Jump to content

කොළඹ කොටු‍ව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ, කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රදේශය ලෙස කොටුව හැඳින්විය හැක. පෘතුගීසි ජාතිකයන් මුලින්ම මෙහි බලකෙටුව තැනූ අතර පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින්ද මෙම බලකොටුව භාවිතා කරන ලදී.

කොළඹ නගරයේ මූල්‍ය ප්‍රදේශය වන මෙහි, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පිහිටා තිබෙන අතර කොළඹ කොටස් හුවමාරුවෙහි වැඩකටයුතුද මෙම ගොඩනැගිල්ල කේන්ද්‍රගත කරගනිමින් සිදුකෙරේ. තවද ලංකා බැංකුවේ මූලස්ථානයද මෙම ප්‍රදේශ‍යේ පිහිටා තිබේ. කොටුව ප්‍රදේශයට පසෙකින් ඇදී යන වෙරළ තීරය හා තණකොළ වැවූ බිම් තීරුව ගාලු මුවදොර පිටිය ලෙස හැඳින්වේ. මෙය ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති 1859 වසරේදී එවකට ලංකාවේ (ශ්‍රී ලංකාවේ) ආණ්ඩුකාරවරයා වූ හෙන්රි ජෝර්ජ් වෝර්ඩ්ගේ පාලනය යටතේ තනවන ලදී. මහ තැපැල් කාර්යාලය, විවිධ සංචාරක හෝටල්, වාණිජ බැංකු, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු හා කාර්යාල රැසක් කොටුව ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වේ. කොළඹ නගරය අංක අනුව වර්ග කිරීමේදීද කොටුවට හිමිව ඇත්තේ අංක “1” ය. ඒ අනුව කොටුව ප්‍රදේශයට “කොළඹ 1” ලෙසද ව්‍යවහාර කළ හැකිය.

ඉතිහාසය

[සංස්කරණය]
1680 දී පමණ කොළඹ, ලන්දේසී චිත්‍රයක්

කොළොම්තොට/ කොළොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුනු මේ ප්‍රදේශයට 16 වන ශත වර්ශයේ මුල් සමයේදී පෘතුගීසීන් මුල්වරට ලංකාද්වීපයට ගොඩබසිනු ලදුව, පසුව ඔවුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වු බව සැලකේ. පෘතුගීසීන් විසින් මේ වෙළෙඳ මධ්‍යස්ථානය පසුව ආරක්ෂක මධ්‍යස්ථානයක් හා ‍වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදුවීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කරගැනීමේ අරමුණිනි. පෘතුගීසීන් විසින් ගොඩනගනු ලැබූ කොටුව 1656 දී ලන්දේසීන් විසින් අත්කරගනු ලදුව තමුන්ගේ වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ, ලන්දේසි පරිපාල‍නයේ ප්‍රමුඛස්ථානයට පත්වීමත් සමඟ මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දිය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහූ උත්සුක වූහ. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කළ ලන්දේසීන්, අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වාභාවික වාසිය හොඳින් ලබාගත හැකි වන අයුරින් එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට එරෙහිව රට අභ්‍යන්තරයෙන් පැනනැගි සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කීප විටකම වටලෑමට ලක්වූ විට, ලන්දේසීන් හට කොටුව ඉතා වැදගත් හමුදාමය බලකොටුවක්ම විය.

බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ට අයිතිව තිබූ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කරගැනීමත් සමඟම කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමඟම කොළඹ මුළු දිවයිනේම අගනගරය ලෙසට නම් කෙරිණි.[1] තවදුරටත් සෘජු හමුදාමය තර්ජනයක් නොපැවති නිසාත්, නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකූ නිසාත්, 1870 දී කොටුවේ බිත්ති කඩා බිම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලිද මෙලෙසම විනාශකර දැමුනු අතර නව ගොඩනැගිලි ඉදි කරවූයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඌරුවක් එක්වන ආකාරයෙනි.[2]

මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවද තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. කොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි බොහෝමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුනි. පාලනය කෙමෙන් ස්වදේශික ශ්‍රී ලාංකීයයන් අතට මාරුවීමේදී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැගිලි මෙම ප්‍රදේශය තුල පැවතිණි. කොටුව ප්‍රදේශය ශ්‍රී ලංකා පරිපාලනයේ හදවත වූයේ යම් සේද එය ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු වලද හදවත විය. රට 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමත් සමගම රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍රගත වීමක් දක්නට ලැබුණි. කෙසේ නමුදු පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීමත් සමග කොළඹ නගරයේ තදබදය හේතුවෙන් හා සියළුම රාජ්‍ය ආර්ථික මර්මස්ථාන එකම ප්‍රදේශයක පිහිටු‍වීමේ ආරක්ෂක අවාසිය හේතුවෙන් 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැණුනි. මෙය ආරම්භ වූයේ පැරණි රාජ්‍ය මන්ත්‍රණසභා ගොඩනැගිල්ලේ තිබූ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර නව ගොඩනැගිලි සංකීර්ණයකට රැගෙන යාමත් සමගිනි. මෙසේ ඇරඹුනු රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු කොළඹින් පිටතට ‍ගෙනයෑමේ ව්‍යාපෘතිය කිසිදා සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනු අතර බොහෝමයක් වැදගත් රාජ්‍ය ආයතන අදටත් කොටුව ප්‍රදේශයේ ඉතිරිව පවතී.

විශේෂ ගොඩනැගිලි සහ ප්‍රමුඛස්ථාන

[සංස්කරණය]

ජනාධිපති මන්දිරය

[සංස්කරණය]

කොටුව ප්‍රදේශය විවිධ යුගවලට අයත් ගොඩනැගිලි රාශියකින් සමන්විත වේ. මේ අතරින් වඩාත් කැපී‍ පෙනෙන ගොඩනැගිල්ලක් වන්නේ පෙර ජනාධිපති මන්දිරයයි. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිගේ නිල නිවසයි. මන්දිරයට පසෙකින් පිහිටි කලකට ඉහත මහජනතාවට විවෘත වූ ගෝර්ඩන් උද්‍යානය අද ජනාධිපති මැදුරේම කොටසකි. මෙහි අතීතය ලන්දේසි යුගයටම දිවෙන්නේ එවකට එය ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වූ බැවිනි. පසුව බ්‍රිතාන්‍ය යුගයේ, බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර‍යාගේ නිල නිවස වූ මෙය මෙනිසාම 1972 දක්වා හැඳින්වූයේ රැජිණගේ නිවස (ක්වීන්ස් හවුස්) නමිනි.

පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල

[සංස්කරණය]

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේ නියෝබැරොක් ශෛලියට නිමවන ලද පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේය.

වෙනත් ගොඩනැගිලි

[සංස්කරණය]

වැදගත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක්ම කොටුව තුල පිහිටා තිබේ. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය, මහා භාණ්ඩාගාර ගොඩනැගිල්ලේ සිටද විදේශ කටයුතු අමාත්‍යංශය, ‍රිපබ්ලික් ගොඩනැගිල්ලේ සිටද තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ සිටද ක්‍රියාත්මක වේ. SLNS පරාක්‍රම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික මූලස්ථානය පිහිටා තිබෙන්නේ ‍ෆ්ලැග්ස්ටාෆ් වීදියේයි. එදා රැජිණ (ක්වීන්ස්) වීදිය ලෙස හැදින්වූ අද ජනාධිපති මාවතේ ශ්‍රී ලංකා මහ බැංකුවත්, පැරණි මහ තැපැල් කාර්යාලයත් පිහිටා තිබේ.

කොටුව ප්‍රදේශයේ බැංකු හා ව්‍යාපාර රාශියකම මූලස්ථාන හා ප්‍රධාන ශාඛා වලට නිවහන වී තිබේ. මෙනිසාම ශ්‍රී ලංකාවේ කාර්යබහුලම ආර්ථිකමය හා පරිපාලනමය මර්මස්ථානය වන කොළඹ නගරයේ වැදගත්ම මූල්‍යමය ප්‍රදේශය ලෙස කොටුව සැලකේ. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව, යුනියන් බැංකුව - කොළඹ, ඉන්දියානු රාජ්‍ය බැංකුව, හොංකොං සහ ශැංහයි බැංකුව, මුස්ලිම් කොමර්ෂල් බැංකුව සහ හබීබ් බැංකුව කොටුව තුල තම මූලස්ථාන පිහිටුවාගත් බැංකු අතර වේ. කොටුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ලංකාවේ උසම ගොඩනැගිල්ල වන අතර එය තුල කොළඹ කොටස් හුවමාරුව හා තවත් නම්දැරූ ව්‍යාපාර ආයතන රැසක් ක්‍රියාත්මක වේ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක වන සෙලින්කෝ හවුස් ගොඩනැගිල්ලද, ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයද කොටුව ප්‍රදේශයේ පිහිටා තිබේ. තවද කොටුව ප්‍රදේශයේ පිහිටා ඇති හෝටල් අතර කොළඹ හිල්ටන්, කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල්, ගලධාරී හා ග්‍රෑන්ඩ් ඔරියන්ටල් ප්‍රධාන වේ. ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා තවත් විදේශ ගුවන් සේවා ආයතන ගණනාවක් කොටුව ප්‍රදේශය තම මූලස්ථානය කරගනිමින් කටයුතු කරයි. කොටුව ප්‍රදේශයේ සැලකිය යුතු විශේෂ ස්ථාන කිහිපයක් ලෙස සම්බෝධි චෛත්‍යය, පැරණි කොළඹ ප්‍රදීපාගාරය, කොළඹ ප්‍රදීපාගාරය, හා පැරණි කොළඹ ලන්දේසි රෝහල සඳහන් කළ හැක.

කොටුව ප්‍රදේශයේ උතුරු පෙදෙසත් කොළඹ වරායේ දකුණු පෙදෙසත් එක් වූ ප්‍රදේශයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මූලස්ථානයත්, ශ්‍රී ලංකා රේගුවේ මූලස්ථානයත්, බණ්ඩාරනායක බහාලුම් පර්යන්තයත්, ක්වීන් එලිසබෙත් බහාලුම් පර්යන්තයත් පිහිටා තිබේ.

ගැලරිය

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]


මේවාද බලන්න

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=කොළඹ_කොටු‍ව&oldid=591836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි