Jump to content

ශුංග අධිරාජ්‍යය

විකිපීඩියා වෙතින්
ශුංග අධිරාජ්‍යය

शुङ्ग
ක්‍රි.පූ. 185–ක්‍රි.පූ‍. 75
ක්‍රි.පූ. 185දී පමණ ශුංග අධිරාජ්‍යයේ අනුමාන ව්‍යාප්තිය
ක්‍රි.පූ. 185දී පමණ ශුංග අධිරාජ්‍යයේ අනුමාන ව්‍යාප්තිය
අගනුවරපාඨලිපුත්‍ර
විදිශා
පොදු භාෂාවන්සංස්කෘත
ප්‍රාකෘත
ආගම
හින්දු ආගම
බුද්ධාගම
රජයරාජණ්ඩුව
අධිරාජයා 
• ක්‍රි.පූ. 185–151
පුෂ්‍යමිත්‍ර ශුංග
• ක්‍රි.පූ. 151–141
අග්නිමිත්‍ර
• ක්‍රි.පූ. 83–75
දේවභුති
ඓතිහාසික යුගයපුරාතන
• ස්ථාපිත කළේ
ක්‍රි.පූ. 185
• අහෝසි කළේ
ක්‍රි.පූ‍. 75
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
මෞර්ය අධිරාජ්‍යය
කාන්වා රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේ India
 Bangladesh
 Nepal

ශුංග අධිරාජ්‍යය හෙවත් සුංග යනුවෙන් හැඳින්වෙන්නේ මගධයෙන් පැවත ආ පුරාතන ඉන්දියානු රාජධානියකි. ක්‍රි.පූ. 187 සිට 78 දක්වා වූ කාලයේ එම අධිරාජ්‍යය විසින් ඉන්දියානු උපමහාද්වීපයේ විශාළ ප්‍රදේශයක පාලනය ගෙන ගොස් ඇත. මෞර්ය අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු මෙම රාජවංශය ස්ථාපනය කරන ලද්දේ පුෂ්‍යමිත්‍ර ශුංග විසිනි. මෙහි අගනුවර වූයේ පාඨලිපුත්‍ර නුවරයි. නමුත් භගභද්‍ර වැනි අවසාන අධිරාජවරු සිය මාලිගය නැගෙනහිර මාල්වාහි බෙස්නගර් (වර්තමාන විදිශා) ප්‍රදේශයේ පිහිටුවාගෙන ඇත.[1]

පුෂ්‍යමිත්‍ර ශුංග වසර 36ක් රාජ්‍ය පාලනය කළ අතර, ඔහුගෙන් පසු ඔහුගේ පුත් අග්නිමිත්‍ර සිහසුනට පත් විය. ශුංග පාලකයන් දසදෙනකු සිට ඇත. මෙම අධිරාජ්‍යය වැදගත් වන්නේ විදේශ මෙන්ම දේශීය බලවේග සමග එය සිදුකළ සටන් නිසායි. ඔවුහු කාලිංග, සාතවාහන රාජවංශය, ඉන්දු-ග්‍රීක රාජධානිය සමග මෙන්ම සමහර විට පංචාලවරුන් සහ මථුරාවරුන් සමග සටන් වැදුණහ.

මේ යුගයේ කලාව, අධ්‍යාපනය, දර්ශනය සහ අනෙකුත් අධ්‍යයන ක්‍රමවල ප්‍රබෝධයක් ඇති විය. මෙකල කුඩා ටෙරාකොටා රූපවල සිට විශාල ශෛලමය ස්තූප දක්වා කලා නිර්මාණ අංගවල දියුණුවක් ඇති විය. භාරුත් ස්තූපය සහ සුප්‍රකට සාංචියේ මහා ස්තූපය වැනි ගෘහනිර්මාණ ඉදිවූයේ ද මේ කාලයේ ය. අධ්‍යාපනය සහ කලාව වෙත රාජ්‍ය අනුග්‍රහය දැක්වීමේ සම්ප්‍රදාය ආරම්භ කළේ ශුංග රජවරුන් විසිනි. අධිරාජ්‍යයේ භාවිතා වූ ලේඛන ක්‍රමය බ්‍රාහ්මි අක්ෂර ප්‍රභේදයකි. එසේම සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත විය.

ශුංග අධිරාජ්‍යය හින්දු චින්තනයේ බොහෝ වැදගත් සංවර්ධනයන් සඳහා බෙහෙවින් අනුග්‍රහ දැක්වී ය. පටාංජලිගේ මහාභාස්‍ය සම්පාදනය කෙරුණේ ද මේ යුගයේ ය. මථුරා කලා සම්ප්‍රදායේ නැගීමත් සමග කලා ක්ෂේත්‍රය දියුණු විය.

ක්‍රි.පූ. 73 අවට දී කාන්වා රාජවංශය ශුංගවරුන්ගේ අනුප්‍රාප්තියට පැමිණියේ ය.

සම්භවය

[සංස්කරණය]

ශුංග රාජවංශය යනු ක්‍රි.පූ. 185දී, එනම් අශෝක අධිරාජයාගේ මරණින් වසර 50කට පමණ පසු පිහිටුවූ බ්‍රාහ්මණ රාජවංශයකි. මෙකල මෞර්ය අධිරාජ්‍යයේ අවසන් පාලකයා වූ බෘහද්රථ මෞර්ය අධිරාජයාව ඝාතනය කළ ඔහුගේ සේනානි හෙවත් සෙන්පතියා වූ පුෂ්‍යමිත්‍ර ශුංග[2] සිහසුනට පත් විය. මෙකල රජුගේ හමුදාවේ ගෞරවය දිනාගැනීමට පුෂ්‍යමිත්‍ර සමත්ව තිබිණි.

පුෂ්‍යමිත ශුංග මගධයෙහි සහ යාබද රාජ්‍යවල අධිපතියා බවට පත් විය. පුෂ්‍යමිත්‍රගේ අධිරාජ්‍යය දකුණින් නර්මදා ගඟ තෙක් ව්‍යාප්තව පැවති අතර, වයඹදිගින් පන්ජාබ් ප්‍රදේශයේ ජලන්ධාර් සහ සියල්කොට් යන ප්‍රදේශ සහ මධ්‍යම ඉන්දියාවේ උජ්ජයින්[3] නගරය ද එයට ඇතුළත් විය. නමුත් මේ වන විට, කාබුල් සහ පන්ජාබයේ විශාල කොටසක් ඉන්දු-ග්‍රීකවරුන් යටතේත්, ඩෙකෑන් සානුව සාතවාහන රාජවංශය යටතේත් පැවතිණි.

වසර 36ක් (ක්‍රි.පූ. 187 – 151) රාජ්‍ය පාලනය කිරීමෙන් පසු පුෂ්‍යමිත්‍ර මරණයට පත් විය. අනතුරුව ඔහුගේ පුත් අග්නිමිත්‍ර සිහසුනට පත් විය. මේ කුමරු ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකයකු වූ කාලිදාසගේ ප්‍රකට නාට්‍යයක වීර චරිතයක් ලෙස දක්වා තිබේ. මෙම කථාපුවතේ අග්නිමිත්‍ර විදිශාවේ ප්‍රතිරාජයා ලෙස දක්වා ඇත.

ශුංගවරුන්ගේ බලය ක්‍රමයෙන් පරිහානියට පත්වන්නට විය. ශුංග අධිරාජ්‍යයේ අධිරජවරුන් දස දෙනකු සිටි බව පැවසේ. ශුංග අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු ක්‍රි.පූ. 73 අවට කාලයේ කාන්වා රාජවංශය බලයට පත් විය.

ශුංග යුගය

බුදු දහම

[සංස්කරණය]

මෞර්යවරුන්ගෙන් පසු, පළමු බ්‍රාහ්මණ අධිරාජයා වූයේ පුෂ්‍යමිත්‍ර ශුංගයි. ඇතැම් ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඔහු බෞද්ධයන්ට හිංසා පමුණුවමින්, බ්‍රාහ්මණ ආගමට අනුග්‍රහ දැක්වූ බවත් මේ හේතුවෙන් බුදු දහම කාශ්මීරය, ගන්ධාරය සහ බැක්ට්‍රියාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවත් ය.[4] බෞද්ධ මූලාශ්‍රයක් වන දිව්‍යාවදානය සහ පුරාතන තිබ්බතීය ඉතිහාසඥ තාරානාථ විසින් බෞද්ධයන්ට හිංසා කිරීම පිළිබඳ විස්තර කොට ඇත. නමුත් ඔහු ක්‍රියාකාරීව බෞද්ධයන්ට හිංසා පැමිණවී ද යන්න සැකසහිත ය.[4]

අනුග්‍රහ දැක්වීම

[සංස්කරණය]
ශුංග රාජකීය පවුලක්, බටහිර බෙංගාලය, ක්‍රි.පූ. 1වන සියවස.

පසුකාලීන ශුංග අධිරාජවරුන් බුදු දහමට අවනත වී භාරුත් ස්තූපය ගොඩනැගීමට දායකත්වය සපයා ඇති බව පෙනේ.[5]

ඇතැම් කතුවරුන් විශ්වාස කරන්නේ බ්‍රාහ්මණාගම ගංගා නදී තැන්නේ දේශපාලනික සහ අධ්‍යාත්මික බලය පැතිරවීම පිණිස බුදු දහම සමග තරග කළ බවයි.[4] නමුත් බැක්ට්‍රියානු රජවරුන්ගේ අනුග්‍රහය ලද බුදු දහම එම ප්‍රදේශවල වැජඹෙන්නට විය.

ඇතැම් ඉන්දියානු විද්වතුන්ගේ මතය වන්නේ සද්ධර්මයට කැමති ශුංග රජවරුන් බුදු දහමට පීඩා නොකළ බවත්, ශුංග අධිරාජවරුන් යටතේ බුදු දහම සමෘද්ධිමත් වූ බවත් ය. ශුංග යුගයේ බෙංගාලයේ බුදු දහම පැවති බව දැනට කල්කටාවේ අසුතෝශ් කෞතුකාගාරයේ තබා ඇති තාම්‍රලිප්තියෙන් හමු වූ ටෙරාකොටා ඵලකයෙන් සාක්ෂි ලැබේ.

  • බුද්ධ ගයාවේ මහාබෝධි විහාරයේ ඇති ශිලාලේඛනයක විහාරය ඉදිකිරීම පිළිබඳ මෙසේ විස්තර කොට ඇත:
"බ්‍රහ්මමිත්‍ර අධිරාජයාගේ බිරිය වන නාගදේවියගේ තිළිණයකි."
  • තවත් ශිලාලේඛනයක මෙසේ දැක් වේ:
"කොසිකිගේ පුත් ඉන්ද්‍රාග්නිමිත්‍ර අධිරාජයාගේ භාර්යාව සහ පුතුන්ගේ මෑණියන් වූ කුරාංගිගේ පරිත්‍යාගයකි. එසේම මෙම ත්‍යාගය රාජ මාලිග විහාරයේ ශ්‍රීමාගේ ද පරිත්‍යාගයක් වේ.[6][7] "
ශෘංගාරාත්මක රාජකීය යුවළක්, ශුංග, ක්‍රි.පූ. 1වන සියවස, බටහිර බෙංගාලය.

කනිංහැම් මහතා මේ වැදගත් වාර්තාවේ අගකොටස විනාශ වී තිබීම පිළිබඳ කනගාටුවට පත් වේ. පළමු ප්‍රාකාර ශීර්ෂ ලේඛනය සැලකිල්ලට ගැනීමේ දී ඔහු විසින් "කුරාම්ගියේ දානම්" යන්නට පසුව බ්‍රාහ්ම අක්ෂර එකොළහක ශේෂයන් හඳුනාගෙන ඇති අතර, ඉන් පළමු නවය මගින් "රාජපාසාද-චේතිකා සා" යන වදන ගලපාගත හැක. බ්ලොච් විසින් මෙම අක්ෂර නවය "රාජ-පාසාද-චේතිකාස" යනුවෙන් දක්වන අතර, පෙර සඳහක් වචනවලට අනුකූලව මෙම පාඨයන්හි පරිවර්තනය මෙසේ දක්වයි:

"(ඉන්ද්‍රාග්නිමිත්‍රගේ භාර්යාව සහ ජීවමාන පුතුන්ගේ මෑණියන් වක කුරාංගිගේ පරිත්‍යාගයකි), "වංශවත් විහාරයේ ‍චෛත්‍යය (චේතික) වෙනුවෙන්"

රාජ යන වදන පාසාද යන්නට පෙර යොදා තිබීම මගින් එය විරුදයක් ලෙස සලකා, විහාරය සාපේක්ෂව විශාල තේජවන්ත ස්ථානයක් බව මෙහිදී සලකා ඇත. මෙය රාජහස්තින් හෙවත් 'උසස් හස්තියා', රාජහංස හෙවත් 'පාත්තයකු' (හංස යන්න 'තාරාවකුගෙන්' වෙන්කර දක්වයි) වැනි උදාහරණ මගින් ද වටහා ගත හැක. නමුත් කනිංහැම් මෙම ප්‍රකාශය පරිවර්තනය කරන්නේ "රාජ මාලිගය, චෛත්‍යය" යනුවෙනි. එමගින් "රාජ-පාසාදය පිළිබඳ සඳහන දායකයා සහ රාජකීය පවුල අතර සම්බන්ධක් දැක් වේ" ලුඩර්ස් සැකකරන්නේ මෙය "රජුගේ විහාරය වෙත" අදහස් කෙරෙන "රාජ-පාසාද-චේතිකාස" විය හැකි බවයි.

ශුංගවරුන්ගේ යුද්ධ

[සංස්කරණය]

ශුංග යුගය පුරා යුද්ධ සහ බල අරගල පැවතිණි. ශුංගවරුන් කාලිංගවරුන්, සාතවාහනවරුන්, ඉන්දු-ග්‍රීකවරුන් සහ ඇතැම්විට පංචාලවරුන් සහ මථුරාවරුන් සමග සටන් වැදී ඇත.

ශුංග අධිරාජ්‍යයේ ව්‍යාප්තිය

ශුංග අධිරාජ්‍යය සහ ඉන්දු-ග්‍රීක රාජධානිය අතර නිරන්තර යුධ අරගල පැවති බව ඉතිහාසයේ දක්නට ලැබෙයි. ක්‍රි.පූ. 180 අවට කාලයේ ග්‍රීක-බැක්ට්‍රීය පාලකයකු වූ ඩිමෙට්‍රියස් විසින් කාබුල් නිම්නය ආක්‍රමණය කළ අතර එය ඉන්දු නදියෙන් ද එපිටට සිදු වූ බව විශ්වාස කෙරේ. ඉන්දු ග්‍රීක පාලක මිනැන්ඩර් සෙසු ඉන්දියානු රජවරුන් සමග එක් වී හෝ ඔහුගේ නායකත්වයෙන් යුතුව පාඨලිපුත්‍රය වෙත ආක්‍රමණයක් දියත් කරන ලදී. කෙසේනමුත් මෙම මෙම ආක්‍රමණයේ ස්වභාවය සහ සාර්ථකත්වය පිළිබඳ දන්නේ තොරතුරු ස්වල්පයකි. මෙම යුද්ධවල ප්‍රතිඵලය කුමක් ද යන්න නිශ්චිත නැත.

ග්‍රීක සෙබලකු නිරූපිත වේදිකා කුළුණක්. භාරුත්, මධ්‍ය ප්‍රදේශ්, ශුංග යුගය, ක්‍රි.පූ 100-80 පමණ. රතු දුඹුරු වැලිගලින් නිමවා ඇත.[8] ඉන්දියානු කෞතුකාගාරය, කල්කටා (සිතුවමකි).

මහාභාරතයේ සහ යුග පුරාණයේ එන ඇතැම් අර්ථ දැක්වීම් මෙයට ගැළපීමට ඇතැමුන් උත්සාහ දරා ඇත:

මහාභාරතයේ අනුශාසන පර්ව අනුව මථුරා නගරය යවනවරුන් සහ කාම්බෝජවරුන්ගේ හවුල් පාලනය යටතේ පැවති බව සඳහන් ය.[9]

මීට අමතරව හින්දු ලේඛනයක් වන යුග පුරාණ නැමැති අනාවැකි ස්වරූපයෙන් ඉන්දියානු ඓතිහාසික සිදුවීම් විස්තර කොට ඇති අතර[10] එමගින් ඉන්දු-ග්‍රීකවරුන් පාඨලිපුත්‍ර අගනුවරට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ සඳහන් ය. මෙගස්තීනිස්[11] පවසන ආකාරයට මෙම නගරය කුළුණු 570ක් සහ දොරටු 64කින් යුක්ත ප්‍රාකාරයකින් වට වූ දැවැන්ත නගරයකි. යුග පුරාණය ප්‍රාකාරයට සිදු වූ හානිය පිළිබඳ මෙසේ විස්තර කරයි:

"සාකේත වෙත ළඟාවීමෙන් පසුව පංචාලවරුන් සහ මථුරාවරුන් සමල එක් වී රණකාමී යවනයන් කුසුමධ්වජ ("පුෂ්ප-ධ්වජයේ නගරය", පාඨලිපුත්‍ර) වෙත පැමිණෙනු ඇත. අනතුරුව, එක්වරම පුස්පපුර (පාඨලිපුත්‍ර සඳහා තවත් නාමයක්) වෙත ළඟා වී, එහි සුප්‍රකට මඩ[-බිත්ති] ප්‍රාකාරය බිඳ හෙලූ පසු මුළු රාජ්‍යයම අවුල් සහගත තත්ත්වයට පත්වනු ඇත." (යුග ප්‍රරාණ, ඡේදය 47–48, 2002 සංස්කරණය.)

පුෂ්‍යමිත්‍ර විසින් අශ්වමේධ යාග ද්විත්වයක් පැවැත්වූ බවට වාර්තා ඇත. ශුංග අධිරාජ්‍යයේ ‍ශිලාලේඛන ජලන්ධාර් තරම් ඈත පෙදෙස්වලින් පවා හමු වේ. දිව්‍යාවදානය වැනි මූලාශ්‍රවල ඔහුගේ පාලනය පන්ජාබයේ සියල්කොට් තරම් ඈතට පැතිර තිබූ බව කියැවේ. මීට අමතරව, රාජධානියට මථුරාව අහිමි වුවද, ක්‍රි.පූ. 100දී මථුරාව යළි ලබා ගැනීමට ශුංගවරු සමත් වූහ. (හෝ ඇතැම්විට වෙනත් දේශීය පාලකයන් වන: අර්ජුනායනවරුන් (මථුරාවේ) සහ යෞධෙයවරුන් සිය කාසිවල යුධ ජයග්‍රහණ දක්වා ඇත; ("අර්ජුනායන්වරුන්ගේ විජයග්‍රහණය", "යෞධෙයවරුන්ගේ විජයග්‍රහණය") එමෙන්ම ක්‍රි.පූ. 1වන සියවසේ ත්‍රිගාර්තවරු, ඖදුම්බාරවරු සහ අවසානයේ කුනින්දවරු තමන්ගේම කාසි නිපදවීමට සමත් වූහ). ග්‍රීකවරුන් සහ ශුංගවරුන් අතර වයඹදිග ඉන්දියාවේ පැවති සටන් පිළිබඳ වාර්තා කාලිදාසගේ මාලවිකාග්නිමිත්‍ර නැමැති නාට්‍යයෙන් ද ලැබේ. මෙම නාට්‍යයේ ග්‍රීක අශ්වාරෝහක හමුදාව සහ පුෂ්‍යමිත්‍රගේ මුණුපුරු වසුමිත්‍ර අතර ඉන්දු ගංගාවේ පැවති සටනක් පිළිබඳ විස්තර වේ. මෙය අනුව ග්‍රීකවරුන්ව පැරදවීමට ඉන්දියානුවන් සමත් වූ අතර, පුෂ්‍යමිත්‍ර සාර්ථකව සිය අශ්වමේධ යාගය සම්පූර්ණ කළේ ය.[12]

කෙසේනමුත්, මේ පිළිබඳ නිශ්චිතවම පැවසිය හැක්කේ ඉතා ස්වල්ප තොරතුරු ප්‍රමාණයක් පමණි. කෙසේනමුත් පැහැදිළිව පෙනෙන කරුණ නම්, මේ රාජ්‍ය දෙකේ පසුකාලීන රජවරුන් විසින් සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් ඇති බවයි.

ක්‍රි.පූ. 110දී ඉන්දු-ග්‍රීකවරුන් සහ ශුංගවරුන් සමාධානයකට එළැඹි බවත්, රාජ්‍ය තාන්ත්‍රික දූත සබඳතා පැවැත්වූ බවත් හීලියෝඩෝරස් ස්තම්භයේ දැක් වේ. මෙම ස්තම්භය ඉන්දු-ග්‍රීක රජකු වූ ඇන්ටියැල්සිඩාස්ගේ රාජසභාවේ විසූ ග්‍රීක තානාපතිවරයකු වූ හීලියෝඩෝරස් විසින් මධ්‍ය ඉන්දියාවේ විදිශාහි ශුංග අධිරාජ භාගභද්‍ර රජුගේ මාලිගය වෙත සිදුකළ දූතමෙහෙවරක් පිළිබඳ තොරතුරු අනාවරණය කරයි.

සංස්කෘතික දායකත්වයන්

[සංස්කරණය]
භාරුත්වලින් හමුවූ කැටයමක්.

ශුංග රාජවංශයේ ආගමික දේශපාලනය පිළිබඳ නොයෙකුත් විවාද පැවතුණ ද, මෙම රාජවංශය කලාව, අධ්‍යාපනය, දර්ශනය වැනි අංශ මෙකල සමෘද්ධිමත්ව පැවති බව පෙනේ. එසේම පඨාංජලීගේ යෝග සුත්‍ර රචනා වී ඇතතෛ් ද මේ යුගයේ ය. මේ යුගය පිළිබඳ මාලවිකාග්නිමිත්‍රයෙහි සඳහන් වුවද, එය පසුකාලීන ගුප්ත යුගයේ කාලිදාස විසින් රචනා කරන ලද්දකි. රාජ මාලිගයේ කුමන්ත්‍රණ මධ්‍යයේ අග්නිමිත්‍ර රජු සහ මාලවිකා අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තය මෙමගින් නිරූපණය වේ.

මෙකල මථුරා ගුරුකුලයේ නැගීමත් සමග උපමහාද්වීපයේ කලාශිල්පවල දියුණුවක් ඇති විය. මෙම මථුරා ගුරුකුලය ඇෆ්ඝනිස්ථානයේ සහ පාකිස්ථානයේ හෙලනිස්තික ගන්ධාර ගුරුකුලයේ දේශීය ප්‍රතිමූර්තියක් ලෙස හැඳින්විය හැක.

ඓතිහාසික ශුංග යුගයේ (ක්‍රි.පූ. 185 සිට 73 දක්වා) මධ්‍ය ඉන්දියාවේ (මධ්‍ය ප්‍රදේශ්) ඇතැම් ප්‍රදේශවල බෞද්ධ කටයුතු දියුණු විය. මුලින් අශෝක අධිරාජයා විසින් ආරම්භ කළ සාංචි සහ භාරුත් ස්තූපවල ගෘහනිර්මාණ අංග සංවර්ධනය කිරීම මෙකල සිදු විය. මෙම නිර්මාණ එම ප්‍රදදේශවල ශුංග පාලනය දුර්වල වීම නිසා ද නැතහොත් ඔවුන්ගේ ආගමික සහනශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිවී ද යන්න නිශ්චිත නැත.

ශුංග අධිරාජවරුන් අතර අවසානයා දේවභුති (ක්‍රි.පූ. 83–73) රජු ය. ඔහුගේ අමාත්‍යවරයකු වූ වාසුදේව කාන්ව විසින් ඔහුව ඝාතනය කරන ලදී. ඔහු කාන්තා සමාගමයට ඉතා ප්‍රියකළ තැනැත්තකු බව පැවසේ. අනතුරුව ශුංග රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් කාන්වාවරු බලයට පත් වූහ.

අක්ෂර

[සංස්කරණය]

ශුංගවරුන් විසින් භාවිතා කළ අක්ෂර මාලාව බ්‍රාහ්මි ප්‍රභේදයකි‍. එය සංස්කෘත භාෂාව ලිවීම පිණිස භාවිතා කරන ලදී. මෙම අක්ෂර තරමක් මෞර්ය සහ කාලිංග බ්‍රාහ්මී අක්ෂර අතර අතරමැදි ස්වරූපයක් පෙන්වයි.[13]

ශුංග පාලකයින් ලැයිස්තුව

[සංස්කරණය]
අධිරාජයා රාජ්‍ය සමය
පුෂ්‍යමිත්‍ර ශුංග ක්‍රි.පූ. 185–149
අග්නිමිත්‍ර ක්‍රි.පූ. 149–141
වාසුජ්‍යේෂ්ථ ක්‍රි.පූ. 141–131
වසුමිත්‍ර ක්‍රි.පූ. 131–124
භද්‍රක (හෙවත් අර්ද්‍රක හෝ ඕද්‍රක) ක්‍රි.පූ. 124–122
පුලින්දක ක්‍රි.පූ. 122–119
ඝෝෂ (හෙවත් ඝෝෂවාසු) ?
වජ්‍රමිත්‍ර ?
භාගභද්‍ර (හෙවත් භාගවත) ?
දේවභුති ක්‍රි.පූ. 83–73

මේවාත් බලන්න

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]
  1. ^ ස්ටැඩ්ට්නර්, ඩොනල්ඩ් (1975). "අ සුංග කැපිටල් ෆ්‍රොම් විදිසා". ඒට්‍රයිබස් ඒෂියේ. 37 (1/2): 101–104. doi:10.2307/3250214. JSTOR 3250214.
  2. ^ "පුරාණ අනුව පුෂ්‍යමිත්‍ර අවසාන මෞර්ය අධිරාජයා වූ බෟහද්‍රථගේ සේනානි හෙවත් යුධ සෙන්පතියකුව සිටි බව සඳහන් වේ" ද යුග පුරාණ, මිචෙනර්, 2002.
  3. ^ "ඉන්දියාව". බ්‍රිටනිකා විශ්වකෝෂය.
  4. ^ a b c සාර්වස්ථිවාද පිටු 38–39
  5. ^ අකිරා හිරකාවා, පෝල් ග්‍රෝනර්, "අ හිස්ට්‍රි ඔෆ් ඉන්ඩියන් බුඩිස්ම්: ෆ්‍රොම් ශාක්‍යමුණි ටු අර්ලි මහායාන", මෝතිලාල් බර්නාසිදාස් ප්‍රකා., 1996, ISBN 81-208-0955-6 පි 223
  6. ^ (බරුවා, බී. එම්., 'ඕල්ඩ් ෂ්‍රයින්ස් ඇට් බෝධ්-ගයා ඉන්ස්ක්‍රිප්ෂන්ස)
  7. ^ "බොධ් ගයා ෆ්‍රොම් 500 BCE ටු 500 CE". buddhanet.net.
  8. ^ ඩී. එන්. ජා,"අර්ලි ඉන්ඩියා: අ කන්සයිස් හිස්ට්‍රි" පි.150, ඵලකය 17
  9. ^ "තථා යවන කාම්බෝජ මථුරම්.අභිතාෂ් චා යේ./ එතේ ආශාවා.යුද්ධ.කුෂලදාසිනාත්‍යසි චාර්මිනා."//5 — (MBH 12/105/5, කුම්භකෝනම් සංස්)
  10. ^ "ක්‍රිස්තු යුගයට පෙර ඉන්දු-ග්‍රීකවරුන් හෝ ඉන්දු-සිතියන්වරුන් පිළිබඳ හැදෑරීමට වැදගත් මූලාශ්‍රයක් ලෙස යුග පුරාණය සැලකිය හැක" දිලිප් කූමර් ඝෝසේ, සාමාන්‍ය ලේකම්, ආසියාතික සංගමය, කොල්කටා, 2002
  11. ^ "මෙගස්තීනිස්: ඉන්ඩිකා". ප්‍රොජෙක්ට් සවුත් ඒෂියා. 10 දෙසැම්බර් 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. ඉන්දියාවේ දැවැන්තම නගරය වන පාලිම්බෝත්‍ර නගරය ප්‍රාසියානුවන්ගේ අධිපතීත්වය යටතේ පවතියි [...] මෙගස්තීනිස් විස්තර කරන්නේ මෙම නගරය සෑම පැත්තක්ම ස්ටේඩියා අසූවක දිගකින් යුතු වන අතර, එහි පළල ස්ටේඩියා 15කි. එය අඩි හය සියයක් පළල, රියන් තිහක ගැඹුරකින් යුත් අගලකින් වට වී ඇත. මෙහි ප්‍රාකාරය කුළුණු 570කින් සහ දොරටු හැට හතරකින් සමන්විත විය. (Arr. Ind. 10. 'ඔෆ් පාඨලිපුත්‍ර ඇන්ඩ් ද මැනර්ස් ඔෆ් ද ඉන්ඩියන්ස්')
  12. ^ "ඉන්ඩු-ග්‍රීක්, ඉන්ඩු-සිතියන් ඇන්ඩ් ඉන්ඩු-පාතියන් කොයිනිස් ඉන් ද ස්මිත්සෝනියන් ඉන්ස්ටිටියුෂන්", බෝපෙආරච්චි, පි16. එසේම: "කාලිදාස සිය මාලවිකාග්නිමිත්‍ර (5.15.14–24) නැමැති නාට්‍යයේ දක්වන්නේ පුෂ්පමිත්‍ර සිය මුණුපුරා වූ වසුමිත්‍රව සිය පූජනීය අශ්වයා රැකගැනීමට පත්කළේ ය. මේ අශ්වයා සින්ධු ගංගාවේ දකුණු ඉවුරේ සැරිසැරූ අතර, යවන අශ්වාරෝහකයින් ඌව අල්ලා ගෙන ඇත- පසුව වසුමිත්‍ර විසින් ඔවුන්ව පරාජය කරන ලදී. මෙම පාඨයෙහි "සින්ධු" යන වදන ඇතැම් විට ඉන්දු ගංගාව සඳහා භාවිතා වන්නට ඇත: නමුත් ශුංග බලය යටතේ එතරම් විශාල ප්‍රදේශයක් පැවතීම අභව්‍ය බව පෙනේ. ඒ නිසා වඩාත්ම පිළිගත හැකි මතය නස් සින්ධු යන වදන, මධ්‍ය ඉන්දියාවේ ඇති ගංගා දෙකෙන් එකක් වන යමුනා ගංගාවේ අතුගංගාවක් වන සින්ධු ගංගාව හෝ චම්බාල් ගංගාවේ අතු ගංගාවක් වන කාලි-සින්ධු සඳහා භාවිත වන්නට ඇතැයි සිතිය හැකි ය." ද යුග පුරාණ, මිචෙනර්, 2002.
  13. ^ "සිලබාරියෝ සුංගා". proel.org.

ආශ්‍රිත

[සංස්කරණය]
  • "The Legend of King Ashoka, A study and translation of the Ashokavadana", ජෝන් ස්ට්‍රෝං, ප්‍රින්ස්ටන් ලයිබ්‍රරි ඔෆ් ඒෂියන් ට්‍රාන්ස්ලේෂන්ස්, 1983, ISBN 0-691-01459-0
  • "Dictionary of Buddhism", ඩේමියන් කියොව්න් (ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2003) ISBN 0-19-860560-9
  • Aśoka and the Decline of the Mauryas, රොමිලා තාපර්, 1961 (ප්‍රතිශෝධනය 1998); ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, ISBN 0-19-564445-X
  • "The Yuga Purana", ජෝන් ඊ. මිචිනර්, කොල්කටා, ආසියාතික සංගමය, 2002, ISBN 81-7236-124-6

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
මෞර්ය රාජවංශය
මගධ රාජවංශ අනුප්‍රාප්තික
කාන්වා රාජවංශය
"https://si.wikipedia.org/w/index.php?title=ශුංග_අධිරාජ්‍යය&oldid=600201" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි