ගෝජොසොන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගෝජොසොන්
고조선 (古朝鮮)
අවම වශයෙන් ක්‍රි.පූ. 7වන සියවස–ක්‍රි.පූ. 108
ක්‍රි.පූ. 108 පරිහානි සමයේ ගෝජොසොන්හි ව්‍යාප්තිය
අගනුවර වංගොම්
භාෂා ප්‍රාක්-කොරියානු
ආගම කොරියානු ෂමනවාදය
රජය රාජාණ්ඩුව
රජ
 •  ? - ක්‍රි.පූ. 194 ජුන්
 •  ක්‍රි.පූ. 194 - ? වි මන්
 •  ? - ක්‍රි.පූ. 108 වි උගෝ (අවසාන)
ඓතිහාසික යුගය පුරාතන
 •  ජනප්‍රවාද අනුව ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 2333 අවම වශයෙන් ක්‍රි.පූ. 7වන සියවස
 •  චීන වාර්තාවල පළමුව සඳහන් වන්නේ ක්‍රි.පූ. 700 පමණ
 •  වි මන්ගේ කැරැල්ල ක්‍රි.පූ. 194
 •  ගෝජොසොන්-හන් යුද්ධය ක්‍රි.පූ. 109 - ක්‍රි.පූ. 108
 •  වංගොම්හි බිඳවැටීම ක්‍රි.පූ. 108
අනුප්‍රාප්තික වූයේ
බුයෝ රාජධානිය
සම්හන්
හන් සතර ආඥා භූමි
වර්තමානයෙහි මෙහි කොටසකි  උතුරු කොරියාව
 දකුණු කොරියාව
 චීනය
ලිපි මාලාවේ කොටසක් වන
මැංචූරියාව පිලිබඳ ඉතිහාසය

ගෝජොසොන් (කොරියානු උච්චාරණය: [kodʑosʰʌn]) යනුවෙන් හැඳින්වෙන්නේ ‍පුරාතන කොරියානු රාජධානියකි. මෙයට "පුරාතන" යන අරුතැති ගෝ (고, ) යන පදය එකතු කොට ඇත්තේ, ජොසොන් යනුවෙන් හඳුන්වන වෙනත් රාජධානිවලින් වෙන් කර හඳුනාගැනීමටයි.

ගෝජොසොන් පිහිටුවීම පිළිබඳ පුරාවෘත්තය ඇතුළත් සම්ගුක් යුසා (1281) සහ වෙනත් මධ්‍යකාලීන කොරියානු ග්‍රන්ථ[1] පවසන්නේ මෙම දේශය ස්ථාපනය කරන ලද්දේ ක්‍රි.පූ. 2333දී දෙව්ලොවෙන් බට දංගුන් නැමැත්තකු බවයි.[2] මෙම ජනප්‍රවාදය බිහිවීම සඳහා කුමන කරුණු හේතුවූයේ දැයි කිසිදු සාක්ෂියක් හමුවී නොමැතිමුත්,[3] මෙම වාර්තාව කොරියානු ජාතික අනන්‍යතාව නිර්මාණය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබේ.

ක්‍රි.පූ. 12වන සියවසේ දී, චීනයේ ෂෑං රාජවංශයේ කුමරකු වූ ගිජා විසින් ගිජා ජොසොන් රාජ්‍යය පිහිටුවූ බැව් පැවසේ. කෙසේනමුත්, පුරාවිද්‍යාත්මක සාක්ෂි මඳ හෙයින්, 20වන සියවසේ සිටම එහි පැවැත්ම අභියෝගයට ලක්ව ඇත. වර්තමානයේ මෙම යුගය පිළිබඳ මුඛ්‍යධාරා අදහසක් ගොඩනගා නැත‍‍.

ඓතිහාසික ‍ගෝජොසොන් රාජධානිය පිළිබඳ පළමු වරට චීන වාර්තාවල සඳහන් වන්නේ මුල්කාලීන ක්‍රි.පූ. 7වන සියවසේ ය.[4] මුල්කාලීන අවධියේ, ගෝජොසොන්හි අගනුවර පිහිටා තිබුණේ ලියාඕනිංහි ය. ක්‍රි.පූ. 400 අවට, එය ප්යොංග්යෑං වෙත ගෙනයන ලදී. ක්‍රි.පූ. 3වන සියවස වන විට අර්ධද්වීපයේ දකුණු පෙදෙසේ ජින් රාජ්‍යය ඉස්මතු විය.[5]

ක්‍රි.පූ. 108දී, චීනයේ හන් රාජවංශය විසින් විමන් ජොසොන් රාජ්‍යය ආක්‍රමණය කොට යටත් කරගන්නා ලදී. හන් රාජවංශය විසින් ගෝජොසොන් භූමිය පාලනය කිරීම සඳහා ආඥා භූමි හතරක් පිහිටුවන ලදී. පසුව ක්‍රි.පූ. 313දී ගොගුර්යෝව විසින් මෙම රාජ්‍යය ආක්‍රමණය කරන ලදී.

ඔවුන්ගේ භාෂාව බොහෝවිට ප්‍රාග්-ඓතිහාසික බුයෝ භාෂාවල පූර්වජ භාෂාවක් වන්නට ඇත. ඇතැම්විට එය ප්‍රාක්-කොරියානු භාෂාවේ ස්වරූපයක් විය හැක.[6]

පදනම් මිත්‍යාව[සංස්කරණය]

දංගුන් පුරාණෝක්තිය[සංස්කරණය]

දංගුන්ගේ පියා දෙව්ලොව සිට අවරෝහණය වූ ස්ථානය යැයි පැවසෙන බෙක්දු කන්දේ පිහිටි ස්වර්ග විල.

දංගුන් යන කොරියාවේ ජනප්‍රවාදගත ආදිකර්තෘවරයා වේ. මේ පිළිබඳ විවධ ග්‍රන්ථ සහ මුඛ්‍ය සම්ප්‍රදායයන්ගේ අන්තර්ගත කරුණු විවිධත්වයක් ගත්ත ද, ඉන් වඩාත් ජනප්‍රියම වාර්තාව වන්නේ 13වන සියවසේ ඉල්-යොන් (1206- 1289) නැමැති කතුවරයකු විසින් රචනා කරන ලද, සම්ගුංන්‍යුසා නම් පුරාවෘත්ත සහ කථාපුවත් ඇතුළත් ග්‍රන්ථය සඳහන් පදනම් මිත්‍යාව නැමැති ලිඛිත වාර්තාවයි. මෙයට සමාන වාර්තාවක් ජේවං උන්ගි තුළින් ද හමුවේ. ජනප්‍රවාදයට අනුව, දෙව්ලොව අධිපතියා වූ හ්වානින් හට හ්වානුං නැමැති පුත්‍රයකු විය. දෙව්ලොවෙන් බට හ්වානුං බෙක්දු කන්ද වෙත පැමිණ ෂින්සි නගරය පිහිටුවී ය. අනතුරුව හ්වානුං වෙත පැමිණි වලසකු සහ ව්‍යාඝ්‍රයකු තමන්ට මිනිස් බව ලබාගැනීමට අවශ්‍ය බව පවසන්නට විය. හ්වානුං ඔවුනට පැවසූයේ ගුහාවක් තුළට වී දින 100ක් මග්වර්ට් පැළෑටිය සහ සුදුළූණු පමණක් අනුභව කළහොත් ඔවුන් මිනිසුන් බවට පත්වනු ඇති බවයි. දින 100 අර්ධයක් යාමටත් පෙර, ව්‍යාඝ්‍රයා සිය උත්සාහය අත්හැර පලාගියේ ය. අනෙක් අතින්, වැලහින්න ඇගේ ව්‍යායාමයෙහි සාර්ථකව නිරත වී උංන්‍යෝ (웅녀, 熊女) නැමැති රූමත් මිනිස් ස්ත්‍රියක බවට පත්වූවා ය. පසුව හ්වානුං උංන්යෝ සමග විවාහ වූ අතර, ඔවුනට උපන් පුත්‍රයා දංගුන් න්ම විය.

දංගුන් කථාපුවත මිත්‍යාවක් ලෙස සැලකුණ ද,[7] එය ගෝජොසොන් පිහිටුවීම හා සම්බන්ධ ඓතිහාසික කරුණු අනුසාරයෙන් ගොඩනැගූ මිත්‍යාමය ප්‍රබන්ධයක් විය හැක.[8] මෙම මිත්‍යාවේ ප්‍රභවය පිළිබඳ නොයෙකුත් මතයන් ඉදිරිපත් වී ඇත.[9] සියෝ සහ කං (2002) විශ්වාස කරන්නේ දංගුන් මිත්‍යාව ලෝකඩ යුගයේ අහස වන්දනාමාන කළ ආක්‍රමණික ගෝත්‍රයක සහ වලසුන් වන්දනාමාන කළ ස්වදේශික නියෝලිතික ගෝත්‍රයක ඒකාබද්ධ වීමෙන් ඇතිවූ බවයි. එමගින් ගෝජොසොන් බිහිවූයේ යැයි ඔවුහු පවසති.[10] ලී කේ. බී. (1984) විශ්වාස කරන්නේ 'දංගුන්-වංගොම්' යනු පසුකාලීන ගෝජොසොන් අනුප්‍රාප්තික නායකයින් විසින් නිර්මාණය කළ පදවියක් බවයි.[11]

සම්ගුංන්‍යුසා, ජේවං උන්ගි, දොංගුක් තොංගම් සහ ජොසොන් රාජවංශයේ වාර්ෂික වාර්තා යනාදියෙහි අන්තර්ගත විස්තරවල දංගුන් විසින් ගෝජොසොන් පිහිටුවූයේ ක්‍රි.පූ. 2333 වර්ෂයේ බව පවසයි.[12] මෙම දිනය ඓතිහාසික මූලාශ්‍රවල ද විවිධ අයුරින් දක්වා ඇත. එසේවුව ද, එම මූලාශ්‍ර සියල්ලෙහිම මෙම දිනය මිත්‍යාමය යාඕ අධිරාජයාගේ රාජ්‍ය සමයයට (සම්ප්‍රදායික දින: ක්‍රි.පූ. 2357 ? – ක්‍රි.පූ. 2256 ?) අයත් යැයි දක්වා ඇත. සම්ගුංන්‍යුසා පවසන්නේ දංගුන් සිහසුනට පත්වූයේ ජනප්‍රවාදගත යාශ් රාජ්‍ය සමයේ 50වන වර්ෂයේ බවයි. නමුත් සේජොං රජුගේ වාර්ෂික වාර්තාවල එය පළමු වර්ෂය ලෙසත් සහ දොංගුක් තොංගම් මූලාශ්‍රයේ එය 25වන වර්ෂය ලෙසත් දක්වා ඇත.[13]

ගිජා මිත්‍යාව[සංස්කරණය]

චීනයේ ෂෑං රාජවංශය බිඳවැටී චෞ රාජවංශය බිහිවූ යුගයේ ෂෑං චීනයේ පුද්ගලයකු වූ ගිජා ක්‍රි.පූ. 1122දී කොරියානු අර්ධද්වීපය වෙත පලාගොස් ගිජා ජොසොන් රාජ්‍යය පිහිටුවූ බැව් පැවසේ.[14] දකුණු කොරියාවේ, එක්ස්ත රාජධානියේ සහ එක්සත් ජනපදයේ බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ගිජා සහ ගෝජොසොන් අතර සම්බන්ධය චීනය විසින් ගොතන ලද කථාවක් බවයි. එසේම ගිජා සහ ගෝජොසොන් අතර සම්බන්ධයක් නොමැති බව ඔවුහු කියති.[9] අතීතයේ දී, පැරණිතම ශේෂව ඇති කොරියානු වාර්තාව වන තුන් රාජධානිවල වාර්තා නම් මූලාශ්‍රයට ද ගිජා ජොසොන් පිළිබඳ ඇතුළත් කොට තිබේ. 1778දී රචිත දොංසා ගංමොක් මූලාශ්‍රයේ ගෝජොසොන් තුළ ගිජාගේ කාර්යභාරයන් දක්වා ඇත. ගිජාහි වාර්තා අෂ්ට නීතී (හංගුල්범금팔조; හන්ජා犯禁八條) ලෙස හන්හි ග්‍රන්ථය තුළ දක්වා ඇති අතර, මෙය ධුරාවලික සමාජයක් සහ පෞද්ගලික දේපළ සඳහා නීත්‍යානුකූල ආරක්ෂණයක් පැවති බවට සාක්ෂියකි.[15]

පූර්ව-නූතන කොරියාවේ, ගිජා මගින් චීන ශිෂ්ටාචාරයේ පැවැත්ම නිරූපණය කරන ලදී. 12වන සියවස‍ තෙක්ස, කොරියානුවන් පොදුවේ විශ්වාස කළේ දංගුන් කොරියානු ජනයාට මූලික සංස්කෘතිය දායාද කරදුන් බවත්, ගිජා විසින් කොරියාවට එහි උසස් සංස්කෘතිය හිමි කරදුන් බවත් ය. මෙය නීත්‍යානුකූල ශිෂ්ටාචාරයක් ලෙස නැගී සිටීමට උපකාරී විය.[16]

කෙසේනමුත්, නූතන යුගය වන විට, ගිජා හිමිව ඇති පිළිගැනීම බෙහෙවින් අඩුවෙමින් පවතින අතර, එය අහෝසි වී යාමට ආසන්න ය.[16] ප්‍රතිවාචිත පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇතුළු විවිධ සාධක ‍හේතුවෙන් බොහෝ කොරියානු විද්වතුන් ගිජාහි පැවැත්ම පිළිගන්නේ නැත.[17] ඔවුන් තවදුරටත් පවසන්නේ ගිජා පිළිබඳ පළමු සඳහන හමුවන උණබට වාර්ෂික වාර්තා සහ කොන්ෆියුසියස්ගේ සුභාෂිත වාක්‍ය වැනි කෘතිවල ඔහු ගෝජොසොන් වෙත සංක්‍රමණය වූ බැව් සඳහන් නොවන බවයි.[18]

ගිජාගේ මතභේදය නොසැලකූ විට, පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ජනපදවාසීන්ගේ සංස්කෘතිය චීන සම්භවයට සම්බන්ධ බව පෙනී ගොස් ඇත. කොරියාවේ ලෝකඩ යුගයට (ක්‍රි.පූ. 800–400) අයත් අඩසඳ හැඩැති ශිලා පිහි සහ සූරන ලද පාෂාණ වී වගාවට සාක්ෂි සපයන අතර, එය ‍චීනයේ සිට කොරියාව වෙත සම්ප්‍රේෂණය වන්නට ඇත. නමුත් ලෝකඩ කිනිසි වැනි වෙනත් පුරාවස්තු කොරියාවේ විශේෂිත සංස්කෘතික ලක්ෂණ කියා පායි.[19]:10 කොරියාවේ යකඩ යුගයට අයත් ප්‍රදේශවලින් සොයාගැනුණු චීන කාසි, සිතියෝ-සයිබීරියානු ආරේ සත්ත්ව-හැඩැති බඳපටි ගාංචු වැනි පුරාවස්තු තුළින් චීනයේ යකඩ සංස්කෘතිය සහ සිතියො-සයිබීරියානු ප්‍රදේශවල ලෝකඩ සංස්කෘතිය ක්‍රි.පූ. 4වන සියවසේ කොරියාව වෙත සම්ප්‍රේෂණය වූ බවට සාක්ෂි සපයයි.[19]:12

රාජ්‍යය නිර්මාණය[සංස්කරණය]

ගෝජොසොන් පිළිබඳ පළමු සමකාලීන ඓතිහාසික වාර්තා හමුවන්නේ ක්‍රි.පූ. 7වන සියවසේ මුල්කාලයේ වන අතර, එය බොහායි බොක්ක අවට පිහිටා, චීනයේ ක්වි (齊) ප්‍රදේශය සමග වෙළඳාම් කළ බව දැක්වේ.[20] චෑන් ගුවෝ සේ, කඳු සහ මුහුදු පිළිබඳ සම්භාව්‍ය කෘතිය, සහ මහා ඉතිහාසඥයාගේ වාර්තා වැනි මූලාශ්‍ර තුළ ජොසොන් සඳහන් වන්නේ ප්‍රදේශයක් ලෙස වන අතර, ක්‍රි.පූ. 185 සිට මහා ඉතිහාසඥයාගේ වාර්තා තුල එය රටක් ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇත.[14]

ක්‍රි.පූ. 4වන සියවස වන විට, මුල්කාලීන ලෝකඩ යුගයට අයත් "පවුරු බැඳි නගර-රාජ්‍ය" ප්‍රදේශවල දියුණුවූ දේශපාලන ව්‍යූහයක් සහිත රාජ්‍ය වර්ධනය විය. මේ අතරින් අර්ධද්වීපයේ වූ දියුණුම රාජ්‍යය ගෝජොසොන් විය.[5] යාබද නගර-රාජ්‍ය සමග සන්ධාන හෝ යුධ ආක්‍රමණ මගින් මෙම නගර-රාජ්‍ය සිය භූමි ව්‍යාප්තිය පුළුල් කරගන්නට විය. මෙලෙසින් තේදොං සහ ලියාඕ ගංගා අතර දේශපාලන බල ප්‍රදේශ විශාල රාජ්‍ය සංගමයක් ලෙස සංවිධානය විය. ගෝජොසොන් පරිණාමය වීමේ දී, චෞ රාජවංශ සම්ප්‍රදාය අනුකරණය කරමින් එහි නායකයා "රජ" (හාන්) යන පදවිය ආරූඪ කරගත්තේ ය. මෙකලම යැන් (燕) නායකයා ද මෙම ක්‍රමය අනුගමනය කොට තිබිණි.[21] මෙම කාලයට අයත් වාර්තාවල, උතුරු චීනයේ වැඩවසම් රාජ්‍යය සහ ගෝජොසොන් "සංයුක්ත" රාජධානිය අතර එදිරිවාදිකම් පැවති බව සඳහන් ය. ලියාඕ ගංගාවට එපිට දී යැන්වරුන්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් ද විය. මෙම ඝට්ටනය ක්‍රමයෙන් ගෝජොසොන්හි පරිහානියට සහ බිඳ වැටීම හේතු විය. යැන් වාර්තාවල ගෝජොසොන් විස්තර කොට ඇත්තේ "උඩඟු" සහ "කෲර" රාජ්‍යයක් ලෙසයි. නමුත් එහි පුරාතන රාජධානිය සංකීර්ණ සමාජ ව්‍යූහයක් පැවති, සමෘද්ධිමත්, ලෝකඩ යුගයේ ශිෂ්ටාචාරයක් වූ බැව් පෙනේ. ‍එහි අශ්වාරෝහක සෙබල කණ්ඩායම් ද පැවති අතර, ඔවුහු උතුරුදිගින්[22] ලියාඕදොං ද්‍රෝණියේ වැඩි ප්‍රමාණයක් දක්වා ගෝජොසොන් රාජ්‍යය පුළුල් කිරීමට දායක වන්නට ඇත.

ක්‍රි.පූ. 300 අවට, යැන් රාජ්‍යය සමග යුද්ධයෙන් පසුව ගෝජොසොන් රාජ්‍යයට එහි වටිනා බටහිර ප්‍රදේශය අහිමි විය. නමුත් මෙමගින් පෙනෙන්නේ ගෝජොසොන් රාජ්‍යය යැන් සමග යුධ වැදීමට තරම් විශාල ප්‍රබල රාජ්‍යයක් වන්නට ඇති බවයි.[15] මෙම කාලය අවට ගෝජොසොන් එහි අගනුවර ප්යොංග්යෑං ප්‍රදේශය වෙත යළි ගෙනයන්නට ඇති බැව්‍ පෙනේ.[21]

විමන් ජොසොන් සහ බිඳවැටීම[සංස්කරණය]

විමන් ජොසොන් රාජ්‍යය විනාශ කරමින් හන් රාජවංශය විසින් උතුරුදිග කොරියානු අර්ධද්වීපයේ හන් සිව් ආඥාභූමි ස්ථාපනය කරන ලදී.[23]

ක්‍රි.පූ. 195දී, ගෝජොසොන්හි ජුන් විසින් යැන්හි සරණාගතයකු වූ විමන්ට රැකවරණය සැලසී ය.[24] නමුත් පසුව, ක්‍රි.පූ. 194දී විමන් කැරලි ගසන්නට වූ අතර, ජුන් කොරියානු අර්ධද්වීපයේ දකුණු පෙදෙස වෙත පලාගියේ ය.[25]

ක්‍රි.පූ. 109දී, හන්හි වූ අධිරාජයා ලියාඕ ගංගාව අවට ප්‍රදේශය යටත් කරගත්තේ ය.[25] ක්‍රි.පූ. 109දී අරගලයක් පැනනගින්නට වූයේ, විමන්ගේ මුණුපුරා වූ උගෝ රජු (우거왕, හන්ජා: 右渠王 ) විසින් ජින්හි තානාපතීන්ට සිය භූමිය ඔස්සේ චීනය වෙත ළඟා වීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමත් සමගයි.උගෝ රජු සමග මෙම ගමනෙහි අයිතිය පිළිබඳ සාකච්ඡා කිරීමට වෙයි අධිරාජයා ෂේ හේ (涉何) නැමැති තානාපතිවරයා වංගොම්-සොං වෙත පිටත් කරහැරිය ද, එය ප්‍රතික්ෂේප කළ උගෝ රජු සිය සෙන්පතියකු ලවා ෂේව නැවත හන් අධිරාජ්‍යය වෙත පිටත් කළේ ය. නමුත් ඔවුන් හන් ‍දේශසීමාව වෙත ළඟාවත්ම ‍සෙන්පතියාව ඝාතන කළ ෂේ වූ අධිරාජයාට පැවසූයේ තමන් සටනකින් ජොසොන් රාජ්‍යය පරාජය කළ බවයි. ඔහුගේ රැවටිල්ල ගැන නොදත් වූ අධිරාජයා ඔහුව ලියාඕදොං ආඥාභූමියේ සෙන්පතියා ලෙස පත්කළේ ය. මින් කෝපයට පත් උගෝ රජු ලියාඕදොංහි ආක්‍රමණයක් මෙහෙයවා ෂේ හේව මරාදැමී ය.

මෙයට ප්‍රතිචාර ලෙස, වූ අධිරාජයා ගොඩබිම් මාර්ගයෙන් සහ මුහුදු මාර්ගයෙන් ජොසොන් වෙත ආක්‍රමණ දෙකක් මෙහෙයවී ය.[25] ජොසොන් වෙත ප්‍රහාර එල්ල කළ හමුදා දෙක එකිනෙකා සමග සමා‍යෝජන කටයුතු නිසි පරිදි සිදු කරගැනීමට අපොහොසත් විය. මේ නිසා විශාල හානියක් සිදු විය. ක්‍රමයෙන් මෙම සෙන්පතීන් ඒකාබද්ධ කෙරුණු අතර, ක්‍රි.පූ. 108දී වංගොම් බිඳවැටිණි. ජොසොන්හි භූමිය අයත් කරගත් හන් අධිරාජ්‍යය පැරණි ගෝජොසොන්හි බටහිර පෙදෙස්වල හන් සිව් ආඥාභූමි පිහිටුවී ය.[26]

ක්‍රි.පූ. 1වන සියවස වන විට ගෝජොසොන් කැබලි වන්නට පටන්ගත් අතර, එහි පැරණි වැඩවසම් ප්‍රදේශවල පාලනය තවදුරටත් පවත්වා ගැනීමට එය අසමත් විය. ගෝජොසොන් රාජ්‍යයට එහි රාජ්‍ය සංගමයේ පාලනය අහිමි වීමත් සමග, එහි භූමියෙහි නොයෙකුත් අනුප්‍රාප්තික රාජ්‍ය බිහි විය. මෙම රාජ්‍ය අතර බුයෝ, ඔක්ජෝ, දොංග්යේ. ගොගුර්යෝ සහ බුයෝවලින් සම්භවය වූ බෙක්ජේ වැනි රාජධානි ප්‍රධාන වේ.

සංස්කෘතිය[සංස්කරණය]

ක්‍රි.පූ. 2000 අවට කාලයේ පැවති, වර්න ගැන්වූ සහ කැටයම් කළ නව කුඹල් සංස්කෘතියක් හුමවී තිබේ. මෙම ජනයා බොහෝවිට කුටුම්භීය වංශ ලෙස සංවිධානය වූයේ යැයි සිතිය හැකි ජනාවාස වාර්ගික දිවියක් තුළ කෘෂිකර්මාන‍්තයේ නියැළී තිබේ. අර්ධද්වීපය පුරාම ඍජුකෝණාස්‍රාකාර පැල්පත් සහ ප්‍රමාණයෙන් විශාල ශෛලමය සුසාන භූම ගණනාවක් හමුවී තිබේ. කැනීම් කටයුතුවල දී, ලෝකඩ සිරි සහ කැඩපත් හමුවී ඇති අතර, මෙම යුගයේ කුඩා පවුරු බැඳි නගර-රාජ්‍ය පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී තිබේ.[22][27] මෙම ප්‍රදේශවලින් හමුවූ සුසාන සහ ලෝකඩ සිරි කොරියාවටම අනන්‍ය අතර, චීනයෙන් හමු නොවේ.

මුමුන් මැටිබඳුන්[සංස්කරණය]

මුමුන් කුඹල් යුගය (ක්‍රි.පූ. 1500–300 පමණ), වන විට පෙර පැවති පනා-හැඩැති මැටි බඳුන් වෙනුවට, මෝස්තර රහිත රළු මැටි බඳුන් භාවිතයට ගැනුණේ මැංචූරියාවේ සහ සයිබීරියාවේ සිට කොරියා‍ව වෙත සංක්‍රමණය වූ නව ජනගහනය හේතුවෙන් විය හැක. මෙම මැටි බඳුන්වලට සාමාන්‍යයෙන් ඝනකම් බිත්තියක් ඇති අතර, විවිධ හැඩ දක්නට ලැබේ. මෙමගින් උඳුන් තාක්ෂණයේ දියුණුභාවයන් පෙන්වයි.[5] මෙම යුගය ඇතැම්විට "කොරියානු ලෝකඩ යුගය" ලෙස හැඳින්වුණ ද, ලෝකඩ පුරාවස්තු දුලබ අතර, ක්‍රි.පූ. 7වන සියවස තෙක්ම ඒවා එතරම් සුලබව දක්නට නොලැබේ.

වී වගාව[සංස්කරණය]

ක්‍රි.පූ. 1200 සිට 900 දක්වා වූ කාලසීමාව තුළ, කිසියම් කාලයක චීනයේ සහ මැංචූරියාවේ සිට කොරියාව වෙත වී වගාව සම්ප්‍රේෂණය වී තිබේ. එසේම මෙම ජනයා විසින් මිලට් සහ බාර්ලි වැනි දේශිය ධාන්‍ය ද වගාකොට ඇති අතර, පශු සම්පත ගෘහස්ථකරණය කොට තිබේ.[28]

ලෝකඩ මෙවලම්[සංස්කරණය]

අර්ධද්වීපයේ ලෝකඩ යුගයේ ආරම්භය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ක්‍රි.පූ. 1000 පමණ ය. නමුත් එය ක්‍රි.පූ. 13 සිට 18 දක්වා වූ සියවස් තෙක් පැතිර පවතින්නට ඇතැයි ඇස්තමේන්තු කෙරේ.[29] කොරියානු ලෝකඩ යුගයේ සංස්කෘතිය ලියාඕනිං සහ මැංචූරියාවෙන් සම්භවය වුව ද, එහි–විශේෂයෙන්ම චාරිත්‍ර මෙවලම් තුළ–ඊටම අනන්‍ය දර්ශවාදයක් සහ ශෛලියක් දක්නට ලැබේ.

ක්‍රි.පූ. 7වන සියවස පමණ වන විට, මැංචූරියාවේ, නැගෙනහිර මොංගෝලියාවේ මෙන්ම සයිබීරියානු සහ සිතියානු ලෝකඩ ශෛලීන්ගේ ආභාසය සහිත ලෝකඩ යුගයේ මෙවලම් සංස්කෘතිය කොරියානු අර්ධද්වීපයේ දියුණු විය. අසල්වැසි ලෝකඩ සංස්කෘතීන්ට සාපේක්ෂව කොරියානු ලෝකඩවල ඉහළ සින්ක් ප්‍රමාණයක් අන්තර්ගත ය. ලෝකඩ පුරාවස්තු භූමදාන අඩවි තුළින් බහුලව හමුවන අතර, මේ අතරට ප්‍රධාන වශයෙන් ජ්‍යාමිතික රටා සහිත අසිපත්, සිරි, කුඩා සීනු සහ දර්පණ වේ.[5][30]

ගෝජොසොන් රාජ්‍යය දියුණු වූයේ ලෝකඩ තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් බව පෙනේ. එහි දියුණුභාවය ලෝකඩ අසිපත් හෝ "මැන්ඩලීන්-හැඩැති සිරි" (비파형동검, 琵琶形銅劍) වල විශිෂ්ට භාවයෙන් පෙනේ. මැන්ඩලීන්-හැඩැති සිරි ලියාඕනිං, හෙබෙයි, සහ කොරියානු අර්ධද්වීපය දක්වා පහළට ‍මැංචූරියාවෙනුත් හමුවේ. මෙමගින් යෝජනා වී ඇත්තේ ගෝජොසොන් විජිතයක්ව පැවතී ඇති බවයි. නමුත් විශේෂයෙන්ම ගෝජොසොන්හි "මැන්ඩලීන්" සිරිවල හැඩය චීනයෙන් හමුවන පුරාවස්තුවලින් සැලකිය යුතු ලෙස වෙනස් ය.

ශිලා සොහොන්ගැබ්[සංස්කරණය]

ක්‍රි.පූ. 2000 සිට 400 දක්වා වූ කාලය අවට කොරියානු අර්ධද්වීපයෙන් සහ මැංචූරියාවෙන් මෙගලිතික ශෛලමය සුසාන භූමි දක්නට ලැබේ.[31][32] ක්‍රි.පූ. 900 අවට, භූමදාන පිළිවෙත් තවත් විචිත්‍ර ස්වභාවයක් ගත් අතර, එමගින් සමාජ ස්තරණය නිරූපණය කෙරේ. කොරියාවේ සහ මැංචූරියාවේ ශෛලමය සොහොන්ගැබ්වන ගොයින්දොල් සොහොන් නිර්මාණය කොට ඇත්තේ තිරස් පුවරුවකට ආධාරවන පරිදි කෙළින් අතට තැබූ පාෂාණවලිනි. මේවා නැගෙනහිර ආසියාවේ වෙනත් ප්‍රදේශවලට වඩා කොරියාව තුළ බහුලව දැකගත හැක. සෙසු නව භූමදාන ක්‍රම අතර, පාෂාණමය කුටි (පාෂාණවලින් මායිම් කළ භූගත භුමදාන කුටීර) සහ මැටි බුජම් මිනී පෙට්ටි හඳුනාගත හැක. පාෂාණමය සොහොන් තුළින් හමුවූ ලෝකඩ භාණ්ඩ, මැටි බඳුන් සහ ජේඩ් ආභරණ අනුව පෙනීයන්නේ එවැනි සුසානයන් වංශවතුන් සඳහා භාවිත වූ ඒවා බවයි.[5][33]

ක්‍රි.පූ. 5වන සියවස අවට, ශෛලමය සුසානභූමි තුළින් මෙන්ම ගෘහස්ථ පාත්‍ර සහ සරාවල ඔප දැමූ රතු ස්වභාවයක් දැකගත හැක. මේවා යකඩවලින් පොහොසත් මැටි වර්ගයකින් තනා ඇති අතර, ඒවායේ සිනිඳු ඔපවත් ස්වභාවයක් දැකගත හැක.[5]

යකඩ සංස්කෘතිය[සංස්කරණය]

මෙම කාලය අවට, කොරියානු අර්ධද්වීපයේ දකුණුදිග පෙදෙසේ ජින් රාජ්‍යය බිහි විය. මෙම රාජ්‍යය සම්හන් සංයුක්ත රාජ්‍ය‍යන්ගේ පූර්වප්‍රාප්තිකයා වූ බව හැරෙන්නට, ජින් පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි.

ක්‍රි.පූ. 300 අවට, යැන් රාජ්‍යය විසින් කොරියාවට යකඩ තාක්ෂණය හඳුන්වා දෙන ලදී. ක්‍රි.පූ. 2වන සියවස වන විට, අර්ධද්වීපයේ දකුණු කොටසෙහි ප්‍රාදේශීය වශයෙන් යකඩ නිෂ්පාදනය කෙරිණි. චීන වාර්තා අනුව, නිරිතදිග ප්‍රදේශයේ පිහිටි පහළ නක්දොං ගංගාවෙන් හමුවූ යකඩවලට අර්ධද්වීපය සහ ජපානය තුළ ඉහළ වටිනාකමක් හිමි විය.[5]

ප්‍රාක්–තුන් රාජධානි[සංස්කරණය]

ගෝජොසොන්හි ශේෂ වූ ප්‍රදේශවලින් නොයෙකුත් කුඩා රාජ්‍ය බිහි විය. මේ අතර ගොගුර්යෝ, බුයෝ රාජධානිය, ජොන්-ජොසොන්, ඔක්ජෝ, සහ දොංග්යේ වැනි රාජ්‍ය ද විය. දශක කිහිපයක් ඇතුළත, ‍ස්වදේහික ජනයාගේ ප්‍රතිරෝධය හමුවේ චීන ආඥාභූමිවලින් තුනක් බිඳවැටිණි. නමුත් අවස්න ආඥාභූමිය වූ නක්රං ක්‍රි.ව. 313දී ගොගුර්යෝව විසින් විනාශ කරන තෙක්ම වැදගත් ආර්ථික සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස පැවතිණි.

ගෝජොසොන්හි ජුන් දකුණුදිග ‍කොරියානු අර්ධද්වීපයේ ජින් රාජ්‍යය වෙත පලාගිය බව සඳහන් වේ. ජින් රාජ්‍යය සම්හන් රාජ්‍ය සංගම් බවට පරිණාමය වූ අතර, බෙක්ජේ සහ සිල්ලා රාජධානිවල ආරම්භයට හේතු වූ මෙහි දී, උතුරු දෙසින් ජනයා සංක්‍රමණය වන්නට විය. සම්හන් සංයුක්ත රාජ්‍යයන් වූයේ මහන්, ජින්හන් සහ බ්යොන්හන් යන සංයුක්තයන් ය. ජුන් රජු මහන් රාජ්‍යය පාලනය කළ අතර, අවසානයේ දී බෙක්ජේ රාජධානිය විසින් එය ඈඳාගන්නා ලදී. ගොගුර්යෝ, ‍බෙක්ජේ සහ සිල්ලා රාජ්‍ය ක්‍ර‍මයෙන් කොරියාවේ තුන් රාජධානි බවට වර්ධනය විය. ක්‍රි.ව. 4වන සියවස අවට කාලයේ මෙම රාජධානි තුන සම්පූර්ණ අර්ධද්වීපයේම ප්‍රමුඛත්වයට පත් විය.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ජේවං උන්ගි (1287) සහ දොංගුක් තොංගම් (1485) බලන්න.
  2. Hwang 2010, p. 2.
  3. Connor 2002, p. 10.
  4. Peterson & Margulies 2009, p. 6.
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 "Timeline of Art and History, Korea, 1000 BC – 1 AD". Metropolitan Museum of Art. 
  6. Jaehoon Lee (2004). "The Relatedness Between The Origin of Japanese and Korean Ethnicity" (PDF). The Florida State University. p. 31. සම්ප්‍රවේශය 2007-04-11. 
  7. Seth, Michael J. (2010) History of Korea: From Antiquity to the Present, Rowman & Littlefield Publishers. ISBN 978-0-7425-6717-7.
  8. 고조선(古朝鮮). Encylopaedia Britannica( Korean) (in කොරියානු). 
  9. 9.0 9.1 Barnes 2001, pp. 9–14.
  10. 서 2002.
  11. Lee 1984.
  12. 국학원 제24회 학술회의 - 단기 연호 어떻게 볼 것인가 - 단기가 최초로 산정된 것은 《동국통감》으로 요임금 즉위 25년 무진년을 기준으로 삼았다. 《동국통감》〈외기〉 의 주석에는 다음과 같은 해석이 실려있다. - 古記云, 檀君與堯竝立於戊辰, 虞夏至商武丁八年乙未, 入阿斯達山爲神, 享壽千四百十\u20843 八年. 此說可疑今按, 堯之立在上元甲子甲辰之歲, 而檀君之立在後二十\u20116 五年戊辰, 則曰與堯竝立者非也. 이에 대한 한글 해석은 네이버 지식백과 국역 동국통감(국역:세종대왕기념사업회) 에서 확인할 수 있다.
  13. Yoon, N.-H. (윤내현), The Location and Transfer of Go-Chosun's Capital (고조선의 도읍 위치와 그 이동), 단군학연구, 7, 207–38 (2002)
  14. 14.0 14.1 Barnes 2001, pp. 9–10.
  15. 15.0 15.1 (කොරියානු) Daum 백과사전 : 고조선
  16. 16.0 16.1 Kyung Moon hwang, "A History of Korea, An Episodic Narrative", 2010, p. 4
  17. http://www.dbpia.co.kr/view/ar_view.asp?pid=694&isid=30674&arid=657709&topMenu=&topMenu1=
  18. 네이버 백과사전
  19. 19.0 19.1 Eckert, Carter J. (1990). Korea, Old and New: A History. Korea Institute, Harvard University. ISBN 978-0-9627713-0-9. https://books.google.com/books?id=XwwOAQAAMAAJ. 
  20. 고조선 (in Korean). Naver/Doosan Encyclopedia. 
  21. 21.0 21.1 (කොරියානු) http://100.naver.com/100.php?id=14543
  22. 22.0 22.1 "Korea's Place in the Sun". The New York Times. 
  23. http://www.shsu.edu/~his_ncp/Korea.html
  24. Academy of Korean Studies, The Review of Korean Studies, vol. 10권,3–4, 2007, p. 222
  25. 25.0 25.1 25.2 Lee Injae, Owen Miller, Park Jinhoon, Yi Hyun-Hae, Korean History in Maps, Cambridge University Press, 2014, p. 20
  26. Jae-eun Kang, The Land of Scholars: Two Thousand Years of Korean Confucianism, Homa & Sekey Books, 2006, pp. 28–31
  27. North Korea - The Origins Of The Korean Nation
  28. "Timeline of Art and History". Metropolitan Museum of Art. 
  29. (කොරියානු) 청동기문화 靑銅器文化 (고고학사전, 2001.12, 국립문화재연구소)
  30. The Metropolitan Museum of Art: Arts of Korea, Bronze Age Objects
  31. http://www.wontackhong.com/homepage1/data/1061.pdf
  32. https://books.google.com/books?id=rHeb7wQu0xIC&pg=PA79&dq=dolmen+in+korea+2000+BCE&hl=en&sa=X&ei=zfVAVbf-BIq8sAWEy4DABw&ved=0CB0Q6AEwAA#v=onepage&q=dolmen%20in%20korea%202000%20BCE&f=false
  33. Unesco.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගෝජොසොන්&oldid=410425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි