Jump to content

විෂ්ණු

විකිපීඩියා වෙතින්
(විෂ්ණු දෙවි වෙතින් යළි-යොමු කරන ලදි)
විෂ්ණු
ලෝක ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, මෝක්ෂ[1][2]
විෂ්ණු
අනුබැඳියපරම බ්‍රහ්ම (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව්
වාසභවනයවෛකුන්ත
මන්ත්‍රයॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය) ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය)
ආයුධයචක්‍රය (සුදර්ශන චක්‍රය) සහ යගදාව (කෞමෝදකී ගදාව)[3]
සංකේතරෝස නෙළුම, පංචජන්‍ය සංඛය
වල්ලභයන්ලක්ෂ්මී
සොයුරු/සොයුරියන්ශක්ති හෙවත් පාර්වතී
වාහනයගරුඬ[3]
උත්සවහෝලි, රාම් නවාමි, ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි, නරසිංහ ජයන්ති, දීපවාලි, ඕනම්, විවාහ පංචමි, විජයදශාමි, අනන්ත් චතුර්දාශි, දෙව්ශයනි ඒකදාශි, කාර්තික් පූර්නිමි, තුල්සි විවාහ්[4]

විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දෙවිවරුන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘විශ්වය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. වෛෂ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය.

හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් සමන්විත වේ.

එතුමාගේ වම් අතේ රෝස නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී ගදාවත්, පංචජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.

විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.

විෂ්ණු අවතාර

[සංස්කරණය]

හින්දු ආගමේ සඳහන් අවතාර සංකල්පය බොහෝ අවස්ථාවලදී ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් අතරින් ලෝක ආරක්ෂක විෂ්ණු දෙවියන් හා බැඳී පවතී. (මෙහිදී අවතාර යනු දෙවියන් මනුලොව පහල වීමයි) විෂ්ණු දෙවියන් අවතාර දරණුයේ ලෝකයේ යහපත ආරක්ෂා කිරීමටත් නපුරට එරෙහිව සටන් කිරීමටත් සහ ධර්මය ස්ථාපිත කිරීමත් උදෙසායි.

දශඅවතාර

[සංස්කරණය]

භගවත් පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශඅවතාර) එතුමන්ගේ පූර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ පුරාණය සහ භගවත් පුරාණය යන ග්‍රන්ථ වල දක්වා ඇත. පංචරාත්‍ර නම් ග්‍රන්ථයේ අවතාර තිස් නවයක් ගැන දක්වා ඇත. මෙම ප්‍රධාන අවතාර දහය දශඅවතාර ලෙස හඳුන්වයි.

විෂ්ණු දෙවියන්ගේ දශඅවතාර
නම විස්තරය රූපය
මත්ස්‍ය අර්ධ මත්ස්‍ය අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු මහා ජලගැල්මකින් ලෝකය බේරා ගන්නා ලදි. එහිදී මනු රජු සහ අනෙකුත් සියළු ජීවීන් බේරා ගන්නා ලදි.
කුර්ම මේ අවතාරය කැස්බෑවෙකි. දෙවියන් සහ අසුරයින් එක්ව අමෘතය සොයා කිරි මුහුද කැළඹවීමේ දී එතුමා විසින් මන්දාර පර්වතය දරා ගෙන සිටින ලදී.
වරහා මෙම අවතාරය ඌරෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර හිරණ්‍යාක්ෂ අසුරයාගෙන් භූ දේවිය (පෘතුවිය) බේරා ගෙන නැවතත් විශ්වයේ තිබූ ස්ථානයේම ප්‍රතිස්ථාපනය කරන ලදී.
නරසිංහ අර්ධ සිංහ අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු ප්‍රහලාද අසුර කුමාරයාව හිරණ්‍යාක්ෂගේ සොහොයුරා වූ හිරණ්‍යකස්සප නම් අසුරයාගෙන් බේරා ගන්නා ලදි.
වාමන මෙම අවතාරය අඟුටුමිට්ටෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර ඔහු අසුර රාජ බලී ගෙන් විශ්වය බේරා ගන්නා ලදි. බලී සමස්ත විශ්වයේම තම බලය පැතිරවීය. බලීගෙන් ලෝකය නිදහස් කර ගැනීමට විෂ්ණු දෙවියන් වාමන අවතාරය දරා ගත් බව කියැවේ.
පරශුරාම පොරවක් අතින් දරා ගත් සෘෂිවරයෙකුගේ ස්වරූපක් දරන අතර ක්ෂත්‍රීයන්ගේ අධර්මිෂ්ඨ කම් වලට දඬුවම් කරන ලදී. කර්තවීර්ය අර්ජුන රජුද ඔහු විසින් විනාශ කර දමන ලදී.
රාම රාම අයෝධ්‍යාව පාලනය කළ දශරථ මහා රජුගේ හා කෞෂල්‍යා බිසවගේ පුත්‍රයා ය. දුනු හී රැගත් පුරුෂයෙකුගේ ස්වරූපයකින් රාමයන් නිරූපණය කරයි. රාවණාගෙන් තම බිරිඳ වූ සීතා දේවිය ඔහු විසින් බේරාගන්නා ලදී. ඔහුගේ කතාව හින්දු ආගමේ වඩාත් පුළුල් ලෙස කියවන ලද ග්‍රන්ථයක් වන රාමායනය තුළ විස්තර කෙරේ.
ක්‍රිෂ්ණ

ක්‍රිෂ්ණා යනු වාසුදේව රජුගේ හා දේවකීගේ අටවැනි පුත්‍රයාය. ඔහු කුඩා කල නන්ද හා යශෝධා යන දෙපළ සමීපයෙහි හැඳී වැඩිණි. ඔහු අසුර රජ කන්සා සහ ඔහුගේ අසුරයින් ආදී අධර්මිෂ්ටඨයන් විනාශ කොට මිනිසුන් ආරක්ෂා කරන ලදී.

බුද්ධ මෙම අවතාරය විශ්වාසය අනුව ගෞතම බුදුන් යයි පැවසුවද, බුද්ධ නම් බ්‍රාහ්මණයෙක් ලෙසත් වෙන තවත් තැනෙක බලරාම බවත් සහ තවත් තැනෙක සෘෂභනාථ ලෙසද දක්වා ඇත.
කල්කි මේ අවතාරය සුදු අශ්වයෙකු පිට යන මිනිස් ස්වරූපයක් ලෙස දක්වා ඇත. කලි යුගය අවසානයේ පහල වන බව දක්වා ඇත. ඔහු අධර්මීන් විනාශ කොට කලියුගය අවසන් කර සත්‍ය යුගය ආරම්භ කරන බව කියවේ.

වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව

[සංස්කරණය]

වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය, අධර්මය, අවනීතිය, අසාධාරණය, ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අවිහිංසාව, යුක්තිය, ධර්මය, නීතිය, සාධාරණත්වය, පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය ඇති කිරීමයි.

භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය - ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය - තදා'තමානම් ඍජාම්‍යහම්. පරිත්‍රාණාය සාධූනාම් - විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි (මාගේ ස්වරූපය දක්වමි). යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..

විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්

[සංස්කරණය]

විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබීය. වෛෂ්ණව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායනා කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් පැන නගින නෙළුම් මලක් මත මහා බ්‍රහ්මයා වැඩ සිටින අයුරු.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.

  • අක්සුඨ
  • උපේන්ද්‍ර (තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා)
  • අනන්ත (සදාතනික)
  • දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
  • ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
  • හරි (පාපයෙන් මුක්ත කරන්නා යන්නයි)
  • හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
  • ජගන්නාථ (විශ්වයේ පාලකයා/ විශ්වයේ අයිතිකරු)
  • ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
  • කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
  • ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
  • මාධව (වසන්ත සමයට සම්බන්ධ)
  • මධුසූධන (මධු නම් රාක්ෂයා විනාශ කල තැනැත්තා)
  • නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා/ ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
  • පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
  • පෙරුමාල් (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
  • පුරුෂෝත්තම (අති උතුම් ‍සදාතනික ජීවය)
  • රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
  • ඍෂිකේෂ් (හදවතේ දෙවියන්)
  • සත්‍යනාරායන (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
  • ශ්‍රීධර (ශ්‍රී ලක්ෂ්මි දේවියගේ ස්වාමියා)
  • සිද්ධාර්ථ (බුදුරජාණන්වහන්සේ ද විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සමහර හින්දු භක්තිකයන් සලකති)
  • ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
  • ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
  • ත්‍රිවික්‍රම (තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා, වාමන අවතාරය ලෙස)
  • විශාල් (අති උතුම්, නැවැත්විය නොහැකි)
  • වාමන (ඉතා කුඩා හෝ මිටි ස්වරූපය)
  • වාසුදේව (සියල්ලටම අධිපති දෙවි)
  • උවිඳු (සියළු උපායන් හී දක්ෂ)

විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය

[සංස්කරණය]
විෂ්ණු සහ ලක්ෂ්මි, විෂ්ණුගේ වාහනය ගරුඬ මත සිටින අයුරු දැක්වේ.

වෛෂ්ණව දර්ශනයට අනුව විෂ්ණු දෙවියන් සියලු දේ තුල පවත්නා ශක්තියක ආකාරයේ දේවත්වයක් ලෙස පෙන්වා දෙන අතර පුරුෂ පරමාත්ම (උත්තරිතරම ආත්මය) අන්තරයාම් (සියල්ල තුල පවතින) සහ සියලූ ආත්මයන් ඇතුලත් (සාකල්‍යය) ලෙස හදුන්වයි. විෂ්ණු දෙවියන්ව “භගවත්“ නමින් ද හඳුන්වන අතර එහි සංස්කෘතික තේරුම සියළු භාග්‍ය අයත් කර ගන්නා බවයි. විෂ්ණු දෙවියන් සතු දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,

  • සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
  • ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය.
  • කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කිරිමේ ඇති ශක්තිය.
  • ඔහුගේ කැමැත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව.
  • වීර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක්‍රම මගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය.
  • තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක ශක්තිය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව. (උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලෙනි)

විෂ්ණු දෙවියන්ගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණු දෙවියන් සම්බන්ධව වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. ඍග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.

  1. ^ Wendy Doniger (1999). Merriam-Webster's Encyclopedia of World Religions. Merriam-Webster. p. 1134. ISBN 978-0-87779-044-0.
  2. ^ Editors of Encyclopaedia Britannica (2008). Encyclopedia of World Religions. Encyclopaedia Britannica, Inc. pp. 445–448. ISBN 978-1-59339-491-2. {{cite book}}: |author= has generic name (help)
  3. ^ a b Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase Publishing. pp. 491–492. ISBN 978-0-8160-7564-5.
  4. ^ Muriel Marion Underhill (1991). The Hindu Religious Year. Asian Educational Services. pp. 75–91. ISBN 978-81-206-0523-7.
"https://si.wikipedia.org/w/index.php?title=විෂ්ණු&oldid=662165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි