නුවරඑළිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නුවරඑළිය
—  නගරය  —
නුවරඑළි‍ය අවට ඇති තේ වගාව
අයත් වන රට ශ්‍රී ලංකාව
පළාත මධ්‍යම පළාත
පාලනය / පරිපාලනය
 • වර්ගය මහ නගර සභාව
 • නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ
 • උපනගරාධිපති
වර්ගප්‍රමාණය
 • සම්පූර්ණ 13 කිමී2 (5 වර්ග සැත)
ජනගහණය (2011)
 • සම්පූර්ණ 27,500
 • ඝණත්වය 3,197/කිමී2 (8,280/වර්ග සැත)
තැපැල් කා. කේතය 22200
ප්‍රාදේශීය දුරකථන කේ. 052

නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.

නුවරඑළියේ ඇති තවත් විශේෂ ගණයේ අංගයක් නම් එහි දී හමුවන යුරෝපිය ඵළවළු, පළතුරු හා මල් වර්ගයි. ‍මෙම නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වැවීම සිදු කරති. මේ ‘පුංචි එංගලන්තය’ පුරාම අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවළු ද රෝස, ඩේසි, ඇස්ටමේරියා වැනි මල් වර්ග ද රසවත් ස්ට්‍රෝබෙරි ද වැවූ බිම්කඩවල් පෙනෙන්නට තිබේ.

මේ කඳුකර පෙදෙසේ සෙමින් සීරුවට වැඩෙන තේ පදුරු වලින් ලෝකයේ අනර්ඝතම තේ වන වර්ගයක් වන ‘ඔරේන්ජ් පෙකෝ” තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙති.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

නුවරඑළිය නගර චතුරශ්‍රය
නුවරඑළිය අවට පිහිටා ඇති දියඇල්ලකි.

නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.

මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.

මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍

දේශගුණය[සංස්කරණය කරන්න]

මුහුදු මට්ටමේ සිට ඉතා ඉහල උසකින් මෙම ප්‍රදේශය පිහිටා ඇති හෙයින් නුවරඑළියේ පවතින්නේ ශ්‍රී ලංකාවේ පහත් බිම් වලට වඩා වැඩි ශීත දේශගුණයකි. එහි මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16 කි  . ශිශිර කාලයට අයත් මාස වලදී (ජනවාරි සිට මාර්තු), රාත්‍රී කාලයට මෙහි අධික ශීත කාළගුණයක් ඇති අතර හිමිදිරියේ දී මල් තුහින ද ඇතැම් දිනක දැකිය හැකි වෙයි. මෙවැනි දිනක අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩු වෙයි. එසේම මෙම කාලයේ ඉර මුදුන් වන වේලාවට අධික ලෙස උණුසුමක් ද ඇති ‍වේ. මෙම අගය ඇතැම් දිනක සෙල්සියස් අංශක 26 ඉක්මවයි.

මාර්තු සහ අප්‍රේල් මාස වල ප්‍රථම අන්තර් මෝසම් වර්ෂාව සක්‍රිය වන අතර මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වේ. මෙම කාලයේ දී රැයක් දවාලක් වෙනසකින් තොරව ප්‍රවේගකාරී නිරිතදිග සුළං ප්‍රවාහ සමග වර්ෂාව ඇද හැලෙන අතර ඇතැම් විටක කටුක තෙත බරිත කාලගුණයක් පවතී. සූර්යයාලෝකය පවතින දින ගණන සාමාන්‍යයෙන් මාසයකට දින 5-6ක් පමණ වෙයි.

ඔක්තෝම්බර් සහ නොවැම්බරයේ දී දෙවන අනත්ර් මෝසම සක්‍රිය වන අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊශානදිග මෝසම සක්‍රීය වෙයි. මෙම කාල වලදී සාමාන්‍යයෙන් අනෙක් කාල වලට වඩා වර්ෂාපතනය වැඩිය.

සැණකෙළි[සංස්කරණය කරන්න]

සිංහල හා දෙමළ අවුරුදු සමය එළඹෙන අප්‍රේල් මාසයේ දී මෙම නගරය වෙනදාට වඩා කලබලකාරී වේ. ඒ මන්ද යත් අප්‍රේල් මාසයේ මෙහි පැවැත්වෙන වසන්ත සැණකෙලි සමය නිසාය. මෙම වසන්ත සැණකෙලි සමයේ සමාරම්භක උත්සවය වාර්ෂිකව අප්‍රේල් 1වනදා යින් නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන අතර එය නගරයේ පාසල් වලට අයත් තූර්ය වාදක කණ්ඩායම් දැක්මකින් හැඩවේ.

මෙසමයේ ආකර්ෂණිය දෑ අතර මෝටර් රථ ධාවන තරඟ, තුරග තරඟ, වසන්ත මල් දැක්ම, රාත්‍රී සැණකෙලි, ඡායාරූප ප්‍රදර්ශණ ආදිය වේ. මෝටර් රථ ධාවන තරග පැවැත්වෙන්නෙ මාගස්තොට හා රදැල්ල කන්දේ ය. බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්නේ ‘නුවරඑළිය රෙඩ් රෝස්’ හා ග්‍රෙගරි වැව් ඉවුරේ පැවැත්වෙන 4x4 'ලේක් ‍ක්‍රොස්’ තරඟයි. ඵහි උච්චතම අවස්ථාව වන්නේ පරලෝම 9 (මීටර 1811) ආණ්ඩුකාර කුසලානයයි. මීට අමතරව විවිධ බඩු බාහිරාදිය සහ ආහාර පාන මිලදී ගත හැකි වෙළඳසැල් ආදියත් නගරය පුරා දක්නට ලැබේ.

සංචාරක ආකර්ෂණ[සංස්කරණය කරන්න]

ලෝකාන්තයේ සිට දසුනක්
සීතා අම්මාන් කෝවිල, හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි
  • හෝර්ටන් තැන්න - හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ට ඇතුළු වීමට ඇති මුලික නගරය ද නුවරඑළිය නගරයයි. හෝර්ටන් තැන්න විවෘත තෘ‍ණ වන ලැහැබක් සහිත වන ජිවි කලාපයකි. දිවියා,ගස් ගෝනා සහ ඒක දේශික සත්වයෙකු වන කළු වඳුරා ද ඒක දේශික කඳුකර කුරැල්ලන් වන ශ්‍රී ලංකා සිතැසියා සහ ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා මෙහිදි දැක ගත හැකි සත්ව විශේෂයන්ය.
  • ලෝකාන්තය - තවද දෙස් විදෙස් ආකර්ශණය දිනා ගත් ලෝකාන්තය අයත් වන්නේ හෝර්ටන් තැන්නටම වේ. මෙය මීටර් 1050 බෑවුමක් සහිත ප්‍රපාතයක් වන අතර ප්‍රපාතයේ දර්ශණය වන්නේ බලංගොඩ නගරයයි.
  • බේකර්ස් ඇල්ල - බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.
  • ග්‍රෙගරි වැව - නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.
  • ලවර්ස් ලීප් ඇල්ල - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.
  • සීතා අම්මාන් කෝවිල - හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට හක්ගල උද්භිද උද්‍යානය හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.
  • නුවරඑළිය තැපැල් කාර්යාලය - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි තැපැල් කාර්යාලය මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.
  • වික්ටෝරියා උද්‍යානය - නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයක් වේ. 1987 වර්ෂයේ යෙදී තුබුණු වික්ටෝරියා රැජිනගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය වික්ටෝරියා උද්‍යානය ලෙස නම් කොට තිබේ. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා, කායුරු තිරසිකායා, ගෝමර තිරසිකායා, ලය කායුරු වී කුරුල්ලා, කාෂ්මීර රත් මැසිමාරා ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක.
  • ගැල්වේ කුරුලු උයන - ගැල්වේ කුරුළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.

වෙනත්[සංස්කරණය කරන්න]

  • විලියම් රොජර්ස් සොහොන - ගොල්ෆ් පිටියක කෙලවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එක් විෂේෂ ස්ථානයක් වේ[1]. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලිඇතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රැත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.

නගරයේ ආකර්ෂණිය අනෙකුත් දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය, කන්දේ ඇල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන මං පෙත් තරණය ආදිය මින් සමහරකි .

මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[2] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [3] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [4] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.

සිතියම්[සංස්කරණය කරන්න]

බාහිර සබැදි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=නුවරඑළිය&oldid=339362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි