Jump to content

කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි

විකිපීඩියා වෙතින්
(කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි සමය වෙතින් යළි-යොමු කරන ලදි)
කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි
කොරියානු නම
හංගුල්원삼국시대
හන්ජා原三國時代
ප්‍රතිශෝධිත රෝමානුකරණයWonsamguk Sidae
මැකූන්–‍රයිෂවර්Wŏnsamguk Sidae

කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි (හෙවත් සම්හන්)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ගෝජොසොන්හි බිඳ වැටීමෙන් පසුව සහ ගොගුර්යෝ, බෙක්ජේ, හා සිල්ලා යන රාජ්‍ය පූර්ණ වර්ධිත රාජධානි බවට පත්වීමට පෙර කාලය අතර වූ කොරියානු අර්ධද්වීපයේ පූර්ව-ඓතිහාසික කාලසීමාවයි.[2] සම්ප්‍රදායිකව කොරියාවේ තුන් රාජධානි යුගය යැයි සලකන යුගයේ උපකොට්ඨාසයක් වන මෙමගින් ක්‍රිස්තු වර්ෂයේ පළමු සියවස් තුනට අයත් කාල සීමාව ආවරණය කරයි. මෙය කොරියානු යකඩ යුගයේ අවසන් අවධියට අනුරූප වේ.

ඉතිහාසය

[සංස්කරණය]

ක්‍රි.පූ. 108දී චීනයේ හන් රාජවංශය විසින් ගෝජොසොන් රාජ්‍යය පරාජය කිරීමත් සමග, අර්ධද්වීපයේ උතුරුදිග ප්‍රදේශ සහ මැංචූරියානු ප්‍රදේශයන් බුයෝ,[3] ගොගුර්යෝ, ඔක්ජෝ, දොංග්යේ, සහ සෙසු කුඩා රාජ්‍ය විසින් අත්පත් කරගන්නා ලදී. සම්ප්‍රදායිකව ගොගුර්යෝව පිහිටුවූ දිනය ලෙස ක්‍රි.පූ. 37 පිළිගැනුණ ද, ක්‍රි.පූ. 75 තරම් පැරණි චීන වාර්තාවල ගොගුර්යෝව පිළිබඳ සඳහන් වේ. පැරණි ගෝජොසොන් රාජ්‍යයට අයත්ව තිබූ භුමියේ චීනය විසින් ආඥාභූමි හතරක් ස්ථාපනය කරන ලදී. නමුත් කොරියානු ප්‍රතිරෝධය හේතුවෙන් ඉන් තුනක්ම ඉක්මණින් බිඳවැටිණි‍. ක්‍රමිකව ගොගුර්යෝව සිය අසල්වැසි සියලු රාජ්‍ය ආක්‍රමණය කොට ඈඳාගන්නා ලදී. ක්‍රි.ව. 313දී ගොගුර්යෝව අවසන් චීන ආඥාභූමිය ද විනාශ කළේ ය.

අල්ප තොරතුරු ප්‍රමාණයක් පමණක් හමුවන ජින් රාජ්‍යය හේතුවෙන් දකුණු දිගින් ජින්හන්, බ්යොන්හන්, සහ මහන් යන ලිහිල් සංයුක්ත රාජ්‍ය බිහි විය. මෙ සංයුක්ත රාජ්‍ය සියල්ල එකට ගත් විට සම්හන් ලෙස හඳුන්වයි. ක්‍රි.පූ. 18දී මහන් භූමිය තුළ බෙක්ජේ රාජ්‍යය පිහිටුවූ අතර, ක්‍රමිකව එය මහන් භූමිය අත්පත් කරගත්තේ ය. ජින්හන් සංයුක්තයේ වූ ප්‍රධාන බල ප්‍රදේශයන් හයක් එක්සත් කිරීමෙන් සිල්ලා රාජධානිය බිහි විය. සාමාන්‍යයෙන් ස්මප්‍රදායිකව සිල්ලාව බිහිවූයේ ක්‍රි.පූ. 57දී යැයි සැලකුණ ද, ඇතැම්විට එය මීඨ වඩා තරමක් පසුකාලීනව බිහිවූවක් ද විය හැක. බ්යොන්හන් සංයුක්තය පුසකාලීනව ගයා සංයුක්ත රාජ්‍යය විසින් අත්පත් කරගත් අතර, පසුව සිල්ලාව විසින් ගයා රාජ්‍යය ද ඈඳාගන්නා ලදී.

මෙම අඛණ්ඩතාවය හේතුවෙන් බොහෝ ඉතිහාසඥයන් සලකන්නේ තුන් රාජධානි ඇරඹුණේ ගෝජොසොන්හි බිඳ වැටීම සිදුවූ කාලසීමාව අවට බවත්, නමුත් එම රාජධානි තුන ක්‍රි.පූ. 300 පමණ වනතෙක් අර්ධද්වීපයේ ප්‍රමුඛත්වයට පත් නොවූ බවත් ය.

යකඩ සංස්කෘතිය

[සංස්කරණය]

මෙම යුගයට අයත් වැදගත් ලක්ෂණ අතර එදිනෙදා භාවිතය සඳහා පුළුල් වශයෙන් යකඩ උපකරණ නිර්මාණය වීම සහ තැලුණු රටාවකින් යුත් අළු මැටි බඳුන් හඳුන්වා දීම ප්‍රධාන වේ.

මෙම යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක ප්‍රධාන වශයෙන්ම උතුරු දෙසින් නක්රං සහ ‍ගොගුර්යෝ ප්‍රදේශවලිනුත්, දකුණු දිගින් සම්හන් ප්‍රදේශයෙනුත් හමුවේ. ලෝකඩ සහ යකඩ භාවිතයේ පැවති අතර, දකුණුදිග වෙරළතීරයේ කවච තැන්පත් වූ ප්‍රදේශවල යකඩ නිෂ්පාදනය සිදු විය.

මෙම ප්‍රදේශයේ පුරාවිද්‍යා බිම්වලින් කොරියානු ලෝකඩ සිරි සංස්කෘතිය, ඇතැම්හන් චීන සංස්කෘතිය සහ උතුරු ස්ටෙප් සංස්කෘතීන්ට අයත් දර්ශීය කලානිර්මාණ හමුවේ. මෙමගින් හන් චීනය සහ වෙනත් ප්‍රදේශ සමග පැවති ස්වාධීන අන්තර්ක්‍රියා නිරූපණය කෙරේ.

යකඩ තාක්ෂණය හඳුන්වා දීමත් සමග, වඩාත් ශක්තිමත් තියුණු ආයුධ සහ ගොවි උපකරණ නිපදවීමට හැකි විය. මේ නිසා දේශපාලන ඒකාබද්ධභාවය ශීඝ්‍ර වූ අතර, බලය සහ ධනය අතින් සංකේන්ද්‍රගත වීම ද ඉක්මන් විය.

වෙළඳාම

[සංස්කරණය]

තුන් රාජධානිවල වාර්තාහි ඇතුළත් ‘තුන් රාජධානිවල වාර්ෂික වාර්තා’ තුළ වෙළඳාම පිළිබඳ තොරතුරු හුමවේ. එහි දැක්වෙන්නේ නක්දොං ගංගා ද්‍රෝණියෙන් ලබාගත් යකඩ ජපානයේ ලොලෑං සහ වේ වෙත අපනයනය කෙරුණු බවයි. නක්දොං ගංගාවේ පහළ ද්‍රෝණියේ වූ සංස්කෘතීන් සමග සම්බන්ධතා පැවිත බවට චීනය, වේ සහ මැංචූරියාවෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවේ.

කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටසේ කවච නිධි සහ සොහොන්ගැබ්වලින් චීන ලෝකඩ දර්පණ, ලෝකඩ තෙපා උත්සව බඳුන්, ලෝකඩ ගාංචු සහ චීන කාසි ද හමුවී ඇත. උතුරුදිග පළාතේ පැවති කලා නිර්මාණවලට නිදසුන් ලෙස ලෝකඩ 'ෆු' බඳුන්, ව්‍යාඝ්‍ර-හැඩැති ගාංචු සහ අශ්ව-හැඩැති ගාංචු දැක්විය හැක. වේ ප්‍රදේශයෙන් හමුවූ භාණ්ඩ අතර යායොයි මැටි භාජන, බුජම් මිනීපෙට්ටි, පළල් ලෝකඩ හෙළි තුඩු සහ ලෝකඩ කෙටේරි වැදගත් වේ.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ (කොරියානු) Samhan[permanent dead link] at Doosan Encyclopedia
  2. ^ (කොරියානු) Proto-Three Kingdoms period[permanent dead link] at Doosan Encyclopedia
  3. ^ (කොරියානු) Buyeo සංරක්ෂණය කළ පිටපත 2012-07-01 at archive.today at Encyclopedia of Korean Culture

බාහිර සබැඳි

[සංස්කරණය]