අමෙන්හොටෙප් I

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(Iවන අමෙන්හොටෙප් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

අමෙන්හොටෙප් I (/ˌæmɛnˈhəʊtɛp/[3]) හෙවත් පුරාතන ඊජිප්තු බසින් "jmn-ḥtp" හෝ "yamānuḥātap", අරුත "අමුන් සතුටට පත්කරන" හෙවත් අමෙනෝෆිස් I (/əˈmɛnəʊfɪs/[4]) නැතහොත් පුරාතන ග්‍රීක බසින් Ἀμένωφις යනුවෙන් හඳුන්වන්නේ, ඊජිප්තුවේ 18වන රාජවංශයේ දෙවන පාරාවෝවරයායි. ඔහු සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1526 සිට 1506 දක්වා රාජ්‍ය පාලනය සිදුකරන්නට ඇතැයි සැලකේ. ඔහු Iවන අහ්මෝස් රජුගේ සහ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ පුත්‍රයායි. නමුත් ඔහුට අවම වශයෙන් අහ්මෝස්-අන්ඛ් සහ අහ්මෝස් සැපෙයාර් ඇතුළු වැඩිමහල් සොහොයුරන් දෙදෙනකුවත් සිට ඇති නමුත් ඔවුන් සිහසුනට පත්ව නැත. කෙසේවෙතත්, Iවන අහ්මෝස්ගේ 17වන රාජ්‍යවර්ෂයත් ඔහුගේ මරණයත් අතර වර්ෂ අට තුළ, ඔහුගේ අනුප්‍රාප්තිකයා මියගිය හෙයින් අමෙන්හොටෙප් කිරුළහිමි කුමරු තනතුරට පත් විය.[5] අනතුරුව ඔහු වර්ෂ 21ක් රාජ්‍ය පාලනය සිදුකළේ ය.[1]

ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ ලිඛිත වාර්තා අල්ප වුවත්, පවතින සාධක අනුව මූලික අවබෝධයක් ලබා ගත හැක. සිය පියා යුධ ආක්‍රමණ මගින් ගොඩනැගූ රාජධානිය ඔහුට හිමි වූ අතර, නුබියාව සහ නයිල් ඩෙල්ටාවේ බලය ඊජිප්තුව යටතේ පැවතිය ද, නැගෙනහිර මධ්‍යධරණී පෙදෙසේ බලය ඔවුනට හිමිව තිබුණේ නැත. ඉහළ ඊජිප්තුවේ දේවස්ථාන ප්‍රතිනිර්මාණය කළ ඔහු, සිය සොහොන්ගැබ සිය මතකාගාර දේවස්ථානයෙන් වෙන්ව ඉදිකළේ ය. මෙය නව රාජධානියේ රාජකීය අවමංගල්‍ය ස්මාරක ක්ෂේත්‍රයේ විප්ලවයක් ලෙස සැලකෙයි. ඔහුගේ මරණින් පසු, ඔහු ඩේර් එල්-මෙදිනාහි ආරක්ෂකයා ලෙස දේවත්වයෙන් අදහන ලදී.[6]

පවුල[සංස්කරණය]

Iවන අමෙන්හොටෙප් යනු Iවන අහ්මෝස් රජුගේ සහ අහ්මෝස්-නෙෆටාරි රැජිනගේ පුත්‍රයා ය. ඔහුගේ වැඩිමහල් සොයුරන් වූ කිරුළහිමි අහ්මෝස් සැපෙයාර් කුමරු සහ අහ්මෝස්-අන්ඛ් ඔහුට පෙර මියගිය හෙයින් ඔහුව සිහසුනට නම්කෙරිණි.[7] බොහෝ විට අමෙන්හොටෙප් සිහසුනට පත්ව ඇත්තේ ලාබාල අවධියේ නිසා, ඔහුගේ මව වූ අහ්මෝස්-නෙෆටාරි රැජින විසින් කෙටි කාලයක්වත් සිහසුනෙහි වැඩබලන්නට ඇත.[8] මේ බවට සාක්ෂි ඩේර් එල්-මෙදිනාහි තීබානු සුසානභූමිය සඳහා කම්කරු ජනාවාසයක් ඉදිකිරීමට ඔහු මෙන්ම ඔහුගේ මවගේ නාමය ද අනුග්‍රහ වශයෙන් දක්වා තිබීමෙන් පැහැදිළි වේ.[8] ‍අමෙන්හොටෙප් සිය සොහොයුරිය වූ අහ්මෝස්-මෙරිටාමොන් සිය මහා රාජකීය බිරිඳ ලෙස පත්කොට ගත්තේ ය.[9] දහනවවන රාජවංශයේ ශිලාපුවරුවක සිට්කාමෝස් නැමැති වෙනත් බිරිඳක් පිළිබඳව ද දක්වා ඇත.[10]

මේ හැර Iවන අමෙන්හොටෙප් සහ සෙසු පවුලේ සාමාජිකයින් අතර පැවති සම්බන්ධය පැහැදිළි නැත. සාමාන්‍යයෙන් IIවන ආහොටෙප් ඔහුගේ බිරිඳක් මෙන්ම සොහොයුරියක වූ බව පැවසෙතත්,[9] වෙනත් න්‍යායන් අනුව ඇය ඔහුගේ මිත්තණිය විය.[10] IIවන ආහොටෙප්ට බිසවට දාව ඔහුට අමනෙම්හාට් නැමැති එක් පුත්‍රයකු සිටි බව සඳහන් වුවද, ඔහු ඉතා කුඩා වියේ දීම මියගොස් ඇත.[9] රජු සහ ආහොටෙප් අතර සම්බන්ධය අපැහැදිළි වුවද, මෙම කරුණ පිළිබඳ බොහෝ විද්වතුන් එකඟ වේ.[10] සිහසුනට උරුමකරුවකු නොවූ හෙයින්, අමෙන්හොටෙප්ගෙන් පසු සිය "සොහොයුරිය" වූ ආහ්මෙස්ගේ සැමියා වූ Iවන තුත්මෝස් සිහසුනට පත්කෙරිණි.[9] කිසිදු ශිලාලේඛනයක ආහ්මෙස්ට "රජුගේ දියණිය" යන විරුදය ලබා දී නොමැති හෙයින්, ඇය Iවන අමෙන්හොටෙප්ගේ සොහොයුරියක ද යන්න විවාදයට තුඩු දී ඇත.[10]

දින සහ රාජ්‍ය සමයේ දිග[සංස්කරණය]

Iවන අමෙන්හොටෙප්ගේ නවවන රාජ්‍ය වර්ෂයේ දී, ග්‍රීෂ්ම ඍතුවේ තෙවන මාසයේ නවවන දිනයේ සොතිස් තාරකාවේ සූර්ය උදාව සිදු වූ බව නිරීක්ෂණය කොට ඇත.[11] නූතන තාරකා විද්‍යාඥයින් විසින් ගණනය කරන ලදුව, මෙම නිරීක්ෂණය මෙම්පිස් හෝ හීලියොපොලිස් සිට නිරීක්ෂණය කරන ලද්දක් නම් එම දිනය ක්‍රි.පූ. 1537හි දිනයක් බවත්, තීබ්ස් සිට නිරීක්ෂණය කරන ලද්දක් නම්, ක්‍රි.පූ. 1517 ලෙසත් ගැනීමට සිදු වන බව පෙනී යයි.[12] 18වන රාජවංශයේ අගනුවර තීබ්ස් වූ බැවින්, පසුව සඳහන් වර්ෂය බොහෝ දෙනකු විසින් අනුමත කරයි. ඒ අනුව සැලකූ විට, Iවන අමෙන්හොටෙප්ගේ සිංහාසනාරූඪය ක්‍රි.පූ. 1526දී සිදුවූයේ යැයි පිළිගැනීමට සිදු‍ වේ.[11] නමුත් ක්‍රි.පූ. 1546ද සම්පූර්ණයෙන් නොසලකා හැරිය නොහැක.

මැනතෝගේ විස්තරය අනුව Iවන අමෙන්හොටෙප් ඊජිප්තුව වර්ෂ 20ක් සහ මාස 7ක් හෝ වර්ෂ 21ක් ඊජිප්තුව පාලනය කළ කොට ඇත.[13] Iවන අමෙන්හොටෙප්ගේ සාක්ෂි සහිත උපරිම දිනය වර්ෂය 10ට අයත් එකකි. අමනෙම්හට් නැමැති මන්ත්‍රකරුවකුගේ සොහොන්ගැබෙහි ඇති ඡේදයක් මගින් මැනතෝගේ ප්‍රකාශය සනාථ කරයි. එම ඡේදයේ සඳහන් වන්නේ ඔහු Iවන අමෙන්හොටෙප් යටතේ වර්ෂ 21ක් සේවය කළ බවකි.[14] මේ අනුව, ඉහළ කාලානුක්‍රමය සැලකූ විට Iවන අමෙන්හොටෙප්ගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1546 සිට 1526 දක්වා කාලයත්, පහළ කාලානුක්‍රම ක්‍රමවේදය අනුව, ක්‍රි.පූ. 1526 සිට 1506 දක්වා හෝ ක්‍රි.පූ. 1525 සිට 1504 දක්වා කාලයත් ලැබේ.[15] ඇතැම් විද්වතුන්ගේ අදහස් අනුව මෙම වර්ෂ මඳක් එහාමෙහා විය හැක.

විදේශ ප්‍රතිපත්තිය[සංස්කරණය]

කාර්නැක්හි Iවන අමෙන්හොටෙප් නිරූපිත කැටයමක්.

Iවන අමෙන්හොටෙප්ගේ හොරස් සහ ද්විත්ව ආර්යා නාමයන් වූ පිළිවෙලින්, "භුමි ආක්‍රමණය කරන ගවයා" සහ "විශාල භීතියක් ඇති කරවන" වැනි වදන් මගින් Iවන අමෙන්හොටෙප්ට අවට ජාතීන් යටත් කරගැනීමට අවශ්‍යව තිබූ බව පැහැදිළි වේ.[11] ඔහු නුබියාවට එරෙහිව යුධ ව්‍යාපාර මෙහෙයවූ බව සොහොන්ගැබ් දෙකක සටහන්වල දක්නට ඇත. එබානාගේ පුත් අහ්මෝස් නැමැත්තාගේ සොහොන්ගැබේ සඳහන් වන පරිදි, ඊජිප්තුවේ දේශසීමා නුබියාව තෙක් දකුණට ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කළ අමෙන්හොටෙප් නුබියානු හමුදාවට එරෙහිව ආක්‍රමණයක් දියත් කර ඔවුන්ව පරාජය කළේ ය.[16] අහ්මෝස් පෙන්-නෙඛෙබෙට් නැමැත්තාගේ සොහොන්ගැබේ ස්වයංචරිතාපදානයෙහි කුෂ් වෙත ඔහු දියත් කළ ආක්‍රමණයක් පිළිබඳ සඳහන් වේ.[17] කෙසේනමුත්, මෙය එබානාගේ පුත් අහ්මෝස් විසින් සඳහන් කර ඇති ආක්‍රමණයම විය හැකි බව පිළිගැනේ.[11] අමෙන්හොටෙප් තමන් තෙවන ඇල්ල තරම් ඈතට ඊජිප්තු රාජ්‍යය ව්‍යාප්ත කළ බව පෙන්වීමට සායි දිවයිනේ දෙවොලක් ඉදිකළේ ය.[8]

අහ්මෝස් පෙන්-නෙඛෙබෙට්ගේ සොහොන්ගැබේ ඇති තනි සටහනක, කෙහෙක් දේශයේ ඉයාමු වෙත සිදුකළ ආක්‍රමණයක් පිළිබඳව ද සඳහන් වේ.[18] අවාසනාවට කෙහෙක් දේශයේ පිහිටීම තවමත් හඳුනාගෙන නැත. දිගුකලක් විශ්වාස කෙරුණේ කෙහෙක් යන්න ලිබියානු ගෝත්‍රයක් වූ ‍ක්වෙහෙක් සමග සම්බන්ධයක් ඇති බවයි. මේ අනුව උපකල්පනය කළ හැක්කේ අහ්මෝස්ගේ මරණින් පසු ලිබියානු ආක්‍රමණිකයින් බටහිර නයිල් ඩෙල්ටාව ටවත ප්‍රහාර දියත් කළ බවයි.[19] අවාසනාවට ක්වෙහෙක් ජනයා දක්නට ලැබෙන්නේ ඉතිහාසයේ පසුකාලීනව බැවින් ඔවුන්ගේ මූලාරම්භයන් නොදනී. අමෙන්හොටෙප් ආක්‍රමණ දියත් කළ නුබියාව මෙන්ම බටහිර කාන්තාරය සහ ක්ෂේමභූමිය ද මේ සඳහා යෝජනා වී ඇත.[18]

දෙවන අන්තර්මධ්‍ය යුගයේ දී, බටහිර කාන්තාර සහ ක්ෂේමභූමි ප්‍රදේශ ඊජිප්තුවට අහිමිව තිබිණි. හික්සොස්වරුනට එරෙහි කැරැල්ලේ දී, කාමෝස් මෙය සිය ආරක්ෂාවට සුදුසු යැයි සිතී ය.[20] නමුත් මෙම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම නැවත ලබාගත්තේ ද යන්න අවිනිශ්චිත ය. නමුත් ශිලාස්තම්භය තුළ, "ක්ෂේමභූමියේ ආණ්ඩුකාර කුමරු" යන නාමය යොදා තිබීම හේතුවෙන්,[21] අමෙන්හොටෙප්ගේ සමයේ එය නැවත ඊජිප්තු පාලනයට නතු කරගැනීමට මුලපිරූ බව වටහා ගත හැක.[20]

Iවන අමෙන්හොටෙප් සමයේ සිරියා-පලස්තීන පෙදෙස් වෙත ආක්‍රමණ සිදුකළ බවට වාර්තා නැත. නමුත් ඔහුගේ අනුප්‍රාප්තික Iවන තුත්මෝස්ගේ සමයේ ලියැවුණු ටොම්බොස් ශිලාව අනුව, තුත්මෝස් ආසියාවේ යුප්‍රටිස් වෙත යුධ ව්‍යාපාර දියත් කළ ද, කිසිවකු ඔහුට එරෙහිව සටන් කොට නැත.[22] මෙම ආක්‍රමණයට පෙර තුත්මෝස් ආසියාව වෙත ආක්‍රමණ සිදු කළ බවට වාර්තා නොමැති හෙයින්, ඔහුට පෙර සිටි පාරාවෝවරයා විසින් සිරියාව මැඬපවත්වන්නට ඇති බව පෙනේ.[23] ඒ අනුව Iවන අමෙන්හොටෙප් විසින් ආසියානු ආක්‍රමණ සිදුකලා විය හැකියි. ලෙවැන්තයට සම්බන්ධ මොහුගේ සමයේ ලියැවුණේ යැයි සිතිය හැකි මූලාශ්‍ර දෙකක සඳහන් තොරතුරු මොහුගේ යුධ ව්‍යාපාරයට සම්බන්ධ ඒවා විය හැකියි. අමෙන්හොටෙප්ගේ වියහැකි යැයි විශ්වාස කෙරෙන සොහොන්ගැබක ක්වෙඩ්මි නැමැති ප්‍රදේශයක් පිළිබඳ සඳහන් ය. මෙම ස්ථානය කනාන්හි හෝ එතෙරජෝර්දානයේ (Transjordan) කිසියම් ස්ථානයක පිහිටන්නට ඇතැයි සිතිය හැක. එසේම අමනෙම්හට්ගේ සොහොන්ගැබේ මිටානි දේශයට එරෙහි ප්‍රකාශ සටහන්ව ඇත.[24] කෙසේනමුත්, මෙම මූලාශ්‍ර යුධ ව්‍යාපාරවලට අදාළ ද යන්නවත්, අමෙන්හොටෙප්ගේ සමයට අයත් ද යන්නවත් නිශ්චිත නැත. එසේම අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ පිහිටීම නිශ්චිතව හඳුනාගෙන නැති අතර, මිටානියට පහරදුන් රජවරුන් කිහිපදෙනකුගේම රාජ්‍ය සමයයන් තුළ අමනෙම්හට් ජීවත්වන්නට ඇතැයි සැලකේ.[24] සිරියානු ආක්‍රමණ පිළිබඳ නිගමනයකට එළැඹීමට තරම්, අමෙන්හොටෙප්ගේ සමයේ මූලාශ්‍ර ප්‍රමාණවත් නොවේ.

සංස්කෘතික සහ ශාස්ත්‍රීය සංවර්ධනයන්[සංස්කරණය]

Iවන අමෙන්හොටෙප් සහ ඔහුගේ මව නිරූපිත ශිලා ස්තම්භයක්

අමෙන්හොටෙප්ගේ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් හමු වී තිබුණ ද, ඉන් බොහෝමයක් රැම්සෙස් යුගයට අයත් ඒවායි. ඉන් වැඩි ප්‍රමාණයක් මරණින් පසු,[10] ඔහුව ඇදහීම පිණිස නිර්මාණය වූ ඒවායි.[21] මේ හේතුවෙන් ඔහුගේ සමයේ කලාව පිළිබඳ අධ්‍යයනය අපහසු ය.[21] ඔහුගේ රාජ්‍ය සමයට අයත් ප්‍රතිමා ස්වල්පය අනුව පෙනීයන්නේ අමෙන්හොටෙප් මධ්‍ය රාජධානි යුගයේ ශෛලීය අනුකරණය කොට ඇති බවයි.[25] මුල්කාලීන 18වන රාජවංශයේ කලා සම්ප්‍රදාය මුල්කාලීන මධ්‍ය රාජධානි කලා සම්ප්‍රදායට සමානත්වයක් දක්වයි.[26] Iවන අමෙන්හොටෙප් විසින් ඉදිකළ සිය ප්‍රතිමා පැහැදිළිවම IIවන මෙන්ටුහොටෙප් සහ Iවන සෙනුස්රෙට්ගේ ප්‍රතිමා අනුකරණය කොට තැනූ ඒවා බව පෙනේ.[27] මෙම ප්‍රතිමා දෙක අතිශයින් සමාන නිසා නූතන ඊජිප්තුවේදීනට ද මෙම ප්‍රතිමා වෙන්කර හඳුනා ගැනීමේ දී ගැටලුවලට මුහුණ පෑමට සිදු විය.[25]

ඩේර් එල්-මෙදිනාහි කර්මාන්තකරුවන්ගේ ගම්මානය ඉදිකිරීමට පියවර ගත්තේ ද Iවන අමෙන්හොටෙප් විසිනි. මෙම කර්මාන්තකරුවන් විසින් පරම්පරා ගණනාවක් පුරා තීබානු සුසානභූමියේ නව රාජධානි රජවරුන්ගේ සහ වංශවතුන්ගේ සොහොන්ගැබ්වල නිර්මාණ කටයුතු සිදුකරන ලදී.[10] එහි හමුවන පැරණිතම නාමය Iවන තුත්මෝස්ගේ නමුත්, අමෙන්හෙටෙප් සහ ඔහුගේ මව එහි දෙවිවරුන් ලෙස සලකා ඇදහීම තුළින් අමෙන්හොටෙප් මෙය ඉදිකළ බව පැහැදිළි වේ.[28]

අමෙන්හොටෙප්ගේ සමයේ ශාස්ත්‍රීය අංශයන්ගේ ද සංවර්ධනයක් සිදු විය. නව රාජධානියේ භාවිත වූ වැචගත් අවමංගල ලේඛනයක් වන ඊජිප්තු මළවුන්ගේ පුස්තකය එහි අවසාන ස්වරූපය තෙක් සංවර්ධනය වූයේ අමෙන්හොටෙප් සමයේ යැයි සැලකේ. එය එම ස්වරූපයෙන් පළමුව හමුවන්නේ ඔහුගේ අනුප්‍රාප්තික Iවන තුත්මෝස්ගේ සොහොන්ගැබේ වීම එයට හේතුවයි.[29] පුරාතන ඊජිප්තු වෛද්‍යකර්මය පිළිබඳ ප්‍රධාන මූලාශ්‍ර ග්‍රන්ථය වන එබර්ස් පැපිරසය ද මෙම කාලයේ ලියැවුණු එකක් (මෙම ලේඛනයේ පසුපස තිබී මුල්කාලීන නව රාජධානි යුගයේ සිදු වූ සොතිස්හි සූර්ය උදාව පිළිබඳ සඳහන් ය) බව පෙනේ.[29]

මීට අමතරව Iවන අමෙන්හොටෙප්ගේ සමයේ මුල්ම දිය ඔරලෝසුව නිර්මාණය වූ බව පෙනේ.[30] අමෙන්හොටෙප්ගේ මාලිග නක්ෂත්‍රකරුවකු වූ අමනෙම්හෙබ් මෙම නිර්මාණය සඳහා ගෞරවය ලබාගත් බව ඔහුගේ සොහොන්ගැබෙහි සඳහන් ය. නමුත් මෙහි යන්ත්‍රණය සඳහන් පැරණිතම සටහන IIIවන අමෙන්හොටෙප් රජ සමයට අයත් ය.[31] මෙම නිර්මාණය කාලය මැනීමට බෙහෙවින් උපකාරී විය. එයට හේතුව ඊජිප්තු පැය නිශ්චිත එකක් නොවීමයි. එය සාමාන්‍යයෙන් රැයකින් 1/12ක් ලෙස මනින ලදී.[31] ග්‍රීෂ්ම ඍතුවෙහි රාත්‍රිය කෙටි වන විට, දිය ඔරලෝසු කෙටි පැයවලට ගැළපෙන පරිදි සකස් කළ හැකි විය.[31]

ගොඩනැගිලි ව්‍යාපෘති[සංස්කරණය]

ප්‍රතිසංස්කරණය කළ කාර්නැක්හි Iවන අමෙන්හොටෙප්ගේ ඇලබැස්ටර් දෙවොල

අමෙන්හොටෙප් විසින් ඉහළ ඊජිප්තුවේ දේවස්ථාන බිම්වල ගොඩනැගිලි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ නමුත්, පසුකාලීන රජවරුන් විසින් ඒවා විනාශ කිරීම සහ කොටස් ඉවත් කිරීම සිදුකොට තිබේ. ලිඛිත මූලාශ්‍ර අනුව, ඔහු යටතේ ඉනෙනි නැමැති ගෘහනිර්මාණ ශිල්පියා විසින් කාර්නැක් දෙවොල විශාල කොට තනවා තිබේ.[32] ඉනෙනිගේ සොහොන්ගැබේ චරිතාපදානය තුළ ඔහු විසින් කාර්නැක්හි දකුණුපස රියන් 20ක හුනුගල් දොරටුවක් ඉදිකළ බව සඳහන් ය.[33] මීට අමතරව ඔහු විසින් අමුන් දේවස්ථානයේ පූජනීය බාක් දෙවොලක් ඉදිකර ඇති අතර IIIවන සෙනුස්රට්ගේ ශ්වේත දෙවොලෙහි ඇලබැස්ටර් අනුරුවක් ඉදිකොට ඇත. වර්තමානයෙහි මෙම ව්‍යූහ කාර්නැක්හි නැවත ඉදිකිරීම සඳහා IIIවන අමෙන්හොටෙප්ගේ තෙවන අටලුවෙහි කොටස් භාවිත කර ඇත.[21] අමෙන්හොටෙප් සිය සෙඩ් උත්සවය වෙනුවෙන් කාර්නැක්හි ගොඩනැගිලි ඉදිකළේ ය. මෙම මංගල්‍යය පාරාවෝ බලයට පත්ව වර්ෂ 30කට පසුව පවත්වන්නකි. නමුත් එය භාවිතයට ගැනීමට පෙර ඔහු මියගොස් ඇත.[34] නුබියාවේ සායිහි දේවස්ථානයක් ඉදිකළ ඔහු,[8] ඉහළ ඊජිප්තුවේ එලිෆන්ටයින්, කොම් ඔම්බෝ, ඇබයිඩොස්හි දෙවස්ථාන අංග සහ නෙඛ්බෙට් දෙවොල ඉදිකළේ ය. අමෙන්හොටෙප් සිය පියා මෙන් පහළ ඊජිප්තුවේ වැදගත් ස්ථාන කිසිවක් ඉදිකළේ නැත.[29]

මතකාගාර සංකීර්ණය[සංස්කරණය]

සිය මතකාගාර දේවස්ථානය සොහොන්ගැබෙන් වෙන්ව ඉදි කළ පළමු ඊජිප්තු රජු Iවන අමෙන්හොටෙප් ය. මෙය‍ බොහෝ විට සිය සොහොන්ගැබ නිධන් සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් සිදු කරන්නට ඇති බව පෙනේ. ඔහුගේ දේවස්ථානය පිහිටියේ ඩේර් එල්-බහ්රිහි උතුරු අන්තයේ ය.[35] ඩේර් එල්-බහ්රි ප්‍රදේශය, අමෙන්හොටෙප් සමයේ අවමංගල්‍යමය වශයෙන් වැදගත්කමක් ඉසිලූ බව ඔහුගේ රැජින වූ අහ්මෝස්-මෙරිටාමොන් බිසවගේ සොහොන්ගැබ වන තීබානු සොහොන්ගැබ 358, ඒ අසලින් හමුවීමෙන් පෙනේ.[36] වසර 50කට පමණ පසුව හට්ෂෙප්සුට් රැජිනිය විසින් සිය මතකාගාර දෙවොලේ පහළ මළුව සැකසීම සඳහා අමෙන්හොටෙප්ගේ මතකාගාර දේවස්ථානය බිඳදමා තිබේ.[37] අදවන විට එහි අමෙන්හොටෙප්ගේ නාමය කෙටූ ගඩොල් කිහිපයක් පමණක් දැකිය හැකි ය.[35] දේවස්ථානය ඇතුළත වූ රාජකීය ප්‍රතිමා යාබද IIවන මෙන්ටුහොටෙප්ගේ අවමංගල සිද්ධස්තානය වෙත ගෙනයන ලදී.[36]

අමෙන්හොටෙප්ගේ නියම සොහොන්ගැබේ නිශ්චිත පිහිටීම තවමත් සොයාගෙන නැත. IXවන රැම්සෙස් රජ සමයේ තීබානු සුසානභූමියේ වූ රාජකීය සොහොන්ගැබ්වල ආරක්ෂාව පිළිබඳ වූ විස්තරයක, එකල එම සොහොන්ගැබ ඒ අයුරින්ම පැවති බව දක්වා ඇතත්, එහි නිශ්චිත පිහිටුම සඳහන් කොට නොමැත.[8] Iවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබ ලෙස ස්ථාන‍ දෙකක් යෝජනා වී ඇත. ඉන් එකක්, රජුන්ගේ නිම්නයේ ඉහළ පිහිටි KV39 සොහොන්ගැබයි. අනෙක ඩ්‍රා' අබු එල්-නගා'හි පිහිටි ANB සොහොන්ගැබයි.[11] KV 39හි කැනීම් අනුව යෝජනා වී ඇත්තේ එම ස්ථානය භාවිත කරන්නට ඇත්තේ ඩේර් එල්-බහ්රි කුටියේ තැන්පත් කිරීමට පෙර රජුගේ මමිය ගබඩා කර තැබීම සඳහා බවයි.[38] කෙසේනමුත්, ANB සොහොන්ගැබ ඔහුගේ සොහොන්ගැබ වීමට බොහෝදුරට ඉඩ ඇත.[8][29] එයට හේතුව එහි එහි තිබී ඔහුගේ නම සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුගේ නම් සටහන් කළ භාණ්ඩ හමුවීමයි.[39]

භූමදානය, අනුප්‍රාප්තිය සහ දායාදය[සංස්කරණය]

Iවන අමෙන්හොටෙප්ගේ මමිය

භූමදානය[සංස්කරණය]

ඇතැම්විට 20වන හෝ 21වන රාජවංශ සමයේ අමෙන්හොටෙප්ගේ මුල් සොහොන්ගැබ කොල්ලකෑමට ලක් වූ හෙයින් හෝ අනාරක්ෂිත බව පෙනුණු හෙයින්, එය හිස් කොට ඔහුගේ දේහය ආරක්ෂිතව වෙනත් ස්ථානයකට (කිහිප වරක්ම) රැගෙන ගොස් ඇති බව පෙනේ. ඔහුගේ මමිය ඩේර් එල්-බහ්රි රහස් කුටියක නව රාජධානියේ රජවරුන්ගේ සහ වංශවතුන්ගේ මමී අතර තිබී හමු විය. මෙය හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඉහළින් වූ ස්ථානයක තිබී හමුවූවකි.[8] වර්තමානයේ මේ මමිය කයිරෝහි ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. 21වන රාජවංශ සමයේ දී ඔහුගේ මමිය කොල්ලකා නැත. මමිය රැගෙන ආ පූජකයින් ඔහුගේ මීනී පෙට්ටියට අත තබා නැත. එහි වූ විශිෂ්ට මුහුණු වැස්ම හේතුවෙන්, නූතන ඊජිප්තුවේදීන් විසින් ලිහා බලා අධ්‍යයනය නොකළ එකම රාජකීය මමිය ලෙස අමෙන්හොටෙප්ගේ මමිය සැලකෙයි.[8]

අනුප්‍රාප්තිය[සංස්කරණය]

දැනට හඳුනාගෙන ඇති පරිදි Iවන අමෙන්හො‍ටෙප්ට සිටියේ එක් දරුවෙකි. එම පුත්‍රයා ළමාවියේ දී ම මියගියේ ය. (ඇතැම් මූලාශ්‍රවල ඔහුට දරුවන් නොවූ බව සඳහන් වේ)[40] Iවන අමෙන්හොටෙප්ගෙන් පසු සිහසුනට පත් වූ Iවන තුත්මෝස් ජ්‍යෙෂ්ඨ යුධ නිලධාරියකු බව පෙනේ. නමුත් මේ දෙදෙනා අතර රුධිර සම්බන්ධයක් පැවතියේ ද යන්න පැහැදිළි නැත. Iවන තුත්මෝස් යනු අමෙන්හොටෙප්ගේ වැඩිමහල් සොයුරා වූ අහ්මෝස් සිපෙයාරිගේ පුත්‍රයකු බවට මතයක් ද පවතී.[41] ඇතැම්විට අමෙන්හොටෙප් සිය මරණයට පෙර Iවන තුත්මෝස් සහ-පාලකයකු ලෙස පත්කරන්නට ඇත. කාර්නැක්හි තෙවන අටලුවේ දිව්‍යමය යාත්‍රාවක් මත අමෙන්හොටෙප්ට පසුපසින් Iවන තුත්මෝස්ගේ නාමය යොදා තිබීමෙන් මේ බව පෙනේ.[21] කෙසේනමුත්, බොහෝ විද්වතුන් පිළිගන්නේ තුත්මෝස් ඔහු සමග සිටිනු නිරූපිත එකම සාක්ෂිය එය බවයි.[10] එක්තරා පාඨයක් මගින් අමෙන්හොටෙප් සිය බිළිඳු පුතු සහ-පාලක වශයෙන් පත්කළ බවත්, නමුත් ඔහු රජුට කලින් මියගිය බවටත් අදහසක් ලැබෙන බවට පැවසේ.[42] කෙසේනමුත්, මෙම හවුල් පාලනය පිළිබඳ විද්වතුන්ගේ අදහස වන්නේ මේ සඳහා සාක්ෂි ප්‍රමාණවත් නොවන බවයි.

සිය අවමංගල්‍ය වන්දනාවේ නිරූපිත Iවන අමෙන්හොටෙප්ගේ රුව

දායාදය: අවමංගල්‍ය වන්දනාව[සංස්කරණය]

මරණින් පසු අමෙන්හොටෙප්ට දේවත්වය ආරෝපණය කෙරුණු අතර, ඔහු විසින් ආරම්භ කළ ඩේර් එල්-මෙදිනා ගම්මානයේ ආරක්ෂක දේවතාවා ලෙස ඔහු සැලකිණි.[10] ඔහුට වඩා අවම වශයෙන් වසරක්වත් වැඩියෙන් ජීවත් වූ ඔහුගේ මවට ද මරණින් පසුව දේවත්වය ආරෝපණය කෙරිණි.[7] පෙර සඳහන් කළ පරිදි, අමෙන්හොටෙප්ගේ බොහෝ ප්‍රතිමා නිර්මාණය වන්නේ පසුකාලීනව ඔහුව වන්දනා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. වන්දනාමාන කිරීමේ දී, ඔහුට දිව්‍යමය ස්වරූප තුනක් ඇති බව පිළිගැනිණි. එනම්: "නගරයේ අමෙන්හොටෙප්," "අමුන්ගේ ප්‍රිය අමෙන්හොටෙප්," සහ "අංගණයේ අමෙන්හොටෙප්" යන්නයි. එසේම ඔහුව දිවැස් කීමට අධිපති දෙවියන් ලෙස නම්කෙරිණි.[10] ඔහුගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් ඩේර් එල්-මෙදිනාවලින් හමු වූ ඔස්ට්‍රාකාවල සඳහන්ව ඇත.[43] ඔහු වෙනුවෙන් වසර පුරා උත්සව ගණනාවක් පැවැත්විණි.[10] පළමු මාසයේ දී, සුසනභූමි කම්කරුවන්ගෙන් අමෙන්හොටෙප් රුවට ගෞරවයක් ලෙස උත්සවයක් පැවැත්විණි. මෙහි දී ඔහුගේ ප්‍රතිමාව ඩේර් එල්-මෙදිනා වෙත ගෙන යන ලදී.[44] සිව්වන මාසයේ තිස්වන දා තවත් උත්සවයක් පැවිත අතර, හත්වන මාසයේ තවත් දෙකක් පැවැත්විණි.[44] පළමුවැන්න වූ "අමෙන්හොටෙප් වෙනුවෙන් අවමංගල සයනය පැතිරවීම" මගින් ඔහුගේ මරණය සිදු වූ දිනය සිහි කෙරිණි.[44] මාස අවසානයේ දින හතරක් පුරාවට පැවැත්වුණු දෙවන උත්සවය, "නගරයේ අධිපති අමෙන්හොටෙප් රජුගේ මහා උත්සවය" නම් විය. ඊජිප්තු ඉතිහාසය තුළ පසුකාලීනව, මෙම උත්සවය හේතුවෙන් හත්වන මාසය "ෆාමෙනොත්" ලෙස නම්කරන ලදී.[44] නවවන මාසයේ 27වන දිනයේ තවත් උත්සවයක් පැවැත්විණි. අවසාන උත්සවය එකොළොස්වන මාසයේ එකොළොස්වන සහ දහතුන්වන දිනයන් අතර දින කිහිපයක් පුරාවට පැවැත්විණි. මෙමගින් අමෙන්හොටෙප් සිහසුනට පත් වූ දිනය අනුස්මරණය කෙරිණි.[44]

අමෙන්හොටෙප් වෙනුවෙන් පුදකළ චාරිත්‍ර පිළිබඳ සඳහන් ලේඛන හමුවීමත් සමග අමෙන්හොටෙප්ගේ අවමංගල වන්දනාව පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි විය‍.[45] IIවන රැම්සෙස් රජ සමයට අයත්, පැපිරස් ලේඛන තුනක පූජකයන් විසින් අනුගමනය කළ වන්දනා ක්‍රම, තෝරාගත් චාරිත්‍ර සහ මන්ත්‍ර කාර්නැක් සහ මෙඩිනෙට් හබු දේවස්ථානවල කැටයම් කිරීම වැනි තොරතුරු සඳහන් ය.[45] මෙම චාරිත්‍ර රාශියක් මගින්, ප්‍රතිමාවට දිනපතා වයින් වැනි පූජා පවත්වා ඇති අතර විශේෂ සූත්‍රයක් ගායනා කොට දිනය අවසානයේ දෙවොල පවිත්‍ර කොට මුද්‍රා තබන ලදී.[46] සෙසු චාරිත්‍ර මගින් වසර පුරා විවිධ උත්සව පවත්වන අයුරු පිළිබඳ අවධානය යොමු කෙරේ.[47] මෙම අවස්ථාවල දී, අමෙන්හොටෙප්ගේ ප්‍රතිමාව හෝ පූජකයා මගින් බොහෝ විට අමුන් වන්දනාව සිහිපත් කෙරිණි.[48]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 මැනතෝ - පරිවර්තනය ඩබ්. ජී. වැ‍ඩෙල්, ලොයෙබ් සම්භාව්‍ය පුස්තකාලය, 1940, පි.109
  2. ක්ලේටන්, පි.100.
  3. "අමෙන්හොටෙප් III ඕ අමෙන්හොට්පේ III". කොලින්ස් ශබ්දකෝෂය. n.d. සම්ප්‍රවේශය 24 ‍සැප්තැම්බර් 2014.  Check date values in: |access-date= (help)
  4. "අමෙනෝෆිස් III". කොලින්ස් ශබ්දකෝෂය. n.d. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2014. 
  5. ඩොඩ්සන් සහ හිල්ටන් (2004) පි.126
  6. "අමෙන්හොටෙප් I". බ්‍රිතාන්‍ය කෞතුකාගාරය. සම්ප්‍රවේශය 2007-05-20. 
  7. 7.0 7.1 ග්‍රිමල්, පි. 201.
  8. 8.0 8.1 8.2 8.3 8.4 8.5 8.6 8.7 ෂෝව් සහ නිකොල්සන්, පි. 28.
  9. 9.0 9.1 9.2 9.3 ග්‍රිමල්, පි. 190.
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 10.6 10.7 10.8 10.9 බ්ලීබර්ග්, පි.71.
  11. 11.0 11.1 11.2 11.3 11.4 ග්‍රිමල්, පි.202.
  12. හෙල්ක්, ඔටෝ, ඩ්‍රෙන්ඛාහ්න්, පි.969.
  13. ෆිංගර්සන්, මැනතෝගේ රජවරුන් ලැයිස්තුව.
  14. රෙඩ්ෆෝර්ඩ්, පි.114.
  15. වොන් බෙකරැත්, පි.189.
  16. බ්‍රෙස්ටඩ්, පි. 17-18.
  17. බ්‍රෙස්ටඩ්, පි. 18.
  18. 18.0 18.1 ජේම්ස්, පි. 310.
  19. ස්ටයින්ඩෝර්ෆ්, ෂීලි, පි.33.
  20. 20.0 20.1 ජේම්ස්, පි. 311.
  21. 21.0 21.1 21.2 21.3 21.4 ග්‍රිමල්, පි.203.
  22. බ්‍රෙස්ටඩ්, පි. 30.
  23. බ්‍රෙස්ටඩ්, පි. 28.
  24. 24.0 24.1 ජේම්ස්, පි. 309.
  25. 25.0 25.1 ෆ්‍රීඩ්, පි.133.
  26. ඇල්ඩ්‍රඩ්, පි.146.
  27. ඇෂ්ටන්, ස්පැනල්, පි.58.
  28. බ්‍රයන්, පි.224.
  29. 29.0 29.1 29.2 29.3 ග්‍රිමල්, පි. 206.
  30. හෙල්ක්, පිටු. 111-112.
  31. 31.0 31.1 31.2 වෙස්ට්, පි.63.
  32. බ්‍රෙස්ටඩ්, පි. 19.
  33. බ්‍රෙස්‍ටඩ්, පි. 20.
  34. ඩන්, ජේ. අමෙන්හොටෙප් I.
  35. 35.0 35.1 බ්‍රයන්, පි.226.
  36. 36.0 36.1 ඩොඩ්සන්, පි.42.
  37. Dodson, p.43.
  38. ඇන්ඩෲස්, මාක්. "KV 39, ද ටූම්බ් ඔෆ් අමෙන්හොටෙප් I?". InterCity Oz, Inc. Archived from the original on 8 ජූනි 2007. සම්ප්‍රවේශය 2007-06-01. 
  39. ෂෝව්, පි. 136.
  40. ඩොඩ්සන් පි. 127
  41. ඩොඩ්සන් පි. 129
  42. වෙන්‍ට්, පි. 271
  43. ක්‍රචන්, පි.610.
  44. 44.0 44.1 44.2 44.3 44.4 රෙඩ්ෆෝර්ඩ්, පි.115.
  45. 45.0 45.1 නෙල්සන්, සර්ට්න් රිලීෆ්ස්. පි.204.
  46. නෙල්සන්, සර්ට්න් රිලීෆ්ස්. පි.230.
  47. නෙල්සන්, සර්ට්න් රිලීෆ්ස්. පි.232.
  48. නෙල්සන්, සර්ට්න් රිලීෆ්ස් (නිමකළ). පි.344.

මූලාශ්‍ර[සංස්කරණය]

මුද්‍රිත මූලාශ්‍ර[සංස්කරණය]

  • ඇල්ඩ්‍රඩ්, සිරිල්. Egyptian Art. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්., ලන්ඩන්. 1980.
  • ඇෂ්ටන්, සැලී; සහ ස්පැනල්, ඩොනල්ඩ්. "Portraiture," The Oxford Encyclopedia of Ancient Egypt. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළුම. 3, පිටු. 55–59. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  • වී. බෙකරැත්, ජූර්ගන්. Chronologie des Pharaonischen Ägypten. වර්ලැග් ෆිලිප් වොන් සැබර්න්, 1997.
  • බ්ලීබර්ග්, එඩ්වඩ්. "Amenhotep I," The Oxford Encyclopedia of Ancient Egypt. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළුස. 1, පි. 71. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  • බොර්චාඩ්ට්, ලුඩ්විග්. Altägyptische Zeitmessung (Die Geschichte der Zeitmessung und der Uhren) I. බර්ලින් ඇන්ඩ් ලීප්සිග්, 1920.
  • බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. Ancient Records of Egypt, වෙළුම. II යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්, චිකාගෝ, 1906. ISBN 90-04-12989-8.
  • බ්‍රයන්, බෙට්සි එම්. "The 18th Dynasty Before the Amarna Period." The Oxford History of Ancient Egypt. සංස්. ඉයන් ෂෝව්. පිටු. 218–271. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2000.
  • ක්ලේටන්, පීටර්. Chronicle of the Pharaohs. තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, 2006.
  • ඩොඩ්සන්, ඒඩන්. Amenhotep I and Deir el-Bahri. ජර්නල් ඔෆ් ද ඒන්ෂන්ට් ක්රෝනොලොජි ෆෝරම්, වෙළුම. 3, 1989/90
  • ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. The Complete Royal Families of Ancient Egypt. තේම්ස් ඇන්ඩ් හඩ්සන්, ලන්ඩන්, 2004
  • ෆ්‍රීඩ්, රිටා ඊ. "Art," The Oxford Encyclopedia of Ancient Egypt. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 1, පිටු. 127–136. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  • ග්‍රිමල්, නිකොලස්. A History of Ancient Egypt. ලයිබ්‍රරී ඇර්ත්මේ ෆෙයාර්ඩ්, 1988. ISBN 90-04-12989-8.
  • හෙල්ක්, වුල්ෆ්ගැං. Historisch-biographische Texte der 2. Zwischenzeit und neue Texte der 18. Dynastie. වයිස්බේඩ්න්, 1975.
  • හෙල්ක්, වුල්ෆ්ගැං; ඔටෝ, එබර්හාඩ්; ඩ්‍රෙන්ඛාහ්න්, රෝස්මරී. Lexikon der Ägyptologie I. වයිස්බේඩ්න්.
  • ජේම්ස්, ටී. ජී. එච්. Egypt: From the Expulsion of the Hyksos to Amenophis I. in The Cambridge Ancient History, වෙළු. 2, කොටස 1, සංස්. එඩ්වඩ්ස්, අයි. ඊ. එස්, ඇතුළු පිරිස. කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 1965.
  • ක්‍රචන්, ජීන් මේරී. "Oracles," The Oxford Encyclopedia of Ancient Egypt. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 2, පිටු. 609–612. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  • ලිලික්විස්ට්, ක්‍රිස්ටීන්. Egyptian Art, Notable Acquisitions, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, 1980.
  • නෙල්සන්, හැරල්ඩ් එච්. Certain Reliefs at Karnak and Medinet Habu and the Ritual of Amenophis I. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, වෙළුම. 8, අං. 3 (ජූලි, 1949)
  • නෙල්සන්, හැරල්ඩ් එච්. Certain Reliefs at Karnak and Medinet Habu and the Ritual of Amenophis I-(Concluded). ජර්නල් ඔෆ් නියර් ඊසිටර්න් ස්ටඩීස්, වෙළුම. 8, අංක. 4 (ඔක්., 1949)
  • රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් The Chronology of the Eighteenth Dynasty, ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, වෙළු. 25 (1966).
  • ෂෝව්, ඉයන්. Exploring Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2003.
  • ෂෝව්, ඉයන්; සහ නිකොල්සන්, පෝල්. The Dictionary of Ancient Egypt. ද බ්‍රිටිෂ් මියුසියම් ප්‍රෙස්, 1995.
  • ස්ටයින්ඩෝර්ෆ්, ජෝර්ජ්; සහ සීලි, කීත්. When Egypt Ruled the East. යුනිවර්සිටි ඔෆ් චිකාගෝ, 1942.
  • වෙන්ටේ, එඩ්වඩ් එෆ්. Thutmose III's Accession and the Beginning of the New Kingdom. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්, 1975.
  • වෙස්ට්, ස්ටෙෆනී. Cultural Interchange over a Water-Clock. The Classical Quarterly, New Series, වෙළු. 23, අං. 1, මැයි, 1973.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමෙන්හොටෙප්_I&oldid=386390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි