය කොරියානු වාග්මාලාව පුළුල්කොට ගත හැක. ස්වදේශික කොරියානු වදන් ලිවීම සඳහා හන්ජා භාවිතා නොකෙරෙන අතර, ඒ සඳහා හංගුල් භාවිත වේ. එමෙන්ම චීන සම්භවයක් ඇති—හන්ජා-ඉයො (한자어, 漢字語)—පවා බොහෝවිට හංගුල් වර්ණමාලාව භාවිතයෙන් ලියනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

කොරියාවට චීන අක්ෂර හඳන්වා දීම වඩාත් පුළුල්ව ව්‍යාප්ත වූයේ බුදු දහම හඳුන්වාදීමත් සමගයි. කොරියානුවන්ට හන්ජා හඳුන්වා දුන් ප්‍රධාන චීන ග්‍රන්ථය ආගමික ග්‍රන්ථයක් නොවූ අතර එය චොන්ජාමුන් (අක්ෂර දහස සම්භාව්‍ය ග්‍රන්ථය) නම් විය.

කොරියානුවන්ට බොහෝ කොටස් නිසියාකාරව හැදෑරීම සඳහා සම්භාව්‍ය චීන ඉගෙනීමට සිදු විය. නමුත් ශබ්දානුසාරයෙන් කොරියානු භාෂාව පරිවර්තනයට සංවර්ධනය කෙරුණු සරල කරන ලද චීන අක්ෂර පද්ධති ද පැවතිණි. ඒවා හ්යංචල් (향찰; 鄕札), ගුග්යොල් (구결; 口訣), සහ ඉදු (이두; 吏讀) වන නම්වලින් හැඳින්වෙයි.

එම පද්ධති මගින් හන්ජා, කොරියානු බසට අනුවර්තනය කළ හැකි එක් ක්‍රමයක් වූයේ (ගුග්යොල් වැනි) ස්වචේශික කොරියානු ව්‍යාකරණ නිපාත සහ වෙනත් වචන ඒවායේ උච්චාරණය මත පමණක් සලකා නිරූපණය කිරීමයි. උදාහරණයක් ලෙස ගුග්යොල් වලින් 爲尼 යන අක්ෂර "does, සහ so" යන ඉංග්‍රීසි නිපාතවල අරුතැති කොරියානු වදනක් වන "hăni" යන්න නිරූපණය කරයි. කෙසේනමුත්, චීනවලින්, එම අක්ෂරම "wéi ní" ලෙස නිරූපණය කෙරෙයි. එහි අරුත "භික්ෂුණියක් වීම" යන්නයි. මෙය ගුග්යොල් වදන් සඳහා පොදු උදාහරණයක් වන අතර, මෙහි ධාතුව (爲) කොරියානු වලින් එහි අර්ථය (hă—"to do") සඳහා කියැවෙන අතර, උපසර්ගය 尼, ni (අරුත "භික්ෂුණිය") සඳහා ශබ්දානුකූලව යෙදේ.

15වන සියවසේ මහා සේජොං රජු විසින් හංගුල් හෝඩිය නිපදවා ප්‍රකාශයට පත්කරන තෙක්ම, කොරියාව තුළ ලිවීම සඳහා භාවිත වූ එකම අක්ෂරමාලාව වූයේ හන්ජා පමණකි. කෙසේනමුත්, හංගුල් භාවිතය ඇරඹීමෙන් පසුව ද, බොහෝ කොරියානු විද්වත්හු හන්මුන් බසින් ලිවීම අත්නොහළහ.

සැබවින්ම හංගුල් බස, හන්ජා ප්‍රතිස්ථාපනය කරමින් පුළුල්ව භාවිතයට පැමිණියේ 20වන සියවසේ දී යි. නිල වශයෙන්, 1949 ජූනි සිට උතුරු කොරියාවේ හන්ජා භාවිතයට ගැනීම නැවතිණි. (මීට අමතරව, අදවන විට සියලු අක්ෂර තිරස්ව ලියනු ලබන අතර, සිරස්ව ලියනු නොලැබේ) එසේම, චීන බසින් ඇතුළත් කරගත් බොහෝ වචන උතුරු කොරියාව තුළ, ස්වදේශික කොරියානු වචන මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. කෙසේනමුත්, චීන බසින් උපුටාගත් වචන විශාල සංඛ්‍යාවක් උතුරු කොරියාවේ (හංගුල් බසින් ලියැවුණ ද) භාවිතයේ ඇති අතර, මෑත උතුරු කොරියානු ශබ්දකෝෂ වැනි විශේෂ ග්‍රන්ථවල තවමත් හන්ජා භාවිත කරනු දැකිය හැක.[3] නමුත් දකුණු කොරියාව තුළ, කාලයත් සමග හන්ජා භාවිතය අඩුවෙමින් පැවතිය ද, ඇතැම් පාඨයන්හි හන්ජාහි ශේෂයන් පොදු භාවිතයෙහි පවතී.

අක්ෂර යෙදීම[සංස්කරණය]

සෑම හන්ජා ආකාරයක්ම ධාතු 214න් එකකින් සංයුක්ත වන අතර, බොහෝ අවස්ථාවලදී අමතර මූලධාතු එකක් හෝ වැඩි සංඛ්‍යාවකින් සමන්විත ය. බහුතරයක් හන්ජා ප්‍රභේදවල අමතර මූලධාතු (additional elements) භාවිත කෙරන්නේ අක්ෂරයේ ශබ්දය නිරූපණය කිරීමටයි. නමුත් සමහර හන්ජා ආකාර සුළු වශයෙන් රූපරේඛනය කොට ඇති අතර, ඇතැම් ප්‍රභේද වෙනස් ආකාරවලින් නිරූපිණය කොට ඇත.

ඉයුම්හුන්[සංස්කරණය]

අක්ෂරයක් අරුත වටහා ගැනීමට ආධාර වීම සඳහා, හෝ එම උච්චාරණයම සහිත වෙනත් අක්ෂරවලින් එය වෙන්කරගැනීමට වාචිකව විස්තර කිරීම සඳහා අක්ෂර ශබ්දකෝෂ සහ පාසල් පෙළපොත් තුළ සෑම අක්ෂරයක්ම එහි ශබ්දය සහ එහි අරුත හැඟවෙන වචනයක් සමග ඇතුළත් කොට ඇත. මෙම අක්ෂරයක ද්විත්ව අර්ථ-ශබ්ද කියැවීම ඉයුම්හුන් (음훈; 音訓; 音යන්න මගින් "ශබ්දය" + 訓 යන්න මගින් "අර්ථය," "ඉගෙනීම") ලෙස හඳුන්වයි.

අර්ථය හැඟවීම සඳහා යොදන වචනය හෝ වචන බොහෝ විට ස්වදේශික කොරියානු (උදා. චීන-නොවන) සම්භවයකින් යුක්ත වචන වන අතර, ඇතැම්විට ඒවා සාමාන්‍ය භාවිතයේ නොපවතින පුරාණ වචන ද විය හැක.

අධ්‍යාපනය[සංස්කරණය]

දකුණු කොරියාව තුළ[සංස්කරණය]

1971සිට, දකුණු කොරියානු ප්‍රාථමික පාසැල් හන්ජා ඉගැන්වීම ඇරඹූහ. මෙය සාමාන්‍ය කොරියානු-භාෂා විෂය මාලාවට අමතරව, වෙනම පාඨමාලාවක් ලෙස දකුණු කොරියානු උසස් පාසල් තුළ ඉගැන්වීම සිදු වේ. සාමාන්‍යයෙන් විධිමත් හන්ජා ඉගැන්වීම ඇරඹෙන්නේ 7වන ශේණියේ දී (කනිෂ්ඨ උසස් පාසල) ය. අනතුරුව එය ජ්‍යෙෂ්ඨ උසස් පාසලෙන් 12වන ශ්‍රේණිය තෙක් උගත යුතු වේ. මෙහි දී, හන්ජා 1,800 ඉගැන්වෙන අතර, ඉන් 900ක් කනිෂ්ඨ උසස් පාසලේ දී ද, 900ක් ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ දී (10වන ශ්‍රේණියෙන් ඇරඹෙන) ද ඉගැන් වේ.[4] පශ්චාත්-ද්විතීයික හන්ජා අධ්‍යාපනය ඇතැම් විපුල කලා විශ්වවිද්‍යාලවල ලබා දීම සිදු වේ.[5] 1972දී ප්‍රකාශයට පත් කළ අධ්‍යාපන අරමුණු සඳහා මූලික හන්ජා ඉගෙනීම, 2000 දෙසැම්බර් 31දී වෙනස් විය. එමගින් හන්ජා අක්ෂර 44ක් වෙනත් 44ක් මගින් ප්‍රතිස්ථාපනය කෙරිණි. මෙම අක්ෂර ඉවත් කිරීමේ තීරණය 2000 ප්‍රකාශනයට පෙර හා පසු නොයෙකුත් වාදවිවාදයන්ට හේතු විය.

2013දී දකුණු කොරියානු බලධාරීන්, ප්‍රාථමික සහ ද්විතීයික පාසල්වල හන්ජා පන්ති පැවැත්වීම දිරිගැන්වීම හේතුවෙන් නොයෙකුත් වාදවිවාද ඇති විය. නිලධාරීන් පැවසූයේ, චීන අක්ෂර ඉගෙනීමෙන් ශිෂ්‍යයන්ගේ කොරියානු-භාෂා ප්‍රවීණතාව වැඩිදියුණු වන බවයි. නමුත් විරෝධතාකරුවන් පැවසූයේ එම වැඩපිළිවෙල “පරණ-තාලේ සහ නුසුදුසු එකක්” බවයි.[6]

උතුරු කොරියාව තුළ[සංස්කරණය]

උතුරු කොරියාව නිදහසින් පසු හන්ජා සාමාන්‍ය භාවිතය අත්හැරිය ද,[7] ප්‍රාථමික සහ ද්විතීයික පාසල් තුළ ඉගැන්වුණු හන්ජා අක්ෂර ප්‍රමාණය දකුණු කොරියාවේ ඉගැන්වූ 1,800ට වඩා විශාල ය.[8] කිම් ඉල්-සුං මුලින් පවසා ඇත්තේ හන්ජා බස ක්‍රමානුකූලව භාවිතයෙන් ඉවත් කිරීමටයි.[9] නමුත් 1960 දශකය වන විට, ඔහු සිය මතය වෙනස් කර, 1966දී ප්‍රකාශ කොට ඇත්තේ "අප හැකි පමණින් චීන අක්ෂර ස්වල්පයක් භාවිත ඛල යුතු යි. ශිෂ්‍යයින්ට අත්‍යාවශ්‍ය චීන අක්ෂර ලියන ආකාරය පිළිබඳ ඉගැන්විය යුතුයි" යනුවෙනි.[10] එහි ප්‍රතිඵලයක් ලෙස, උතුරු කොරියානු පාසල්වල 5-9 ශ්‍රේණි දක්වා බාවිතයට චීන-අක්ෂර පෙළපොතක් නිර්මාණය කෙරුණු අතර, එමගින් අක්ෂර 1,500ක් ද, උසස් පාසල් සිසුන්ට තවත් අක්ෂර 500ක් ද ඉගැන්විණි.[11] කොලීජියන්හි ශිෂ්‍යයන්ට තවත් අක්ෂර 1,000ක් හඳුන්වා දීමෙන් සියලු අක්ෂර සංඛ්‍යාව 3,000ක් ලෙස පැවතිණි.[12]

භාවිත[සංස්කරණය]

බොහෝ වෙනස් හන්ජා අක්ෂර—සහ හන්ජා භාවිතයෙන් ලියූ බොහෝ වෙනස් වචනවල—බොහෝ විට සමාන ශබ්ද ඇතුළත් ය. වෙනස් අරුතැති හන්ජා වචන (හන්ජෙඕ) ඒවාට අනන්‍යව උච්චාරණය කෙරෙන්න්නේ ශබ්දවිද්‍යානුකූල හංගුල් වර්ණමාලාව අනුවයි. ඒ නිසා අනුරූප හංගුල් අක්ෂර වින්‍යාසයෙන් යුතු නොවූවත් අක්ෂර පැහැදිළි කරගැනීමට හංන්ජා භාෂාව භාවිතා වේ. එසේම හංගුල් අක්ෂර වින්‍යාසයට පසුව වරහන් තුළ යෙදීම ද සිදු වේ. හන්ජා නිතරම පුවත්පත් ශීර්ෂපාඨවල, දැන්වීම්වල, සහ සංඥාවල ලඝුලේඛන ලෙස භාවිත වේ. උදාහරණ ලෙස නැවක් ගිලීමෙන් මියගිය නාවිකයන්ගේ අවමංල්‍ය දැන්වීමක් සැලකිය හැක.[13]

මුද්‍රිත මාධ්‍ය[සංස්කරණය]

දකුණු කොරියාව තුළ, පුරාතන සාහිත්‍යය, නීතිමය ලියවිලි, සහ විද්වත් ලේඛන තුළ හන්ජා වඩාත් සුලබව, එහි අනුරූප හංගුල් අක්ෂර වින්‍යාසය රහිතව භාවිතා වේ. සාමාන්‍යයෙන් විශේෂිත හෝ ද්විත්ව අර්ථ සහිත වචන පමණක් හන්ජාවලින් මුද්‍රණය කෙරේ. ජනතා පොත් සහ සඟරාවල හන්ජා භාවිතය විරළ ය. ඒවායේ හංගුල් අර්ථය පැටලිලි සහගත ස්ථානවල පමණක් හන්ජා භාවිතා වේ. එසේම හන්ජා පුවත්පත් සිරස්තලවල කෙටියෙදුම් ලෙස හෝ ද්විත්ව අර්ථ හැඟවීම වැළැක්වීමට හන්ජා භාවිත වේ.[14] සාමාන්‍ය ප්‍රකාශනවල, පෞද්ගලික නම් යෙදෙන විට හංගුල් වචනයට පසුව වරහන් තුළ හන්ජා අක්ෂර දැක් වේ. සැසඳීමේ දී, උතුරු කොරියාව 1949 සිට ආයතනික ප්‍රකාශනවල පවා හන්ජා භාවිතය නැවැත්වූව ද, එය දැන්වන විට වෙනස් වී ඇත.[15] හන්ජා නිතරම දැන්වීම් සහ අලංකරණ අරමුණු සඳහා භාවිත වේ. එය බහුලව මලල ක්‍රීඩා කටයුතු සහ සංස්කෘතික පෙළපාලි, ශබ්ද කෝෂ සහ සිතියම්වල භාවිත වේ. උදාහරණයක් ලෙස, හන්ජා 辛 යන්න (sin හෝ shin, අරුත තිත්ත හෝ උණු යන්නයි) ප්‍රමුඛව ෂින් රුම්යුන් නූඩ්ල්ස් ඇසුරුම්වලදැකිය හැක.

ශබ්දකෝෂ[සංස්කරණය]

නූතන කොරියානු ශබ්දකෝෂවල, චීන-‍කොරියානු සම්භවයක් ඇති සියලු වචන හංගුල්වලින් මුද්‍රණය කොට හංගුල් අනුපිළිවෙලට දක්වා ඇති අතර, එම වචනයට පිටුපසින් වරහන් තුළ එහි හන්ජා අක්ෂර දක්වා ඇත.

මෙමගින් ද්විත්ව අර්ථ වැළකෙන අතර එය නිරුක්තිය ලඝු කොට දැක්වීමේ ක්‍රමයක් ද වේ. එසේම එහි හන්ජා අර්ථය සහ එම වචනය හන්ජාවලින් සංයුක්ත කොට තිබීම යන කරුණු මගින් එහි සම්භවය ද වටහාගත හැක.

සැඟවුණු අර්ථ පැහැදිළි කර ගැනීම සඳහා හන්ජා භාවිතා කිරීමට උදාහණයක් ලෙස හංගුල්වලින් 수도 (sudo) ලෙස ලියනු ලබන වචනයෙහි සමාන ශබ්ද ඇති වෙනස් වචන පහත පරිදි වේ:[16]

  1. 修道: අධ්‍යාත්මික විනය
  2. 囚徒: සිරකරු
  3. 水都: "ජල නගරය" (උදා. වැනිසිය හෝ සුෂොවු)
  4. 水稻: වී සහල්
  5. 水道: දියපහර, ගඟ, මතුපිට ජල මාර්ගය
  6. 隧道: උමග
  7. 首都: අගනුවර

හන්ජා ශබ්දකෝෂ (ජාජොන් (자전, 字典) හෝ ඔක්ප්යොන් (옥편, 玉篇)) සංවිධානය කෙරනේනේ ධාතු (අක්ෂර වර්ගීකරණය කිරීමේ සම්ප්‍රදායික චීන ක්‍රමයක්) අනුව ය.

පෞද්ගලික නම්[සංස්කරණය]

කොරියානු පෞද්ගලික නම් සාමාන්‍යයෙන් හන්ජා මත පදනම් වූවත්, මේ පිළිබඳ වාද ඇත. ව්‍යාපාර කාඩ්පත්වල හන්ජා භාවිතය කමයෙන් අභාවයට යමින් පවතී. එහි දී වඩාත් වියපත් පුද්ගලයින් සිය නම් හන්ජාවලින් ද, බොහෝ තරුණ පර්මපරාවේ පුද්ගලයින් සිය නම් හංගුල්වලින් ද දක්වා ඇත. කොරියානු පෞද්ගලික නාමයන් සාමාන්‍යයෙන් සමන්විත වන්නේ තනි අක්ෂරයකින් යුත් පවුල් නාමයක් (සොං, 성, 姓) සහ ඉන් අනතුරුව යෙදෙන අක්ෂර දෙකකින් යුත් දෙන ලද නාමයකින් (ඉර්‍යොම්, 이름) ය. අක්ෂර දෙකකින් යුත් පවුල් නාම (උදා. 남궁, 南宮, නම්ගුං) ඇත්තේ ඉතා ස්වල්පයක් වන අතර, එවැනි නම් දරන්නන් (ඔවුන් පමණක්ම නොවේ) තනි මාත්‍රාවේ දෙනලද නාමයන් සහිත තැනැත්තන් වේ. සම්ප්‍රදායිකව, දෙනලද නාමයේ එක් අක්ෂරයක් එම පුද්ගලයාට අනන්‍ය වන අතර, ඉතිරි අක්ෂරය එකම පවුලේ එකම ලිංගයේ සහ එකම පරම්මපරාවේ සියලු දෙනාටම පොදු විය. (බලන්න පර්මපරා නාමය) කොරියාව ජපන් පාලනය යටතේ පැවති කාලයේ (1910–1945), කොරියානුවන්ව හන්ජා බහු මාත්‍රා ඇතුළු ජපන්-ආරේ නම් වැළඳගැනීමට පොළඹවන ලදී. නමුත්, කොරියාවේ පශ්චාත්-නිදහස් සමයේ රජයයන් විසින් මෙම ක්‍රියාව නවත්වන ලදී. 1970 දශකයේ සිට, ඇතැම් දෙමව්පියන් සිය දරුවන්ට චීන පරම්පරා ආරට අනුකූල නොවූ සරල ස්වදේශික කොරියානු නම් යොදා ඇත. ඒවායින් ජනප්‍රිය නම් අතර, haneul—"අහස" අරුතැති—සහ iseul—"උදෑසන පින්න" යන අරුතැති වැනි නම් ප්‍රධාන වේ. එසේවුව ද, නිල ලේඛනවල ජනයාගේ නම් හංගුල් මෙන්ම හන්ජාවලින් ද වාර්තා තබන ලදී.

ස්ථාන නාම[සංස්කරණය]

ගෝර්යෝ සහ ජොසොන් යුගවල දී, ප්‍රමිතිකරණයට ගත් උත්සාහයන් නිසා, ස්වදේශික කොරියානු ස්ථාන නාම හන්ජාවලට පරිවර්තනය කෙරුණු අතර, අද භාවිතා වන බොහෝ නම් හන්ජා පාදක ඒවා ය. මෙම ක්‍රමයෙන් වූ වැදගත් අපගමනයක් ලෙස අගනුවර නාමය වූ සෝල් යන්න, හන්ජා සමග ඍජු සම්බන්ධයක් නැති "අගනුවර" අරුතැති ස්වදේශික කොරියානු වදනක් ඇසුරෙන් යොදා තිබීම දැක්විය හැක. හන්ජාවලින් ග්යොං (경, 京 "අගනුවර") යන්න ඇතැම්විට ආපසු පරිවර්තනයන්හි දී භාවිත වේ. උදාහරණ ලෙස දුම්රිය මාර්ග, අබාධ මාර්ග, සහ පළාත්වල මාත්‍රා දෙකේ නාමයන් නිතරම ගොඩනැගෙන්නේ එහි ස්ථානීය නාම දෙකෙන් එක් අක්ෂරය බැගින් උපුටාගැනීමෙනි; එලෙසින්,

  • ග්යොංබු (경부, 京釜) කොරිඩෝරය සෑදෙන්නේ සෝල් (ග්යොං, 京) සහ බුසන් (බු, 釜) යන වදන්වල සංයෝජනයෙනි;
  • ග්යොංගින් (경인, 京仁) කොරිඩෝරය සෑදෙන්නේ සෝල් සහ ඉන්චොන් (ඉන්, 仁) සංයෝජනයෙනි;
  • පැරණි ජොලා (전라, 全羅) පළාතට එහි නාමය ලැබී ඇත්තේ නගර නාමයන් වන ජොන්ජු (전주, 全州) සහ නාජු (나주, 羅州) ("නාජු" යන්න සැබවින්ම "රාජු" නම් වේ, නමුත් "r/l" යන ආරම්භක අක්ෂරයේ ශබ්දය දකුණු කොරියාවේ සරල කොට "n" ලෙස භාවිත වේ) යන වචනවල මුල් අක්ෂරවල එකතුවෙනි.

අදවන විට කොරියාවේ බොහෝ සිතියම් ප්‍රභේද දෙකක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ. ඉන් එකක් හංගුල් (ඇතැම්විට ඉංග්‍රීසි අක්ෂර ද සහිතව), සහ අනෙක හන්ජාවලින් ද මුද්‍රණය කෙරේ. අතුරුපාරවල් සහ දුම්රිය නැවතුම් සංඥාවල එම ස්ථාන නාමයන් හංගුල්, හන්ජා මෙන්ම ඉංග්‍රීසි බසින් ද නිරූපිත ය.

ජනප්‍රිය භාවිතය[සංස්කරණය]

මෙම කොරියානු යුද්ධ ප්‍රචාරක පත්‍රිකාව එක්සත් ජනපදය විසින් නිර්මාණය ‍කළේ මූලා මෙහෙයුමේ කොටසක් ලෙසයි. මෙහි හංගුල්-හන්ජා මිශ්‍ර අක්ෂර දක්නට ඇත.

දකුණු කොරියාව තුළ අදහස් සමීක්ෂණ මගින් ‍අතීතයේ භාවිත වූ පරිදි මිශ්‍ර අයුරින් හන්ජා භාවිතයට අදහස් පැනනැගිණි. හන්ජා වදන් කොරියානු භාෂාවේ ප්‍රධාන ලේඛන ක්‍රමය හංගුල් මගින් ද ප්‍රකාශ විය. 1980 දශකයේ සිට සාමාන්‍ය කොරියානු සාහිත්‍යය තුළ හන්ජා භාවිතය ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. එයට හේතුව එකල රජයේ නීති අනුව සාමාන්‍ය හන්ජා ඉගෙනීම පාසල්වල හත් වන වසර තෙක්ම ආරම්භ නොවීමයි. 1956දී, එක් අධ්‍යයනයක් මගින් පැවසුණේ මිශ්‍ර-අක්ෂර කොරියානු පාඨ (චීන-කොරියානු නම් හන්ජා මගින් ද, සෙසු වචන හංගුල්වලින් ද ලියැවුණු), මුළුමණින්ම හංගුල්වලින් ලියන ලද ලේඛනවලට වඩා කියවීම පහසු බවයි. කෙසේනමුත් 1977දී, එම තත්ත්වය ආපසු හැරිණි.[17] 1988දී, මිශ්‍ර-අක්ෂර ඡේද කියවන විට කොලීජි අධ්‍යාපනය නොලද ජනතා නියැදියකින් 80%ක්ම "වඩාත් බහුල හන්ජා අක්ෂර හැර සෙසු සරල පාඨයන් කියවා වටහාගැනීමට අපොහොසත් වූ බව" කියැ වේ.[18]

ගුක්ජා[සංස්කරණය]

ඉතා සුළු හන්ජා අක්ෂර සංඛ්‍යාවක් කොරියානුවන් විසින්ම නිර්මාණය කොට ඇත. මෙම අක්ෂර ගුක්ජා (국자, 國字, සාහිත්‍යමය "ජාතික අක්ෂර") නම් වේ. මේවායින් බොහෝමයක් සංඥා නාම (ස්ථාන නාම සහ පුද්ගල නාම) වේ. නමුත් ඇතැම් ඒවා කොරියාවට-විශේෂ මූලධර්ම සහ වස්තු හැඳින්වීමට ද භාවිත වේ. ඒ අතර 畓 (논 답; non dap; "කුඹුර"), 欌 (jang, "වස්ත්‍රකෝෂ්ඨය"), 乭 (Dol, දෙන ලද නම්වල පමණක් ඇතුළත් අක්ෂරයකි), 㸴 (So, සොංජුහි විරළ වාසගමකි), සහ 怾 (Gi, කුම්ගංසන් සඳහා පැරණි නාමයකි) වැනි අක්ෂර වේ.

සෙසු උදාහරණ ලෙස 媤 (시 si), 㕦/夻 (화 hwa), 巭 (부 bu), 頉 (탈 tal), 䭏 (편 pyeon), සහ 哛 (뿐 ppun), 椧 (명 myeong) යන අක්ෂර දැක්විය හැක.

මීට සමාන්තරව ජපානයේ වර්ධනය වූ කොකුජි (国字) භාෂා‍වේ ද එවැනි අක්ෂර සිය ගණනක් ඇති මුත් ඒවා බොහෝමයක් භාවිතා වන්නේ අල්ප වශයෙනි. මෙම අක්ෂර ස්වදේශික ජපන් ශාක සහ සතුන් සඳහා වර්ධනය විය.

යක්ජා[සංස්කරණය]

යක්ජා (약자, 略字) හි සරලකරණයකි.

ඇතැම් හන්ජා අක්ෂර සතුව පවතින සරලකරණය කරන ලද ස්වරූප (약자, 略字, යක්ජා) සාමාන්‍ය භාවිතයේ පවතී. උදාහරණයක් ලෙස යන්න 無 (අර්ථය "කිසිවක් නැත") යන්නෙහි වැල් අකුරුමය ස්වරූපයකි.

උච්චාරණය[සංස්කරණය]

සෑම හන්ජා අක්ෂරයක්ම තනි මාත්‍රාවක් ලෙස උච්චාරණය කෙරෙන අතර, එය හංගුල්හි තනි සංයුක්ත අක්ෂරයකට අනුරූප වේ. කොරියානු තුළ හන්ජා උච්චාරණය, ඒවා නූතන චීන, විශේෂයෙන්ම මැන්ඩරින් උච්චාරණයට සර්වසම නොවේ. ඇතැම් චීන උප භාෂා සහ කොරියානු භාෂාවේ ඇතැම් අක්ෂර සමාන අයුරින් උච්චාරණය කෙරේ. උදාහරණයක් ලෙස, 印刷 "මුද්‍රණය" යන්න මැන්ඩරින් චීන බසින් yìnshuā ලෙස ද, කොරියානු බසින් inswae (인쇄) ලෙස ද, ෂැංහයිනීස්වලින් (වු චීන උපභාෂාවකි) insue ලෙස ද උච්චාරණය කිරීම දැක්විය හැක. තවත් පැහැදිළි වෙනස්කමක් නම් කොරියානුවලින් තානය (tone) සම්පූර්ණයෙන්ම නැති වීමත්, බොහෝ චීන උපභාෂාවල එය පැවතීමත් ය. අනෙක් ලක්ෂණවලින්, හන්ජා උච්චාරණය බොහෝ උතුරු සහ මධ්‍යම චීන උපභාෂාවලට සමානත්වයක් දක්වයි.

මෙම භාෂාව ලබාගත් කාලයේ උච්චාරණයේ යම් විරුද්ධතාවන් පැවතිය ද, ඇතැම් අවස්ථාවන්හි හන්ජාහි උච්චාරණය සහ එයට අනුරූප හන්සි සැගකිය යුතු ලෙස වෙනස් වේ. උදාහරණ ලෙස, 女 ("කාන්තාව") යන්න මැන්ඩරීන් චීනවලින් සහ කොරියානුවලින් nyeo (녀) වේ. කෙසේනමුත්, බොහෝ නූතන කොරියානු උපභාෂාවල (විශේෂයෙන්ම දකුණු කොරියානු ඒවා), 女 යන්න ආරම්භක පිහිටුමක දී yeo (여) ලෙස උච්චාරණය කෙරෙන්නේ n ආරම්භකයට පසුව y හෝ i යෙදුණු විට පද්ධතිය අනුව ලොප්වීම හේතුවෙනි.

මීට අමතරව, ඇතැම්විට හන්ජාවලින් පැනනැගුණු වචන, කොරියානු උච්චාරණය හමුවේ තරමක් වෙනස් ලෙස උච්චාරණය කෙරේ. උදාහරණ ලෙස mogwa 모과 木瓜 "ඇඹුල් ගෙඩි විශේෂයක්", mokgwa 목과 ගෙන් ද, සහ moran 모란 牡丹 "Paeonia suffruticosa" යන්න mokdan 목단 ගෙන් ද පැනනැගීම දැක්විය හැක.

කොරියානු සහ කැන්ටනීස් උච්චාරණවල, ආරෝහණය සහ එලිසමය අතර කිසියම් අනුරූපතාවක් ඇත.[19]

හන්ජා ලිවීමට ඉගෙනීමේ දී, ශිෂ්‍යයන්හට හන්ජාහි අර්ථය සඳහා ස්වදේශික කොරියානු උච්චාරණය සහ චීන-කොරියානු උච්චාරණය මතක තබාගැනීමට උපදෙස් ලබා දේ. එමගින් ශිෂ්‍යයන්ට නිශ්චිත හන්ජා අක්ෂරයක් සඳහා නියමිත මාත්‍රාව සහ අර්ථය දැනගත හැක. උදාහරණ‍ ලෙස, හන්ජා 水 සඳහා නාමය වන 물 수 (මුල්-සු) යන්නෙහි 물 (මුල්) යන්න "ජලය" සඳහා ස්වදේශික කොරියානු උච්චාරණයක් වන අතර, 수 (සු) යන්න එම අක්ෂරයේ චීන-කොරියානු උච්චාරණය වේ. මෙම හන්ජා නම් කිරීම "ජලය" "ජලය-aqua", "අශ්වයා-equus", හෝ "රන්-aurum" වැනි සිංහල සහ ලතින් නම්වල මිශ්‍රණයක් බඳු ය. සෙසු උදාහරණ ලෙස 사람 인 (saram-in) යන්න 人 "පුද්ලයා/ජනයා" සඳහා, 큰 대 (keun-dae) යන්න 大 "විශාල/මහා" සඳහා, 작을 소 (jakeul-so) යන්න 小 "කුඩා" සඳහා, 아래 하 (arae-ha) යන්න 下 "පහළ/පහත/යට" සඳහාත්, 아비 부 (abi-bu) යන්න 父 "පියා", සහ 나라이름 한 (naraireum-han) යන්න 韓 "හන්/කොරියාව" සඳහා යෙදීම දැක්විය හැක.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. කොලුමාස්, ෆ්ලෝරියන් (1991). ද රයිටිං සිස්ටම්ස් ඔෆ් ද වර්ල්ඩ්. ඔක්ස්ෆර්ඩ්: වයිලී-බ්ලැක්වෙල්. p. 116. ISBN 978-0-631-18028-9.
  2. ෆිෂර්, ස්ටීවන් රොජර් (2004-04-04). අ හිස්ට්‍ර” ඔෆ් රයිටිං. ග්ලෝබලිටීස්. ලන්ඩන්: රීක්ටියන් බුක්ස්. pp. 189–194. ISBN 1-86189-101-6. සම්ප්‍රවේශය 2009-04-03.
  3. "නිව් කොරියන්-ඉංග්ලිෂ් ඩික්ෂනරි පබ්ලිෂ්ඩ්". කොරියානු මධ්‍යම පුවත් කාර්යාංශය. 2003-05-28.
  4. හැනාස් 1997: 71. "1976 අගෝස්තුවේ දී, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මූලික පාසල්වලින් චීන අක්ෂර ඉගැන්වීඹ ඉවත් කොට, කොරියානු භාෂාවේ කොටසක් ලෙස හෝ වෙනත් ස්වාධීන විෂයමාලාවන්ගේ කොටසක් ලෙස නොව අක්ෂර 1,800 විශේෂ පාඨමාලාවක් ලෙස ඉගැන්වීමට එකඟවීම පිළිබඳ නොයෙකුත් විචාර පවතී. මෙය වර්තමාන තත්ත්වන්ට අදාළ වේ"
  5. හැනාස් 1997: 68-69
  6. "හංගුල් ඇඩ්වොකේට්ස් ඔපෝස් හන්ජා ක්ලාසස්", ද කොරියා හෙරල්ඩ්, 2013-07-03.
  7. හැනාස් 1997: 67. "1946 අගකාලයේ සහ 1947 මුල්කාලයේ, ප්‍රධාන පුවත්පතක් වූ නොදොං සින්මුන්, ජන ප්‍රචාරණ සඟරාවක් වූ කුලොජා, සහ සමාන ප්‍රකාශන සියල්ල හංගුල් බසින් මුද්‍රණය විය. එම කාලයේම හෝ ඊට පෙර කාලයක පාසල් පෙළපොත් සහ සාහිත්‍”මය ලේඛන සියල්ල හංගුල් බසට පරිවර්තනය විය."
  8. හැනාස් 1997: 68. "උතුරු කොරියාව සිය ලේඛනවලින් චීන අක්ෂර ඉවත් කළ ද, එහි දකුණු කොරියාව හෝ ජපානයට වඩා අක්ෂර වැඩි සංඛ්‍යාවකින් යුතුව ඉගැන්වූ අධ්‍යාපන වැඩසටහනක් ක්‍රියාත්මක විය. එය පහත වගුව 2හි පරිදි වේ."
  9. හැනාස් 1997: 67. "කෝ යොං-කුන් අනුව, 1949 පෙබරවාරි දක්වා අතීතයේ චීන අක්ෂර බොහෝ DPRK ප්‍රකාශනවලින් ඉවත් කළ සමයේ මෙන්, කිම් හන්ජාහි ක්‍රමානුකූල ඉවත් කිරීමක් සඳහා පක්ෂ වූ බවයි (1989:25)."
  10. හැනාස් 1997: 67
  11. හැනාස් 1997: 67. "1968 සහ 1969 අතර කාලයේ, වෙළුම් සතරකින් යුත් පෙළපොතක් 5වන ශ්‍රේණියේ සිට 9වන ශ්‍රේණිය දක්වා සකස් කෙරුණු අතර, එමගින් අක්ෂර 1,500ක් ඉගැන්විණි. මෙය සාමාන්‍ය ශිෂ්‍ය සංහතිය වෙත නව නීතිය ඇතුළත් කිරීමේ ආරම්භයක් ලෙස සැලකිය හැක. ටවනත් අක්ෂර පන්සියයක් 10වන සිට 12වන ශ්‍රේණි දක්වා ඇතුළත් කොට ඇත. (යි යුන්-ප්'යෝ 1989: 372)."
  12. හැනාස් 2003: 188-189
  13. යැං, ලිනා (2010-04-29). "එස්. කොරියා බර්ඩ්ස් බිඩ්ස් ෆෙයාවෙල් ටු වෝර්ෂිප් වික්ටිම්ස්". ෂින්හුවා.
  14. බ්‍රවුන් 1990: 120
  15. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; හැනාස් 1997: 67 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  16. (කොරියානු) නේවර් හන්ජා ශබ්ද කෝෂය sudo විමසුම සඳහා
  17. ටේලර් ඇන්ඩ් ටේලර් 1983: 90
  18. Brown 1990: 119
  19. පැට්‍රික් චුන් කෝ චු. (2008). ඔන්සෙට්, රයිම් ඇන්ඩ් කෝඩා කරෙස්පොන්ඩිං රූල්ස් ඔෆ් ද සයිනො-කොරියන් කැරැක්ටර්ස් බිට්වීන් කැන්ටනීස් ඇන්ඩ් කොරියන් සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine. වාග්විද්‍යාව පිළිබඳ 5වන පශ්චාත් උපාධි පර්යේෂණ ෆෝර‍මයේ දී (PRFL) ඉදිරිපත් කළ පත්‍රය, හොං කොං, චීනය, මාර්තු 15–16.

ප්‍රභව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හන්ජා&oldid=604702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි