කොරියාවේ ගෝජොං

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
ගෝජොං

කොරියාවේ අධිරාජයා
Korea-Portrait of Emperor Gojong-01.jpg
කොරියාවේ ග්වංමු අධිරාජයා
කොරියාවේ අධිරාජයා
රාජ්‍ය සමය1897 — 21 ජනවාරි 1907
පූර්වප්‍රාප්තිකයාඔහුම ජොසොන්හි රජ ලෙස
අනුප්‍රාප්තිකයාසුන්ජොං
ජොසොන්හි රජ
රාජ්‍ය සමය13 දෙසැම්බර් 1863 — 1897
පූර්වප්‍රාප්තිකයාචොල්ජොං
අනුප්‍රාප්තිකයාරාජධානිය අධිරාජ්‍යයක් ලෙස නම් කිරීම
අනුරජහ්‍යුංසොන් දේවොන්ගුන් (1863–1873)
මින් අගබිසව (1873–1895)
උපත8 සැප්තැම්බර් 1852
උන්හ්යොන් මාලිගය, හන්සොං, ජොසොන්
මරණය21 ජනවාරි 1919 (66 වියැති)
දොක්සු මාලිගය, කෙයිජෝ (සෝල්), ජපන් අධිරාජ්‍යය
භූමදානයහොංන්‍යුං
වල්ලභයාමින් අගබිසව
මරණාපරව මියොංසොං අධිරාජිනිය නම් විය
දරුවන්සුන්ජොං අධිරාජයා
රාජකීය උයි කුමරු
කිරුළහිමි යුයිමින් කුමරු
දොක්හ්යේ, කොරියාවේ කුමරිය
වංශයයි ගෘහය
පියාහ්‍යුංසොන් දේවොන්ගුන්
මවමහා මින් යෝහ්‍යුං ආර්යාව
කොරියානු නම
හංගුල්고종 광무제 (කෙටි )
හංජා高宗光武帝 (කෙටි )
සංශෝධිත රොමානුකරණයගෝජොං ග්වංමුජේ (කෙටි ‍ගෝජොං)
මෙකන්–රයිෂවර්කෝජොං ක්වංමුජේ (කෙටි කෝජොං)
උපන් නම
හංගුල්이명복 පසුව 이희
හංජා李命福 පසුව 李㷩[1]
සංශෝධිත රොමානුකරණයඉ මියොං-බොක් පසුව ඉ හුයි
මෙකන්–රයිෂවර්යි ම්යෝං-බොක් පසුව යි හූයි
1884දී ගත් ගෝජොං රජු (පසුව ග්වංමු අධිරාජයා) ගේ ඡායාරූපයක්. පර්සිවල් ලොවෙල් විසිනි.

‍ගෝජොං (හංගුල්: 고종; හන්ජා: 高宗; RR: ගෝජොං; MR: කෝජොං) හෙවත් ග්වංමු අධිරාජයා (හංගුල්: 광무제; හන්ජා: 光武帝; RR: ග්වංමුජේ; MR: ක්වංමුජේ; 8 සැප්තැම්බර් 1852 – 21 ජනවාරි 1919) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසිහයවන රජු වන අතර, ඔහු එහි අවසාන අධිරාජයාට පෙර අධිරාජයා වේ.

රාජ්‍ය සමය[සංස්කරණය]

ජොසොන් රාජවංශයේ රජ[සංස්කරණය]

කොරියාවේ ග්වංමු අධිරාජයා

1863දී ගෝජොං ජොසොන්හි සිහසුනට පත්වන විට ඔහු ළමා වියේ පසු විය. එබැවින් ඔහුගේ පියා වූ හ්‍යුංසොන් දේවොන්ගුන් (වඩාත් ප්‍රකටව දේවොන්ගුන්) ගෝජොං නිසි වියට එළඹෙන තෙක් වැඩබලන රජ ලෙස ක්‍රියාකළේ ය.

1860 දශකයේ මැද භාගයේ, හුදකලා ප්‍රතිපත්තිය සහ දේශීය විදේශීය කතෝලිකයන්ට හිංසා කිරීම සඳහා මූලිකත්වය ගත්තේ හයුංසොන් දේවොන්ගුන් විසිනි. මෙම ප්‍රතිපත්තිය ප්‍රංශ ආක්‍රමණය සහ 1871 කොරියාව වෙත එක්සත් ජනපද ගවේෂණය සඳහා ඍජුවම හේතු විය. සේවොන්ගුන්ගේ පාලන සමයේ මුල් කාලයේ රාජ්‍යත්වයේ සංකේතය වූ ග්යොංබොක්ගුං මාලිගය ප්‍රතිසංස්කරණය කිරීම සිදු විය. දේවොන්ගුන්ගේ සමයේ ජොසොන් පක්ෂ දේශපාලනය විශේෂයෙන්ම, සෝවොන් (පක්ෂ දේශපාලනයේ මූලිකයන් ලෙස ක්‍රියාකළ උගත් විද්වතුන්) සහ බලය අතැතිව තිබූ අන්දොං කිම් වංශය කොරියානු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දැමිණි.

1873දී, ගෝජොං සිය ඍජු රාජ්‍ය පාලනය ස්ථාපිත කරන බව නිවේදනය කළේ ය. ‍හ්‍යුංසොන් දේවොන්ගුන්ගේ විශ්‍රාම ගැනීමත් සමග, ගෝජොංගේ අගබිසව වූ මින් අගබිසව (මරණාපරව මියොංසොං අධිරාජිනිය ගෙස හැඳන්විණි) රාජසභාවේ සම්පූර්ණ පාලනය සියතට ගත්තේ ඇගේ පවුලේ සාමාජිකයන් මාලිගයේ ජ්‍යෙෂ්ඨ තනතුරුවලට පත් කරමිනි.

බාහිර පීඩනයන් සහ අසමාන ගිවිසුම්[සංස්කරණය]

19වන සියවසේ ක්විං චීනය සහ ජපානය අතර පැවති මතභේදය හේතුවෙන් 1894-1895 අතර කාලයේ පළමු චීන-ජපන් යුද්ධය ඇති විය. මෙම යුද්ධයේ බොහෝ අවස්ථා සිදු වූයේ කොරියානු අර්ධද්වීපය තුළ ය. මේ වන විට මෙයිජි ප්‍රතිෂ්ඨාපනයෙන් පසු බටහිර යුධ තාක්ෂණය අත් කරගත් ජපානය, 1876දී ගංග්හ්වා ගිවිසුම අත්සන් කිරීමට ජොසොන් රාජ්‍යයට බලකළේ ය. ඒ අනුව, මසුන්, යපස්, සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සොයන මුවාවෙන් ජපනුන් කොරියාව තුළට ඇතුළු වන්නට විය. එමගින් අර්ධද්වීපය තුළ දැවැන්ත ආර්ථිකයක් ගොඩනැගුණු අතර, මෙය ජපන් අධිරාජ්‍යයේ නැගෙනහිර ආසියානු ව්‍යාප්තියේ ආරම්භය ලෙස සැලකෙයි.

1866 කොරියාව වෙත ප්‍රංශ යුධ ව්‍යාපාරය, 1871 එක්සත් ජනපදයේ කොරියානු ගවේෂණය සහ උන්යෝ නැමැති ජපන් යුධනැවේ සිද්ධිය හේතුවෙන් ගෝජොං රජු ඇතුළු ජොසොන් නිලධාරීන්ට බලපෑම් ඇති විය.‍

කොරියාව, විදේශ රටක් සමග අත්සන් කළ පළමු අසමාන ගිවිසුම ලෙස ගංග්හ්වා ගිවිසුම සැලකෙයි. එමගින් කොරියාවේ සිටි ජපන් පුරවැසියන්ට බිහිදෙස් අයිතීන් හිමි වූ අතර, කොරියානු රජයට ජපානය සහ විදේශ රටවල් සමග වෙළඳමට බුසන්, ඉන්චොන් සහ වොන්සන් වරායයන් විවෘත කිරීමට සිදු විය. මෙම පළමු අසමාන ගිවිසුමත් සමග, කොරියාව අධිරාජ්‍යවාදී බලවේගවල පහසු ගොදුරක් බවට පත් විය. පසුව මෙම ගිවිසුම හේතුවෙන් ජපානය විසින් කොරියාව ඈඳගන්නා ලදී.[2]

ඉමෝ කැරැල්ල සහ ගස්පින් කුමන්ත්‍රණය[සංස්කරණය]

ගෝජොං සිය නව ගෙවන ලද රයිෆල් හමුදාව කෙරෙහි විශ්වාසය තැබී ය. නමුත් අසිපත්, හෙලි ආදියෙන් සන්නද්ධව පැවති පැරණි හමුදාව තමන්ට හිමිවන අඩු වේතනය සහ අඩු සැලකිලි හේතුවෙන් කැරැල්ලක් ආරම්භ කළේ ය. මෙහි දී හ්‍යුංසොන් දේවොන්ගුන් යළි බලය හිමි කරගත්තේ ය. කෙසේවෙතත්, ක්විං චීන සෙන්පති යුවාන් ෂිකායිගේ නායකත්වයෙන් යුත් චීන හමුදා දේවොන්ගුන්ව නෙරපා චීනයට රැගෙන ගියහ. ‍වසර හතරකට පසු දේවොන්ගුන් නැවත කොරියාව බලා පැමිණියේ ය.

1884 දෙසැම්බර් 4 දින, විප්ලවවාදීන් පස්දෙනකු විසින් ගප්සින් කුමන්ත්‍රණය ආරම්භ කළ අතර, පැරණි අමාත්‍ය විරෝධී කුඩා හමුදාවකින් යුතු වූ මොවුන්ගේ අරමුණ වූයේ ගෝජොං රජු සහ මින් රැජින අල්ලා ගැනීමටයි. දින 3කට පසු මෙම කුමන්ත්‍රණය අසාර්ථක විය. කිම් ඔක්ග්‍යුන් ඇතුළු මෙහි නායකයින් කිහිපදෙනෙක් ජපානය වෙත පලාගිය අතර, සෙස්සන්ට දඬවම් පමුණුවන ලදී.

ගොවි අරගල[සංස්කරණය]

පුළුල්ව පැතිරුණු දරිද්‍රභාවය 19වන සියවසේ ‍ජොසොන් රාජවංශය කෙරෙහි සැලකිය යුතු බලපෑම් එල්ල කළේ ය. මෙම දිළිඳුභාවය හේතුවෙන් පහත් පාන්තිකයන්ගේ තත්ත්වය බෙහෙවින් පහත් විය. ඔවුනට ලැබුණේ ආහාර ස්වල්පයක් වන අතර ජීවත් වූයේ මඩ සහ දූවිල්ලෙන් පිරි වීදි අවට මුඩුක්කුවල ය.[3] සාගත, දරිද්‍රභාවය, ඉහළ බදු සහ පාලන පන්තියේ දූෂණ ආදි හේතූන් ගණනාවක් හේතුවෙන් 19වන සියවසේ ගොවි අරගල ගණනාවක්ම ඇති විය. ගෝජොංට පෙර සිටි රජවරුන් විසින් 1811–1812 අතර කාලයේ හොං ක්යොං-නේගේ මූලිකත්වයෙන් ප්යොංගන් පළාතේ පැවති අරගල මර්දනය කොට තිබිණි.[4]

1894දී, දොංහක් ගොවි විප්ලවය නැමැති තවත් මහා කැරැල්ලක් ඇති වූ අතර මෙය රාජ්‍ය-විරෝධී, යැංබැන්-විරෝධී සහ විදේශ-විරෝධී මුහුණුවරක් ගත්තේ ය. මෙම කැරැල්ල මර්දනය කිරීම සඳහා, ජොසොන් රජය ජපානයේ හමුදා ආධාර පැතී ය. මෙලෙසින් කොරියාව ක්‍රමයෙන් ජපානයේ ආරක්ෂක රාජ්‍යයක් බවට පත් වන්නට විය.[5] අවසානයේ විප්ලවය අසාර්ථක වුවද, බොහෝ ගොවීන්ගේ අපහසුතාවන්ට විසඳුම් ලෙස ගැබෝ ප්‍රතිසංස්කරණය ඉදිරිපත් විය.

මින් අගබිසවගේ ඝාතනය[සංස්කරණය]

1895දී, ජපන් නියෝජිතයන් විසින් මින් අගබිසව ඝාතනය කරන ලදී. කොරියාව වෙනුවෙන් පත්කළ ජපන් අමාත්‍යවරයා වූ මියුරා ගොරෝ විසින් මෙය ඇයට එරෙහිව සැලසුම් කරන ලද්දකි. ජපන් හිතවාදී කොරියානු සෙබලුන් යටතේ පැවති සෝල්හි ග්යොංබොක්ගුං වෙත් ඇතුළු වූ ජපන් නියෝජිතයන් පිරිසක් මාලිගය තුළට කඩා වැදී අගබිසව ඝාතනය කළහ. මෙයට හේතුව අගබිසව විසින්, කොරියාව තුළ ජපන් බලපෑම්වලට එරෙහිව රුසියාවේ හෝ චීනයේ ආධාර ලබා ගැනීමට උත්සාහ දැරීමයි.

කොරියාවේ ජපන්-ප්‍රතිරෝධී මතය[සංස්කරණය]

1895දී ජපානය විසින් චීන-ජපන් යුද්ධය ජය ගැනීමත් සමග, කොරියානු රජය කෙරෙහි ජපන් බලපෑම තවත් තීව්‍ර විය. ගැබෝ ප්‍රතිසංස්කරණ සහ මින් රැජිනගේ ඝාතයත් සමග කොරියාව තුළ ජපන්-විරෝධී මතවාද ඉස්මතු වන්නට විය.

ඇතැම් කොන්ෆියුසියානු විද්වතුන් මෙන්ම ගොවීන් පවා එකතු වී කොරියානු නිදහස දිනා ගැනීම සඳහා 60කට අධික සාර්ථක ධර්මිෂ්ට හමුදා සංවිධානය කළහ. මෙම හමුදාවන් දොංහක් ව්‍යාපාරයෙන් පසුව ගොඩනැගුණු ඒවා වන අතර, එමගින් නොයෙකුත් කොරියානු නිදහස් ව්‍යාපාර බිහි විය.

රුසියානු තානාපති කාර්යාලයේ කොරියානු රාජකීය පිළිසරණ[සංස්කරණය]

1896 පෙබරවාරි 11දින, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු ආරක්ෂාව පතා ග්යොංබොක්ගුං සිට සෝල්හි රුසියානු තානාපති කාර්යාලය වෙත පලාගියහ. එහි සිට ඔවුහු වසරක පමණ කාලයක් රාජ්‍ය පාලනය කළ අතර, මෙම සිදුවීම රුසියානු තානාපති කාර්යාලයේ කොරියානු රාජකීය පිළිසරණ ලෙස හඳුන්වයි.

අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම[සංස්කරණය]

ගෝජොං අධිරාජයාගේ ආලේඛය සිතුවමක් (49 වියැති)

1897දී, විදේශ බලපෑම් මෙන්ම නිදහස් සංවිධාන මගින් මෙහෙයවූ මහජන මතය හේතුවෙන් ගෝජොං රජු නැවත ග්යොංබොක්ගුං (වර්තමාන දොක්සුගුං) වෙත පැමිණියේ ය. එහිදී ඔහු විසින් කොරියානු අධිරාජ්‍යය පිහිටුවූ බව නිවේදනය කළ අතර, ග්වංමු (හංගුල්: 광무, හන්ජා: 光武) (අරුත, "දිදුලන සහ රණකාමී") නැමැති නව යුග නාමයක් හඳන්වා දුන්නේ ය. මෙලෙසින් මිං රාජවංශය බිඳවැටුණු සමයේ සිට කොරියාව ක්විං චීන අධිරාජ්‍යයට දැක් වූ ඓතිහාසික පරාධීනභාවය අවසන් විය. ග්වංමු අධිරාජයා යන නාමය ආරූඪ කරගත් ගෝජොං රජු, රාජ්‍යයේ පළමු අධිරාජයා මෙන්ම කොරියානු අධිරාජ්‍යයේ ප්‍රවේණි උරුමකරු බවට පත් විය.

මෙය ඈත පෙරදිග පැවති සම්ප්‍රදායික චීන පඬුරු කප්පම් ක්‍රමය අහෝසි කළේ ය. අධිරාජ යන නාමය ආරූඪ කරගැනීමෙන් කොරියාව ක්විං ඡීනය හා සම තත්ත්වයේ පසු වූ බව අදහස් කෙරිණි. එය නාමිකව 1895දී පැවසූ පරිදි "සම්පූර්ණ" නිදහසක් කොරියාවට හිමි කරදුන්නේ ය.

කොරියාවේ අධිරාජයා[සංස්කරණය]

ගෝජොං අධිරාජයා සහ කිරුළහිමි සුන්ජොං කුමරු

1897දී ගෝජොං විසින් කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමත් සමග, චීනය සමග පැවති රටේ සම්ප්‍රදායික පඬරු කප්පම් ක්‍රමය අවසන් විය. ඔහු අසාර්ථක ග්වංමු ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරී ය.

1904-5 අතර කාලයේ, රුසියානු ජපන් යුද්ධයේ දී ජපානය තීරණාත්මක ජයග්‍රහණයක් හිමිකරගත්තේ ය. 1905දී කොරියාව සහ ජපානය අතර ඇති කරගත් ආරක්ෂක ගිවිසුම මගින්, කොරියාවට තිබූ ස්වාධීනත්වය අහිමි විය. මේ හේතුවෙන් ගෝජොං විසින් 1907 හේග් සාම සම්මේලනය වෙත් නියෝජිතයන් පිටත් කර හැරියේ, නැවත කොරියාවට ස්වාධීනත්වය ලබාගැනීම සඳහායි. ජපන් නියෝජිතයන් විසින් කොරියානු නියෝජිතයන්ට අවහිර සිදු කළ ද, අධෛර්යයට පත් නොවූ ඔවුහු පසුව පුවත්පත් සාකච්ඡා පැවැත්වූහ.

එක් නියෝජිතයෙක් ජපානයේ ආසියානු අපේක්ෂා පිළිබඳ මෙසේ අනතුරු හඟවයි: "එක්සත් ජනපදය ඈත පෙරදිග ජපානයේ ප්‍රතිපත්තියත්, ඉන් ඇමරිකානු ජනතාවට ඇතිවන බලපෑමත් වටහාගෙන නැත. ජපානය අනුගමනය ප්‍රතිපත්තිය නිසා අවසානයේ දී මුළු ඈත පෙරදිගම වානිජ සහ කර්මාන්ත ක්ෂේත්‍රවල පාලනය ඇගේ අණසකට නතු කරගත හැකි වනු ඇති. ජපානය, එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍යයට එරෙහිව කටයුතු කරයි. එක්සත් රාජධානිය ජපානය පිළිබඳ ඕනෑකමින් යුතුව පරීක්ෂාවෙන් නොසිටියහොත් ජපානය විසින් ඇමරිකානුවන් සහ ඉංග්‍රීසි ජාතිකයින් ඈත පෙරදිගින් පිටමං කිරීමට උත්සාහ දරනු ඇති."

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ජපනුන් ගෝජොංට සිහසුන අත්හැරීමට බලකළ අතර, ගෝජොංගේ පුත් සුන්ජොං සිහසුනට පත් විය.

සිහසුන අත්හළ පසු[සංස්කරණය]

සිහසුන අත්හළ පසු, ජපනුන් විසින් ගෝජොං අධිරාජයාව දොක්සු මාලිගයේ නිවාස අඩස්සියේ තබන ලදී. 1910 අගෝස්තු 22 දින, ජපන්-කොරියා ඈඳාගැනීමේ ගිවිසුම මගින් ජපානය, කොරියාව සිය අධිරාජ්‍යයට ඈඳාගත්තේ ය.

1919 ජනවාරි 21වන දින දොක්සුගුං මාලිගය තුළ දී ගෝජොං හදිසියේම මරණයට පත් විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 67කි. ජපන් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ඔහුට වස දී මරණයට පත්වන්නට ඇති බවට කටකතා මේ කාලයේ පැතිරගියේ ය. ඔහුගේ මරණය සහ අනුයාත අවමංගල්‍යය, ජපන් පාලනයෙන් කොරියානු නිදහස දිනාගැනීම උදෙසා වූ මාර්තු එක ව්‍යාපාරය සඳහා උත්ප්‍රේරකයක් විය. ඔහුගේ දේහය ඔහුගේ බිරිඳ භූමදාන කළ නම්යංජු නගරයේ හොංන්‍යුං (홍릉, 洪陵) රාජකීය සොහොනෙහි භුමදානය කරන ලදී.

පවුල[සංස්කරණය]

  • පියා: යි හා-ඉයුං, හ්‍යුංසොන් දේවොන්ගුන් (මහා මාලිගයේ කුමරු) (흥선대원군)
  • මව: යෝහ්‍යුං මින් වංශයේ මහා මින් යෝහ්‍යුං ආර්යාව, මහා මාලිගයේ කුමරුගේ වල්ලභ කුමරිය (여흥부대부인 민씨)
  • බිසෝවරුන් සහ ඔවුන්ගේ දරුවන්:
  1. යෝහ්‍යුං මින් වංශයේ මියොංසොං අධිරාජිනිය (명성황후 민씨,[notes 1] 19 ඔක්තෝබර් 1851 – 8 ඔක්තෝබර් 1895)
    1. නම් නොලද කුමරෙක් (1871[notes 2])
    2. කිරුළහිමි කුමරු, (황태자 25 මාර්තු 1874 – 24 අප්‍රේල් 1926)
    3. නම් නොලද කුමරෙක් (1875[notes 3])
    4. නම් නොලද කුමරෙක් (1878[notes 4])
    5. නම් නොලද කුමරියක් (1873[notes 5])
  2. ඉයොම් වංශයේ ගෞරවනීය වල්ලභ කුමරිය[notes 6][notes 7] (귀비 엄씨, 5 ජනවාරි 1854 – 20 ජූලි 1911)
    1. කිරුළහිමි යුයිමින් කුමරු (의민태자,[notes 8] 20 ඔක්තෝබර් 1897 – 1 මැයි 1970). ගෝජොංගේ සත්වන පුත්‍රයායි. ඔහු ජපානයේ මොරිමසා නෂිමොටොනොමියා කුමරුගේ දියණියක වූ මසාකෝ නෂිමොටොනොමියා කුමරිය සමග විවාහ විය.
  3. යොංබෝ ශාලාවේ ලී ග්වයි-ඉන් (영보당귀인 이씨, 1847–1928)
    1. වන්හ්වා කුමරු (완화군,[notes 9] 16 අප්‍රේල් 1868 – 12 ජනවාරි 1880)
    2. නම් නොලද කුමරියක්
  4. ජං ග්වයි-ඉන් (귀인 장씨)
    1. යුයිහ්වා කුමරු (의화군,[notes 10] 30 මාර්තු 1877 – අගෝස්තු 1955). ඔහු කිම් සා-ජුන් සිටුවරයාගේ දියණිය වූ කිම් සු-දොක් (පසුව දෝගින් කුමරිය ලෙස ප්‍රකට විය) සමග විවාහ විය.
  5. ග්වංහ්වා ශාලාවේ ලී ග්වයි-ඉන්[notes 11] (광화당귀인 이씨, 1887–1970)
    1. යි යූක්, අධිරාජ්‍යයේ කුමරු (이육, 1914–1915[notes 12])
  6. බෝහ්යොන් ශාලාවේ ජොං ග්වයි-ඉන් (보현당귀인 정씨)
    1. යි වූ, අධිරාජ්‍යයේ කුමරු (이우, 1915–1916)
  7. බොක්න්‍යොං ශාලාවේ යැං ග්වයි-ඉන් (복녕당귀인 양씨, 1882–1929)
    1. දොක්හ්යේ කුමරිය (덕혜옹주, 25 මැයි 1912 – 11 අප්‍රේල් 1989). ගෝජොංගේ 4වන දියණියයි. ඇය ට්සුෂිමාවේ ජපන් වංශවතකු වූ ටකෙයුකි සෝ සිටුවරයා සමග විවාහ වූවා ය.
  8. නේඅන් ශාලාවේ ග්වයි-ඉන් (내안당귀인 이씨)
    1. නම් නොලද කුමරියක්
  9. සම්චුක් ශාලාවේ කිම් ආර්යාව[notes 13] (삼축당상궁 김씨, 1890–1972)
    1. දරුවන් නැත
  10. ජොංහ්වා ශාලාවේ කිම් ආර්යාව (정화당상궁 김씨, 1871–?)
    1. දරුවන් නැත
  11. යොම් ආර්යාව (상궁 염씨)
    1. යි මුන්-යොං, අධිරාජ්‍යයේ කුමරිය (이문용, 1900–1987)
  12. සියෝ ආර්යාව (상궁 서씨)
    1. දරුවන් නැත
  13. කිම් ආර්යාව[notes 14] (상궁 김씨)
    1. දරුවන් නැත

පදවි නාමයන්[සංස්කරණය]

  • යි මියොං-බොක් (ජේහ්වං) උතුමාණන් (李命福 이명복 යි මියොං-බොක්), හ්‍යුංසොන් කුමරුගේ දෙවන පුත්‍රයා, යොංජෝ රජුගේ මහා-මහා-මුණුපුරෙකි (1852–1863)
  • රාජෝත්තම කොරියාවේ ගෝජොං රජු (1863–1894)
  • කොරියාවේ ගෝජොං "රජ්ජුරුවන් වහන්සේ" (1894-1897)
  • අධිරාජ උත්තම කොරියාවේ ග්වංමු අධිරාජයා (大韓帝國光武大皇帝陛下 대한제국광무대황제폐하 සේහන් ජේගුක් ග්වංමු දේහ්වංජේ ප්යේහා) (1897–1907)
  • අධිරාජ උත්තම කොරියාවේ විශ්‍රාමලත් අධිරාජයා (大韓帝國太皇帝陛下 대한제국태황제폐하 දේහන් ජේගුක් තේහ්වංජේ ප්යේහා) (1907–1910), මෙය ජපන් රජය විසින් ඔහුව සිහසුනෙන් නෙරපීමෙන් පසු භාවිත විය.
    • රාජෝත්තම කොරියාවේ විශ්‍රාමලත් රජ (德壽宮李太王殿下 덕수궁이태왕전하 දොක්සුගුං යි තේවං ‍ජොන්හා) (1910–1919), ජපානය විසින් කොරියාව ඈඳාගැනීමෙන් පසු, ජපන් රජය විසින් දෙන ලද ධුරයෙන් පහත හෙළන ලද නාමයයි.

ඔහුගේ යුග නාමය[සංස්කරණය]

ජොසොන් රාජවංශ සමයේ[සංස්කරණය]

  1. ග්ගුක් (開國, 개국 : ගෝජොං රජු‍ගේ 1894 – 1895 රාජ්‍ය සමය සඳහා භාවිත විය)
  2. ගොන්යැං (建陽, 건양 : ගෝජොං රජුගේ 1896 – 1897 රාජ්‍ය සමය සඳහා භාවිත විය)

කොරියානු අධිරාජ්‍යයේ සමයේ[සංස්කරණය]

  1. ග්වංමු (광무; 光武; "දීප්තිමත් වික්‍රමය") – ගෝජොං අධිරාජයාගේ සමයේ භාවිත විය, 1897–1907

ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය[සංස්කරණය]

  • කොරියාවේ මහා අධිරාජ උත්තම ගෝජොං තොංචොන් යුං-උන් ජෝග්‍යුක් දොන්යුන් ජොංසොං ග්වං-උයි මියොංගොං දේදොක් යෝජුන් සුන්හ්විඋමෝ තංග්යොං ඉයුංමියොං රිප්ජි ජිහ්වා සින්ර්යොල් ඔයිහුන් හොං-ඉයොප් ග්යේගි සොන්ර්යොක් ගොන්හෙං ගොන්ජොං යොං-උයි හොංහ්යු සුගං මුන්හොන් මුජං ඉනික් ජොංහ්යෝ තේ අධිරාජයා
  • 대한제국고종통천융운조극돈윤정성광의명공대덕요준순휘우모탕경응명립기지화신렬외훈홍업계기선력건행곤정영의홍휴수강문헌무장인익정효태황제폐하
  • 大韓帝國高宗統天隆運肇極敦倫正聖光義明功大德堯峻舜徽禹謨湯敬應命立紀至化神烈巍勳洪業啓基宣曆乾行坤定英毅弘休壽康文憲武章仁翼貞孝太皇帝陛下
  • දේහන් ජේගුක් ගෝජොං තොංචොන් යුං-උන් ජෝග්‍යුක් දොන්යුන් ජොංසොං ග්වං-උයි මියොංගොං දේදොක් යෝජුන් සුන්හ්වි උමෝ තංග්යොං ඉයුංමියොං රිප්ගි ජිහ්වා සින්ර්යොල් ඔයිහුන් හොං-ඉයොප් ග්යේගි සොන්ර්යොන් ගොන්හෙං ගොන්ජොං යොං-උයි හොංහ්යු සුගං මුන්හොන් මුන්ජං ඉනික් ජොංහ්යෝ තේ හ්වංජේ ප්යේහා

පෙළපත[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. ඇයට 태황후 තේහ්වංහු යන මරණාපර පදවිය පිරිනැමිණි
  2. ජීවත් වූයේ දින 4ක් පමණි
  3. ජීවත් වූයේ දින 14ක් පමණකි (සති 2ක් පමණ)
  4. දින 105ක් (මාස 3කුත් සති 2කුත් සහ දින 1ක්) පමණකි ජීවත් වූයේ
  5. ඇය ජීවත් වූයේ දින 222ක් (මාස 7කුත්, සති 1කුත් සහ දින 5ක්) පමණි
  6. ඇයට 순헌황귀비 (සුන්හොන් හ්වං-ගවයි-බි හෙවත් "සුන්හොන්, ඉහළම ශ්‍රේණියේ අධිරාජයාගේ උපබිසව" යන මරණාපර පදවිය පිරිනැමිණි)
  7. ඇගේ සම්පූර්ණ නාමය ඉයොම් සොන්-යොං (엄선영) ය. ඇය ඉයොම් ජින්-සම් (엄진삼) සහ ජ්‍යුං චන්-ජොං (증찬정) ගේ දියණියයි
  8. කොරියානු අධිරාජ්‍ය සමයේ ඔහුව "අධිරාජ්‍යයේ යොං කුමරු" (영친왕) ලෙස නම්කෙරිණි
  9. කොරියානු අධිරාජ්‍ය සමයේ ඔහුව මරණාපරව "අධිරාජ්‍යයේ වොන් කුමරු" (완친왕) ලෙස නම් කෙරිණි
  10. කොරියානු අධිරාජ්‍ය සමයේ ඔහුව "අධිරාජ්‍යයේ උයි කුමරු" (의친왕) ලෙස නම් කෙරිණි
  11. ඇගේ සම්පූර්ණ නාමය ලී වන්-හ්‍යුං (이완흥) ය
  12. ඇතැමුන් පවසන්නේ ඔහු ජීවත් වූයේ 1906–1908 යන කාලයේ බවයි
  13. ඇගේ සම්පූර්ණ නාමය කිම් ඔක්-ගි (김옥기) ය
  14. ඇගේ සම්පූර්ණ නාමය කිම් චුං-යොන් (김충연) ය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 高宗太皇帝行狀
  2. ලී ජේ-මින් (8 සැප්තැම්බර් 2010). "ට්‍රීටි ඈස් ප්‍රීලියුඩ් ටු ඇනෙක්සේෂන්". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 26 ජූලි 2012. 
  3. ලැන්කොව්, ඇන්ඩ්‍රෙයි; කිම් ඉයුන්හෙං (2007). ද ඩෝන් ඔෆ් මොජර්න් කොරියා. 384-12 සොක්යෝ-දොං, මාපෝ-ගු, සෝල්, දකුණු කොරියාව, 121-893: ඉයුන්හෙං නාමු. පිටු 47. ISBN 978-89-5660-214-1. 
  4. "හොං ක්යොං-නේ රිබෙලියන්". බ්‍රිටනිකා විශ්වකෝෂය මාර්ගස්ථ. බ්‍රිටනිකා විශ්වකෝෂය. 2010. 
  5. කිම් හ්යුංග්යූං, "ජංහ්‍යුං, වෙයා කොරියන් ලිට්රිචර් ඊස් ඩීප්ලි රූටඩ්"

බාහිර සබැඳි[සංස්කරණය]

කොරියාවේ ගෝජොං
උපත: 25 ජූලි 1852 මරණය: 21 ජනවාරි 1919
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
චොල්ජොං
ජොසොන්හි රජ
13 දෙසැම්බර් 1863 — 1897
හ්‍යුංසොන් දේවොන්ගුන් සමග (1863–1873)
මින් අගබිසව (1873–1895)
අනුප්‍රාප්තික වූයේ
ඔහුම
කොරියාවේ අධිරාජයා ලෙස
පූර්වප්‍රාප්තික වූයේ
ඔහුම
කොරියාවේ රජ ලෙස
කොරියාවේ අධිරාජයා
1897 — 21 ජනවාරි 1907
අනුප්‍රාප්තික වූයේ
යුංහුයි අධිරාජයා
"https://si.wikipedia.org/w/index.php?title=කොරියාවේ_ගෝජොං&oldid=419543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි