පසුකාලීන බෙක්ජේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
පසුකාලීන බෙක්ජේ
후백제 (後百濟)
892–936
පසුකාලීන බෙක්ජේ (කොළ පැහැයෙන්) ක්‍රි.ව. 915 දී
අගනුවර වන්සන්ජු
භාෂා කොරියානු
ආගම කොරියානු බුදු දහම, කොරියානු කොන්ෆියුසියානුවාදය, කොරියානු තාඕවාදය, කොරියානු ශාමන්වාදය
රජය රාජාණ්ඩුව
රජ
 •  892–935 ග්යොන් හ්වොන් (පළමු)
 •  935–936 සින්ගොම් (අවසන්)
ඉතිහාසය
 •  ස්ථාපනය 892
 •  බිඳවැටීම 936
පූර්වප්‍රාප්තික වූයේ
අනුප්‍රාප්තික වූයේ
එක්සත් සිල්ලා
ගොර්යෝ රාජවංශය
වර්තමානයෙහි මෙහි කොටසකි  දකුණු කොරියාව
පසුකාලීන බෙක්ජේ
හංගුල් 후백제
හංජා 後百濟
සංශෝධිත රොමානුකරණය Hu-baekje
මෙකන්–රයිෂවර් Hu-paekche

හුබෙක්ජේ හෙවත් පසුකාලීන බෙක්ජේ (හංගුල්: 후백제; හන්ජා: 後百濟; RR: Hubekje, කොරියානු උච්චාරණය: [hu.bɛk̚.t͈ɕe]) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ පසුකාලීන තුන් රාජධානිවලින් එකක් වන අතර, මෙම රාජ්‍යය, හුගොගුර්යෝ සහ සිල්ලාව එක්වී පසුකාලීන තුන් රාජධානි නිර්මාණය විය.[1] මෙම රාජධානිය නිල වශයෙන් ස්ථාපනය කරන ලද්දේ කලකිරීමට පත් සිල්ලා සෙන්පතියකු වූ ග්යොන් හ්වොන් විසින් 900දී ය. ක්‍රි.ව. 936දී එය වං ගොන්‍‍‍ගේ ගොර්යෝ හමුදාවට යටත් විය. එහි අගනගරය වර්තමාන උතුරු ජොල්ලා පළාතට අයත් ජොන්ජුහි පිහිටා තිබිණි. මෙම රාජධානිය පිළිබඳ බොහෝමයක්‍ තොරතුරු හමුවන්නේ සම්ගුක් යුසා සහ සම්ගුක් සගි නැමැති එකම කාලයේ ලියැවුණු මූලාශ්‍ර දෙකෙහි වාර්තාවලිනි.

පසුබිම[සංස්කරණය]

892 මුජින්ජුහි දී සිය ආක්‍රමණය දියත් කරන විට ග්යොන් හ්වොන් පසුකාලීන 9වන සියවසේ දුර්වල සිල්ලා පාලකයින්ට එරෙහිව පැන නැගුණු කැරැලිවල සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය. මෙම කැරැලිවලින් බොහෝමයක් මූලිකව පැනනැගුණේ 889දී ගොවි ජනයා මත බදු පැනවීමට සිල්ලාව තීරණය කිරීමත් සමගයි. (ලී, 1984, පි. 98) මේ කාලයේ, අර්ධද්වීපයේ බල ව්‍යාප්තියෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රදේශීය වංශවතුන් සතු විය. ඔවුන් මධ්‍යම රජය කෙරෙහි දැක්වූයේ අල්ප වූ රාජපාක්ෂිකභාවයකි. මේ නිසා නොසතුටට පත්වූ යුධ නිලධාරීන් විසින් මෙහෙයවූ කැරැලි පහසුවෙන් දියත් කළ හැකි විය.

සිය නාමය ලෙස හුබෙක්ජේ යන්න යොදා ගැනීමෙන් මෙම රාජ්‍යය පුරාතන බෙක්ජේ රාජධානියේ නීත්‍යානුකූල අනුප්‍රාප්තික රාජ්‍යය තමන් බව පෙන්වීමට උත්සාහ දරා ඇත. බෙක්ජේ රාජධානිය 660දී සිල්ලාව විසින් යටත් කරගන්නා තෙක්ම කොරියානු අර්ධද්වීපයේ නිරිතදිග ප්‍රදේශවල බලය බෙක්ජේ රාජ්‍යය සතුව පැවතිණි.

අභ්‍යන්තර කටයුතු[සංස්කරණය]

හුබෙක්ජේ රාජ්‍යයේ අවසන් වර්ෂය හැර සෙසු වර්ෂවල එය පාලනය කරන ලද්දේ ග්යොන් හ්වොන් විසිනි. ඔහුගේ පෞද්ගලික පාලන ශෛලිය රාජ්‍යයේ ඉරණම කෙරෙහි බෙහෙවින් බලපෑවේ ය.

තමන් රජු ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව, ග්යොන් ‍හ්වොන් භාර්යාවන් ගණනාවක් විවාහ කොට ගත් අතර, ඔහුගේ පළමු බිසවට දාව උපන් පුතුන් 8 දෙනා හැරුණු විට, සෙසු බිසෝවරුන්ගෙවන් ඔහුට පුත්‍රයින් 10 දෙනකු වූ බැව් කියැවේ.

935දී, ග්යොන් හ්වොන් සිය පුතුන් අතුරින් සිව්වන පුත්‍රයා වූ ග්‍යුම්ගං හුබෙක්ජේහි කිරුළහිමි කුමරු ලෙස තෝරාගන්නා ලදී. මේ හේතුවෙන් ඔහුගේ වැඩිමහල්ම පුත්‍රයා වූ සින්ගොම් සිය සොහොයුරන් සමග කුමන්ත්‍රණය කොට සිය පියාව ගිම්ජේහි ග්‍යුම්සන්සාවල සිර කළේ ය. ග්‍යුම්ගං කුමරුන්ව ඝාතනය කළ සින්ගොම් සිහසුන පැහැරගත්තේ ය. කෙසේනමුත්, ග්යොන් හ්වොන් ගොර්යෝව වෙත පලාගියේ ය.

යුධ කටයුතු[සංස්කරණය]

රාජ්‍යය පැවති කාලයේ වැඩි ප්‍රමාණයක් හුබෙක්ජේ රාජ්‍යයට නාජු ප්‍රදේශයේ වං ගොන්ගේ නාවික ආක්‍රමණවලට එරෙහිව සටන් කිරීමට වැය විය. මේ හේතුවෙන් දකුණු චීන රාජධානි සමග වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බාධා පැමිණියේ ය.

හුබෙක්ජේ රාජ්‍යය සතුව සැලකිය යුතු ශක්තිමත් යුධ හැකියාවක් පැවතිණි. ලී (1984, පි. 99) ග්යොන් හ්වොන් පිළිබඳ රචනා කරන්නේ "ගුං යේ සහ වං ගොන් ඔහුගේ මග ඇවූරූයේ නැත්නම්, නිසැකවම ඔහුට සිල්ලාව බිඳ දැමීමට එතරම් අපහසු නොවනු ඇත." හුබෙක්ජේ රාජ්‍යය 927දී උච්චස්ථානය කරා එළඹියේ ය. එම වර්ෂයේ දී එහි හමුදා සිල්ලාවේ ග්යොංජු අගනරවට පහර දී එය කොල්ලකෑහ. අනතුරුව ග්යොන්ගේ රජුව මරා දමා ග්යොංසුන් රජු පාලකයා ලෙස පත්කරන ලදී. මෙම ආක්‍රමණයට පෙර, සිල්ලාව ගොර්යෝවෙන් ආධාර ඉල්ලා තිබිණි. ග්යොංජු අල්ලා ගැනීමෙන් සුළු කාලයකට පසු විශාල හමුදාවක් රැගෙන වං ගො පැමිණියේ ය. මෙම හමුදා දෙක වර්තමාන දේගුහි පල්ගොං කන්ද අසල දී මුහුණට මුහුණ මුණගැසුණහ. මෙම සටනට වං ගොන්ගේ හමුදාවේ සෙබලුන් 10,000ක් සහභාගී වූ බව වාර්තා වේ. මෙම සටනින් හුබෙක්ජේ ජයග්‍රහණය කළ අතර, ඉන් වං ගොන්ට පමණක් පලායාමට හැකි වූයේ ඔහුගේ නිර්භීත සෙන්පතියකු වූ ෂින් සුං-ග්යොම් සහ කිම් නක්ගේ ආත්ම පරිත්‍යාගය හේතුවෙනි.

කෙසේනමුත්, 930දී අන්දොං අසල ගෝචං සටනේ දී මෙම හමුදා යළි ගැටෙන්නට විය. එහි දී ගොර්යෝව තීරණාත්මක ජයග්‍රහණයක් හිමි කරගත්තේ ය. හුබෙක්ජේ රාජ්‍යය යළි එහි මුල් භූමිය වෙත පලවා හැරුණු අතර, 934 හොංසොංහි පරාජයෙන් පසු එය තවත් දුර්වල විය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා[සංස්කරණය]

වං ගොන් උතුරු චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඔස්සේ සිය රාජ්‍යය නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට උත්සාහ දරන විට, ග්යොන් හ්වොන් එයම දකුණු චීනයේ, වි‍ශේෂයෙන්ම වුයුඒ පාලකයින් සමග ඉටු කරගන්නට උත්සාහ දැරී ය. කෙසේනමුත්, හුබෙක්ජේ රාජධානිය පැවති සමයේම චීනයේ කලබලකාරී පංච රාජවංශ සහ දස රාජධානි යුගය පැවති හෙයින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මාර්ගයෙන් යුධ ආධාර ඉල්ලීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ දැරූයේ නැත.

බිඳවැටීම[සංස්කරණය]

935දී ග්යොන් හ්වොන්ව ඔහුගේ පුතුන් විසින් බලයෙන් පහ කිරීමත් සමග, ඔහු ගොර්යෝව වෙත පලාගියේ ය. හුබෙක්ජේ රාජ්‍යයට එරෙහිව හමුදා මෙහෙයවන්නට ග්යොන් හ්වොන් මුල්වූයේ ය. වං ගොන් සමග එක්ව ග්යොන් හ්වොන් 100,000කින් යුත් සේනාවක් සිය පැරණි රාජධානියට එරෙහිව මෙහෙයවූ බැව් සම්ගුක් යුසා ග්‍රන්ථයේ දැක්වේ.[2] ගොර්යෝ සහ හුබෙක්ජේ හමුදා සොන්සන්හි දී මුණගැසිණි. මෙය වර්තමාන උතුරු ග්යොංසං පළාතේ ගුමිහි කොටසකි.එහි දී හුබෙක්ජේ හමුදා විනාශ විය. මෙලෙසින් අවසානයේ ක්‍රි.ව. 936දී හුබෙක්ජේ බිඳවැටිණි. මෙය සිදුවූයේ සිල්ලාවේ ග්යොංසුන් රජු සිල්ලාව වං ගොන්ට යටත් කිරීමත් සමගයි. සොන්සන් සටන පසුකාලීන තුන් රාජධානි සමයේ නිමාව සනිටුහන් කරයි.

පරිත්‍යාගශීලී ස්වභාවයෙන් යුතු වං ගොන් පරාජය වූ නායක සින්ගොම්හට පදවි නාමයක් පරිනැමී ය. සින්ගොම්ගේ බාල සොහොයුරන් වූ යැංගොම් සහ යොංගොම්හට මෙම කුමන්ත්‍රණයේ වගකීම පවරා පිටුවහල් කෙරිණි.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Baekje Mark Cartwright, Ancient History Encyclopedia
  2. Il-yeon: Samguk Yusa: Legends and History of the Three Kingdoms of Ancient Korea, translated by Tae-Hung Ha and Grafton K. Mintz. Book Two, page 135f. Silk Pagoda (2006). ISBN 1-59654-348-5

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • ලී, කේ. (1984). A new history of Korea. පරි. ඊ. ඩබ්. වේග්නර් සහ ඊ. ජේ. ෂූල්ස් විසින් 1976 කොරියානු ප්‍රතිශෝධිත සංස්කරණය මත පදනම්ව සෝල්: ඉල්චෝගක්. ISBN 89-337-0204-0

"https://si.wikipedia.org/w/index.php?title=පසුකාලීන_බෙක්ජේ&oldid=410363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි