අෂුර්බනිපාල්ගේ සිංහ දඩයම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිංහයකු මරාදමන අෂුර්බනිපාල් නිරූපිත උන්නතයක්; ක්‍රි.පූ. 645–635 පමණ
දඩයම්කරුව්න පසුපස සංහයකු මෙල්ල කරන අතරතුර සිය රථයේ සිට හීයක් විදින රජු

අෂුර්බනිපාල්ගේ රාජකීය සිංහ දඩයම යනුවෙන් හැඳින්වෙන්නේ නිනේවේ උතුරු මාලිගයට අයත් සුප්‍රකට ඇසිරියානු මාලිග උන්නත කැටයම් සමූහයකි. වර්තමානයේ මෙම කැටයම් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 10a කුටියේ ප්‍රදර්ශනයට තබා ඇත. ‍මේවා "ඇසිරියානු කලාවේ අනර්ඝ අග්‍ර කෘතියක්" ලෙස පුළුල්ව පිළිගැනේ.[1] මෙමගින් අෂුර්බනිපාල් (රාජ්‍ය ක්‍රි.පූ. 668 – 631/627 පමණ) රජු සිය අංගණයෙහි චාරිත්‍රානුකූල "දඩයමේ" නිරතවනු නිරූපිත ය. මෙහි දී හසු කරගත් ආසියානු සිංහයන් කූඩුවල සිට ඊතල, හෙළි හෝ ඔහුගේම අසිපතින් කෲර ලෙස මරාදැමීම පිණිස නිදහස් කරනු ලබයි.[2] මේවා නිර්මාණය වූයේ ක්‍රි.පූ. 645–635 පමණ කාලයේ ය. ඒවා මාලිගය අවට ස්ථානගත කොට තිබෙන්නට ඇත. මේවා මුලින් වර්ණගන්වා තිබෙන්නට ඇති අතර, එමගින් දීප්තිමත් ලෙස වර්ණගැන්වූ සමස්ත මාලිගා පසුතලය නිර්මාණය වන්නට ඇත.[3]

උතුරු මාලිගයෙන් මෙම පුවරු කැනීම් කොට සොයාගන්නා ලද්දේ 1852-54 අතර කාලයේ හෝර්මුස්ද් අසාම් විසින් සහ in 1854–55 අතර කාලයේ විලියම් ලොෆ්ටස් විසිනි. අනතුරුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත රැගෙන යන ලදුව,[4] මේවා මහජනයාගේ සහ කලා ඉතිහාසඥයන්ගේ ප්‍රියතම කලා කෘති බවට පත්ව ඇත. සිංහයන්ගේ ඇති ස්වාභාවික ගුණාංග නිරතුරුවම ඇගයුමට ලක් විය. නමුත් අනුකම්පා සහගත නූතන විචාරකයින් විසින් මෙය ඇසිරියානු ප්‍රතිචාරයේ කොටසක් නොවන බව සැලකීමට උත්සාහ දරන ලදී. මිනිස් රූ බොහෝමයක් පාර්ශ්වික රූපික ඉරියව්වලින් යුතු අතර, රජු විවිධ අයුරින් පෙනී සිටියි. සිංහ රූ විවිධත්වයකින් යුතුව නිර්මාණය කොට ඇති අතර, එහි ජීවත් වන, මියයමින් සිටින සහ මියගිය සිංහ රූ දක්නට ලැබේ.[5]

මෙම කැටයම් නිර්මාණය වූයේ ඇසිරියානු මාලිග කැටයම් නිර්මාණය ඇරඹී වසර 250කට පමණ පසුව වන අතර, මෙමගින් පරිහානියට පෙර එය උච්චතම සහ අනර්ඝතම අවධිය කරා ළඟා වූ ආකාරය නිරූපණය කරයි.[6] අෂුර්බනිපාල් අවසන් ශ්‍රේෂ්ඨතම ඇසිරියානු රජු වූ අතර, ඔහුගේ රාජ්‍ය සමයයෙන් පසුව නව-ඇසිරියානු අධිරාජ්‍යය නිමා විය. අනතුරුව ඔහුගෙන් පැවතෙන්නන් සහ සෙන්පතීන් අතර සිවිල් යුධ සහ කැරලිවලින් ගහන වූ අල්ප ලෙස වාර්තාගත යුගයක් ඇරඹිණි. 612වන විට, ඇතැම්විට මේවා නිර්මාණය වී වසර 25කට පමණ පසුව, අධිරාජ්‍යය බිඳවැටුණු අතර, නිනේවේ ගිනිබත් විය.[7]

ඇසිරියානු සිංහ දඩයම්[සංස්කරණය]

මියගිය සිංහයකුගේ සමීප දසුනක්

මෙම කැටයම් නිර්මාණය වීමට සහස්‍රකයකට පමණ පෙර සිංහයන් මැරීම මෙසපොතේමියාවේ රාජකීයයන් සඳහා සීමාවූ බැව් පෙනේ. රජවරුන් සිංහ දඩයමෙහි නියැළෙනු බොහෝ අවස්ථාවල නිරූපණය කොට ඇත. මෙම ක්‍රියාවලිය සඳහා ආගමික මානයක් ද පවතින්නට ඇත. මැටි ඵලකයක ඇති වාර්තාවක සඳහන් වන්නේ පළාතේ නිවසක් වෙත සිංහයකු ඇතුළු වුවුහොත් උන්ව අල්ලා රජු වෙත බෝට්ටුවෙන් ගෙනයාමට සිදුවූ බවයි. වර්තමානයේ ඉන්දියාවේ පමණක් කුඩා ගහනයක් ලෙස ශේෂ වී ඇති ආසියානු සිංහයන් අප්‍රිකානු ප්‍රභේදයට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ අතර, පසුකාලීන වාර්තාවල කැටය්මවල මෙන් සමීප පරිශ්‍රයන්ගේ සිට උන්ව මරාදමනු නිරූපිත ය. එය දුෂ්කර කටයුත්තක් නොවී ය. කඩුවක් භාවිතා වූ විට, භාවිතා වූ සැබෑ ක්‍රමවේදය වූයේ "සිංහ-ඝාතකයා සිය වම් අත එළු ලොම් හෝ කූඩාරම් රෙදි විශාල ප්‍රමාණයකින් ඔතා" ඒ වෙත පහර දීමට සිංහයාව පෙළඹවීමයි. අනතුරුව දකුණතෙහි වූ අසිපතෙන් සිංහයාව මරාදැමිණි. මෙහි ආරක්ෂක ඇඟලුම් කිසිවිටෙක නිරූපණය කොට නොමැත.[8] එසේම රජු සිංහයා වෙත ඊතල විදිනු සුලබව නිරූපණය කොට ඇත. මෙය අසාර්ථකි වුවහොත් ඔහු ඉවත්ව යන අතර, රජු සමීපයෙහි සිටි ආරක්ෂකයන් විසින් සිය හෙළි භාවිතා කරන ලදී.[9]

මුල්කාලීන රජකු වූ IIවන අෂුර්නසිර්පාල් (රාජ්‍ය. ක්‍රි.පූ. 883-859) විසින් මෙයට වසර 200කට පමණ පෙර නිම්රුඩ්හි සිය මාලිගයේ ද සිංහ දඩයම් කැටයම් ඇතුළත් කොට තිබූ අතර, ක්‍රි.පූ. 865ට පමණ අයත් අභිලේඛනයක "මාගේ පූජකවරය ප්‍රියකරන නිනුර්ටා සහ නෙර්ගාල් දෙවිවරුන් මා හට තැනිතලාවේ වන සතුන් ලබාදුන්නේ දඩයම් කරන ලෙස නියෝග කරමිනි. මා විසින් හස්තීන් 30 දෙනකු හසුකොට මරාදමා ඇත. මම මාගේ රථයේ සිට මාගේ ආයුධවලින් පහර දී මහා වන ගවයින් 257ක් පහත හෙළීමි. මාගේ දඩයම් හෙලි ආධාරයෙන් මහා සිංහයන් 370ක් මම මරාදැමීමි" යනුවෙන් පුරසාරම් ප්‍රකාශයක් ඇත.[10] මෙහි අෂුර්නසිර්පාල් සිය රථයේ සිට සිංහයන් වෙත හී විදිනු නිරූපිත අතර, මෙය විවෘත පරිස‍රයේ හෝ අංගනයක භාවිතා වූ වඩාත් චාරිත්‍රගත ක්‍රමවේදය වන්නට ඇත.[11]

පසුකාලීන කැටයම්වල හසුකරගත් සිංහයින් සෙබලුන් විසින් පලිහ පවුරක් ලෙස සැකසූ සංවෘත අවකාශයක් තුළට නිදහස් කරනු නිරූපිත ය. මින් ඇතැම් සිංහයින් ලී පෙට්ටියක වැනි ව්‍යූහයක සිට මුදාහරිනු නිරූපිත ය. මෙහි දී එම පෙට්ටිය මත ඉදිකළ කුඩා කුටියක සිට සේවකයකු විසින් දොරටුවක් ඔසවා සිංහයන්ව නිදහස් කරනු ලැබිණි.[12] මෙසේ දඩයම් කිරීම සිදුවුව ද, 20වන සියවස තෙක්ම මෙසපොතේමියාවේ වනාන්තර තුළ සිංහයන් දක්නට ලැබිණි.[13]

ඇතැම් අවස්ථාවල සිංහයන් කූඩුවල ඇති දැඩි කරනු ලැබිණි. සිය සත්ත්වෝද්‍යානය පිළිබඳ වර්ණනා කරමින් රචිත IIවන අෂුර්නසිර්පාල්ගේ අභිලේඛනයක මෙසේ සඳහන් වේ: "මාගේ රෞද්‍ර හදවතින් යුතුව, මා කඳු සහ වනාන්තරවලින් සිංහයන් 15 දෙනකු අල්ලාගෙන ඇත. මම සිංහ පැටවුන් 50ක් රැගෙන ගියෙමි. මම ඔවුන්ව කල්හු (නිම්රුඩ්) සහ මාගේ දේශයේ මාලිගා වෙත රැගෙනගොස් කූඩු තුළ ගාල්කළෙමි. මා ඔවුන්ගේ පැටවුන් ගණනාවක් පුහුණුකොට ඇත."[14]

මාලිග කැටයම්[සංස්කරණය]

බාහිර වීඩියෝ
British Museum Room 10 lion hunting.jpg
ඇසිරියානු කලාව: සිංහයන් දඩයම් කරන අෂුර්බනිපාල්, Smarthistory

ඇසිරියානු මාලිග කැටයම් තුළ තිබී සිංහ දඩයම් දර්ශන දුසිම් දෙකක් පමණ හමුවී ඇත.[15] මින් බොහෝමයක් ඒ කෙරෙහි දක්වා ඇත්තේ අඩු සැලකිල්ලකි. නව-ඇසිරියානු මාලිගා එවැනි දර්ශන භාවිතයෙන් අතිශයින් අලංකාරවත් කරනු ලැබිණි. මේවා ඉතා අල්ප-උන්නත ස්වරූපයෙන් ඵලක ලෙස බොහෝවිට ජිප්සම් ඇලබැස්ටර්වලින් නිර්මාණය කරනු ලැබිණි. උතුරු ඉරාකයේ මේවා බහුලව හිමිවේ. වෙනත් සතුන් ද දඩයම් කරනු නිරූපිත අතර, කැටයම්වල ප්‍රධාන තේමාව වූයේ මාලිගය ඉදිකළ රජුගේ යුධ ආක්‍රමණයන් ය. සෙසු කැටයම්වල රජු, ඔහුගේ මාලිගය, "පියාපත් සහිත බහිරව" සහ ලමාසු ආරක්ෂක සුළු දේවතාවුන්ගේ රූ දැකගත හැක.

බොහෝ මාලිග කැටයම් විශාල ශාලාවල සහ ඇතැම් කුටිවල බිත්ති අලංකරණයට භාවිතා විය. නමුත් උතුරු මාලිගයේ සිංහ දඩයම් ජවනිකා එක් ස්ථානයකට වඩා වැඩි ගණනක දක්නට ලැබේ. ඉන් බොහෝමයක් විශාල කුටි වෙත දිවෙන සාපේක්ෂව පටු පැසේජවල දක්නට ලැබේ.මේවා අසම්පූර්ණ ය. ඇතැම් ඒවා ඉහළ මහලේ තැන්පත් කොට තිබූ අතර, කැනීම් කරන සමය වනවිට ඒවා පොළව මතට ඇදවැටී තිබිණි.[16] සිවිලිම තරමක් උස්ව පැවති නමුත්, ඒවා මුලින් සවිකොට තිබූ ආකාරය ඒවා වර්තමානයේ දක්නට ඇති ආකාරයට වඩා එතරම් වෙනස් නොවිණි. එම මාලිගයේම, මාලිග උද්‍යානයේ පිරිමි සහ ගැහැනු සිංහයින් ගිමන් හරිනු නිරූපිත අසාමාන්‍ය කැටයම් ද දක්ට ලැබේ. සිංහ ධේනුව නිඳමින් සිටින අතර, එමගින් මාලිගයේ සුරතලකු නිරූපණය වේ යැයි සිතිය හැක.[17]

දර්ශන[සංස්කරණය]

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, 10a කුටිය. වම් පස, හොඳින් සංරක්ෂණය වී ඇති තනි පේළියේ දර්ශන ද, එයට ඔබ්බෙන් කුඩා පේළි තුනේ දර්ශන ද දැකගත හැක.

ඇතැම් සිංහ දඩයම් කැටයම් පුවරුව පුරාම නිරූපණය කොට තිබෙනු දැකගත හැක. ‍මෙම මාලිගයෙන්ම හමුවන විස්තරාත්මක ඇසිරියානු යුධ ආක්‍රමණ දර්ශන මෙන් ඒවා ද බොහෝමය්ත තිරස් තීරු දෙකකට වෙන්කොට ඇත.[18] ඉහළ මහලෙහි කැටයම් තීරු තුනකින් යුක්ත විය.[19] බිම් රේඛා පැහැදිළිව පෙන්වා ඇති අතර, ඇතැම් සිංහයන්ට තනි තනි බිම් රේඛා ලාබදී ඇත්තේ විශාල දර්ශනයක් කොටසක් ලෙස නිරූපණය කරන විටයි. එසේම "විශේෂ ඉතා සියුම් නිරීක්ෂණයකින්" යුත් සතුන්[20] මෙන්ම රජුගේ වස්ත්‍රවල කැටයම් ද අතිශයින් සියුම් ය.[21] මෙහි පසුකාලීන අවධියක දී තනි පේළියෙහි වන යාබද සිංහයන්ගේ වල්ග කෙටිකොට දක්වා ඇත.[22]

තනි පේළියේ දර්ශන බරාඳයේ එක් ‍පසෙකින් විශාල දර්ශන තුනක් නිරූපණය කරයි. අංගනය ද පෙන්වා ඇති අතර, මනා දර්ශනයක් සඳහා හෝ මෙම භයානක කටයුතුතෙන් ආරක්ෂා වීම පිණිස ජනයා වනාන්තර සහිත කඳු ගැටයක් මත නැග සිටිනු නිරූපිත ය. කන්ද මුදුනේ රජු සිංහ දඩයමෙහි නිරතවන කුඩා ගොඩනැගිල්ලක් වේ. රජු සිය රථයේ සූදනමින් සිටින අතර, අශ්වා‍රෝහකයන් විසින් අසුන් පදවනු ලබයි. විශාල දඩයම් බල්ලන් සහ හෙළි දරා සිටින දඩයම්කරුවන් අංගණය තුළ සිංහයන් වෙනුවෙන් රැක සිටියි. විශාල දර්ශනයෙහි රථයෙහි නැගි රජු දඩයමෙහි යෙදෙනු දැක්වේ. එහි සිංහ රූ 18ක් දැක්වේ. ඉන් බොහෝ දෙනකු මියගිය හෝ තුවාල ලද රූ වේ. බරාඳයේ අනෙක් පස ද රාජකීය රථයේ දර්ශන රැගත් සාමන කැටයම් දෙවරක් නිරූපණය කොට තිබිණි.[23]

මුලින් ඉහළ මහලෙහි සහ කුඩා "පෞද්ගලික දොරටු-කුටියක" පිහිටා තිබූ තවත් කැටයම් සමූහයක[24] පේළි තුනකින් යුත් කුඩා රූ දක්නට ලැබේ. මේවා චාම් තීරුවක් මගින් එකිනෙකින් වෙන්කොට ඇත. කූඩුවලින් නිදහස් කළ සිංහයින් සිය පාදවලින් රජු වෙත කඩාපනිනු සහ එක්රැස් කළ සිංහ මෘතශරීර මත දියරයක් වත්කරනු රජුගේ රැව ද දැකගත හැක. මින් ඇතැම් කැටයම් පැරීසියෙහි ඇත. අනෙක් ඒවායේ සිතුවම් ඇතිමුත් වර්තමානයේ දක්නට නොලැබේ. මේ අතරට රජු සිංහයන් සහ වනාන්තරයේ වෙනත් සතුන් ද දඩයම් කරනු දැක්වේ. ගැසෙල් මුවන් රජු වෙත මෙල්ලකොට ගෙනෙනු දැක්වේ.[25] එක් දර්ශනයක, එකම සිංහයාගේ රුව තෙවරක් නිරූපණය කොට ඇත. එහි කූඩුවෙන් පිටවීම, රජු වෙත පහරදීම සහ කඩාපැනීම දැක්වේ. මෙය නූතන තීරු කාටූනයකට තරමක් සමාන ය.[26]

සටහන්[සංස්කරණය]

  1. Reade, 73
  2. Honour & Fleming, 76–77; Reade, 72–79, 73; Frankfort, 186–192; Hoving, 40–41
  3. Honour & Fleming, 77
  4. Grove
  5. Honour & Fleming, 76–77; Reade, 73
  6. Frankfort, 189
  7. Reade, 90–91
  8. රීඩ්, 72–73, 76–77; ෆ්‍රෑන්ක්ෆර්ට්, 187, උපුටා දක්වා ඇත. රීඩ් අවධාරණය කරන්නේ රජු වෙත පැමිණෙන සිංහයින් ඒ වනවිටත් බරපතල ලෙස තුවාල ලබා තිබූ බවයි. ෆ්‍රෑන්ක්ෆර්ට් සැබැවින්ම අත් ආවරණයක් භාවිතා වූ නමුත් එය රූපවල නොදැක්වූ බව අනුමාන කරයි.
  9. Frankfort, 187
  10. Reade, 39
  11. Frankfort, 189, Reade, 39
  12. Frankfort, 187
  13. Reade, 79
  14. Oates, 34
  15. Hoving, 40
  16. Grove
  17. Frankfort, 186, Reade, 72
  18. Grove
  19. Reade, 73
  20. Frankfort, 187
  21. Grove
  22. Reade, 73–74
  23. Reade, 74–75
  24. Reade, 74–75, 74 quoted
  25. Reade, 75–79
  26. Frankfort, 187; Reade, 76; Honour & Fleming, 76–77

ආශ්‍රේයයන්[සංස්කරණය]