Jump to content

ගන්ධාරයෙන් හමුවූ හිඳි බුද්ධ ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
ගන්ධාරයෙන් හමුවූ හිඳි බුද්ධ ප්‍රතිමාව
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ගන්ධාරයෙන් හමුවූ හිඳි බුද්ධ ප්‍රතිමාව
මාධ්‍යයෂිස්ට් (පාෂාණ)
ප්‍රමාණයඋස: 95 cm

පළල: 53 cm

ගැඹුර: 24 cm
යුගය/සංස්කෘතියක්‍රි.ව. 2වන - 3වන සියවස
ස්ථානයජමාල් ගර්හි, ගන්ධාරය, පාකිස්ථානය
වර්තමාන පිහිටුමකුටිය 33, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන්

ගන්ධාරයෙන් හමුවූ හිඳි බුද්ධ ප්‍රතිමාව යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන පාකිස්ථානයට අයත් ගන්ධාරයේ ජමාල් ගර්හි භූමියෙන් හමුවූ මුල්කාලීන බුද්ධ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව ක්‍රි.ව. 2වන හෝ 3වන සියවසට අයත් යැයි සැලකේ. වර්තමානයේ මෙම ප්‍රතිමාව බ්‍රිතාන්‍ය‍ කෞතුකාගාරයේ කුටිය 33හි ප්‍රදර්ශනයට තබා ඇත.[1] ක්‍රි.ව. 1වන සියවස වනතෙක්ම බුද්ධත්වයට පත්වූවන්ගේ ප්‍රතිමා නිර්මාණය නොකෙරිණි. එයට පෙර බුදුන් වහන්සේගේ රුව සංකේතවත් කෙරුණේ සිරිපතුල වැනි සංකේතවලිනි.[2] සෙසු ගන්ධාර හෙවත් ග්‍රීක-බෞද්ධ කලා කෘති සේම මෙම ප්‍රතිමාව ද පුරාතන ග්‍රීක කලාවේ ආභාසය පෙන්වයි. එයට හේතුව මෙම ප්‍රදේශය මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් ස්ථාපනය කරන ලද ග්‍රීක-බැක්ට්‍රීය රාජධානියේ කොටසක් වීමයි.

විස්තරය

[සංස්කරණය]

මෙම ප්‍රතිමාව නෙළා ඇත්තේ ෂිස්ට් පාෂාණයෙනි. මේ නිසා දෑතේ නිය වැනි අතිශයින් සියුම් අංග පවා නිරූපණය කිරීමට ශිල්පියාට හැකියාව ලැබී ඇත. මෙම ප්‍රතිමාව මගින් ආචාර්යවරයකු ලෙස උන් වහන්සේ ධර්ම චක්‍රය පැවැත්වීමෙහි යෙදුණු විලාසය නිරූපණය වේ. මෙම මුද්‍රාව ධර්මචක්‍ර මුද්‍රාව ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ විසින් සිය ධර්ම චක්‍ර ප්‍රවර්තනය සිදු කරන ලද්දේ බුද්ධත්වයෙන් අනතුරුව උත්තර් ප්‍රදේශ්හි වරාණසි අසල සාරානාත් මිගදායෙහි සිය ප්‍රථම ධර්ම දේශනයෙන් පසුවයි.[1] බුදුන් වහන්සේ ජීවත් වූයේ ක්‍රි.පූ. 4වන සියවසේ පමණ වුවත්, මෙම ප්‍රතිමාව නිර්මාණය වී ඇත්තේ ක්‍රි.ව. 2වන හෝ 3වන සියවසේ දී ය. එසේවුව ද, මෙම ප්‍රතිමාව ආදිම බුද්ධ ප්‍රතිමා අතුරින් එකක් ලෙස සැලකේ. ක්‍රි.ව. 1වන සියවස තෙක්ම බුද්ධත්වය ලැබූවන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීමක් සිදු නොවී ය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව එළැඹි මුල් සියවස් සතර තුළ උන් වහන්සේගේ රුව නිරූපණය කෙරුණේ සිරිපතුල වැනි සංකේත අනුසාරයෙනි.[2]

බීබීසී රේඩියෝ 4 නාළිකාවේ වැඩසටහන් මාලාවක් වූ ලෝක ඉතිහාසය වස්තූන් 100කින් නැමැති වැඩසටහනේ 2015 මැයි මස වැඩසටහන සඳහා මෙම ප්‍රතිමාව පූර්විකාවක් ලෙස භාවිතා විය. මෙම වැඩසටහන මගින් ලෙර සංකේතානුසාරයෙන් නිරූපණය කළ බුදුන් වහ්න්සේගේ රුව ප්‍රතිමාවක් ලෙස නිරූපණය කිරීමට අවස්ථාව හිමි කර දුන් සමාජ විපර්යාසය පිළිබඳ සාකච්ඡා කෙරිණි.[3]

බුදුන් වහන්සේ මෙට්ටයක් හෝ පීඨිකාවක් වැනි ආසනයක වැඩ හිඳිනු නිරූපණය කොට ඇත. එම ආසනයේ ඉදිරිපස කුඩා තලප්පාවක් පැළඳ සිටින රශ්මි මාලාවකින් යුත් බෝධිසත්ත්ව රුවක් වේ. එම රුවට පසෙකින් දණගසා සිටින ස්ත්‍රී සහ පුරුෂ රූ දෙකක් වේ. මෙමගින් ප්‍රතිමාව නිර්මාණය කිරීමට අනුග්‍රහ දැක්වූ දායකයන්ගේ රූ නිරූපණය වේ යැයි සිතිය හැක.[4]

සමාන වෙනත් ප්‍රතිමා

[සංස්කරණය]

මෙම ප්‍රතිමාවට සමාන කළු ෂිස්ට් පාෂාණයෙන් නෙළූ බුද්ධ ප්‍රතිමාවක් යේල් විශ්වවිද්‍යාලීය කලාගාරයේ දක්නට ලැබේ[5] තවත් මේ හා සැසඳිය හැකි බුද්ධ ප්‍රතිමාවක් ක්‍රිස්ටී’ස්හි දී 2009 සැප්තැම්බර් මස වෙන්දේසි කෙරුණේ ඇ.ඩො. 218,500ක මිලකට ය. එම ප්‍රතිමාව ද ‍ඉහත ප්‍රතිමාවේ කාල වකවානුවට අයත් සහ එම ස්ථානයෙන් හමුවූවකි. එම ප්‍රතිමාවේ උස අඟල් 26කි.[6] මෙම බුද්ධ ප්‍රතිමා සියලු බුද්ධ ප්‍රතිමා අතුරින් අතිශයින් විරළ ප්‍රතිමා ලෙස පුළුල්ව පිළිගැනේ. ප්‍රතිමා බිඳ හෙළීම් සිදුවන තිබුණ ද මෙවැනි ප්‍රතිමා ප්‍රංශය, ජර්මනිය, ජපානය, කොරියාව, චීනය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල කෞතුකාගාරවල මෙන්ම පාකිස්ථානයේ ද ශේෂ තිබෙනු දැකගත හැක.[7]

ගැලරිය

[සංස්කරණය]

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

සැකිල්ල:British-Museum-100