ශ්‍රී විජය රාජසිංහ රජ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී විජය රාජසිංහ
මහනුවර රාජධානියේ රජ
රාජ්‍ය සමය 13 මැයි 1739 – 11 අගෝස්තු 1747
අභිෂේකය 1739
පූර්වප්‍රාප්තිකයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
අනුප්‍රාප්තිකයා කීර්ති ශ්‍රී රාජසිංහ රජ
උපත මදුරෙයි, ඉන්දියාව
මරණය 11 අගෝස්තු 1747
ශ්‍රී ලංකාව
වංශය මහනුවර නායක්කාරවරු

නරේන්ද්‍ර සිංහ රජුගේ පළමු බිරිඳගේ සහෝදරයා නොහොත් රජුගේ මස්සිනා වූ ශ්‍රී විජය රාජසිංහ එම නමින්ම මහනුවර රාජධානියේ රජු ලෙස සිහසුනට පත් විය. ඔහු දකුණු ඉන්දියාවේ විජයනගර් පරම්පරාවෙන් පැවත එන්නෙකි. ඔහුගේ සම්භවය ද මදුරෙයි නගරයයි.

නව රජු සැලකිය යුතු තරමේ ප්‍රබුද්ධයෙකු විය. හින්දු භක්තිකයෙකු වුවත් ජාතික ආගම වූ බුද්ධාගමේ උන්නතිය සඳහා සම්පූර්ණ අවධානය යොමු කළේය. ඔහු රටේ නොයෙක් ස්ථානවල ගල් ලෙන්වල බුදුන්ගේ සැතපෙන පිළිම, හිටි පිළිම, හා හිඳි පිළිම ජීවමාන ප්‍රමාණයට ගලින් නිම කිරීමට කටයුතු කළේය. එවකට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි ලන්දේසීන් සමග වෙළඳ කටයුතු මුල් කරගෙන සටන් කීපයක නියැලීමට රජුට සිදු විය. ශ්‍රී විජය රාජසිංහ පල්ලි විනාශ කළේය. ලන්දේසීන්ට හා පෘතුග්‍රීසීන්ට නොයෙක් වද හිංසා පැමිණ වූ අතර එම තත්වය කීර්ති ශ්‍රී යුගය දක්වා පැවතියේය. රටේ ව්‍යසනකාරී සිද්ධීන් කීපයක් ඇති වූ අතර එවැනි දෑ සිදු වන්නේ රජුගේ ක්‍රියා කලාපයන් නිසා යැයි රජු සිතුවේය. එයින් පසු පමණක් රජුගේ එම ක්‍රියා නැවතුණේය.

මදුරෙයි රාජකීය පවුල සමග විවාහ සබඳතා[සංස්කරණය]

රජු සිහසුනට පත් වීමෙන් පසු දකුණු ඉන්දියාවෙන් බිරිඳක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කළේය. මේ සඳහා ඔහු 1739 දී මදුරෙයි නගරයට දූතයින් දෙදෙනෙකු යැව්වේය. ඒ වන විට මදුරෙයි හි නායකවරුන් විජයරංග චොක්කනාථ සමයේ භුක්ති විඳිමින් සිටි බලය සහ ගෞරවය ඔවුන් වෙතින් ගිලිහී තිබුණි. මේ නිසා ශ්‍රී ලංකාවේ රජු විසින් ගෙනෙන ලද යෝජනාව භාර ගැනීමට වඩා සුදුසු සහ මනෝඥ බැව් මදුරෙයි නායකවරු කල්පනා කළහ. බංගරුතිරුමලගේ පවුලේ අය රජුගේ යෝජනාව පිළිගත්හ. එම පවුල ඒ වන විට වාසය කළේ ශිවනංග සමීන් හි තිරුපචේතිරම් අසල වෙල්ලෙයි කුරුච්චි කොටුවේය. බංගරු තිරුමලගේ ඤාති වූ රාම ක්‍රිෂ්ණප්පා නායක සහ නරෙනප්පා නායක නම් සහෝදරයින් දෙදෙනා රාම්නාද් නම් ස්ථානයේදී රජුගේ නියෝජිතයන් දෙදෙනා මුණ ගැසුනාහ. නරෙනප්පා නායක හට විවාහ කර දෙන වයසේ දියණියක් සිටි අතර ඔව්හු මහනුවර රජුගේ ඉල්ලීමට කැමැත්ත පළ කළහ. සහෝදරවරු ඔවුන්ගේ පවුලේ අයද ඤාතීන් ද රජුගේ නියෝජිතයා සමග දියණියගේ විවාහ මංගල්‍යය උදෙසා ලංකාවට පැමිණියහ. පසුව ඔව්හු නෑදෑ හිතමිත්‍රාදීන් සමග මහනුවර පදිංචි වූහ. නරෙනප්පා නායක එක් ර‍ෙජකුගේ මාමා කෙනෙකු වූවාක් මෙන් අනාගත රජවරුන් දෙදෙනෙකුගේ පියෙකු වීමේ අවස්ථාව ලැබුවේය. ඒ අනාගත රජවරුන් දෙදෙනා නම් ඔහුගේ පුතුන් දෙදෙනාය. එයින් එක් කෙනෙකු 1740 වන විට අවුරුදු 5 ක් හෝ 6 ක වයස් වූ අතර අනෙකා අත දරුවෙකු විය. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ශ්‍රී විජය රාජසිංහගෙන් පසු රජ බවට පත්වූහ.

1747 දී ශ්‍රී විජය රාජසිංහ තවත් මදුරෙයි කුමරියක් සරණ පාවා ගත්තේය. මේ සෑම මනමාලියකම ඇයගේ නෑදෑයින් කණ්ඩායමක් ගෙන ආහ. ඔවුන් රාජකීය උරුමයක් ඇති අය වූහ. පසුව ඔව්හු මහනුවර ඔවුන්ගේ ස්ථිර නිවහන කර ගත්හ.

මරණය[සංස්කරණය]

රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා නම් කළ විගසින් මිය ගියේය. ඔහුට දරුවන් නොමැති විය. ඔහු රජ බවට පත් වීමට නම් කරනු ලැබුවේ ඔහුගේ බිරිඳගේ සොහොයුරා වූ තමන්ගේ වැඩිමල් මස්සිනාය. හෙතම ඔහුගේ සොහොයුරිය රජු සමග විවාහ වූ දිනයේ සිටම රජ මාළිගයේ සිටි තැනැත්තෙකි. අනුප්‍රාප්තිකයෙකු පත් කිරීම සම්බන්ධයෙන් වූ මෙම විශේෂිත ක්‍රමය නිසා නරෙනප්පා නායකගේ පුතා කීර්ති ශ්‍රී රාජසිංහ නමින් මහනුවර සිහසුන උරුම කර ගත්තේය.

ශ්‍රී විජය රාජසිංහ රජ
උපත: ? ? මරණය: 11 August 1747
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තික වූයේ
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
මහනුවර රාජධානියේ රජ
13 මැයි 1739 – 11 අගෝස්තු 1747
අනුප්‍රාප්තික වූයේ
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_විජය_රාජසිංහ_රජ&oldid=430273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි