Jump to content

පසුකාලීන තුන් රාජධානි

විකිපීඩියා වෙතින්
පසුකාලීන තුන් රාජධානි
කොරියානු නම
හංගුල්후삼국시대 or 후삼국 시대
හන්ජා後三國時代
ප්‍රතිශෝධිත රෝමානුකරණයHusamguk Sidae
මැකූන්–‍රයිෂවර්Husamguk Sidae

කොරියාවේ පසුකාලීන තුන් රාජධානි (892–936) යටතට සිල්ලා, හුබෙක්ජේ ("පසුකාලීන ‍බෙක්ජේ") සහ හුගොගුර්යෝ ("පසුකාලීන ගොගුර්යෝ", මෙය ගොර්යෝව විසින් විස්ථාපනය කරන ලදී) යන රාජධානි තුන අයත් වේ. මෙහ අවසානයට සඳහන් කළ රාජධානි දෙක සිල්ලාව විසින් එක්ස්ත කරන ලද මුල්කාලීන සෙසු කොරියාවේ තුන් රාජධානිවල උරුමකරුවන් යැයි හඳුන්වාගෙන ඇත. මෙම යුගය එළැඹියේ සිල්ලාහි ජින්සොං රැජිනගේ රාජ්‍ය සමයේ පැවති නොසන්සුන් වාතාවරණය හමුවේ ය. ‍සාමාන්‍යයෙන් පසුකාලීන තුන් රාජධානි යුගය ලෙස සැලකෙන්නේ ග්යොන් හ්වොන් විසින් හුබෙක්ජේ රාජ්‍යය පිහිටුවූ සමයේ සිට ගොර්යෝව විසින් කොරියානු අර්ධද්වීපය එක්සත් කිරීම දක්වා වූ කාල සීමාවයි.[1]

පසුබිම

[සංස්කරණය]

9වන සහ 10 වන සියවස වන විට "අස්ථි ශ්‍රේණි පද්ධතිය" මත රඳා පැවතීම හේතුවෙන් සිල්ලාව තුළ නොයෙකුත් ගැටලු ඇතිවන්නට විය. මෙම ක්‍රමය අනුව ඉහළ නිලතල දැරිය හැකි වූයේ වංශවත් පසුබිමක් සහිත පුද්ගලයිනට පමණි. පාලන රාජකීය පවුල විසින් මෙම ක්‍රමය අවභාවිතයට ගනිමින් දේශපාලනිකව සිය අධිකාරිය පවත්වා ගැනීමට උත්සාහ දරන ලදී. මේ නිසා සිල්ලාවේ අවසන් කාලය වනවිට අසහනකාරී සමයයක් පැවතිණි. හොජොක් (හංගුල්:호족, හන්ජා: 豪族) නැමැති ප්‍රදේශික වංශවතුන් එනම්, මැදි මට්ටමේ වංශවතුන් හෝ ගම් ප්‍රධානීන් මෙම අරගලකාරී සමයේ තමන්ගේම ස්වාධීන පෞද්ගලික සේනා සංවිධානය කරමින් බලය රැස්කරන්නට වූහ.[2] හ්යේගොං රජුගේ මරණින් පසු මෙම තත්ත්වය තවත් උග්‍ර වූයේ රාජකීය අනුප්‍රාප්තිය පිළිබඳ එකඟත්වයකට පැමිණිය නොහැකි වීම හේතුවෙනි. මේ නිසා හොජොක් නායකයින් අතර අරගල පැවතිණි. මේ වනවිට සිල්ලාවේ දේශපාලන වාතාවරණය මෙන්ම මූල්‍යමය තත්ත්වය ද පිරිහෙමින් පැවතිණි. වංශවතුන්ගේ සහයෝගීත්වයෙන් තොරව බදු එක්රැස් කිරීම අපහසු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගම් වැසින් සහ ගොවීන් මත අධික ලෙස බදු පැනවිණි. මේ හේතුවෙන් 889දී එනම් ජින්සොං රැජිනගේ තෙවන රාජ්‍ය වර්ෂයේ දී කැරැල්ලක් ඇති විය. ඉන් අනතුරුව එළැඹි වසර 100 ඇතුළත කැරලි ගණනාවක් ඇති වූ අතර, එමගින් සිල්ලාව බිඳවැටෙන්නට විය.[1]

හුබෙක්ජේ සහ හුගොගුර්යෝ

[සංස්කරණය]

සිල්ලාව පරිහානියට පත්වන්නට පටන් ගැන්මත් සමග, සිල්ලාවේ හිටපු සෙන්පතියකු වූ ග්යොන් හ්වොන් කැරලි හමුදා මෙහෙවමින් 892දී වර්තමාන ග්වංජු ප්‍රදේශයට අයත් පළාත් අගනුවර වූ මුජින්ජු (හංගුල්:무진주, හන්ජා:武珍州) පටත් කරගත්තේ ය. අනතුරුව ඔහු නිරිතදිග ප්‍රදේශ ආක්‍රමණය කරන්නට වූ අතර, 900දී ග්යොන් හ්වොන් තමන් හුබෙක්ජේ ("පසුකාලීන බෙක්ජේ") හි රජු ලෙස ප්‍රකාශ කළේ ය. මෙය ‍බෙක්ජේහි ශ්‍රීවිභූතිය යළි පුනර්ජීවනයට පිහිටුවූ රාජ්‍යයකි. එහි අගනුවර වන්සන්ජු (හංගුල්:완산주, හන්ජා:完山州) හෙවත් වර්තමාන ජොන්ජුහි පිහිටුවූ ඔහු සිය රාජධානිය පුළුල් කරන්නට උත්සාහ ගත්තේ ය.[1][3]

සිල්ලාවෙන් පැමිණි ගුං යේ හට රාජකීය හෝ වංශවත් පසුබිමක් සහිත වන්නට ඇතැයි සැලකේ.[4] ඇතැම් ඉතිහාසඥයින් අනුමාන කරන්නේ ඔහු සිල්ලාවේ "කිම්" යන රාජකීය පෙළපත් නාමය ප්‍රදානය කෙරුණු ගෝ අන්ස්‍යුංගෙන් පැවත එන බවයි.[5] මුලින් බෞද්ධ භික්ෂුවක වූ ඔහු දේශපාලන පිබිදීම් සඳහා සම්බන්ධ විය. ඔහු බොහෝ සේනාවන්හි නායකත්වයට පත් විය. විශාල භූමි ප්‍රදේශයක් ආක්‍රමණය කළ ඔහු 895දී මියොංජු (හංගුල්:명주, හන්ජා:溟州) හි සිය පදනම පිහිටුවී ය. වර්තමාන ගංන්‍යොං ප්‍රදේශයට අයත් මෙම භූමිය පිහිටුවීමට වං ගොන් ඇතුළු බොහෝ ප්‍රාදේශීය ප්‍රධානීන්ගේ සහාය හිමි විය. 901දී ගුං යේ විසින් හුගොගුර්යෝ රාජධානිය පිහිටුවන ලදී. නමුත් 904දී ඔහු එහි නාමය මාජින් ලෙස වෙනස් කොට අගනුවර චෝර්වොන් වෙත ගෙනගියේ ය. 911දී ඔහු සිය රාජ්‍යයේ නාමය තේබොං ලෙස යළි වෙනස් කරන ලදී.[1][6]

පසුකාලීන තුන් රාජධානි එක්සත් කිරීම

[සංස්කරණය]

මුල්කාලයේ සාරවත් තැනිතලා සහ චීනය සමග පැවැත්වූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හේතුවෙන් හුබෙක්ජේ රාජ්‍යය ජාතික බලය අතින් ප්‍රමුඛත්වය ගත්ත ද, හුගොගුර්යෝව මඳ කලකින්ම නව තුන් රාජධානිය සමයේ විශාලතම බලවතා බවට පත් විය. ගුං යේ සහ සෙන්පති වං ගොන් යටතේ එය සිය රාජ්‍යය පුළුල් කරන්නට වූ අතර, අර්ධද්වීපයේ භූමියෙන් හතරෙන් තුනක්ම වාගේ ඔවුන් සතුව පැවතිණි. කෙසේනමුත්, කාලයත් සමග ගුං යේ තමන් මෛත්‍රෙය බුදුන් ලෙස හඳුන්වා ගනිමින් ඒකාධිපති පාලනයක් ගෙනයන ලදී. මේ නිසා 918දී වං ගොන් විසින් ඔහුව සිහසුනෙන් පහකරන ලදී.[1][7] ගොර්යෝ යනුවෙන් නව රාජවංශයක් ස්ථාපනය කළ වං ගොන් එම වර්ෂයේ දී එහි අගනුවර සොන්ගක් (හංගුල්:송악, හන්ජා:松嶽) වෙත ගෙනගියේ ගොර්යෝ, බෙක්ජේ සහ සිල්ලා ලෙස බලවතුන් තිදෙනකු සිටි යුගයක් උදා කරමිනි.[8]

තුන් රාජධානි නිරන්තර බල අරගලයක නිතරව පැවති නමුත්, මේ වනවිට සිල්ලාව දුර්වල රාජ්‍යයක් බවට පත්ව තිබූ හෙයින් සෙසු රාජ්‍ය ද්විත්වයට එය එතරම් තර්ජනයක් නොවී ය. හුබෙක්ජේ ආක්‍රමණයක් දියත් කළ ද, ගොර්යෝවේ වංගොන් සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමික් සිල්ලාවේ ප්‍රසාදය දිනාගත්තේ ය.[1] හුබෙක්ජේ සහ ගොර්යෝ අතර අරගලය සිල්ලා භූමිය අසල දී උග්‍ර විය. එයට හේතුව එම ජාතීන් ද්විත්වයටම එම ප්‍රදේශයේ බලය හිමි කරගැනීමට අවශ්‍ය වීමයි. 927දී සිල්ලාවේ අගනුවර වූ ග්යොංජු ආක්‍රමණය කළ හුබෙක්ජේ හමුදා විසින් ගොර්යෝ හමුදා විනාශ කර දමන ලදී.[9] එයට ප්‍රතිචාර වශයෙන් 930දී ගෝචං සටන ගොර්යෝව ජයගත් අතර, 934දී වූංජින් භූමිය යළි තමන් සතු කරගන්නා ලදී.[1]

935දී, බෙහෙවින් දුර්වලව පැවති සිල්ලාවේ ග්යොංසුන් රජු ගොර්යෝවට යටත් විය. මේ කාලයේ, හුබෙක්ජේහි අභ්‍යන්තර අරගල හේතුවෙන් රාජ්‍යය ව්‍යාකූලත්වයට පත්ව තිබිණි. ග්යොන් හ්වනෝ සිය බාලම පුත්‍රයා වූ ග්‍යුම්ගං සිය උරුමකරු ලෙස නම්කළේ ය. නමුත් ඔහුගේ සෙසු පුත්‍රයින් (පළමු බිසවට දාව උපන්) ඔහුට විරුද්ධව කැරලි ගසා ග්යොන් හ්වොන්ගේ වැඩිමහල්ම පුත්‍රයා වූ සින්ගොම් සිහසුනට පත්කළේ , ග්යොන් හ්වොන් ග්‍යුම්සන් විහාරයේ සිරගත කරමිනි. පසුව ග්යොන් හ්වොන් ගොර්යෝව වෙත පලාගියේ ය. වංගොන්ගේ හමුදා සමග හක්වූ ඔහු තමන් විසින්ම පිහිටුවූ රාජ්‍යයට එරෙහිව සටන් වැදුණේ ය. 936දී හුබෙක්ජේ රාජ්‍යය බිඳවැටුණු අතර ගොර්යෝව විසින් අර්ධද්වීපය යළි එක්සත් කරන ලදී.[9]

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ a b c d e f g (in Korean) Later three kingdom era, Nate, http://100.nate.com/dicsearch/pentry.html?s=K&i=260575&v=43 .
  2. ^ Korea through the Ages, 1, pp. 99–103 .
  3. ^ (in Korean) Gyeon Hwon, Naver, http://100.naver.com/100.nhn?docid=9401, ප්‍රතිෂ්ඨාපනය 2017-11-04 .
  4. ^ "Gung Ye at The Academy of Korean Studies". people.aks.ac.kr. සම්ප්‍රවේශය 7 March 2011.
  5. ^ Seo Byeongguk (서병국), The History of Balhae Empire (발해제국사) p36, Seohaemunjib, Paju, 2005. ISBN 89-7483-242-9.
  6. ^ (කොරියානු) Taebong[permanent dead link] at Doosan Encyclopedia
  7. ^ Korea through the Ages Vol. 1 pp 110-113
  8. ^ (කොරියානු) Goryeo Taejo සංරක්ෂණය කළ පිටපත 2023-08-10 at the Wayback Machine at Doosan Encyclopedia
  9. ^ a b Korea through the Ages Vol. 1 p113

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  • The Academy of Korean Studies, Korea through the Ages Vol. 1, The Editor Publishing Co., Seoul, 2005. ISBN 89-7105-544-8
"https://si.wikipedia.org/w/index.php?title=පසුකාලීන_තුන්_රාජධානි&oldid=623402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි