ප්‍රාග්ඓතිහාසික කොරියාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
උසැති ගෙලක් සහ මඳක් විහිදුණු ගැටියක් සහිත ගෝලාකාර බුජමක්

ප්‍රාග්ඓතිහාසික කොරියාව යනු ලිඛිත වාර්තා නොපවතින කොරියානු අර්ධද්වීපයේ මානව ජනාවාස පැවති යුගයයි. කෙසේනමුත්, එය කොරියානු ඉතිහාසය පිළිබඳ දැවැන්තම අංශය වන අතර පුරාවිද්‍යාව, භූ විද්‍යාව, සහ පාෂාණිධාතු විද්‍යාව පිළිබඳ විද්වතුන් විසින් හදාරනු ලබන ප්‍රධාන අධ්‍යයන අංගය ද වේ.

භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසය[සංස්කරණය]

කොරියානු ඉතිහාසයේ වඩාත්ම පුරාතන කොටස භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසයයි. කොරියාවේ පැරණිතම පාෂාණ ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. යොන්චොන් පද්ධතිය ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අනුරූප වන අතර, සෝල් අවට සිට යොන්චොන්-ගුන්වලින් පිටතට ඊසානදිග පිහිටුමක් ඔස්සේ මේවා ව්‍යාප්තව ඇත. මෙය ඉහළ සහ පහළ කොටස්වලට බෙදිය හැකි අතර, ඒවා බයෝටයිට්-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, කිරිගරුඬ, හුනුගල්-සිලිකේට, ක්වාර්ට්සයිට්, මිනිරන් ෂීස්ට්, මයිකා-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, මයිකා ෂීස්ට්, ඕගන් නයිස් සහ ගානට් දරන ග්‍රැනයිටීය නයිස්වලින් සමන්විත වේ. කොරියානු අර්ධද්වීපය සතුව මීසොසොයික යුගය ඔස්සේ ක්‍රියාකාරී භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසයක් පැවති අතර, මෙකල බොහෝ කඳු ප්‍රදේශ නිර්මාණය විය. ඒවා සෙමෙන් ස්ථාවර වූයේ සිනොසොයික යුගයේ ය. ප්‍රධාන මීසොසොයික නිර්මාණ අතර ග්යොංසං සුපිරිසමූහය සැලකිය හැක. වර්තමාන ග්යොංසං-දෝ පළාතේ වැඩි ප්‍රදේශයක් ඔස්සේ ව්‍යාප්තව පවතින මෙය බයයෝටයිට් ග්‍රැනයිට්, ශල්ක, වැලිගල්, සම්පිණ්ඩිත ඇන්ඩසයිට්, බැසෝල්ට්, රයෝලයිට් සහ ටෆ් යන ඛනිජවලින් සමන්විත ය.

මෙම ලිපියේ සෙසු කොටස මගින් කොරියානු අර්ධද්වීපයේ මානව ප්‍රාග්ඉතිහාසය විස්තර කෙරේ.

අවධි වර්ගීකරණය[සංස්කරණය]

කොරියාවේ ඉතිහාසඥයින් විසින් කොරියානු ප්‍රාග්ඉතිහාසය වර්ගීකරණය කිරීම සඳහා තුන්-යුග ක්‍රමය භාවිතා කරනු ලබයි. තුන්-යුග ක්‍රමය භාවිතයට ගැනුණේ පශ්චාත්-අධිරාජ්‍යවාදී ජපන් යටත්විජිත යුගයේ ය. ජපානය මෙන් නොව කොරියාව සතුව "ලෝකඩ යුගයක් නොපැවැති බව" පැවසූ ජපන් පුරාවිද්‍යාඥයින්ට පිළිතුරු සැපයීමේ දී භාවිතයට ගැනිණි.[1]

තුන්-යුග ක්‍රමය කොරියාවේ තත්ත්වයට ආදේශ කිරීමේ දී ගැටළු කිහිපයක් පැන නැගී ඇත. මෙම ශබ්ද මාලාව භාවිතා කෙරුණේ ප්‍රාග්‍ඓතිහාසික යුරෝපය සඳහා වන අතර, එහි නියෝලිතික අවධියේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් ස්ථිර ජනාවාස පිහිටුවීම, කුඹල් කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය සමකාලීනව සිදු විය. කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද අවධි වර්ගීකරණ ක්‍රමවේදය අනුව යෝජනා වී ඇත්තේ නියෝලිතික යුගය ක්‍රි.පූ. 8000දී ආරම්භ වී ක්‍රි.පූ. 1500 තෙක් පැවති බවයි. නමුත් පූර්වශිලා මානව වංශික උද්භිද විද්‍යාව අනුව පළමු සැබෑ වගාවන් ක්‍රි.පූ. 3500 පමණ වනතෙක් ආරම්භ වී නොමැති හෙයින්, මෙය මතභේදාත්මක ය. ක්‍රි.පූ. 8000 සිට 3500 දක්වා වූ කාලය මෙසෝලිතික සංස්කෘතියට අය්ත යැයි සැලකේ. මෙකල දඩයම් සහ රැස් කිරීම් ප්‍රමුඛව පැවති අතර, එය භෞමික මෙන්ම සාගර ආශ්‍රිතව ද සිදු විය.[2]

කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් සම්ප්‍රදායිකව (1990 දශකය තෙක්) ක්‍රි.පූ. 1500 හෝ 1000 යන දිනය ලෝකඩ යුගයේ ආරම්භය ලෙස සලකා තිබිණි. නමුත් ක්‍රි.පූ. 700 තෙක්ම කොරියානු අර්ධද්වීපයේ දකුණු‍ කොටසේ ලෝකඩ තාක්ෂණය භාවිතා වී නැත. එසේම පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පැහැදිළි වන්නේ කි.පූ. 400 තෙක්ම ලෝකඩ භාණ්ඩ සාපේක්ෂව විශාල ප්‍රමාණවලින් භාවිතා වී නොමැති බවයි. මේ නිසා කොරියාව නියම ‍ලෝකඩ යුගයෙන් ඉවත් වන අතර, එසේවුව ද එහි ලෝකඩ යුගය ඉතා කෙටි එකකි. ලෝකඩ ලෝහ කර්මය පුළුල්ව ව්‍යාප්ත වී මඳ කලකට පසුව, එය විස්ථාපනය කරමින් යකඩ ලෝහ කර්මය ප්‍රචලිත විය.[3]

පේලියෝලිතික[සංස්කරණය]

මෙම යුගයේ සම්භවය විවෘත ප්‍රශ්නයක්ව ඇති නමුත්, කොරියාවේ මානව ජනාවාසීකරණයේ පුරාතනය ක්‍රි.පූ. 500,000 තරම් ඈත යුගයකට අයත් විය හැක. ආදිතම ජනාවාසීකරණය පහළ පේලියෝලිතික යුගයට ඇතුළත් කිරීම පිළිබඳ යි සහ ක්ලාක් තරමක් සැක පහළ කරති.[4]

චුංචොංනම්-දෝ පළාතේ ගොංජු අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් වන සොක්ජං-රිහි පහළ ස්තරවල තිබී පහළ පේලියෝලිතික ශිලා මෙවලම් හා සම්බන්ධයක් ඇතැයි සිතිය හැකි පුරාවස්තූන් හමුවී ඇත. ද්වීතල පොරොවක් හෝ කෙටුම් මෙවලම් ද හමුවී ඇත. පසුකාලීන යුගවල දී මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි අත් පොරොව සහ මන්නා ද හමු විය.

ජොම්මල් ගුහාවේ තිබී මානව අරාස්ථියෙන් තනන ලද දඩයම් කටයුතු සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතය හැකි මෙවලමක් හමු විය. මේ සමග සත්ත්ව අස්ථිවලින් තැනූ දඩයම් සහ ආහාර සැකසුම් උපකරණ ද හමු විය. ආහාර සඳහා එක්රැස් කරන ලද විවිධ ගෙඩි වර්ගවල කවච ද සොයාගැනිණි.

සොක්ජං-රි සහ වෙනත් ගංගාසන්න බිම්වලින් පේලියෝලිතික සම්ප්‍රදායයට අයත් පැහැදිළි ලක්ෂණ සහිත හිලා මෙවලම් හමුවී ඇත. මේවා ක්වාර්ට්සයිට්, පෝෆිරි, ඔබ්සිඩියන්, තිරුවාණා සහ ෆෙල්සයිට් මෙන් දිස්වන ඇචියුලියන්, මූස්ටි‍රොවිඩ් සම ලෙවැලොයිසියන් ලක්ෂණ සහිත පාෂාණවලින් නිර්මාණය කොට ඇත. පොරෝ සම්ප්‍රදායයට අයත් ඒවා හැඩයෙන් සරල වන අතර, ඒවා ක්වාර්ට්ස් සහ පෙග්මටයිට් වැනි පාෂාණවලින් නිර්මාණය කොට ඇත. සොක්ජං-රිහි මධ්‍ය ස්තර අනුව පෙනීගොස් ඇත්තේ එකල මිනිසුන් මෙවැනි බෝලා හෙවත් දමාගැසීමේ පාෂාණවලින් දඩයම් කොට ඇති බවයි.

මධ්‍ය පේලියෝලිතික යුගයේ දී, මිනිසුන් ජෙචොන් අසල ජොම්මල් භූමියේ සහ චොංජු අසල දුරුබොං භූමියේ ගුහා තුළ වාසය කොට ඇත. මෙම ගුහා අඩවි දෙකෙහිම සිදුකළ කැනීම්වල දී, වඳවී ගිය රයිනෝසිරස්, දුඹුරු වලසුන්, හයිනා සහ විවිධ මුව විශේෂවල (Pseudaxi gray ප්‍රභේද) ෆොසිල ‍ශේෂයන් හමුවී තිබේ.

පේලියෝලිතික යුගයට අයත් පැරණිතම විකිරණශිලී කාබන් දින අනුව පෙනීයන්නේ කොරියානු අර්ධද්වීපයේ ජනාවාසීකරණය 40,000 සහ 30,000 BP යන කාලසීමාව තුළ සිදුවී ඇති බවයි.[5] සොක්ජං-රිහි ප්‍රදේශය 1 හි කැනීම් බිමෙන් පර්යේෂකයන් විසින් මොංගෝලීය සම්භවයක් ඇති මිනිස් හිසකෙස් කිහිපයක් සහ උඳුනක් අසල සහ වටා තිබී හුනුගල් සහ මැංගනීස් වර්ණක ද හමුවී ඇත. එසේම පාෂාණයෙන් කළ බල්ලන්, ඉබ්බන් සහ වලසුන් වැනි සත්ත්ව රූප ද සොයාගෙන තිබේ. වාර්තා අනුව පැවසෙන්නේ කාබන් කාලනිර්ණය අනුව මේවා වසර 20,000කට ඉහත දී නිර්මාණය කළ ඒවා බවයි.

ක්‍රි.පූ. 8000 පමණ මැටි බඳුන් නිර්මාණය ආරම්භ වීමත් සමග පේලියෝලිතික යුගය අවසන් වේ.

ජ්‍යුල්මුන් කුඹල් යුගය[සංස්කරණය]

කොරියානු නියෝලිතික යුගයේ පොරොවවල්
සම්පූර්ණ බඳුන පුරාම සම්භාව්‍ය ජ්‍යුල්මුන් පනා-හැඩැති රටා සහිත කොරියානු මැටි බඳුනක්; ක්‍රි.පූ. 4000 පමණ, අම්සා-දොං, සෝල්. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.

පැරණිතම හඳුනාගැනුණු කොරියානු මැටි බඳුන් ක්‍රි.පූ. 8000ට පමණ හෝ ඊට පෙර කාලයකට අයත් යැයි සැලකේ. මෙම මැටි බඳුන් යුංගිමුන් මැටි බඳුන් (කොරියානු: 융기문토기) නම් වන අතර, ඒවා අර්ධද්වීපය පුරාම හමු වේ. යුංගිමුන් යුගය‍ට අයත් පුරාවිද්‍යා බිම් අතර ‍ජේජු-දෝහි ගෝසන්-රි සහ මහා උල්සන්හි උබොං-රි වැනි ස්ථාන වැදගත් වේ. ජ්‍යුල්මුන් පනා-රටා සහිත මැටි බඳුන් (즐문토기) හමුවන්නේ ක්‍රි.පූ. 7000න් පසුව වන අතර, ක්‍රි.පූ. 3500-2000 අතර කාලයට අයත් සම්පූර්ණ බඳුන පුරාම පනා මෝස්තර සහිත බඳුන් බහුල වශයෙන් බටහිර-මධ්‍යම කොරියාවෙන් හමුවේ. එකල අම්සා-දොං සහ චිතම්-නි වැනි ජනාවාස ගණනාවක් පැවතියේ ය. ජ්‍යුල්මුන් මැටි බඳුන් මූලික වශයෙන් මෝස්තර සහ ස්වරූපය අතින් රුසියානු වෙරළාසන්න පළාත, මොංගෝලියාව, මැංචූරියාවේ අමුර් සහ සුන්ගරි ගංගා ද්‍රෝණි සහ ජපානයේ ජෝමොන් සංස්කෘතියට සමානත්වයක් දක්වයි.[6]

ජ්‍යුල්මුන්හි ජනයා දඩයම් කිරීම, රැස් කිරීම, සත්ත්වාහාර සපයා ගැනීම සහ කුඩා පරිමාණයේ වල් පැළෑටි වගා කිරීම වැනි ආර්ථික කටයුතුවල නියැළී ඇත. ජ්‍යුල්මුන් යුගයේ දී ආසියානු මහාද්වීපයේ සිට කොරියානු අර්ධද්වීපය වෙත මිලට් සහ වී වගාවන් හඳුන්වා දීම ද සිදු විය.

සිරියක නිරූපණයක් (දකුණේ) සහ දණගසා සිටින රුවක් ඇතුළත් මානව රූ දෙකක් (වමේ); කොරියාවේ යෝසුහි,ඔරිම්-දොංහි මෙගලිතික සුසාන අංක 5 ශීර්ෂ ගලෙහි අන්තර්ගත කැටයමකි.

මුමුන් කුඹල් යුගය[සංස්කරණය]

මුමුන් යුගයේ ජනාවාස ස්ථාන

කෘෂිකාර්මික සමාජ සහ පැරණිතම සමාජ-දේශපාලන සංකීර්ණභාවයන් මුමුන් කුඹල් යුගය (ක්‍රි.පූ‍. 1500–300 පමණ) තුළ දී ඉස්මතු විය. දකුණුදිග කොරියාවේ ජනයා විසින් බෝග රාශියක් සමග වියළි-බිම් සහ කුඹුරු වගා කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කිරී‍ම මුල්කාලීන මුමුන් යුගයේ දී (ක්‍රි.පූ. 1500–850) සිදු විය. ප්‍රධානීන් විසින් මෙහෙයවන ලද පළමු සමාජයන් මධ්‍ය මුමුන් (ක්‍රි.පූ. 850–550) යුගයේදීත්, පළමු අලංකාර වංශවත් භූමදාන ස්ථාන පසුකාලීන මුමුන් (ක්‍රි.පූ. 550–300) යුගයට අයත් වූයේ යැයි සිතිය හැක. මධ්‍ය මුමුන් යුගයේ දී ලෝකඩ නිෂ්පාදනය ඇරඹුණු අතර, ක්‍රි.පූ. 700න් පසුව මුමුන් උත්සව සහ දේශපාලනික සමාජය තුළ ලෝකඩවලට ඉහළ වටිනාකමක් හිමි විය. පළමු වතාවට ගම්මානවල නැගීම, පුළුල් වීම සහ බිඳ වැටීම සිදුවූයේ මුමුන් තුළ ය. මින් ඇතැම් වැදගත් උදාහරණ ලෙස සොංගුං-නි, දේප්යොං, සහ ඉග්‍යුම්-දොං යන ප්‍රදේශ හඳුනාගත හැක. දිගු-දුර වෙළඳාම, ‍අභ්‍යන්තර අරගල වැඩි වීම සහ ලෝකඩ හා යකඩ කර්මාන්තය හඳුන්වා දීම මුමුන් යුගයේ අවසන් කාලයේ ක්‍රි.පූ. 300 අවට සිදුවූ වැදගත් නැඹුරුතාවන් වේ.

කොරියාවේ ලෝකඩ යුගය ක්‍රි.පූ. 800 ආරම්භයේ උදා වූ අතර, මෙය චීන ඔස්සේ සම්ප්‍රේෂණය වූවකි.[7] ක්‍රි.පූ. 4වන සියවස තෙක්ම ලෝකඩ කර්මාන්තය එතරම් පුළුල්ව ව්‍යාප්තව නොපැවැති අතර, ක්‍රි.පූ. 1වන සියවස වන විට යකඩ මිශ්‍ර ලෝහ කර්මාන්තය දියුණු විය.

යකඩ යුගය[සංස්කරණය]

කොරියාවේ පසුකාලීන ලෝකඩ යුගයේ සිට මුල්කාලීන යකඩ යුගය දක්වා වූ සංක්‍රමණ කාල සීමාව ක්‍රි.පූ. 4වන සියවසේ දී ආරම්භ විය. මෙය ගෝජොසොන්හි පසුකාලීන අවධිය, දකුණෙහි ජින් රාජ්‍ය යුගය සහ ක්‍රි.ව. 1 සිට 4වන සියවස් තෙක් දිවුණු ප්‍රාක්-තුන් රාජධානි යුගය තෙක් පැතිර පවතියි.[8]

ක්‍රි.පූ. 300න් පසුව එළඹෙන අවධිය 'මූලඓතිහාසික' යුගයක් ලෙස සැලකිය හැක. මෙකල කොරියානු අර්ධද්වීපයේ සමාජයන් විස්තර වන ඇතැම් ලේඛනගත මූලාශ්‍ර දක්නට ලැබේ. මෙම ඓතිහාසික රාජ්‍ය සංස්ථාවන් සම්ගුක් සගි වැනි පුරාතන ලේඛනවල සඳහන් කොට ඇත.

කොරියාවේ ඓතිහාසික යුගය ඇරඹෙන්නේ ක්‍රි.ව. 4වන සියවසේ පසුකාලයේ සිට 5වන සියවසේ මැද භාගය දක්වා වූ කාලසීමාව තුළ ය. මෙකල බුදු දහම ව්‍යාප්ත වීමත් සමග, කොරියාවේ තුන් රාජධානි විසින් පැරණි කොරියානු බසින්වන පැරණිතම වාර්තා නිර්මාණය කිරීමට චීන ලේඛන ක්‍රමය භාවිතා කොට තිබේ.

පුරාණෝක්තිමය ප්‍රාග්ඉතිහාසය[සංස්කරණය]

සම්ගුක් සගි, සම්ගුංන්‍යුසා, පසුකාලීන හන්හි ග්‍රන්ථය ඇතුළු පුරාතන ලේඛනවල කොරියානු ප්‍රාග්ඉතිහාසයේ ඇතැම් අවස්ථා අර්ථකථනයට උත්සාහ දරා ඇත. මින් වඩාත් ප්‍රචලිතම ප්‍රභේදය කොරියානු ජාතියේ සම්භවය විස්තර කෙරෙන මිත්‍යාමය "පළමු අධිරාජයා" වන දංගුන්ගේ පුරාවෘත්තයයි. මැවුම්කාර දේවතාවාගේ දරුවකු ලෙස වැලහින්නකට දාව මිනිස් ස්වරූපයෙන් උපන්නෙකි, ඔහු. දංගුන් විසින් ඔහුගේ පළමු නගරය ඉදිකරන ලදී.[9] විසිවන සිවසේ සැලකිය යුතු ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාවක් මගින් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ගෝජොසොන් (ක්‍රි.පූ. 2333–108), ගිජා ජොසොන් (ක්‍රි.පූ. 1122–194), විමන් ජොසොන් (ක්‍රි.පූ. 194–108) ඇතුළු සෙසු රාජ්‍ය පිළිබඳ අර්ථකථන සිදු කිරීමට උත්සාහ දරා තිබේ.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kim, Seung Og. 1996. "Political Competition and Social Transformation: The Development of Residence, Residential Ward, and Community in Prehistoric Taegongni of Southwestern Korea". PhD dissertation, University of Michigan.
  2. Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
  3. Kim 1996 Lee, June-Jeong. 2001 From Shellfish Gathering to Agriculture in Prehistoric Korea: The Chulmun to Mumun Transition. PhD dissertation, University of Wisconsin-Madison, Madision. Proquest, Ann Arbor.
  4. Yi Seon-bok and G A Clark. 1983 Observations on the Lower and Middle Paleolithic of Northeast Asia. Current Anthropology 24(2): 181–202.
  5. Bae, Kidong. 2002 Radiocarbon Dates from Palaeolithic Sites in Korea. Radiocarbon 44(2): 473–476.
  6. Stark, Miriam T (2005). Archaeology Of Asia. Blackwell Publishing. පි. 137. ISBN 1-4051-0212-8. https://books.google.com/books?id=CUBL0Y8L2JMC. 
  7. Mary E. Connor, "The Korea, A global studies handbook", 2002, pp. 9
  8. Barnes (1993): Early Bronze c. 5th to 4th c. BCE, Early Iron (Late Bronze) c. 3rd to 1st c. BCE. Choe & Bale (2002): Mumun (Bronze): mid 2nd millennium BCE to 4th c. BCE, Early Iron: 3rd c. BCE to 1st c. BCE.
  9. Connor, Mary E. (2002). The Koreas: A Global Studies Handbook. ABC-CLIO. ISBN 978-1-57607-277-6. https://books.google.com/books?id=jjOva6fF96AC. 

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Ahn, Jae-ho. (2000) Hanguk Nonggyeongsahoe-ui Seongnip [The Formation of Agricultural Society in Korea]. Hanguk Kogo-Hakbo [Journal of the Korean Archaeological Society] 43: 41–66. ISSN 1015-373X
  • Bae, Kidong 2002. "Radiocarbon Dates from Palaeolithic Sites in Korea", Radiocarbon 44(2):473-476.
  • Bale, Martin T. (2001) Archaeology of Early Agriculture in Korea: An Update on Recent Developments. Bulletin of the Indo-Pacific Prehistory Association 21(5): 77–84. ISSN 0156-1316
  • Bale, Martin T and Min-jung Ko (2006) Craft Production and Social Change in Mumun Period Korea. Asian Perspectives 45(2): 159–187.
  • Barnes, Gina L 1993. China, Korea, and Japan: The Rise of Civilization in East Asia. Thames and Hudson, London.
  • Choe, C P and Martin T Bale (2002) Current Perspectives on Settlement, Subsistence, and Cultivation in Prehistoric Korea. Arctic Anthropology 39(1–2): 95–121. ISSN 0066-6939
  • Crawford, Gary W and Gyoung–Ah Lee (2003) Agricultural Origins in the Korean Peninsula. Antiquity 77(295): 87–95.
  • Im, Hyo-jae (2000) Hanguk Sinseokgi Munhwa [Neolithic Culture in Korea]. Jibmundang, Seoul. ISBN 89-303-0257-2
  • Kim, Jangsuk (2003) Land-use Conflict and the Rate of Transition to Agricultural Economy: A Comparative Study of Southern Scandinavia and Central-western Korea. Journal of Archaeological Method and Theory 10(3): 277–321.
  • Kuzmin, Yaroslav V (2006) Chronology of the Earliest Pottery in East Asia: Progress and Pitfalls. Antiquity 80: 362–371.
  • Lee, Sung-joo 1998. Silla-Gaya Sahoe-eui Giwon-gwa Seongjang (The Rise and Growth of Society in Silla and Gaya). Hakyeon Munhwasa, Seoul.
  • Nelson, Sarah M (1993) The Archaeology of Korea. Cambridge University Press, Cambridge. ISBN 0-521-40783-4
  • Nelson, Sarah M (1999) Megalithic Monuments and the Introduction of Rice into Korea. In The Prehistory of Food: Appetites for Change, edited by C. Gosden and J. Hather, pp. 147–165. Routledge, London.
  • Rhee, S N and M L Choi (1992) Emergence of Complex Society in Prehistoric Korea. Journal of World Prehistory 6: 51–95.

සැකිල්ල:Prehistoric Asia