යි ගෘහය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යි ගෘහය
The Imperial Seal of Korea 03.png
Coat of Arms of Joseon Korea.png
ර‍ට කොරියාව
ජොසොන්
අභිධාන
මුල්ම රජජොසොන්හි තේජෝ
අවසන් රජකොරියාවේ සුන්ජොං
වත්මන් රජයි හේ-වොන් සහ යි වොන්
නීති ප්‍රකාරව
ඇරඹුම17 ජූලි 1392 - ජොසොන්හි පිහිටුවීම.
නෙරපීම1910 - 1910 ජපන්-කොරියා ගිවිසුම
ශාඛාආධුනික ශාඛා 125 (ආසන්නව 105ක් පෙනෙන්නට ඇත) අයත් වන්නේ:
  • මහා රාජකීය ජිනාන් කුමරුගේ ගෘහය
  • මහා රාජකීය හ්යෝර්යොං කුමරුගේ ගෘහය
  • මහා රාජකීය ග්වංප්යොං කුමරුගේ ගෘහය
  • රාජකීය දොක්චොන් කුමරුගේ ගෘහය
  • රාජකීය මිල්සොං කුමරුගේ ගෘහය
  • මහා රාජකීය යැංග්න්‍යොං කුමරුගේ ගෘහය
ජනවර්ගයකොරියානු

යි ගෘහය, හෙවත් කොරියානු අධිරාජ්‍ය ගෘහය හෙවත් ජොන්ජු යි වංශය යනුවෙන් හඳන්වන්නේ ජොසොන් සහ කොරියානු අධිරාජ්‍යයේ රාජකීය ගෘහයයි. මෙය ජොසොන්හි ආදිකර්තෘ වන යි සොං-ග්යේ හෙවත් මරණාපරව තේජෝ ("උසස්ම ආදිතමයා") රජුගෙන් පැවතෙන්නකි. කොරියානු අධිරාජ්‍යයේ (1897-1910) අධිරාජ්‍ය පවුල ඇතුළුව ඔහුගෙන් පැවතෙන සියල්ලන් ජොන්ජු යි වංශයට අයත් යැයි සැලකේ.

1910 ජපන්-කොරියා ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය ජපන් අධිරාජ්‍යයට ඈඳාගැනීමත් සමග, යි වංශයේ ඇතැම් සාමාජිකයන් ජපන් අධිරාජ්‍ය ගෘහය වෙත ඇතුළත් කරගැනුණු අතර[1] 1947 වන තෙක්ම ඔවුන් ජපන් රජයේ රදළ පිරිසක් ලෙස සැලකිණි.[2] ජපන් ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, රාජකීයයන් ලෙස ඔවුන්ගේ තත්ත්වය කිසිදු රටක් විසින් පිළිනොගැණිනි. කෙසේනමුත්, දකුණු කොරියානු මාධ්‍ය වරින්වර ඔවුන් කෙරෙහි උනන්දු වන්නට විය. මෙය සිදු වූයේ 2005 ජූලි මස රාජකීය නිවසේ හිටපු ප්‍රධානී යි ගුගේ අවමංගල්‍යයත් සමගයි.

වර්තමානය වන විට, අපේක්ෂකයන් තිදෙනකු සිහසුනට උරුමකම් කියති. යි ගෘහයේ සාමාජිකයන්ගේ තීරණය අනුව උයි කුමරුගේ නවවන පුත්‍රයාගේ පුත් යි වොන්, මරණාපරව ගුගේ හදාගත් පුත්‍රයා‍ ලෙස නම්කොට ගෘහයේ නාමික ප්‍රධානියා ලෙස පත් කිරීමට තීරණය කරන ලදී. 2006දී ඇතැම් සාමාජිකයන් විසින් ඔහුගේ නැන්දණිය සහ උයි කුමරුගේ දෙවන වැඩිමහල් දියණිය වූ යි හේ-වොන් අධිරාජිනිය ලෙස නම්කරන ලදී. උයි කුමරුගේ තවත් පුත්‍රයකු වූ අධිරාජ්‍ය ප්‍රතිෂ්ඨාපන නිදහස් සංවිධානයක නායකයකු වන යි සොක් ද උරුමකරුවකු ලෙස සැලකෙයි. මෙම වංශයේ තවත් උරුමකරුවකු එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී කැලිෆෝනියාවේ අර්වින් කොලීජියට ඇතුළත් වී සිටින බව පැවසෙයි.

ඉතිහාසය[සංස්කරණය]

කොරියාවේ රාජකීය පවුල, දොක්සුගුං මාලිගය

19වන සියවසේ චීනය සහ ජපානය අතර නොසන්සුන්භාවයේ ප්‍රතිඵලයක් ලෙස පළමු චීන-ජපන් යුද්ධය ඇති විය. මෙම යුද්ධයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ කොරියානු අර්ධද්වීපය තුළ ය. මෙයිජි ප්‍රතිෂ්ඨාපනයෙන් පසු බටහිර යුධ තාක්ෂණය අත්කරගනිමින් ජපානය 1876 ජපන්-කොරියා ගිවිසුම අත්සන් කරන ලෙස ජොසොන් රාජ්‍යයට බලකළේ ය. මත්ස්‍යයින්, යපස්, සහ ස්වභාවික සම්පත් සොයන මුවාවෙන් ජපානය ක්‍රමයෙන් කොරියානු භූමිය අත්පත් කරගත්තේ ය. නැගෙනහිර ආසියාවේ ජපන් අධිරාජ්‍යයේ ව්‍යාප්තිය සනිටුහන් කරමින් ජපානය කොරියානු අර්ධද්වීපය තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ය.

1894 යුද්ධයේ දී, චීනය පරාජය වීමත් සමග අත්සන් කෙරුණු ෂිමොනොසෙකි ගිවිසුම මගින් නිල වශයෙන් කොරියාව චීනයෙන් නිදහස් විය. මෙම ගිවිසුම මගින් කොරියානු දේශපාලනය කෙරෙහි ඍජුවම ජපන් පාලනය බලපෑවේ ය. 1894දී මහා බලවතුන්ගේ පීඩාවන් මධ්‍යයේ ජාතික ඒකාබද්ධතාව යළි ගොඩනැගිය යුතු බව වටහාගත් ජොසොන් රාජසභාව කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය. කොරියාවේ නිදහස දිනාගැනීමට චීන අධිරාජයන් හා සම තත්ත්වයට පත්වෙමින් ගෝජොං රජු ‘අධිරාජයා’ යන නාමය ආරූඪ කරගත්තේ ය. මීට අමතරව ජපානයෙන් ආරක්ෂා වීම සඳහා යුධ තාක්ෂණය සවිබල ගැන්වීමට රුසියාව වැනි වෙනත් බලවතුන්ගෙන් සහාය ලබාගන්නා ලදී. න්‍යායාත්මකව, රාජ්‍යයේ නාමය වෙනස් කරගැනීමත් සමග 1894 වර්ෂය ජොසොන් යුගයේ අවසානය සනිටුහන් කරයි. නමුත් ජපානය විසින් අහෝසි කරන තෙක්ම රාජවංශය දිගටම පැවතිණි. උදාහරණයක් ලෙස ජපානයට තර්ජනයක් ලෙස සැලකුණු නිසා 1895දී ජපන් සෙන්පති මියුරා ගොරෝගේ මූලිකත්වයෙන් අධිරාජයාගේ බිසව වූ මින් අගබිසව ඝාතනය කිරීම දැක්විය හැක.

1910දී, ජපානය විසින් කොරියානු අර්ධද්වීපය ඈඳා ගැනීමත් සමග යි ගෘහයේ පාලනය අවසන් විය. ආතර් වරායේ සටනින් රුසියානු නාවික හමුදා පරාජයට පත්වීමත් සමග (මෙහි දී රුසියානු අධිරාජ්‍යයේ නාවික හමුදාව අනපේක්ෂිත ප්‍රහාරයක් මගින් පරාජයට පත්කෙරිණි) කොරියාවේ ආරක්ෂාව ක්‍රමයෙන් දුර්වල වන්නට විය. දකුණින් අබිං යුද්ධ නිසා චීනයෙන් එල්ල වූ බලපෑම් මෙන්ම, උතුරින් ජපන් නාවික හමුදාවලින් එල්ල වූ ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් යුරෝපීයයන්ට උතුරු චීනයේ වෙළඳාමට පිවිසිය හැකි සන්ධිස්ථානයක් ලෙස ජපන්නු කොරියාව දකින්නට වූහ. මේ වන විට දකුණු චීනයේ මැකාවු සහ හොං කොං පිළිවෙලින් පෘතුගීසි සහ ඉංග්‍රීසි වෙළඳ කලාපයන් ලෙස පැවතිණි.

යටත් විජිත පාලනය (1910–1945)[සංස්කරණය]

පක්ෂ-විපක්ෂ යුධ ව්‍යාපාර මාලාවකින් පසුව, 1905දී ජපානය විසින් රුසියානු නාවික බලකාය පලවා හරින ලදී. (බලන්න රුසියානු-ජපන් යුද්ධය).[3] චීන සහ රුසියානු නාවික බලඇණි කොරියාව ඍජු ආක්‍රමණවලින් ආරක්ෂා කළේ ය. නමුත් රුසියානු හමුදාවේ මෙම පරාජයත් සමග, උතුරු චීනය සහ කොරියාව තෙක් බලය පැතිරවීමට ජපානයට හැකි විය.

1895දී ජපනුන් විසින් ගෝජොං රජුට සිහසුන අත්හැරීමට බල කොට ඔහුගේ අගබිසව ඝාතනය කිරීමෙන් පසු කොරියාව ජපානයේ ආරක්ෂක රාජ්‍යයක් බවට පත් විය.[4] 1910දී ජපානය විසින් කොරියාව ඈඳා ගැනීමෙන් පසු කොරියාව ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් විය.[3]

යටත්විජිත සමයේ, යි පවුලේ සාමාජිකයන් රාජකීය පවුලට (王公族; ඕකෝසොකු) මැදි කිරීම හෝ කොරියානු වංශවතුන් (朝鮮貴族; චෝසෙන්-කිසොකු) ලෙස නම්කිරීම සිදු විය.

ඉයුන්වාදීන්[සංස්කරණය]

කොරියානු රාජකීය පවුල. 1915දී පමණ ලබාගත් මෙම ඡායාරූපය වෙනවෙනම ලබාගත් ඡායාරූප රාශියක් එක්කොට තැනූවකි. මෙකල ජපනුන් විසින් ඔවුන් සියලු දෙනාට එකම කුටියේ එකව වේලාවේ සිටීමට අවසර ලබා නොදුන් අතර, ඇතැමුන්ට කොරියාව හැරයාමට නියෝග කෙරිණි. මෙහි වමේ සිට පහත රාජකීය සාමාජිකයන් දැක් වේ: යි කං, ගෝජොංගේ සයවන පුත්‍රයා; සුන්ජොං, දෙවන පුත්‍රයා සහ කොරියානු අධිරාජ්‍යයේ අවසන් රජු; යි උන්, සත්වන පුතු; ගෝජොං, හිටපු රජ; සුන්ජොං අධිරාජිනිය, සුන්ජොංගේ අගබිසව; දෝගින්දං ගිම්බි, උයි කුමරුගේ බිරිඳ; සහ යි ගොන්, උයි කුමරුගේ වැඩිමහල් පුතු ඉදිරිපෙළ වාඩි වී සිටින දරුවා ගෝජොංගේ අවසන් දරුවා වූ දොක්හ්යේ කුමරිය වේ.

ගෝජොං අධිරාජයාට පුතුන් නවදෙනකු සහ දියණියන් සිව්දෙනකු විය. නමුත් ඉන් කුමාරවරුන් වූයේ තිදෙනකු සහ කුමරියන් වූයේ එක් අයකු පමණි: එනම් දෙවන පුත් කිරුළහිමි චොක් කුමරු; හයවන පුත් යි කං, සහ හත්වන පුත් යි උන් යන අයයි. දෙවන පුත් චොක් සුන්ජොං අධිරාජයා බවට පත් විය. ඔහු කොරියානු අධිරාජ්‍යයේ අවසාන රජු ලෙස සැලකෙයි. සුන්ජොං අධිරාජයා දරුවන් නොමැතිව මියගිය හෙයින්, ඔහුගේ බාල සොහොයුරු ඉයුන් කුමරු කිරුළහිමි කුමරු බවට පත් විය. සැබැවින්ම ඔහුගේ වැඩිමහල් සො‍හොයුරු කං කුමරුට එම තනතුර හිමිවිය යුතුව තිබිණි. නමුත් ඉයුන්ගේ මව වූ සුන්හොන් කුමරියගේ තත්ත්වය, කංගේ මව වූ චං ආර්යාවට වඩා උසස් වීම මෙයට හේතු විය.

1926දී සුන්ජොං අධිරාජයා මියයාමත් සමග, කිරුළහිමි ඉයුන් කුමරු "කොරියාවේ යි රජ" යනුවෙන් නාමිකව පමණක් හැඳින්වුණේ ඒ වන විටත් රටේ ආධිපත්‍යය ජපානයට නතුවී පැවති බැවිනි. කිරුළහිමි ඉයුන් කුමරු මියාකේ පවුලේ ජපන් වංශවත් කාන්තාවක් වූ මසාකෝ නෂිමොටෝ කුමරිය සමග විවාහ විය. ඇයව යි බංජා ලෙස ද හැඳින්වෙයි. ජපන් අධිරාජයාගේ මනාලිය ලෙස තේරුණු කාන්තාවන් තිදෙනා අතුරින් අයකු වූ ඇය වෛද්‍ය පරීක්ෂණයේ දී වඳ බව හෙළිවීමත් සමග ඉයුන්ට විවාහ කරදුන් බව පවසමින් ඇතැම් කොරියානුවන් චෝදනා කළහ. මෙය කොරියානු රජ පෙළපත වැනසීමට ජපානය කළ කුමන්ත්‍රණයක් බව ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ කරන ලදී. කෙසේනමුත්, බංජා කුමරිය 1921දී යි ජින් සහ 1931දී යි ගු යන අයව බිහිකළා ය.

පශ්චාත්-නිදහස් සමය[සංස්කරණය]

1945දී කොරියාවට නිදහස හිමිවීමත් සමග, සිංග්මන් රී ජනපතිවරයා රාජකීය පවුල යටපත් කළේ නැවත රාජාණ්ඩුවක් ස්ථාපනය වළකා නව ජනරජයේ පියා ලෙස තමන්ට අභියෝගයක් වනු වැළැක්වීම සඳහායි. රාජකීය පවුලේ දේපළ බොහෝමයක් රී විසින් ජනසතු කරන ලදී. එසේම සිය මුතුන්මිත්තන්ගේ වරදින් සිදු වූ "ජාතිය බිඳවැටීමේ" වගකීම පිළිබඳ රාජකීය පවුලට නොයෙකුත් දෝෂාරෝපණ එල්ල විය. බොහෝ ධනය සහ බලය අහිමි වීමෙන් පසු, ඇතැමුන් එක්සත් ජනපදය සහ ලතින් ඇමරිකාව වෙත පලාගියහ. මීට අමතරව, දකුණු කොරියාවේ හමුදා/ජනරජය මගින් මෙම පවුලේ ගේසොං ශාඛාවේ සාමාජිකයන්ගේ ඉඩම් රාජසන්තක කොට කොරියාව හැරයාමට බලකෙරිණි. මෙහි හඳුනාගත් පැවතෙන්නන් වර්තමානයේ නිව් යෝක් සහ නිව් ජර්සි ප්‍රාන්තවල වාසය කරයි. ඉන් අයකු හිටපු ඉතාලි ආදිපාදවරියකගේ දියණියක හා විවාහ වී ඇත. හාස්‍යයට කරුණ වූයේ, සිංග්මන් රී ජොසොන්හි තේජොං රජුගෙන් පැවතෙන 16වන පරම්පරාවේ සාමාජිකයකු වීමයි.

1963දී නව ජනපතිවරයකු වූ පාක් චුං-හී විසින් දොක්හ්යේ කුමරිය ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ට නැවත කොරියාවට පැමිණීමට අවසර ලබාදුන්නේ ය. නමුත් ඔවුනට නවාතැන් ගැනීමට අවසර තිබුණේ සෝල්හි චංදොක්ගුංහි කෙළවරක පිහිටි නක්සොන් ශාලාවේ පමණි. ආඝාතය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයන් නිසා ඉන් වසර හතකට පසු කිරුළහිමි ඉයුන් කුමරු මියගියේ ය. යි ගුහට 1982දී ඔහුගේ සෙසු පවුල් සාමාජිකයින් ඔහුගේ ඇමරිකානු බිරිඳ වූ ජුලියා මුලොක් දික්කසාද කරන ලෙස බලකළේ ඇය වඳභාවයෙන් පෙළුණු නිසායි. (නමුත් මේ දෙදෙනාට හදාගත් දියණියක් විය) ගු කුමරුගේ ව්‍යාපාරික කටයුතු ක්‍රමයෙන් අසාර්ථක වීමත් සමග 2005 ජූලි 16දින ටෝකියෝවේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හොටෙල් අකසකා හෝටලය තුළ දී ඔහු මරණයට පත් විය. මෙම හෝටලය පිහිටියේ වසර 74කට පෙර ඔහු උපන් ස්ථානයේ ය.

ගංවාදීන්[සංස්කරණය]

ගෝජොං අධිරාජයාගේ සයවන පුත්‍රයා වූ ගං කුමරු පුතුන් 13ක් සහ දියණියන් 9 දෙනකු විය. ඔවුන් මව්වරුන් 14කගේ දරුවන් ය. ඔහු පිළිබඳ නොයකුත් ඇගයීම් ඇත. ඔහු සල්ලාලයකු බවත්, ඔහු රහසේම නිදහස් ව්‍යාපාරය මෙහෙයවූ බවටත් පැවසේ. ජපන් අධිකාරය කුමරුගේ කටයුතු සීමාකළේ ය. සිංග්මන් රී ජනපතිවරයාගේ රාජකීය දේපළ ජනසතු කිරීමේ ක්‍රමවේදය නිසා ගං කුමරුට සිය දේපළ බොහෝමයක් අහිමි විය. කුමරුගේ 11වන පුත්‍රයා වූ යි සොක් පවසා ඇත්තේ, සිය මව වූ හොං චොංසුන්ට සිය ජීවිකාව ගෙනයාමට වීදිවල නූඩ්ල්ස් විකිණීමට සිදු වූ බවයි.

1998දී, වාර්තාවූයේ ගං කුමරුගේ අටවන පුත්‍රයා සෝල්හි සමාජ මධ්‍යස්ථානයක් තුළ මියගොස් ඇති බවයි. එකොලොස්වන පුත්‍රයා වූ සොක් කුමරු 2005වන විට ජොන්ජු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය. ගං කුමරුගේ දැනට ජීවත්ව සිටින පුතුන් සිව්දෙනා සහ දියණියන් සත් දෙනා අතුරින්, සිව්දෙනකු එක්සත් ජනපදය කරා සංක්‍රමණය වීම නිසා පවුල සමග ඔවුන්ගේ සම්බන්ධතා ඇණහිටියේ ය. සෙසු සාමාජිකයන් ගං කුමරු වෙනුවෙන් වාර්ෂිකව චාරිත්‍ර වත් දෙකක් පවත්වති. දැනට ජීවත්ව සිටින දරුවන් 11 දෙනාගෙන් ඊට සම්බන්ධ වන්නේ දෙදෙනකු හෝ තිදෙනකු පමණි.

ගෝජොංගේ මිණිපිරියක වූ, ඒමි යි 1956දී එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වූ අතර, ඇය නිව් යෝක් නගරයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනියක ලෙස වසර 27ක් සේවය කළා ය.[5] 2012 සැප්තැම්බර් මස, ඇය 82වන වියේ පසු වූ අතර, ඇයව හඳුන්වා ඇත්තේ "කොරියානු රාජමාලිගයේ අවසාන සාමාජිකයන් අතුරින් අයෙකි".[5]

හඳුනාගත් වර්තමාන පැවතෙන්නන්[සංස්කරණය]

යි චුං (1936දී උපන්) යනු ගෝජොං අධිරාජයාගේ පෙළපතේ පිරිමි උරුමකරුවායි. ඔහුගේ වැඩිමහල් පුත් යි වු උන්හ්යොංගුංහි සිව්වන අධිපතියා ලෙස "හ්‍යුං කුමරු" යන නාමය උරුමකර ගත්තේ ය. යි වුගේ බිරිඳ වූ චන්ජු කුමරිය, ජොසොන්හි චොල්ජොං රජුගේ බෑනා වූ පාක් යොංහ්යෝ වංශාධිපතියාගේ මිණිපිරියයි.

නවවන වියේ දී, හ්‍යුං කුමරු සිය පියා හිරෝෂිමා පරමාණු බෝම්බයෙන් මියගිය පසු උන්හ්යොංගුං උරුමකර ගත්තේ ය. ගෝජොං අධිරාජයා උපත ලැබූයේ උන්හ්යොංගුං තුළයි. 1947දී, හ්‍යුංගේ පියාගේ වැඩිමහල් සොහොයුරා වූ ගුන් කුමරු (මොමොයාමා කෙන්'ඉචි) ජපන් පුරවැසිභාවය ලබාගත්තේ ය. මෙම පුරවැසිභාව වෙනස හේතුවෙන් චුං කුමරු සිය මුත්තණුවන් වූ 1955දී මියගිය කං කුමරුගේ අනුප්‍රාප්තිකයා ලෙස තේරිණි. 1991දී, සිය මවගේ මරණින් පසු චුං කුමරු සෝල් නාගරික රජයේ පැවති සිය පාරම්පරික නිවස වූ උන්හ්යොංගුං වෙත පැමිණියේ ය.

වර්තමානය වන විට, පුරුෂ ජ්‍යෙෂ්ඨත්වය සැලකූ විට රාජකීය පවුලේ වංශාවලික ප්‍රධානියා චුං කුමරු ය. කෙසේනමුත්, රාජකීය පවුලේ නායකත්වය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් දෙදෙනකු වන වොන් කුමරු (කං කුමරුගේ නවවන පුත්‍රයාගේ පුතු; පළමු ඥාති සොහොයුරෙකි) සහ හේවොන් කුමරිය (වොන් කුමරුගේ නැන්දණිය, කං කුමරුගේ දෙවන වැඩිමහල් දියණිය) අතර පවතින අරගලය සඳහා ඔහු ක්‍රියාකාරීව සහභාගී නොවේ. 2005 ජූලි 16 දින, යි ගු හෙවත් හොඉයුන් කුමරුගේ මරණයත් සමග, කොරියානු රාජකීය පවුල් සංවිධානය මගින් 2006 සැප්තැම්බර් 29 දින සංකේතාත්මකව හේවොන් කුමරිය සිංහාසනාරූඪ කරවන ලදී. මේ සඳහා ජොසොන් රාජවංශයෙන් පැවතෙන්නන් දොළොස් දෙනකු පමණ සහභාගී වී ඇත. ඇය කොරියාවේ අධිරාජිනිය යන නාමය දරන අතර, සිය සිංහාසනාරූඪ උත්සවයේ දී රාජකීය ගෘහය යළි ස්ථාපනය කරන බවට නිවේදනය කළා ය. කෙසේනමුත් මෙම පෞද්ගලික සිංහාසනාරූඪයට දකුණු කොරියානු ජනරජයේ සහයෝගය හිමි වී නැත.

පදවි නාමය[සංස්කරණය]

වර්තමානයේ, කොරියානු රාජකීය නිවසේ ප්‍රධානියාට කොරියානු ජනරජයෙන් නිල පිළිගැනීමක් හිමි නොවේ. එසේනමුත්, මෑතක පැවති සිංහාසනාරූඪයේ දී හේවොන් කුමරිය විසින් කොරියාවේ අධිරාජිනිය ලෙස "අධිරාජ උත්තමාවිය" වැනි විරුද නාමයක් ආරූඪ කොටගෙන ඇත. කෙසේනමුත්, පුරුෂ ජ්‍යෙෂ්ඨත්වය අනුව සැලකූ විට රාජකීය නිවසේ ප්‍රධානියා චුං කුමරුයි.

යි ගෘහයේ පවුල් ගස[සංස්කරණය]

1910 සිට කොරියානු කිරුළ[සංස්කරණය]

  • කොරියාවේ සුන්ජොං අධිරාජයා (1910–1926)
  • කිරුළහිමි උන් කුමරු (1926–1970)
  • ගු කුමරු, හෝඉයුන් අධිරාජ්‍ය කුමරු (1970–2005)
  • යි වොන්, යි සොක් හා යි චුං කුමාරවරුන් සහ යි හේ-වොන් කුමරිය අතර අරගලය (2005–වර්තමානය)
සැකිල්ල:S-royalhouse
පූර්වප්‍රාප්තික වූයේ
වං ගෘහය
කොරියාවේ පාලක නිවස
1392–1910
හිස්

සටහන්[සංස්කරණය]

  1. ජපන්-කොරියා ඈඳාගැනීමේ ගිවිසුම වගන්තිය 3
  2. 皇室令及附屬法令廢止ノ件
  3. 3.0 3.1 යු-මෙයි බැලසිංගම්චව්; සයිමන් රිච්මන්ඩ්; සේසර් ජී සොරියානෝ; රොබ් වයිට් (1 මැයි 2010). කොරියා 8. ලෝන්ලි ප්ලැනට්. පි. 37. ISBN 978-1-74104-831-5. https://books.google.com/books?id=h9-DOFiUI5oC&pg=PA37. Retrieved 3 ජනවාරි 2013. 
  4. පේ-යොං යි; ටෙඩ් චෑන් (2008). විමෙන් ඉන් කොරියන් හිස්ට්‍රි 한국 역사 속의 여성들. එව්හා වුමන්ස් යුනිවර්සිටි ප්‍රෙස්. පි. 190. ISBN 978-89-7300-772-1. https://books.google.com/books?id=p3yW5MdzKnUC&pg=PA190. Retrieved 3 ජනවාරි 2013. 
  5. 5.0 5.1 AP (සැප්තැම්බර් 14, 2012). "එස්කොරියා රීගේන්ස් ඕල්ඩ් එම්බසි ඉන් US, ස්නයිප්ස් ඇට් ජැපෑන්". ද ෆිලිපින් ස්ටාර්. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2012. 
"https://si.wikipedia.org/w/index.php?title=යි_ගෘහය&oldid=386342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි