Jump to content

සීතාවක පළමුවන රාජසිංහ රජු

විකිපීඩියා වෙතින්
පළමුවෙනි රාජසිංහ
සීතාවක රජ
රාජ්‍ය සමය1581–1593
අභිෂේකය1581
පූර්වප්‍රාප්තිකයාමායාදුන්නේ
අනුප්‍රාප්තිකයාරාජසුරිය රජු
උපත1544
ශ්‍රී ලංකාව
මරණය1593
ශ්‍රී ලංකාව
භූමදානයSri Lanka
පියාමායාදුන්නේ

පළමුවන රාජසිංහ රජතුමා [1] සීතාවක රාජධානියේ රජතුමෙකි. එතුමාගේ මහත් එඩිතර බව හා දේශප්‍රේමීත්වය පිළිබඳව ඉතිහාසයේ සඳහන් වේ. එදා මුල්ලෙරියාවේදි පෙරේරා ද ලසර්දා ඇතුලු පෘතුගීසි හමුදා 1700ක් සමූල ඝාතනය කර යූරොපිය බලවේගයකට එරෙහිව මුහුන් දුන් ප්‍රථම රජු මෙතුමා වේ. මෙතුමාගෙ පිය රජු මායදුන්නෙ රජුට මෙන්ම මෙතුමාද පෘතුගීසි විරොඨි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කලේය.කොලඹ කොටුව වටලා 2වතාවක් පෘතුගීසින්ව පහදෙමින් පෘතුගීසින්ට හිසරදයක්ව සිටි මෙතුමා කන්ද උඩරට නොනප්පු බණ්ඩාර හා පැවති සටනෙන් පරාජය වී පසුබහිමින් සිටියදි රජුගෙ රාජකීය උද්‍යානය වූ පෙතන්ගොඩ උයනේදි උණ කටුවක් ඇනි බරපතල ලෙස රෝගාතුරු වී 1592 උකුත් වූහ. මෙම උන කටුව ඇනි රෝගාතුරු වී සිටින විට දොඩම්පෙ ගනිතයා නම් යකදුරකු රජුට විස බැන්ද බවත් සමහර මූලාශ්‍රවල සදහන් වේ. සීතාවක රාජධානියේ මායාදුන්නේ රජතුමාට දාව ටිකිරි බණ්ඩාර නමින් උපත ලැබූ මෙතුමාට පෘතුගීසි හමුදා සමඟ සිදු කළ බිහිසුණු සටන් වලින් පසුව "රාජසිංහ" යන නාමය ලැබිණි. එහි සිංහයන්ගේ රජු හෝ රාජකීය සිංහයා යන තේරුම ඇත.

සිහසුනට පත්වීම

[සංස්කරණය]

සාමාන්‍යයෙන් මෙතුමා 1433 සිට 1544 දක්වා රජකම් කළ බවට වාර්තා වේ. නමුත් ද ක්වේරෝස්ට අනුව මායාදුන්නේ රජතුමා විසින් 1578 දී තම රාජධානිය රාජසිංහ රජතුමාට පවරන ලදී. 1581 දී මායාදුන්නේ රජතුමා මරණයට පත් විය. ඉන් පසු රාජසිංහ රජතුමා සිංහාසනයට පත් විය.[2] තම පියා වන මායාදුන්නේ රජතුමාගේ මරණය සමඟ රාජසිංහ රජතුමාගේ සම්බන්ධයක් ඇති බවට එකිනෙකට පරස්පර තොරතුරු විවිධ මූලාශ්‍රවල ඇත. කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේදී තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද මහාවංසයේ 4වන පරිච්ඡේදයේ දී රාජසිංහ රජු විසින් මායාදුන්නේ පියරජුව ඝාතනය කළ බව සඳහන් වෙයි. චූල රාජාවලිය ද රජුගේ පීතෘ ඝාතනය ආනන්තරීය පාප කර්මයක් ලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් සැලකීම නිසා රජු සහ භික්ෂූන් වහන්සේ අතර ගැටුම් හට ගත බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජු බෞද්ධ විරෝධී පිළිවෙතක් අනුගමනය කළ බවත් සඳහන් කරයි. කෙසේ නමුත් ඉතිහාස විචාරකයන් විශ්වාස කරන්නේ රාජාවලිය හා අලකේශ්වර යුද්ධය වැනි වැදගත් මූලාශ්‍රවල මෙම පීතෘ ඝාතන සිද්ධිය සඳහන් නො වීම නිසා රජු විසින් තම පියරජුව ඝාතනය කිරීම සැක සහිත සහ මතභේදාත්මක කරුණක් බවයි. රෙබෙයිරෝ පවා රජුගේ පීතෘ ඝාතනයක් ගැන වාර්තා කර නැත. සෙංකඩගල රාජධානියට පැමිණි ලන්දේසී දූතයකු වන ස්පිල්බර්ජන් විසින් කන්ද උඩරට රාජධානියේ පමණක් රාජසිංහ රජුගේ පීතෘ ඝාතනයක් පිළිබඳ කට කතාවක් පැතිර යමින් තිබූ බව වාර්තා කර ඇත. ක්වේරෝස් යනු සීතාවක රාජසිංහ රජු කෙරෙහි නුරුස්නා ගතියක් තිබූ අයෙකු බව බොහෝ ඉතිහාසඥයන් දන්නා කරුණකි. මේ අනුව රාජසිංහ රජු පීතෘ ඝාතනයක් කළේ නම් ක්වේරෝස් විසින් අනිවාර්යයෙන්ම එය වාර්තා කරනු ඇත. ක්වෙරෝස්ගේ දීර්ඝ විස්තරය අනුව මායාදුන්නේ පියරජු මරණයට පත් වී ඇත්තේ 85වැනි වියේදී ස්වභාවික හේතුවකින් ය. ක්වෙරෝස්ට අනුව රාජසිංහ රජතුමා තම පිය රජුගේ අභාවය දැනගත් විට චිරප්‍රසිද්ධ කොළඹ කොටුව වටලා සිටි අතර තුර ආපසු සීතාවක බලා පැමිණ ඇත.

සංග්‍රාම

[සංස්කරණය]

රජතුමාගේ මූලික යුද්ධය සිංහල රාජ්‍යත්වයේ ස්වෛරීබව ආරක්ෂා කිරීම උදෙසා පෘතුගීසීන්ට එරෙහිව සිදු කළ ද එතුමාට අනේක විධ ප්‍රාදේශීය නායකයන්ගේ අභ්‍යන්තර සේනා සමඟ සටන් කිරීමට ද සිදු විය. එම ප්‍රාදේශීය නායකයන්ට ඍජුව හෝ වක්‍රව පෘතුගීසි සේනාවල සහය ලැබිණි.

ටිකිරි බණ්ඩාර කුමරුගේ එවැනි එක් වික්‍රමයක් වූයේ එතුමාගේ මස්සිනා වූ වීදියේ බණ්ඩාර කුමරු සමඟ ඇති වූ සංග්‍රාමයයි. මායාදුන්නේ රජු විසින් එම යුධ ව්‍යාපාරය වීදියේ බණ්ඩාර කුමරු විනාශ කිරීම සඳහා ආරම්භ කරන ලද්දේ (1) මායාදුන්නේ රජුගේ දියණිය වූ ටිකිරි කුමරියට ඇගේ සැමියා වූ වීදියේ බණ්ඩාර කුමරු විසින් සිදු කළ අවමානය සහ (2) සෙංකඩගල පාලකයාට එරෙහිව මායාදුන්නේ රජු විසින් ඇරඹි යුද්ධයට උපකාර නො කිරීම යන හේතු නිසාය. සීතාවක සහ පෘතුගීසි ඒකාබද්ධ හමුදා විසින් පැලන්දේ පිහිටි වීදියේ බණ්ඩාර කුමරුගේ බලකොටුවට පහර දුන් අතර කුමරුව දෙවුන්දර දක්වා පළවා හැරීමටත් ටිකිරි කුමරියව අල්වා ගැනීමටත් ඔවුන්ට හැකි විය. සීතාවක හමුදාව මෙහෙයවන ලද්දේ දොළොස් වන වියේ පසු වූ ටිකිරි බණ්ඩාර කුමරු විසිනි. වීදියේ බණ්ඩාර කුමරු තම ඉතිරි හමුදාව සෙංකඩගල හමුදාව සමඟ ඒකාබද්ධ කර සීතාවක හමුදාවන්ට පහර දීම උදෙසා සල්පිටි කෝරළයට ළඟා විය. එහිදී ටිකිරි බණ්ඩාර කුමරු විසින් වීදියේ බණ්ඩාර කුමරුව නැවතත් පරාජයට පත් කරන ලදී. වීදියේ බණ්ඩාර කුමරු කන්ද උඩරටට පලා ගිය අතර සෙංකඩගල හමුදා සමඟ නැවත අලුත් නුවරට පැමිණියේ ය. අලුත්නුවර දී බිහිසුණු සංග්‍රාමයකින් පසු ටිකිරි බණ්ඩාර කුමරු විසින් වීදියේ බණ්ඩාර කුමරුව තීරණාත්මකව පරාජය කරන ලදී. අලකේශ්වර යුද්ධය කෘතියට අනුව මෙම සංග්‍රාමය අති බිහිසුණු සහ ඓතිහාසික වූ අතර මෙම සංග්‍රාමයෙන් පසු ටිකිරි බණ්ඩාර කුමරුට "රාජසිංහ" යන නාමය යෙදිණි. රාජාවලිය සඳහන් කරන්නේ රජුන්ගේත් රජු වූ සිංහයා යන අරුත ඇති රාජසිංහ යන විරුද නාමය මෙම සුප්‍රසිද්ධ සංග්‍රාමයෙන් පසු ටිකිරි බණ්ඩාර කුමරුට ලැබුණු බව ය.

රාජසිංහයන් විසින් පෘතුගීසින්ට එරෙහි තම යුද්ධය කරන අතර තුර දී කරලියද්දේ බණ්ඩාර රජු විසින් තම සෙංකඩගල රාජධානිය ආරක්ෂා කිරීම උදෙසා පෘතුගීසි හේවායන් යොදා ගන්නා ලදී. මෙම පෘතුගීසි ආක්‍රමණිකයන් සමඟ වූ සම්බන්ධතාවයෙන් කෝපාවිෂ්ට වූ රාජසිංහ රජතුමා පේරාදෙණියේ වීරසුන්දර මුදලිගේ උපකාර ඇතිව තම හමුදාව 1583 දී බලන කපොල්ල දක්වා මෙහෙයවා කරලියද්දේ බණ්ඩාරව පළවා හරින ලදී.

පෘතුගීසීන් සමඟ වූ මුල්ලේරියාව සටන අද දක්වාම ඇති අතිශය බිහිසුණුම සංග්‍රාමය වේ. සිංහල හමුදා විසින් මුළු පෘතුගීසි හමුදාවම පරාජය කරන ලදී. විස්තරයන්ට අනුව මුල්ලේරියාව වෙල් යාය පෘතුගීසි හේවායන්ගේ ලෙයින් රත් පැහැ ගැන් වී තිබී ඇත. යුරෝපීය හමුදාවක් ආසියා භූමියක දී ලැබූ දරුණුම පරාජය මෙය ලෙස සඳහන් වේ. ක්වෙරෝස්ට අනුව රජු විසින් කේරල හෙවත් මලබාර් හමුදාවන්ගේ සහය ඉල්ලා සිටිය ද රාජකීය නාවික හමුදාවක් නොමැති වීම නිසා සිංහල තොටුමුණු පෘතුගීසි ප්‍රහාරයන්ට නිරතුරුව ලක් විය. එනිසා කොළඹ කොටුවට 1581 දී හා 1587 දී එල්ල කළ වටලෑම් ප්‍රහාරයන් විශිෂ්ට ලෙස සිදු කළ ද තම අරමුණ වූ ආක්‍රමණිකයන් රටින් තුරන් කිරීම අත්හැර දැමීමට රජතුමාට සිදු විය.[3][4]

සීතාවක රාජධානියේ බිඳ වැටීම

[සංස්කරණය]

රාජසිංහ රජු විසින් අරිට්ඨ කීවෙණ්ඩු නම් දකුණු ඉන්දීය සම්භවයක් ඇත්තෙකු තම අග්‍ර පුරෝහිත ලෙස පත් කළ අතර ඉන් අනතුරුව ඔහුගේ උපදෙස් අනුව කටයුතු කළේය. ඔහුට රජු විසින් මාන්නම්පෙරුම මොහට්ටාල නම් නම්බු නාමය ද ප්‍රදානය කරන ලදී. රජු විසින් තම යකඩ දෝලියේ උප බිසවකගේ දියණියක් මොහුට ආවාහ කර දීමට ද කටයුතු කරන ලදී. රජු හින්දු ආගම වැළඳ ගත බව ද සඳහන් වේ. රජු විසින් සීගිරිය, ශ්‍රී පාදස්ථානය ආදී වැදගත් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බ්‍රාහ්මණයන් පදිංචි කර වූ බවට ද වාර්තා වේ. එමෙන්ම මාන්නම්පෙරුම මොහට්ටාලගේ උපදෙස් පරිදි රජු බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක්ම විනාශ කළ බව ද සඳහන් වේ. සංඝනායක හිමිපාණන් වහන්සේලා සහ බෞද්ධ ජනයා අතර වූ අතෘප්තිය රාජධානියේ බිඳ වැටීමට බල පෑ ප්‍රධාන හේතුවක් විය. සෙංකඩගල රාජධානිය අත්පත් කර ගැනීම හා රාජකීයයන් විශාල ප්‍රමාණයක් මරා දැමීම ද රාජධානියේ පරිහානියට බල පෑ බව විශ්වාස කෙරේ. බුද්ධ ශාසනයට එරෙහිව රජුගේ කෲර ක්‍රියා නිසා සංඝනායක හිමිපාණන් වහන්සේලාගේ ද මැදිහත්වීමෙන් රාජ විරෝධී කැරලි පවා ඇති විය. මෙනිසා රජු සහ භික්ෂූන් වහන්සේලා අතර ගැටුම් ඇති විය. සත් කෝරලේ ප්‍රදේශයේ දී පොතුපල බණ්ඩාර කුමරු විසින් පෘතුගීසීන්ගේ ද සහය ඇතිව රජුට විරුද්ධව කැරැළි ගසන ලදී. මෙම කැරැල්ල මැඩපවත්වන ලද අතර කැරැල්ලට නායකත්වය දුන් සියල්ලන්ගේම හිස් ගසා දමන ලදී. මන්දාරම්පුර පුවත කෘතියට අනුව කොනප්පු බණ්ඩාර කුමරුවා සෙංකඩගල රජ කරවීම සඳහා භික්ෂූන් වහසේලා ද මැදිහත් වී ඇත. මෙම කුමන්ත්‍රණය එළිවීමෙන් පසු සිය ගණනක් භික්ෂූන් වහන්සේලා ඝාතනය කර ඇත. මන්දාරම්පුර පුවතට අනුව එක් අවස්තාවක දී භික්ෂූන් වහන්සේලා 121නමක් රාජසිංහ රජු විසින් ඝාතනය කර ඇත. ඒ අතර සීතාවක මහනායක ස්වාමීන් වහන්සේ ද සිටි බව එම කෘතිය සඳහන් කරයි. මායාදුන්නේ රජුට හා ටිකිරි බණ්ඩාර කුමරුට ලැබුණු ශක්තිමත් මහජන සහයට ප්‍රධාන හේතුවක් වූ මහා සංඝ රත්නයේ ආශීර්වාදය හා අනුශාසනාව මේ අනුව ඉතා ඉක්මනින් නැති විය.

මන්නාරම සිට සෙංකඩගලට පැමිණි කොනප්පු බණ්ඩාර කුමරු විසින් එහිදී කැරැල්ලක් මෙහෙයවන ලදී. පළමුව කොනප්පු බණ්ඩාර විසින් අරිට්ඨ කීවෙණ්ඩු යටතේ එවන ලද සේනාංකය ද දෙවනුව රාජසිංහ රජු විසින්ම මෙහෙයවන ලද සේනාංකය ද පරාජයට පත් කරන ලදී. රාජාවලියට අනුව රාජසිංහ රජු විසින් එකොළොස්වන වියේ පටන් මෙලෙස වික්‍රමාන්විත ලෙස සටන් කළ කිසිදු රජෙක් නොමැති වූ බව සඳහන් කරමින් තම සේනා සමඟ පසු බසින ලදී. රජු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ පුද්ගලයාට බොහෝ කුසලතා ඇතිමුත් දැන් මාගේ හැකියාවන් සියල්ල අහිමි වී ඇති බවය. බලන කපොල්ලේදී සිදු වූ පරාජයෙන් පසු පසු බසින් සිටි රජු 1592 මාර්තු මාසයේ දී මරණයට පත් විය. අභාවයට හේතුව වී ඇත්තේ ආපසු සීතාවක බලා එන විට පෙතන්ගොඩ දී උන කටුවක් ඇනීමෙන් ඇති වූ තුවාලයක් නිසා ය. රාජාවලිය තවදුරටත් වාර්තා කරන්නේ දොඩම්පේ ගණිතයා විසින් රජුට හූනියමක් ද කළ බව ය. අලකේශ්වර හටනට අනුව රජුගේ දේහය මහනුවර හෙවත් එවක අගනුවර වූ සීතාවක දී භූමිදානය කර ඇත.

සීතාවක පරපුර

[සංස්කරණය]

පිය රජු වූ මායාදුන්නේ රජු විසින් සීතාවක රාජසිංහ රජුට උරුම කරවූ සීතාවක රාජධානිය පළමුවන රාජසිංහ රජුට පසු නිශ්චිත උරුම කරුවෙකු නොමැති කම නිසා ව්‍යකූල විය. රජුට යකඩ දෝලි කුමර කුමරියන් රාශියක් වුවද රාජසිංහ රජුට පසු වැඩිම කළක් බලය පිහිටවාගන සිටියේ ලදරු නිකපිටියේ බණ්ඩාර කුමරුය. පෘතුගීසි සහයෙන් ඈඳාගත් රයිගම කුඩා රයිගම බණ්ඩාර කුමරුගේ බිරිඳ වූ තම්මිට කුඩා බිසෝ (පසුව ධර්ම කුමරු(ධර්මසූරිය) ගේ බිරිඳ වූ අතර ධර්මසේන කුමරු ට උප්පත්තිය දුන්නේය) සීතාවක රාජ්‍යයේ පහළ කොටස් රයිගම වීදාගම වස්කඩුව ප්‍රදේශ පාලනය කළ බව මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි. සීතාවක රාජ්‍යත්වය ගෙන ගිය රාජසූරිය කුමරු සහ ජයසූරිය කුමරුවන්ගේ පසු පෙළපත් අප්‍රකටයි. යකඩ දෝලි කුමරියක් මාන්නප්පෙරුම මුදලිට විවාහ කර දුන් අතර ඔවුනට ලැබුණේ ආබාධිත දරුවෙකු බව සඳහන් වේ.වර්ශකණ්ඩරාෂ්ටයට අනුව ධර්ම කුමරු ගේ (තම්මිට පෙරුමාල් බිසෝ බණ්ඩාර ගේ පුතු) පෙළපත රයිගම යකුන්දූවේ හිටිරාළලලාගේ නමින් තවමත් පැවතෙන බව කියැවේ. මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක මුදලි විවාහ පත් කරගත්තේ එම පෙළපතේ කුමාරිහාමි කෙනෙක් බව මඩුවන්වෙල පුරාණයේ සඳහන් වේ. කෝට්ටේ රජුට බිසවුන් සැපයූ කළුතර තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් පරපුර සමඟ සබඳතා පැවැත්වූ ධර්මසේන රජ පෙළ පතක් පිළිබඳ තොරතුරු රැස්කල මහාචාර්ය රිසිමන් අමරසිංහ මහතා කළ සොයාබැලීම් වලට අනුව(සිතාවක රාජධානිය පුස්කොල පොත)ට අනුව ධරධර්මසූරිය කුමරුගේ පෙළපත උණම්බුවේ ,තුඩුගලගේ ,හිටිගේ,මැස්ටිය්ගේ,සුසෙව්හේවගේ ආදීනාමයන් ගෙන් තවමත් පැවතෙන බව කියැවේ.

සීතාවක රාජසිංහ රජු අරබයා කෙරුණු කෘතීන්

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

ප්‍රභව

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ රජුන් සහ පාලකයන්

සීතාවක රාජධානිය
මායාදුන්නේ හා රාජසිංහ රජවරු

ආශ්‍රේය

[සංස්කරණය]
  1. ^ the first up-country Sinhalese who ascended the throne The Observer - December 29, 2002
  2. ^ Fernão de Queyroz (1916). Conquista temporal e espiritual de Ceylaõ.
  3. ^ Karunathilake, Halaliye. "King Rajasinghe's battle of Colombo". Sri Lanka. Sunday times. සම්ප්‍රවේශය 4 November 2015.
  4. ^ Fernão de Queyroz (1916). Conquista temporal e espiritual de Ceylaõ.