බිමාරාන් කරඬුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බිමාරාන් කරඬුව
BimaranCasket2.JPG
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බිමාරාන් කරඬුව; මෙහි බ්‍රහ්ම (වමේ) සහ ශක්‍ර (දකුණේ) පිරිවරා සිටින් බුදුන් වහන්සේගේ රුව දැක්වේ.
මාධ්‍යය මැණික් ඔබ්බවන ලද රත්රන්
ප්‍රමාණය උස 6.7 cm, විෂ්කම්භය 6.6 cm
නිර්මාණය වූයේ ක්‍රි.ව. 1වන සියවස
වර්තමාන පිහිටුම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන්
ලියාපදිංචිය OA 1900.2-9.1

බිමාරාන් කරඬුව හෙවත් බිමාරාන් ධාතු කරඬුව ලෙස හැඳින්වෙන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් අසල බිමාරාන්හි ස්තූප අං.2න් හමුවූ බෞද්ධ පුරාවස්තු ඇතුළත් කුඩා රන් කරඬුවකි.

අනාවරණය[සංස්කරණය]

කැනීම් කටයුතුවල දී මෙම කරඬුව සොයාගැනුණු බිමාරාන්හි ස්තූප අං. 2; සිතුවම චාල්ස් මැසන් විසිනි.

1833 සහ 1838 අතර කාලයේ ඇෆ්ගනිස්ථානයෙන් පුරාවිද්‍යාඥ චාල්ස් මැසන් විසින් මෙය සොයාගන්නා විට,‍ මෙම කරඬුව තුළ ඉන්දු-සිතියානු රජ IIවන ඒසස්ගේ කාසි ඇතළත් විය. මෑතක දී සීනියර් විසින් සිදුකළ පර්යේෂණවල දී IIවන ඒසස් න්ම රජකු ජීවත්ව සිට නොමැති බව හෙළිවීමත් සමග[1] මෙම සොයාගැනීම් Iවන ඒසස් යුගයට අයත් යැයි සලකන ලදී. වඩාත් මෑතක දී (2015) සිදුකළ පර්යේෂණවලින් මෙම කාසි ඉන්දු-සිතියානු රජකු වූ ඛරාහොස්තෙස් හෝ ඔහුගේ පුත් මුජාත්‍රියාගේ සමයයට අයත් යැයි ‍යෝජනා විය. ඔහු විසින් ඒසස්ගේ වම් භාවිතයෙන් මරණාපරව කාසි නිකුත් කොට ඇත.[2]

කාසි මත පදනම්ව බිමාරාන් කරඬුව ඇතැම්විට ක්‍රි.ව.0-15 (ෆස්මන්), සාමාන්‍යයෙන් ක්‍රි.ව. 50-60 (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය), හෝ කලාත්මක ලක්ෂණ සලකා ඇතැම්විට පසුකාලීන (ක්‍රි.ව. 2වන සියවස) යුගයකට අයත් යැයි විවිධ අයුරින් කාලනිර්ණය කෙරේ. මෙය වර්තමානයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ එකතුවේ තබා ඇත.[3] මෙම අනන්‍ය කලාකෘතියේ දිනනිර්ණය බෞද්ධ කලාවේ දිශානතිය සහ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරෙහි තීරණාත්මක වේ. එහි ඇති වැඩිදියුණු වූ ප්‍රතිමා ලක්ෂණ හේතුවෙන් බුද්ධ ප්‍රතිමා නිර්මාණය මෙයට මඳ කාලයකට පෙර සිදුවන්නට ඇතැයි සිතිය හැක.

විස්තරය[සංස්කරණය]

බුද්ධ රූපයෙහි සමීප දසුනක්; මෙහි දුර්ලභ මුද්‍රාවක් සහ සැහැල්ලු වස්ත්‍රය දැකගත හැක.

මෙම කරඬුව සම්භාව්‍ය ලෝකයේ පික්සිස් බඳුන් සිහි ගන්වන කුඩා බහාලුමකි.[4] මෙය හමුවන විට පියනක් දක්නට නොලැබිණි.[4] මෙහි පත්ළේ නෙළුම් මල් මෝස්තර දක්නට ලැබේ.[4]

මෙම කරඬුවෙහි බුදුන් වහන්සේගේ රුව හෙලනිස්තික ස්වරූපයෙන් දැක්වේ. (ප්‍රතිවර්ත විලාසයෙන්, ග්‍රීක බැඳි කේශකලාපය, උඩු රැවුල, යතාර්ථවාදී නිරූපණය)[4] බුදුන් වහන්සේගේ රුව දෙපස ග්‍රීක-රෝමානු ගෘහනිර්මාණ ශෛලියෙන් යුත් අරුක්කු සහිත විමානවල ඉන්දියානු දේවතාවුන් වන බ්‍රහ්ම සහ ශක්‍ර රූ දක්නට ලැබේ. මෙහි අධි-උන්නත ස්වරූපයෙන් යුත් කැටයම්වල රූප අටක් (ඉන් දෙකක් බුදුන්-බ්‍රහ්ම-ඉන්ද්‍ර ලෙස හඳුනාගෙන ඇත. එසේම බැතිමතුන් හෝ බෝධිසත්ත්වයින් දෙදෙනකු ද වේ) සහ බදාඛ්ෂාන්වලින් ගෙන්වූ රතු මැණික් පේළි දෙකක් ද වේ.[4]

ග්‍රීවාභරණ, අත් පළඳනා, වළලු සහ රශ්මි මාලාවන් මත පදනම්ව මෙහි දැක්වෙන බැතිමතුන් දෙදෙනා නිරූපිත රූ බෝධිසත්ත්ව රූ යැයි විශ්වාස කෙරේ.[4] ඔවුහු වන්දනාමාන ඉරියව්වෙන් යුතුව අංජලී මුද්‍රාවෙන් දෑත් පිහිටුවාගෙන සිටිති.[4]

මෙම කරඬුව රන්-තලි කැටයම්වලින් යුක්ත අතර, එය ඉතා කුඩා ය. අහි උස 7 cm (අඟල් 2.75) පමණ වේ. මෙය ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවේ අග්‍රකෘතියක් ලෙස සැලකේ.

බුද්ධ රූපය: විරළ රුවකි[සංස්කරණය]

බුදුන් වහන්සේගේ රුව පසෙකට සක්මන් කරන අයුරින් නිරූපිත ය. උන් වහන්සේගේ දකුණු හස්තය අභය මුද්‍රාවෙන් යුතු ය. වම් හස්තය ඉණෙහි තබාගෙන ඇත. ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ චීවරය සිටගත් සෙසු බුද්ධ ප්‍රතිමා (බලන්න සිටගත් බුද්ධ ප්‍රතිමාව (ටෝකියෝ ජාතික කෞතුකාගාරය)) හා සැසඳීමේ දී ඉතා සැහැල්ලු ය. එය වඩාත් සැහැල්ලු අයුරින් සිරුරට ඇලී ඇත. මේවා භික්ෂූන්ගේ වස්ත්‍රයෙහි පළමු ස්තර දෙක වන අන්තරවාසක සහ උත්තරසංග නිරූපණය වේ යැයි සිතිය හැක. මීට අමතරව බරැති පිටත වස්ත්‍රයක් වන සංඝාටිය දණෙන් පහළට ඇද වැටේ. බුදුන් වහන්සේගේ චීවරය දකුණු සහ වම් හස්තයට ඉහළින් නැවී ඇත. (සම්භාව්‍ය බුද්ධ රූපවල එය වමතෙහි දරා සිටිනු දැක්වේ) එය උත්තරිය වැනි සළුවක ආකාරය ගනියි. බුදුන් වහන්සේගේ ශිර්ෂයෙහි උෂ්ණීෂය දක්නට ලැබෙන අතර, හිස වටා සරල රශ්මි මාලාවක් දැකගත හැක. මෙවැනි ලක්ෂණ (ඉරියව් සහ වස්ත්‍ර) දුර්ලභ අතර, මෙවැනි රූ කණිෂ්කගේ (ක්‍රි.ව. 150 පමණ),හමුවේ. එම කාසිවල "ශාක්‍යමුණි බුද්ධ" යන අභිලේඛනය සහිත අතර, , "බුද්ධ" යන අභිලේඛනය සහිත ඔහුගේ කාසිවල බුද්ධ රූපය බරැති පිටත ලෝගුවක් හැඳසිටිනු දැක්වේ. මෙම ඉරියව්ව ගන්ධාර බුද්ධ සහ බෝධිසත්තව ප්‍රතිමාවල දක්නට ලැබෙන නමුත්, මෙහි බෝධිසත්ත්ව රූ ඉන්දියානු ධෝතියක් සහ රාජකීය ජටාවක් හැඳිසිටිනු නිරූපිත ය.

බිමාරාන් කරඬුව; සිතුවම් චාල්ස් මැසන් විසිනි: සමස්ත දර්ශනය, කරඬුවේ අර්ධයක පැතලි පෙනුම සහ පත්ළ නිරූපිත ය.

ස්ටීටයිට් බහාලුම[සංස්කරණය]

බිමාරාන් කරඬුව තැන්පත් කොට තිබූ ස්ටීටයිට් මංජුසාව

බිමාරාන් කරඬුව තැන්පත් කොට තිබුණේ ස්ටීටයිට් මංජුසාවක ය. එහි අභිලේඛනයෙහි සඳහන් වූයේ මෙහි බුදුන් වහන්සේගේ ධාතූන් තැන්පත් කොට ඇති බවකි. 19වන සියවසේ දී එය විවෘත කරනු ලැබූ විට මංජුසාව තුළ කිසිදු හඳුනාගත හැකි ධාතුවක් නොවී ය. නමුත් ඒ වෙනුවට පිළිස්සූ මුතු, වටිනා සහ අර්ධ-වටිනා පාෂාණයෙන් නිමකළ පබළු සහ IIවන ඒසස් රජුගේ කාසි හතරක් දක්නට ලැබිණි.

මංජුසාවෙහි ලියා ඇති අභිලේඛනය පහත පරිදි වේ[2]:

බහාලුමේ ප්‍රධාන බඳ:
"ශිවරක්ෂිත මුම්ජාවම්දාපුත්‍රස දනමුහේ නියදිදේ භගවාත ශරීරේහි සර්වබුධාන පූයේ"
"මුන්ජාවම්දගේ පුත් ශිවරක්ෂිතගේ පූජනීය ත්‍යාගය; සියලු බුදුන් වහන්සේලා වෙත ගෞරවයෙන් භාග්‍යවතුන්ගේ ධාතූන් වෙනුවෙන් පූජාකරන ලදී" (පරිවර්තනය ෆස්මන් විසිනි)
බහාලුමේ පියන:
"ශිවරක්ෂිත මුම්ජාවම්දාපුත්‍රස දනමුහේ භගවාත ශරීරේහි"
"මුන්ජාවම්දගේ පුත් ශිවරක්ෂිතගේ ත්‍යාගයයි; භාග්‍යවතුන්ගේ ධාතූන් වෙනුවෙන් පූජාකරන ලදී"

කාසිවල දිනනිර්ණය[සංස්කරණය]

ඒසස් II[සංස්කරණය]

බිමාරාන් කරඬුව තුළින් හමුවූ IIවන ඒසස් රජුගේ කාසි
බිමාරාන් කරඬුවෙන් හමුවූ කාසියක්; සිතුවම චාල්ස් මැසන් විසිනි.[5][6]
ඉදිරි. ධාවනයෙහි යෙදෙන ඒසස්, ΒΑΣΙΛΕΩΣ ΒΑΣΙΛΕΩΝ ΑΖΟΥ "රජුන්ගේ රජ ඒසස්" සඳහා යෙදෙන ග්‍රීක ආදර්ශ පාඨයේ විකරණයක් (WEIΛON WEOΛΛWN IOCAAC) සහ රජුගේ හිසට පසුපසින් බෞද්ධ ත්‍රිරත්න සංකේතය යොදා ඇති අයුරු.
පසු. වමතින් සමෘද්ධශෘංගයක් දරා සිටින, දකුණත ඔසවාගත් ටයිචි නගර දේවතාවියගේ රුව. ඛරෝෂ්ඨි ආදර්ශ පාඨයක් වන මහාරාජස මහාතාස ධ්‍රමකිස රාජාතිරාජස ආයස "ධර්මයේ අනුගාමික මහා රජ, රජුන්ගේ රජ ඒසස්".

කරඬුව තුළ තිබී IIවන ඒසස්ගේ කාසි හමුවීම හේතුවෙන් පුරාවිද්‍යාත්මකව මෙම කරඬුව ක්‍රි.පූ. 30 සිට ක්‍රි.පූ. 10 දක්වා වූ කාලයට අය්ත යැයි යෝජනා වී ඇත. IIවන ඒසස් විසින් තමන් පෙර ආක්‍රමණය කළ පෙදෙස්වලින් ඉන්දු-ග්‍රීක කලාකරුවන් රැගෙන විත් ස්තූපයට පූජා පවත්වන්නට ඇත. මෙම කාසි බොහෝ ගෙවීගොස් නැත. ඉන් අදහස් වන්නේ මේවා නිර්මාණය කොට මඳ කලකට පසුව පූජාකෙරුණු බවයි. මථුරා සිංහ කුළුණු ශීර්ෂය හේතුවෙන් ඉන්දු-සිතියානුවන් නිසැකවම බුදු දහම හා සම්බන්ධව සිටි බව හඳුනාගෙන තිබිණි. එවැනි දිනයක් හේතුවෙන් මෙම කරඬුව බුදුන් වහන්සේ නිරූපිත ආදිම හඳුනාගත් නිරූපණය වනු ඇත:

"ගන්ධාරයේ කලාව තුළ, ආසන්න වශයෙන් දිනනිර්ණය කළ පළමු හඳුනාගත් සිටි බුද්ධ රුව වන බිමාරාන් කරඬුවේ රුව විශේෂඥයින් විසින් ඉන්දු-සිතියානු යුගයට, වඩාත්ම නිශ්චිතව කිවහොත් IIවන ඒසස් යුගයට අයත් යැයි සලකනු ලබයි" (ක්‍රිස්ටීන් සැච්ස්, "De l'Indus à l'Oxus").

කෙසේනමුත්, මෙම කාසිවල ඇති සමහර ලක්ෂණ ඒසස්ගේ කාසිවල දක්නට නොලැබේ: පසුපස පිහිටි ටයිචි රුව, රජුහට පසු මුහුණතෙහි ඛරෝෂ්ඨි අභිලේඛ‍නයෙහි ලබා දී ඇති ධ්‍රාමික පදවි නාමය සහ පසුකාලීන සිතියානු රජ ඛාරාහොස්තෙස් විසින් භාවිතා කළ සංකේත භාවිතා කොට තිබීම එවැනි ලක්ෂණ වේ.[7]

ඛාරාහොස්තෙස්[සංස්කරණය]

ඒසස්ගේ නාමයෙන් යුත් ඛාරාහොස්තෙස්ගේ කාසියක්.
ඉදිරි. අසු පදවන ඒසස්, ΒΑΣΙΛΕΩΣ ΒΑΣΙΛΕΩΝ ΑΖΟΥ "රජුන්ගේ රජ ඒසස්" යන්න සඳහා යෙදෙන ග්‍රීක පාඨයේ විකරණයක් (WEIΛON WEOΛΛWN IOCAAC), රජුගේ හිස පසුපස ඇති බෞද්ධ ත්‍රිරත්න සංකේතය.
පසු. වමතින් සමෘද්ධශෘංගයක් දරා සහ දකුණත ඔසවාගෙන සිටින ටයිචි දේවතාවිය. ඛරෝෂ්ඨි ආදර්ශ පාඨය මහාරාජස මහාතස ධ්‍රාමකිස රාජාතිරාජස ආයස" "ධර්මයේ අනුගාමික මහා රජ, රජුන්ගේ රජ ඒසස්"

2015දී ජෝ ක්‍රීබ් විසින් සිදුකළ පසුකාලීන අධ්‍යයනවල දී සලකා ඇත්තේ ඉහත කාසි ඛාරාහොස්තෙස් හෝ ඔහුගේ පුත් මුජාත්‍රියා විසින් නිකුත් කළ ඒවා බවයි.[2] බිමාරාන් කරඬුවෙහි ඇති බොහෝ ලක්ෂණ IIවන ඒසස්ගේ අනුප්‍රාප්තිකයකු වූ ඛාරාහොස්තෙස් (ක්‍රි.පූ. 10–ක්‍රි.ව. 10) නිකුත් කළ කාසි සමග ගැළපේ. ඔහු බොහෝ කාසි IIවන ඒසස්ගේ නාමයෙන් නිකුත් කොට ඇත.[7]

බිමාරාන් කාසියෙන් හමුවූ කාසි සතර එකම වර්ගයේ ඒවා වේ: බාල රිදියෙන් කළ ඒසස්ගේ නාමය සඳහන් චතුර්ඩ්‍රැමා කාසියකි.[8] එහි ඉදිරිපස අසු පිට සිටින රජු සිය දකුණු හස්තය ඔසවාගෙන සිටින අයුරුත්, වක්‍රාකාර ග්‍රීක ආදර්ශ පාඨයක් සහ ත්‍රිපත්‍රික රාජවංශික ලාංඡනයක් දැකගත හැක.[8] එම ආදර්ශ පාඨය කැඩීගිය ග්‍රීක බසින් WEIΛON WEOΛΛWN IOCAAC (එය ΒΑΣΙΛΕΩΣ ΒΑΣΙΛΕΩΝ ΑΖΟΥ යන්නයි) එනම් "රජුන්ගේ රජ ඒසස්" ලෙස සඳහන්ව ඇත. කාසියේ පසුපස සමෘද්ධශෘංගයක් දරා සිටින ටයිචි දේවතාවිය සමග ඛරෝෂ්ඨි ආදර්ශ පාඨයක් දැක්වේ.[8] එම පාඨය මහාරාජස මහාතාස ධ්‍රාමකිස රාජාතිරාජස ආයස "ධර්මයේ අනුගාමික මහා රජ, රජුන්ගේ රජ ර්සස්" ලෙස වේ.

ඛාරාහොස්තෙස්ගේ රාජවංශික සලකුණ.
වම්පස පින්තූරය: බිමාරාන් කරඬුවේ කාසිවල රාජවංශික සලකුණ (අශ්වයා ඉදිරිපස), බ්‍රිතාන්‍ය කෞතුකාගාරය [3].
දකුණුපස පින්තූරය: ඛාරාහොස්තෙස්ගේ කාසියක රාජවංශික සලකුණ [4].
බිමාරාන් කරඬුවේ කාසිවල වර්ගය සහ රාජවංශික සලකුණ ඛාරාහොස්තෙස්ගේ කාසිවලට සමාන ය.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නිකුත් කළ සමීප ඡායාරූවල[5] දිස්වන්නේ එම කාසිවල ඒසස්ගේ නාමය සහිත නමුත්, ඒවායේ "ත්‍රිපත්‍රික" සංකේතයක් දක්නට ලැබෙන බවයි. සිය කාසිවල ‍නිතරම ඒසස්ගේ නාමය යෙදූ ඛාරාහොස්තෙස්ගේ කාසිවල ද මෙමලක්ෂණය දැකගත හැක.[9] මේ අනුව බිමාරාන් කාසිවල කාසි වර්ගය ද ඛාරාහොස්තෙස්ගේ ප්‍රධාන කාසිවලට (අසරුවා සහ ටයිචි ප්‍රභේදයේ) සමාන බැව් පෙනේ.

Tමෑතක දී පාකිස්ථානයේ බාජෞර්හි ෂින්කොට්වලින් හමුවූ බෞද්ධ රිදී කරඬුවක ද ඛාරාහොස්තෙස්ගේ නාමය සඳහන් වේ. මේ අනුව යෝජනා වී ඇත්තේ ඛාරාහොස්තෙස් ද බිමාරාන් කරඬුවට සමාන බෞද්ධ පූජාවන් සිදුකොට ඇති බවයි.[10]

මේ අනුව බිමාරාන් කරඬුව ඛාරාහොස්තෙස් (ක්‍රි.පූ. 10 – ක්‍රි.ව. 10) රාජ්‍ය සමයේ, බොහෝවිට මුල් කාලයේ නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැක. කරඬුවට ඇතුළත් කරන විටත්, කාසි ගෙවී නොතිබීම මෙයට හේතු වශයෙන් දැක්වේ. මේ අනුව බිමාරාන් කරඬුව ක්‍රි.පූ. 10 හෝ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයට අයත් යැයි සිතීමට සිදුවේ.

කුජුල කැඩ්ෆයිසිස්[සංස්කරණය]

ඛාරාහොස්තෙස්ගේ ත්‍රිපත්‍රික ලාංඡනයට සමාන සලකුණක් සහිත කුජුල කැඩ්ෆයිසිස්ගේ දුර්ලභ ගණයේ කාසියක් (පසුපස මුහුණත බලන්න); මේවායේ කාසි ප්‍රභේදය ("සම්මානනීය හිස සහ හිඳගත් රජු" ප්‍රභේදයේ) බිමාරාන් කාසිවලින් බෙහෙවින් වෙනස් ය. කුජුලගේ කාසිවල ඇති එකම සමානත්වය නම් සංකේතය ඇතුළත් වීමයි.[11]

කුෂාණ පාලක කුජුල කැඩ්ෆයිසිස් සිය කාසි අතුරින් එක් ප්‍රභේදයක ("සම්මානනීය හිස සහ හිඳගත් රජු" ප්‍රභේදයේ) ඛාරාහොස්තෙස්ගේ ත්‍රිපත්‍රික ලාංඡනයට සමාන ලාංඡනයක් භාවිතා කොට ඇත. මේ නිසා බිමාරාන් කරඬුවේ කාසි මෙම යුගයට, එනම් ක්‍රි.ව‍. 60ට පමණ අයත් යැයි යෝජනාවක් ඉදිරිපත් විය.[7] කෙසේනමුත් මෙම කාසිය බිමාරාන් කරඬුවේ කාසි ("අසරුවා සහ ටයිචි" ප්‍රභේදයේ) සමග නොසැස‍ඳේ. කුජුල කැඩ්ෆයිසිස් විසින් ඒසස් ගේ නාමය සහිත සිතියානු-ආරේ කාසි නිකුත්කළ බවට වාර්තා නැත.

ත්‍රිපත්‍රික සංකේතය වෙනත් කිසිදු පාලකයකුගෙන් (ඛාරාහොස්තෙස්ගේ පුත් මුජාත්‍රියාගෙන් හැර)[11] හමුවී නැත. මේ නිසා 2015දී ජෝ ක්‍රීබ් සිය අධ්‍යයනයේ දී නිගමනය කළාක් මෙන් එය ඛාරාහොස්තෙස්ගේ හෝ ඔහුගේ පුත්‍රයාගේ සමයට අයත් යැයි පමණක් සිතිය හැක.[12]

බිමාරාන් කරඬුවේ දින නිර්ණය[සංස්කරණය]

බුද්ධ රූපය පළමු වරට දක්නට ලැබෙන දිනය පිළිබඳ නොයෙකුත් මතභේද පවතියි.

ෆස්මන් සිතන්නේ බිමාරාන් කරඬුව නිර්මාණය වූයේ ක්‍රි.ව. 1-15 පමණ බව ය.[13] මේ ඕනෑම මතයකින් කියැවෙන්නේ එය ක්‍රි.ව. 60ට පෙර නිමවූ බවයි. මෙය කාසිවලට දිය හැකි උපරිම දිනයයි.[14] බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ (ජෝසෆ් ඊ. හෝටන්ග් ගැලරිය) ප්‍රදර්ශනයට තබා ඇති බිමාරාන් කරඬුව ක්‍රි.ව. 60ට අයත් යැයි එහි දක්වා ඇත.

ඇතැමුන් මෙම කරඬුව එහි ‍ශෛලිමය අනුමාන සලකා ක්‍රි.ව. 2වන සියවස වැනි පසු කාලයට අයත් යැයි පවසා ඇත.[15] සුසෑන් හන්ටිංටන් මේ පිළිබඳ මෙසේ ලුහුඬින් දක්වයි:

"ඇෆ්ගනිස්ථානයේ බිමාරාන්වලින් හමුවූ සුප්‍රකට රන් සහ රතු කැට කරඬුව අවිවාදිත විද්‍යාත්මක සාක්ෂි අනුව ක්‍රි.පූ. පළමු සිවසේ පමණ නිර්මාණය වූ බවට යෝජනා වී තිබුණත්, සාමාන්‍යයෙන් එය ක්‍රි.ව.‍ දෙවන සියවසට අයත් යැයි ද යෝජනා වී ඇත. කරඬුවට ලබා දී ඇති මුලාකාලීන දිනයන්වලට විරුද්ධව ඉදිරිපත් වී ඇති කරුණ නම් ක්‍රිස්තු වර්ෂයේ මුල් සියවස් වන තෙක්ම බුද්ධ රූ කලාව බෞද්ධ කලා සමාහාරයට හඳුන්වා දී නොතිබීමයි. එම නිසා බුදුන්ගේ රුව සහිත ඕනෑම කලා කෘතියක් සාපේක්ෂව පසු කාලයකට අයත් විය යුතු ය." (S. L. Huntington, Art Journal, Vol. 49 No. 4 Winter.1990, pp.401-408)

මෙම මතවාදයන්ට මූලබීජය වී ඇත්තේ ක්‍රි.ව. 1වන සියවස පඹන හෝ ඉන් පසුව වනතෙක්ම බුදුන් වහන්සේගේ පළමු නිරූපණයන් සාමාන්‍යයෙන් හමුනොවූ බවට වන පිළිගැනීමයි. මෙය IIවන ඒසස්ගේ පාලන සමයෙන් වසර පනහේ සිට සියයක් දක්වා කාලයකට පසුව කුෂාණ පාලන සමයේ සිදු විය. බිමාරාන් කරඬුවේ දියුණු බුද්ධ ප්‍රතිමා ලක්ෂණ දක්නට ලැබෙන හෙයින් මෙය ක්‍රිස්තු වර්ෂයේ ආරම්භක සමයේ ඉදිවන්නට ඇතැයි යෝජනා වී ඇත. එසේවුව ද ක්‍රි.පූ. 1වන සියවස තරම් පැරණි කාලයේ බුදුන් වහන්සේගේ රුවේ ආදිතම නිරූපණයන් බිහිවූවා වන්නට ද ඉහළ සම්භාවිතාවක් ඇත.

ව්‍යංගාර්ථය[සංස්කරණය]

මුල්කාලීන බෞද්ධ රූ කලාවට IIවන මිනැන්ඩර් (වම්පස, ක්‍රි.පූ. 90–85 පමණ) වැනි ඉන්දු-ග්‍රීක රජවරුන්ගේ කාසි අයත් වේ. මෙහි සියුස් දෙවියන් නයික් දෙවඟනගේ මාර්ගයෙන් ජයග්‍රහණයේ මල්වඩමක් ධර්මචක්‍රයට ලබා දෙයි. එසේම ටිල්ල්‍යා ටෙපේ බෞද්ධ කාසිය (දකුණේ, ක්‍රි.පූ. 1 - ක්‍රි.ව. 1වන සියවස් පමණ) ද මෙයට උදාහරණයකි.

කරඬුව වැඩිදියුණු වූ ශෛලියකින් යුතුව විදග්ධ ප්‍රතිමා කලාවක් (බ්‍රහ්ම සහ ඉන්ද්‍ර සහායකයින් ලෙස දක්වා තිබීම, බෝධිසත්ත්ව රූප) ප්‍රදර්ශනය කරන හෙයින්, යෝජනා වන්නේ බිමාරාන් කරඬුව තැන්පත් කළ කාලයේ (ක්‍රි.පූ. 10 - ක්‍රි.ව. 10) බුදුන්ගේ රුව නිරූපණය තවත් ඈතට විහිදී ගිය බවයි. මෙය ක්‍රි.පූ. 1වන සියවසේ ඉන්දු-ග්‍රීකවරුගේ පාලන සමයයට අයත් විය හැක. අවසන් ඉන්දු-ග්‍රීක රජවරුන් වූ IIවන ස්ට්‍රේටෝ සහ IIIවන ස්ට්‍රේටෝ ක්‍රි.ව. 20 තෙක් පාලනය කොට ඇත. මෙම මතය අනුව, ක්‍රි.පූ. 1වන සියවස වනවිටත් ඉන්දු-ග්‍රීක රජවරුන්ගේ අනුග්‍රහය යටතේ ග්‍රීක-බෞද්ධ කලාව වැජඹෙමින් පැවතී ඇත. මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඇල්ෆ්‍රඩ් ඒ. ෆූෂර් සහ අන්‍යයන් විසිනි. නමුත් මෙයට පක්ෂව ඇත්තේ පුරාවිද්‍යා සාක්ෂි අල්ප වූ ප්‍රමාණයකි.

ශෛලිය අතින් සැලකූ විට, කරඬුව (වටිනා පාෂාණ ඇල්ලූ රත්රන්) සිතියානු කලාව සමග අතිශයින් ගැළපේත උදාහරණයක් වශයෙන් උතුරු ඇෆ්ගනිස්ථානයේ ටිල්‍ල්‍යා ටෙපේ පුරාවිද්‍යා භූමියෙන් හමුවූ වස්තූන් දැක්විය හැක. ටිල්ල්‍යා ටෙපේ වස්තූන් ද ක්‍රි.පූ. 1වන සියවසට කාලනිර්ණය කෙරේ. එහි බුදුන් වහන්සේගේ ආදිතම නිරූපණයන් යැයි සැලකිය හැකි ටිල්ල්‍යා ටෙපේ බෞද්ධ කාසිය වැනි කෞතුක වස්තූන් හමුවේ.

බිමාරාන් කරඬුව සහ කණිෂ්ක කරඬුව අතර කිසියම් සමානත්වයක් ඇත. නමුත් කණිෂ්ක කරඬුව ක්‍රි.ව. 127 අයත් යැයි ආරක්ෂිතව කාලනිර්ණය කොට ඇත.

වෙනත් දර්ශන[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

පාදක සටහන්[සංස්කරණය]

  1. Senior (2008), pp. 25-27.
  2. 2.0 2.1 DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb, 2015, p.27 et sig
  3. British Museum Highlights
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 "The crossroads of Asia", edited by Ellizabeth Errington and Joe Cribb, The ancient India and Iran Trust, 1992, ISBN 0951839918, p.189-190
  5. A memoir on the buildings called topes. In Ariana Antiqua: A descriptive account of the antiquities and coins of Afghanistan, Charles Masson [1]
  6. The Crossroads of Asia, p.188
  7. 7.0 7.1 7.2 The Crossroads of Asia, Elizabeth Errington, Ancient India and Iran Trust, Fitzwilliam Museum, Ancient India and Iran Trust, 1992, p.16
  8. 8.0 8.1 8.2 The Crossroads of Asia, Elizabeth Errington, Ancient India and Iran Trust, Fitzwilliam Museum, Ancient India and Iran Trust, 1992, p.188
  9. Grifterrec on Indo-Scythians
  10. Richard Salomon, "An Inscribed Silver Buddhist Reliquary of the Time of King Kharaosta and Prince Indravarman", Journal of the American Oriental Society, Vol. 116, No. 3 (July - September 1996), pp. 418-452
  11. 11.0 11.1 Grifterrec Coins
  12. DATING AND LOCATING MUJATRIA AND THE TWO KHARAHOSTES by Joe Cribb, 2015, p.27-35
  13. Fussman, 1986, p.71, quoted in The Crossroads of Asia, p.192
  14. The Crossroads of Asia, p.192
  15. (S. L. Huntington, Art Journal, Vol. 49 No. 4 Winter.1990, pp.401-408)

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • De l'Indus à l'Oxus, Archéologie de l'Asie Centrale, Osmund Bopearachchi, Christine Sachs, ISBN 2-9516679-2-2
  • The Greeks in Bactria and India, W.W. Tarn, Cambridge University Press.
  • Monnaies Gréco-Bactriennes et Indo-Grecques, Catalogue Raisonné, Osmund Bopearachchi, 1991, Bibliothèque Nationale de France, ISBN 2-7177-1825-7.
  • Susan L. Huntington (with contributions by John C. Huntington), Art of Ancient India (Tokyo and New York: John Weatherhill, 1985).
  • Senior, R. C, (2008). "The Final Nail in the Coffin of Azes II." Journal of the Oriental Numismatic Society 197 (2008),

pp. 25–27.

  • "The Bimaran casket", Reginald Le May, The Burlington Magazine, 482 (1943), p. 116-123.

සටහන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය 1900,0209.1 (බිමාරාන් කරඬුව).
"https://si.wikipedia.org/w/index.php?title=බිමාරාන්_කරඬුව&oldid=411913" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි