සීදූව
සීදුව Seeduwa | |
---|---|
උපනගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
වේලා කලාප | +5.30 |
සීදූව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගමුව අසල පිහිටි උප නගරයකි. එය කොළඹ මීගමුව A03 මාර්ගයේ පිහිටා ඇත.
සීදූව කොළඹට E003 මාර්ගය හරහා 20.6 km (12.8 mi) ද, A03 මාර්ගය හරහා 18.7 km (11.6 mi) ද උතුරින්, කටුනායකට දකුණින්, ජා ඇළට උතුරින්, රද්දොළුවට බටහිරින්, හා මීගමුව කලපුවට නැගෙනහිරින් පිහිටා ඇත. සීදුව 12.065 km2(4.658 sq mi) ක වපසරියකින් යුක්ත ය. 2012 වන විට එහි බහුතරය රෝමානු කතෝලික, මෙතෝදිස්ත හෝ බෞද්ධ වූ 38,355ක ජනගහනයක් විය.
නාම නිෂ්පත්තිය
[සංස්කරණය]"සීදුව" නාමය සෑදුණු ආකාරය පිළිබඳව මත හතරක් වේ.
මෙහි දී "දූව" හෙවත් "දූපත" යන්න මෙම ප්‍රදේශය දඬුගම් ඔයෙන් (අත්තනගලු ඔයෙන්), ඇළ මාර්ගවලින් හා කුඹුරුවලින් වට වී තිබීම නිසා යෙදෙන්නට ඇත. මත හතරින් සාකච්ඡා කෙරෙනුයේ ආරම්භයේ ඇති "සී-" යන්න සම්බන්ධයෙනි.
- මෙය සිංහයන් සිටි දූව > සිංහ දූව > සීදුව යනාකාරයෙන් මෙහි සිංහයන් සිටි බවට ඇති මතවාදයක් සමඟ හට ගන්නට ඇතැයි මතයක් ද ඇත. නමුත් ක්‍රි.පූ. 37,000ට පසු මෙහි සිංහයන් සිටි බවට සාක්ෂි නැත්තෙන් එම මතය බැහැර වේ.
- මෙම ප්‍රදේශය 5වන බුවනෙකබාහු රජ සමයේ දී සිංහ නම් රදලයෙකුට පාලනය කිරීමට පවරා දීම නිසා සිංහගේ දූව > සිංහ දූව > සීදුව ලෙස සෑදී ඇති බවට තවත් මතයකි.
- මෙම ප්‍රදේශයේ දූපත් සතරක් (ඇතුල්ඕවිට, මැද්දෙගොඩ, වේන හා මහරගොඩැල්ල) වටේට පිහිටි නිසා මෙය සිවු දූපත් > සීදුව ලෙස සදෙන්නට ඇති බව තවත් මතයකි.
- මෙම ප්‍රදේශය සශ්‍රීක ප්‍රදේශයක් වූ නිසාවෙන් සිරිදුව > සීදුව ලෙස සෑදී ඇති බව තවට් මතයකි.
ඉතිහාසය
[සංස්කරණය]මෙම ප්‍රදේශය පිළිබඳව ප්‍රථම සඳහනක් ඇත්තේ මෙම ප්‍රදේශය 5වන බුවනෙකබාහු රජු විසින් සිංහ නම් වූ රදල ප්‍රධානියෙකුට ප්‍රදානය කර ඇති බවයි.
සීදුව මුහුදුබඩ තීරයට ආසන්නයෙන් පවතී නිසා මෙම ප්‍රදේශයේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ ආභාෂයන් දැකිය හැක. අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි පැරණි ඕලන්ද කුලුන එවැන්නකි. 1890දී සීදුවේ රෝමානු කතෝලික දේවස්ථානය ඉදිකර ඇති අතර ඊට පෙර එය පොල්අතු මඩුවක් තුල ඉදිකර තිබී ඇත.
විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවේ පිහිටුවීම හා සමඟ මෙම ප්‍රදේශයට විශේෂ තැනක් හිමි විය. ඒ එය කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයත්, ඒකල කර්මාන්තපුරයත් අතර පිහිටීම හේතුවෙනි. එමනිසා මෙම ප්‍රදේශය ජනාකීර්ණ විය.
භූගෝලීය සාධක
[සංස්කරණය]සීදුව දකුණින් හා නැගෙනහිරින් දඬුගම් (අත්තනගලු) ඔයෙනුත්, බටහිරින් මීගමු කලපුවටත් සීමා වී ඇත. එය ප්‍රධාන වශයෙන් ම භූමියෙනුත්, වෙල්වළිනුත්, කඩොලාන පරිසරයෙනුත් සංයුක්ත ය. දඬුගම් (අත්තනගලු) ඔය හා ඉන් එන ඇලක් වූ දික්වෙල ඇළ ප්‍රදේශයේ ජල ප්‍රදේශ ලෙස පවතී. ගඟ හා ඇළ වටකොට වෙල් ද, කලපු මායිමේත් දඬුගම් (අත්තනගලු) ඔය මෝයේත් කඩොලාන පරිසරයන් ද දක්නට හැක. භූගත ජල මූලාශ්‍ර පිහිටීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ම භාවිතයට ගනුයේ භූගත ජලයයි.
දේශගුණය
[සංස්කරණය]සීදුවේ පවතින්නේ මෝසම් නිවර්තන දේශගුණයකි. සීදුවේ උෂ්ණත්වය වර්ෂය පුරාවට ම සාමාන්‍ය ලෙස පවතී. මැයි හා ඔක්තෝබර් මාසයන්ගේ උපරිම උෂ්ණත්වයක් පවතී. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය 29.5 °C (85.1 °F) කි.
පාලනය
[සංස්කරණය]1970ට පෙර, සීදුව පාලනය කරනු ලැබූයේ ආඬිඅම්බලම ගම් සභාව යටතේ ය. 1970 සිට එය කටුනායක සීදුව නගර සභාව පිහිටුවා ඒ යටතේ පාලනය කරන ලදී. එහි සභාපතිවරයාව වසර 5කට වරක් ප්‍රාදේශීය සභා ඡන්දයෙන් තෝරා පත් කරගනු ලැබේ. 2018 ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් හිමි කරගත්ත ද එක්සත් ජාතික පාක්ෂික දේශපාලක්ඥයෙකු වූ සරත් පීරිස් මහතා සභාපති ලෙස පත් විය.
බෙදා ඇති ප්‍රදේශ
[සංස්කරණය]සීදුව ප්‍රදේශ 6කින් සමන්විත ය. ඊට කටුනායක සීදුව නගර සභාවේ ආසන 9ක් ඇතුලත් ය.
- සීදුව
- උතුරු සීදුව
- දකුණු සීදුව
- අමන්දොළුව
- බණ්ඩාරවත්ත
- බටහිර බණ්ඩාරවත්ත
- නැගෙනහිර බණ්ඩාරවත්ත
- අම්බලම්මුල්ල
- මූකලන්ගමුව
- බටහිර මූකලන්ගමුව
- නැගෙනහිර මූකලන්ගමුව
- ලියනගේමුල්ල
- උතුරු ලියනගේමුල්ල
- දකුණු ලියනගේමුල්ල
ආර්ථිකය
[සංස්කරණය]19වන ශතවර්ෂය වන විට සීදුවේ ආර්ථිකය පදනම් වී තිබුනේ පොල් හා කුරුඳු නිෂ්පාදනය, හා වඩු කර්මාන්තය වැනි එවායෙනි. වැසියන් ඒවායේ තම රැකියා කළහ.
1977දී ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික වෙනස්කම් නිසා මෙම ප්‍රදේශයේ ආර්ථිකයේ සැලකිය යුතු වෙනසක් සිදු විය. එමනිසා මෙම ප්‍රදේශය ආයෝජන ප්‍රවර්ධන කලාපය, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ, හමුදා කඳවුරු, රාජ්‍ය ඉස්කාගාර සමාගම මෙම ප්‍රදේශයේ පිහිටුවන ලදී. ආයෝජන මණ්ඩලයේ සමාගම් පිහිටුවීම හා සමඟ මෙම ප්‍රදේශය ජාතික වැදගත්කමකින් යුතු වූ නගරයක් බවට පත් විය.
දකුණු අන්තයේ පිහිටි අම්බලම්මුල්ල ප්‍රදේශයේ තවමත් කුඹල් කර්මාන්තය ජනප්‍රිය ව පවතී.
ආගම්
[සංස්කරණය]17වන ශතවර්ෂයට පෙර මෙහි වැඩි පිරිස බෞද්ධයෝ වූහ. ගඟේ තොටුපල ආසන්නයේ තිබූ නුග ගසක් යට තිබූ සන්හිඳක් ඊට සාක්ෂි සපයයි.
17වන ශතවර්ෂයෙන් පසුව රෝමානු කතෝලික පූජකවරුන් ධර්මය දේශනා කිරීමට පැමිණීමත් සමඟ බොහෝ පිරිසක් කතෝලික දහම වැළඳගත්හ. 1890දී නිර්දෝෂ දේවමාතාවන් වහන්සේට කැප කර පල්ලියක් සාදා ඇත. එය සෑදීමට පෙර පල්ලිය වෙනුවට පොල්අතු මඩුවක් පිහිටා තිබී ඇත.
1814දී මෙතෝදිස්ත පූජකවරුන් මෙම ප්‍රදේශයේ පල්ලියක් පිහිටුවා ඇති අතර සැලකිය යුතු පිරිසක් මෙතෝදිස්ත දහම ද වැළඳගෙන ඇත.
20වන සියවස මුල් භාගයේ දී කතෝලිකයන් හා මෙතොදිස්තයන් අතර එතරම් හොඳ සම්බන්දතා පවතී නැත. 1946දී මෙතෝදිස්ත නායකයෙකු වූ ගරු ඩෙන්සිල් දි සිල්වා, මෙම ප්‍රදේශයේ පැවති ආගමික භේද තරමක් දුරට මැඩලූ කිසිඳු ආගමික භේදයකින් තොරව සැමට සහභාගී විය හැකි වූ තරුණ සංගමයක් පිහිටවූහ. වර්තමානයේ දී සියලු දෙනා සමඟින් ජීවත් වෙති.
වර්තමානය වන විට බහුතර ජනගහනය කතෝලික වන අතර මෙතෝදිස්ත, බෞද්ධ හා අනෙක් ක්‍රිස්තියානි ආගමිකයින් ද ජීවත් වෙති.
ආගමික වැදගත්කමක් ඇති ස්ථාන
[සංස්කරණය]බෞද්ධ
[සංස්කරණය]- ශ්‍රී සුගතාරාම විහාරය - මූකලන්ගමුව
- සුවිසුද්ධාරාම විහාරය - ලියනගේමුල්ල
- ශාන්තාරාම විහාරය - මූකලන්ගමුව
- ගංගාරාම විහාරය - අම්බලමුල්ල
- බණ්ඩාරවත්ත බෝධිය - බණ්ඩාරවත්ත
- මහවත්ත බෝධිය - මූකලන්ගමුව
රෝමානු කතෝලික
[සංස්කරණය]සීදුව මීසම
[සංස්කරණය]- නිර්දෝෂ දේවමාතා දෙව්මැදුර - සීදුව
- ශු. ප්‍රැන්සිස් සාලෙස් මුනි දෙව්මැදුර - අමන්දොළුව
- ශු. සෙබස්තියන් මුනි දෙව්මැදුර - ජයවර්ධනපුර
- ශු. ජූඩ් මුනි දෙව්මැදුර - කුරුලුකැලේ
බණ්ඩාරවත්ත මීසම
[සංස්කරණය]- දයාකම්පාල මෑණියන්ගේ දෙව්මැදුර - බණ්ඩාරවත්ත
ලියනගේමුල්ල මීසම
[සංස්කරණය]- ශු. අන්තෝනි මුනි දෙව්මැදුර - ලියනගේමුල්ල
මෙතෝදිස්ත
[සංස්කරණය]- සීදුව මෙතෝදිස්ත දෙව්මැදුර
- රාජපක්ෂපුර මෙතෝදිස්ත දෙව්මැදුර
- ලියනගේමුල්ල මෙතෝදිස්ත දෙව්මැදුර
- මැද්දෙගොඩ මෙතෝදිස්ත දෙව්මැදුර
- ජයවර්ධනපුර මෙතෝදිස්ත දෙව්මැදුර
ගමනාගමනය
[සංස්කරණය]සීදුව A03 කොළඹ මීගමුව මාර්ගයේ පිහිටා ඇත. කොළඹ සිට උතුරු දෙසට දිවෙන බස් මාර්ග බොහොමයක් සීදුව හරහා වැටී ඇත. පුත්තලම දුම්රිය මාර්ගය සීදුව හරහා ගමන් ගන්නා අතර සීදුව හා ලියනගේමුල්ල යන දුම්රිය ස්ථාන සීදුවේ පිහිටා ඇත. මුහුදු ගුවන් යානා තොටක් ද දඬුගම් (අත්තනගලු) ඔයේ පිහිටුවා ඇත. අලුතින් ඉදි කරන ලද E003 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සීදුව හරහා වැටී ඇත.
අධ්‍යාපනය
[සංස්කරණය]සීදුවේ පාසල් මීගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. පහත දැක්වෙන්නේ සීදුව ප්‍රදේශයේ පිහිටි පාසල් කිහිපයකි:
- අමන්දොළුව රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය
- අමන්දොළුව මහ විද්‍යාලය
- බණ්ඩාරනායක විද්‍යාලය
- දවිසමර මහ විද්‍යාලය
- සීදුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලය
- සීදුව රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය
- ශ්‍රී ජෝතිරතන විද්‍යාලය
- සාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලය
ක්‍රීඩා
[සංස්කරණය]සීදුව වොලිබෝල් ක්‍රීඩාවට රට පුරාම ජනප්‍රිය ය. දවිසමර විද්‍යාලය එවන් දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයන් බිහිකිරීමෙන් ඉදිරියෙන් සිටී. මෑත අතීතයේ ජනප්‍රිය වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙසේ ය:
2017 දී 18වන වරට පැවැත්වුණු ආසියානු කනිෂ්ඨ පිරිමි (21න් පහල) වොලිබෝල් ශූරතාවයේ දී ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායමේ සිටි සීදුවේ ක්‍රීඩකයින්:
- රෙහාන් මධුශංක ප්‍රනාන්දු (දවිසමර ම.වි.)
- මිහිරංග උදයකුමාර (දවිසමර ම.වි.)
- චාමික සඳරුවන් (දවිසමර ම.වි.)
2017 මියන්මාර සංචාරයට සහභාගී වූ කණ්ඩායමේ සිටි සීදුවේ ක්‍රීඩකයින්:
- දිනිඳු රුචින්ත ලක්ෂාන් තිසේරා (දවිසමර ම.වි.)
- පසිඳු සඳරුවන් (දවිසමර ම.වි.)
- ඩිලංක මදුරංග (දවිසමර ම.වි.)
ක්‍රිකට් හා එල්ලේ ක්‍රීඩා ද සීදුවේ ජනප්‍රිය ය.
වැදගත් පුද්ගලයින්
[සංස්කරණය]- විජය කුමාරණතුංග (දේශපාලඥ/නළු)
- හෙන්රි කල්දේරා (ගායක/ගීත රචක/සංගීතඥ)
- ජීවන් කුමාරණතුංග (දේශපාලඥ/නළු)
- අයිවෝ ඩෙනිස් (ගායක / ගීත රචක )