Jump to content

පෘතුගීසි ලංකාව

විකිපීඩියා වෙතින්

සෙයිලම ලෙස කටවහරේ හැඳින්වුනු පෘතුග්‍රීසි ලංකාව යනු ලංකා දිවයිනේ පෘතුග්‍රීසීන් විසින් අත්පත් කරගෙන තිබූ භූමි ප්‍රදේශයකි. ශ්‍රි ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුග්‍රීසීන් පාලනය කළ කාලයයි. පෘතුග්‍රීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්‍ය ද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුග්‍රීසීන් ලංකාව තුළ සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්‍යය හා ඉන්පසු ආක්‍රමණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්‍යයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුග්‍රීසි ලංකාවේ අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුග්‍රීසීන් හඳුන්වාදෙන ලද ක්‍රිස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.

කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්‍ය සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්‍රමණය කරන බව පෙනී ගියේය. පසුව පෘතුග්‍රීසීන් පාලනය යටතේ තිබූ ලංකාවේ ප්‍රදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුග්‍රීසීන් පාලනය සමයේ සිට අද දක්වා පෘතුග්‍රීසි සංස්කෘතික ලක්ෂණ ශ්‍රි ලංකාවේ ඉතිරිව පවතී.

පසුබිම

[සංස්කරණය]

මුහුණ දෙමින් සිටියේ ය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්‍රීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්‍රීසි ආක්‍රමරණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට (නෙදර්ලන්ත ජාතිකයින්) පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා (පෘතුග්‍රීසින් ) සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.

ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්‍රංශය ලං කරගෙන ඔවුනට ත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්‍රීකුණාමලය ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පළාත් සියල්ලම පාලනය කළ අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර් වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්‍යය මිනිස් ශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.

සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්‍දේශීය පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ගෝව නගරයෙ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්‍රීසීන් හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුගීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්‍රේල් 3 දින ත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.

පෘතුග්‍රීසින් ලංකාවට පැමිණිම

[සංස්කරණය]

1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි. 1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. මෙම ප්‍රථම ගොඩබැසීම සිහිවීම පිණිස ගොඩනැගූ ස්මාරකය කොළඹ බොක්කේ සිට බැලූ විට දක්නට ඇත. පෘතුග්‍රීසීන් එය පාද්රෝ (Padrao) යනුවෙන් නම් කළහ. පෘතුග්‍රීසීන් රාජ්‍ය ලාංඡනයට ඉහළින් කුරුසිය සහිත මෙම සිහිවටනය 1920 දී තරම් කාලයේදී දක්නට ලැබුණේ 1501 දාතම සමගයි. එවැනි දාතමක් සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කළ නොහැක.

ඔව්හු කෝට්ටේ නැවතී හිඳිමින් රජු සමග ගිවිසුමක් සම්පූර්ණ කරන ලදී. දිවයින රාජධානි හතරකට බෙදා තිබුණේය. ඒ කෝට්ටේ, සීතාවක, මහනුවර සහ උතුරේ යාපනය වශයෙනි. මෙයින් වැදගත් ස්ථානයක් ඉසිළුවේ කෝට්ටේය.

1518 දී විසුරේ තැන්පත්, ලෝපෝ සොආරේස් ද අල්බර්ගේරියා විශාල නැව් හමුදාවක් සමග කොළඹට ගොඩබැස්සේය. මෙහිදී ඔවුහු කුඩා බල කොටුවක් තැනීම ආරම්භ කළහ. එය නම් කර තිබුණේ නොසා සෙඤෝරා දා වර්තුදේ නොහොත් සැන්ටා බාබරා වශයෙනි. මෙම පළමු බල කොටුව ත්‍රිකෝණාකාර විය. මධ්‍යයේ කුළුණකින් යුක්ත විය. සිංහලයෝ වහාම කොටුව වැටලුහ. 1524 දී පමණ පෘතුග්‍රීසීහු එය කඩා දැමූහ. ඔවුහු කෝට්ටේ රජුගේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නියෝජිතයෙකු දිවයිනේ නැවැත්වූහ.

කොළඹ අතහැර දැමීම පෘතුග්‍රීසීන්ට සිදුවූ අත්වැරදීමක් බව පැහැදිලි විය. මුස්ලිම්වරු වහාම කළේ කෝට්ටේ රාජධානි‍යේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට ලංකාවේ රැඳී සිටි පෘතුග්‍රීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. මාපිල්ලාවරු (මලබාර් මුස්ලිම් ජනතාව) 1539 දක්වා කෝට්ටේ සහ සීතාවක රාජධානි තුළ අර්බුදයන් ‍දියුණුකළ අතර පෘතුග්‍රීසීන් ලංකාවේ සිටීම සම්බන්ධයෙන් විරුද්ධ වූහ. 1538 දී මාර්ටිම් අෆොන්සෝ ද සොයිසා 'වෙ‍ඩෙලෙයි' දී ද 1539 දී මිගෙල් ෆෙරෙයිරා මීගමුවේදී ද මාපිල්ලාවරු අවසාන වශයෙන් පරාජය කළහ.

මෙම වර්ෂවලදීම කෝට්ටේ රජු විසින් දිරිමත් කරන ලදුව මිෂනාරිවරු ලංකාවාසී ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. ගිනිකොණ පෙදෙ‍සේ ධීවර ගම්මානවල පල්ලි ගොඩනැගුණි. 1544 දී යාපනයේ රජු මන්නාරම් දිවයිනේදී ක්‍රිස්තියානි ලබ්ධිකයින් 600 ක් සමූල ඝාතනය කළේය. එසේ වුවත් 1582 වන විට යාපනයේ රජු පෘතුග්‍රීසීන්ට යටත් වී කප්පම් ගෙවුවේය.

1550 ඔක්තෝබරයේ අෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ තැන පෘතුග්‍රීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව ලංකාවට පැමිණියේය. ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය. එහෙත් ඒ විසුරේට මුළු ලංකාවම පෘතුග්‍රීසි ආධිපත්‍ය පැතිරවීමට තිබුණු හොඳ අවස්ථාවක් අහිමි කර ගත්තේය. 1554 නොවැම්බරයේදී ඩුආර්තේ ද ඒසා තවත් සොල්දාදුවන් 500 ක් දෙනා සමග කොළඹ නව බලකොටුවක් තැනුවේය.

1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.

පෘතුගීසි පාලනයේ පිරිහීම

[සංස්කරණය]

පෘතුගාල ස්පාංඤ්ඤ රාජකීය නිවාස මගින් පාලනය කිරිමෙන් පසුව (1580 සිට 1640 දක්වා) යටත් විජිත ජනයාට ජීවිතය ගතකිරීම අපහසු විය. රජතුමා වෙත වැසියන් රැක බලාගැනීමට සුදුසු පහසුකම් නොතිබු නිසා ශ්‍රී ලංකාවේ බෝහෝ ප්‍රදේශ අපරාජිත තත්ත්වයට පත්විය. දේශපාලනමය හා සමාජමය ව්‍යාකූලත්වය ජිවිතයේ මග වු අතර, රටේ සියල්ලම පැහැර ගෙන පැහැර ගත් දෙය පෘතුගාලයට නැව් ගත කරන ලදී. මෙම කාලයේ දී මිනිසුන් පෘතුග්‍රීසි පාලනයට වෛර කළ අතර, ලන්දේසින්ගේ මැදිහත්වීම අප්‍රසන්න පෘතුග්‍රීසි පාලකයගේ නිදහස් වීම සඳහා හැකි එකම මාර්ගය ලෙස සලකන ලදී. ලන්දේසින් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. එමගින් පෘතුගිසින් ට විරුද්ධව කරන යුද්ධය වෙනුවෙන් ගෙවනු ලබන චේතනය සහ අනිකුත් වියදම් මහනුවර රජතුමා විසින් ගෙවිය යුතු බවට සඳහන් විය. රජතුමා සතුව ප්‍රමාණවත් මුදල් හෝ කුළු බඩු වියදම් සඳහා ගෙවීමට නොහැකි වු විට ගෙවිය යුතු මුදලට වන්දිය ලෙස ඔවුන් අයකරගත් වරායන් සහ ඉඩම් ලබා ගන්නා ලදී.

පෘතුගීසි පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ දේ

පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත් විය. පෙරේරා, ආබනි, ප්‍රනාන්දු , රොද්‍රගු සහ සිල්වා වැනි පෘතුගිසි නම් සිංහල සංස්කෘති‍යේ කොටසක් බවට පත්විය. අළුත් තාලයක වු සමාගම කුලයේ ඇතිවිය. පෘතුග්‍රීසීන් ලාංකීකයන් සඳහා සිංහල රජවරු හෝ ‍ලන්දේසි පාලනයන්ට වැඩි පහසුකම් සපයන ලදී. පෘතුග්‍රීසි සංස්කෘතිය ලාංකික සංස්කෘතියේ ස්ථිර කොටසක් වු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වල ජනයා සහ ‍කතෝලිකයින් බවට පත් වුනි.මිනිසුන්ගේ ආහාර සහ ඇදුම් පෘතුග්‍රීසින් විලාසිතවන්ට හැඩ ගැසුණි .

දැනට ශ්‍රී ලංකාවේ සිටින පෘතුග්‍රීසින් ගෙන් පැවත ගෙන එන ජනයා කලින් වරයන් තිබු ප්‍රදේශවල ජීවත් වු ඔවුන්ගේ භාෂාවන් පවත්වාගෙන යනු ලබයි.

කොළඹ අග නගරය

[සංස්කරණය]

1565 ජුලි මසදී එතෙක් කෝට්ටේ තිබුණු අගනගරය හා උසාවි කොළඹට ගෙනා යුතු යැයි තීරණය කළහ. සිංහල ආරක්ෂක හමුදා තුනක් වත්තල, නාහලගම, හා මාපනේ සිටිමෙන් කොළඹ සිටි පෘතුගිසින් කොටුවුනි. එහෙත් ඔවුන්ට පහර දීමක් කළේ 1574 දීය. ඔවුහු මීගමුව, කලුතර හා බේරුවල කොල්ල කෑහ. නාගලගම හා මාපානේ තිබු සිංහල ආරක්ෂක බලකායන් පලවා හරින ලදී. වැලිගම හා හලාවත දිස්ත්‍රික්කය විනාශ කරන ලදී.

1581 අගොස්තු මාසයේදී කන්ද උඩරට හා සීතාවක රජු වු 1 වැනි රාජසිංහ රජු කොළඹ වැටලීම ආරම්භ කළේය. පෘතුගිසීන් නගරය අට්ටාල 12 කින් යුතු ආරක්ෂිත වශයෙන් ශක්තිමත් නගරයක් විය. සිංහලයන් කීප වරක් පහර දුන් නමුත් සෑම අවස්ථාවකදීම නගරය අත්පත් කර ගැනීමට අසමත් වූහ. 1588දී ඔවුහු වටලෑමේ අදහස අත්හැරියහ. 17 වැනි සියවසේ අවසානය දක්වාම පෘතුගිසීහු වෙරළ බඩ බලකොටුව වු කොළඹට, ගාල්ල, කලුතර සහ මීගමුව ආදියෙහි බලය අත්කර ගෙන සිටියහ.

1591 දී ආන්ද්‍රේ ෆුර්කාඩෝ ද මෙන්දොන්යා යාපනය ආක්‍රමණය කොට නල්ලුර් වල නව රජ කෙනෙක් පත් කලහ. 1592 දී පෘතුගිසීන් සුළු කාලයකට කන්ද උඩරට අල්ලා ගත් නමුදු සති කිහිපයකින් ඔවුන් ආපසු පලවා හරින ලදී. පෘතුගිසීන් කොට්ටේ සහ සීතාවක බලයේ සිටි නමුදු කන්ද උඩරට අල්ලා ගැනීමට කීප විටකදී කරන ලද උත්සාහයක් ව්‍යර්ථ විය.

1597 දී පෘතුගිසීන් ගාල්ල ශක්තිමත් කිරීම ආරම්භ කළහ. 1597 මැයි 27 දොන් ජුවන් ධර්මපාල රජු රාජ්‍යයට උරුමක් කාරයෙකු නොමැතිවම කොළඹ දී මිය ගියේය. ඔහුගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ රාජධානිය පෘතුගාලයේ රජුට පරිත්‍යාග කර තිබුණි. ඒ අනුව පෘතුගාලයේ 1 වැනි පිලිප් රජු බවට ප්‍රකාශයට පත්වුණි. මෙසේ කොට්ටේ රාජධානිය සම්පුර්ණයෙන්ම පෘතුගිසි පාලනයට යටත්විය. එහෙත් කන්ද උඩරට රාජධානිය පමණක් පෘතුගිසින්ට යටත් නෙවී පැවතුනි. පෘතුගිසින් යටත් විජිත පාලනයෙන් පළමු හානිය සිදු වුයේ ස්වදේශිය ආගම් වලටයි. විහාර , කොවිල්, පන්සල් විනාශ කරනු ලැබින. ගාල්ලේ සහ ත්‍රිකුණාමලයේ ප්‍රධාන ශිව කෝවිල් බිමට සමතලා කොට ඒවායේ සුන්බුන් එම ප්‍ර‍ෙද්ශයේම ඉදිකළ පෘතුගිසි බලකොටු ගොඩනැංවීමට යොදා ගන්නා ලදී. කොට්ටේ රාජධානිය තුල නොමැරී ඉතිරි වුයේ භික්ෂුන් වහන්සේල‍ා සිව් නමක් පමණි. වෙරළ බඩ තිරුවේ වෙළද ආධිපත්‍ය ලබාසිටි මුස්ලිම් වරුන් මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස සලකා හිරිහැර කළ අතර ඔවුන්ගේ පල්ලි විනාශ කරනු ලැබීය. මේවායේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ජනතාව කන්ද උඩරට හා මධ්‍ය කදුකරයට පලා ගියහ.

මාටින් ලුනර් නව ප්‍රො‍තෙස්තන්ත ව්‍යාපාරයක් ඇරඹීමත් සමග යුරෝපයේ ආගමික යුද්ධ පැන නැගෙද්දී ලාංකිකයෝ ද අසල්වැසි පාලකයන්ගේ උදවු ඇතිව තම රට නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටියහ. ලන්දේසිහුද ඔවුන්ගේ හමුදා සහායද ඇතිව ඉදිරියට එමින් දිගුකලක් පැවතුණු සටනක් ආරම්භ කලේ (එක් විදේශ ආධි පත්‍යක් තවත් විදේශ බලාධිකාරයකට) දිවයින මුදා ගැනිම සදහාය. ලන්දේසිහු ජාවා දිවයිනේ බතාමියා නගරයෙන් පැමිණි විගස මඩකලපුවට ගොඩ බැස ඔවුන්ගේ පාලනය ප්‍රදේශයේ පුළුල් කළේය. ඔවුහු උඩරට රජු සමග ලංකාවේ අනාගතය සම්බන්දයෙන් ගිවිසුමක් ඇති කර ගත්හ. “වඩා ‍ෙහාද නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ඔවුන්ට සහයෝගය පළකලහ.

ලංකා ඉතිහාසය-බුද්ධාගම අදහන්නන්ට හිරිහැර කිරීම

[සංස්කරණය]

1505 දී පෘතුග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධාගමික කටයුතු ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක් විය. තවදුරටත් කියතොත් පැවති පාලනයට මුහුණ දීමට සිදුවුණු අර්බුද, පෘතුග්‍රීසි මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ වෙනත් ආපදා සහිත තත්වයන් හේතු කොටගෙන සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ගියහ. එපරිදි දන්ත ධාතුව ඊළඟ රාජධානිය වූ මායා දුන්නේ රජ කළ සීතාවකට ගෙන යනු ලැබිණි. දාඨාධාතුවංශයට අනුව රත්නපුරයට දන්තධාතුව ගෙන ඒමට පළමුව ඈත දකුණේ මුල්ගිරිගල විහාරයට ද ඉන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යනු ලැබීය. අන්තිමට රත්නපුර දෙල්ගමුව විහාරයටත් එතැනින් විමලධර්ම සූරිය රජු විසින් (1592-1603) දැනට තැන්පත් කර තිබෙන මහනුවර දළදා මාළිගයටත් ගෙන එන ලදී.

යාපනය රාජධානිය ඈඳා ගැනීම

[සංස්කරණය]

කොළඹ සිටි පෘතුග්‍රීසි නිලධාරීන්ගේ අවධානයට යාපනය රාජධානිය යොමු වූයේ එය රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට බාධා පැමිණෙන පරිදි මැදිහත් වීම හේතුවෙනි. මිෂනාරිවරුන්ගේ කාර්යය වී තිබුණේ පෘතුග්‍රීසි වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. එමෙන්ම යාපනය රාජධානිය කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී පාර්ශවය වූ සීතාවක රාජධානියේ උප රජවරුන්ට සහයෝගය දැක්වීම තවත් හේතුවක් විය. කන්ද උඩරට රාජධානිය දකුණු ඉන්දියාවෙන් යුද්ධ ආධාර ලබා ගැනීමේදී හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද යාපනය රාජධානිය ක්‍රියා කළේය. තවත් කාරණයක් නම් යුද්ධ කටයුතුවලදී උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් උසුලන යාපනය ලන්දේසින්ට රට තුළට පැමිණීමේදී ආරක්ෂාව සලසන ස්ථානයක් වේ යයි පෘතුග්‍රීසීහු කල්පනා කිරීමයි. පෘතුග්‍රීසීන් සමග සියලු සම්බන්ධකම් නතර කළ රජෙකු වූයේ සංකිලි රජුය. (1519-1561). එපමණක් නොව ඔහු ලාභදායී ව්‍යාපාරයක් වූ මුතු කිමිදීමේ කටයුතු යාපනය රජවරුන්ගෙන් අත්පත් කරගැනීම සඳහා ඉන්දියාවෙන් ගෙන ආ පරවා කතෝලිකයින් 600-900 ක් පමණ දෙනා මන්නාරම් දූපතේදී ඝාතනය කළේය.

පළමු චාරිකාව 1560 දොම් කොන්ස්තන්තිනෝ ද බ්‍රැගන්සා යටතේ ක්‍රියාත්මක කළ නමුදු එය අසාර්ථක විය. එහෙත් මන්නාරම් දූපත උදුරා ගැනීමට එය සමත් විය. එහෙත් 1582 වන විට රජු වාර්ෂිකව ඇතුන් 10 ක් හෝ ඒ වෙනුවට මුදල් හෝ කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. 1590 දී අන්ද්‍රෙ ෆර්තාදෝ ද මෙන්ඩොසා යටතේ මෙහෙයවුණු ආක්‍රමණයේදී පුවිරාස පණ්ඩාරම් (1561-65, 1582-91) මරණයට පත් කොට ඔවුන්ගේ අනුග්‍රාහයෙකුවූ එදිරිමාන්නසිංගම් නැමැත්තකු රජකමේ පිහිටුවන ලදී. ඒ කතෝලික මිෂනාරී ක්‍රියාකාරකම්වලට ඉඩදීමත්, ඇතුන් අපනයනය කිරීමේ ඒකාධිකාරිය පෘතුග්‍රීසීන්ට පැවරීමත් යනාදී කොන්දේසිවලට යටත් වීමෙණි. එහෙත් එදිරිමාන්නසිංගම් (1591-1617) එම කොන්දේසි කඩ කළේය. ඒ හැරුණු විට ඔහු නැවත පිහිටවූ කන්ද උඩරට රාජ්‍යයේ විමලධර්මසූරිය (1593-1604) සහ සෙනරත් (1604-1635) රජවරුන්ට පෘතුග්‍රීසීන් සමග සටන් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ලැබෙන උදව් වලදී ආරක්ෂාව සැපයීමේ කටයුතුද කළේය. එමෙන්ම පෘතුග්‍රීසීන් කුපිත කරවීමකින් තොරව තම රාජ්‍යයේ ස්වාධීනත්වයද රැක ගත්තේය.

1617 දී පරරාජසේකරම්ගේ මරණය හා සමගම දෙවැනි සංකිලි නම් වූ රජකම උරුම නැති පුද්ගලයෙකු, රජකමට උරුමය තිබූ තැනැත්තා මරා දැමීමෙන් පසුව සිහසුනට පත් විය. දෙවැනි සංකිලිට පෘතුග්‍රීසීන් සමග ඇති කර ගත් ගිවිසුම පවත්වා ගෙන යාමට නොහැකි විය. ඔහු යුදමය ආධාර එවන ලෙස තන්ජවුර්නායක්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මලබාර්හි මුහුදු කොල්ලකරුවන්ට නෙදුන්තිව්හි ප්‍රධාන කඳවුර පාවිච්චි කිරීමට අවසර දුන්නේය. එම කඳවුර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පෘතුග්‍රීසීන්ගේ නැව් ගමනාගමනයට තර්ජනයක් වූ මුරපලක් විය. 1619 ජුනි වන විට සංකිලිට එරෙහිව දියත් වූ යුද චාරිකාවන් දෙකකින් එකක් වූ මුහුදු චාරිකාව මලබාර්වරුන් විසින් ව්‍යර්ත කල අතර පිලිප්පෙද ඔලිවේරා යටතේ ගොඩබිමින් ගිය 5000 ක පමණ පිරිස දෙවැනි සංකිලි පරාජය කළේය. සංකිලි අල්ලා ගෙන ගෝවට ගෙන ගොස් එල්ලා මරනු ලැබීය. ඉතිරිවූ අනිකුත් රාජකීය පවුලේ සාමාජිකයන් සියල්ල ගෝවට රැගෙන ගොස් ඔවුනට පැවිදි වන ලෙස බල කරන ලදී. බොහෝ දෙනෙක් ඊට එකඟ වූහ. මෙසේ කරන ලද්දේ යාපනය රාජ්‍යයට උරුම කියන්නන් වැළැක්වීමේ අදහසිනි. පෘතුග්‍රීසි පාලනයට එරෙහිව කැරළි තුනක් ඇති විය. 1658 දී ලන්දේසීන් යාපනයේ කොටුව අල්ලා ගන්නා තෙක් ගතවූ අවුරුදු 40 ක පමණ කාලය තුළ පෘතුග්‍රීසීහු එවකට දැන සිටි කෝවිල්ද ඒ වන තෙක් රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය ලේඛන එකතු කර තිබු නල්ලූර්හි සරස්වතී මහල් නම් පුස්තකාලයද විනාශ කළහ. අධික බදු බර උසුලාගත නොහැකි වුණු ජනතාවගෙන් කොටසක් ඉන්දියාවේ රාමනාදපුරම් වෙතටද තවත් කොටසක් දකුණේ වන්නි දිස්ත්‍රික්කයටද පලා ගියහ. ජනගහනය අඩු විය. විදේශ වෙළඳාම දහයෙන් එකක් දක්වා අඩු විය. අලි ඇතුන් අපනයනය කර ඒ වෙනුවට ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍යයන්ගෙන් වෙඩිලුණු ලබා ගෙන ඒවා ලිස්බන් වෙත යවන ලදී. මෙහිදී යාපනය රාජ්‍යයට ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් එම කටයුතු නවතා දමන ලදී. ෆර්නාඩ් ද ක්වේරෝස් නැමති ප්‍රධාන පෘතුග්‍රීසි ඉතිහාස ලේඛකයා "යාපනයේ ජනතාව පෘතුග්‍රීසි යටත් විජිත යුගයේදී අනන්ත දුක්ඛිත තත්වයට පත් වී සිටියහ." යනුවෙන් ලියා තිබුණේය.

උඩරට යුද මෙහෙයුම සහ බදුල්ලේ දී පරාජය වීම

[සංස්කරණය]

1598 දී පාතුග්‍රීසීහු ඇත්ගාලතොට අල්ලා ගත්හ. එය මහඔයෙහි එතෙර මෙතෙර වීම පාලනය කළ ස්ථානයයි. 1599 දී මැණික් කඩවර ශක්තිමත් බලකොටුවක් ගොඩ නංවන ලදී. මෙම ස්ථානය උඩරට රාජ්‍යයේ මායිමේ පිහිටියේය.

1602 මැයි 31 වෙනි දින පළමු ලන්දේසි කණ්ඩායම ලංකාවට පැමිණියහ. ඔව්හු මඩකලපුවේ නැංගුරම් ලෑහ. මඩකලපුව පෘතුග්‍රීසීන්ට කෙදිනකවත් අයිති කරගත නොහැකි වූ වරායකි. ලන්දේසීහු ලංකාවේ අධිරාජයා සහ මහනුවර රජු වූ 1 වැනි විමලධර්මසූරිය සමග පෘතුග්‍රීසීන්ට එරෙහිව මිත්‍ර සබඳතා ගොඩ නගා ගත්හ.

1603 ජනවාරියේදී දොන් ජොරනිමෝ ද අසවේදු ගනේතැන්න කොටුව සහ අත්හැර දමන ලද බලන කොටුව ද අල්ලා ගත්තේය. බලන, මහනුවර රාජධානියේ ඉතා වැදගත් ස්ථානයකි. කීප දිනකට පසු ඔවුනට පසු බැසීමට කරුණු සිදු විය. ඔවුනට මැණික් කඩවර ද අහිමි විය. 1611 දී අසවේදු, පෘතුග්‍රීසි භටයින් 700 ක්ද, ලස්කිරිඤ්ඤ භටයින් විශාල සංඛ්‍යාවක් ද, රැගෙන නුවර බලා ගමන් කළේය. ඒ යන ගමනේදී බලන කොටුවද අත්පත් කර ගෙන භට හමුදාවක් ද එහි නතර කළේය. ඔහු මහනුවර නගරය අල්ලා ගෙන එය ගිනි බත් කළේය. මහනුවර සෙනරත් රජු රට අභ්‍යන්තරයට පලා ගියේය. යටත් නොවුණු නමුදු මහනුවර රාජ්‍යය තාවකාලිකව අරාජික විය.

1624 දී පෘතුග්‍රීසීහු ත්‍රිකුණාමලය අල්ලා ගෙන එය ශක්තිමත් කළහ. 1628 දී දොන් කොන්ස්තන්තිනෝද සා මැණික් කඩවර ශක්තිමත් කර රට හරහා ගොස් මඩකලපුව අල්ලා ගෙන එයද ශක්තිමත් කළේය. ඔහු කොළඹ දක්වා ආපසු ගමන් කිරීමේදී මහනුවරට ද කඩා වැදුණේය. 1629 දී ඌව (දැනට බදුල්ල) විනාශ කරන ලදී.

1630 දී දොම් කොන්ස්තන්තීනු ද සා, විසුරේ ගේ බල කිරීම මත සෙනරත් රජුට එරෙහිව ඔහුගේ අගනුවර ආක්‍රමණය කිරීම සඳහා යාමට තීරණය කළේය. 1630 අගෝස්තු 9 දින පෘතුග්‍රීසි සොල්දාදුවන් 400 ක්ද, විවාහක 200 ක්ද, 4400 ක් වූ ලස්කිරිඤ්ඤ භටයින්ද සබරගමුවේ සිට (රත්නපුර අසල) ඌවට කැලෑ මැදින් ගමන් ආරම්භ කළහ. 1630 අගෝස්තු 18 වෙනි දින පෘතුග්‍රීසීහු බදුල්ලට ඇතුළු වූහ. ඔවුන් එන විට නගරය පාළු වී තිබුණි. ඔව්හු දින දෙකක් නගරය කොල්ල කෑහ. ගිණි තැබූහ. 1630 අගෝස්තු 21 වෙනි දින පෘතුග්‍රීසීහු කොළඹ බලා ආපසු ගමන් ආරම්භ කළ නමුත් වැල්ලවායේදී සිංහල හමුදා ප්‍රහාරයකට ලක් වූහ. බොහෝ ලස්කිරිඤ්ඤ භටයෝ පෘතුග්‍රීසීන් පාවා දුන්හ. පක්ෂපාතීව සිටියේ 500 ක් පමණි. අනෙකුත් අය සතුරාට එක් වූහ. උඩරට රජුට මෙය විශාල ජයග්‍රහණයක් විය. මෙම පෘතුග්‍රීසි ආක්‍රමණයේදී දිවි ගැලවුණේ 130 දෙනෙකුගේ පමණී. ඔව්හු යටත් වූහ. කපිතාන් ජොරනිමෝ ද අසවේදු අල්ලා ගනු ලැබ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. ඔහුගේ හිස (පසුව දෙවැනි රාජසිංහ නමින් රජ වූ ) මහාස්ථාන කුමරු විසින් රැගෙන ගොස් සෙනරත් රජුට පෙන්වා සිටියේය.

මෙම පරාජය පෘතුග්‍රීසි ලංකාව අනතුරුදායක තත්වයකට පත් කළේය. මෙම ජයග්‍රහණයෙන් පසු සබරගමුව බලකොටුව අල්ලා ගෙන කොළඹ නගරය වට කළේය. එහෙත් මාස තුනක් වටලා සිටීමෙන් පසුව නැවත ඔවුනට පසු බැසීමට සලස්වන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පෘතුගීසි_ලංකාව&oldid=588528" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි