කොරියානු කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්‍රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.

හැඳින්වීම[සංස්කරණය]

කොරියානු කලාවේ ආදිතම ස්වරූපයන් ක්‍රි.පූ. 3000ට පමණ අයත් ශිලා යුගයේ කෘති තුළින් හඳුනාගත හැක. මේවා ප්‍රධාන වශයෙන්ම පූජා විධි සඳහා යොදාගත් ප්‍රතිමා සහ ශිලා කැටයම්වලින් සමන්විත වේ. මින් ශිලා කැටයම් වඩාත් මෑතක දී අනාවරණය කරගන්නා ලදී.

මෙම මුල්කාලීන යුගයෙන් පසුව විවිධ කොරියානු රාජධානි සහ රාජවංශවල කලා ශෛලීන් දක්නට ලැබිණි. කොරියානු කලා ශිල්පීන් ඇතැම් අවස්ථාවල සරල අලංකාරත්වය, නිරායාසය සහ ස්වභාවධර්මයේ පවිත්‍රත්වය අගය කරමින් චීන සම්ප්‍රදායයන් වැඩිදියුණු කොට ඇත.

ගොර්යෝ රාජවංශ සමය (918–1392) පුළුල් පරාසයක පැතිරි-විශේෂයෙන්ම කුඹල් කර්මාන්තයෙහි-ශිල්පීන්ගේ දක්ෂතාවන්ගෙන් හැඩවූ කලාවේ විශිෂ්ට අවධියක් ලෙස සැලකිය හැක.

කොරියානු කලා වෙළඳපොල ඉන්සාදොං දිස්ත්‍රික්කයේ සෝල්හි කේන්ද්‍රගතව ඇත. මෙහි 50කට අධික කුඩා ගැලරි ප්‍රදර්ශනයට විවෘත කොට ඇති අතර, ඇතැම් අවස්ථාවල ලලිත කලා වෙන්දේසි ද පවත්වනු ලැබේ. ගැලරි සහයෝගීත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. සෑම නගරයකම, කුඩා ප්‍රාදේශික කලාගාර දක්නට ලැබෙන අතර, ඒවායේ සම්ප්‍රදායික සහ අද්‍යතන කලා ශෛලීන් අනුව නිමකළ ප්‍රදේශයේ ශිල්පීන්ගේ කෘති දක්නට ලැබේ. කලාගාරවල සාමාන්‍යයෙන් මාධ්‍ය සම්මිශ්‍රණයක් දැකගත හැක. බටහිර සංකල්ප සහිත කලාවන් පෙරබිම කෙරෙහි සංයෝජනය කිරීමට දැරූ උත්සාහයන් කොරියාවෙන් පිටත නිව් යෝක්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලන්ඩන් සහ පැරිස් වැනි ප්‍රදේශවල අතිශයින් සාර්ථකත්වයට පත්ව තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

විශේෂඥයින් විසින් කොරියාවේ ඊ‍ටම අනන්‍ය කලා සංස්කෘතිය හඳුනා ගැනීමට සහ වර්ගීකරණයට උත්සාහ දරා ඇත්තේ එය චීන සංස්කෘතිය ප්‍රවර්ධනය කරන නිසා පමණක් නොව ඊටම අනන්‍ය කලාවක් ද නිර්මාණය කරන බැවිනි. "ජාතියක් විසින් උපත දී පෝෂණය කරන ලද කලාවක් එයට අනන්‍ය වූ කලාවකි".[1]

නියෝලිතික යුගය[සංස්කරණය]

කොරියානු අර්ධද්වීපයේ මානව ජනාවාසකරණය සිදුවූයේ ක්‍රි.පූ. 50,000දී වත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[2][3] ක්‍රි.පූ. 7,000ට පමණ දින නිර්ණිත මැටි බඳුන් හමුවී ඇත. මෙම බඳුන් මැටියෙන් තනා සෙල්සියස් අංශක 700පමණ උෂ්ණත්වයට විවෘත හෝ අර්ධ විවෘත ආවාටමය උඳුන් තුළ පුළුස්සන්නට ඇත.[4]

ක්‍රි.පූ. 7,000ට පමණ දින නිර්ණිත ආදිතම මැටි බඳුන් ශෛලිය පැතලි පත්ළක් සහිත බඳුන් (යුංගි-මුන්) වූ අතර, ඒවා උන්නත මෝස්තර, තිරස් රේඛා සහ තවත් මෝස්තරවලින් අලංකාර කොට ඇත.[5]

ජ්‍යුල්මුන්-වර්ගයේ මැටි බඳුන් සාමාන්‍යයෙන් කේතු හැඩැති පත්ළක් සහිත, පනා-හැඩැති මෝස්තර සූරා ඇති ක්‍රි.පූ. 6,000 පමණ අයත් යැයි සැලකෙන ඒවා වේ. මෙම ආකාරයේ මැටි බඳුන් සයිබීරියානු ශෛලීන්ට සමානත්වයක් දක්වයි.[5]

මුමුන්-වර්ගයේ මැටි ක්‍රි.පූ. 2000 පමණ කාලයේ දක්නට ලැබෙන අතර, ඒවා විශාල විසිතුරු නොකළ මැටි බඳුන් වේ. මේවා ආහාර පිසීමේ සහ ගබඩා කිරීමේ කටයුතු සඳහා භාවිතා වන්නට ඇත.

ලෝකඩ යුගය[සංස්කරණය]

ක්‍රි.පූ. 2000 සහ ක්‍රි.පූ. 300 අතර කාලයේ ලෝකඩ භාණ්ඩ කොරියාව වෙත ආනයනය කිරීම සහ නිර්මාණය කිරීම සිදු විය. ක්‍රි.පූ. හත්වන සියවස වන විට, කොරියාව තුළ ස්වදේශික ‍ලෝකඩ සංස්කෘතියක් බිහිවූ අතර,කොරියානු ලෝකඩ භාණ්ඩ සතුව ඉහළ සින්ක් ප්‍රතිශතයක් පැවතීමෙන් මේ බව පැහැදිළි වේ.[4] මෙකල නිර්මාණය වූ භාණ්ඩ අසිපත්, සිරි සහ හෙලි තුඩු වැනි ආයුධ විය. මීට අමතරව දර්පණ, සීනු සහ ගිගිරි වැනි චාරිත්‍ර භාණ්ඩ ද නිමැවිණි. මෙම භාණ්ඩ සංස්කෘතියේ වංශවතුන්ගේ ශිලා සුසාන තුළ භූමදාන කෙරිණි. මීට අමතරව, යකඩවලින් පොහොසත් රතු මැටි බඳුන් ක්‍රි.පූ. 6වන සියවස අවට නිර්මාණය වීම ඇරඹිණි. කොකොක් යනුවෙන් හැඳින්වෙන නෙෆ්රයිට්වලින් නිර්මාණය කළ කොමා-හැඩැති පබළු ද මෙම ශිලා සුසාන තුළින දක්නට ලැබේ. ඇතැම්විට මෙම කොකොක් වලස් නිය නිරූපණය කිරීමට නිමවන්නට ඇත. මෙහි සත්ත්වයින් නිරූපිත ශිලා සිතුවම් තුළ ද, සයිබීරියානු ආභාසය දැකගත හැකි අතර, ඒවායේ සයිබීරියානු කලාවේ X-කිරණ ශෛලියේ ජීවමාන රේඛා දැකගත හැක.[5]

යකඩ යුගය[සංස්කරණය]

කොරියාවේ යකඩ යුගය ක්‍රි.පූ. 300 අවට කාලයේ ආරම්භ විය. කොරියානු යකඩවලට චීන ආඥාභූමි සහ ජපානය තුළ ඉහළ වටිනාකමක් හිමි විය. මෙකල සකපෝරුව සහ කඳු ආකාර උඳුන් තාක්ෂණය හඳුන්වාදීමත් සමග කොරියානු කුඹල් කර්මාන්තය දියුණු විය.

තුන් රාජධානි[සංස්කරණය]

මෙම යුගයට ක්‍රි.පූ. 57 සිට ක්‍රි.ව. 668 දක්වා වූ කාලසීමාව ඇතුළත් ය. මෙකල ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා යන කොරියානු රාජධානි ත්‍රිත්වය අර්ධද්වීපයේ පාලනය මෙහෙයවී ය.

ගොගුර්යෝ[සංස්කරණය]

ක්‍රි.ව. 372දී ගොගුර්යෝවට පළමුව බුදු දහම හඳුන්වා දෙන ලද්දේ එහි භූමිය මැංචූරියාවෙන් වැඩි කොටසක් තෙක් හා කොරියාවේ උතුරු අර්ධය පුරා විහිදීමත් සහ උතුරු වෙයි වැනි උතුරු චීන රාජධානිවලට සමීපව පිහිටීමත් නිසායි. බුදු දහමේ ආභාසය හේතුවෙන් ගොගුර්යෝ රජවරු බුදුන් වහන්සේ වෙනුවෙන් පුදකළ කලා නිර්මාණ සහ ගෘහ නිර්මාණ ඉදිකරන්නට පෙළඹුණහ. ගොගුර්යෝ කලාවේ වැදගත් ලක්ෂණයක් ලෙස සොහොන්ගැබ් බිතු සිතුවම් හඳුනාගත හැක. මෙම සිතුවම් මගින් පුරාතන රාජධානියේ එදිනෙදා දිවිය සහ සංස්කෘතික අංග නිරූපණය කරයි. යුනෙස්කෝව විසින් ගොගුර්යෝ සොහොන් සංකීර්ණය ලෝක උරුම අඩවියක් ලෙස නම්කරන ලදී. ගොගුර්යෝ කලාව ජපානය ඇතුළු නැගෙනහිර ආසියානු කලාව හැඩගැස්වීමට දායක විය. මෙයට උදාහරණ ලෙස ගොගුර්යෝ ආභාසය ලත් ජපානයේ හොර්යු-ජි විහාරයේ බිතු සිතුවම් හඳුනාගත හැක. බිතු සිතුවම් කලාව සෙසු රාජධානි දෙක වෙත ද ව්‍යාප්ත විය. බිතු සිතුවම් මගින් බෞද්ධ තේමා නිරූපණය කෙරුණු අතර, රාජධානියේ ගෘහනිර්මාණය සහ වස්ත්‍ර වැනි අංශ පිළිබඳ වටිනා තොරතුරු රැසක් එමගින් සපයයි. මෙම බිතු සිතුවම් කොරියානු භූමි දර්ශන සිතුවම් කලාවේ සහ ආලේඛ සිතුවම් කලාවේ ආරම්භය යැයි සැලකිය හැක. කෙසේනමුත්, මෙම සොහොන්ගැබ් තුළ වූ වටිනා වස්තූන් වෙත පහසුවෙන් ළඟා විය හැකිවූ හෙයින්, ඒවා සොරුන් විසින් පැහැරගෙන ඇත. මේ නිසා සොහොන්ගැබ් තුළ හමුවන්නේ සුළු භෞතික පුරාවස්තු සංඛ්‍යාවකි.

බෙක්ජේ[සංස්කරණය]

බෙක්ජේ (හෙවත් පෙක්චේ) රාජධානිය තුන් රාජධානි අතුරින් විශිෂ්ටතම කලාවක් පැවති රාජධානිය ලෙස සැලකේ. නිරිතදිග කොරියාවේ පිහිටි රාජධානියක් වූ බෙක්ජේ ලියෑං රාජවංශය වැනි දකුණු චීන රාජවංශවල ආභාසය ලැබී ය. මෙකල ජපානයේ කලාව කෙරෙහි කොරියානු ආභාසය හඳදීමට වැදගත් වූ ප්‍රධාන රාධානිය්ක ලෙස බෙක්ජේ සැලකේ.[6]

බෙක්ජේ බෞද්ධ ප්‍රතිමාවලට ලාක්ෂණික වූ ස්වාභාවිකත්වය, උද්‍යෝගීභාවය සහ ලාලිත්‍යවත්භාවය අනන්‍ය කොරියානු‍ ශෛලියක් නිරූපණය කරයි.[7] කොරියානු ආභාසයට අනන්‍ය වූ තවත් ලක්ෂණයක් ලෙස සුවිශේෂී "බෙක්ජේ සිනහව" දැක්විය හැක. බොහෝ බෙක්ජේ ප්‍රතිමාවල මෙම ගුප්ත සිනහව දක්නට ලැබෙයි.[8] දැවමය ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ නොනැසී පවතින උධාහරණ දැකගත නොහැකි වුවත්, මිර්යුක්සා භූමියෙහි විනාශ වූ විහාරයක අත්තිවාරම් පාෂාණ දැකගත හැකි අතර, බෙක්ජේ ගෘහනිර්මාණය පැවති ආකාරය පිළිඹිබු කෙරෙන ග්‍රැනයිට් ස්තූප දෙකක් නිරුපද්‍රිතව පවතී. බෙක්ජේ ගෘහනිර්මාණ ශිල්පයේ ආභාසය ලත් තවත් ගොඩනැගිල්ලක් ලෙස ජපානයේ හොර්යු-ජි විහාරය සැලකිය හැක්කේ, එහි මුල් විහාරය ඉදි කිරීමට බෙක්ජේ වාස්තු විද්‍යාඥයින් සහ කලා ශිල්පීන් උපකාරී වූ නිසායි.

මුර්යොං රජුගේ සොහොන්ගැබෙහි නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්නොවූ පුරාවස්තු සහිත වස්තු සම්භාරයක් අන්තර්ගත විය. මෙම පුරාවස්තු අතර ගිනි සිළුවල හැඩය ගත් රත්රන් හිස පළඳනා, රන් ආලේපිත ලෝකඩ පාවහන්, රත්රන් බඳපටිය (රාජකීයත්වයේ සංකේතයකි) සහ මකර හා ෆීනික්ස් රූ ඇතුළත් රත්රන් මිටක් සහිත අසිපත් ද විය.[9]

සිල්ලාව[සංස්කරණය]

අර්ධද්වීපයේ අග්නිදිග ප්‍රදේශයේ පිහිටි බැවින් සිල්ලා රාජධානිය කොරියානු අර්ධද්වීපයේ වූ වඩාත් හුදකලාම රාජධානිය විය. රාජධානි ත්‍රිත්වය අතුරින් බුදු දහම සහ විදේශ සංස්කෘතික ආභාසයන් අවසානයට ළඟා වූයේ මෙම රාජ්‍යය වෙත ය.

සිල්ලාවෙන් හමුවූ රත්රන් කර්ණාභරණ යුගලක්; ක්‍රි.ව. 5වන සියවස, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

සිල්ලා රාජධානියේ සොහොන්ගැබ් තනා ඇත්තේ ඒවාට ප්‍රවේශ වීම ඉතාමත් අපහසු වන අයුරිනි. මේ නිමා මෙම රාජධානියට අයත් කොරියානු කලා නිර්මාණ බොහෝමයක් හමුවේ. සිල්ලා කලා ශිල්පීන් ඔවුන්ගේ රත්රන් කාර්මිකත්වය හේතුවෙන් ප්‍රචලිත වූ අතර ඒවා එට්‍රස්කන් සහ ග්‍රීක තාක්ෂණ ක්‍රමවේදවලට සමානත්වයක් දක්වයි. මේවාට උදාහරණ වශයෙන් සිල්ලාවේ රත්රන් කර්ණාභරණ සහ කිරුළු දැක්විය හැක.[4] රාජකීය සොහොන්ගැබ්වලින් හමුවූ සිල්ලා රත්රන් පුරාවස්තු යුරෝපීය තාක්ෂණයට සමානත්වයක් දක්වන නිසාත්, ඒවායේ වීදුරු සහ පබළුවල නිල් ඇස් සහිත මිනිස් රූ දැකගත හැකි නිසාත් බොහෝ දෙනකු විශ්වාස කරන්නේ සේද මාවත කොරියාව වෙත දිවෙන්නට ඇති බවයි. සිල්ලාවෙන් හමුවූ වැදගත් පුරාවස්තුවක් වන පිරිසිදු රනින් නිමකළ, වෘක්ෂ සහ අං හැඩැති නෙරුම් සහිත කිරුළු මගින් සිතියානු-සයිබීරියානු සහ කොරියානු ෂාමන්වාදී සම්ප්‍රදායක සංකලනයක් නිරූපණය වේ යැයි යෝජනා වී ඇත.[10]

ගයා[සංස්කරණය]

ගයා සංයුක්තය යනු මධ්‍යගත රාජධානියක් ලෙස සංවිධානය නොවූ නගර-රාජ්‍ය සමූහයක එකතුවකි. මෙහි ද හමුවන වෘක්ෂාකාර නෙරුම් සහිත කිරුළු වැනි පුරාවස්තු සිල්ලා සහ බේකජේ සම්ප්‍රදායයන්ට නෑකම් කියයි. ගයා ගොඩැලිවලින් අනාවරණය කර ගැනුණු බොහෝ පුරාවස්තු අශ්වයන්ට අයත් පාපටි, සෑදල සහ අශ්ව සන්නාහ ආදිය වේ. මින් පෙර සෑම යුගයකටම වඩා යකඩ කර්මාන්තය මෙහි බහුලව පැවතිණි.

උතුරු-දකුණු රාජ්‍ය[සංස්කරණය]

ක්‍රි.ව. 8වන සියවසට අයත් රන් ආලේපිත ලෝකඩ බුද්ධ ප්‍රතිමාවක්, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

උතුරු දකුණු රාජ්‍ය යුගය (ක්‍රි.ව. 698–926) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ දකුණුදිග සහ උතුරුදිග කොටස්වල පිළිවෙලින් සිල්ලා සහ බල්හේ රාජ්‍ය ද්විත්වය පැවති කොරියානු ඉතිහාසයේ යුගයයි.

එක්සත් සිල්ලා[සංස්කරණය]

එක්සත් සිල්ලාව යනු කොරියානු කලාව-විශේෂයෙන්ම බෞද්ධ කලාව-උච්චත්වයට පත් යුගයකි. මෙකල බිහිවූ බෞද්ධ කලා නිර්මාණ ලෙස සොක්ගුරාම් ලෙන සහ බුල්ගුක්සා විහාරය හැඳින්විය හැක. සිල්ලා පෙදරේරුවම සහ කලා කෞශල්‍යය නිරූපණය කෙරෙන උදාහරණ දෙකක් ලෙස දොක්ගතප් සහ දබෝතප් යන ස්තූප දෙක සැලකේ. කලා ශිල්පීන් විසින් දැවැන්ත විහාර ඝණ්ටාර, කරඬු සහ කුඩා ප්‍රතිමා නිමවා තිබේ. එක්සත් සිල්ලාවේ අගනුවර "රත්රන් නගරය" ලෙස ප්‍රචලිත වූයේ එහි බොහෝ කලා නිර්මාණ සඳහා රත්රන් භාවිතා කළ හෙයිනි.

බල්හේ[සංස්කරණය]

උතුරු රාජධානියක් වන බල්හේ කලාවේ ඇති සංයුක්ත ස්වභාවය බල්හේ කුමරියන් දෙදෙනකුගේ සොහොන්ගැබ් තුළින් හඳුනාගත හැක. රාජධානියේ තෙවන රජු වූ මුන් රජුගේ (ක්‍රි.ව. 737-793) දියණියක වූ ජොංහ්යෝ කුමරියගේ සොහොන්ගැබෙන් හමුවූ බිතු සිතුවම්වල වංශවතුන්, සෙබළුන්, සංගීතඥයින් සහ සේවිකාවන්ගේ රූප සිතුවම් කොට ඇත. සිතුවම්වල බල්හේ ජනයා පරිපූර්ණ අයුරින් සිතුවමට නගා තිබේ.

ගොර්යෝ රාජවංශය[සංස්කරණය]

ගොර්යෝ රාජවංශය පැවතියේ ක්‍රි.ව. 918 සිට 1392 දක්වා වූ කාලයේ ය. ගොර්යෝ කලා ශිල්පීනගේ වඩාත් ප්‍රචලිතම නිර්මාණය වූයේ කොරියානු සෙලඩන් මැටි බඳුන් ය. මේවා ක්‍රි.ව. 1050 සිට 1250 දක්වා කාලයේ නිමැවිණි. සෙලඩන් සම්භවය වූයේ චීනයේ වුව ද, කොරියානු කුඹල් ශිල්පීන් විසින් තමන්ටම ආවේණික ශෛලියක් ගොඩනගා ගෙන තිබූ හෙයින් ඒවාට ඉහළ වටිනාකමක් හිමි විය. වරක් චීන වැසියන් එය සලකා ඇත්තේ "දෙව්ලොව යටතේ පළමු දෙය" සහ "ලෝකයේ හොඳම දෑ දොළහෙන්" එකක් ලෙසයි.

10වන සියවසට අයත් ගොර්යෝ ලෝකඩ මකර හිස සහිත ඝණ්ටාරයක්, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

කොරියානු සෙලඩන් සතුව ඊටම අනන්‍ය ඔපයක් තිබූ අතර එය "පිළිහුඩු" වර්ණය ලෙස හඳුන්වයි. යකඩ පාදක කරගත් නිල්-කොළ පැහැ ඔපයක් වන මෙය උඳුනේ දී ඔක්සිජන් ඔක්සිහරණය කිරීමෙන් තනා ගැනේ. කොරියානු සෙලඩන් බඳුන් ජීවී රූ රැගත් අතර, මත්ස්‍යයින්, කොමඩු, සහ වෙනත් සතුන්ගේ හැඩය ගත් ගලායන ස්වරූපයේ නිර්මාණ ඒ අතර වේ. කොරියානුවන විසින් සංගම් නැමැති ගිල්ලවීමේ ක්‍රමයක් ද සොයාගත් අතර, එහි දී කුඹල්කරුවන් විසින් අර්ධ වශයෙන් වියළන ලද මැටි බඳුන්වල මෝස්තර සාරන ලද අතර, කළු හෝ සුදු පැහැ මැටි තැන්පත් කිරීම සිදු විය.

ජොසොන් රාජවංශය[සංස්කරණය]

මෙම යුගයේ දී කොන්ෆියුසියානුවාදයේ බලපෑම බුදු දහම අභිබවා යන්නට විය. කෙසේනමුත්, බෞද්ධ අංග ද නොනැසී පැවතුණු හෙයින් මෙකල බෞද්ධ කලාව පරිහානියට පත්වූයේ යැයි පැවසීම අසත්‍යයකි. බෞද්ධ කලාව ද පැවති අතර, එයට රාජකීය අනුග්‍රහය හිමි නොවූව ද, පෞද්ගලික නිවහන් සහ ජොසොන් රජවරුන්ගේ ග්‍රීෂ්ම මාලිග තුළ පවා බෞද්ධ කලාවේ ඇති චාම්භාවයට ඉහළ පිළිගැනීමක් හිමි විය.

ජොසොන් රාජවංශය යුධ ආක්‍රමණ මත ගොඩනැගුණක් වුව ද, ගොර්යෝ කලාවන් මෙකල පරිණාමයට පත්වීමට බාධාවක් නොවිණි. එසේම බෞද්ධ සංකේත (උණබට, ඕකිඩ්, ප්ලම් සහ කපුරු; සමාන වාසනාවන්ත සංකේත) සිතුවම් සඳහා දිතටම භාවිතා විය. වර්ණ හෝ ස්වරූපයන් කිසිවක් සැබැවින්‍ වෙනස් නොවූ අතර, පාලකයින් කලාවට බාධාවක් දැක්වූයේ ද නැත. මුල්කාලීන රාජවංශික කෘති තුළ මිං ආභාසය සහ ආනයනිත ශිල්ප ක්‍රම දැකගත හැක.

මැදි-රාජවංශික සිතුවම් සම්ප්‍රදායයන් තාත්විකත්වය දෙසට යොමු විය. "සැබෑ දැක්ම" නම්වූ ජාතික භූමි දර්ශන සිතුවම් සම්ප්‍රදායයක් ආරම්භ විය. මෙය සම්ප්‍රදායික චීන ආර ආශ්‍රිතව බිහි වූවකි. ඡායාරූපීය නොවුණ ද, මෙම සම්ප්‍රදාය ශාස්ත්‍රාල තුළ ස්ථාවර වීමට තරම් ප්‍රමාණවත් වූ හෙයින්, කොරියානු චිත්‍ර කලාවේ සම්මත ශෛලියක් ලෙස අනුගමනය කෙරිණි.

මැදි සිට පසුකාලීන-ජොසොන් රාජවංශ සමය දක්වා වූ කාලය කොරියානු චිත්‍ර කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. මෙය චීනයේ මිං රාජවංශයේ බිඳ වැටීමත්, මැංචු අධිරාජවරුන්ගේ අනුප්‍රාප්තියත් හා සමකාලීන වේ. ‍මේ නිසා කොරියානු සිත්තරුන්හට ජාතිකවාදය සහ සුදුසු කොරියානු තේමාවන් අනුසාරයෙන් නව කලා සම්ප්‍රදායයක් ගොඩනැගීමට සිදු විය. මෙකල චීන පූර්ව-අගනා ආභාසය ලැබීම වැළැක්වූ හෙයින් කොරියානු කලාව තමන්ගේම ශෛලියක් අනුව යමින් වෙනස්ම මුහුණුවරක් ගන්නට විය.

වෙනත් දෘශ්‍ය කලා[සංස්කරණය]

කොරියානු කලාව එකල පැවති ප්‍රධාන ආගම්වල සංක්‍රාන්ති ලක්ෂණවලින් සමන්විත විය. මුල්කාලීන කොරියානු ෂාමන්වාදී කලාව, අනතුරුව කොරියානු බෞද්ධ කලාව සහ කොරියානු කොන්ෆියුසියානු කලාව ඔස්සේ 20වන සියවසේ නොයෙකුත් බටහිර කලා සම්ප්‍රදායයන් වෙත ගමන් කරන්නට විය.

ලෝහ, ජේඩ්, උණබට සහ පේෂකර්මවලින් යුත් නිර්මාණ සඳහා සීමිත පුනර්ජීවනයක් හිමිව තිබිණි. දකුණු කොරියානු රජය විසින් සම්මාන පිරිනැමීම සහ විරළ කොරියානු කලා සම්ප්‍රදායයන්හි නිරත කොරියානු සිසුන්හට ශිෂ්‍යත්ව ප්‍රදානය මගින් සංස්කෘතික අඛණ්ඩත්වය පවත්වා ගැනීමට උත්සාහ දරනු ලබයි.

චාරුලේඛන කලාව සහ මුද්‍රණ ශිල්පය[සංස්කරණය]

ශීත කාලගුණ සමයේ සිතුවම - කිම් ජොං-හුයි විසිනි.

කොරියානු චාරුලේඛන කලාව කලාවක් ලෙස පෙනෙනුයේ සිත්තම්කරණයට යොදාගන්නා තේමාව ඔප් නැංවෙන පරිදි කලාකරුවාගේ පෞරුෂත්වය බුරුසු පහර සමග මුසුකළ විටයි. මෙය කොරියානු කොන්ෆියුසියානු කලාවේ උච්චස්ථානයක් ලෙස සැලකේ.

කොරියානු රෙදිපිළි කලාව සතුව දිගු ඉතිහාසයක් පවතී. මෙයට වස්ත්‍ර සහ තිර නිර්මාණයේ දී භාවිතා වන කොරියානු ගෙත්තම් කලාව ද ඇතුළත් වේ. කොරියානු ගැට චෝයි ඉයුන්-සුන්ගේ කෘති තුළ මෙන්ම වස්ත්‍ර හා බිත්ති සැරසිලි සඳහා ද භාවිතා කොට ඇත. විරළ කලාවන් යටතට අල්ප තොරතුරු ප්‍රමාණයක් දන්නා විවීමේ තාක්ෂණ ක්‍රම ද ඇතුළත් ය. කොරියානු බුමුතුරුණු හෝ පලසවල් සඳහා භාවිතා වූ සැබෑ සම්ප්‍රදායයක් නොපැවතිය ද, සෑදල පොරෝනා සහ සෑදල ආවරණ ස්වභාවිකව වර්ණගැන්වූ වූල්වලින් තනා ඇත. මේවා අතිශයින් විරළ ය. රාජකීය මකර බුමුතුරුණු, විනිසුරුවරුන් හෝ සෙන්පතීන් සඳහා වූ ව්‍යාඝ්‍ර පලසවල් සහ කුඩා පුටු කවර චීනයේන ආනයනය කෙරිණි. මේවා සම්ප්‍රදායිකව කහ හෝ රතු පැහැයෙන් යුතු විය. රාජකීය බුමුතුරුණු මේ වනතෙක් ශේෂව ඇත්නම් ඒ ස්වල්පයකි. ගම්මානවල පලස් වියන්නන් නොසිටී.

පසුකාලීන 19වන සියවසට අයත් ජොසොන් නිල ඇඳුමක ගෙත්තමක්, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

කොරියානු කඩදාසි කලාව යටතට ගෘහනිර්මාණ අරමුණු (ජනෙල් තිර, ගෙබිම ආවරණ), මුද්‍රණ කටයුතු, කලානිර්මාණ සහ කොරියානු නැමුම් කලා (කඩදාසි අවාන්, කඩදාසි රූ) සඳහා භාවිතා වන හස්ත නිර්මාණ කඩදාසි (හන්ජි) හා සම්බන්ධ සියලු කටයුතු අයත් ය. එසේම ජොන්ජු නගරයේ වාර්ෂිකව පැවැත්වෙන කොරියානු කඩදාසි ඇඳුම් විලාසිතා දැක්ම ලෝකයාගේ අවධානය දිනාගෙන ඇත.

1960 දශකයේ, ග්යොංජුහි පුල්ගුක්සා විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ දී මල්බෙරි මුල්වලින් තැනූ කඩදාසි සොයාගැනිණි. බෞද්ධ ලේඛනවල අන්තර්ගත දිනය බටහිර දින දර්ශනය අනුව සැකසූ විට 751 දිනය ලැබෙන අතර, එමගින් පැහැදිළි වන්නේ කොරියානු කඩදාසිවලට අවරුදු දහසක් පමණ කිසිදු හානියකින් තොරව පැවතීමට හැකියාව තිබූ බවයි. කෙසේනමුත්, නැවත නැවත යෙදුණු ආක්‍රමණ හේතුවෙන් මුල්කාලීන කොරියානු කඩදාසි කලාකෘති දක්නට ඇත්තේ අල්පයකි. වර්තමාන කඩදාකි ශිල්පීන් ඉතා ක්‍රියාකාරී ය.

චිත්‍ර කලාව[සංස්කරණය]

පීච් කැකුළු දේශය වෙත සිහින සංචාරය - අන් ග්යොන්ගේ සිතුවමකි.

20 වන සියවසේ වැඩි කාලයක්, චිත්‍ර කලාව කොරියාවේ සෙසු මාධ්‍යවලට සාපේක්ෂව ප්‍රමුඛව පැවතිණි. 1930 දශකයේ ආරම්භයේ සිට වියුක්තකරණය කෙරෙහි උනන්දුව වැඩි විය.

1960 දශකයේ මැද සිට ක්වොන් යොං-වූ වැනි කලා ශිල්පීන් තෙරපුම් තීන්ත, ඇදීමේ පැන්සල්, පෙඟවූ කැන්වස්, ඉරුණු කඩදාසි, සහ වෙනත් මාධ්‍ය යොදාගනිමින් එකල බොහෝ සිත්තරුන් අයත් වූ සම්ප්‍රදායික තීන්ත සිත්තරුන් (තොන්ග්යැංහ්වාගා) සහ තෙල් සායම් සිත්තරුන් (සෝයැංහ්වාගා) ලෙස පැවති සංකල්පන සමාජයට අභියෝග කළේ ය. 1970 සහ 80 දශකයන්හි, මෙම අභියෝග හේතුවෙන් දන්සෙක්හ්වා හෙවත් කොරියානු ඒකවර්ණ චිත්‍ර කලාව කොරියාවේ විසිවන සියවසේ වඩාත් සාර්ථකම සහ මතභේදාත්මකම කලා සම්ප්‍රදායයක් බවට පත් විය. සාහිත්‍යමය වශයෙන් "ඒකවර්ණ චිත්‍ර කලාව" යනුවෙන් හැඳන්වෙන් මෙහි දී හා චොංහ්‍යුන්, පාක් සෝ-බෝ, ලී උෆන්, යුන් හ්යොන්-ක්‍යුන්, චෝයි මියොං-යොං, කිම් ගුයිලින් සහ ලී දොං-යොබ් යන සිත්තරුන්ගේ කලා කෘති සෝල්, ටෝකියෝ සහ පැරිස් යන නගරවල ප්‍රවර්ධනය කෙරිණි. තන්සෙක්හ්වා කලාව අද්‍යතන කොරියානු කලාවේ අන්තර්ජාතික මුහුණුවර ලෙස වර්ධනය වන්නට විය.

ඇතැම් අද්‍යතන කොරියානු සිතුවම් කොරියානු සෙරමික් සහ කුඹල් කර්මාන්තය හා සම්බන්ධව අධ්‍යයනය කළ හැක. මේවායේ ඔපය සහ බටහිර සිත්තම් සම්ප්‍රදායයන්ට සාපේක්ෂව කොරියානු නිර්මාණවල භාවිතා වූ ඔප දැමීමේ රටාවන් මෙහි දී වැදගත් වේ. බුරුසු පහර මේනම මෙය ද බටහිර කලා ශිල්පීන්ට වැදගත් අංගයකි. බුරුසු පහර අනුව සිතුවම් විනිශ්චය කිරීම ශුද්ධ ක්‍රමවේදයකට එහාගිය දෙයකි.

“2009 වර්ෂයේ කොරියාවේ සිත්තරා” ලෙස තෝරාගනු ලදුව අගය කිරීමට ලක්වූ අද්‍යතන චිත්‍ර ශිල්පියකු වන සූ යොංසුන්[11] විසින් ඝනකම් පින්සල් පහර ආධාරයෙන් කොරියානු ඓතිහාසික දර්ශන‍ මෙන්ම නිව් යෝක් සහ බර්ලින් වැනි බටහිර නගරවල නාගරික දසුන් සිතුවම් කිරීමට ද ප්‍රියතාවක් දක්වයි.[12] ඔහුගේ කලා නිර්මාණ කොරියානු සහ බටහිර තේමාව්න සහ කලා සම්ප්‍රදායයන්ගේ සම්මිශ්‍රණයකට හොඳ නිදසුනකි.

බටහිර සහ කොරියානු චිත්‍ර කලා‍ සම්ප්‍රදායයන්ගේ සම්මිශ්‍රණයෙන් සිතුවම්කරණයේ නියැළෙන සෙසු කොරියානු චිත්‍ර ශිල්පීන් ලෙස ජුංග්‍යුන් ඕ සහ ත්ෂූන් සු කිම් වැන්නවුන් හඳුනාගත හැක.

කොරියානු සෞන්දර්ය විද්‍යාව පිළිබඳ ඇත්තේ අල්ප වූ අධ්‍යයන සංඛ්‍යාවක් වුව ද, කොරියානු කලාව සෞන්දර්ය ශාස්ත්‍රයක් ලෙස වර්ධනය වූ ආකාරය වටහා ගැනීමට කොරියානු දර්ශනය, විශේෂයෙන්ම කොරියානු බුදු දහම සහ කොරියානු කොන්ෆියුසියානුවාදය පිළිබඳ වූ ලිපි උපකාරී වනු ඇත.

උතුරු කොරියාව[සංස්කරණය]

සිතුවම්කරණයේ නියැළෙන මන්සුදේ කලාගාරයේ චිත්‍ර ශිල්පියෙක්; උතුරු කොරියානු කොමියුනිස්ට්වාදය හේතුවෙන් පැරණි තේමාවන් සහ ශිල්ප ක්‍රම ජාතිකවාදී මුහුණුවරකින් යුක්තව පුනර්ජීවනය ලබා ඇත.

කිම් ඉල්-සුංගේ පාලන සමයේ සමාජවාදී යතාර්ථවාදී ගණයේ චිත්‍ර කලාවට පමණක් අවසර හිමිවූ අතර, උතුරු කොරියාවේ දෘශ්‍ය කලා අතර සම්ප්‍රචාරක පෝස්ටර්වලට ප්‍රධාන ස්ථානයක් හිමි විය. 1994 කිම් ඉල්-සුගේ මරණින් පසු, චිත්‍ර කලාව කෙරෙහි වූ බලපෑම් ලිහිල් වූ අතර, කිම් ජොං-ඉල්ගේ පාලනය යටතේ එවැනි බලපෑම් සම්පූර්ණයෙන් අහෝසි විය. මේ අතර නව කලා සම්ප්‍රදායයන්, විශේෂයෙන් උපස්ථිතිවාදී කලා සම්ප්‍රදායයක් උතුරු කොරියානු පෝස්ටර සඳහා අදේශ කෙරිණි.[13]

සමාජවාදී යතාර්ථවාදී කලා සම්ප්‍රදායයන්ට අමතරව, ජාතිකානුරාගී චිත්‍රපට 1949 සිට 1994 දක්වා කාලයේ සංස්කෘතිය තුළ වැ‍ජඹෙන්නට විය. පුනර්ජීවනය ලද ගෘහනිර්මාණ ශිල්පය, චාරුලේඛන කලාව, රෙදි නිර්මාණ සහ නව-සම්ප්‍රදායික චිත්‍ර කලාව 1994 සිට මේ වනතෙක්ම ප්‍රචලිත ය.

විප්ලවකාරී පෝස්ටර, ලිතෝ නිර්මාණ, නාට්‍යමය සහ වාර්තා චිත්‍රපට, යතාර්ථවාදී චිත්‍ර කලාව සහ මහා ගෘහනිර්මාණය කෙරෙහි මෙය ඇති කළ බලපෑම විශාල ය. ක්‍රීඩා කලාව සහ දේශපාලනමය ස්වභාවයක් ගත විප්ලවකාරී පෝස්ටර දියුණුව ඇත. 1950 දශකයේ අගකාලයේ එක්සත් ජනපදය වෙත පලාගිය උතුරු කොරියානු චිත්‍ර ශිල්පීන් අතර ෆ්ව්හාං සොයුරියන් ප්‍රධාන වේ. දුක් සූන් ෆ්ව්හාං සහ චුං සූන් ෆ්ව්හාං ඕං’ඩ්වයර් යන ශිල්පිණියන් ප්‍රකට දේශාලනික ප්‍රකාශ සැලකිල්ලට නොගෙන කලබලකාරී භූමිදර්ශන සිතුවම් කලාවෙහි නිරතවූයේ බටහිර සහ ඈත පෙරදිග සම්ප්‍රදායයන් මුසු කරමිනි. උතුරු කොරියානු සිත්තරුන් ඔවුන්ගේ දක්ෂතාව හේතුවෙන් ප්‍රකට වී ඇත. දකුණු කොරියාව වෙත සංක්‍රමණය වීමට සමත්වූ එම සිත්තරුන් එහි සේවයෙහි නියුතුව ඇත.[13]

ඡායාරූප ශිල්පය සහ සිනමාව[සංස්කරණය]

සෙරමික් සහ ප්‍රතිමා කලාව[සංස්කරණය]

ත්‍රෛවර්ණ තේග්‍යුක්.

කොරියානු කුඹල් කර්මාන්තය කොරියාවේ වඩාත් සුප්‍රකටම සහ ජ්‍යෙෂ්ඨතම කලා අංගය වේ. මෙය හා සම්බන්ධ කොරියානු සෙරමික් කලාවේ දී උළු, විශාල පරිමාණයේ සිරිමැටි බිතු සැරසිලි සහ ගෘහනිර්මාණ අංග නිර්මාණය සිදුවේ.

  • කොරියානු ලෝකඩ කලාව; යුංදෝ හෙවත් ලෝකඩ දර්පණ වාත්තුකරණයේ විශිෂ්ටයකු ලෙස කිම් ජොං-දේ සැලකේ. තැළීමේ ලෝකඩ නිර්මාණවලට යි බොං-ජු ප්‍රවීණත්වයක් උසුලයි.
  • කොරියානු රිදී කලාව; කිම් චොල්-ජු විසින් සිදුකරන ලද වෘත්තාකාර රිදී බහාලුම් නිර්මාණ මෙයට උදාහරණ වේ.
  • කොරියානු ජේඩ් කැටයම් කලාව; ජොසොන් රාජවංශ රාජකීය ශෛලිය අනුව යමින් ආචාර්ය ජං-ජු වොන් මෙම කලාවෙහි නියැළේ. මෙහි දී සංකීර්ණ ජේඩ් ගැටකලාව, බෞද්ධ සැරසිලි සහ කොරියානු ෂාමන්වාදී සැරසිලි භාවිතා කෙරේ.
  • කොරියානු තෘණ ගෙතුම් කලාව; යි සං-ජේ ශිල්පියාගේ ජනප්‍රවාදගත වන්චෝ විවීමේ බහාලුම් පිළිබඳ ප්‍රචලිත ය.
  • කොරියානු උණබට දැවුම් කලාව; කිම් ගි-චන්ගේ කෘති තුළ වෘත්තාකාර උණබට බඳුන් තුළ පිළිස්සුම් රටාවලින් කළ සැරසිලි දැකගත හැක.
  • කොරියානු උණබට පටි කලාව; සෝ හන්-ග්‍යුගේ (චේසං විවීම) සහ යි ගි-දොං (උණබට අවාන්) කෘතිවල මෙම කලාව දැකගත හැක.
  • කොරියානු ගව-අං එබ්බවීම; යි ජේ-මන් විසින් කුඩා ගබඩා මංජුසා සහ ත්‍යාග ගෘහ භාණ්ඩ සඳහා මෙම කලාව උපයෝගී කො‍ටගෙන ඇත.
  • කොරියානු දැව ප්‍රතිමා ශිල්පය; පාක් චන්-සූ මෙම කලාවෙහි ප්‍රකට ශිල්පියෙකි. මෙය කොරියානු ප්‍රතිමා කලාවේ උප අංශයකි.

ගෘහනිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තර සැලසුම[සංස්කරණය]

බොහෝවිට මාලිගා හා සම්බන්ධ කොරියානු උද්‍යාන පිළිබඳ දීර්ඝ සම්ප්‍රදායයක් පැවතී ඇත.

මුල්කාලීන සංකල්ප ලේඛයන්ගෙන් මෙහි රටාවන් ආභාසය ලබන්නට ඇතැයි සැලකේ. ජ්‍යාමිතික රටා, ශාක, සතුන් පිළිබඳ මෝස්තර සහ ස්වාභාවික සැරසිලි ප්‍රධාන මෝස්තර ආකාර සතර වේ. ජ්‍යාමිතික මෝස්තර අතරට, ත්‍රිකෝණ, සමචතුරස්‍ර, රුවිත හැඩ, අක්වක් හැඩ,දැලිස් හැඩ, සර්පිල, දැති රටා, වෘත්ත සහ ඒක කේන්ද්‍රීය වලයන් අයත් වේ. ශිලා යුගයට අයත් ගල් කැටයම්වල අන්තර්ගත සත්ත්ව රූ මගින් ආහාර රැස් කිරීමේ ක්‍රියාකාරකම් නිරූපණය වේ යැයි සිතිය හැක. මෙම රටාවන් විහාර සහ ආශ්‍රමවල ද්වාර, වස්ත්‍ර, දැව භාණ්ඩ සහ අවාන් හා හැඳි වැනි උපකරණවල දැකගත හැක.

අභිවාහ්‍ය කලා[සංස්කරණය]

අභිවාහ්‍ය කලා අතර කොරියානු කථාන්තර පැවසීම යතාර්ථවාදී ෂාමන්වාදී ක්‍රමවලින් යැංබැන් විද්වතුන්ගේ ගීත ලෙස මෙන්ම දෘශ්‍ය කලා සහ අභිවාහ්‍ය කලා අතර හරස්මාරු අංග ලෙස ද පැවතී ඇත.

ශිලා කැටයම් සහ මැටි බඳුන් කැබලිවල මෙන්ම සොහොන්ගැබ් තුළ ද කොරියානු වෙස්මුහුණු, කොරියානු මැහුම් ක්‍රම සහිත වස්ත්‍ර, කොරියානු ගෙත්තම් කලාව හා සම්මිශ්‍රණයෙන් සිදුවූ කොරියානු අභිවාහ්‍ය කලාවන්හි නිරූපණයන් දැකගත හැක.

ඇතැම් විශේෂිත නර්තනයන් වැදගත් සංස්කෘතික උරුමයන් ලෙස සැලකිණි. අභිවාහ්‍ය කලා සෑමවිටම වස්ත්‍ර කලාවන් හා සම්බන්ධ විය. වස්ත්‍ර අතින් මෙන්ම නාට්‍යවල පසුතල, පදවි, තත්ත්වය නිරූපණයට යොදාගත් මසන ලද හෝ ගෙත්තම් කරන ලද ආභරණ, ෂාමන්වාදී ගුරුකම් වැනි අංග නිරූපණයට ද එය ඉවහල් විය.

ඓතිහාසිකව, කලාවන් තුළ අභිවාහ්‍ය කලාව ස්ත්‍රීන්ට පමණක් සීමා වූ වස්ත්‍ර සහ නර්තන විධි අනුවත්, පුරුෂයන්ට සීමා වූ වස්ත්‍ර සහ කථාන්තර කීමේ කලාවන් ලෙසත් දැකගත හැක. කාලයත් සමග ස්ත්‍රී දායකත්වය ක්‍රමයෙන් අඩුවී ගිය අතර, මහජන විනෝදකරුවන් ලෙස කටයුතු කිරීම පුරුෂයන්හට සම්භාව්‍ය දෙයක් විය.

තේ මංගල්‍යය[සංස්කරණය]

කොරියානු තේ මංගල්‍යය පවත්වනු ලබන්නේ කොරියානු තේ නිවෙස් තුළ ය. ලාක්ෂණික ගෘහනිර්මාණ අංගවලින් හෙබි මේවා බොහෝ අවස්ථාවල කොරියානු උද්‍යානවලින් වටවූ මේවා තුළ චාරිත්‍රගත සංවාදයන් සිදුවූ අතර, කාව්‍යවලින් සමන්විත බිත්ති සැරසිලි, කොරියානු මැටි බඳුන් ආදියෙන් අභ්‍යන්තරය සමන්විත විය.

සංගීතමය කලා සහ වේදිකා[සංස්කරණය]

සමකාලීන අභිවාහ්‍ය කලා කුසලතාවන්ට ඉහළ පිළිගැනීමක් හිමිව ඇත. විශේෂයෙන්ම තත් සහිත භාණ්ඩ වාදනය සහ සංධ්වනි අධ්‍යක්ෂණයට එහිදී විශේෂ ස්ථානයක් හිමි වේ.

කොරියානු සංගීතය බටහිර අයුරින්ම වර්ගීකරණයට ලක් කළ හැක. මෙය යුගය සහ නගර (සම්භාව්‍ය, පොප්, ටෙක්නෝ, නිවෙස්, හිප්-හොප්, ජෑස්; සම්ප්‍රදායික) අනුවත් සහ පළාත්බද කොට්ඨාස (ජන, ගැමි, සම්භාව්‍ය, ‍රොක්) අනුවත් විවිධ ලෙස වර්ග කළ හැක. ප්‍රාදේශීය වශයෙන් ලෝක සංගීත ආභාසය බෙහෙවින් ප්‍රබල අතර, සම්ප්‍රදායික සංගීත භාණ්ඩ භාවිතය ද ප්‍රවණතාවක්ව පවතියි. සංචාරකයන් ආකර්ෂණය කරගැනීම ‍උදෙසා චීනය සමග තරග වැදීමට සිදුවීම නිසා බටහිර සහ පෙරදිග සංගීත ශෛලියෙන්ගෙන් වෙන්ව සම්ප්‍රදායික කොරියානු සංගීත ආරව්ල කෙරෙහි විශාල අවධානය්ක යොමුව ඇත.

නව සෝල් ඔපෙරා ගෘහය කොරියානු ඔපෙරා සඳහා වාසස්ථානයක්ව ඇත. කොරියානු ඔපෙරා සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවර්ධනය කෙරුණු බටහිර ඔපෙරා වාරය සහ ඔපෙරා පාසලක් පිහිටුවා ඇත්තේ බෙයිජිං ඔපෙර ගෘහයේ සහ බටහිර ඔපෙරා සඳහා වන ජපන් ඓතිහාසික මධ්‍යස්ථානය හා තරගවැදීමටයි.

කොරියානු රාජමාලිග සංගීතය සතුව සිල්ලා රාජධානි යුගය තෙක් දිවෙන ඉතිහාසයක් ඇත. සිල්ලා යුගයේ දී ටෑං රාජමාලිග සංගීතය වැයීම සිදු විය. පසුව සොං රාජවංශ ආභාසය ලත් "ආ-අක්" නම් කොරියානු ප්‍රභේදය චීන සංගීත භාණ්ඩ භාවිතයෙන් ‍ජොසොන් යුගයේ වැයීම සිදු විය. මෙම සංගීතයේ ප්‍රතිනිර්මාණයන් ප්‍රධාන වශයෙන් සෝල්හි කොරියා පදනමේ සහ කොරියානු සම්ප්‍රදායික අභිවාහ්‍ය කලා සඳහා ජාතික මධ්‍යස්ථානයේ (NCKTPA) අනුග්‍රහය ඇතිව සිදුවේ.

‍මාලිග සංගීතඥයික් ස්මප්‍රදායික වස්ත්‍රවලින් සැරසී, දැඩි නිල ඉරියව්වෙන් යුතුව පංච තත් සහිත සංගීත භාණ්ඩ වයන ලදී. මෙය ඉගෙනීමට කොන්ෆියුසියානුවාදයේ එන "යෙක් සසාං" මූලධර්ම උපකාරී විය. මෙහි දී තානයේ පරිපූර්ණත්වය කෙරෙහි අවධානය යොමුකෙරිණි. සුප්‍රකට රාජමාලිග සංගීත නිර්මාණ අතරට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කෙරුණු ජොංමියෝ ජෙර්යෙක් සහ චෝයොංමු, තේප්යොංමු හා සුජෙචොන් යනාදිය ඇතුළත් වේ.

කොරියානු ජන සංගීතය හෙවත් පන්සෝරි බොහෝ සරල හා රිද්මයානුකූල නව සංගීත ආරවල පදනම වී ඇත.

කොරියානු සංගීත සංදර්ශන යනු මෑතකාලීන නිමැවුමකි. මින් අගබිසවගේ දිවිය අලලා නිමැවුණු මියැසිය ලොවපුරා සංචාරය කොට ඇත. ගොර්යෝ රාජවංශ සමයේ ගමුගුක්හි සුප්‍රකට සංගීත නර්තන-නාට්‍ය පැවතී ඇත.

කොරියානු වේදිකා පසුතල නිර්මාණය සතුව ද දීර්ඝ ඉතිහාසයක් පවතින අතර, එළිමහන් වේදිකාවල ඇරඹි මේවා භූමිදර්ශන සිතුවම්වල ආභාසය ලබා සිතුවම් විය. මෙය අනුකරණය කරමින් මාලිග හා විහාරවල චාරිත්‍ර වේදිකා සහ නාට්‍ය මණ්ඩප සඳහා මෙවන් තිර භාවිතා වී ඇත. කොරියානු වෙස්මුහුණු සාමාන්‍යයෙන් ෂාමන්වාදී කටයුතු සඳහා භාවිත වුව ද, ජනකලා නාට්‍ය සඳහා සුලබව භාවිතා වී ඇත. 1945න් පසු කාලයේ වෙස්මුහුණු සංචාරක ආකර්ෂණයක් බවට පත්වූ අතර, සිහිවටන ලෙස විශාල වෙස්මුහුණු සංඛ්‍යාවක් ප්‍රතිනිර්මාණය කෙරිණි.

කථාන්තර පැවසීම සහ ප්‍රහසන[සංස්කරණය]

අඛ්‍යාන කථාන්තර පැවසීම කාව්‍යමය නාට්‍ය ගීත වශයෙන් යැංබැන් විද්වතුන් විසින් හෝ, විකටයින් විසින් නිරූපණය කිරීම සිදු විය. මෙහි දී සාමාන්‍යයෙන් පුරුෂයන් දායක විය. සැබැවින්ම කොරියාවේ ප්‍රහසන කලාවක් නොපැවති අතර, උපහාස-අපහාස, පෞද්ගලික මතවාද සහ ජ්‍යෙෂ්ඨයන්ට ගරු කිරීම වැනි සංස්කෘතික තහංචි එයට හේතු විය. නමුත් වර්තමානය වන විට ගෝලීයව කොරියානු හාස්‍යජනක චිත්‍රපට දැඩි සමාජ සංවරය මධ්‍යයේ ප්‍රචලිත වී ඇත.

කොරියානු මුඛ පරම්පරාගත ඉතිහාසය යටතට අඛ්‍යාන පුරාණෝක්ති, ජනප්‍රවාද, ජන කථා, ගීත, ජන ගීත, ෂාමන්වාදී ගීත සහ පන්සෝරි, කෙටි ඉතිහාස පුවත් විදහා දක්වන ආප්තෝපදේශ, ප්‍රහේලිකා සහ වෙනමම කථා පවතින සැක සහිත වදන් ආදිය ඇතුළත් විය. චෝ දොං-ඉල්, චෝයි බන්-හක් සහ සොං ඉන්-සොප් වැනි විද්වතුන් විසින් මේවා අධ්‍යයනය කොට විදේශිකයන් සඳහා බොහෝ විට ඉංග්‍රීසි සංස්කරණ ලෙසින් හෝ ප්‍රාථමික පාසල් ගුරුවරුන්ට අධ්‍යයනය පිණිස සම්පාදනය කොට ඇත.

නර්තනය[සංස්කරණය]

නර්තනය සම්ප්‍රදායික‍ කොරියානු සංස්කෘතියේ සුවිශේෂී අංගයක් විය. බොහෝ වාර්ෂික උත්සව සහ මංගල්‍යවල (අස්වනු වැනි) කොටසක් ලෙස සම්ප්‍රදායික නර්තනය සිදු විය. මෙහි දී සම්ප්‍රදායික වස්ත්‍ර, විචිත්‍ර වර්ණ, සංගීතය, ගීත සහ සංගීත භාණ්ඩ උප‍යෝගී කරගන්නා ලදී. පුරුෂයන්ට පමණක් සහ ස්ත්‍රීන්ට පමණක් වෙන්වූ ඇතැම් නර්තනයන් ද විය. මෙම දෙපාර්ශ්වයම සහභාගී වන නර්තනාංග ද තිබිණි. සාමාන්‍යයෙන් නර්තනයෙහි යෙදෙන්නියන් විසින් සිය කේශකලාපය මුහුණෙන් පිටුපසට ඇද ගෙඩියක් ලෙස සැකසීම හෝ වෛර්ණ හිස්වැසුම් පැළඳීම සිදුකරන ලදී. සාමාන්‍යයෙන් සම්ප්‍රදායික හන්බොක් වස්ත්‍රයෙහි ප්‍රභේදයක් හෝ නර්තනයට විශේෂිත වූ වස්ත්‍රයක් පැළඳීම සිදු විය. ඇතැම් නර්තනාංගවල දී ස්ත්‍රීන්ගේ වස්ත්‍ර ඉතා දිගු අත්වලින් හෝ එල්ලා වැටෙන දිගු රෙදි කඩකින් සමන්විත විය. මෙමගින් අලංකෘත හස්ත චලන ඉස්මතු කොට දැක්විණි. එළිමහන් උත්සව ඝෝෂාකාරී සහ විනෝදකාමී ඒවා වූ අතර, අත්තාලම් සහ බෙර නාදයන් ප්‍රමුඛව අසන්නට හැකි විය.ඇතැම්විට වෙස්මුහුණු ද පළඳින ලදී.

සාහිත්‍යය[සංස්කරණය]

ඓතිහාසික වාර්තාවල වැදගත් කෘති පැරණි යුගයේ සිටම හොඳින් ලේඛනගත කොට ඇත. එසේම චලන මුද්‍රණ ක්‍රමය අනුව නිමැවූ කොරියානු ග්‍රන්ථ, බොහෝවිට රාජකීය කෝෂ ග්‍රන්ථ හා ඉතිහාස ග්‍රන්ථ සහ 7වන සියවසේ තුන් රාජධානි යුගයේ මුද්‍රණ ලී තහඩු ආධාරයෙන් නිමැවූ ග්‍රන්ථ ආදිය සංසරණය විය. ගොර්යෝ යුගයේ දී ලොව ප්‍රථම ලෝහ මුද්‍රණ මාදිලිය බිහිවූ හෙයින්, එමගින් ග්‍රන්ථ ද නිර්මාණය විය.

ග්‍රන්ථකරණයට තේමාවූ මාතෘකා අතර වීර කථා, කාව්‍ය ග්‍රන්ථ, ආගමික ග්‍රන්ථ සහ බෞද්ධ හා කොන්ෆියුසියානු ඉගෙනීම පිළිබඳ වූ ග්‍රන්ථ ප්‍රමුඛ විය. එසේම විදේශ කෘතිවල පරිවර්තන, නාට්‍ය හා මාලිග චාරිත්‍ර, ප්‍රහසන, ශෝකාන්ත, මිශ්‍ර ගණයේ සහ නොයෙකුත් වර්ගයේ නවකථා කොරියානුවන් විසින් රචනා කරන ලදී.

කාව්‍ය ශාස්ත්‍රය[සංස්කරණය]

කොරියානු කාව්‍ය ශාස්ත්‍රය තුන් රාජධානි යුගයේ දියුණුව පැවතිණි. කාව්‍ය එකතූන් නිතර නිතර මුද්‍රණය කෙරිණි. ජොසොන් ජාතිකවාදයේ නැගීමත් සමග, කාව්‍ය ශාස්ත්‍රය ශීඝ්‍රයෙන් දියුණු වූ අතර, 18වන සියවසේ දී උච්චස්ථානයට පත් විය. 20වන සියවසේ මුල් භාගයේ සහ මුල්කාලීන ජනරජ යුගයේ සංකල්පරූපවාදී සහ නූතනවාදී කාව්‍ය ක්‍රමවේද හඳුන්වා දීමේ උත්සාහයක් පැවතිණි. දේශාභිමානී කෘති අතිශයින් සාර්ථක විය. 1970 දශකයේ සිට ගායනා කළ හැකි කාව්‍ය රචනය ප්‍රමුඛ විය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Basukala, Saloni, and Supriya. "LASANAA Art Talk: 28 August." LASANAA. Wordpress, 04 Sept. 2012. Web. 16 Sept. 2015.
  2. Ki-baek Yi (1984). New History of Korea. Harvard University Press. පි. 1. ISBN 978-0-674-61576-2. https://books.google.com/books?id=g2mdVwXpMzwC&pg=PA1. Retrieved 4 January 2013. 
  3. Bae, Christopher J.; Bae, Kidong (1 December 2012). "The nature of the Early to Late Paleolithic transition in Korea: Current perspectives" (PDF). Quaternary International. 281: 26–35. doi:10.1016/j.quaint.2011.08.044. Retrieved 4 January 2013.
  4. 4.0 4.1 4.2 "Heilbrunn Timeline of Art History: Korea, 1–500 A.D." Metropolitan Museum of Art. Retrieved 4 January 2013.
  5. 5.0 5.1 5.2 "Korean art". Encyclopedia Britannica.
  6. Asian Art. MobileReference. 1 January 2007. පි. 864. ISBN 978-1-60501-187-5. https://books.google.com/books?id=NWJI4bK9kQ8C&pg=PT864. Retrieved 4 January 2013. 
  7. Lee, Soyoung. "Korean Buddhist Sculpture (5th–9th century)". The Metropolitan Museum of Art. Retrieved 4 January 2013.
  8. "9th Century Korean Bronze Buddha Shakyamuni". BuddhaMuseum.Com. Retrieved 4 January 2013.
  9. "Tomb of King Muryeong". Gongju National Museum. Retrieved 4 January 2013.
  10. "Golden Treasures: The Royal Tombs of Silla". Metropolitan Museum of Art.
  11. "'Artist of the Year 2009' - Seo Young-Sun". National Museum of Contemporary Art, Korea. Retrieved 2 April 2011.
  12. Alves-Richter, Verena. "Suh Yongsun". Galerie Son. Retrieved 2 April 2011.
  13. 13.0 13.1 Tertitskiy, Fyodor (6 June 2016). "The good things in North Korea". NK News. Retrieved 20 July 2016.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කොරියානු_කලාව&oldid=411004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි