බර්නී උන්නතය

විකිපීඩියා වෙතින්
බර්නී උන්නතය / රාත්‍රියේ රැජින
එරෙෂ්කිගාල් හෝ ඉෂ්තාර් නිරූපණය වන්නේ යැයි සිතිය හැකි නිරූපණයකි
මාධ්‍යයමැටි
ප්‍රමාණයඋස: 49.5 cm (19.5 in)
පළල: 37 cm (15 in)
ඝනකම: 4.8 cm (1.9 in)
නිර්මාණය වූයේක්‍රි.පූ. 19වන-18වන සියවස
යුගය/සංස්කෘතියපැරණි බැබිලෝනියානු
ස්ථානයබැබිලෝනියාවේ නිර්මාණය විය.
වර්තමාන පිහිටුමකුටිය 56, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලන්ඩන්
හැඳුනුම්කරණයLoan 1238
ලියාපදිංචියසැකිල්ල:British-Museum-db

බර්නී උන්නතය (රාත්‍රියේ රැජින උන්නතය ලෙස ද හඳුන්වයි) යනු මෙසපොතේමියානු ටෙරාකොටා අධි උන්නත ඵලකයකි. ඉසින්-ලාර්සා- හෙවත් පැරණි-බැබිලෝනියානු යුගයට අයත් මෙමගින් පියාපත් සහ පක්ෂීන්ගේ නිය සහිත නග්න දේවතාවියකගේ වැනි රුවක් නිරූපණය වේ. මෙහි ඇය දෙපසින් බකමූණන් යුවළක් සිටින අතර, ඇය සිටගෙන සිටින්නේ සිංහයන් දෙදෙනකු මත ය. මෙම උන්නතය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, ක්‍රි.පූ. 1800 සහ 1750 අතර කාල වකවානුවට මෙය කාලනිර්ණය කොට ඇත. දකුණු මෙ‍සපොතේමියාට අයත් මෙය සොයාගත් නිශ්චිත ස්ථානය නොදනී. මීට අමතරව මෙම ප්‍රතිමාවේ ඇති සුවිශේෂී ප්‍රතිමා ලක්ෂණ, විශේෂයෙන්ම එහි අධි උන්නත ස්වභාවය සහ විශාල ප්‍රමාණය හේතුවෙන් එය වන්දනා කටයුතු සඳහා භාවිතා වූවක් ලෙස විශ්වාස කෙරේ. මේ නිසා එම යුගය හා සැසඳීමේ දී පැවැත්ම අතින් අතිශයින් දුර්ලභ වස්තුවක් ලෙස මෙය සැලකේ. කෙසේනමුත්, මෙමගින් නිරූපණය වන්නේ ලිලිතු, ඉනන්නා/ඉෂ්තාර්, හෝ එරෙෂ්කිගාල් යන අයගෙන් කවුරුන්ද යන වග තවමත් මතභේදයට තුඩු දී ඇත. 1930 දශකයේ පසු භාගයේ පළමුවරට දක්නට ලැබුණු මෙහි සත්‍යභාවය ද ප්‍රශ්නාර්ථයක්ව ඇත. කෙසේනමුත් පසුගිය දශක කිහිපය තුළ මෙම මතය යටපත්ව ඇත.

සම්භවය[සංස්කරණය]

ආරම්භයේ දී සිරියානු වෙළෙන්දකු සතුව පැවති මෙම ඵලකය 1924දී දකුණුදිග ඉරාකයෙන් හමුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම ඵලකය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කෙරුණු අතර, 1933දී ආචාර්ය එච්.‍ ජේ. ප්ලෙන්ඩර්ලයිත් විසින් එය අධ්‍යක්ෂනය කරන ලදී. කෙසේනමුත්, 1935දී එය අලෙවි කිරීමට කෞතුකාගාරය තීරණය කරන ලදී. ඒ අනුව ඵලකය ලන්ඩන් කෞතුක භාණ්ඩ වෙළෙන්දකු වූ සිඩ්නි බර්නී අතට පත් විය. එතැන්සිට මෙම ඵලකය "බර්නී උන්නතය" නම් විය.[1] මෙම උන්නතය පළමුව මහජන අවධානය හිමි කරගත්තේ 1936 The Illustrated London Newsහි සම්පූර්ණ පිටුවක් පුරා පළකොට තිබූ විස්තරය හේතුවෙනි.[2] බර්නීගෙන් පසු මෙම ඵලකය නෝර්මන් කොල්විල්ගේ එකතුව සතු විය. ඔහු‍ගේ මරණින් පසු එය ජපන් කෞතුක භාණ්ජ එකතු කරන්නකු වූ ගොරෝ සකමොතෝ සතු විය. කෙසේනමුත්, බ්‍රිතාන්‍ය අධිකාරය ඔහුට අපනයන අවසරයක් ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය. 1980 සහ 1991 අතර කාලයේ ප්‍රදර්ශනය පිණිස මෙම ඵලකය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් ණයට ලබාගන්නා ලදී. අවසානයේ 2003දී කෞතුකාගාරය විසින් මෙම ඵලකය £1,500,000ක මුදලකට මිලට ගන්නා ලද්දේ එහි 250වන සංවත්සරය සැමරීම වෙනුවෙනි. කෞතුකාගාරය විසින් මෙම ඵලකය "රාත්‍රියේ රැජින ඵලකය" ලෙස යළි නම්කරන ලදී.[3] එතැන් සිට, මෙම කෞතුක වස්තුව බ්‍රිතාන්‍යය පුරා කෞතුකාගාරවල සංචාරය කොට ඇත.

අවාසනාවට, මෙහි නියම ප්‍රභවස්ථානය නොදනී. මෙම උන්නතය පුරාවිද්‍යාත්මක කැනීමක දී හමුවූවක් නොවන බැවින් එය පැමිණියේ කොහිසිට ද හෝ එය සොයාගැනුණු ස්තරය කුමක් ද යන්න පිළිබඳ එතරම් දෙයක් නොදනී. මේ නිසා ඵලකය පිළිබඳ වන අර්ථකථන දිනය සහ සම්භව ස්ථානය නිවැරදිව දන්නා වෙනත් භාණ්ඩ සමග ඒවායේ ශෛලීන්ගේ සැසඳීම් අනුසාරයෙන් සිදුවේ. එසේම ප්‍රතිමා ලක්ෂණ අර්ථකථනය කිරීමේ දී මෙසපොතේමියානු පුරාණෝක්තිවේදය සහ ආගම පිළිබඳ පාඨ ද ආශ්‍රය කරගැනේ.[4]

විස්තරය[සංස්කරණය]

උන්නතයේ පැති පෙනුම
උන්නතයේ ගැඹුර පෙන්වන ඵලකයේ පැති පෙනුමක්

හෙන්රි ෆෑන්ක්ෆර්ට් (1936) විසින් විස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත්කොට ඇති අතර,[1] by Pauline Albenda (2005),[5] ඵලකය වර්තමානයේ තැන්පත් කොට ඇති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පාලකයා වූ ඩොමිනික් කොලන් විසින් තබන ලද ඓකික නිබන්ධනයක් ද වේ.[3] මෙසපොතේමියාව කලා නිර්මාණ සමග සැසඳූ විට සමස්තයක් වශයෙන් මෙහි සංරචනය එයටම අනන්‍ය වේ. නමුත් එකලට අයත් වෙනත් රූපවල හමුවන මූලිකාංග මෙහි දක්නට ලැබේ.[6]

බාහිර ස්වරූපය[සංස්කරණය]

මෙම ඵලකය ටෙරාකොටා (පිළිස්සූ මැටි) ඵලකයකි. ප්‍රමාණයෙන් 50 cm x 37 cm (අඟල් 20 x අඟල් 15) මිනුම්වලින් යුතු මෙහි ඝනකම 2 – 3 cm (අඟල් 0.79 සිට 1.18 දක්වා) පමණ වේ. මෙහි රූපයේ හිස මතුපිට පෘෂ්ඨයේ සිට 4.5 cm (අඟල් 1.8) පමණ උසට විහිදේ. මෙම ඵලකය නිර්මාණය කිරීමට මැටි සහ කුඩා චූර්ණිමය අන්තර්ගතයකක් පිදුරු කැබලි සමග මිශ්‍රකොට තිබේ. මෙහි දක්නට ලැබෙන රැළි සහ සිදුරු අනුව පෙනෙන්නේ නිර්මාණය සිදුකරන කාලයේදීත් මාධ්‍යය හැසිරවීම අපහසු වූ බවයි.[7] බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ විද්‍යාත්මක පර්යේෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන්නේ "සම්පූර්ණ ඵලකයම අඹා ඇති බවයි". යෂ්ටිය සහ වළලු සංකේත, කෙස් රැළි සහ බකමූණන්ගේ ඇස් වැනි අංග බාහිරව එකතු කරන ලද බවත් පැවසේ.[8] එකල මෙම උන්නතය ඔපදමා තිබී ඇත. උල් උපාංගයක් මගින් වැඩිදුර ලක්ෂණ ඉස්මතු කොට ඇත. කර්ටිස් සහ කොලන් විශ්වාස කරන්නේ මෙහි මතුපිට පෘෂ්ඨය අතීතයේ හිරියල් ආලේප ගල්වා සුමුදු කොට තිබෙන්නට ඇති බවයි.[9]

මෙම යුගයේ බහුලව නිර්මාණය වූ ටෙරාකොටා ඵලක හා පූජා භාණ්ඩ සමග සැසඳීමේ දී මෙම ඵලකය ප්‍රමාණයෙන් විශාල ය. මෙවැනි කෞතුක වස්තූන් ඉසින්-ලාර්සා සහ පැරණි බැබිලෝනියානු යුගයන්ට අයත් නිවෙස්වල කැනීම්වලින් හමුවී ඇත.[nb 1]

සමස්තයක් ලෙස ගත්විට මෙම ඵලකය විශිෂ්ට තත්ත්වයෙන් පවතියි. මුලින් එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට හිමිවන විට කොටස් තුනකට සහ තවත් කැබලිවලට කැඩීගොස් තිබිණි. ප්‍රතිසංස්කරණයෙන් පසුව ඉරිතැලීම් කිහිපයක් තවමත් දැකගත හැක. දකුණු අන්තයෙහි වූ ත්‍රිකෝණාකාර කැබැල්ල දක්නට නැත. නමුත් දේවතාවියගේ සහ සත්ත්වයින්ගේ ප්‍රධාන ලක්ෂණවලට ඉන් හානියක් සිදුවී නැත. රූපයේ මුහුණේ වම්පසට, එනම් නාසයේ වම් පෙදෙස සහ ගෙල ප්‍රදේශයට ද හානි සිදුවී ඇත. ශීර්ෂ පළඳනාවේ ද ඉදිරි සහ දකුණුපස පිහිටි පෙදෙසට හානි වී ඇත. මෙහි පැවති සමස්ත හැඩය එහි සමමිතිය අනුව අනුමාන කළ හැක. ග්‍රීවාභරණයෙහි අර්ධයක් සහ දේවතාවියගේ දකුණතෙහි ඇති සංකේතය දක්නට නොමැත. බකමූණන්ගේ හොටයන් සහ සිංහයකුගේ වලිගයක් ද නැතිවී ඇත. 1936 සහ 2005දී ලබාගත් පින්තූර සැසඳීමේ දී නූතන කාලයේ සිදුවූ හානි ද වන බැව් පෙනේ. මෙහි දී වර්තමානයෙහි කිරුළෙහි දකුණුපස මුදුනේම වූ ස්තරය ඉවත්වී ඇති අතර, පහළ වම් කෙළවරෙහි කඳුවැනි මෝස්තරය පතුරු ගැලවී ඇත. එසේම වර්තමානය වනවිට බකමූණාගේ දකුණුපස වූ පා ඇඟිලි ද දක්නට නොලැ‍බේ.[10] කෙසේනමුත්, සමස්තයක් ලෙස සැලකූ විට මෙම උන්නතය වසර 3,500කටත් වඩා කාලයක් හානියට පත් නොවී පැවතිණි.

වර්ණාලේපිත උන්නතයේ අනුමාන වර්ණ යෝජනයක්

අතීතයේ සම්පූර්ණයෙන්ම රතු පැහැයෙන් වර්ණගන්වා තිබූ දේවතාවියගේ සිරුරෙහි රතු පැහැ සායම් සලකුණු අදටත් දැකිය හැක. ඇගේ පියාපත්වල ඇති පිහාටු සහ බකමූණන්ගේ පිහාටු රතු, කළු සහ සුදු මිශ්‍ර රටාවකින් යුතුව වර්ණගන්වා තිබී ඇත. රේමන් වර්ණාවලීක්ෂණය අනුව මෙම රතු වර්ණකය රතු හිරියල් ලෙසත්, කළු පැහැ වර්ණකය අස්ඵටික කාබන් ("ලාම්පු දැලි") සහ සුදු වර්ණකය ජිප්සම් ලෙසත් හඳුනාගෙන ඇත.[11] කළු වර්ණකය ඵලකයේ පසුබිමේ, කෙස්වල, ඇහිබැමිවල සහ සිංහයන්ගේ කේසරවල ද හමු විය.[nb 2] යුනික ත්‍රිකෝණය සහ අරීයල ප්‍රදේශය රතු පැහැයෙන් තදින් වර්ණගන්වා තිබූ නමුත්, එහි වෙනම කළු පැහැය ආලේප කොට තිබුණේ නැත.[11] සිංහයන්ගේ සිරුරු සුදු පැහයෙන් වර්ණගන්වා තිබිණි. බ්‍රිතාන්‍ය කෞතුකාගාර පාලකයන් විසින් අනුමාන කරන්නේ ශීර්ෂාභරණයේ ඇති අං සහ ග්‍රීවාභර‍ණයේ කොටසක් කහ පැහැයෙන් වර්ණගන්වා තිබෙන්නට ඇති බවයි. ඌර්වලින් ද මෙයට ඉතා සමාන ලක්ෂණ ඇති මැටි රූපයක් හමුවී ඇත.[nb 3] ඔවුන් අනුමාන කරන්නේ යෂ්ටිය සහ මුදුව සහිත සංකේතය ද ඇතැම්විට කහ පැහැයෙන් වර්ණගන්වා තිබෙන්නට ඇති බවයි. කෙසේනමුත්, වර්තමානයේ ඵලකය මත කහ පැහැ වර්ණක කොටස් දක්නට නොලැබේ.

කාන්තා රුව[සංස්කරණය]

කාන්තා උඩුකයේ සමීප රුවක්
වමතෙහි වර්ණ කොටස් සහිත උඩුකය රුවේ සමීප දසුනක්

නග්න කාන්තා රුව අධි-උන්නතව යතාර්ථවාදී ස්වරූපයෙන් නිර්මාණය කොට ඇත. යා වූ ඇහිබැමි සහිත ඇගේ ඇස් වෙනස් අතර කුහරමය ස්වභාවයෙන් යුක්ත ය. ඇතැම්විට මෙම ස්ථානවල කිසියම් ද්‍රව්‍යයක් ඔබ්බවා තිබෙන්නට ඇත. එකල පාෂාණ, ඇලබැස්ටර්, සහ ලෝකඩ ප්‍රතිමාවල මෙය සුලබ ලක්ෂණයක් විය.[nb 4] නමුත් මෙය මෙසපොතේමියානු මැටි ප්‍රතිමාවල දක්නට නොලැබෙන්නකි. ඇගේ පූර්ණ දෙතොල් දෙකෙළවරින් මඳක් එසවී ඇත. ඇය ස්තර හතරකින් යුත් අං සහිත ශීර්ෂාවරණයක් පැළඳ සිටියි. එය මුදුනේ මඬලක් වැනි යමක් ඇත. ඇගේ කේශකලාපය දෙකට බෙදා ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ගෙඩියක් ලෙස පසුපසට සකසා තිබෙන අතර, කුඤ්ඤ හැඩැති කෙස් රොදවල් දෙකක් ඇගේ ළැම මතින් විහිදී ඇත.

ඇගේ ‍කේශ කලාපයෙහි ඇති ශෛලිගත ස්වභාවය අනුව එමගින් උත්සව අවස්ථාවල පැළඳි හවරියක් නිරූපණය වේ යැයි සිතිය හැක. ඇය තනි පළල් මාලයක් පැළඳ සිටින අතර, එය තිරස් සහ සිරස් රේඛාවලින් යුත් සමචතුරස්‍රවලින් යුක්ත ය. සෑම චතුරස්‍රයකම සතර බැගින් යුත් එමගින් පබළු නිරූපණය වේ යැයි සිතිය හැක. සැබැමින්ම මෙම ග්‍රීවාභරණය ඌර්වලින් හමුවූ ගෙල පළඳනාවට සමාන ය. නමුත් ඌර්හි ප්‍රතිමාවේ සමචතුරස්‍රයක රේඛා තුන බැගින් වේ. ඇගේ දෙඅතෙහිම මැණික්කටුවල මුදු තුනක වැනි ව්‍යූහයකින් සංයුක්ත වූ අත් පළඳනා දැකගත හැක. අත් දෙකම සමමිතික අයුරින් ඉහළට ඔසවාගෙන නරඹන්නා දෙසට අත්ළ සිටින සේ හිඳින ඇගේ අත්ළෙහි ජීවන, ශීර්ෂ සහ හෘද රේඛා දක්නට ලැබේ. ඇය යෂ්ටි-සහ-වළලු සංකේතයක් දරා සිටින අතර, ඉන් වමතෙහි ඇති සංකේතය පමණක් ශේෂ වී ඇත. පැහැදිළිව හඳුනාගත හැකි ශෛලිගත පියාපත් ස්තර තුනක් ලෙස ඇගේ උරහිසෙන් පහළට ඇද හැළේ. ඉහළම ස්තරයේ ඇති පියාපත් අතිපිහිත වූ ශල්කවලින් (ඇවිරිවලින්) යුතු ලෙස දක්වා ඇත. පහළ ස්තර දෙකෙහි දිගු, කඩකඩ ස්වරූපයෙන් යුත් පියාසර පිහාටුවලින් සමන්විත ය. මේවා අවසන් වන්නේ උත්තල පහතට යොමුවූ අන්තයකිනි. පිහාටුවල සිනිඳු පෘෂ්ඨ ඇත. නාරටි ඇඳ නැත. පියාපත් සාමන නමුත්, සම්පූර්ණයෙන්ම සමමිතික නැත. ඒවායේ පියාසර පිහාටු සංඛ්‍යාවන් වෙනස් ය. [nb 5] එසේම වර්ණයෝජනයේ ලක්ෂණ ද‍ වෙනස් ය.[nb 6]

ඇගේ පියාපත් ත්‍රිකෝණාකාර හැඩයෙන් විහිදුණත ද, ඒවා සම්පූර්ණයෙන්ම විහිදී නැත. පයෝධර පිරුණු උස් වූ ඒවා වේ. ඒවායේ වෙන්ම නිරූපිත තනපුඩු දක්නට නැත. ඇගේ සිරුර ස්වාභාවිකවාදී ලක්ෂණ පිළිබඳ අවධානයෙන් යුතුව නිමකළ එකක් බැව් පෙනේ: ගැඹුරු නාභිය, මැඩැති උදරය, "මෘදුව නිරූපිත යුනික පෙදෙස"[nb 7] ජඝන ශිඛාවට පහතින් වක්වූ උකුළෙහි රේඛා, සහ වෙනස් දණිස් ඇට සහිතව පාදවල ඇති අස්ථිමය ව්‍යූහය යන ලක්ෂණ සියල්ල හේතුවෙන් යෝජනා වී ඇත්තේ "එය පැහිදිළිවම නිරීක්ෂණ අධ්‍යයන මගින් ලද කලාත්ම හැකියාවක්" බවයි.[5] දණිසට වහාම පහළින් වූ පොරකටු ආකාරයේ නෙරුම කොලින් අර්ථකථනය කරන්නේ ගව නඛර ලෙසයි. ජංඝාවට පහළින් රූපයේ පාද පක්ෂි පාද බවට පරිවර්තනය වී ඇත. පක්ෂි-පාද විස්තරාත්මකව දක්වා ඇති අතර,[nb 8] එහි දිගු, හොඳින් වෙන්වූ ආසන්න වශයෙන් සමාන දිගින් යුත් ඇඟිලි තුන බැගින් වේ. ඇගේ වළලුකර ප්‍රදේශයේ ඇති රේඛා මගින් ශල්ක (scute) නිරූපණය වේ යැයි සිතිය හැක. මේවායේ ප්‍රමුඛ නිය දැකගත හැක. ඇගේ පා ඇඟිලි පහතට යොමුවී ඇති අතර, එහි පර්යාලෝකීය පූර්වභ්‍රස්නයක් දැකගත හැකි නොවේ. ඒවා බිම් රේඛාවක් මත රැඳීසිටින බව නොපෙනෙන බැවින්, පසුබිමෙන් වෙන්ව වාතයේ රැඳී සිටින සෙයක් දිස්වේ.[5]

සත්ත්වයින් සහ පසුබිම[සංස්කරණය]

සිංහයන්ගේ විස්තරාත්මක රුවක්
උන්නතයේ පහළ සිංහ රූ දැක්වෙන සමීප රුවක්
බකමූණාගේ විස්තරාත්මක රුවක්
උන්නතයේ පහළ දකුණෙහි බකමූණාගේ සමීප රුවක්

සිංහ රූ දෙකෙහි පුරුෂ කේශර දැකගත හැක. ඒවා ඝනකම් රටාවකට නිරූපණය කොට ඇති අතර, කේශර සිරුරේ පහළ පෙදෙස් දක්වා ද දිවෙයි.[nb 9] සිංහයාගේ කන්වල සහ උරහිස්වල විශේෂිත රටාවකට අනුව වැඩී ඇති ලෝම මධ්‍ය සුළියක් වැනි ලක්ෂ්‍යකින් ඇරඹෙන සේ නිමාව ඇත. මුණින් අතට වැතිර සිටින සිංහයින් ලක්ෂණවලට මුල්තැන දෙමින් නිමවා තිබුණ ද, ස්වරූපය අතින් ඒවායේ කලාකරුවාට හිමිවූ නිදහස නිරූපණය වේ. උදාහරණයක් වශයෙන් ඒවායේ ඇති වෘත්තාකාර ස්වභාවය දැක්විය හැක. සිංහයන් දෙදෙනාම නරඹන්නා දෙස බලාසිටින අතර, ඔවුන්ගේ මුඛය වැසී ඇත.

බකමූණන් හඳුනාගත හැකි පරිදි නිර්මාණය කොට තිබුණත්, ඉන් ස්වාභාවිකවාදී ලක්ෂණ නිරූපණය නොවේ. ඔවුන්ගේ හො‍ටයෙහි හැඩය, පාදවල දිග සහ පියාපත් කළඹ එම ප්‍රදේශයේ දේශීය බකමූණන් කෙරෙන් ද දක්නට ලැබේ.[nb 10] ඔවුන්ගේ පිල්කළඹ දේවතාවියගේ පියාපත් සේම රතු, කළු සහ සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. මෙය ද ද්වීපාර්ශ්විකව සමාන වුවත්, සමමිතික නැත. බකමූණන් දෙදෙනාගේම පිල්කළඹේ වම්පසට වඩා දකුණුපස තවත් එක් පිහාටුවක් වේ. පාද, පතුල් සහ නිය රතු පැහැති ය.

මෙම සමූහය සිටගෙන සිටින්නේ කළු පැහැයෙන් වර්ණාලේපිත ශල්මය රටාවක් මත ය. මෙවැනි කඳුකර කලාප මෙ‍සපොතේමියානු කලාවේ පොදු ලක්ෂණයකි.

සංදර්භය[සංස්කරණය]

දිනය සහ සම්භව ස්ථානය[සංස්කරණය]

කලා ලක්ෂණ සැසඳීම අනුව මෙම උන්නතය එයට දිය හැකි ආදිතම දිනය ලෙස ඉසින්ලාර්සා යුගය[12] හෝ මඳක් පසුකාලීනව, පැරණි බැබිලෝනියානු යුගයට අයත් යැයි සලකා ඇත.[nb 11] ෆ්‍රෑන්ක්ෆර්ට් විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම උන්නතය ඌර්වලින් හමුවූ පුරුෂ දේවතාවාගේ ප්‍රතිමා හිසට ශෛලිය අතින් සමානත්වයක් දක්වන බවයි.[1][nb 3] කොලින් පවසන්නේ එය "ගුණාත්මය, කලා කෞශල්‍යය සහ ප්‍රතිමාවිදයාත්මක ලක්ෂණ අතින් රාත්‍රියේ රැජිනට ඉතා සමීප බවත්, එය සහ මෙය එකම කාලාගාරයේ නිමැවුම් විය හැකි බවත් ය."[13] මේ නිසා උන්නතය සඳහා සම්භව ස්ථානයක් ලෙස ඌර් ද අනුමාන කළ හැක. නමුත් එය ලබාදිය හැකි එකම අනුමානය නොවේ. ඊඩිත් පොරාඩා සිංහයාගේ කේශරවල සැබෑ අනන්‍යතාව පිළිබඳ සඳහන් කරන්නේ එවැනි ආකාරයේම ලක්ෂණ සහිත ඵලක කොටස් දෙකක් නිපුර්වලින් හමුවන බවයි.[14][nb 12] ඇග්නස් ස්පයිකට් විසින් මෙයට සමාන ග්‍රීවාභරණයක් ඉසින්වලින් හමුවූ පුරාවස්තු කොටසක ඇතුළත් බව වාර්තා කොට තිබේ.[15]

භූදේශපාලන සම්බන්ධය[සංස්කරණය]

ක්‍රි.පූ. දෙවන සහස්‍රකයේ ආරම්භයට අයත් නිමැවුම් දිනයක් ලබාදීම හේතුවෙන් මෙම උන්නතය දේශපාලන අතින් අර්බුදකාරී යුගයකට ඇතුළත් කරයි. මෙකල ඉසින් සහ ලාර්සා නගර රාජ්‍යවල බලපෑම අඩුවැඩි වෙමින් පැවති අතර, එලමයිට්වරුන්ගේ ආක්‍රමණ එල්ල විය. අවසානයේ ක්‍රි.පූ. 1762දී පමණ හමුරාබි විසින් බැබිලෝනියානු අධිරාජ්‍යය එක්සත් කරන ලදී.

වර්ෂ 300 සිට 500 පමණ කාලයකට පෙර මෙසපොතේමියාවේ ජනගහනය එතෙක් පැවති ඉහළම අගය වූ 300,000 පමණ අගයයක් දක්වා වර්ධනය විය. අනතුරුව එලමයිට් ආක්‍රමණිකයින් විසින් ඌර්හි තෙවන රාජවංශය බිඳහෙළන ලදී. අනතුරුව ජනගහනය 200,000 පමණ දක්වා පහත වැටිණි. උන්නතය නිර්මාණය වූ අවධියේ එය ස්ථාවර අගයයක පැවතිණි.[16] නිපුර් සහ ඉසින් වැනි නගරවල ජනපදිකයින් 20,000ක් පමණ සිටින්නට ඇති අතර ලාර්සාවේ ජනගහනය 40,000ක් පමණ වන්නට ඇත. ක්‍රි.පූ. 1700 පමණ වන විට හමුරාබිගේ බැබිලනය 60,000ක් දක්වා වර්ධනය විය.[17] එවැනි ප්‍රමාණයෙන් යුත් නගර පවත්වා ගැනීමට හොඳින් සංවර්ධනය වූ උපරිව්‍යූහයක් මෙන්ම සංකීර්ණ ශ්‍රමික විභජනයක් පැවතීම අත්‍යාවශ්‍ය විය. විශේෂඥ කලාකරුවන් විසින් ආගමික ප්‍රතිමා ආදිය නිර්මාණය කරන්නට ඇත. අච්චු ලෙස තනන ලද කුඩා, පූජා ඵලක ගණනාවක් කැනීස්වල දී හමුවී ඇත්තේ මේ නිසායි.

සශ්‍රීක චන්ද්‍රවංකයේ ශිෂ්ටාචාර ඉතිහාසයේ පැරණිතම ශිෂ්ටාචාර ලෙස සැලකුණ ද, බර්නී උන්නතය නිර්මාණය වූ අවධියේ සෙසු පසුකාලීන ලෝකඩ යුගයේ ශිෂ්ටාචාර ද සමානව වර්ධනය වී පැවතිණි. සංචාරක සහ සංස්කෘතික හුවමාරුව සාමාන්‍ය දෙයක් නොවූව ද, ජනයා අතර හුවමාරුව සිදුවන්නට ඇත.[nb 13] නැගෙනහිරින් සුසාව අගනුවර කරගත් එලම් රාජ්‍යය ඉසින්, ලාර්සා සහ පසුකාලීන බැබිලනය වෙත නිරන්තර යුධ අරගල දිය්ත කරන ලදී. එපමණක් නොව මෙකල ඉන්දු නිම්න ශිෂ්ටාචාරය එහි උච්චස්ථානයේ පැවතුණු අතර, චීනයේ අර්ලිටෞ සංස්කෘතිය ද ඇරඹී පැවතිණි. නිරිතදිගින් 12වන රාජවංශයේ පාලනය යටතේ පැවති ඊජිප්තුව සහ බටහිරින් ක්‍රීටයේ නොසොස් පැරණි මාලිගය කේන්ද්‍ර කරගත් මිනෝවානු ශිෂ්ටාචාරය මධ්‍යධරණී ප්‍රදේශයේ ආධිපත්‍යය පැතිරවී ය. මෙසපොතේමියාවේ උතුරින් ඇනටෝලියානු හිටයිට්වරු හැටියන්වරුන්ව පරදවා සිය පැරණි රාජධානිය පිහිටුවන්නට උත්සාහ දරමින් සිටියහ. බැබිලෝනියානු අධිරාජ්‍යය නිමාකළ ඔවුහු ක්‍රි.පූ. 1531දී එහි නගරය අල්ලා ගත්හ. සැබැවින්ම මෙම ආක්‍රමණය උන්නතයේ දකුණුපස පෙදෙසට හානි වීමට හේතු වන්නට ඇතැයි කොලන් යෝජනා කරයි.[18]

ආගම[සංස්කරණය]

ඵලකයේ ප්‍රමාණය අනුව යෝජනා වන්නේ එය ‍පූජාස්ථානයක වන්දනාවට ලක්වූ වස්තුවක් වන්නට ඇති බවයි. මෙය මඩ-ගඩොලෙන් තැනූ බිත්තියකට සවි කොට තිබෙන්නට ඇත.[19] එවැනි පූජාස්ථානයක් විශාල පෞද්ගලික නිවහනක හෝ වෙනත් ගෘහයක් තුළ තනා තිබෙන්නට ඇත. නමුත් එය නගරයේ දේවස්ථානයක ප්‍රධාන දේව ප්‍රතිමාව ලෙස නොපවතින්නට ඇත. නොඑසේනම්, වටේට තැන්පත් කොට තිබූ දේව ප්‍රතිමා රැසකින් එකක් වන්නට ඇත. එකල මෙසපොතේමියානු දේවස්ථානවල බොහෝවිට සෑම පැත්තකම විමාන තනා තිබූ ඍජුකෝණාස්‍රාකාර මහලක් තිබෙන්නට ඇත. තෝර්කිල්ඩ් ජේකබ්සන් පවසන්නේ එම පූජා කුටිය වෛශ්‍යා ගෘහයක පිහිටන්නට ඇති බවයි. (පහත බලන්න)[20]

අච්චු රෙටාකොටා අවමංගල රුවක්, මයිරිනා (මයිසියා)වෙන් හමුවූ සයිරිනියකි. ක්‍රි.පූ. 1වන සියවස.

කලා ඉතිහාසය[සංස්කරණය]

මෙසපොතේමියාවේ ආගමික වන්දනාව කෙතරම් වැදගත් වූයේ ද යන්න සහ පැවති දේවාල සංඛ්‍යාව අනුව සසඳා බැලූ විට, වර්තමානයේ හමුවී ඇත්තේ ඉතා සුළු පූජා රූප ප්‍රමාණයකි. මෙය නිශ්චිතවම කලාත්මක හැකියාව මඳ වීම නිසා ‍සිදුවූවක් නොවේ: "වන ලැහැබක සිටින බැටළුවා" (පහළ පින්තූරය බලන්න) නම් මූර්තිය මගින් එකල ප්‍රතිමා, වසර 600-800ක් පමණ පැරණි යුගයේ පවා කෙතරම් විසිතුරු වූයේදැයි වටහාගත හැක. මෙය ආගමික ප්‍රතිමකලාව කෙරෙහි ඇල්ම මඳ නිසා ද සිදුවූවක් නොවේ. දේවතාවන් සහ ආගමික මිත්‍යා රූ ඇතුළත් සිලින්ඩර මුද්‍රා, ශිලා ස්තම්භ සහ උන්නත සුළු සංඛ්‍යාවක් ද හමුව තිබේ. එසේම දේවස්ථාන සහ පූජාස්ථාන තුළ තැන්පත් කොට තිබූ ප්‍රධාන වන්දනා රූ වටිනා අමුද්‍රව්‍යවලින් තනා තිබූයේ නම්, ඒවා පහසුවෙන්ම බල අරගල කාලසීමාවන් තුළ මංකොල්ලකෑමට ලක්වන්නට ඇත.[21] බර්නී උන්නතය සාපේක්ෂව චාම් බැවින් එයට හානියක් සිදුනොවන්නට ඇත. සැබැවින්ම මෙම උන්නතය පැරණි බැබිලෝනියානු යුගයට අයත් ශේෂව ඇති විශාල රූපික නිරූපණයන් ද්විත්වය අතුරින් එකකි. ශේෂව ඇති අනෙක් නිර්මාණය නම් හමුරාබි නීති පද්ධතියේ ඉහළ කොටසයි. එය හමුවූයේ එලමයිට් සුසා නගරයෙන් වන අතර, එය මුල් ස්ථානයෙන් පැහැරගෙන රැගෙන ආ වස්තුවක් විය හැක (පින්තූරය බලන්න).

නිශ්චල, පූර්වය දෙස බලා සිටින ලෙස නිර්මිත රූ වන්දනාවට පාත්‍ර වූ දර්ශීය ආගමික රූ විය. අන්තර්ගතය කථා පුවතක් නිරූපණය නොවන අවස්ථාවල මෙසපොතේමියානු කලාවේ සමමිතිකව රූ නිර්මාණය කිරීම සුලබ විය.[nb 14] මෙයට බොහෝ උදාහරණ සිලින්ඩර මුද්‍රාවලින් හමුවේ. දේවතාවකු සහ තවත් රූ දෙකක් සහිත ත්‍රිත්ව සංරචනයන් ද සුලබ විය. නමුත් රූප පහක් සහිත වන්දනා ඵලක ද හමුවේ. මෙම කැටයම තුළ උන්නතය මගින් එකල පැවති සම්මතය නිරූපණය වේ. මෙහි දේවතාවිය‍ගේ රුව ස්වාභාවිකව නිරූපණය කර ඇති නමුත්, නග්න ස්වරූපයෙන් යුතු වීම පැරණි ඊජිප්තු දේවතාවියන්ගේ ප්‍රතිමා සිහිගන්වයි. එම ඊජිප්තු ප්‍රතිමාවල කැපීපෙනෙන නාබියක් සහ යුනික ප්‍රදේශය ද්කවා ඇති නමුත්, ඒවායේ අංග විස්තරාත්මකව දක්වා නැත. නමුත් ඒවායේ පහළ වස්ත්‍රයක වැනි රේඛාවක් පෙන්වා තිබීම තුළින් දුහුල් වස්ත්‍රයක් පැවති බව ඇඟවිණි. මෙම ගණයේ දර්ශීය ප්‍රතිමාවක පාරාවෝ මෙන්කෝරා සහ දේවතාවියන් දෙදෙනකු වන හාතෝර් සහ බැට් මානව ස්වරූපයෙන් දක්වා ඇති අතර, ස්වාභාවිකව කැටයම් කොට ඇත්තේ බර්නී උන්නතයේ මෙනි. සැබැවින්ම හාතෝර් දෙවඟන හට IIවන ඛාමෙරෙර්නෙබ්ටි රැජිනගේ (පින්තූරය සහ ලිපිය බලන්න) අංග ලක්ෂණ ලබා දී ඇත. සත්ත්ව-මිනිස් මිශ්‍ර ලක්ෂණ සහිත දේවතාවකු මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය කිරීමේ කලාත්මක සංකල්පය ඊජිප්තුවෙන් මෙසපොතේමියාවට හිමි වන්නට ඇත.[22] මේ අනුව සැලකූ විට, බර්නී උන්නතය තුළින් දේවස්ථාවල මෙයට වසර 500කට ‍පමණ පෙර පුරුෂ සහ ස්ත්‍රී රූ වන්දනා කිරී‍මේ සම්ප්‍රදායික ක්‍රමයෙන් පැහැදිළි අපගමනයක් පෙන්නුම් කරයි. (පින්තූරය බලන්න) එය කලාපයේ අනතුරුව එළැඹි මහා කලා සම්ප්‍රදාය වූ ඇසිරියානු කලාවෙන් ද වෙනස් වේ. රළු කලාවක් වූ ඇසිරියානු කලාව තුළින් යුධ සහ දඩයම් දර්ශන බොහෝමයක් නිරූපණය කෙරිණි. (පින්තූරය බලන්න)

අතරමැදි සියවස් තුළ වන්දනා ක්‍රම වෙනස් වුව ද, මෙම ප්‍රතිමාවේ විලාසය රැගත් ක්‍රි.පූ. 1වන සියවසට අයත් ටෙරාකොටා අවමංගල රුවක් සුළු ආසියාවේ මයිසියා වෙරළ තීරයේ මයිරිනාවෙන් හමු විය. මෙය සොයාගන්නා ලද්දේ 1883 ඇතැන්ස්හි ප්‍රංශ පාසල විසින් එහි සිදුකළ කැනීම් කටයුතුවලිනි. මෙම ටෙරාකොටා රුව වර්තමානයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. (වම්පසින් දැක්වෙන රුව)

මෙම කාලයටම අයත් දෘශ්‍යකලා නිර්මාණ සමග සැසඳීමේ දී මෙම උන්නතය ශෛලිය මෙන්ම ප්‍රතිමා ලක්ෂණ අතින් ද උසස් බැව් පෙනේ. පහතින් දැක්වෙන පින්තූර මගින් කාන්තා සහ දේවතාවියන්ගේ රූ නිරූපණයට මුල්කාලීන, සමකාලීන සහ මඳක් පසුකාලීන නිදසුන් දැක්වේ.

ප්‍රතිමා ලක්ෂණ[සංස්කරණය]

මෙසපොතේමියානු ආගම සාමාන්‍යයෙන් දෙවිවරුන් දහස් ගණනකින් සමන්විත යැයි පිළිගැනෙන ආගමකි. ඉන් වෙනස් ප්‍රතිමා වර්ග දොළහක් පමණ හඳනාගෙන ඇත. ඇතැම් අවස්ථාවල දී දෙවියන්ගේ රූ හැඳින්වීමට කුඩා ලේබලයක් හෝ යෙදුමක් භාවිතා විය. නමුත් එවැනි ලේබලය වටහා ගැන්නට හැකි වූයේ එකල උගත් වංශවතුනට පමණක් බැව් පෙනේ. ආගමික භාණ්ඩ නිර්මාණයේ දී නව දේවතා රූ නිර්මාණයට කලාකරුවට නිදහස හිමි නොවිණි. දේවතාවුන් නිරූපණය, ඒවායේ ලක්ෂණ ආදිය ද චාරිත්‍ර සහ පුරාණෝක්ති සේම ආගමේ කොටසක් ලෙස සැලකිණි. සැබැවින්ම, සම්මත කලා සම්ප්‍රදායයට පටහැනිව නව කලා සම්ප්‍රදායයන් අනුගමනය කිරීම එකල සංස්කෘතිය තුළ වරදක් ලෙස ද දකින්නට ඇත.[23] ඵලක සහ මුද්‍රාවල ඇති සමානත්වය හේතුවෙන් යෝජනා වී ඇත්තේ සුප්‍රකට වන්දනා ප්‍රතිමා ආශ්‍රයෙන් එවැනි විස්තීර්ණ කලා සම්ප්‍රදායයන් ගොඩනැගෙන්නට ඇති බවයි. එවැනි ව්‍යූත්පන්න කලා කෘති සම්බන්ධයෙන් දෘශ්‍ය කලා සම්ප්‍රදායයක් එකල ස්ථාපිත වී තිබූ නමුත්, වර්තමානයේ ඒවා දක්නට නැත.[24] නමුත් බර්නී උන්නතය ද එවැනි සම්ප්‍රදායක නිමැවුමක් වන නමුත්, එය එහි ප්‍රභවයෙහි ව්‍යූත්පන්නයක් නොවන බව පෙනීයයි. එහි සංරචනය එයටම අනන්‍ය ය.[6]

ඉදිරිපස නග්නභාවය[සංස්කරණය]

"ඉෂ්තාර් බඳුන", මුල්කාලීන ක්‍රි.පූ. 2වන සහස්‍රකය, ලාර්සා. ඵලකයේ දේවතාවියගේ පාද මෙහි ඇයට ඉහළින් ඇවිද යන පක්ෂීන්ගේ පාදවලට අනුරූප වන අයුරු බලන්න. ලූවර්, AO 1700.

දේවතාවියගේ ඉදිරි පෙනුම වන්දනා ඵලකයකට උචිත අයුරින් නිර්මාණය කොට ඇත. එයට හේතුව මෙය "දෙවියකුගේ රූපික ආශ්‍රේයයක්" නොව "දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ සංකේතයක් බැවිනි".[1] මෙම උන්නතය වන්දනාවට පාත්‍ර වූ බවට අපේක්ෂා කෙරුණ ද, එය සත්‍යය ද යන්න අප නොදනී, නමුත් මෙම දේවතාවියගේ නිරූපණය මගින් සුවිශේෂී මෝස්තරයක් ඉදිරිපත් කරයි: එනම් පියාපත් සහ පක්ෂීන්ගේ පාද සහිත නග්න දේවතාවියගේ රුවයි. මෙයට සමාන රූප සහිත ඵලක කිහිපයක්, ලාර්සාවෙන් හමුවූ බඳුනක් සහ අවම වශයෙන් එක් සිලින්ඩර මුද්‍රාවක් හමුවී ඇත. ර්වා සියල්ලම ආසන්න වශයෙන් එකම යුගයකට අයත් ය.[25] එක් අංශයකින් හැර සෙසු සෑම අතින්ම, ඉදිරි පෙනුම, නග්නභාවය, පියාපත් සහ අං සහිත කිරුළ යන ලක්ෂණ සියල්ල එක්ව මෙම ඵලකවල නිරූපණය කොට ඇත. මේ නිසා මෙම ඵලක ප්‍රතිමා විද්‍යානුකූලව කිසියම් දේවතාවියක හා සම්බන්ධ යැයි සිතිය හැක. එපමණක් නොව, මෙම මෝස්තරය දක්නට ලැබෙන නිදසුන් නග්න දෙවියකු හෝ දේවතාවියකු නිරූපිත ශේෂව පවතින එකම නිදසුන් වේ. සෙසු නිරූපණ සියල්ලකම දෙවිවරුන් වස්ත්‍ර සහිතව නිරූපණය කොට ඇත.[26] පක්ෂී පාද හැමවිටම සුරක්ෂිතව පවතිනු දක්නට නොලැබේ. කෙසේනමුත්, නග්න, පියාපත් සහිත මිනිස් පාදවලින් යුත් දේවතාවියකගේ රූ මෙතෙක් හමුවී නැත.

අං සහිත කිරුළ[සංස්කරණය]

අං සහිත කිරුළ බොහෝවිට ස්තර හතරකින් යුතු අතර, එය මෙසපොතේමියානු කලාවේ දේවතාවුන්ගේ රූප තුළ දක්නට ලැබෙන සුලබම සංකේතයක් වේ. පුරුෂ මෙන්ම ස්ත්‍රී දෙවිවරුන් සමාන කිරුළු පැළඳ සිටියි. ඇතැම් අවස්ථාවල දී "සුළු" දේවතාවුන් අං යුගළක් පමණක් සහිත කිරුළු පැළඳ සිටිනු දක්නට ලැබේ. නමුත් සාමාන්‍යයෙන් අං සංඛ්‍යාව "තත්ත්වය" හෝ වැදගත්කම නිරූපිත සංකේතයක් නොවන බව පිළිගැනේ. මෙහි අප දකින ස්වරූපය නව-සුමේරියානු යුගයේ සහ ඉන්පසුව ජනප්‍රිය වූවකි. මුල්කාලීණ නිරූපණවල දක්නට ලැබෙන්නේ කේතු ආකාර ශීර්ෂාවරණයකින් පැන නගින අං ය.[27]

පියාපත්[සංස්කරණය]

ක්‍රි.පූ. 3වන සහස්‍රකයේ සිට ඇසිරියානු යුගය තෙක්ම පියාපත් සහිත දෙවිවරුන්, මිත්‍යාමය ජීවීන් සහ පක්ෂීන් සුලබව සිලින්ඩර මුද්‍රා සහ ශිලා ස්තම්භවල නිරූපණය කෙරිණි. පියපත් යුගලක් මෙන්ම පියාපත් යුගල දෙකක් ද සහිත රූ හමුවන අතර, බොහෝවිට පායපත් දෙපසට විහිදී තිබෙනු නිරූපිත ය. විහිදුණු පියාපත් ඉෂ්තාර් දෙවඟන නිරූපිත එක් ස්වරූපයක් විය.[28] කෙසේනමුත්, නග්න දේවතාවියගේ එල්ලා වැටෙන පියාපත් මගින් ඇතැම්විට ලෝගුවක් නිරූපණය වේ යැයි සිතිය හැක.[29]

යෂ්ටිය-සහ-මුදුව සංකේතය[සංස්කරණය]

මෙම සංකේතය මගින් ඇතැම්විට ගෘහනිර්මාණ ශිල්පියකු හෝ කාර්මිකයුකගේ මිනුම් උපකරණයක් හෝ එම උපාංගවල සලකුණක් නිරූපණය වනවා වන්නට පුළුවන. මෙය සිලින්ඩර මුද්‍රා සහ ශිලා ස්තම්භවල බහුලව භාවිතා වන අතර, එය සෑමවිටම දෙවියකු – සාමාන්‍යයෙන් ෂමාෂ්, ඉෂ්තාර්, සහ පසුකාලීන බැබිලෝනියානු රූපවල මාර්ඩුක්– විසින් දරාසිටින අයුරුත්, බොහෝ අවස්ථාවල දී රජු දෙසට එය යොමු කොට තිබෙන අයුරුත් නිරූපිත ය.[27]

සිංහයින්[සංස්කරණය]

සිංහ රූ ප්‍රධාන වශයෙන් ඉෂ්තාර් දේවතාවිය හෝ ෂමාෂ් හෝ නින්ගිර්සු යන දෙවිවරුන් සමග සම්බන්ධ ය.[20] මෙසපොතේමියානු කලාව තුළ සිංහයන් බොහෝදුරට හැමවිටම පාහේ නිරූපණය කොට තිබුණේ විවෘත හනු සමගිනි. එච්. ෆ්‍රෑන්ක්ෆර්ට් යෝජනා කරන්නේ බර්නී උන්නතය මගින් සම්මත සම්ප්‍රදායෙහි විකරණයක් දැකගත හැකි බවත්, එයට හේතුව සිංහ රූ නරඹන්නා දෙසට හැරී සිටීම බවත් ය: ඔුව්නගේ මුඛය විවෘතව තිබුණේ නම් සිංහයන් අනවශ්‍ය ලෙස භයානක අයුරින් පෙනෙනු ඇත.[1]

බකමූණන්[සංස්කරණය]

මෙසපොතේමියානු කලාවේ සෙසු කිසිදු උදාහරණයක බකමූණන් නිරූපණය කොට නොමැති අතර, බකමූණන් ඍජුවම සම්බන්ධ වන නිශ්චිත දේවතාවකු හෝ දෙවියකු පිළිබඳ ලිඛිත මූලාශ්‍ර සඳහන් ද හමුනොවේ.

කඳු[සංස්කරණය]

ශල්කමය රටාවක් මත හිඳ හෝ සිටගෙන සිටින රූ මගින් දේවාවිශ්කරණය සංකේතවත් කෙරේ. එය කඳු සමග සම්බන්ධයක් ඇති දෙවිවරුන් සමග යෙදෙන නමුත්, එය කිසිදු නිශ්චිත දෙවියකුට සීමාවූවක් නොවේ.[20]

හඳුනාගැනීම[සංස්කරණය]

උන්නතයේ වෙනත් ඡායාරූපයක්

මූලිකව මෙම මෙම රුව ඉෂ්තාර් (ඉනන්නා)[nb 15][2] නමුත් වෙනත් මතවාදයන් ද ඉදිරිප් කොට ඇත:

ලිලිතු[සංස්කරණය]

මෙම උන්නතය මගින් "ලිලිත්" නිරූපණය වේය යන හැඳින්වීම මේ සම්බන්ධයෙන් වන ජනප්‍රිය මතයක් බවට පත්ව ඇත. රෆායෙල් පැටායි (1990)[30] විශ්වාස කරන්නේ උන්නතය මගින් නිරූපණය වන්නේ ලිලිතු නැමැති සුමේරියානු රාක්ෂසිය පමණක් බවත්, එය ලිලිතුගේ ප්‍රතිමාවක් බවටත් පැහැදිළි කොට ඇත. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වන උද්ධෘතයන් හෙන්රි ෆ්‍රෑන්ක්ෆර්ට් (1936) වැන්නවුන්ගේ කාලය තරම් ඈතට දිවෙයි. ෆ්‍රෑන්ක්ෆර්ට් සිය අර්ථකථනය ඉදිරිපත් කොට තිබුඛේ මෙම දේවතාවිය ලිලිත් නැමැති රාක්ෂසිය බවයි. ඒ සඳහා පියපත් පැවතීම, පක්ෂීන්ගේ පාද සහ බකමූණන් නිරූපණය කොට තිබීම සාධක වශයෙන් දක්වා ඇත. ඔහු මේ සඳහා මූලාශ්‍රයක් ලෙස බැබිලෝනියානු ගිල්ගමේෂ්ගේ වීර කාව්‍යය දක්වමින් සඳහන් කොට ඇත්තේ එවැනි "ජීවීන් මරණයේ දේශයේ ජීවත්වන්නන් බවයි".[31] එම පෙළෙහි එන්කිඩුගේ පෙනුම අර්ධ වශයෙන් පියාපත් සහිත ජීවියකු බවට වෙනස්වන බවත්, ඔහු පහළ ලෝකය වෙත මග පෙන්වන බවත්, එම ලෝකයෙහි "පක්ෂීන් වැනි, පියාපත් සහිත වස්ත්‍රයක් පැළඳි සත්ත්වයින්" ජීවත් වන බවත් පැවසේ.[1] මෙම ඡේදය මගින් සුමේරියානුවන් පරලොව විශ්වාස කළ බව පැහැදිළි කරයි. ෆ්‍රෑන්ක්ෆර්ට් සඳහන් කරන්නේ පාතාල ලෝකයේ පාලකයා වන නෙර්ගාල් පක්ෂියකුගේ පාද සහිතව පියාපත් සහිත ලෝගුවක් පැළඳ සිටින බවයි.

කෙසේනමුත්, ෆ්‍රෑන්ක්ෆර්ට් මෙම රුව ලිලිත්ගේම යැයි හඳුනාගන්නේ නැත. ඒ වෙනුවට ඔහු එමිල් ක්‍රේලිං (1937) පිළිබඳ උද්ධෘතයක් දක්වයි. ක්‍රේලිං විශ්වාස කරන්නේ මෙම රූපය "පහළ පිළිවෙලට අයත් අධිමානුෂික ජීවියකු බවයි"; නමුත් ඔහු එයට හේතුව පැහැදිළිව විස්තර කොට නැත. අනතුරුව ඔහු සඳහන් කරන්නේ "පියාපත් [...] මගින් වාතය හා සම්බන්ධ රාක්ෂසියක නිරූපණය වනවා විය හැක" යනුවෙනි. එසේම "බකමූණන් මගින් මෙම රාක්ෂසියගේ රාත්‍රී හැසිරීම සංකේතවත් වන බව" පවසයි. මෙම රාක්ෂසිය ලමාෂ්ටු සහ පසුසු විය හැකි යැයි ඔහු දක්වා නොමැති අතර සඳහන් කොට ඇත්තේ: "ඇතැම්විට මෙය රාක්ෂසයකුගේ තෙවන නිරූපණයක් විය හැක. එය එසේවී නම්, ඒ ලිලීතු [...] දුෂ්ට සුළඟට අධිපති රාක්ෂසිය විය හැක", ඇගේ නම කි-සිකිල්-ලිල්-ලා[nb 16] (සාහිත්‍යමය "සුළං-යුවතිය" හෙවත් "අවතාර-යුවතිය" වන අතර ක්‍රේලිං අනුමාන කරන පිරිද (පහළ බලන්න) එය "රූමත් යුවතිය" නොවේ.[32] ගිල්ගමේෂ් වීර කාව්‍යයේ කෙටි කථාංගයක මෙම කි-සිකිල්-ලිල් ඉනන්නා (ඉෂ්තාර්) ගේ එදිරිවාදිනියක වේ. මේ බව ක්‍රේලිං සහ ෆ්‍රෑන්ක්ෆර්ට් යන දෙදෙනාම විසින් මෙම රුව ලිලිත් ලෙස හඳුනා ගැනීමට සාධකයක් ලෙස ඉදිරිපත් කොට ඇත. කෙසේනමුත් මෙම ඌනපූරණය වර්තමානයේ මතභේදයට තුඩුදී ඇත. මෙම කථාංගය අනුව, ඉනන්නාගේ ශුද්ධ වූ හුලුපු වෘක්ෂය දුෂ්ට ආත්ම විසින් ආක්‍රමණය කරනු ලබයි. ෆ්‍රෑන්ක්ෆර්ට් විසින් ගෑඩ් (1933) ගේ ආරම්භක පරිවර්තනයක් උපුටා දක්වා ඇත: "ඝෝෂාකාරී යුවතිය, ප්‍රීතිමත්, ස්වර්ගයේ දීප්තිමත් රැජින ලිලිත් විසින් නිවසක් සාදා තිබූ අතරතුර, " ලෙස එය දැක්වේ. කෙසේනමුත්, නූතන පරිවර්තනයන් එය මෙසේ දක්වා ඇත: "එහි ක‍ඳෙහි ප්‍රීතිමත් හදින් සිනහසෙන යුවතිය, අවතාර-යුවතිය ඇගේ නිවහන තනා ගත්තා ය. නමුත් පූජනීය ඉනන්නා හැඬුවා ය."[33] මුල්කාලීන පරිවර්තනය මගින් ලිලිත් රාක්ෂසිය හඬනගන බකමූණකු මෙන්ම දේවමය ස්වභාවයකින් යුක්ත බව ඒත්තු ගැන්විණි. නමුත් නූතන පරිවර්තනය මෙම අදහස් සමග නොගැළපේ. සැබැවින්ම, මෙහි ප්‍රථම පරිවර්තක සිරිල් ජේ. ගෑඩ් (1933) රචනාකොට ඇත්තේ: "අර්දාත් ලිලි (කිසිකිල්-ලිල්) බැබිලෝනියානු පුරාණෝක්තිවේදය තුළ කිසිදින බකමූණන් හා සම්බන්ධතාවයක් පෙන්වූයේ නැත." එසේම "මෙම ස්වරූපයේ ලිලිත් සම්බන්ධ යුදෙව් සම්ප්‍රදායයන් පසුකාලීන බවත්, එහි ප්‍රාමාණිකභාවයක් නොමැති බවත් පෙනෙන්නට තිබේ".[34] බර්නී උන්නතය "ලිලිත්" සමග සම්බන්ධ කිරීමේ මෙම තනි සාක්ෂිය පසුකාලීන යුදෙව් මූලාශ්‍රවල "ලිලිත්" පිළිබඳ දැක්වෙන සඳහන් හේතුවෙන් ප්‍රේරණය වන්නට ඇත.

ප්‍රාඥයාගේ ගීත (ක්‍රි.පූ. 1වන සියවස) සහ බැබිලෝනියානු තල්මුඩය (ක්‍රි.පූ. 5වන සියවස) වැනි පසුකාලීන යුදෙව් සාහිත්‍යයේ ලිලිත් බකමූණන් සමග සම්බන්ධ කොට දැක්වීම ඉසයියාගේ (ක්‍රි.පූ. 7වන සියව‍ස) වන සතුන් සහ ලක්ෂීන් ලැයිස්තුවේ ලිලිය්ත්ට සම්බන්ධ සැඳහුමක් යෙදීම හේතුවෙන් සම්භවය වන්නට ඇතැයි සැලකේ. නමුත් බ්ලෙයාර් (2009)[35][36] වැනි ඇතැම් විද්වතුන් පූර්ව-තල්මුඩීය ඉසයියා සැඳහුම අධිස්වාභාවික-නොවන බව සලකා ඇත. මෙය ඇතැම් නූතන බයිබල පරිවර්තනවලින් ද නිරූපණය වේ:

ඉසයියා 34:13 එහි බලකොටු වටා කටු ද මාලිගා වටා නෙට්ල්, තිසල් වැනි කටු පැළෑටි ද වැඩෙනු ඇත. හිවලුන්ගේ පුරවරයක් වන එය පැස්බරුන් සඳහා වාසභවනක් වනු ඇත. 14 එමෙන්ම වන සතුන් අතර හයිනාවන් හමුවේවි; වල් එළුවන් සිය සගයන් වෙත හඬාවි; සැබැවින්ම එහි රාත්‍රී පක්ෂියකු (ලිලිත්) හට වාසස්ථානයක් සහ ලැගුම් ස්ථානයක් සපයාවි. 15 එහි බකමූණු කැදලි සහ බිජු ලෑම සහ බිජු රැකීම සහ ඇගේ දරුවන් ඇගේ සෙවණට ගනීවි; සැබැවින්ම උකුස්සන් ඇගේ සගයන් සමග රැස්වේවි. (ESV)

වර්තමාන‍යේ, බර්නී උන්නතය ලිලීත් ලෙස හඳුනාගැනීම ප්‍රශ්නාර්ථයක්ව ඇත.[37] වර්තමානය වනවිට මෙම රුව ප්‍රේමයට සහ යුද්ධයට අධිපති දේවතාවියගේ යැයි සාමාන්‍යයෙන් පිළිගැනේ.[38]

ඉෂ්තාර්[සංස්කරණය]

වසර 50කට පසුව, තෝර්කිල්ඩ් ජේකබ්සන් විසින් මෙම අර්ථකථනය ප්‍රතිශෝධනය කළ අතර එමගින් මෙම රුව ඉනන්නා (අක්කාඩියානු: ඉෂ්තාර්) ගේ යැයි හඳුනාගන්නා ලදී. මෙම විශ්ලේෂණයට මූලික වශයෙන් පාදක වී ඇත්තේ ලිඛිත සාක්ෂි ය.[20] ජේකබ්සන් අනුව:

  • මෙම ඵලකය වන්දනා කටයුතු සඳහා භාවිතා වූයේය යනුවෙන් ඇති උපකල්පනය හේතුවෙන් මෙමගින් රාක්ෂසියක නිරූපණය වේ යැයි සිතිය නොහැකි බව පෙනේ. මෙසපොතේමියානු ආගමික වන්දනාව තුළ රාක්ෂසයින් වන්දනාමාන කිරීමක් සිදුනොවූ අතර, එයට හේතුව රාක්ෂයින් "ආහාර කිසිවක් නොදනී, කිසිදු පානයක් නොදනී, කිසිදු පිටි ආහාරයක් අනුභව නොකරයි සහ කිසිදු මත්පැනක් පානය නොකරයි" යනුවෙන් වූ විශ්වාසයයි.[nb 17] එමනිසා, "කිසිවක් ලබාදීමේ හෝ ලබාගැනීමේ සම්බන්ධයක් ඔවුන් සමග නොපැවතිණි";
  • අං සහිත කිරුළ දේවත්වයේ සංකේතයකි. මෙහි අං පේළි හතරක් තිබීම මගින් ඇය මෙසපොතේමියානු දේව සභාවේ ප්‍රධාන දෙවියකු වූ බැව් යෝජනා වී ඇත;
  • සිංහයන් සමග සම්බන්ධ වූ එකම දේවතාවිය ඉනන්නා විය. උදාහරණයක් ලෙස එන්-හෙඩු-අනාගේ ගීතාවක විශේෂයෙන් සඳහන් වන්නේ "හරස් අතට සිටින සිංහයන් මත අසුන්ගත් ඉනන්නා" යනුවෙනි.[nb 18]
  • දේවතාවිය කඳු මත සිටගෙන සිටිනු නිරූපිත ය. සාහිත්‍යමය මූලාශ්‍ර අනුව, ඉනන්නාගේ නවාතැන පිහිටියේ කුර්-මූෂ් කඳු මුදුන්වල ය. ප්‍රතිමා විද්‍යානුකූලව සෙසු දෙවිවරුන් ද ශල්කමය කඳු මත නිරූපණය කෙරිණි. නමුත් ඉනන්නා කන්දක් මත සිටගෙන සිටිය දී තවත් දෙවියකු එහි සිටගෙන නොසිටිනු නිරූපිත නිදසුන් ද වේ. ඒ අනුව පෙනීයන්නේ ඇතැම්විට මෙම රටාව ඉනන්නා හඳුනාගැනීමට භාවිතා වන්නට ඇති බවයි.;[39]
  • යෂ්ටිය-සහ-මුදුව සංකේතය, ඇගේ ගෙල පළඳනාව සහ හවරිය යන සියල්ල මගින් ඇය පාතාල ලෝකය වෙත ඉනන්නාගේ අවරෝහණය නැමැති පුරාණෝක්තිය සමග සම්බන්ධ කොට දක්වනු ඇතැයි සැලකේ.[40]
  • ජේකබ්සන් උපුටා දක්වන්නේ පාඨමය මූලාශ්‍ර අනුව එස්සේබු (බකමූණා) යන අක්කාඩියානු වදන නින්නා නැමැති සුමේරියානු වදනට අනුරූප වන බවයි.ඒ අනුව සුමේරියානු ඩිනින්-නින්නා (දිව්‍යමය යුවතිය නින්නා) යන්න අක්කාඩියානු ඉෂ්තාර්ට අනුරූප වේ. සුමේරියාවු නින්නා යන වදන අක්කාඩියානු කිලිලි ලෙස පරිවර්තනය කළ හැක. එය ද ඉෂ්තාර්ගේ නාමයක් හෝ විරුද නාමයක් ලෙස සැලකේ. මෙසපොතේමියානු පුරාණෝක්තිවේදය තුළ ඉනන්නා/ඉෂ්තාර් යනු වෛශ්‍යාවන්ගේ දෙවඟන ලෙස ප්‍රචලිත වූ අතර, එක් පාඨයක ඉනන්නාව කාර්-කිඩ් (වෛශ්‍යාව) සහ අබ්-බා-[සූ]-සූ ලෙස දැක්වේ. එහි අක්කාඩියානු වදන ලෙස කිලිලි යන්න යෙදේ. මේ අනුව වෛශ්‍යාවෘත්තිය, බකමූණන් සහ ඉනන්නා/ඉෂ්තාර් දෙවඟන සම්බන්ධ වන රූපක ගණනාවක් ඇති බව පෙනේ. මෙය උන්නතයේ ඇති ගුප්ත ස්වභාවය ඉෂ්තාර්ගේ වඩාත් හොඳින් දන්නා ස්වරූපයක් ලෙස හඳුනාගැනීමට උපකාරී වේ. ජේකබ්සන් නිගමනය කරන්නේ මෙම සම්බන්ධය පක්ෂී නිය සහ පියාපත් පිළිබඳ පැහැදිළි කිරීමට ප්‍රමාණවත් බවත්, එහි නිරුවත් ස්වභාවයට හේතුව මෙම උන්නතය වෛශ්‍යා ගෘහයක නිවෙස් අල්තාරයක තැන්පත් කොට තිබීම විය හැකි බවත් ය.[20]

එරෙෂ්කිගාල්[සංස්කරණය]

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් උන්නතය මගින් ලිලිත් හෝ ඉෂ්තාර් නිරූපණය විය හැකිය යන මතය අනුමත කොට තිබුණත්, මෙහි තෙවන හැඳිනුමක් ද ඉදිරිපත්‍ කොට ඇත: එනම් මැය ඉෂ්තාර්ගේ එදිරිවාදිනියක මෙන්ම සොයුරිය ද වන පාතාලයට අධිපති එරෙෂ්කිගාල් දේවතාවිය විය හැකි බවයි.[41] මෙම අර්ථකථනයට පාදක වී ඇත්තේ ඇගේ පියාපත් පිටතට විහිදුවා නොතිබීමත්, ඵලකයේ පසුබිම මුලින් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබීමත් ය. මෙම අර්ථකථනය නිවැරදි වූයේ නම් (නග්න, පියාපත් සහිත දේවතාවියන්ගේ ඵලක ද ඇතුළත්ව) මෙය එරෙෂ්කිගාල්ගේ එකම හඳුනාගත් නිරූපණය වනු ඇත.[5] මෙම හඳුනාගැනීම යෝජනා කරන පළමුවැන්නා වන ඊඩිත් පොරාඩා විසින් මෙම එල්ලාවැටෙන පියාපත් රාක්ෂයින් සමග සම්බන්ධ කොට දක්වමින් මෙසේ සඳහන් කොට ඇත: "බර්නී උන්නතයේ යෝජිත සම්භව ස්ථානයක් වන නිපුර් සත්‍ය වූයේ නම්, එය මත නිරූපිත යෝජිත රාක්ෂ රුව මගින් මළවුන්ගේ පාලිකාව හෝ කලාතුරකින් මරණය සමග සම්බන්ධ පැරණි බැබිලෝනියානු දේව සභාවේ ප්‍රධාන තැනැත්තියක දැක්වේ යැයි සිතිය හැක."[42] පොරාඩා විසින් මේ බවට ආධාරවන වැඩිදුර සාක්ෂි ඉදිරිපත් කොට නැත. 2002දී ප්‍රකාශිත තවත් විශ්ලේෂණයක් ද එම නිගමනය ලබා දී ඇත. ඊ. වොන් ඩර් ඔස්ටින්-සැකන් විසින් අල්ප ලෙස වර්ධනය වූ නමුත් පවතින්නට ඇතැයි සිතිය හැකි එරෙෂ්කිගාල් වන්දනාවක් පිළිබඳ විස්තර කොට ඇත. ඇය පවසන්නේ ඉෂ්තාර් සහ එරෙෂ්කිගාල් දෙවඟනන් අතර වූ සමානත්වයට සාක්ෂි ලිඛිත මූලාශ්‍රවලින් ලැබෙන බවයි. උදාහරණයක් ලෙස "පාතාල ලොව වෙත ඉනන්නාගේ අවරෝහණය" පුරාණෝක්තිය තුළ ඔවුන් "සොයුරියන්" ලෙස හඳුන්වා තිබීම දැක්විය හැක. ඇය අවසානයේ අනන්‍ය ද්විත්ව යෂ්ටිය-සහ-මුදුව සංකේතය පහත පරිදි පැහැදිළි කරයි: "එරෙෂ්කිගාල් මෙහි ඇගේ බලයේ උච්චස්ථානයට පත්ව සිටිනු නිරූපිත ය. ඇය ඇගේ සොයුරියගෙන් දිව්‍යමය සංකේත සහ සිංහයන් ලබාගන්නට ඇත" යනුවෙනි.[43]

සත්‍යභාවය[සංස්කරණය]

1936දී London Illustrated News සඳහන් කොට තිබුණේ "දීර්ඝ රසායනික පරීක්ෂාවකට ලක් කරන ලද" මෙම කෞතක වස්තුවෙහි "අව්‍යාජභාවය කෙරෙහි කිසිදු සැකයක් නොමැති" බවයි. එහි "සියවස් ගණනාවක් ුපරා වියළීමට ලක්වීමෙන් ඇතිවන ආකාරයේ" බිටුමන් කොටස් අන්තර්ගත වූ බව එහි දැක්වේ.[2] නමුත් ඉන් මාස කිහිපයකට පසු, ඩී. ඔප්ටිස් විසින් මෙහි ශෛලිය පිළිබඳ සැකපහළ කරන ලදී. ඔහු සඳහන් කොට තිබුණේ මෙහි බකමූණන්ගේ ඇති "පරම අනන්‍ය" ස්වභාවය කිසිදු බැබිලෝනියානු කලාකෘතියක් සමග නොසැස‍ඳෙන බවයි.[44] එහි පිළිතුරු ලිපියක ඊ. ඩග්ලස් වැන් බියුරන් විසින් සුමේරියානු (එම) කලා නිදසුන් අධ්‍යයනය කොට, නිදසුන් කිහිපයක්ම ඉදිරිපත් කරන ලදී. ඇය ඉදිරිපත් කළ නිදසුන් අතර සිංහයන් දෙදෙනකු සමග සිටින ඉෂ්තාර්, අයිබික්සයන් දෙදෙනකු මත සි‍ටගෙන සිටින නග්න, පක්ෂි පාදැති දේවතාවියක නිරූපිත ලූවර් ඵලකය (AO 6501) ද විය.[45] එසේම කුඩා හීමටයිට් බකමූණු රුවක් ද ඉදිරිපත් කෙරිණි. නමුත් එම බකමූණු රුව හුදකලා කෘතියක් විය.

වසරකට පසුව ෆ්‍රෑන්ක්ෆර්ට් (1937) වැන් බියුරන්ගේ නිදසුන් පිළිබඳ දැනුම්වත් වූ අතර, ඔහු සිය අදහස් ද සම්මිශ්‍රණය කොට නිගමනය කළේ "උන්නතය සැබෑ කෘතියක්" බවයි. සිය මතයේම එල්බ සිටි ඔප්ටිස් (1937) යළි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම යෂ්ටිය-සහ-මුදුව සම්බන්ධයෙන් සැලකූ විට උන්නතයේ ප්‍රතිමා ලක්ෂණ සෙසු නිදසුන් සමග නොගැළපෙන බවයි. මෙම සංකේත සන්නිවේදනය කෙරෙහි අවධානය යොමුවූයේ පෝලින් ඇල්බෙන්ඩා (1970) විසින් නැවත වරක් උන්නතයේ අව්‍යාජභාවය අභියෝගයට ලක් කිරීමත් සමගයි. අනතුරුව බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් තාපසංදීප්ත කාලනිර්ණයක් සිදුකළ අතර එමගින් උන්නතය අතීතයේ පිළිස්සීමට ලක්කළ බැව් හෙළි විය. නමුත් එම ක්‍රමවේදය නිරවද්‍ය නොවූයේ අවට පාංශු නියැදි පසුබිම් විකිරණ මට්ටම් ඇස්තමේන්තු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීම නිසායි. ඇල්බේනඩාගේ මතය ඛණ්ඩනය කරමින් කර්ටිස් සහ කොලන් (1996) විසින් විද්‍යාත්මක විශ්ලේෂණය ප්‍රකාශයට පත්කරන ලදී. 2003දී උන්නතය මිලයට ගැනීමට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට හැකියාව ලැබිණි. කෙසේනමුත්, මතවාද දිගටම පැවතිණි. ශෛලිමය ලක්ෂණ පිළිබඳ පුළුල් ප්‍රතිවිශ්ලේෂණයකින් පසුව ඇල්බෙන්ඩා මෙම ඵලකය "කලාත්මක ලක්ෂණවලින් උසස්" බව පැවසූ අතර "එහි ඓතිහාසිකභාවය පිළිගන්නට" මැළිවූවා ය.[46]

ඇගේ මතවාද නැවත බිඳ හෙළිම්න කොලන් (2007) සඳහන් කළේ සම්පූර්ණ උන්නතයම තනි ඒකකයක් ලෙස නිර්මාණය කොට ඇති බැවින්, ඓතිහාසික පසුවිමට නූතන අංග එකතු කිරීමට‍ නොහැකි, බවයි. ඇය විසින් සම්භව ස්ථානයේ ප්‍රතිමා නිර්මාණ සමග මෙහි සම්බන්ධතා විමර්ශනය කරන ලදී. නිගමනය ලෙස කොලන් සඳහන් කළේ: "[ඊඩිත් පොරාඩා] විශ්වාස කළේ කාලයත් සමග, ව්‍යාජ කෘති තවතවත් අයහපත් අයුරින් පෙනෙනු ඇති බවත්, සැබෑ කෘති හොඳින් ප්‍රචලිත වනු ඇති බවත් ය. [...] වසර ගණනාවක් පුරා [රාත්‍රියේ රැජින] සැබැවින්ම වඩවඩාත් ප්‍රචලිත වෙමින් රසවත් කරුණක් බවට පත්ව ඇත. මා හට නම් ඇය පැරණි බැබිලෝනියානු යුගයේ සැබෑ කලාකෘතියකි."

2008/2009 වර්ෂවල දී මෙම උන්නතය බර්ලිනයේ පර්ගැමොන් කෞතුකාගාරය, පැරීසියේ ලූවර් සහ නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ බැබිලෝනියාව පිළිබඳ ප්‍රදර්ශන සඳහා ඇතුළත් කරන ලදී.[47]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. මෙවැනි ඵලකවල පැවතිය හැකි උපරිම දිග ද 10cm සිට 20cm (අඟල් 3.9 සිට 7.9 දක්වා) පරාසයේ වේ. සසඳන්න ඵලකය AO 6501 (ලූවර්හි), ඵලකය BM WA 1994-10-1, 1 (බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ), හෝ සැබෑ ඇඹුම වන: BM WA 1910-11-12, 4, (බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේම ඇති) (Curtis 1996)
  2. සසඳන්න බ්‍රිතාන්‍ය කෞතුකාගාර පිටුවේ ඇති වර්ණ-යෝජන ප්‍රතිනිර්මාණය
  3. 3.0 3.1 බ්‍රිතාන්‍ය කෞතුකාගාරය අනුව, උඩුකය පමණක් සංරක්ෂිතව ඇති එම රුව මගින් හිරු-දෙවි ෂමාෂ් නිරූපණය වේ. (සසඳන්න details of 1931,1010.2)
  4. සසඳන්න මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති වන්දනාකරුවා සහ සිටගත් කාන්තා රුව යන ප්‍රතිමා
  5. දකුණු පියාපතෙහි පියාසර පිහාටු අටක් වේ. වම් පියාපතෙහි ඇත්තේ සතකි.
  6. දකුණු පියාපතෙහි පහළ ස්තරයේ සුදු-රතු-කළු ටරවා ඇති අතර, සෙසු ස්තර තුනෙහි ඇත්තේ සුදු-කළු-රතු-සුදු යන රටාවයි.
  7. ඇල්බෙන්ඩා (2005) සඳහන් කරන්නේ "කුඩා සිරස් කඩතොලුවක් ඇති බවයි". නමුත් කොලන් (2007b) පැහැදිළි කරන්නේ එය ප්‍රතිසංස්කරණයේ දී ඇතිවූ බිඳීමක් පමණක් බවයි.
  8. සසඳන්න ඉන්දියානු කුරුලුගොයකුගේ පාදය දැක්වෙන රුව
  9. ඩී. ඔප්ටිස් (1936) අර්ථකරථනය කරන්නේ මෙම කේශර රටාව මගින් දේශීය බාබරි සිංහයන් නිරූපණය වන බවයි. ඩී. කොලන් විසින් සිය අර්ථකථනය ආසියාතික සිංහයා හා සම්බන්ධව ඉදිරිපත් කරන අතර, ඔහු සඳහන් කරන්නේ ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇති සිංහයකුගේ සමක ද මෙස‍පොතේමියානු කලාවේ බහුලව නිරූපිත සිංහ රූ වල ඇති විශේෂිත කේශරවල ඇති රටාව දක්නට ලැබෙන බවයි. (කොලන් 2005, 34), මෙය ඊජිප්තු කලාවේ ද දක්නට ලැබේ. (සසඳන්න ටූටන්ඛාමූන්ගේ හිස රඳවනය සමග).
  10. ඉරාකයේ කන් පියාපත් රහිත දේශීය බකමූණන් අතර අටු වෙස්බස්සා (Tyto alba) – ඩී. කොලන් විශ්වාස කරන්නේ මෙම කැටයමේ නිරූපණය වන්නේ මෙම බස්සන් විශේෂය බවයි (කොලන් 2005, 36) – පුංචි බකමූණා (Athene noctua lilith) සහ වනබකමූණා (Strix aluco) යන විශේෂ ප්‍රධාන වේ.
  11. එමනිසා මෙම උන්නතය සුමේරියානු හෝ අක්කාඩියානු හෝ නොවන අතර උතුරු මෙසපොතේමියාවේ පිහිටා තිබූ ඇසිරියානු උන්නතයකුදු නොවූවත් එය මඳක් පෙර කාලයට අයත් විය හැක.
  12. සසඳන්න: මැකවුන් 1978හි ඵලක 142:8 සහ 142:10; දින නිර්ණිත මැටි ඵලකවල ස්තරීභවනය අනුව, මෙම සමාන කැබලි දෙකෙන් එකක් ඉසින්-ලාර්සා යුගයටත් (ක්‍රි.පූ. 2000 සහ 1800 අතර කාලය), අනෙක අනුයාත පැරණි බැබිලෝනියානු යුගයටත් (ක්‍රි.පූ. 1800 සහ 1700 අතර) අයත් යැයි අනුමාන කෙරේ. (කෙටි කාලානුක්‍රමය).
  13. සසඳන්න: ඊජිප්තුවේ 12වන රාජවංශයේ සිනුහේගේ කථාව
  14. කථා පුවතක් නිරූපණය කෙරෙන නිරූපණයකට උදාහරණයක් ලෙස රජුගේ වටලෑමක් වැනි අවස්ථාවක් දැක්විය හැක. එහි රජු දේවතාවකුට මුහුණලා සිටින අතර, දෙදෙනාගේම පාර්ශ්වීය පෙනුම කැටයම් කොට ඇත. දේවතාවකුගේ රුවක් තනිව නිරූපණය කිරීමේ දී සමමිතික සංරචනය වඩාත් සුලබ විය. කෙසේනමුත්, නොගැඹුරු සිලින්ඩර මුද්‍රාවක වූ කැටයමක මෙම රුවක් පාර්ශ්වීය පෙනුම සහිතව නිරූපණය කොට ඇත. මේ නිසා සමමිතිය දැක්වීම සෑමවිටම සම්මතයක් නොවිණි.
  15. දේවතාවියගේ යැයි විශ්වාස කෙරිණි. ඉනන්නා යනු සුමේරියානු නාමයක් වන අතර, ඉෂ්තාර් යනු එම දේවතාවියගේම අක්කාඩියානු නාමයයි. උන්නතය නිර්මාණය වූ අවධියේ පූජනීය පාඨ සාමාන්‍යයෙන් රචනා කරනු ලැබූයේ සුමේරියානු භාෂාවෙනි. නමුත් කථන භාෂාව වූයේ අක්කාඩියානු භාෂාවයි. එමනිසා මෙම ලිපිය තුළ අනුරූපභාවය පිණිස ඉෂ්තාර් යන අක්කාඩියානු නාමය භාවිතා කොට ඇති බවත්, "ඉනන්නා" යන්න කතුවරුන්ගේ ප්‍රභව ග්‍රන්ථවල පෙළ සඳහන් කිරීමේ දී භාවිතා වන බවත් සලකන්න.
  16. කි-සිකිල්-ලිල්-ලා (ක්‍රේලිං) සහ කි-සිකිල්-ලිල්-ලා-කේ (ඇල්බෙන්ඩා) යන වදන් ගිල්ගමේෂ් වීරකාව්‍යයේ සුමේරියානු පාඨයක වැරදි කියවුමක් බැව් පෙනේ. එය කි-සිකිල් විය යුතු ය. සාහිත්‍යමය අරුත සැලකූ විට කි- නොඉඳුල්-පෘථිවිය/ශුද්ධ එනම් කන්‍යාව හෝ යුවතිය, ලිල්2 සුළඟ, ආශ්වාසය, ආසාදනය, අවතාරය; -ලා- සහ -කේ4 යන්න ව්‍යාකරණමය පෙළ සඳහා භාවිතා වූ යෙදුම් වේ. (මෙම පෙළෙහි: "කිසිකිල් ඇය වෙනුවෙන් තැනූ") නමුත් එවැනි සලකුණු නාමපදයෙහි කොටසක් ලෙස නොයෙදිණි.
  17. සසඳන්න "පාතාල ලෝකය වෙත ඉනන්නාගේ අවරෝහණය"හි 295වන පේළිය
  18. ජේකබ්සන් උපුටා දක්වන්නේ ඉනානා C, පේළිය 23 සහ මුදා සහ ඵලකවල ඉනානා සිංහයන් මත අසුන්ගෙන සිටිනු නිරූපිත මෝස්තරය පැහැදිළිව අනුමාන කළ හැකි බවයි. (සසඳන්න ඉහග ඉෂ්තාර්ගේ රුව);

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Frankfort 1937.
  2. 2.0 2.1 2.2 Davis 1936.
  3. 3.0 3.1 Collon 2003.
  4. Albenda, Pauline (April–June 2005). "The Queen of the Night Plaque A Revisit". Journal of the American Oriental Society. American Oriental Society. 125 (2): 171–190. JSTOR 20064325.
  5. 5.0 5.1 5.2 5.3 Albenda 2005.
  6. 6.0 6.1 Janson, Horst Woldemar; Janson, Anthony F. (1 July 2003). History of art: the Western tradition (6th Revised ed.). Prentice-Hall. p. 74. ISBN 978-0-13-182895-7.
  7. Collon 2003, 13.
  8. quoted in Collon 2007b
  9. Curtis 1996
  10. cf. Davis 1936; Collon 2005
  11. 11.0 11.1 Collon 2007b.
  12. Van Buren 1936.
  13. Collon 2005, 20.
  14. Porada 1980.
  15. quoted in Collon 2007b.
  16. Thompson 2004.
  17. George Modelski, quoted in Thompson 2004.
  18. Collon 2005, 22.
  19. Frankfort 1937; Jacobsen 1987.
  20. 20.0 20.1 20.2 20.3 20.4 Jacobsen 1987.
  21. Spycket 1968, 11; Ornan 2005, 60 ff.
  22. Kaelin 2006.
  23. Ornan 2005, 8 ff.
  24. Collon 2007.
  25. වැන් බියුරන් (1936) නිදසුන් තුනක් දක්වයි‍. බැරලට් (1952) අමතර නිරූපණයන් සයක් ඉදිරිපත් කරයි. කොලන් (2005) විසින් මෙම ආරේ තවත් එක් ඵලකයක් ඉදිරිපත් කරයි.
  26. cf. Ornan 2005, Fig. 1–220.
  27. 27.0 27.1 Black 1992.
  28. Collon 2007, 80.
  29. Barrelet 1952.
  30. Patai 1990, 221.
  31. Gilgamesh, Plate VII, col. IV
  32. Kraeling 1937.
  33. Gilgameš, Enkidu and the nether world, lines 44-46
  34. Gadd 1933.
  35. Judit M. Blair De-demonising the Old Testament; an investigation of Azazel, Lilith, Deber, Qeteb and Reshef in the Hebrew Bible 2009
  36. Isaiah 34:14[permanent dead link]
  37. Lowell K. Handy article Lilith Anchor Bible Dictionary
  38. Bible Review Vol 17 Biblical Archaeology Society - 2001 "LILITH? In the 1930s, scholars identified the voluptuous woman on this terracotta plaque (called the Burney Relief) as the Babylonian demoness Lilith. Today, the figure is generally identified as the goddess of love and war "
  39. Ornan 2005, 61 f.
  40. Jacobsen 1987, (original at "Inana's descent to the nether world")
  41. "Queen of the night relief". The British Museum. සම්ප්‍රවේශය 2009-05-07.
  42. Porada 1980, 260.
  43. Von der Osten-Sacken 2002.
  44. Opitz 1936.
  45. "(AO 6501) Déesse nue ailée figurant probablement la grande déesse Ishtar". Musée du Louvre (French බසින්). සම්ප්‍රවේශය 2009-05-07.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  46. Albenda, Pauline (Apr–Jun 2005). "The "Queen of the Night" Plaque: A Revisit". Journal of the American Oriental Society. American Oriental Society. 125 (2): 171–190.
  47. "British Museum collection database"

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Albenda, Pauline (2005). "The "Queen of the Night" Plaque: A Revisit". Journal of the American Oriental Society. American Oriental Society. 125 (2): 171–190. ISSN 0003-0279. JSTOR 20064325.
  • Barrelet, Marie-Thérèse (1952). "A Propos d'une Plaquette Trouvée a Mari". Syria: Revue d'Art Oriental et d'Archéologie (French බසින්). Paris: Librairie Orientaliste Paul Greuthner. XXIX: 285–293. doi:10.3406/syria.1952.4791.{{cite journal}}: CS1 maint: unrecognized language (link)
  • Black, Jeremy; Green, Anthony (1992). Gods, Demons and Symbols of Ancient Mesopotamia, an Illustrated Dictionary. (illustrations by Tessa Rickards). Austin: University of Texas Press. ISBN 0-292-70794-0.
  • "British Museum collection database" Queen of the Night/Burney Relief website page, accessed Feb 7, 2016
  • Collon, Dominique (2005). The Queen of the Night. British Museum Objects in Focus. London: British Museum Press. ISBN 978-0-7141-5043-7.
  • Collon, Dominique (2007). "Iconographic Evidence for some Mesopotamian Cult Statues". In Groneberg, Brigitte; Spieckermann, Hermann (eds.). Die Welt der Götterbilder. Beihefte zur Zeitschrift für die Alttestamentliche Wissenschaft. Vol. 376. Berlin: Walter de Gruyter. pp. 57–84. ISBN 978-3-11-019463-0.
  • Collon, Dominique (2007b). "The Queen Under Attack – A rejoinder" (PDF). Iraq. London: British School of Archaeology in Iraq. 69: 43–51. {{cite journal}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  • Curtis, J.E.; Collon, D (1996). "Ladies of Easy Virtue". In H. Gasche; Barthel Hrouda (eds.). Collectanea Orientalia: Histoire, Arts de l'Espace, et Industrie de la Terre. Civilisations du Proche-Orient: Series 1 - Archéologie et Environment. Vol. CDPOAE 3. Recherches et Publications. pp. 89–95. ISBN 2-940032-09-2.
  • Davis, Frank (13 June 1936). "A puzzling "Venus" of 2000 B.C.: a fine Sumerian relief in London". The Illustrated London News. 1936 (5069): 1047.
  • Frankfort, Henri (1937). "The Burney Relief". Archiv für Orientforschung. 12: 128–135.
  • Gadd, C. J. (1933). "Epic of Gilgamesh, Tablet XII". Revue d'Assyriologie et d'Archéologie Orientale. XXX: 127–143.
  • Jacobsen, Thorkild (1987). "Pictures and pictorial language (the Burney Relief)". In Mindlin, M.; Geller, M.J.; Wansbrough, J.E. (eds.). Figurative Language in the Ancient Near East. London: School of Oriental and African Studies, University of London. pp. 1–11. ISBN 0-7286-0141-9.
  • Kaelin, Oskar (2006). "Modell Ägypten" Adoption von Innovationen im Mesopotamien des 3. Jahrtausends v. Chr. Orbis Biblicus et Orientalis, Series Archaeologica (German බසින්). Vol. 26. Fribourg: Academic Press Fribourg. ISBN 978-3-7278-1552-2.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  • Kraeling, Emil G. (1937). "A Unique Babylonian Relief". Bulletin of the American Schools of Oriental Research. 67: 16–18. doi:10.2307/3218905.
  • McCown, Donald E.; Haines, Richard C.; Hansen, Donald P. (1978). Nippur I, Temple of Enlil, Scribal Quarter, and Soundings. Oriental Institute Publications. Vol. LXXXVII. Oriental Institute of the University of Chicago. pp. pl. 142:8, 142:10. ISBN 978-0-226-55688-8.
  • Opitz, Dieter (1936). "Die vogelfüssige Göttin auf den Löwen". Archiv für Orientforschung (German බසින්). 11: 350–353.{{cite journal}}: CS1 maint: unrecognized language (link)
  • Ornan, Tallay (2005). The Triumph of the Symbol: Pictorial Representation of Deities in Mesopotamia and the Biblical Image Ban. Orbis Biblicus et Orientalis. Vol. 213. Fribourg: Academic Press Fribourg. ISBN 3-7278-1519-1.
  • Patai, Raphael (1990). The Hebrew Goddess (3d ed.). Detroit: Wayne State University Press. ISBN 0-8143-2271-9.
  • Porada, Edith (1980). "The Iconography of Death in Mesopotamia in the early Second Millennium B.C.". In Alster, Bernd (ed.). Death in Mesopotamia, Papers read at the XXVIe Rencontre assyriologique internationale. Mesopotamia, Copenhagen Studis in Assyriology. Vol. 8. Copenhagen: Akademisk Forlag. pp. 259–270. ISBN 87-500-1946-5.
  • Spycket, Agnès (1968). Les Statues de Culte Dans les Textes Mesopotamiens des Origines A La Ire Dynastie de Babylon. Cahiers de la Revue Biblique (French බසින්). Vol. 9. Paris: J. Gabalda.{{cite book}}: CS1 maint: unrecognized language (link)
  • Thompson, William R. (2004). "Complexity, Diminishing Marginal Returns and Serial Mesopotamian Fragmentation" (PDF). Journal of World Systems Research. 28 (3): 613–652. doi:10.1007/s00268-004-7605-z. ISSN 1076-156X. PMID 15517490. 19 February 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 May 2009.
  • Van Buren, Elizabeth Douglas (1936). "A further note on the terra-cotta relief". Archiv für Orientforschung. 11: 354–357.
  • Von der Osten-Sacken, Elisabeth (2002). "Zur Göttin auf dem Burneyrelief". In Parpola, Simo; Whiting, Robert. M. (eds.). Sex and Gender in the Ancient Near East. Proceedings of the XLVIIe Rencontre Assyriologique Internationale, Helsinki (German බසින්). Vol. 2. Helsinki: The Neo-Assyrian Text Corpus Project. pp. 479–487. ISBN 951-45-9054-6.{{cite book}}: CS1 maint: unrecognized language (link)

බාහිර සබැඳි[සංස්කරණය]

මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති වස්තුවක් පිළිබඳ වේ. වස්තුවේ යොමු අංකය Loan 1238 / Registration:2003,0718.1.
"https://si.wikipedia.org/w/index.php?title=බර්නී_උන්නතය&oldid=592665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි