පානදුර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
පානදුර
රටශ්‍රි ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
 • ගිම්හානය (DST)Summer time (UTC)

පානදුර යනු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ කොළඹට දකුණින් කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.

ඉතිහාසය[සංස්කරණය]

කොළඹ නගරය ආරම්භ විමටත් පෙර ඉතිහාසයේ සදහන් වෙ.15-16 සියවස් වල සිට මෙම නගරය ගැන තොරතුරු ඓතිහාසික මුලාශ්‍ර වල සදහන් වෙ.එකල පානදුරයෙහි වරායක් තිබු බව පෙනෙ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිගේ මූලිකත්වයෙන්, 19 වන සියවසේ නව බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට දායකවූ, පානදුරාවාදය ඓතිහාසික විවාදය පැවැත්වූ ස්ථානය වේ.

රයිගම් කෝරළයට අයත් පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව යන පත්තු දෙකම පවතින්නේ වත්මන් පානදුර ප්‍රාෙද්ශීය ලේකම් බල කොට්ටාසය තුළය. අතීතයේ රයිගම් රාජධාණියේ ප්‍රධානතම වරාය ලෙසින් පානදුර වරාය වැජබිණ. වරක් රයිගම අග නගරයට එල්ලවූ චීන ආක්‍රමණයක් එල්ලවූයේද පානදුරයේ සිටය. වරක් පානදුරයට පැමිණි යාපනයේ ආර්යචක්ක්‍රවර්තීගේ සේනාවන්. රයිගම පාලකයා වූ ප්‍රභූරාජ මහා අලකේෂ්වරයන් විසින් ගොරකානේදී පරාජයට පත්කළේය. රයිගම් කෝරළයේ එක් ඉමක් පානදුර කොරළ වැල්ලෙන් අවසන්වේ. කෝරළේ ඉමේ වැල්ල කොරළ වැල්ල වී ඇත. බස්නාහිර පළාතෙහි කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරලයෙහි තලිපිටිය දෙබැද්දේ පිහිටි පානදුර තොටමුණ “පානදුර විජය භූමිය” ලෙස වරෙක ඕල්කට්තුමා විසින් හදුන්වා දී ඇත. පාෂාණ දුර හෙවත් ගලදුර ලෙසද එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් “පන්තෙයි තුරෙයි” යන අර්ථයෙන්ද පානදුර තොටමුණ හැඳින්වේ.

“THE BOOK OF CEYLON” ග්‍රන්ථය පානදුරය පිළිබඳ පහත සඳහන් මනස්කාන්ත විග්‍රහය ඉදිරිපත් කෙරේ.

“පානදුරය යනු මොරටුවේ ගති ලක්ෂණ බොහොමයක් කැටිකරගත් නගර වැසියන් 2000ක් පමණ වාසය කරන නගරයකි. එහි ඇති පෘථුල ගං මෝයවල්, තැනින් තැන පිහිටා ඇති කුඩා දුපත් මගින් බැලු බැල්මට පෙනෙන්නාවු භූමි ප්‍රදේශයට සුවිශේෂිත වු චමත්කාරයක් එකතු කොට ඇත. එම දුපත් ජලචර පක්ෂීන් රාශියකට විවේකස්ථානය වී ඇති අතර ඉතා උත්කෘෂ්ඨවත් තුරුලතා ආදියෙන්ද වැසී වතී. ගමන් කරන මගීන් දුම්රිය නැවතුම්පොල අසලින් ඇති ගං මෝය හරහා වැටී ඇති පාලමේ සිට පිටතින් පෙනෙන සුන්දර දුපත දෙස බැලිය යුතුමය”.

පානදුරයේ ප්‍රසිද්ධිය සමග සම්බන්ධ වු ඉතා රසවත් ඉතිහාසයක අවස්ථා 02 ක් පවතී. මෙම දෙකම සටන් හා බැඳී පවතී. පළමු සටන සිදුවුයේ 12 වන ශත වර්ෂයේදීය. පොළොන්නරු මහ පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රසිද්ධි සේනාධිපතිවරයෙකු වු අලකේශ්වරට ඉන්දියානු ආක්‍රමණයිකයින්ට පානදුරේදී මුණ ගැසී පරාජය කරන ලදී. දෙවන අවස්ථාව වනුයේ පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ආධිපත්‍ය සඳහා 17 වන ශත වර්ෂයේදී සිදුවු සටනයි. කළුතර සිට කොළඹට තුන්දහසක පිරිසක් ගමන් කරවමින්, ලන්දේසීන් පානදුර ගඟ තරණය කරන ලදී. පසු අවස්ථාවේදී වටකොට එයින් 500ක් පමණ දෙනා මරා දමන ලදී. ගැලවුණු පිරිස නැවතත් කොළඹට පැමිණිය නමුත් එවැනි දුක්ඛිත තත්වයකදී ආපසු පැමිණි අයගෙන් භාගයක් පමණ දෙනා ඔවුන්ගේ තුවාල හේතුවෙන් මරණයට පත්වුහ.

පානදුරයට සම්බන්ධව ඉතාම වැදගත් හා සිත්ගන්නා වු සුළු ඵෙතිහාසික පුරාවෘත්තය වන්නේ 1873 අගෝස්තු 6 හා 28 දිනවල පවත්වන ලද පානදුරවාදයයි. පානදුර රන්කොත් විහාරය අසල ජෙරමියස් දියෙස් මැතිතුමාගේ දොඹගහවත්ත නැමැති පෞද්ගලික ඉඩමේදී මෙම වාදය පවත්වන ලදී. මේ වු කලී සියවස් තුනකට වැඩිකලක් රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මිෂනාරීන්ගේ හා ක්‍රිස්තු පාලනය යටතේ සැහැසිකම් හා තාඩන පීඩන වලට ලක්වු බෞද්ධයන් සිට ජන්ම භූමියේදී නිදහසේ තම ආගම ඇදහීමට ගෙන ගිය ප්‍රබල සටනේ එක් ජයග්‍රාහී අවස්ථාවකි.

පානදුරයෙහි ඵෙ‍තිහාසික පුරාවෘතාන්තය සැබවින්ම සිත් ගන්නා සුළුය. කුඹුරක සීසාමින් සිටි ගොවීන් පිරිසකට රන් පුහුලක් හමුවු ස්ථානය හිරණය හෙවත් හිරණ වේ. ශ්‍රී ජයවර්ධනපුර රාජධානි සමයේ විශේෂයෙන්ම මාලිගාව ආලෝකමත් කිරීමට හා දළදා පුද පුජා පැවැත්වීමට තෙල් සැපයු ගම්වරය තෙල් පිටිය හෙවත් තල්පිටිය විය. එහි වර්තමානයේ පවා තෙල් පිදීමට භාවිතා කල සෙක්කු බහුලව දැකිය හැකිවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජසිංහ රජතුමාගේ මහා අධිකාරම් කෙනෙකු වු මොල්ලිගොඩ මහා අධිකාරම්ගේ ඥාති පිරිසක් පදිංචිවු පෙදෙස මොල්ලිගොඩ විය. “මෞලි” යනු ඔවුහු යන අදහසයි. ඔටුන්න රජතුමාගේ හිස මත තබන උතුම්ම ආභරණයකි. ඒ අනුව උතුම් පරපුරකින් මේ ගම ආරම්භ වී ඇත. වෙදදුව , වාද්දුව වු බව ජනතාවගේ විශ්වාසයයි. තන්තිරිමුල්ල ග්‍රාමයට එහි නම පටබැදුනේ රජ කාලයේ බදු මුදල් එකතු කිරීමට තන්තිරිගේ, කළුතන්තිරිගේ හා ගාර්දිය තන්තිරිගේ යන පවුල් මුල් කරගෙන බදු එකතු කරන්නන් පත්කල බැවිනි. පෘතිගීසි පාලන සමයේ කුරුප්පු නමැති සෙන්පතියෙකු විසින් පාලන කටයුතු කල ප්‍රදේශය කුරුප්පුමුල්ල විය. එමෙන්ම රයිගම් බණ්ඩාරයන් කරත්ත වලින් ගමන් කරමින් සිටියදී රාත්‍රිය උදාවීම නිසා කරත්ත නවතා තැබු ස්ථානය ගොනාබැදිදුව විය. එම රයිගම් බණ්ඩාරයන්ගේ රජවාසලට මාල සෑදු අය සිටි ගම්මානය මාලමුල්ල විය. මාලමුල්ල පිළිබඳ තවත් අර්ථකථනයක් වන්නේ මලලගේ, මලලනායක, මලලසේකර වැනි මාල වචනය ඉදිරියට ඇති වාසගම් සහිත පදිංචිකරුවන් පැමිණීම නිසා මලලමුල්ල මාලමුල්ල වු බවය.

බස්නාහිරි පලාතේ පානදුර සහ කළුතර යන නගරවලට මැදිවී ඇති වාද්දුව නගරයේ ඉතිහාසය කෝට්ටේ යුගය දක්වා දිවයන අයුරු පෙනේ. ඒ සමයෙහි වාද්දුව ප්‍රදේශය පාලනය වුයේ කෝට්ටේ රාජකීයයන් අතිනි. අපේ සංදේශ සාහිත්‍ය ඒ බව සනාථ කරයි.

නුතන පාලන නීති ඔස්සේ වාද්දුව ප්‍රදේශය විග්‍රහ වන්නේ පානදුර තොටමුණෙහි රයිගම් කෝරලයේ මුංවත්තේ බාගේ පත්තුවට අයත් ප්‍රදේශයක් හැටියටය. ප්‍රදේශයේ බෞද්ධ ශාසනික ඉතිහාසය 19 වන සියවසේ මුල්භාගයේ සිට සඳහන්වේ. එකල තිබුණු ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානය වුයේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය හෙවත් දවටගහ විහාරයයි. එහි වැඩ විසු වාද්දුවේ ධම්මානන්ද මහාහිමිපාණන් වහන්සේට කොළඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබුනේ ක්‍රි.ව. 1853 යැයි එම විහාර ඉතිහාසයේ සඳහන් වේ. උන්වහන්සේගේ ගුරු පරම්පරාව වැලිවිට පිණ්ඩපාතකි අසරණ සරණ සිරි සරනංකර සංඝරාජ මාහිමිපාණන්වහන්සේගේ කාලය දක්වා විහිදී යයි.

වාද්දුව නමින් හැදින්වෙන විශාල් බිම්පෙදෙස දැන් ගම් නියම්ගම් රාශියකින් යුක්තවේ. තල්පිටිය, මඩවිල්ගොඩ, මහාවාද්දුව, කුඩාවාද්දුව, පොහොද්දරමුල්ල, පොතුපිටිය, මැලෑගම, මැස්ටිය, මාවල යන නම් ඒ අතර වේ. විශාල වෙල්ලයාය වලින් වටවු හෙයින් “දුව” ගනයට වැටෙන ගෝනදුව, කුමාරදුව, කවුඩුදුව, දෙල්දුව, නයිදුව සහ කොරොස්දුව වැනි තැනිතලා පෙදෙස්ද මොරොන්තුඩුව වැනි ව්‍යාප්ත බිම් පෙදෙස්ද වාද්දුවට අයත්වේ. මෑත ඉතිහාසයේ මෙම බිම් පෙදෙස ප්‍රසිද්ධව තිබුණේ සන්නිපාත, කැඩුම්බිදුම්, ග්‍රහණි, මාන්දම්, අංශභාග, වාතරෝග, වන, පිළිකා මෙන්ම දියවැඩියාව රෝග රාශියක් පිළිඳ විශේෂඥතාවයක් දැක්වු පරම්පරා රාශියක් නිසාය.

හත්වෙනි මිහිදු රජුගේ පාලනයෙන් පසුව රට පාලනය පොලිස් අතට පත්වු අතර රජරටින් පැනගිය සිංහල පුතුන් බොහොමයක් රුහුණු සහ මායා රටේදී සිය රැකවරණය සලසා ගත්හ. මායා රටේ රැකවරණය සැලසු ප්‍රදේශ අතරින් මුල් තැනක් ලැබුවේ පානදුර ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය තුන්පැත්තක් මහ ජලාශයන්ගෙන් වටවී තිබීම එයට මුලික හේතුව විය. මෙම ආරක්ෂිත ප්‍රදේශය මුල්කොට පසුකාලීනව විශාල බලකොටුවක් ඉදිවිය. එම බලකොටුව ආශ්‍රිතව ඉදිවු ආරක්ෂිත තොටුපල දිග්ගල ප්‍රදේශයේ ඉදිවු බවටත් පසුකාලීනව දිග්ගල මිටියාවත ප්‍රදේශයේ රජමැදුරක් පැවති බවටත් ‍‍ෙළුතිහාසික සාක්ෂි ලැබී ඇත.

පසුකාලීනව මිරියවත්ත නමින් හඳුන්වනු ලැබු මිරියවත්ත රජමාළිගාව මුල්කොට තම බලය තහවුරු කරගත් මහකිත් කුමරු එකල පැවති සොලී බලය පලවා දමා ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සඳහා සිය ජීවිතය පරදුවට තබා සටනක් කරනු ලැබු මහ සෙනෙවියෙකි. “මහලැනකින්” නමින් මහවංශයේත් “මහලේ” නමින් රාජාවලියේත් සඳහන් වන මහකිත් සෙනෙවි සොලී බලය මර්දනය කර සිය රාජ්‍ය බලය තහවුරු කරගත් අතර උතුරු කළුතරදී ඔටුනු පලන් මෙතුමන් තුන් වසරක කාලයක් රාජ්‍ය පාලනයේ නිරත විය. තම පාලන සමයේදී සොලීන් සමඟ පැවති සටනකදී තම රට වැසියන් එකිනෙකාට විරුද්ධව සටන් වැදීම පිළිබඳව කලකිරීමට පත් මහකිත් සෙනෙවි සොලී වැසියන් සමුල ඝාතනය කිරීමෙන් පසු තම අසපතින්ම හිස සිඳගෙන මියගිය බවට ජනප්‍රවාදයේ සඳහන්වේ. මෙම විරෝධාර මහකිත් සෙනෙවියාගේ නිජභූමිය වන පානදුර ප්‍රදේශයේ ඉදිකළ ආදර්ශ ගම්මානය මහකිත්ගම විය.

පානදුර නගරයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවට බොහෝ සාක්ෂි ඇත. ක්‍රි.ව. 1175 දී මහපරාක්‍රමබාහු රජ මෙම නගරය ඉදිකළ බවත් ක්‍රි.ව. 1225 දී දෙවන මහ පරාක්‍රමබාහු රජු දේව ප්‍රතිරාජ ඇමතියන් ලවා මෙම නගරය දියුණු කළ බවත් එම රජු ඉදිකල පොල් උයන “උයන්කැලේ ” ලෙස භාවිතා වන බවත් පිළිගැනේ. පානදුර නල්ලුරුවේ විසු මානික්කුනිලාතූර් නම් දෙවන නල්ලුර් තූනෛයාර් ඇමතියා විසින් නැවත මෙම නගරය දියුණු කළ බවත් කියැවේ. ඇහැලේපොල මහ අධිකාරම් 1814 දී මෙම උයන්කැලේ ගමෙහි පදිංචි වු බවත් පරංගියා කොළඹ සිට රයිගම යන ගමනේදී මෙහි නවාතැන් ගත් බවටද සාක්ෂි ඇත.

ඵෙතිහාසික සාධක මෙන්ම ඇතැම් පාරසරික කරුණුද මෙම නම් පටබැදුමට හේතු සාධක වු බව පෙනේ. ගොවිපල වලින් කිරි නිෂ්පාදනය කල ප්‍රදේශය පට්ටිය විය. පුංචිදෙණියට එම නාමය ලැබුනේ පුංචි දෙණියක් පැවතීම නිසාය. කුඹුරු යාය වලින් වටවී ඇති බෙක්කක් සේ පිහිටීම හේතුවෙන් බෙක්කේගම වු බව ජනප්‍රවාදයේ ඇත. අම්බලමක් පිහිටි දුපත අම්බලන්දුව විය. මුලික ගමට මඳක් ඉහලින් වෙල් යායකින් වටවු ජනශූන්‍ය වු ගස්කොලං හා තුරුලතා වලින් පෝසිත හේනක හැඩය ගත් කොටස් හේනවත්ත විය. දෙමළ ව්‍යවහාරයේ නල්ල ඌර් බද්ධ වීමෙන් නල්ලුරුව හෙවත් හොඳගම ගොඩ නැගුණි. නාරංගස් බහුලව තිබීම නාරංපිටියේ ප්‍රධාන ලක්ෂණය විය. විශාල ගල්තලාවක් තිබීම හේතුවෙන් ගල්පොත්ත යන නම පටබැදුනි. කැලෑවෙන වටවු හේන මැදහේන වු අතර සුදුවැලි වලින් සමන්විත වු භූමිය සුදුවැල්ල විය. බටගස් වලින් පිරුණු කැලෑ පෙදෙස බටේලන්ද ලෙස ජනවහරයට ආ අතර ක්‍රිස්තියානි පල්ලියක් තිබුණු මංකඩ පල්ලියමංකඩ විය. වැවකට මායිම්ව පිහිටි නිසා වැව් කඩ වෑකඩ ලෙස ප්‍රචලිත විය. ගොරකා ගස් බහුලව තිබු නිසා ගොරකාන ගමට එම නම ලැබුණි. පත්තිනි මෑණියන් වෙනුවෙන් සෑදු කෝවිල තිබු කඳුගැටය කෝවිලගොඩැල්ල විය. අතීතයේ කටුරොද වලින් පිරුණු කැලෑ පෙදෙස වල් +ආන හෙවත් වලාන ලෙස භාවිතා විය.

පානදුර තොටමු‍ණෙහි “මුල්ල” යන්න බොහෝ ගම්වලට පටබැඳී ඇත. රෙදි සේදීම හා රඳා කුලයට අයත් පවුල් පදිංචි වීම හේනමුල්ල නිර්මාණය වීමට හේතුවිය. පල්ලිය මුල්ල පල්ලිමුල්ල විය. සරික්කාමුල්ල, හේනමුල්ල, පල්ලිමුල්ල, තන්තිරිමුල්ල, කුරුප්පුමුල්ල, මාලමුල්ල, වදුරාමුල්ල යන ගම්වලට ඉහලින් උස වැඩිම ගම් උඩහමුල්ල විය. මෙසේ පානදුර තොටමුණෙහි පිහිටි සෑම ගමකට පාහේ ‍ෙළුතිහාසික හෝ පාරම්පරික සාධක මුල් කොට බිහිවු බව පෙනේ. සියවස් සැපිරූ සද්ධර්මාලංකාර පිරිවෙණ පිහිටියේ පිංවත්ත ප්‍රදේශයේය. එදා එය කෙත්බිමකි. කෙත්බිම මැද කමත පිහිටියේය. මෙම කෙත්බිම අතීතයේ “මාලිමිටියාවත්ත” ලෙස හදුන්වන ලදී. කෙත්බිමෙහි පන්සලක් ඉදිකළ පසු එය පිංවත්ත විය. පුඤ්ඤවත්ථු ලෙස හඳුන්වන මෙහි තේරුම පුන්‍ය ක්ෂේත්‍රය යන්නය. මෙම පුන්‍ය ක්ෂේත්‍රය ආලෝකමත් කළ පිංවත්තේ සිරිසීලානන්ද නාහිමියන් , පොහොද්දරමුල්ලේ ඥානානන්දාභිධාන මහා නායක හිමියන් , කොස්ගොඩ ඥාණවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ පිංවත්තේ විමලකීර්ති හිමියන් පානදුර තොටමුණට පමණක් නොව මුළු රටටම ආදර්ශයක් විය.

ජන ගහණය හා සංස්කෘතිය[සංස්කරණය]

පානදුර නගරය 100,000 පමණ වු ජනතාවකට වාස භූමිය වේ.
පානදුර නගර‍යේ බහුතරයක් වු ජනතාවගේ ආගම වනුයේ බුදු දහමයි. නමුත් කතෝළික හා ඉස්ලාම් ආගමිකයන් සුළු පිරිසක්ද දැකිය හැකිය. පානදුරය දානපතියන්ගේ පුරවරය ලෙස හඳුන්වනු ලබයි. රටපුරා ප්‍රසිද්ධ කොස්මාමා යනුවෙන් විරුදාවලියෙන් පිදුම් ලැබූ පොන්නහැන්නදිගේ ආතර් වී දියෙස් දානපතියා උපන් ගම පානදුරයයි.

ආදර්ශ පාඨය[සංස්කරණය]

බෞද්ධ පුරවරය - පානදුර

එමෙන්ම "පුණර්ජීවනයේ නගරය" ලෙසින්ද හඳුන්වනු ලබයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]

ඛණ්ඩාංක: 06°42′48″N 79°54′15″E / 6.71333°N 79.90417°E / 6.71333; 79.90417

"https://si.wikipedia.org/w/index.php?title=පානදුර&oldid=488753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි