උප්පලවණ්ණා රහත් තෙරණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මෝ තොමෝ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නම් නුවර කුලගෙයක ඉපිද මහජනයා සමඟ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් බණ අසන කල්හී උන්වහන්සේ එක්තරා භික්ෂුණියක සෘද්ධිමත් භික්ෂුණීන් අතරෙහි අග්‍රස්ථානය තබනු දැක සත්දවසක් මහ දන් දී ‘මම ද බුදු කෙනෙකුන්ගේ ශාසනයෙහි එකී අග්‍රස්ථානය ලබන්නෙමි’ යි ප්‍රාර්ථනා කළාය.

අනතුරුවද බොහෝ පින්කොට දෙව්ලොව ඉපිද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස් නුවර කිකී නම් කාසි රජුගේ ගෙදර සමණගුත්තා නමින් උපත ලබා විසි දහසක් අවුරුදු බඹසර වැස බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය සඳහා පිරිවෙනක් කරවූවාය. ඇගේ අනිත් සොහොයුරියෝ සය දෙනෙක් වූහ.

ඔවුහු නම් සමණි, භික්ඛුනී, භික්ඛුනී දාසිකා, ධම්මා, සුධම්මා හා සංඝදාසිකා යන මොවුහුය. පසු කාලයකදී උත්පලවණ්ණා නම් වූයේ සමණගුත්තා ය. අනිත් සොහොයුරියෝ ඛේමා, පටාචාර, කුණ්ඩලා, කිසාගෝතමි, ධම්මදින්නා හා විශාඛා වූහ. පසුකලෙක ඕ තොමෝ නැවතත් මිනිස් ලොව එක්තරා දුගී පවුලක උපත ලැබුවාය.

දිනක් ඈ කුඹුරට යද්දි අතරමග විලක උදෑසනම පිපුණු පියුමක් දැක ඒ විලට බැස මල හා නෙළුම් පත්‍රයක් ද කඩාගෙන අවුත් පැලෙහි තබාගෙන විලඳ පාත්‍රයක් පුරා එකතු කරමින් සිටින විට ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සමාපත්තියට සමවැදී එයින් නැගිට පිඬුසිඟා වඩනා පසේබුදු කෙනකු දැක එම විලඳ සියල්ල උන්වහන්සේගේ පාත්‍රයට පූජාකොට පියුමෙන් පාත්‍රය වසා පිළිගැන්වූහ.

පසේ බුදුරජාණන් විලඳ පාත්‍රය රැගෙන මද දුරක් වැඩි කල්හි ඇයට මෙබඳු සිතක් ඇතිවිය. “පැවිද්දන්ට මල්වලින් වැඩක් නැත. මම ඒ මල ආපසු ගෙන පලඳීමි” මෙසේ සිතා ඕ තොමෝ පසේ බුදුන්ගේ පාත්‍රය වසා තිබුණු පියුම ආපසු රැගෙන නැවතත් එය පාත්‍රය වසා ගැනීමට සුදුසු වෙයි සිතා ආපසු පසේ බුදුන්ගේ පාත්‍රය මතම පියුම තබා වැඳ තමා අතින් සිදුවූ වරදට සමාවන මෙන් අයැද සිටියාය.

අනතුරුව මෙසේද ප්‍රාර්ථනා කළාය. “මේ විලඳ ප්‍රමාණයට එනම් විලඳ ඇට පන්සියය ගණනටම මට පුතුන් ලැබේවා. පියුම පිදීමේ පිනෙන් උපන් උපන් ආත්මයෙහි පියවරක් පියවරක් පාසා පියුම් පිපේවා” පසේ බුදුවරු ඇය බලා සිටියදීම අහසට නැඟී ගන්ධමාදන පර්වතයට ගොස් එකී පියුම නන්දමූලක ගුහාවෙහි දොරකඩ පාපිස්නක් කොට තැබූහ.

සමණගුත්තාවෝ ඒ පිනින් දෙව්ලොව උපන්හ. ඇය පය තබන තබන තැන මහා පියුමක් පහළ වෙයි. ඕ තොමෝ දෙව්ලොවින් චුතව පර්වතය පාමුල එක්තරා පියුම් විලක පියුම් ගැබක උපන්නාය. එම විල සමීපයෙහි එක්තරා තාපසයෙක් වාසය කරයි.

දිනක් හෙතෙම මුහුණ සේදීම පිණිස විලට ගොස් ඈත මෑත බලන්නේ වෙනත් පියුම් ගැබකට වඩා විශාල වූ එකී පියුම් ගැබ දැක “මේ පියුම් ගැබ වෙනත් පියුම්වලට වඩා විශාලය. මෙය නො පිපීම තිබෙයි. කිසියම් විශේෂයෙක් මෙහි ඇතැ’යි සිතා දියට බැස එම පියුම කඩා ගැනීමත් සමඟ නෙළුම පිපිණ.

තාපස තෙම එම පියුම තුළ සිටි කුමාරිකාවද දැක “තමාගේම දුවකය” යන ස්නේහය උපදවා කුමාරිකාවත් රැගෙනම මල රැගෙන විත් ඇඳ මත තැබීය. ඇයගේ පිනෙන් තාපසයාගේ මාපට ඇඟිල්ලෙන් කිරි එරිණ. ඕ තොමෝ ඒ කිරි බීමෙන් වැඩී පය බිම තබන්නට තරම් වැඩුණාහ. එයින් පසු තබන පියවරක් පාසා පියුම් පිපිණ. ඇගේ රන්වන් වූ ශරීරය කුංකුම මෙන් සුවඳවත් වූවාය.

ඈ තම පියා පලවැල සඳහා ගිය කල්හි ආරාමයෙහි හුදකලාව වසයි. දිනක් එක්තරා වැද්දෙක් ආරාමය තුළ තනිවම ඉන්නා කුමාරිකාව දැක ඇය මනුෂ්‍ය දුවක් බව දැන ඒ බව බරණැස් රජුට දැන්වීය. රජතෙම ඒ පුවත ඇසූ මොහොතෙහිම ඇය ගැන පිළිබඳ සිත් ඇත්තේ වැද්දා සමඟ තාපසයා සිටි වනයෙහි ආරාමයට ගොස් තාපසයා වැඳ සුවදුක් කථා පවත්වා එකත්පස්ව හුන්නේය.

අනතුරුව රජතුමා තවුස් පිරිකර තාපසයාට පිළිගන්වා “ස්වාමිනි, මෙහි වාසය කිරීමෙන් කවර ඵලයකද? මා සමඟ ගමට යාමට එනු මැනවැ”යි ඇයදීය. “ඔබතුමා යනු මැනව. මම මෙහිම නවතිමි” යි තාපසයා කී කල්හී “ස්වාමීනි, ඔබ සමීපයෙහි කුමාරිකාවක් වාසය කරන බව ඇසීමි. එය වනාහී පැවිද්දන්ට නුසුදුසුය. ඇය මට පාවා දුන මැනවි.

මම ඇය අගමෙහෙසි තනතුරෙහි තබා ආරක්ෂා කෙරෙමි”යි කීය. තාපස තෙමේ රජුගේ වචනය අසා “දුව පදුමවතී” යනුවෙන් ඇය ඇමතීය. ඈ එක වචනයෙන්ම එහි පැමිණ තාපසයාට වැන්දාය. “දුව, ඔබ දැන් යෞවන වයසෙහි සිටින කුමාරිකාවකි. එම නිසා මේ බරණැස් රජු සමඟ යන්නැ”යි හෙතෙම කීය. ඕ තොමෝ “මැනවැ”යි පියාණන් වැඳ අඬමින් සිටියාය. ඒ මොහොතෙහිම රජතුමා ඇයව කහවුණු රැසක් මත්තෙහි තබා අභිෂේක කළේය.

පදුමවතී බිසව මාළිගයට පැමිණිදා පටන් රජතුමා වෙනස් ස්ත්‍රියකගේ මුහුණ දෙස හෝ නො බලා පදුමවතීය සමඟම විශ්වාසවන්තව වසයි. මෙයින් අතිශයින් නො සතුටට පත් අනිකුත් අන්තඞපුර ස්ත්‍රීහූ රජතුමා සමඟ රහසින් මෙසේ කීවාහූය. “මහරජ, මෑ වනාහි කතක් නම් නොවෙයි. පියුම් ගැබක උපන් වෙනත් ස්ත්‍රියක් ගැන ඔබ වහන්සේ මීට කලින් අසා ඇත්ද? මෝ තොමෝ ඒකාන්තයෙන් යක්ෂණියකි. වහාම පිටත්කොට හැරිය මැනව“ අන්තඞපුර ස්ත්‍රීන්ගේ මේ කථාව ඇසූ රජතුමා නිශ්ශබ්ද විය. වෛර බැඳගත් ස්ත්‍රීහුද “පසුව අවස්ථාවක් ලැබුණු විට කළ යුතු දෙය කරමු” යයි කථිකා කර ගත්හ.

මේ අතර රජුගේ පසල් දනව්වක කැරැල්ලක් හට ගෙන එය සංසිඳවීම පිණිස රජතුමා සේනාව සමඟ පිටත්විය. ගර්භණීව සිටි පදුමාවතී බිසව හුදකලාව වාසය කරන කල්හී අන්තඞපුර ස්ත්‍රීහූ “දැන් මැයගෙන් පළිගැනීමට සුදුසු කාලයයි” සිතා ඊට නිසි උපායක් සිතනුයේ ලීයකින් ළදරු රුවක් තනා එය වින්නඹු ගැහැනියට දී “රජබිසව වැදූ කල්හී දරුවා අපට දී මේ ලී කැබැල්ල ලෙයින් තෙමා ඇයට දෙව“යි අණ කළහ.

පදුමවතී බිසව නියමිත දිනයෙහි මහාපදුම කුමාරයන් ඇතුළු පන්සියයක් කුමාරවරු වැදූහ. අල්ලස් ගත් වින්නඹු ගැහැනිය වැදූ දරුවන් පන්සියය අන්තඞපුර ස්ත්‍රීන්ට දී ලී කැබැල්ල ලෙයින් තෙමා පද්මාවතී බිසව අතට දී “මෑණියෙනි, මේ තොප වැදූ දරුවාය”යි ලීකඩ ඇගේ ළඟ තැබීය. අන්තඞපුර බිසෝවරු තම තමන් ලැබූ දරුවන් රන් කරඬුවල බහා ගඟෙහි පාකොට යැවූහ.

සක්දෙව් රජුගේ ආනුභාවයෙන් එකී කරඬුවල “මේ දරුවෝ බරණැස් රජුට දාව උපන් කුමාරවරු වෙති” යනුවෙන් රජුට පමණක් බලාගත හැකි පරිදි අකුරු කොටා තිබිණ. පසල් දනව්ව ජයගෙන ආපසු පැමිණි රජතුමා පදුමාවතී බිසව ළඟට ගොස් ඇයට උපන්නේ දුවක ද නැතහොත් පුතකු දැ යි ඇසූ විට බිසව මුවින් නො බැණ කරබා ගත්තා ය.

සෙසු බිසෝවරු එකල්හි දර කොටස රජුට පෙන්වා “බිසව වැදුවේ මෙයය”යි කියා “ඔබගේ අලුත උපන් පුතු වඩාගෙන සුරතල් කළ මැනවැ”යි සිනාමුසු බස් දෙඩූහ. ඒ බස් අසා රජ තෙමේ අතිශයින් ශෝකයට පත්විය. එවිට අන්තඞපුර බිසෝවරු “ස්වාමීනි, අපි කලින්ද කීවෙමු. මෑ වනාහී යකින්නකි.

වහාම රජගෙයින් පිටමන් කළ මැනැවැ”යි පැවසුහ. රජතුමා කිසිවක් කරකියා ගත නො හැකිව පදුමවතී බිසව රජගෙයින් පිටමන් කළේය. පසේ බුදුන්ට පිදූ මල නැවත ආපසු ගැනීමේ අකුසලය නිසා බිසවගේ සියලු යස ඉසුරු පිරිහිණ. ශරීර වර්ණයද අතුරුදහන් විය.

ඕ තොමෝ අසරණව හුදකලාව මඟට බැස එක්තරා වයස්ගත ස්ත්‍රියකගේ අනුකම්පාව ලැබ ඇගේ ගෙයි නතර වූවාය.

රජතුමා යුද්ධයෙන් ජයගෙන, තම අනිකුත් බිසෝවරු සමඟ දිය කෙළියට ගොස් නහා අවසන් කොට සිටි කල්හි අන්තඞපුර ස්ත්‍රීන් විසින් දියෙහි දමන ලද කරඬු පන්සියය මස් කරන්නන්ගේ දැලට අසුව ඒවා රැගෙන ආ කෙවුලෝ රජුට දුන්හ. රජතුමා “මේ කුමක්දැ”යි ඔවුන්ගෙන් ඇසූ කළ ඔවුහු “නොදනිමි” යි කීහ.

එකල්හි රජ්ජුරුවෝ මුල්ම කරඬුව විවෘත කොට එහි තුළ හුන් මහාපදුම කුමාරයා දැක එහි ලියා තිබුණු අකුරුද කියවා ක්‍රමයෙන් අනික් කරඬුද විවෘත කොට බැලූහ. එහි හුන් අනික් රජකුමාරවරු සාරසිය අනූ නව දෙනා ද දැක පන්සියයක් රාජකුමාරවරු මහ පෙළහරින් රජගෙට වැඩම වූහ. “මා අනුන්ගේ බස් අසා මාගේ අග මෙහෙසුන් පදුමාවතී බිසව පිටමන් කරන ලද්දේය.

වහා ඇය සිටින තැනකින් කැඳවාගෙන එව“යි රජතුමා රාජ පුරුෂයන්ට අණ කෙළේය. මෙහෙසිය සිටින තැනක් දන්නා කෙනෙක් ඇත්නම් මේ මසු දහස ගනීවා”යි නියමකොට බෙර ලැවූහ. එකල්හි පදුමාවතී බිසව නැවතී සිටි වීථියට මඟුල් ඇතු ගිය කල්හී ඈ තම යෙහෙළි මැහැල්ලට කථා කොට “අම්ම, මසු දහස ගනුවය”යි කීවාය.

එකල්හි මැහැල්ල මසු දහස ගෙන තමන් ගෙයි ඉන්නා පදුමාවතී බිසව දැක්වූවාය. රාජ පුරුෂයෝ බිසව හැඳින මහත් වූ පෙළහරින් යුතුව රජ ගෙදරට කැඳවාගෙන ගියාහූය. පන්සියයක් රාජකුමාරවරු තම මව් බිසව පිරිවරා ගත්හ. එකල්හි රජතුමා “මාගේ අග මෙහෙසිය සමඟ පන්සියයක් පුත්‍රයන් මගෙන් වෙන් කළ මේ දුෂ්ට ස්ත්‍රීන් සියල්ල අග මෙහෙසියගේ දාසියන් බවට පත් කරමි”යි ඔවුන් සියලු දෙනාම දාසියන් කළේය. පදුමවතී බිසව ඔවුන්ට සමාව දී දාසි භාවයෙන් මුදවා කුමාරවරුන්ගේ කිරිමව් තනතුරු දී තමන් මහා පදුම කුමාරයන් වැඩූහ.

පන්සියයක් රාජ කුමාරවරු සත්හැවිරිදි කල්හි දිනක් පිය රජු සමඟ උයන් කෙළියට ගොස් එහි පස්පියුම් පිපී ගිය විලක ක්‍රීඩා කරමින් හුන්හ. එසේ ක්‍රීඩාකරන කල්හි අලුත් පියුම් පිපෙන සැටිත් පරණ පියුම් වෙලී දිරා යන සැටිත් දුටු රජකුමරුවෝ ඒ ගැන සිත යොමු කොට සියල්ල අනිත්‍යයය, වෙනස්වන සුළු යයි විදර්ශනා වඩමින්ම පසේ බුදුබව ලැබූහ. පන්සියයක් පසේ බුදුවරු පියුම් පන්සියයක කෙම්පිට වැඩ සිටි කල්හී උන්වහන්සේලා පසේ බුදුබව ලැබූ බව නො දත් රාජ පුරුෂයෝ සවස් වේලෙහි “ස්වාමීනි, ආපසු රජ ගෙදරට වැඩිය මැනවැ”යි දැන්වූහ.

උන්වහන්සේලා මුවෙන් නො බැණ වැඩ හුන්හ. එදා රාත්‍රීයෙහි උන්වහන්සේලා එහිම වැඩහුන් සේක. පසු දින රාජපුරුෂයන් කලින්දා මෙන් “දේවයන් වහන්ස, මාළිගාවට වඩිනු මැනවැ”යි කී කල්හි උන්වහන්සේලා පිළිතුරු දෙමින් “අපි රාජ කුමාරවරු නොවෙමු. පසේ බුදුවරු වෙමු”යි පවසා ගිහි ස්වභාවය හැර පැවිදි වෙස්ගෙන අහසින් ගොස් ගන්ධමාදන පර්වතයටම ගියාහූය.

පදුමවතී බිසව එපවත් අසා “මම බොහෝ පුතුන් ඇත්තියක් වීමි. දැන් එකම පුතෙකුත් මට නැත්තේ” යයි බොහෝ ශෝකයට පැමිණ එම ශෝකයෙන්ම මිය පරලොව ගොස් රජගහනුවර හස්ත කර්මාන්ත කොට ජීවත්වන කුලගෙයක උපන්නාය. වැඩිවිය පත් කල්හී එක්තරා කුලගෙයකට පාවා දෙනු ලැබූ ඇය දිනක් තමන්ගේම ගිය ජාතියෙහි පුත්‍රයන් වූ පන්සියයක් පසේ බුදුන්ට මහදන් දී අවසානයේදී නිලුපුල් මල් පුදා මේ පින්කමෙහි අනුසසින් මතු උපනූපන් ජාති මාගේ ශරීර වර්ණය නිලුපුල් පැහැය වේවා”යි ප්‍රාර්ථනා කළාය.

පසේ බුදුවරු ඇයට අනුමෝදනා ගාථා පවසා ගන්ධමාන පර්වතයටම වැඩියාහුය. ඕ තොමෝ පසු කාලයේදී අපමණ පින් රැස්කොට දෙව්ලොව ඉපිද අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි සැවත්නුවර සිටු කුලයක උපන්නාය. ඇගේ ශරීරය නිල් උපුල් මල්වල වර්ණයෙන් බැබළෙයි. ශරීරයෙන් නිල් උපුල් මල් සුවඳ විහිදෙයි. මේ නිසා ඇයට උප්පලවණ්ණා යයි නම් තැබිණ. ඇගේ රූප සම්පත්තිය ගැන ඇසූ සියලු දඹදිව රජවරු ඇය පාවා ගැනීමට කැමැත්තෙන් පියා වෙත පණිවිඩ එවූහ.

එක් අයකුට ඇයව විවාහ කරදීමෙන් බොහෝ දෙනකු තමා සමඟ විරුද්ධ වන බව සැලකූ හෙතෙම තම උපුල්වන් කුමරියගෙන් “පැවිදිවීමට කැමතිදැ”යි අසා ඇගේ බලවත් කැමැත්තට අනුව පැවිදි කරවීය. උත්පලවණ්ණා භික්ෂුණිය පැවිදිව නොබෝ කලකින් දැල්වෙන පහනක පහන් සිළුවක් නිමිති වශයෙන් ගෙන තේජෝ කසිණය අරමුණු කොට ධ්‍යාන වඩා එයම පාදක කොට රහත් වූවාය. සෘද්ධිමත් භාවයටද පත්වූවාය.

උත්පලවණ්ණා තෙරණිය වනාහී බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර යමක මහා ප්‍රාතිහාර්ය පෑමට සූදානම්ව සිටි අවස්ථාවෙහි එතැනට පැමිණ “ස්වාමීනි, ඔබ වහන්සේ අවසර දෙන්නේ නම් මම ප්‍රාතිහාර්ය පාන්නෙමි”යි කීවාය. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය අරමුණු කොට ගෙන භික්ෂුණීන්ට අග්‍රස්ථාන දෙන අවස්ථාවක මෙම උප්පලවණ්ණා භික්ෂුණියට ඍද්ධිමත් භික්ෂුණීන් අතර අග්‍රස්ථානය දුන් සේක.