අමර්ණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අමර්ණ
العمارنة
Small aten temple.jpg
අක්ටාටන්හි ඇති කුඩා ආටන් දෙව්මැදුරක්
අමර්ණ is located in Egypt
අමර්ණ
Egypt තුළ පිහිටීම
විකල්ප නම එල්-අමර්ණා, ටෙල් එල්-අමර්ණා
පිහිටීම මින්යා පළාත, ඊජිප්තුව
කලාපය ඉහළ ඊජිප්තුව
මාදිලිය ජනාවාසය
ඉතිහාසය
ගොඩනැගූ තැනැත්තා අක්නාටන්
ස්ථාපිත දිනය ක්‍රි.පූ. 1346දී පමණ
යුග ඊජිප්තුවේ දහඅටවන රාජවංශය, රෝම අධිරාජ්‍යය

අමර්ණ (අරාබි: al-‘amārnahالعمارنة ) යනු ඊජිප්තු පුරාවිද්‍යා භූමියක් වන අතර, එය පසුකාලීන දහඅටවන රාජවංශයේ රාජ්‍ය කළ අක්නාටන් පාරාවෝවරයා විසින් අලුතෙන්ම ස්ථාපනය කළ නව අගනගරයේ නටබුන් සහිත ය. මෙම අගනගරය ඔහුගේ මරණින් පසු (ක්‍රි.පූ. 1332) අත්හැර දමා ඇත.[1] මෙම නගරය සඳහා පුරාතන ඊජිප්තුවාසීන් භාවිත කර ඇත්තේ අක්ටාටන් (හෝ අක්ටේටන්—විවිධාකාරයෙන් පරිවර්තනය කෙරේ) යන නාමයයි. අක්ටාටන් යන්නෙහි අරුත "ආටෙන්ගේ ක්ෂිතිජය" යන්නයි.[2]

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ වර්තමාන ඊජිප්තුවේ මින්යා පළාතේ, අල්-මින්යා නගරයේ සිට කිලෝමීටර 58ක් (සැතපුම් 36) දකුණට වන්නට සහ ඊජිප්තුවේ කයිරෝ අගනුවර සිට කිලෝමීටර 312ක් (සැතපුම් 194) දකුණට වන්නට ය. එසේම එය ලුක්සෝර් සිට කිලෝමීටර 402ක් (සැතපුම් 250) උතුරට වන්නට පිහිටා ඇත.[3] ඩේර් මවාස් නගරය, අමර්ණ සිට කෙළින්ම බටහිරින් පිහිටා ඇත. අමර්ණ නගරයට නැගෙනහිර දෙසින් නූතන ගම්මාන කිහිපයක්ම වන අතර, ඒ අතර උතුරින් වූ එල්-ටිල් සහ දකුණින් වූ එල්-හැග් ක්වැන්ඩිල් ගම්මාන ද වේ.

මෙම භූමිය පසුකාලීන රෝම සහ මුල්කාලීන ක්‍රිස්තියානු සමයන්හි යටත් කොට ගෙන ඇත. නගරයේ දකුණින් වූ කැනීම්වලින් මෙම යුගයට අයත් ඉදිකිරීම් හමුවී ඇත.[4]

නම[සංස්කරණය]

අමර්ණ යන නාමය පැවත එන්නේ මෙම ‍පෙදෙසේ වාසය කොට ජනාවාස කිහිපයක් පිහිටුවූ බෙනි අම්රන් ගෝත්‍රයෙනි. මෙහි පුරාතන ඊජිප්තු නාමය අක්ටාටන් ය.

(මෙම භූමිය සිරියාවේ හලාෆ් යුගයට අයත් ටෙල් අමර්ණ පුරාවිද්‍යා භූමිය නොවන බව සිහි තබා ගත යුතු ය.[5])

1820 දශකයේ දී ඉංග්‍රීසි ජාතික ඊජිප්තුවේදියකු වූ සර් ජෝන් ගාඩ්නර් විල්කින්සන් අමර්ණා වෙත දෙවරක් සංචාරය කොට එය 'ඇලබැස්ට්‍රන්',[6] ලෙස හඳුනාගත්තේ රෝම-යුගයේ කතුවරුන් වූ ප්ලීනි (ශිලා මත) සහ ටොලමි (භූගෝල ශාස්ත්‍රය)[7][8] වැන්නවුන්ගේ වාර්තා අනුව ය. නමුත් මේ පිළිබඳ ඔහුට ස්ථිර නොවූ නිසා ඔහු එයට විකල්ප ස්ථානයක් ලෙස කොම් එල්-අහ්මාර් භූමිය ද නම්කළේ ය.[9]

අක්ටාටන් නගරය[සංස්කරණය]

නගරය පිහිටි ප්‍රදේශය නොඉඳුල් පෙදෙසක් විය. එය ආටෙන්ට අයත් යැයි පැවසෙන ආක්ටාටන් නගරය වේ.

"ඔහු තමන් වෙනුවෙන් නිම වූ,  පළමු සමයේ අසුනේ ගිමන් හරීවි."

ක්ෂිතිජයයන්නෙහි රූපාක්ෂරය සඳහා රාජකීය වැඩිය (Royal Wadi) පෙන්වූ සමානත්වය මෙම නගරය පිහිටුවීමට ස්ථානය නිර්ණයට උපකාර වන්නට ඇතැයි පැවසේ.

මෙම නගරය අක්නාටන් පාරාවෝවරයාගේ නව අගනුවර ලෙස ඉදිකෙරිණි. මෙය ආටන් දෙවිඳුන්ට කැපකළ නගරයකි. මෙහි ඉදිකිරීම් අක්නාටන්ගේ 5වන රාජ්‍ය සමය අවට (ක්‍රි.පූ. 1346) ආරම්භ වී 9වන වර්ෂයේ දී (ක්‍රි.පූ. 1341) පමණ අවසන් වන්නට ඇතැයි සැලකේ. මෙය ඉදිකර අවසන් වන්නට වසර දෙකකට පෙර එය අගනුවර බවට පත් විය. නගරයේ ‍බොහෝ ගොඩනැගිලි ඉක්මණින් ඉදිකිරීම සඳහා බොහෝ ගොඩනැගිලි මඩින් තැනූ ගඩොල්වලින් ඉදි කොට ඇත. නමුත් වඩාත් වැදගත්‍ ගොඩනැගිලි එම ප්‍රදේශයේ වූ ගල්වලින් නිර්මාණය කරන ලදී.[10]

අභ්‍යන්තර සැලැස්ම පිළිබඳ තොරතුරු රාශියක් ලබා ගත හැකි එකම පුරාතන ඊජිප්තු නගරය මෙයයි. එයට හේතුව අක්නාටන්ගේ මරණින් පසු, අක්නාටන්ගේ පුත් ටුටන්ඛාමුන් නැවත අගනගරය සිය උපන් ප්‍රදේශය වන තීබ්ස් (නූතන ලුක්සෝර්) වෙත ගෙනයාම නිසා නගරය අත්හැර දැමීමයි. මෙම නගරය දශකයක් හෝ ඔහුගේ මරණින් පසුවත් ක්‍රියාකාරීව පැවති බව පෙනෙන්නට ඇත. හොරෙම්හෙබ්ගේ දේවස්ථානය අනුව, එය හොරෙම්හෙබ්ගේ සමයේ[11] ඉදිකිරීම් අමුද්‍රව්‍ය මධ්‍යස්ථානයක්ව පැවති බව පෙනී යයි. වරක් එය ජරවාස වූ පසු, රෝම යුගයේ[4] නයිල් ගංගාවේ ඉවුරේ ජනාවාස වන තෙක්ම එහි ජනාවාස නොපැවතිණි. කෙසේනමුත්, එහි අනන්‍ය ලාක්ෂණික සහ අත්හැර දැමීම සැලකිල්ලට ගත් විට, එය කෙතෙක්දුරට පුරාතන ඊජිප්තු නගරයක ගුණාංග පෙන්නුම් කරයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ සැතපුම් 8ක (කිලෝමීටර 13ක) භූමි ප්‍රදේශයක් පුරා දිවෙන අක්ටාටන් නගරය කඩිනමින් ඉදිවූවකි. බටහිර ඉවුරේ, නගරයේ ජනගහනයට අවශ්‍ය බෝග වගා කිරීමට ඉඩම් වෙන්කොට තිබිණි.[2] මෙම සම්පූර්ණ නගරය වටා ඊජිප්තුවේ නව අගනුවර ස්ථාපනයට අක්නාටන් සිදු කළ නියමයන් ඇතුළත් කරමින් සීමා ශිලා ස්තම්භ 14ක් ඇත.[2]

මේ අතරින් අක්නාටන්ගේ නව නගරයේ පැරණිතම ශිලා ස්තම්භය ලෙස සැලකෙන්නේ සීමා ශිලාව K යන්නයි. මෙය අක්නාටන්ගේ වර්ෂය 5, IV පෙරෙට් (හෝ මාසය 8), දිනය 13 ලෙස දිනනිර්ණය කොට ඇත.[12] (මුල් සීමා ශිලා ස්තම්භ 14 අතරින් බොහෝමයක් අදවන විට දැඩි ලෙස ඛාදනය වී ඇත) මෙහි අක්නාටන් විසින් එම නගරය පිහිටුවීම පිළිබඳ වාර්තාවක් ඇතුළත් ය. මෙම වාර්තාවේ, නගරයේ ආටන් දේවස්ථාන කිහිපයක් ඉදිකිරීමට පාරාවෝවරයාට වූ අපේක්ෂාව මෙන්ම අක්ටාටන්හි නැගෙනහිර කඳුවල තමන්, තම ප්‍රධාන බිසව නෙෆර්ටිටි සහ වැඩිමහල් දියණිය මෙරිටාටන් වෙනුවෙන් සොහොන්ගැබ් ඉදිකිරීම සහ තමන් මියගිය පසු සිය දේහය භූමදානය පිණිස අක්ටාටන් වෙත ගෙන ආ යුතු බවට වූ ආඥාව ද සඳහන් වේ.[13] සීමා ශිලාස්තම්භය Kහි, අක්ටාටන්හි සමරන ලද උත්සව පිළිබඳ වාර්තාවක් මෙසේ සඳහන් ය:

රාජෝත්තමයාණන් වහන්සේ රනින් රිදියෙන් කළ මහා රථය මතට නැංගේ ක්ෂිතිජයෙන් උදා වී භූමිය සිය ආදරයෙන් පුරවන ආටන් දෙවිඳුන් මෙනි. ඔහු සිය සම්භවය සිදු වූ, [ආටන්] විසින් ඔහු වෙනුවෙන් ඉදිකොට තිබූ ප්‍රීතිමත්ව වාසය කළ හැකි ස්ථානය අක්ටාටන් වෙත වූ මාවත වෙත ගමන්ගත්තේ ය. එනම් සිය පියා අණකළ විට ඔහු වෙනුවෙන් ඔහුගේ ස්මාරකය ලෙස එය පිහිටුවූ ඔහුගේ පුත් වේන්රේ [අක්නාටන්] ය. ‍ඔවුන් ඔහු දෙස බලන විට ස්වර්ගය ප්‍රීතිදායක වූ අතර, භූමිය මෙන්ම සියලු හදවත් පවා ප්‍රීතියෙන් පිරීගියේ ය.[14]

මෙම පාඨය මගින් අනතුරුව අක්නාටන් ආටන් දෙවියන් විසින් සිදුකළ මහා පූජාවක් පිළිබඳ සඳහන් වේ.

එල්-අමර්ණාහි සීමා ශිලා ස්තම්භය Uට වම්පසින් ඇති ප්‍රතිමා

භූමිය සහ සැලැස්ම[සංස්කරණය]

නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරේ පිහිටි මෙම නගරයේ නටබුන්, දළ වශයෙන් අද "සිඛෙට් එස්-සුල්තාන්" යනුවේන හැඳින්වෙන් "රාජකීය මාවත" දිගේ උතුරේ සිට දකුණු දෙසට විහිදෙන බව දැකිය හැක.[15][16] මෙහි රාජකීය නවාතැන් පිහිටා තිබුණේ උතුරට වන්නට උතුරු නගරය නම් පෙදෙසේ ය. එහිම මධ්‍යම පරිපාලන පෙදෙස සහ ආගමික කලාපයක් ද පිහිටා තිබිණි. නගරයේ දකුණු පෙදෙසේ නාගරික ජනාවාස පිහිටා තිබිණි...

උතුරු නගරය[සංස්කරණය]

නිල් ෆෙයාන්ස්වලින් නිම කළ අක්නාටන්ගේ මුද්‍රාව සහිත මුදුව. වෝල්ටර්ස් කලා කෞතුකාගාරය.

යම් තැනැත්තකු ගඟ දිගේ උතුරු දෙසින් අමර්ණ වෙත ළඟා වන විට, උතුරු සීමා ශිලා ස්තම්භය පසු කොට හමුවන පළමු ගොඩනැගිල්ල උතුරු ගංතෙර මාලිගය වේ. මෙම ගොඩනැගිල්ල ජල තීරය දක්වා දිවෙන අතර, මෙය රාජකීය පවුලේ ප්‍රධාන නවාතැන වන්නට ඇත.[17] උතුරු නගරය තුළ පිහිටි උතුරු මාලිගය රාජකීය පවුලේ ප්‍රධාන නවාතැනයි. මෙය සහ මධ්‍යම නගරය අතර පිහිටි උතුරු උපනගරය සමෘද්ධිමත් පෙදෙසක් වූ බවට සාධක ඇති අතර, එහි විශාල නිවෙස් ඇත. නමුත් එම මාර්ගයේ ඇතුළට යන විට නිවෙස්වල ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් යන බව දැකගත හැක.[16]

මධ්‍ය නගරය[සංස්කරණය]

වඩාත් වැදගත් උත්සව සහ පරිපාලන ගොඩනැගිලි පිහිටියේ මධ්‍ය නගරය තුළ ය. මෙහි පිහිටි ආටන්ගේ මහා දේවස්ථානය සහ කුඩා ආටන් දේවස්ථානය ආගමික කටයුතු සඳහා භාවිතා වී ඇත. මෙම මහා රාජකීය මාලිගය සහ රාජකීය නවාතැන අතර, රජු සහ රාජකීය පවුලේ උත්සව නවාතැන පිහිටියේ ය. ඒ අතර පාලමක් හෝ බෑවුමක් පිහිටා තිබිණි.[18] රාජකීය නවාතැනට පිටුපසින් පාරාවෝගේ ලිපි හුවමාරු අංශය පිහිටා තිබිණි. අමර්ණ ලිපි හමුවූයේ මෙහ දී ය.[19]

මෙම ප්‍රදේශය මුලින්ම නිමකොට අවසන් වූ ප්‍රදේශය යැයි සැලකෙයි. එහි වම වශයෙන් අවධි දෙකකටවත් අයත් ගොඩනැගිලි දක්නට ලැබෙයි.[15]

දකුණු උපනගරය[සංස්කරණය]

නගරයට දකුණින් වූ පෙදෙස වර්තමානයේ දකුණු උපනගරය පිහිටා ඇත. මෙහි නගරයේ බලවත් වංශවතුන්ගේ ඉඩම් පිහිටියේ ය. මේ ඉඩම් හිමි තැනැත්තන් අතර, නැඛ්ට්පාටෙන් (ප්‍රධාන අමාත්‍ය), රැනෙෆර්, පැනෙහෙසි (ආටන්ගේ ප්‍රධාන පූජක) සහ රාමෝස් (අශ්ව පාලකයා) ද වේ. 1912දී ප්‍රකට නෙෆර්ටිටි ප්‍රතිමාව හමු වූ තුත්මෝස්ගේ කලාගාරය පිහිටියේ ද මෙහි ය.[20]

නගරයට තවත් දකුණට වන්නට, කොම් එල්-නානා නැමැති කුටිය වේ. මෙය හිරු-මුවාව ලෙස භාවිත වූ අතර, සූර්ය දේවස්ථානයක් ලෙස ඉදි විය.[21] එසේම එයට නුදුරින් පිහිටි මාරු-ආටන් නැමැති ස්ථානය ද හිරු දෙවොලක් විය හැකි අතර, එය අක්නාටන්ගේ බිසවක් වූ කියා වෙනුවෙන් ඉදිවූවකි. නමුත් ඇගේ මරණය හේතුවෙන්, ඇගේ නම් සහ රූ ඔහුගේ දියණිය වූ මෙරිටාටෙන්ගේ බවට වෙනස් කොට ඇත.[22]

නගරය අවට පෙදෙස[සංස්කරණය]

නගරයේ පැතිරීම සලකුණු කරමින් එය වටා පිහිටි සීමා ශිලාවන් (මේවා නයිල් ගංගාවේ පැතිවල පිහිටි කඳුගැටවල කැටයම් කරන ලද ඍජුකෝණාස්‍රාකාර කැටයම් වේ) නගරය පිළිබඳ තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයන් වේ.[23]

ආක්නාටන්ගේ රාජකීය සුසාන භූමියට බැහැරට වන්නට නගරයේ නැගෙනහිර දෙසට දිවෙන පටු නිම්නයක් ඇත. මෙය ගල් කුළු අතර සැඟ වී ඇත. මින් සම්පූර්ණ වී ඇත්තේ එක් සොහොන්ගැබක් පමණි. එය නම නොදන්නා රාජකීය බිරිඳකගේ ප්‍රයෝජනයට ගෙන ඇත. අක්නාටන් සිය සොහොන්ගැබ ඉක්මණින් ඉදිකොට ඇත්තේ ඔහුගේ මෙන්ම බොහෝ විට ඔහුගේ දෙවන දියණිය වූ මෙකෙටාටෙන්ගේ දේහය ද තැන්පත් කිරීම සඳහා බව පෙනී යයි.[24]

රාජකීය වැඩියේ උතුරු සහ දකුණු ගල්කුළු අතර, නගරයේ වංශවතුන් විසින් සිය සොහොන්ගැබ් ඉදිකොට ගෙන ඇත.

මෙයත් බලන්න කම්කරුවන්ගේ ගම්මානය, අමර්ණ

පුරාතන අමර්ණ/අක්ටාටන්හි ජීවිතය[සංස්කරණය]

ටුටන්ඛාමුන්ගේ අමර්ණ උඩුකය රුවක්; ඇ‍ල්ටෙස් කෞතුකාගාරය, බර්ලින්.

අමර්ණහි ආරම්භය පිළිබඳ සෑහෙන තොරතුරු ප්‍රමාණයක් ලැබන්නේ නගරයේ පරිමිතිය වටා සිටුවා ඇති නිල සීමා ශිලා ස්තම්භ (13ක් හඳුනාගෙන ඇත) නිසායි. මේවා නයිල්හි දෙපසම ගල්කුළු තුළට හාරා කැටයම් කොට ඇත. (නැගෙනහිර පෙදෙසේ 10ක් හා බටහිර පෙදෙසේ 3කි) එමගින් ආරම්භයේ සිට අක්ටාටන්හි (අමර්ණ) බිඳ වැටීමට ආසන්න සමය දක්වා වූ සිදුවීම් පිළිබඳ තොරතුරු හඳුනාගත හැක.[25]

තීබ්ස් සිට අමර්ණ වෙත අගනුවර ගෙනයාම සඳහා අක්නාටන්හට හමුදාවේ සහාය අවශ්‍ය විය. අක්නාටන්ගේ ප්‍රධාන උපදේශකයකු වූ ආයි, මෙම ප්‍රදේශයේ වැදගත් බලයක් ඉසිලූයේ ආයිගේ පියා වූ යුයා වැදගත් යුද නිලධාරියකු වූ නිසායි. මීට අමතරව, යුධ සේවයේ සියලු දෙනා බලයෙන් වර්ධනය වී තිබූ අතර, අක්නාටන්ගේ පියා යටතේ ඊජිප්තු ඉතිහාසයේ වඩාත් ධනවත්ම සහ සාර්ථකම යුගයේ කොටස්කරුවන් වී තිබිණි. එම නිසා මෙම නිලයන් අතර පක්ෂපාතීත්වය ශක්තිමත් විය. ඇතැම්විට, "මුලින් තීබ්ස්හි සහ පසුව අමර්ණහි දේවස්ථාන කැටයම් තුළ රජු විසින් සෑම අවස්ථාවක දීම යුධ නිලධාරීන්ගේ නිලයන් සඳහන් කිරීමට තරම් වැදගත් හමුදාවක්" රහි පවතින්නට ඇත.[26]

ආගමික දිවිය[සංස්කරණය]

සාමාන්‍යයෙන් අක්නාටන්ගේ ආගමික ප්‍රතිසංස්කරණ ඒකදේවවාදය‍ දෙසට නැඹුරු බව පැවසුණත්, මෙය ඊට වඩා සංකීර්ණ විය හැක. මෙකල වෙනත් දෙවිවරුන් ද ඇදහුණු බවට පුරාවිද්‍යාත්මකව සාක්ෂි ඇත. ආටන් පූජා මධ්‍යස්ථානවලදී නිල වශයෙන් හෝ එහි සේවය කළ මිනිසුන් විසින් එම ඇදහීම් සිදු කරන්නට ඇත.

..අක්ටාටන්හි, කෙම්ප් (2008: 41-46) විසින් මෑතක දී කළ කැනීමක් ‍අනුව, වෙනත් දෙවිවරුන් හෝ දෙවඟනන් නිරූපිත පෞද්ගලික ඇදහීම්වල සම්ප්‍රදායික සංකේත පැවති බවට සාධක හමු වී ඇත. දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂාව සලසන බෙස්ගේ විකෘතිරූපී කුඩා ප්‍රතිමා මෙන්ම ළමා උපත් හා සම්බන්ධ අර්ධ කිඹුල්, අර්ධ හිපපොටේමස් රාක්ෂ දෙවඟනක වූ, ටැවරෙට්ගේ රූ හමු වී ඇත. අක්ටාටන්හි රාජකීය කම්කරු ගම්මානය තුළ, අයිසිස් සහ ෂෙඩ්ට පිදූ ශිලා ස්තම්භයක් හමු වී ඇත (වැටර්සන් 1984: 158 සහ 208).[27]

අමර්ණ කලා-සම්ප්‍රදාය[සංස්කරණය]

පන්හිඳ සහ පැපිරස් ලේඛන අතැති දරුවන්. අමර්ණහි කැටයමකි

අමර්ණ කලා-සම්ප්‍රදාය දිගු කාලීන ඊජිප්තු සම්මුතීන් බිඳහෙලී ය. පෙර ඊජිප්තු කලාවේ පැවති, දැඩි පරමාදර්ශී ආකෘතිවාදය මෙන් නොව මෙහි නිරූපිත තේමා වඩාත් තාත්වික ය. මෙම නිර්මාණ අතර අස්වාභාවික දර්ශන ද වේ. රාජකීය පවුලේ සාමාජිකයන් සෙනෙහසින් පසුවන අයුරු සහ දරුවන් සමග ක්‍රීඩා කරන අයුරු වැනි අසාමාන්‍ය දර්ශන මේ අතර දැකගත හැක. එසේම කාන්තාවන් පිරිමින්ට වඩා පැහැපත්ව දැක්වීම මෙකල තවදුරටත් සිදුනොවිණි. මෙම කලාව තුළ තාත්විකවාදී ලක්ෂණ ඇතත්, ඇතැම් අවස්ථාවල විකට ආකාර ලක්ෂණ ද දැකගත හැක.

පසුකලෙක ආටන් වන්දනය අමර්ණ මිත්‍යාදෘෂ්ටිය ලෙස සලකා යටපත් කෙරුණත්, මෙම කලාව බොහෝ කලක් පැවතියේ ය.

යළි සොයාගැනීම සහ කැනීම්[සංස්කරණය]

මෙම නගරය පිළිබඳ පළමු බටහිර සඳහන ලැබෙන්නේ, 1714දී නයිල් නිම්නයේ සංචාරය කළ ප්‍රංශ ජේසුයිට් පූජකයකු වූ ක්ලෝඩ් සිකාර්ඩ් ගෙනි. ඔහු අමර්ණවල සීමා ශිලාවක් පිළිබඳ විස්තර කරයි. 1798–1799 අතර කාලයේ නැපෝලියන්ගේ ප්‍රාඥ බලකාය විසින් අමර්ණහි පළමු සවිස්තර සිතියමක් නිර්මාණය කළ අතර, 1821 සහ 1830 අතර කාලයේ එය Description de l'Égypte තුළ ප්‍රකාශයට පත්කෙරිණි.[28]

මෙයින් පසුව, යුරෝපීය ගවේෂණ ඇරඹුණු අතර, 1824දී සර් ජෝන් ගාර්ඩිනර් විල්කින්සන් විසින් මෙම භූමිය ගවේෂණය කර නගරයේ නටබුන් සිතියම්ගත කරන ලදී. ලේඛක රොබට් හේ සහ මිනින්දෝරු ජී. ලේවර් විසින් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කර වැලි අතුරින් දකුණු දිග සොහොන්ගැබ් අනාවරණය කරගත් අතර, එහි කැටයම් පිළිබඳ 1833දී වාර්තා කොට ඇත. හේ සහ ලේවර්ගේ පිටපත් ප්‍රකාශයට පත් නොවී බ්‍රිතාන්‍ය පුස්තකාලයේ රැස්ව තිබූ අතර, ඔවුන්ගේ පිහිටුම් හඳුනාගැනීමට ව්‍යාපෘතියක් දියත් විය.[29]

1843 සහ 1845දී රිචඩ් ලෙප්සියස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රෂියානු ගවේෂකයින් විසින් මෙම භූමිය නිරීක්ෂණය කර, දැකගත හැකි වූ ස්මාරක සහ භූ ලක්ෂණ පිළිබඳ දින දොළහකට අධික කාලයක් වෙනවෙනම සිදු කළ ගවේෂණ දෙකක දී වාර්තා කොට ඇත. මෙහි ප්‍රතිඵල අවසානයේ දී, Denkmäler aus Ägypten und Äthiopien තුළ 1849 සහ 1913 අතර කාලයේ ප්‍රකාශයට පත්කෙරුණු අතර, ඒ අතර නගරයේ වැඩිදියුණු කළ සිතියමක් ද විය.[28] මෙහි නිරවද්‍යභාවය තරමක් සීමා සහිත වුවත්, Denkmäler ඵලක බොහෝ ශාස්ත්‍රීය දැනුම සඳහා පදනම දැමූ අතර, එය පෞද්ගලික සොහොන්ගැබ්වල සහ සියවසේ ඉතිරි භාගයේ ඉදි වූ සීමා ශිලා ස්තම්භවල දර්ශන සහ ශිලාලේඛන අර්ථකථනයට අඩිතාලම දැමී ය. මෙම ගවේෂක කණ්ඩායම විසින් සිදු කරන ලද වාර්තා, අතිශය වැදගත්කමක් උසුලන්නේ මෙහි බොහෝ නටබුන් පසුකලෙක විනාශ කොට හෝ නැති වී ඇති නිසායි.

1887දී සෙබාඛ් සොයමින් පොළව කනින ලද ස්වදේශික කාන්තාවක් විසින් 300කට අධික කීලාක්ෂර ඵලක සංඛ්‍යාවක් (දැන් පොදුවේ අමර්ණ ලිපි ලෙස හඳුන්වයි) සොයාගන්නා ලදී.[30] මෙම ඵලක අතර පාරාවෝවරයාගේ තෝරාගත් ලිපි හුවමාරු ගණනාවක් අන්තර්ගත වන අතර, ඒවා ප්‍රධානව අක්කාඩියන් බසින් ලියා ඇත. මෙකල පසුකාලීන ලෝකඩ යුගයේ දී පුරාතන මෑත පෙරදිග ප්‍රමුඛ භාෂාව වූයේ මෙම භාෂාවයි. මෙම අනාවරණයත් සමග මෙම භූමියේ වැදගත්කම හඳුනාගැනුණු අතර, වැඩිදුර ගවේෂණ කටයුතු ද ආරම්භ විය.[31]

1891 සහ 1892 අතර කාලයේ ඇලෙසැන්ඩ්‍රෝ බාර්සන්ටි විසින් රජුගේ සොහොන්ගැබ 'අනාවරණය' කොටගෙන මග හෙළි කරගන්නා ලදී. (1880 සිටම ප්‍රදේශයේ ජනයා මේ පිළිබඳ දැන සිට ඇත)[32] එම කාලයේ දී ම, ඊජිප්තු ගවේෂණ අරමුද‍ලෙන් ස්වායත්තව සර් ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් අමර්ණහි කාර්තුවක් සේවය කර ඇත. ඔහු විසින් ප්‍රධානව මධ්‍ය නගරයේ කැනීම් සිදු කළ අතර, ආටන්ගේ මහා දේවස්ථානය, මහා නිල මාලිගය, රජුගේ නිවස, පාරාවෝගේ ලිපි හුවමාරු අංශය සහ පෞද්ගලික නිවහන් ගණනාවක් අනාවරණය කරගන්නා ලදී. පෙට්‍රීගේ කැනීම්වලින් තවත් කීලාක්ෂර ඵලක, වීදුරු කර්මාන්තශාලා කිහිපයක නටබුන්, සහ මාලිගයේ කසල ගොඩකින් අත්හැර දැමූ ෆෙයාන්ස් විශාල ප්‍රමාණයක්, වීදුරු සහ සෙරමික් හමු විය. (මයිසීනියානු කැබලිති ද ඇතුළුව)[31] ඔහුගේ ප්‍රතිඵල සහ ප්‍රතිසංස්කරණයන් ශීඝ්‍රයෙන් ප්‍රකාශයට පත් වන විට, පෙට්‍රී හට අන්‍යන්ගේ අවධානය මේ වෙත යොමු කරලීමට හැකි විය.

1903 සිට 1908 අතර කාලයේ පිටපත් ශිල්පියකු සහ චිත්‍රශිල්පියකු වූ නෝර්මන් ඩි ගැරිස් ඩේවීස් විසින් අමර්ණහි පෞද්ගලික සොහොන්ගැබ් සහ සීමා ශිලාස්තම්භවල ඡායාරූප සහ සිතුවම් ප්‍රකාශයට පත්කළේ ය. ඊජිප්තු ගවේෂණ සංගමය (EES) මගින් මෙම පොත්පෙළ 2006දී යළි මුද්‍රණය කෙරිණි.

20වන සියවසේ මුල් වර්ෂවල (1907 සිට 1914) ලුඩ්විග් බොර්චාඩ්ට්ගේ මූලිකත්වයෙන් යුතුව Deutsche Orientgesellschaft ගවේෂණයේ දී නගරයේ උතුරු සහ දකුණු උපනාගරික පෙදෙස්වල සූක්ෂ්මව කැනීම් සිදුකෙරිණි. වර්තමානයේ බර්ලින්හි ඒජිප්ටිස්කස් කෞතුකාගාරයේ තබා ඇති සුප්‍රකට නෙෆර්ටිටි උඩුකය මූර්තිය ඇතුළු ප්‍රතිමා රැසක් හමු වූයේ ප්‍රතිමා ශිල්පී තුත්මෝස්ගේ කලාගාරයෙනි. 1914 අගෝස්තු මස පළමු ලෝක යුද්ධය ව්‍යාප්ත වීමත් සමග, ජර්මානු කැනීම් ඇනහිටියේ ය.

1921 සිට 1936 දක්වා ටී.ඊ. පීට්, සර් ලෙනාඩ් වූලි, හේරි ෆ්‍රෑන්ක්ෆෝර්ට්, ස්ටීවන් ග්ලැන්විල්[33] සහ ජෝන් පෙන්ඩ්ල්බරි යන අයගේ මෙහෙයවීමෙන් යුතුව ඊජිප්තු ගවේෂණ සංගමයක් විසින් අමර්ණහි කැනීම් නැවත ආරම්භ කළේ ය. මෙම නව ගවේෂණ ආගමික සහ රාජකීය ඉදිකිරීම් පිළිබඳ පැවැත්විණි.

1960 දශකයේ ඊජිප්තු පුරාවස්තු සංවිධානය (දැන් ඊජිප්තු පුරාවස්තු ශ්‍රේෂ්ඨ කවුන්සිලය) විසින් අමර්ණහි කැනීම් ගණනාවක් සිදු කරන ලදී.

ඊජිප්තු ගවේෂණ සංගමයේ අනුග්‍රහය මත බැරී කේම්ප්ගේ (මිසරවේදී පාඨකාචාර්ය, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය, එංගලන්තය) මෙහෙයවීමම යටතේ නගරයේ ගවේෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.[11][34] 1980දී ජෙෆ්රි මාටින් විසින් සිදුකරන ලද වෙනම ගවේෂණයක දී, රාජකීය සොහොන්ගැබේ වූ කැටයම් පිටපත් කොට සොහොන්ගැබේ තිබුණේ යැයි සිතිය හැකි වස්තූන් සමග තොරතුරු දක්වමින් ප්‍රකාශයට පත්කෙරිණි. EES ආයතනය මගින් මෙය වෙළුම් දෙකකින් යුක්තව ප්‍රකාශයට පත්කරන ලදී.

2007දී, EES ගවේෂණයක දී, වංශවතුන්ගේ දකුණු සොහොන්ගැබ්වලට ආසන්නයෙන් වූ පෞද්ගලික කේවල සුසානභූමියක් සොයාගැනිණි.[35]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. "ද ඔෆිෂියල් වෙබ්සයිට් ඔෆ් අමර්ණ ප්‍රොජෙක්ට්". Archived from the original on 8 ඔක්තෝබර් 2008. සම්ප්‍රවේශය 2008-10-01.  zero width joiner character in |title= at position 34 (help); Check date values in: |archive-date= (help)
  2. 2.0 2.1 2.2 ඩේවිඩ් (1998), පි. 125
  3. "ගූගල් මැප්ස් සැටලයිට් ඉමේජ්". ගූගල්. සම්ප්‍රවේශය 2008-10-01. 
  4. 4.0 4.1 "මිඩ් ඊජිප්ට් සර්වී ‍ප්‍රොජෙක්ට් 2006". අමර්ණ ‍ප්‍රොජෙක්ට්. 2006. Archived from the original on 22 ජූනි 2007. සම්ප්‍රවේශය 2007-06-06.  zero width joiner character in |title= at position 20 (help); zero width joiner character in |publisher= at position 7 (help); Check date values in: |archive-date= (help)
  5. http://www.academia.edu/1032531/Tell_Amarna_in_the_General_Framework_of_the_Halaf_Period
  6. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් වෙබ්අඩවිය, ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්: අමර්ණ, සම්ප්‍රවේෂණය 26 ජූලි 2016
  7. සර් ජෝන් ගාඩ්නර් විල්කින්සන් (1828). මැටේරියා හයිරොග්ලිෆිකා. මෝල්ටා: පෞද්ගලික මුද්‍රණය. පි. 22. https://books.google.com/books?id=nWgGAAAAQAAJ&pg=RA1-PA22&lpg=RA1-PA22&dq=Amarna+%22alabastron%22&source=bl&ots=hKes9f72Hn&sig=brxS2b3VzBGYagHv_xVRkShhKdI&hl=en&sa=X&ved=0ahUKEwinn-iOgpHOAhXMvBoKHe4BACsQ6AEIOTAJ#v=onepage&q=Amarna%20%22alabastron%22&f=false. Retrieved 26 ජූලි 2016. 
  8. ඇල්ෆ්‍රඩ් ලූකස්, ජෝන් රිචඩ් හැරිස් (2011). ඒන්ෂන්ට් ඊජිප්ටියන් මැටීරියල්ස් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රීස් (4වන සංස්කරණයේ යළි මුද්‍රණය (1962), පළමු මුද්‍රණයෙන් (1926) ප්‍රතිශෝධිත සංස්.). මිනොඑලා, නිව්යෝක්: ඩෝවර් පබ්ලිකේෂන්ස්. පි. 60. ISBN 9780486404462. https://books.google.com/books?id=8dIoAwAAQBAJ&pg=PA60&lpg=PA60&dq=Amarna+%22alabastron%22&source=bl&ots=p-SL65uxH6&sig=4t3Zvp7hXMlGTMEPOFuve9yVCNI&hl=en&sa=X&ved=0ahUKEwjmk9ONg5HOAhVLmBoKHew1B7I4ChDoAQgZMAA#v=onepage&q=Amarna%20%22alabastron%22&f=false. Retrieved 26 ජූලි 2016. 
  9. මොඩර්න් ඊජිප්ට් ඇන්ඩ් තීබ්ස්: බීං අ ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් ඊජිප්ට්; ඉන්ක්ලූඩිං ද ඉන්ෆෝමේෂන් රික්වයර්ඩ් ෆෝ ට්‍රැවලර්ස් ඉන් දැට් කන්ට්‍රි. II. ලන්ඩන්: ජෝන් මරේ. 1843. පිටු 43-44. https://books.google.com/books?id=fLsMAAAAIAAJ&pg=PA44&lpg=PA44&dq=Amarna+%22alabastron%22&source=bl&ots=_RD2l1YPyN&sig=wu5P0tY05k85W_Gix5LdUOvYz24&hl=en&sa=X&ved=0ahUKEwinn-iOgpHOAhXMvBoKHe4BACsQ6AEINDAH#v=onepage&q=Amarna%20%22alabastron%22&f=false. Retrieved 26 ජූලි 2016. 
  10. ග්‍රන්ඩන් (2007), පි.89
  11. 11.0 11.1 "එක්ස්කැවේටිං අමර්ණ". Archaeology.org. 2006-09-27. Archived from the original on 11 ජූලි 2007. සම්ප්‍රවේශය 2007-06-06.  Check date values in: |archive-date= (help)
  12. ඇල්ඩ්‍රඩ් (1988), පි.47
  13. ඇල්ඩ්‍රඩ් (1988), පිටු. 47–50
  14. ඇල්ඩ්‍රඩ් (1988), පි.48
  15. 15.0 15.1 වෝටර්සන් (1999), පි.81
  16. 16.0 16.1 ග්‍රන්ඩන් (2007), පි.92
  17. කෙම්ප්, බැරී, ද සිටි ඔෆ් අක්නාටන් ඇන්ඩ් නෙෆර්ටිටි: අමර්ණ ඇන්ඩ් ඉට්ස් පීපල්, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012, පිටු 151-153
  18. වෝ‍ටර්සන් (1999), පි.82
  19. මොරාන් (1992), පි.xiv
  20. වෝටර්සන් (1999), පි.138
  21. "කොම් එල්-නානා". Archived from the original on 8 ඔක්තෝබර් 2008. සම්ප්‍රවේශය 2008-10-04.  Check date values in: |archive-date= (help)
  22. එයිමා (2003), පි.53
  23. "බවුන්ඩරි ස්ටෙලේ". Archived from the original on 29 මැයි 2007. සම්ප්‍රවේශය 2007-06-09.  Check date values in: |archive-date= (help)
  24. "රෝයල් ටූම්බ්". Archived from the original on 27 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 2008-10-04.  Check date values in: |archive-date= (help)
  25. අක්නාටන් ඇන්ඩ් ටුටන්ඛාමුන්, රිවොලූෂන් ඇන්ඩ් රීස්ටෝරේෂන්, සිල්වර්මන්, ඩේවිඩ් පී.; වෙග්නර්, ජොසෆ් ඩබ්.; වෙග්නර්, ජෙනිෆර් හවුසර්; ප්‍රකාශන හිමිකම 2006 පුරාවිද්‍යාව සහ මානවවේදය පිළිබඳ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලීය කෞතුකාගාරය.
  26. අක්නාටන්, ඊජිප්ට්'ස් ෆෝල්ස් ප්‍රොෆට්, රීවස්, නිකොලස්, තේම්ස ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, ලන්ඩන්, ප්‍රකාශන අයිතිය 2001
  27. ෆිලිප් ටර්නර්, සෙත් - අ මිස්රිප්‍රසන්ටඩ් ගෝඩ් ඉන් ද ඒන්ෂන්ට් ඊජිප්ටියන් පැන්තියන්? PhD නිබන්ධනය, මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය; 2012
  28. 28.0 28.1 "මැපිං අමර්ණ". Archived from the original on 8 ඔක්තෝබර් 2008. සම්ප්‍රවේශය 2008-10-01.  Check date values in: |archive-date= (help)
  29. "ද රොබට් හේ ඩ්‍රෝවිංග්ස් ඉන් ද බ්‍රිටිෂ් ලයිබ්‍රරි". සම්ප්‍රවේශය 2008-10-01.  zero width joiner character in |title= at position 14 (help)
  30. "වැලිස් බජ් ඩිස්ක්‍රයිබ්ස් ද ඩිස්කවරි ඔෆ් ද අමර්ණ ටැබ්ලට්ස්". සම්ප්‍රවේශය 2008-10-01.  zero width joiner character in |title= at position 18 (help)
  31. 31.0 31.1 ග්‍රන්ඩන් (2007), පිටු. 90–91
  32. "රෝයල් ටූම්බ්". ද අමර්ණ ප්‍රොජෙක්ට්. Archived from the original on 27 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 2008-10-01.  zero width joiner character in |publisher= at position 11 (help); Check date values in: |archive-date= (help)
  33. ග්‍රන්ඩන් (2007), පි.71
  34. "ෆීල්ඩ්වර්ක්- ටෙල් එල්-අමර්ණ". Archived from the original on 2008-04-24. සම්ප්‍රවේශය 2008-10-01. 
  35. ජෝන් හේයස්-ෆිෂර් (2008-01-25). "ග්‍රිම් සීක්‍රට්ස් ඔෆ් ෆේරෝ'ස් සිටි". BBC ටයිම්වොච්. news.bbc.co.uk. සම්ප්‍රවේශය 2008-10-01.  zero width joiner character in |title= at position 3 (help)

මූලාශ්‍ර[සංස්කරණය]

  • ඇල්ඩ්‍රඩ්, සිරිල් (1988). Akhenaten: King of Egypt. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 9780500050484. OCLC 17997212. 
  • ඩේවිඩ්, රොසලී (1998). Handbook to Life in Ancient Egypt. Facts on File. 
  • ඩි ගැරිස් ඩේවීස්, නෝර්මන් (1903–1908). The Rock Tombs of El Amarna. කොටස් 1–6. ලන්ඩන්: EES. 
  • එයිමා, ආයිකෝ (සංස්.) (2003). A Delta-Man in Yebu. යුනිවර්සල්-පබ්ලිෂර්ස්.
  • ග්‍රන්ඩන්, ඉමෝජින් (2007). The Rash Adventurer, A Life of John Pendlebury. ලන්ඩන්: Libri. 
  • හෙස්, රිචඩ් එස්. (1996). Amarna Personal Names. Winona Lake, IN: Dissertations of the American Schools of Oriental Research - DASOR, 9.
  • කෙම්ප්, බැරී (2012). The City of Akhenaten and Nefertiti. Amarna and its People. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, ලන්ඩන්.
  • මාටින්, ජී. ටී. (1989) [1974]. The Royal Tomb at el-'Amarna. වෙළුම් 2. ලන්ඩන්: EES. 
  • මොරාන්, විලියම් එල්. (1992). The Amarna Letters. බැල්ටිමෝර්: ජෝන්ස් හොප්කින්ස් යුනිවර්සිටි ප්‍රෙස්. ISBN 0-8018-4251-4. 
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් (1984). Akhenaten: The Heretic King. ප්‍රින්ස්ටන්. 
  • වෝටර්සන්, බාබරා (1999). Amarna: Ancient Egypt's Age of Revolution. 

බාහිර සබැඳි[සංස්කරණය]

පූර්වප්‍රාප්තික වූයේ
තීබ්ස්
ඊජිප්තුවේ අගනුවර (අක්ටාටන්)
ක්‍රි.පූ. 1353 – 1332 පමණ
අනුප්‍රාප්තික වූයේ
තීබ්ස්
"https://si.wikipedia.org/w/index.php?title=අමර්ණ&oldid=385969" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි