රොසෙටා පාෂාණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රොසෙටා පාෂාණය
Rosetta Stone.JPG
රොසෙටා පාෂාණය
මාධ්‍යය ග්‍රැනෝඩයෝරයිට්
ප්‍රමාණය 114.4 cm × 72.3 cm × 27.93 cm
(45 in × 28.5 in × 11 in)
ලේඛනය පුරාතන ඊජිප්තු රූපාක්ෂර, පොදු ජන වහර, සහ ග්‍රීක අක්ෂර
නිර්මාණය වූයේ ක්‍රි.පූ. 196
සොයාගනු ලැබූයේ 1799
වර්තමාන පිහිටුම බ්‍රිතාන්‍ය කෞතුකාගාරය

රොසෙටා පාෂාණය යනුවෙන් හඳුන්වන‍්නේ 1799දී සොයාගනු ලැබූ පාෂාණමය ශිලා ස්තම්භයකි. මෙහි ක්‍රි.පූ. 196දී ඊජිප්තුවේ මෙම්ෆිස් නුවර සිට Vවන ටොලමි රජු විසින් නිකුත් කළ නියෝගයක් අන්තර්ගත වේ. මෙම නියෝගය අක්ෂර වර්ග තුනකින් ප්‍රකාශයට පත්කොට තිබේ: එහි ඉහළ පාඨය පුරාතන ඊජිප්තු රූපාක්ෂරවලින් ද, මධ්‍ය පෙදෙස පොදු ජන වහරින් ද, සහ පහළම පාඨයන් පුරාතන ග්‍රීක බසින් ද ලියා තිබේ. මූලිකවම මෙම පාෂාණය මගින් එකම පාඨය ඉහත අක්ෂර මාලා තුනෙන්ම ලියා ඇති බැවින් (ඒවා අතර සුළු වෙනස්කම් ඇත) මෙය ඊජිප්තු රූපාක්ෂර වටහා ගැනීමට යතුර වශයෙන් නූතනයේ භාවිත වූයේ යැයි සැලකේ.

මෙම පාෂාණය කළු ග්‍රැනෝඩයෝරයිට් පාෂාණයෙන් නෙළා ඇති අතර, මුලින් මෙය දේවස්ථානයක් ඇතුළත ප්‍රදර්ශනය කෙරෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. බොහෝවිට මෙම දේවස්ථානය සායිස් අසල පිහිටා තිබෙන්නට ඇත. මුල්කාලීන ක්‍රිස්තියානි හෝ මධ්‍යකාලීන යුගයේ එය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව පෙනේ. පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ රෂිඩ් (රොසෙටා) නගරය අසල ජුලියන් බලකොටුව ඉදිකිරීමේ දී එය ගොඩනැගිලි අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කර ඇත. මෙය නැවත සොයාගන්නා ලද්දේ 1799 ජූලි මස නැපෝලියනික ඊජිප්තු ආක්‍රමණයේ දී පියරේ-ෆ්‍රංෂුවා බෝචාර්ඩ් නැමැති සෙබලකු විසිනි. මෙය නූතන කාලයේ දී සොයාගත් පළමු පුරාතන ඊජිප්තු ද්වීභාෂා ලේඛනය ලෙස සැලකේ. මින් පෙර පරිවර්තනය කළ නොහැකිව තිබූ රූපාක්ෂර භාෂාව පරිවර්තනයට මෙය දායක කරගත හැකි වීම හේතුවෙන්, රොසෙටා පාෂාණය පුළුල් ජනතා ආකර්ෂණයට ලක් විය. මෙහි ශිලාරේඛන පිටපත් සහ බදාම වාත්තු යුරෝපීය විශ්වවිද්‍යාල සහ විද්වතුන් අතර සංසරණය විය. මේ අතර, 1801දී බ්‍රිතාන්‍ය හමුදා විසින් ඊජිප්තුවේ දී ප්‍රංශවරුන්ව පරාජය කිරීමත් සමග, ඇලෙක්සැන්ඩ්‍රියාව යටත් වීමෙන් පසු මෙහි නියම පාෂාණය බ්‍රිතාන්‍යයක් යටතට පත් විය. අනතුරුව එය ලන්ඩන් වෙත රැගෙන යන ලදී. 1802 සිට අඛණ්ඩව මෙය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වඩාත්ම නැරඹූ කෞතුක වස්තුව ලෙස ද රොසෙටා පාෂාණය සැලකෙයි.

1803දී ග්‍රීක පෙළෙහි පළමු සම්පූර්ණ පරිවර්තනය නිකුත් වීමත් සමග රාජ ආඥාව පිළිබඳ හැදෑරීම් ඇරඹිණි. කෙසේනමුත් තවත් වසර 20කට පසු 1822දී ජීන්-ෆ්‍රංෂුවා චැම්පොලියන් විසින් පැරීසියේ දී ඊජිප්තු පාඨයේ අක්ෂර පරිවර්තනය ප්‍රකාශයට පත්කරන ලදී. නමුත් විද්වතුන් හට පුරාතන ඊජිප්තු ශිලා ලේඛන සහ සාහිත්‍ය ග්‍රන්ථ කියවීමට හැකියාව ලබාගන්නට තවත් වසර ගණනාවක් ගත විය. මෙහි අර්ථ නිරූපණයේ ලත් ප්‍රගමනයන් නම් එකම පාඨය ප්‍රභේද ත්‍රිත්වයක්‍ ලෙස දක්වා ඇති බව වටහා ගැනීම (1799); විදේශ නාමයන් උච්චරාණයට පොදු ජන වහරේ දී ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා වී ඇති බව (1802); රූපාක්ෂර ‍පෙළ එහි වූ පොදු ජන වහරට යම් සමානත්වයක් දක්වන බව (තෝමස් යන්ග්, 1814) සහ විදේශ නම්වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන උච්චාරණයට ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව (චැම්පොලියන්, 1822–1824) වටහා ගැනීමයි.

සොයාගත් දින සිටම මෙම පාෂාණය ජාතිකවාදීන්‍ගේ විරෝධතාවන්ට තේමාවක් විය. නැපෝලියනික යුද්ධ සමයේ මෙය ප්‍රංශවරුන්ගෙන් බ්‍රිතාන්‍යයට හිමි වීම සහ යන්ග් හා චැම්පොලියන් විසින් මෙය අර්ථ නිරූපණයට දැක්වූ දායකත්වය පිළිබඳ නොයෙකුත් මතභේද පවතී. 2003 සිට, මෙම පාෂාණය යළි ඊජිප්තුව වෙත ගෙන්වා ගැනීමට ඉල්ලීම් ද සිදු වී ඇත.

පසුකලෙක මෙම ආඥාවේම පිටපත් දෙකක කැබලි සොයාගැනිණි. එසේම මෙවැනි ඊජිප්තු ද්වීභාෂා හෝ ත්‍රීභාෂා අභිලේඛන ගණනාවක් ද හමු විය. මේ අතර ඉහත පාෂාණය අයත් යුගයට පෙර කාලයක ලියැවුණු ටොලමියානු ආඥා ද්විත්වයක් (ක්‍රි.පූ. 238 කැනෝපස් ආඥාව, සහ ක්‍රි.පූ. 218 IVවන ටොලමිගේ මෙම්ෆිස් ආඥාව) ද වේ. මේ නිසා රොසෙටා පාෂාණය තවදුරටත් අනන්‍ය එකක් නොවිණි. නමුත් ‍එය පුරාතන ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ටාචාරය වටහා ගැනීමට යතුර වශයෙන් ක්‍රියාකළේ යැයි සැලකේ. වර්තමානයේ රොසෙටා පාෂාණය යන යෙදුම දැනුමේ නව ක්ෂේත්‍රයක ආරම්භක ඉඟිය වශයෙන් භාවිතා වන වෙනත් පාඨ යෙදුම් සඳහා ද භාවිතා වේ.

විස්තරය[සංස්කරණය]

ප්‍රංශ ආක්‍රමණ සමයේ සොයාගනු ලැබූ පුරාවස්තු පිළිබඳ සමකාලීන නාමාවලියක රොසෙටා පාෂාණය පිළිබඳ විස්තර කර ඇත්තේ "ශිලා‍ලේඛන ත්‍රිත්වයක් දරන කළු ග්‍රැනයිට් පාෂාණයක් ... රොසෙටාවෙන් හමු වූ" ලෙස ය. මෙය පසුකලෙක 1801දී බ්‍රිතාන්‍යයන්ට යටත් විය.[1] එය ලන්ඩන් වෙත රැගෙන විත් මඳ කාලයකට පසුව වඩාත් පැහැදිළි වීම පිණිස පාෂාණයේ වූ ශිලා ලේඛන සුදු රටහුණුවලින් වර්ණ ගන්වන ලදී. ප්‍රේක්ෂකයන්ගේ ස්පර්ශයෙන් රොසෙටා පාෂාණය ආරක්ෂා කර ගැනීමට ඉතිරි පෘෂ්ඨය කාර්නෝබා ඉටි ස්තරයකින් ආවරණය කෙරිණි.[2] මේ හේතුවෙන් පාෂාණයට අඳුරු පැහැයක් ලැබුණු අතර, එනිසා මෙය කළු බැසෝල්ට් පාෂාණයක් යැයි වැරදි වැටහීමක් ඇති විය.[3] 1999දී මෙම පාෂාණය පිරිසිදු කිරීමේ දී මෙම පසුකාලීන අංග ඉවත් කෙරිණි. ඉන් පාෂාණයේ සැබෑ අඳුරු අළු පැහැය නිරාවරණය විය. එහි ස්ඵටිකාකාකර ව්‍යූ‍හයේ දිස්නය සහ ඉහළ වම් කෙළවර හරහා දිවුණු වයිරම් ද පැහැදිළිව දැකගත හැකි විය.[4] ක්ලේම් එකතුවේ වූ ඊජිප්තු පාෂාණ නියැදි සමග සැසඳීමේ දී මෙම පාෂාණය අස්වාන් කලාපයේ එලිෆන්ටයින්හි බටහිර පෙදෙසේ, නයිල් ගංගාවේ බටහිර ඉවුරේ ගෙබෙල් ටිංගර්හි පිහිටි කුඩා ග්‍රැනෝඩයෝරයිට් නිධියකින් හමුවූ පාෂාණ කැබැල්ලකට සමානත්වයක් දැක්වී ය. එම ප්‍රදේශයේ ග්‍රැනෝඩයෝරයිට්වල සුලබව රෝස පැහැ වයිරම් දක්නට ලැබිණි.[5]

රොසෙටා පාෂාණය එහි මුදුනේම ස්ථානය දක්වා 112.3 cm (අඩි 3 අඟල් 8) උසකින් යුක්ත ය. එහි පළල 75.7 cm (අඩි 2 අඟල් 5.8) සහ ඝනකම 28.4 cm (අඟල් 11) ක් වේ. එහි ස්කන්ධය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 760කි. [6] එහි ශිලා ලේඛන තුනක් අන්තර්ගත ය: ඉහළින්ම පිහිටි පෙළ පුරාතන ඊජිප්තු රූපාක්ෂරවලින් ලියා ඇත. මැද පෙළ ඊජිප්තු ජන වහරින් ද, අවසන් පෙළ පුරාතන ග්‍රීක බසින් ද ලියා තිබේ.[7] ඉදිරි පෘෂ්ඨය ඔප දමා ඇති අතර, එහි අක්ෂර ලිහිල්ව කැටයම් කොට තිබේ. පාෂාණයේ පැති සුමට ය. නමුත් එහි පසුපස පෙදෙස රළු අයුරින් නිමවා තිබේ. සිටුවූ විට එම පෙදෙස නොපෙනීම එයට හේතු වන්නට ඇත.[5][8]

මුල් ශිලා ස්තම්භය[සංස්කරණය]

"රොසෙටා පාෂා‍ණයේ රුව එහි ප්‍රතිනිර්මාණිත මුල් ශිලා ස්තම්භයේ රුවකට එදිරිව පිහිටුවා ඇති අයුරු; මෙහි රූපාක්ෂර පාඨයේ පේළි 14ක් සහ මුදුනේ වූ ඊජිප්තු දේව රූප සහ සංකේත දක්නට නොමැත."
මුල් ශිලා ස්තම්භයේ භව්‍ය ප්‍රතිනිර්මාණයක්

රොසෙටා පාෂාණය විශාල ශිලා ස්තම්භයක කොටසකි. රොසෙටා භූමියේ සිදුකළ පසුකාලීන ගවේෂණවලින් එහි ඉතිරි කිසිදු කොටසක් හමුවූයේ නැත.[9] මෙහි හානි වූ ස්වභාවය හේතුවෙන් ශිලා ලේඛන තුනෙන් එකක්වත් සම්පූර්ණයෙන් දක්නට නොලැබේ. ඉහළම පෙදෙසේ ඊජිප්තු රූපාක්ෂර සහිත කොටසට බෙහෙවින් හානි සිදුවී ඇත. එම රූපාක්ෂර පාඨයේ අවසන් පේළි 14 පමණක් දැකගත හැක. ඒ සියල්ලම දකුණු පසින් ද, 12ක් වම් පසින් ද කැඩීගොස් ඇත. එයට පහළින් ඇති ජන ව්‍යවහාරි බසින් ලියැවුණු පෙළ හොඳින්ම සුරැකී ඇත. එහි පේළි 14ක් දක්නට ඇති අතර, ඉන් පළමු 14 දකුණුපසින් යන්තම් හානි වී ඇත. අවසන් ග්‍රීක පාඨය පේළි 54කින් යුක්ත ය. ඉන් 27ක් සම්පූර්ණයෙන් දක්නට ලැබේ. සෙසු පේළි පාෂාණයේ පහළ දකුණු පස කෝණික බිඳීම හේතුවෙන් අසම්පූර්ණ ය.[10]

රොසෙටා පාෂණය අන්තර්ගත වූ මුල් ශිලා ස්තම්භයේ සම්පූර්ණ ප්‍රමාණය සහ ඊජිප්තු රූපාක්ෂර පෙළෙහි සම්පූර්ණ දිග එම ආඥාවේම පිටපත් ලෙස පවතින සෙසු ශිලා ස්තම්භ අනුසාරයෙන් අනුමාන කළ හැක. මීට මඳක් පෙර කාලයකට අයත් ක්‍රි.පූ. 238දී IIIවන ටොලමි රජ සමයේ ඉදිවූ කැනෝපස් ආඥාව සෙන්ටිමීටර 219ක් (අඩි 7.19) උසැති අතර සෙන්ටිමීටර 82ක් (අඟල් 32) පළල ය. එහි රූපාක්ෂර පේළි 36ක් ද, ජන භාෂා ශෛලියේ පේළි 73ක් සහ ග්‍රීක පේළි 74ක් දක්නට ලැබේ. මෙම පාඨ සමාන දිගකින් යුක්ත ය.[11] එවන් සංසන්දනයක් අනුව රොසෙටා පාෂාණයේ ඉහළ පෙදෙසේ තවත් රූපාක්ෂර පේළි 14ක් හෝ 15ක් තිබෙන්නට ඇතැයි සිතිය හැක. ඒ අනුව එහි උස තවත් සෙන්ටිමීටර 30ක් (අඟල් 12) පමණ වැඩිවිය යුතු ය.[12] ඉහත ශිලා ලේඛනවලට අමතරව, කැනෝපස් ශිලා ස්තම්භයේ මෙන් රජු දෙවිවරුන් ඉදිරියේ සිටින මුදුනේ පියාපත් සහිත මඬලක් වැනි දර්ශනයක් තිබෙන්නට ඇත. මෙම ලක්ෂණවලට අමතරව "ශිලා ස්තම්භය" සංකේතවත් කෙරෙන රූපාක්ෂරයක් ගාඩිනර්ගේ සංඥා ලැයිස්තුව) ද තිබෙන්නට ඇත.
O26
‍සංකේතය අනුව මුලින් එහි රවුම් හිසක් පැවති බව පෙනේ.[7][13] මුල් ශිලා ස්තම්භයේ උස සෙන්ටිමීටර 149ක් (අඩි 4 අඟල් 11) පමණ වන්නට ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත.[13]

මෙම්ෆිස් ආඥාව සහ එහි අන්තර්ගතය[සංස්කරණය]

මෙම ශිලා ස්තම්භය පිහිටුවන ලද්දේ Vවන ‍ටොලමි රජුගේ රාජාභිෂේකයෙන් පසුව වන අතර, එහි නව පාලකයාගේ දිව්‍යමය වන්දනාව ස්ථාපිත කරමින් නිකුත් කළ ආඥාවක් අන්තර්ගත ය.[14] මෙම ආඥාව නිකුත් කරන ලද්දේ මෙම්ෆිස් නුවර රැස්වූ පූජක මණ්ඩලයක් විසිනි. මෙහි දිනය මැසිඩෝනියානු දින දසුන අනුව "4 ෂැන්ඩිකස්" ලෙසත්, ඊජිප්තු දින දසුන අනුව "18 මෙෂිර්" ලෙසත් දක්වා ඇත. මෙය ක්‍රි.පූ. 196 මාර්තු 27ට අනුරූප වේ. එනම් Vවන ටොලමිගේ නවවන වර්ෂයට (ක්‍රි.පූ. 197/196 ලෙස) අයත් ය. එම වර්ෂයේ උත්සව කටයුතු මෙහෙයවූ පූජකවරුන් සිව්දෙනාගේ නම් දක්වා තිබීමෙන් ද මේ බව සනාථ වේ. මෙකල මහා ඇලෙක්සැන්ඩර්ගේ සහ Vවන ටොලමි දක්වා ටොලමිවරුන් පස්දෙනාගේ දිව්‍යමය වන්දනාව මෙහෙයවා ඇත්තේ ඒටස්ගේ පුත් ඒටස් නැමැති පූජකයා විසිනි. ශිලා ලේඛනයේ පිළිවෙලින් දක්වා ඇති ඔහුගේ සහායකයන් තිදෙනා විසින් බෙරෙනිස් යුවර්ජිටිස් (IIIවන ටොලමිගේ භාර්යාව), ආර්සිනෝයි ෆිලඩෙල්ෆස් (IIවන ටොලමිගේ භාර්යාව මෙන්ම සොයුරියයි), සහ Vවන ටොලමිගේ මව වූ ආර්සිනෝයි ෆිලොපේටර් රැජිනියන් වන්දනාව මෙහෙයවා තිබේ.[15] කෙසේනමුත්, ග්‍රීක සහ රූපාක්ෂර පාඨයන්හි දෙවන දිනයක් ද ලබා දී ඇති අතර, මෙය ක්‍රි.පූ. 197 නොවැම්බර් 27ට අනුරූප වේ. එදින ටොලමිගේ රාජාභිෂේකයේ නිල සංවත්සරය යෙදී තිබිණි.[16] නමුත් ජන වහරින් ලිඛිත විස්තරයේ තොරතුරු මේ සමග නොගැළපේ. එහි ආඥාව සහ සංවත්සරය සඳහා මාර්තු මස දින පිළිවෙලින් යොදා තිබේ.[16] මෙවන් විසංගතතාවක් පැවතීමට හේතුව නොදනී. නමුත් මෙම ආඥාව ක්‍රි.පූ. 196දී නිකුත් කෙරුණු බව පැහැදිළි ය. එමගින් ටොලමියානු රජවරුන්ගේ පාලනය ඊජිප්තුවේ ස්ථාපිත කරවීම අපේක්ෂා කෙරිණි.[17]

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ ඊජිප්තු ඉතිහාසයේ කලබලකාරී යුගයක ය. ටොලමි IV ෆිලොපේටර්ගේ සහ ආර්සිනෝයි‍ගේ පුත්‍රයා වූ ටොලමි V එපිෆේනස් විසින් ක්‍රි.පූ. 204 සිට 181 දක්වා රාජ්‍ය පාලනය ගෙනයන ලදී. සිය දෙමව්පියන්ගේ හදිසි මරණයෙන් පසු ඔහු සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු පහකි. ඔහුගේ දෙමව්පියන් ඝාතනය කෙරුණේ IVවන ටොලමිගේ භාර්යාවක වූ ඇගතොක්ලියාගේ දායකත්වයෙන් මෙහෙයවුණු කුමන්ත්‍රණයකින් බව පැවසේ. කුමන්ත්‍රණකරුවෝ Vවන ටොලමිගේ ආරක්ෂකයන් ලෙස ක්‍රියාකාරීව ඊජිප්තුවේ පාලනය ගෙනගියහ.[18][19] නමුත් වසර දෙකකට පසු ට්ලිපොලීමස් සෙන්පතියාගේ නායකත්වය යටතේ ඇරඹුණු කැරැල්ලකින් ඇගතොක්ලියා සහ ඇගේ පවුලට ජනතාව විසින් දඬුවම් පමුණුවන ලදී. කි.පූ. 201දී, මෙම්ෆිස් ආඥාව ප්‍රකාශිත සමයේ ප්‍රධාන අමාත්‍යවරයා වූ ඇලයිසියාවේ ඇරිස්ටොමේනස් විසින් ට්ලිපොලීමස්ව රජුගේ ආරක්ෂකයා ලෙස පත්කරන ලදී.[20]

ඊජිප්තුවේ දේශ සීමා සම්බන්ධ දේශපාලන බලපෑම් හේතුවෙන් ටොලමියානු රාජධානියේ අභ්‍යන්තර බල අරගල තීව්‍ර විය. මහා IIIවන ඇන්ටියෝකස් සහ මැසිඩෝනියාවේ Vවන පිලිප් විසින් ඊජිප්තුවේ විදේශ යටත් ප්‍රදේශ බෙදා වෙන්කිරීමට උත්සාහ ගත්හ. පිලිප් විසින් ඇතැම් දූපත් සහ කාරියා සහ ත්‍රේස්හි නගර අල්ලාගත් අතර, පැනියම්හි සටන (ක්‍රි.පූ. 198) හේතුවෙන් ජුදියාව ඇතුළුව සීලේ-සිරියාව ටොලමිවරුන්ගෙන් සෙලියුකිඩ්වරුනට හිමි විය. මේ අතර, ඊජිප්තුවේ දකුණු දිගින් IVවන ටොලමි රජ සමයේ ඇරඹි දිගු කාලීන කැරැල්ලක් ද පැවැතිණි.[16] මෙය මෙහෙයවන ලද්දේ හොර්වෙන්නෙෆර් සහ ඔහුගේ අනුප්‍රාප්තික අන්ඛ්වෙන්නෙෆර් විසිනි.[21] 12 හැවිරිදි Vවන ටොලමි නිල වශයෙන් අභිෂේක වන විට (රාජ්‍ය සමය ඇරඹී වසර හතකට පසු) සහ මෙම්ෆිස් ආඥාව නිකුත් කරන විටත්, යුද්ධ සහ අභ්‍යන්තර බල අරගල දිගටම පැවතිණි.[19]

"පැරණි රාජධානියේ IIවන පෙපි පාරාවෝ සමයට අයත් රූපාක්ෂර ලේඛන සහිත කුඩා, දළ වශයෙන් සමචතුරස්‍රාකාර ලා-අළු පැහැ ශිලාවක්"
"පරිත්‍යාග ශිලා ස්තම්භයක"ට උදාහණයක්; මෙය පැරණි රාජධානියේ පාරාවෝ IIවන පෙපි විසින් මින් දෙවොලේ පූජකවරුන් බදුවලින් නිදහස් කළ අයුරු විස්තර වේ.

මෙම ශිලා ස්තම්භය පරිත්‍යාග ශිලා ස්තම්භයක් සඳහා පසුකාලීන නිදසුනක් ලෙස සැලකිය හැක. මෙමගින් රාජ්‍ය පාලකයා විසින් නේවාසික පූජකවරුන් බදුවලින් නිදහස් කළ අයුරු නිරූපණය වේ.[22] පෙර වසර 2,000 පුරාම පාරාවෝවරුන් විසින් මෙවැනි ශිලා ස්තම්භ පිහිටුවා තිබිණි. ඉන් පැරණිතම උදාහරණ ඊජිප්තු පැරණි රාජධානි සමයයට අයත් වේ. පැරණි යුගවල දී, එවැනි ආඥා සියල්ල නිකුත් කරන ලද්දේ රජු විසින්ම ය. නමුත් මෙම්ෆිස් ආඥාව නිකුත් කර ඇත්තේ පූජකවරුන් විසින් සම්ප්‍රදායික ඊජිප්තු සංස්කෘතිය සුරකින්නන් ලෙස ය.[23] එම ආඥාවේ වාර්තා කරන්නේ Vවන ටොලමි විසින් දේවස්ථානවලට ත්‍යාග ලෙස රිදී සහ ධාන්‍ය ප්‍රදානය කළ බවයි.[24] එසේම එහි රජුගේ අටවන වර්ෂයේ මහා ජලගැල්මක් ඇතිවූ බව සඳහන් වේ. ඔහු විසින් අතිරික්ත ජලය වේලි බැඳ ගොවියන්ට යහපත සැලසූ බව දැක්වේ.[24] මෙයට ප්‍රතිඋපකාරයක් වශයෙන් පූජකයින් රජුගේ උපන් දිනය සහ අභිෂේක සංවත්සර වාර්ෂිකව සැමරිය යුතු බවට පොරොන්දු වූහ.‍ එසේම ඊජිප්තුවේ සියලු පූජකවරුන් සෙසු දෙවිවරුන්ට මෙන් ඔහුට සලකන බවත් එහි දැක්වේ. මෙම ආඥාවේ අවසන් වහයෙන් දැක්වෙන්නේ මෙහි පිටපතක් සෑම දේවස්ථානයකම තැන්පත් කිරීමට උපදෙස් ලැබුණු බවයි. එය "දෙවියන්ගේ භාෂාව" (රූපාක්ෂර), "ලේඛන භාෂාව" (ජන වහර), සහ ටොලමියානු රජය විසින් භාවිත කළ "ග්‍රීකවරුන්ගේ බසින්" එය කැටයම් කළ යුතු බවත් දැ‍ක්වේ.[25][26]

මහජනයා ක්‍රියාකාරීව පාලනය කිරීමෙහිලා ටොලමි රජවරුන්ට පූජකයන්ගේ ප්‍රසාදය අත්‍යාවශ්‍ය විය. රජු සිංහාසනාරූඪ කෙරුණු මෙම්ෆිස්හි ප්‍රධන පූජකවරුන් ඒ අතුරින් වඩාත් වැදගත් විය. එයට හේතුව එකල ඉහළම ආගමික අධිකාරය ඔවුන් සතු වීමත්, ඔවුන්ගේ බලපෑම රාජධානිය පුරාම ව්‍යාප්තව පැවතීමත් ය.[27] මෙම ආඥාව ටොලමිවරුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය පැවති ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට නොව මෙම්ෆිස්හි දී නිකුත් කිරීම හේතුවෙන් මෙම ලාබාල රජු ඔවුන්ගේ ක්‍රියාකාරී සහාය ලබාගැනීමට අදහස් කළ බැව් පෙනේ.[28] එම නිසා, මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ සමයේ සිට ඊජිප්තු රජය ග්‍රීක-භාෂාව භාවිතා කළ ද, පෙර නිකුත් කළ ද්විත්ව ආඥා මාලාව මෙන් මෙම්ෆිස් ආඥාව ද, ඊජිප්තු අක්ෂරවලින් ඇතුළත් කොට තිබේ. මෙය උගත් පූජකවරුන්ගේ මාර්ගයෙන් සිදුකළේ සාමාන්‍ය ජනයාට එහි අදාළත්වය නිරූපණය කිරීමටයි.[29]

මෙහි මුල් ලේඛන ත්‍රිත්වයෙහි වූ සුළු වෙනස්කම් හේතුවෙන් ආඥාවේ නිශ්චිත ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කොට නැත. එසේම පුරාතන භාෂා පිළිබඳ නූතන අදහස් දියුණු වෙමින් පැවතීම ද එයට හේතුවකි. පොදු ජන වහරින් රචිත ලේඛනය පාදක කරගත් නූතන පරිවර්තනයක් ආර්. එස්. සිම්ප්සන් විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාර වෙබ්අඩවියෙහි පලකර ඇත.[30] මෙය ග්‍රීක ලේඛනය පදනම් කරගනිමින් එඩ්වින් ආර්. බෙවන් විසින් The House of Ptolemy (1927) තුළ ඇතුළත් කොට ඇති සම්පූර්ණ පරිවර්තනය[31] සහ ඊජිප්තු ලේඛන දෙකෙහි ප්‍රභේදයන්ගේ වෙනස්කම් පිළිබඳ දක්වා ඇති පාදක සටහන් ආශ්‍රයෙන් සැසඳිය හැක.

මෙම ශිලා ‍ස්තම්භය බොහෝදුරට එය හමුවූ රෂිඩ් (රොසෙටා) නගරයෙන් සම්භවය වූවක් නොවන අතර, එය වෙනත් ස්ථානයක වූ දේවස්ථාන භූමියකින් රැගෙන ආවකැයි සිතිය හැක. බොහෝවිට එම ස්ථානය සායිස්හි රාජකීය නගරය විය හැක.[32] මෙය මුලින් පැවති දේවස්ථානය ක්‍රි.ව. 392 අවට කාලයක දී වසා දැමෙන්නට ඇත. එයට හේතුව නැගෙනහිර රෝම අධිරාජ Iවන තියඩෝසියස් විසින් ක්‍රිස්තියානි-නොවන සියලු දේවස්ථාන වසා දැමීමට අණකිරීමයි.[33] මුල් ශිලා ස්තම්භය කැබලිවලට කැඩීගිය අතර, ඉන් විශාලතම කැබැල්ලයි, අප අද රොසෙටා පාෂාණය යනුවෙන් හඳුන්වන්නේ.[34] පසුකලෙක පුරාතන ඊජිප්තු දේව්සථාන නව ඉදිකිරීම් සඳහා ගල්වැඩපලවල් ලෙස භාවිතා වූ අතර, රොසෙටා පාෂාණය ද එලෙස භාවිත වන්නට ඇත. පසුව එය මම්ලුක් සුල්තාන් කේට්බායි (ක්‍රි.ව. 1416/18–1496) විසින් නයිල්හි බොල්බිටයින් ශාඛාව ආරක්ෂා කිරීමට රෂිඩ්හි ඉදිකළ බලකොටුවේ පාදම සඳහා යොදාගෙන ඇත.[34] එහි නැවත අනාවරණය තෙක් සියවස් තුනක්වත් එය එතැන තිබෙන්නට ඇත.[34]

රොසෙටා පාෂාණය දොයාගත් පසුව, මෙම්ෆිස් ආඥාව ඇතුළත් තවත් ශිලා ලේඛන ද්විත්වයක් ද හමු විය. එනම්: නුබායිරාහ් ශිලා ස්තම්භය සහ ෆිලේ දේවස්ථානයේ (ෆිලේ ඔබලිස්කය මත) තිබී සොයාගත් ශිලා ලේඛනයයි. රොසෙටා පාෂාණය මෙන් නොව, ඒවායේ රූපාක්ෂර ලේඛන හානියට පත්ව නැත. ආඥාවේ මෙම පිටපත් දෙක සොයාගැනීමට බොහෝ කලකට පෙර රොසෙටා පාෂාණයේ ශිලා ලේඛනය කියවා තිබිණි. නමුත් වැලිස් බජ් වැනි පසුකාලීන ඊජිප්තුවේදීන් විසින් මෙම ශිලාලේඛන රොසෙටා පාෂා‍ණයේ රූපාක්ෂර කොටසේ කැඩීගිය ස්ථානවල වූ මුල් රූපාක්ෂර හඳුනාගැනීමට භාවිත කර තිබේ.[35]

යළි සොයාගැනීම[සංස්කරණය]

"ආසන්න වශයෙන් තුන් තීරු අඟල්වලින් සමන්විත, රොසෙටා පාෂාණය එංගලන්තය වෙත රැගෙන ඒම පිළිබඳ සඳහන් 1801 සමකාලීන පුවත්පත් වාර්තාවක රූපයක්"
1802, රොසෙටා පාෂාණය එංගලන්තය වෙත රැගෙන ඒම පිළිබඳ The Gentleman's Magazineහි ඇති වාර්තාව

නැපෝලියන්ගේ 1798 ඊජිප්තු ආක්‍රමණයේ දී, කාර්ය සාධක හමුදාව සමග Commission des Sciences et des Arts නැමැති තාක්ෂණික විශේෂඥයින් (ප්‍රාඥයින්) 167කින් යුත් බලකායක් ද පිටත් විය. 1799 ජූලි 15 දින, ඩි'හෝට්පෝල් සෙන්පතියාගේ නායකත්වය යටතේ ප්‍රංශ සෙබලුන් ජුලියන් බලකොටුවේ ආරක්ෂාව තර කරමින් සිටියහ. මෙය ඊජිප්තු වරාය නගරයක් වූ රොසෙටා (නූතන රෂිඩ්) සැතපුම් දෙකක් පමණ ඊසාන දිගින් පිහිටියේ ය. ලුතිනන් පියරේ-ෆ්‍රංෂුවා බෝචාර්ඩ් විසින් සෙලුන් විසින් ඉවත් කර තිබූ එක් පැත්තක ශිලා ලේඛන සහිත පුවරුක් හඳුනාගන්නා ලදී.[36] මෙය වැදගත් දෙයක් විය හැකි යැයි සිතූ ඔහු සහ ඩි'හෝට්පෝල් මේ පිළිබඳ රොසෙටාහි සිටි ජැක්විස්-ෆ්‍රංෂුවා මෙනෝ සෙන්පතියාව දැනුවත් කළහ.[A] මෙම සොයාගැනීම නැපෝලියන්ගේ අලුතෙන් පිහිටුවූ කයිරෝවේ විද්‍යා සංවිධානය වූ Institut d'Égypte වෙත වාර්තා කෙරිණි. කමිටු සාමාජිකයකු වූ මිචෙල් ඇන්ජේ ලැන්ක්‍රෙට් සඳහන් කර ඇත්තේ එහි ලේඛන තුනක් ඇති බවත්, පළමුවැන්න රූපාක්ෂරවලිනුත් සහ තෙවැන්න ග්‍රීකවලිනුත් බවයි. එය එකම පාඨයෙහි ප්‍රභේදයන් විය හැකි බව ඔහු පවසා ඇත. 1799 ජූලි 19 ලෙස වාර්තාගත ලැන්ක්‍රෙට්ගේ වාර්තාව ජූලි 25 සංවිධානයේ කමිටු රැස්වීමක දී ඉදිරිපත් කෙරිණි. මේ අතර, බෝචාර්ඩ් විසින් විද්වතුනට අධ්‍යයනය කිරීම පිණිස පාෂාණය කයිරෝ වෙත ගෙනයන ලදී. 1799 අගෝස්තු මස ප්‍රංශය වෙත පිටත්ව යාමට මඳ කලකට පෙර නැපෝලියන් විසින්ම ලා පියරේ ඩි රොසෙටේ ලෙස හැඳින්වුණු රොසෙටා පාෂාණය පරීක්ෂා කර ඇත.[9]

මෙම අනාවරණය පිළිබඳ ප්‍රංශ ආක්‍රමණයේ නිල පුවත්පත වූ Courrier de l'Égypteහි සැප්තැම්බර් මස පලකෙරිණි. නම නොදන්නා වාර්තාකරුවකු විසින් එය යම් දිනෙක රූපාක්ෂර කියවීමට යතුරක් වනු ඇතැයි බලාපොරොත්තුවක් පලකොට ඇත.[A][9] 1800දී, කොමිසමේ තාක්ෂණික විශේෂඥයින් තිදෙනකු විසින් පාෂාණයේ වූ ලේඛනයේ පිටපත් නිපදවීමට උත්සාහ දරා ඇත. මේ විද්වතුන් අතර මුද්‍රණකරුවකු සහ දක්ෂ වාග්වේදියකු වූ ජීන්-ජෝසෆ් මාර්සල් ද විය. මෙහි මධ්‍යයේ වූ ‍පෙළ ඊජිප්තු පොදු ජන භාෂාවෙන් රචිත බව මුලින්ම හඳුනාගත්තේ ද ඔහු විසිනි. මෙය ශිලාලේඛන සඳහා යොදාගැනුණේ කලාතුරකින් වන අතර, එකල විද්වතුන් එය දුටු අවස්ථා විරළ ය. මුලින් සිතා තිබුණේ එය සිරියැක් බවයි.[9] කලා ශිල්පියකු සහ නව නිපැයුම්කරුවකු වූ නිකොලස්-ජැක්විස් කොන්ටි විසින් මෙම පාෂාණය මුද්‍රණ අච්චුවක් ලෙස භාවිත කරන ලදී.[37] ශිලා ලේඛන ප්‍රතිනිර්මාණයට තරමක් වෙනස් ක්‍රමවේදයක් ඇන්ටොයින් ගැලන්ඩ් විසින් අනුගමනය කරන ලදී. ඉන් ඇති වූ මුද්‍රණ පිටපත් ජනරාල් චාල්ස් ඩුගුවා විසින් පැරිසිය වෙත ගෙනයන ලදී. ඒ අනුව යුරෝපයේ විද්වතුන්ට ශිලාලේඛනය නැරඹිය හැකිවූ අතර, ඔවුහු එය කියවන්නට තැත්කළහ.[38]

නැපෝලියන්ගේ නික්ම යාමෙන් පසු, ප්‍රංශ හමුදා විසින් බ්‍රිතාන්‍ය සහ ඔටෝමාන් ප්‍රහාර තවත් මාස 18කට ප්‍රමාද කරන ලදී. 1801 මාර්තු මස, බ්‍රිතාන්‍යයෝ අබූකිර් බොක්ක වෙත ළඟා වූහ. සෙන්පති ජැක්විස්-ෆ්‍රංෂුවා මෙනෝ 1799දී පාෂාණය දුටු පළමු තැනැත්තන්ගෙන් අයෙකි. ඔහු ප්‍රංශ ආක්‍රමණයේ අණදෙන නිලධාරිකු ලෙස කටයුතු කළේ ය. කොමිසම ඇතුළු ඔහු‍ගේ හමුදා සතුරන්ට මුහුණ දීමට මධ්‍යධරණි වෙරළ තීරය වෙත උතුරට ගමන් කරන්නට වූහ. ඔවුහු පාෂාණය සෙසු පුරාවස්තු සමග රැගෙන ගියහ. ස‍ටනේ සී මෙනෝ පරාජයට පත් විය. ඔහුගේ හමුදාවේ සෙසු සාමාජිකයෝ ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත පසුබසින්නට වූහ. එහිදී ඔවුන්ට වටලනු ලැබූ අතර, පාෂාණය නගරය තුළ පැවතිණි. පරාජය පිළිගත් ඔහු අගෝස්තු 30 දින යටත් විය.[39][40]

ප්‍රංශවරුන්ගෙන් බ්‍රිතාන්‍යයන් අතට පත්වීම[සංස්කරණය]

"රොසෙටා පාෂාණයේ වම් සහ දකුණු පැති පෙනුව පෙන්වන සංයුක්ත ඡායාරූපයක්"
රොසෙටා පාෂාණයේ වම් සහ දකුණු පැති පෙනුම; මෙහි ප්‍රංශවරුන්ගෙන් බ්‍රිතාන්‍ය හමුදා අත්කරගත් ආකාරය විස්තර වන ඉංග්‍රීසි ශිලා ලේඛනයක් ද සටහන් කර ඇත.

යටත් වීමෙන් පසු, ඊජිප්තුවේ පුරාවස්තු, ජීව විද්‍යාත්මක නිදර්ශක, සටහන්, සැලසුම්, සහ කොමිසමේ සාමාජිකයන් එකතු කළ සිතුවම් වැනි ප්‍රංශ පුරාවිද්‍යාත්මක සහ විද්‍යාත්මක සොයාගැනීම්වල ඉරණම පිළිබඳ දැඩි මතභේදයක් ඇති විය. ඒවා ආයතනයට අයත් යැයි පවසමින් පුරාවස්තු භාර දීම මෙනෝ ප්‍රතික්ෂේප කළේ ය. මෙනෝ විසින් එම වස්තූන් භාරදෙන තෙක් කගරය නිදහස් කිරීම ජනරාල් ජෝන් හෙලි-හචින්සන් විසින් ප්‍රතික්ෂේප කළේ ය. එංගලන්තයේ සිට පැමිණි නව විද්වතුන් වූ එඩ්වඩ් ඩැනියෙල් ක්ලාක් සහ විලියම් රිචඩ් හැමිල්ටන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇති එකතූන් පරීක්ෂා කිරීමට එකඟ වූ අතර, ප්‍රංශවරුන් විසින් අනාවරණය කර නොතිබූ නව පුරාවස්තු රැසක් ඔවුනට හමුවූ බව පැවසේ. නිවස වෙත යැවුණු ලිපියක ක්ලාක් පවසා ඇත්තේ, "ප්‍රදර්ශනය කළාට හෝ උපකල්පනය කළාට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ භාරයේ තිබී අපට හමුවූවා" යනුවෙනි.[41]

සියලුම භාණ්ඩ බ්‍රිතාන්‍ය කිරීටයේ දේපළ බව හචින්සන් ප්‍රකාශ කළේ ය. නමුත් ප්‍රංශ විද්වතකු වූ ඒටියන් ජියොෆ්‍රොයි සේන්ට්-හිලෙයාර් විසින් ක්ලාක් සහ හැමිල්ටන් හට පැවසූයේ සිය අනාවරණයන් ඔවුනට භාරදීමට වඩා සියල්ල ගිනිබත් කිරීමට ප්‍රියකරන බවයි. එසේම ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය විනාශ කරන බවට අනතුරු ඇඟවූහ. ක්ලාක් සහ හැමිල්ටන් ප්‍රංශ විද්වතුන්ගේ ගැටලුවේ දී ආයාචනා කළ අතර, අවසානයේ හචින්සන් තීරණය කළේ ස්වාභාවික නිදර්ශක වැනි අංග විද්වතුන්ගේ පෞද්ගලික දේපළ ලෙස තබාගත හැකි බවටයිත.[40][42] මෙනෝ ක්ෂණිකව පාෂාණය ද සිය පෞද්ගලික දේපළක් ලෙස ප්‍රකාශයට පත්කළේ ය.[43] එය අනුමත වූ පසු, ඔහුට එය ප්‍රංශයට ගෙන යා හැකි වනු ඇත..[40] නමුත් ජනරාල් හචින්සන් ද ඔහු මෙන්ම පාෂාණයේ වටිනාකම හොඳින් දැන සිටියෙකි. ඔහු මෙනෝගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ ය. අනතුරුව එකඟතාවක් ඇති කරගැනුණු අතර භාණ්ඩ රැගෙන යාම ඇලෙක්සැන්ඩ්‍රියාව යටත් වීමටට සමගාමීව සිදු විය. මෙය බ්‍රිතාන්‍ය, ප්‍රංශ, සහ ඔටෝමාන් හමුදා විසින් අත්සන් කරන ලදී.

සමකාලීන වාර්තාවන්හි ඇති වෙනස්කම් නිසා පාෂාණය බ්‍රිතාන්‍යයන් යටතට පත්වූ ආකාරය පැහැදිළි නැත. සෙන්පති ටොම්කින්ස් හිල්ග්‍රෝව් ටර්නර් විසින් එය එංගලන්තය වෙත රැගෙන යාමට භාරව තිබිණි. නමුත් පසුකලෙක ඔහු ප්‍රකාශ කළේ තමන් පෞද්ගලිකව එය මැනෝගෙන් ලබාගත් බවත්, එය තුවක්කු ප්‍රවාහකයක තබා රැගෙන ආ බවත් ය. වඩාත් සවිස්තර වාර්තාවක එඩ්වඩ් ඩැනියෙල් ක්ලාක් පවසා ඇත්තේ ප්‍රංශ "නිලධාරියකු සහ ආයතන සාමාජිකයකු" තමන්, සිය ශිෂ්‍ය ජෝන් ක්‍රිප්ස් සහ හැමිල්ටන්ව මැනෝගේ නවාතැන පසුපස වීදියක් වෙත රහ‍සිගතව රැගෙනගිය බවත්, මැනෝගේ භාණ්ඩ අතර ආරක්ෂක බුමුතරුණු තුළ සැඟවූ රොසෙටා පාෂාණය නිරාවරණය කළ බවත් ය. ක්ලාක් අනුව, ප්‍රංශ සෙබලුන් මෙය දුටුවහොත් ඔවුන් එය සොරාගනිතැයි ඔවුනට තොරතුරු සැපයූ පුද්ගලයා බියවී තිබේ. ක්ෂණිකව හචින්සන්ව දැනුවත් කෙරුණු අතර, පාෂාණය ඉවතට ගෙනයන ලදී. මෙය ටර්නර් විසින් ඔහුගේ තුවක්කු ප්‍රවාහකය තුළ ගෙන යන්නට ඇත.[44]

ටර්නර් විසින්, අල්ලාගත් ප්‍රංශ යුධ නැවක් වූ HMS ඊජිප්ටියෙන් ඔස්සේ එංගලන්තය වෙත පාෂාණය රැගෙන එන ලදී. 1802 පෙබරවාරි මස එය පෝර්ට්ස්මවුත් වෙත ළඟා විය.[45] ඔහුට නියෝග ලැබී තිබුණේ පාෂාණය සහ සෙසු පුරාවස්තු IIIවන ජෝර්ජ් රජුට භාර කිරීමටයි. රජුවෙන් පෙනී සිටි යුධ ලේකම් හොබාර්ට් සාමි විසින් නියෝග කළේ එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලබාදිය යුතු බවයි. ටර්නර්ගේ විස්තරය අනුව, ඔහු සහ හොබාර්ට් එකඟත්වයට පැමිණියේ පාෂාණය කෞතුකාගාරයේ තැන්පත් කිරීමට පෙර ලන්ඩන් පුරාවස්තු සමාජයේ විද්වතුන්ට ප්‍රදර්ශනය කළ යුතු බවයි. ටර්නර් ද එහි සාමාජිකයකු විය. එය පළමු වරට එහි ප්‍රදර්ශනය කෙරුණු අතර 1802 මාර්තු 11 දින පැවති රැස්වීමක දී සාකච්ඡාවට ද බඳුන් විය.[B][H]

"වික්ටෝරියානු වස්ත්‍රවලින් සැරසුණු විද්වතුන් පිරිසක් (ප්‍රධානව පිරිමි, සහායට කාන්තාවන් කිහිප දෙනකු ද දක්නට ලැබේ) රොසෙටා පාෂාණය අධ්‍යයනය කරන අයුරු නිරූපිත ලිතෝ සිතුවමක්; ඔවුහු පසුබිමේ වෙනත් පුරාවස්තු ද සහිත විශාල කාමරයක සිටිති."
1874 ප්‍රාචීන ශාස්ත්‍රඥයන්ගේ දෙවන අන්තර්ජාතික සම්මේලනයේ දී රොසෙටා පාෂාණය නිරීක්ෂණය කරන විශේෂඥයින් පිරිසක්

1802දී, සංවිධානය විසින් ශිලා ලේඛනවල බදාම අනුරූ හතරක් නිපදවන ලදී. ඒවා ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, සහ එඩින්බර්ග් විශ්වවිද්‍යාලවලටත් සහ ඩබ්ලින් ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රදානය කෙරිණි. ඉන් මඳ කලකට පසු, ශිලා ලේඛනයේ කරුණු යුරෝපීය විද්වතුන් අතර බෙදාහරින ලදී.[E] 1802 වර්ෂාවසානයට පෙර පාෂාණය එහි වර්තමාන වාසස්ථානය වන බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත රැගෙන යන ලදී.[45] ශිලා ලේඛනයේ වම් සහ දකුණු පස පැතිවල සුදු පැහැයෙන් "1801දී බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඊජිප්තුවෙන් ලබාගන්නා ලදී" සහ "IIIවන ජෝර්ජ් රජු විසින් පරිත්‍යාග කරන ලදී" යනුවෙන් කැටයම් කෙරිණි.[2]

1802 ජූනි මස සිට බොහෝදුරට අඛණ්ඩව පාෂාණය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[6] 19වන සියවසේ මැදි කාලයේ එයට "EA 24" යන භාණ්ඩ වට්ටෝරු නාමය ලබාදෙන ලදී. මෙහි "EA" යන්න "Egyptian Antiquities" (ඊජිප්තු පුරාවස්තු) සඳහා යෙදුණකි. මෙය ප්‍රංශ ආක්‍රමණයේ දී ලබාගත් පුරාතන ඊජිප්තු ස්මාරක එකතුවේ කොටසකි. මේ එකතුවේ සෙසු අංග අතර IIවන නෙක්ටැනෙබෝගේ ශෛලමය මිනීපෙට්ටිය (EA 10), අමුන්ගේ ප්‍රධාන පූජකයාගේ ප්‍රතිමාවක් (EA 81), සහ විශාල ග්‍රැනයිට් මිටක් (EA 9) ද වේ.[46] මඳ කලකින්ම පෙනීගියේ මෙම පුරාවස්තුවල බර මොන්ටේගු නිවසේ (බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ මුල් ගොඩනැගිල්ල) බිමට දැරිය නොහැකි බවයි. එම නිසා මෙම භාණ්ඩ නව ගොඩනැගිල්ල මත ඉදිකළ ස්ථානයක තැන්පත් කෙරිණි. 1834දී මොන්ටේගු නිවස බිඳහෙළා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ වර්තමාන ගොඩනැගිල්ල වෙත ගෙනයන තෙක් රොසෙටා පාෂාණය ප්‍රතිමා ගැලරියේ තැන්පත් කෙරිණි.[47] කෞතුකාගාර වාර්තා අනුව, රොසෙටා පාෂාණය එහි වඩාත් නැරඹූ පුරාවස්තුව වේ.[48] එසේම දශක ගණනාවක් පුරා එහි තනි ඡායාරූපය කෞතුකාගාරයේ වඩාත්ම අලෙවි වූ තැපැල්පත් වර්ගය ලෙස පැවතිණි.[49]

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති රොසෙටා පාෂාණය නරඹන ප්‍රේක්ෂකයන් සමූහයක්
"19වන සියවසේ විද්වතුන්ට ප්‍රදර්ශනය කෙරුණු ආකාරය සිහි ගන්වන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රජුගේ පුස්තකාලයේ ඇති රොසෙටා පාෂාණයේ අනුරුවක්; එය එකල වාතයට විවෘතව ස්පර්ශ කළ හැකි පරිදි තිරසට මඳ ආනතියකින් යුක්තව තබා ප්‍රදර්ශනය කෙරිණි"
මුල්කාලයේ රොසෙටා පාෂාණය ප්‍රදර්ශනය කළ අයුරු සිහිගන්වන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රජුගේ පුස්තකාලයේ ඇති අනුරුවක්

රොසෙටා පාෂාණය මුලින් ප්‍රදර්ශනයට තබා තිබුණේ තිරසට සුළු ආනතියක් සහිත ආධාරකයක් මත තබා ය. ලෝහවලින් තැනි මෙම ආධාරකයේ සුරක්ෂිතව සවි කිරීමට පාෂාණය එහි පැතිවලින් මඳක් මුඩු කරන ලදී.[47] මුල්කාලීනව එයට ආරක්ෂක ආවරණයක් නොපැවතිණි. මෙය නරඹන්නන් විසින් ස්පර්ශ නොකළ බවට ආරක්ෂකයන් සහතික වුව ද, 1847දී එයට ආරක්ෂිත ආවරකයක් යෙදීම උචිත බව තීරණය විය.[50] 2004 සිට, පාෂාණය විශේෂිත ආරක්ෂක ආවරණයක බහා ඊජිප්තු ප්‍රතිමා ගැලරිය මධ්‍යයේ ප්‍රදර්ශනය කෙරිණි. වර්තමානයේ රොසෙටා පාෂාණයේ අනුරුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රජුගේ පුස්තකාලය තුළ තබා ඇත්තේ එය 19වන සියවසේ ප්‍රෙක්ෂකයන්ට දිස්වූ අයුරු සිහිගන්වමිනි. මෙයට ආවරණයක් නොමැති අතර, නිදහසේ ස්පර්ශ කළ හැක.[51]

1917 පළමු ලෝක යුද්ධයේ අවසානය තෙක්ම කෞතුකාගාරය ලන්ඩන්හි දැඩි බෝම්බ හෙළීම කෙරෙහි සැලකිලිමත් විය. එමනිසා කෞතුකාගාරයේ ඇති සෙසු වටිනා ප්‍රවාහනය කළ හැකි වස්තූන් සමග රොසෙටා පාෂාණය ද ආරක්ෂිතව රැගෙන යන ලදී. පාෂාණය ඉදිරි වසර දෙක පුරාම හොල්බර්න් අසල මවුන්ට් ප්ලෙසන්ට්හි පොළව මට්ටමෙන් 15 m (2ඩි 50) පහළ තැපැල් උමං ‍දුම්රිය මාර්ගයේ දුම්රියපලක තැන්පත් කර තැබිණි.[6] යුධ සමය හැරුණු විට රොසෙටා පාෂාණය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් පිටතට ගෙනගියේ එක් වතාවක් පමණි. ඒ මෙම සොයාගැනීමේ 150වන සංවත්සරයට සමගාමීව 1972 ඔක්තෝබර් මස සිට මාසයක් පුරාවට පැරිසියේ ලූවර්හි චැම්පොලියන්ගේ ලෙට්රේ සමග ය.[49] 1999දී රොසෙටා පාෂාණයේ සංරක්ෂණ කටයුතු පවා සිදුවූයේ කෞතුකාගාර ගැලරියේම ය. එය මහජනයාට පවා දර්ශනය විය.[52]

රොසෙටා පාෂාණය කියවීම[සංස්කරණය]

රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමට මඳ කලකට පෙර සිට රොසෙටා පාෂාණය සොයාගෙන ක්‍රමිකව එය කියවාගන්නා තෙක්ම පුරාතන ඊජිප්තු භාෂාව හෝ ලේඛන පිළිබඳ කිසිවකු සතුව අවබෝධයක් නොතිබිණි. පසුකාලීන පාරාවෝ යුගයේ රූපාක්ෂර භාවිතය ශීඝ්‍රයෙන් වැඩිදියුණු විය. නමුත් ක්‍රි.ව. 4වන සියවස වන විට රූපාක්ෂර කියවීමේ හැකියාව පැවතියේ ඊජිප්තුවරුන් කිහිප දෙනකුහට පමණි. ස්මාරකවල රූපාක්ෂර භාවිතය ක්‍රි.ව. 391දී Iවන තියඩෝසියස් නැමැති රෝම අධිරාජයා විසින් ක්‍රිස්තියානි-නොවන දේවස්ථාන සියල්ල වසා දැමීමට නියෝග කිරීමත් සමග අභාවයට ගියේ ය. අවසන් හඳුනාගත් ශිලා ලේඛනය ක්‍රි.ව. 396 අගෝස්තු 24ට අයත් අතර එය ෆිලේ ප්‍රදේශයෙන් හමු විය. මෙය එස්මෙට්-අඛොම්හි කුරුටු ලේඛනය ලෙස ප්‍රකට විය.[53]

ග්‍රීක සහ රෝම වර්ණමාලාවන්ට සාපේක්ෂව රූපාක්ෂරවල පින්තූරමය ස්වභාවය රැඳී ඇති බව සම්භාව්‍ය කතුවරුන් විසින් අවධාරණය කොට ඇත. උදාහරණයක් ලෙස 5වන සියවසේ පූජකයකු වූ හොරැපොලෝ විසින් හයිරෝග්ලිෆිකා නැමැති ග්‍රන්ථය තුළ සංකේත 200ක් පමණ විස්තර කොට ඇත. ඔහුගේ කෘතිය ප්‍රාමාණික යැයි සැලකිය හැකි වුවද, එය පාඨකයා විවිධ අතින් නොමග යැවීමට හේතු විය. මේ නිසා මෙම කෘතිය සහ සෙසු කෘති ඊජිප්තු ලේඛන හැදෑරීමට අවහිරයක් වූ බව විශ්වාස කෙරේ.[54] රූපාක්ෂර වටහා ගැනීමට පසුකාලීන ප්‍රයත්නයන් 9වන සහ 10වන සියවස්වල විසූ මධ්‍යකාලීන ඊජිප්තුවේ අරාබි ඉතිහාසඥයන් විසින් සිදුකරන ලදී. සමකාලීන කොප්ටික් පූජකවරුන් විසින් භාවිත කළ කොප්ටික් භාෂාව සමග සංසන්දනයෙන් මෙම පුරාතන භාෂාව හැදෑරීමට උත්සාහ ගත් පළමු ඉතිහාසඥයන් වූයේ ධුල්-නුන් අල්-මිස්රි සහ ඉබ්න් වහ්ෂියියා ය.[55][56] 16වන සියවසේ ජොහැන්නස් ගොරොපියස් බෙකානස්, 17න සියවසේ ඇතැනසියස් කර්චර් සහ 18වන සියවසේ ජෝර්ජ් සෝගා වැනි යුරෝපීය විද්වතුන් ඊජිප්තු රූපාක්ෂර හැදෑරීමට උත්සාහ ගත්ත ද එය නිෂ්ඵල විය.[57] 1799දී රොසෙටා පාෂාණය සොයාගැනීමත් සමග දැන නොසිටි තොරතුරු රැසක් අනාවරණය විය. ක්‍රමානුකූලව විද්වතුන් විසින් මෙය අනාවරණය කරගත් අතර, ජීන්-ෆ්‍රංෂුවා චැම්පොලියන් විසින් මෙම ගුප්ත අක්ෂරවල ස්වභාවය වටහා ගන්නා ලදී.

ග්‍රීක පෙළ[සංස්කරණය]

"රොසෙටා පාෂාණයේ වක්වූ දකුණු කෙළවර නිරූපිත සිතුවමක්; මෙහි නැතිවූ ග්‍රීක පෙළ වෙනු‍වට රිචඩ් පෝර්සන් විසින් යෝජිත ප්‍රතිනිර්මාණය දක්වා ඇත."
නැතිවූ ග්‍රීක පෙළ වෙනුවට රිචඩ් පෝර්සන්ගේ යෝජිත ප්‍රතිනිර්මාණය (1803)

රොසෙටා පාෂාණයේ වූ ග්‍රීක පාඨය එය අධ්‍යයනයට සමාරම්භය සනිටුහන් කළේ ය. මේ වනවිට විද්වතුන් පුළුල් වශයෙන් පුරාතන ග්‍රීක බස දැනසිටි නමුත්, හෙලනිස්තික යුගයේ ටොලමියානු ඊජිප්තුවේ රාජ්‍ය භාෂාව වශයෙන් එහි භාවිතය පිළිබඳ දැනීම මඳ විය. මහා පරිමාණයෙන් සොයාගන්නා ලද ග්‍රීක පැපිරසයන් අනාගතයේ බෙහෙවින් වැදගත් විය. මේ නිසා පාෂාණයේ වූ ග්‍රීක පාඨයේ මුල්කාලීන පරිවර්තනයන් අනුව පෙනීයන්නේ පරිවර්තකයන් ඒ වන විට ඓතිහාසික සංදර්භය සමග පරිපාලන සහ ආගමික භාෂාව ගැළපීමට බොහෝ වෙහෙස දරා ඇති බවයි. ස්ටීවන් වෙස්ටන් විසින් 1802 අප්‍රේල් මස පුරාවිෂය ගවේෂකයින්ගේ සංගමයේ සැසියක දී ග්‍රීක පාඨයේ වාචික පරිවර්තනය ඉදිරිපත් කරන ලදී.[35][58]

මේ අතර, ඊජිප්තුවේ දී නිපදවූ ශිලාරේඛන පිටපත් ද්විත්වයක් 1801දී පැරිසියේ ඉන්ස්ටිටුට් ඩි ෆ්‍රාන්ස් වෙත ළඟා විය. එහි පුස්තකාලාධිපති සහ පුරාවේදියකු වූ ගේබ්‍රියල් ඩි ලා පෝර්ටි ඩු තෙයිල් ග්‍රීක පෙළ පරිවර්තනයට දායක විය. නමුත් නැපෝලියන්ගේ හදිසි නියෝගය මත ඔහුට පිටත්ව යන්නට සිදුවූ අතර, සිය නිමනොකළ කෘතිය ඔහු සිය සහායක හියුබර්ට්-පැස්කල් ඇමේල්හන් හට භාරකළේ ය. 1803දී ඇමේල්හන් විසින් ග්‍රීක පෙළෙහි පළමු ප්‍රකාශිත පරිවර්තනය එළිදක්වන ලදී. මෙය පුළුල්ව සංසරණය වීම පිණිස එය ලතින් සහ ප්‍රංශ බසින් නිකුත් කෙරිණි.[F] කේම්බ්‍රිජ්හි, රිචඩ් පෝර්සන් ග්‍රීක පෙළෙහි පහළ දකුණු කෙළවර අතුරුදන් කොටස පිළිබඳ අධ්‍යයනය කළේ ය. ඔහු විසින් යෝජිත සූක්ෂ්ම ප්‍රතිනිර්මාණයක් ඉදිරිපත් කළ අතර, එය නොබෝ කලකින්ම පුරාවේදීන්ගේ සංගමය අතර සංසරණය විය. එම අවස්ථාවේම, සම්භාව්‍ය ඉතිහාසඥයකු වූ ගෝටින්ජන්හි ක්‍රිස්ටියන් ගෝට්ලොබ් හෙයින් මෙම මුද්‍රණ පිටපතක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටි අතර, ඔහු 1803දී ඇමේල්හන් විසින් නිපදවූ පරිවර්තනයට වඩා වඩාත් විශ්වසනීය ලතින් පරිවර්තනයක් එළිදැක්වී ය.[G] 1811දී පුරාවේදය පිළිබඳ සංගමය විසින් සිය ආකියොලොජියා ජර්නලයේ විශේෂ කලාපයේ එහි යළිමුද්‍රණයක් ඇතුළත් කරන ලදී. මෙහි වෙස්ටන්ගේ පෙර ප්‍රකාශිත නොවූ ඉංග්‍රීසි පරිවර්තනය, ටර්නර් සෙන්පතියාගේ විස්තරය සහ සෙසු ලේඛන ද අන්තර්ගත විය.[H][59][60]

පොදු ජන බසින් රචිත පෙළ[සංස්කරණය]

"1802දී ජොහෑන් ඩේවිඩ් ඒකර්බ්ලැඩ් විසින් ඉදිරිපත් කළ පොදු ජන බසින් රචිත තීරු දෙකක් සහ ඒවායේ ග්‍රීක අනුරූප ලේඛන"
ජොහෑන් ඩේවිඩ් ඒකර්බ්ලැඩ් විසින් ඉදිරිපත් කළ පොදු ජන වාග්විෂයීය අක්ෂර සහ ඒවායේ කොප්ටික් අනුරූපයන් (1802)

පාෂාණය සොයාගන්නා කාලයේ ස්වීඩන් ජාතික විද්වතකු වූ ජොහෑන් ඩේවිඩ් ඒකර්බ්ලැඩ් විසින් ඊජිප්තුවෙන් මෑතකදී සොයාගනු ලැබූ අප්‍රකට ලේඛන ශෛලියක් වන පොදු ජන ශෛලිය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියේ ය. ඔහු එය නම්කළේ "වැල් අකුරුමය කොප්ටික්" ලෙසිනි. එයට හේතුව එය කොප්ටික් භාෂාවේ (පුරාතන ඊජිප්තු භාෂාවෙන් ඍජුව පැවතෙන්නකි) ස්වරූපයෙන් වාර්තා කොට තිබීමයි. නමුත් එය පසුකාලීන කොප්ටික් අක්ෂර සමග ස්වල්ප වශයෙන් සමානකම් දැක්වී ය. ප්‍රංශ ප්‍රාචීන ශාස්ත්‍රඥයකු වූ ඇන්ටොයින්-අයිසැක් සිල්වෙස්ටර් ඩි සැසි ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ ජීන්-ඇන්ටොයින් චැප්ටල්ගෙන් 1801දී රොසෙටා පාෂාණයේ ශිලාරේඛන මුද්‍රණ පිටපත් හිමිවීමෙන් පසු, ඒකර්බ්ලැඩ් සමග මේ පිළිබඳ සාකච්ඡා කළේ ය. පාෂාණයේ මධ්‍යයේ ඇති පෙළ ද එම අක්ෂරවලින්ම ලියැවී ඇති බව ඔහු වටහාගත්තේ ය.ඔහු සහ ඒකර්බ්ලැඩ් එක්ව වැඩ කළ අතර, ඔවුන් දෙදෙනාම අවධානය යොමුකළේ මැද ඇති පෙළ වෙත වන අතර, එම පෙළ අක්ෂර මාලාව අනුව යෙදී ඇත. ග්‍රීක පෙළ සමග සැසඳීමේ දී, මෙම නොහඳුනන පාඨයේ ග්‍රීක නම් යෙදී ඇති ස්ථාන හඳුනා ගැනීමට ඔවුහු උත්සාහ දැරූහ. 1802දී සිල්වෙස්ටර් ඩි සැසි, චැප්ටල්හට වාර්තා කළේ තමන් සාර්ථකව නම් පහක් ("ඇලෙක්සැන්ඩ්‍රොස්", ඇලෙක්සැන්ඩ්‍රේයා", "ටොලමේයස්", "ආර්සිනෝයි", සහ ටොලමිගේ පදවි නාමය වූ "එපිෆේනස්"),[C] හඳුනාගත් බවයි. ඒකර්බ්ලැඩ් විසින් පොදු ජන පෙළෙහි අන්තර්ගත ග්‍රීක නම් ඇසුරෙන් හඳුනාගත් අක්ෂර 29කින් යුත් වර්ණමාලාවක් (ඉන් අර්ධයකට වඩා වැඩි ප්‍රමාණයක් නිවැරදි ය) ප්‍රකාශයට පත්කරන ලදී.[D][35] කෙසේනමුත්, ඔවුනට පොදු ජන ලේඛනයෙහි වූ සෙසු අක්ෂර හඳුනාගත නොහැකි විය. වර්තමානයේ හඳුනාගෙන ඇති පරිදි ඒවා සංකල්පලේඛීය සහ ශබ්දානුකූල අක්ෂර වේ.[61]

රූපාක්ෂර පෙළ[සංස්කරණය]

සිල්වෙස්ටර් ඩි සැසි පාෂාණය පිළිබඳ සිදුකළ වැඩකටයුතු අත්හැර දැමී ය. නමුත් ඔහුව වෙනත් දායකත්වයක් සඳහා යොදාගැනිණි. 1811දී, චීන ශිෂ්‍යයකු සමග චීන අක්ෂර පිළිබඳ සිදුකළ සාකච්ඡාවක් හේතුවෙන් සිල්වෙස්ටර් ඩි සැසි 1797දී ජෝර්ජ් සෝයිගා විසින් ඊජිප්තු රූපාක්ෂර ලේඛනවල විදේශ නම් ශබ්දානුකූලව ලියා ඇති බවට කළ යෝජනාව කෙරෙහි අවධානය යොමු කරන්නට පෙළඹිණි. ‍එසේම මීට පෙර 1761දී ජීන්-ජැක්විස් බාර්තලෙමි විසින් පැවසූ පරිදි ශිලා ලේඛනයක කාර්ටුෂයකින් වටකොට ඇති කොටස සාංඥා නාමයක් විය හැකි යැයි ඔහු නැවත ඉදිරිපත් කළේ ය. එම නිසා 1814දී ලන්ඩන් රාජකීය සංගමයේ විදේශ ලේකම්වරයා වූ තෝමස් යන්ග් පාෂාණය පිළිබඳ ඔහුට ලියා යැවූ විට, සිල්වෙස්ටර් ඩි සැසි යෝජනා කළේ රූපාක්ෂර පාඨයන්හි ඇකි අක්ෂර කියවීමට යන්ග් විසින් ග්‍රීක නම්වල කාර්ටුෂයන් පිළිබඳ සොයාබැලිය යුතු බවයි. එසේම ඒවායේ ශබ්දානුකූල සකේත හඳුනාගැනීමට උත්සාහ දැරිය යුතු බවත් ය.[62]

"අක්ෂර තීරු තුනකින් යුත් පිටුවක්; පළමු තීරය ග්‍රීක අක්ෂර වේ. දෙවන සහ තෙවන තීරු පිළිවෙලින් ඒවාට අනුරූප පොදු ජන සහ රූපාක්ෂර සං‍කේත වේ."
රූපාක්ෂර ශබ්දානුකූල සංකේත සහ ඒවායේ අනුරූප පොදු ජන සහ කොප්ටික් අක්ෂර සහිත චැම්පොලියන්ගේ වගුව (1822)

යන්ග් එසේ සිදුකළ අතර එහි ප්‍රතිඵල ද්විත්වය අවසන් අර්ථ නිරූපණය ගොඩනැගීමට මගපෑදී ය. රූපාක්ෂර පෙළ තුළ ඔහු විසින් "p t o l m e s" (නූතන පරිවර්තනය අනුව "p t w l m y s") යන ශබ්දානුකූල අක්ෂර ග්‍රීක නාමයක් වන "ටොලමේයස්" යන්න සඳහා යෙදී ඇති බව සොයාගන්නා ලදී. එසේම මෙම සංකේත පොදු ජන වහරේ අනුරූප සංකේතවලට සමව පැවති බව ඔහු හඳුනාගත්තේ ය. පාෂාණයේ එවන් රූපාක්ෂර සහ පොදු ජන අක්ෂර අතර පැවති සමානකම් 80ක් පමණ ඔහු දුටුවේ ය. මෙය වැදගත් අනාවරණයක් ලෙස සැලකෙන්නේ මීට පෙර මෙම පාඨයන් ද්විත්වය එකිනෙකට බෙහෙවින් වෙනස් යැයි විශ්වාස කෙරුණු නිසායි. මේ හේතුවෙන් ඔහු නිගමනය කළේ පොදු ජන භාෂාව අර්ධ වශයෙන් ශබ්දානුකූල බවත්, එය රූපාක්ෂර අනුකරණය කොට තැනූ චිත්‍ර සංකේතවලින් ද සමන්විත වන බවත් ය.[I] යන්ග්ගේ නව දැක්ම 1819දී ඔහු විසින් බ්‍රිටනිකා විශ්වකෝෂයේ දායකත්වය සැපයූ "ඊජිප්තුව" නැමැති දීර්ඝ ලිපිය තුළින් ද දැකගත හැක.[J] කෙසේනමුත්, ඔහුට වැඩිදුර ඉදිරියට යා නොහැකි විය.[63]

1814දී, යන්ග් පළමුව පාෂාණය පිළිබඳ ග්‍රෙනෝබල්හි ආචාර්යවරයකු වූ ජීන-ෆ්‍රංෂුවා චැම්පොලියන් සමග ලිපි හුවමාරු සිදුකළේ ය. 1822දී චැම්පොලියන් විසින් ෆිලේ ඔබලිස්කයේ කෙටි රූපාක්ෂර සහ ග්‍රීක ශිලාලේඛනවල පිටපත් දුටුවේ ය. මේ පිළිබ විලියම් ජෝන් බෑන්ක්ස් අස්ථිර ලෙස පවසා තිබුණේ එහි භාෂා ද්විත්වයෙන්ම "ටොලමේයස්" සහ "ක්ලියෝපැට්රා" යන වචන අන්තර්ගත බවයි.[64] ඒ තුළින් චැම්පොලියන්ට k l e o p a t r a (වර්තමාන පරිවර්තනය අනුව නම් q l i҆ w p ꜣ d r ꜣ.t) යන ශබ්දානුකූල අක්ෂර හඳුනාගත්තේ ය.[65] මෙය සහ රොසෙටා පාෂාණයේ ඇතුළත් විදේශ නම් ආශ්‍රය කරගනිමින් ඔහු ඉක්මණින් ශබ්දවිද්‍යානුකූල රූපාක්ෂර වර්ණමාලාවක් නිපදවී ය. මෙය ඔහුගේ අතින්ම ඇඳි වගුවක "Lettre à M. Dacier" තුළ දැකගත හැක. මෙය 1822 අගකාලයේ දී පැරිස් Académie des Inscriptions et Belles-Lettresහි ලේකම්වරයා වූ බොන්-ජෝසෆ් ඩේෂියර් හට දැනුම් දුන් අතර, ඔහු එය ඇකඩමියේ මගින් ක්ෂණිකව ප්‍රකාශයට පත්කළේ ය.[K] මෙම "ලිපිය" මගින් ඊජිප්තු රූපාක්ෂර කියවීමේ සැබෑ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වර්ණමාලා වගුව, ප්‍රධාන පෙළ සහ අපරලේඛයන්හි චැම්පොලියන් සටහන් කරන්නේ මීට සමාන ශබ්දානුකූල සංකේත ග්‍රීක නාමයන්හි මෙන්ම ස්වදේශික ඊජිප්තු නම්වලද දක්නට ලැබෙන බවයි. 1823දී මේ බව සනාථ කරමින් ඔහු අබු සිම්බල් ඉවුරේ තිබී පිටපත් කොට ජීන්-නිකොලස් හුයොට් විසින් චැම්පොලියන් වෙත එවන ලද පැරණි රූපාක්ෂර ලේඛනයන්හි කාර්ටුෂයන් තුළින් රැම්සෙස් සහ තුත්මෝස් පාරාවෝවරුන්ගේ නම් හඳුනාගැනීමට සමත් විය.[M] මෙම කරුණු අනුව, රොසෙටා පාෂාණය පිළිබඳ තොරතුරු සහ ඊජිප්තු රූපාක්ෂර කියවා තේරුම් ගැනීම පිළිබඳ දැනුම වැඩිදියුණු විය. චැම්පොලියන් විසින් පුරාතන ඊජිප්තු ව්‍යාකරණ සහ රූපාක්ෂර ශබ්දකෝෂයක් ගොඩනැගීමට උත්සාහ දැරූ අතර එම කෘතීන් ද්විත්වය 1832දී ඔහුගේ මරණින් පසු ප්‍රකාශයට පත් විය.[66]

පසුකාලීන කෘති[සංස්කරණය]

පාෂාණය පිළිබඳ කෘතීන් වර්තමානයේ අවධානය යොමුකොට ඇත්තේ ලේඛන ත්‍රිත්වය එකිනෙක සසඳමින් එහි පාඨයන්හි අරුත වටහා ගැනීමටයි. 1824දී, සම්භාව්‍ය විද්වතකු වූ ඇන්ටොයින්-ජීන් ලෙට්‍රොන්, චැම්පොලියන්ගේ භාවිතය පිණිස ග්‍රීක පෙළෙහි නව පරිවර්තනයක් සම්පාදනය කිරීමට පොරොන්දු විය. ඒ වෙනුවට චැම්පොලියන් ලේඛන ත්‍රිත්වයෙහි වෙනස්කම් විශ්ලේෂණය කරමින් වාර්තාවක් සැපයීමට පොරොන්දු විය. 1832දී චැම්පොලියන්ගේ හදිසි අභාවයෙන් පසු, ඔහුගේ වි‍ශ්ලේෂණයේ දළ සටහන සොයාගත නොහැකි විය. ලෙට්‍රොන්ගේ කර්තව්‍යය නවතා දැමිණි.චැම්පොලියන්ගේ හිටපු ශිෂ්‍යයා සහ සහායකයා වූ ෆ්‍රංෂුවා සැල්වොලිනි 1838දී මියගිය අතර, එම විශ්ලේෂණ වාර්තාව සහ සෙසු අතුරුදන් සටහන් සැල්වොලිනිගේ ලේඛන අතර තිබී හමුවිය. මෙම අනාවරණයත් සමග හෙළිවූයේ 1837දී සැල්වොලිනි විසින් පාෂාණය පිළිබඳ ඉදිරිපත් කළ ඔහුගේම යැයි කියූ වාර්තාව රචනා චෞරත්වයක් බවයි.[O] අවසානයේ ලෙ‍ට්‍රොන් හට ග්‍රීක පෙළ පිළිබඳ සිය විවරණය සහ එහි නව ප්‍රංශ පරිවර්තනය සම්පූර්ණ කළ හැකි විය. එය 1841දී ප්‍රකාශයට පත් විය.[P] 1850 දශකයේ මුල් භාගයේ ජර්මානු ඊජිප්තුවේදීන් වූ හයින්රිච් බෘග්ෂ් සහ මැක්ස් අහ්ල්මාන් විසින් පොදු ජන භාෂාව සහ රූපාක්ෂර පාඨයන් පාදක කරගනිමින් ප්‍රතිශෝධිත ලතින් පරිවර්තනයන් ඉදිරිපත් කරන ලදී.[Q][R] පසුව 1858දී පළමු ඉංග්‍රීසි පරිවර්තනය ප්‍රකාශයට පත්කෙරිණි. මෙය පෙන්සිල්වේනියා විශ්වවිදයාලයේ ෆිලොමේතියානු සංගමයේ සාමාජිකයන් තිදෙනකුගේ සම්පාදනයකි.[S]

පාෂාණයේ වූ ශිලා ලේඛන ත්‍රිත්වයෙන් එකක් නියම ප්‍රභේදය වූ අතර අනෙක් දෙක ඉන් පරිවර්තනය කෙරුණු ඒවා වේ. මේ අතුරින් නියම ලේඛනය කුමක් ද යන්න ප්‍රශ්නාර්ථයකි. ලෙට්‍රොන් 1841දී උත්සාහ දැරූයේ ග්‍රීක ලේඛනය ටොලමියානු රාජවංශයේ ඊජිප්තු රජය විසින් නිපදවූ මුල් ලේඛනය බව පෙන්වීමටයි.[P] නූතන කතුවරුන් අතුරින් ජෝන් රේ පවසා ඇත්තේ "පාෂාණයේ ඇති වඩාත් වැදගත්ම ලේඛනය වූයේ රූපාක්ෂර ලේඛනයයි: එය එතැන යොදා තිබුණේ දෙවියන්ට සහ පූජකවරුන් අතුරින් වඩා උගත් තැනැත්තන්ට කියවීම පිණිසයි" යනුවෙනි.[7] ෆිලිප් ඩර්චේන් සහ හයින්ස් ජෝසෆ් තිසන් තර්ක කරන්නේ ලේඛන ප්‍රභේද තුනම සමගාමීව නිමැවුණු බවයි. නමුත් ස්ටීවන් ක්වර්ක් ආඥාව දකින්නේ "ජීව්‍යමය ලේඛන සම්ප්‍රදායයන් තුනක සංකීර්ණ ඒකාබද්ධ වීමක්" ලෙසයි.[67] රිචඩ් පාකින්සන් ගෙනහැර දක්වන්නේ රූපාක්ෂර ලේඛනය පුරාතන ආකෘතිවාදයෙන් පිට පැන ඇති බවත්, බොහෝදුරට පූජකවරුන් එදිනෙදා භාවිත කළ පොදු ජන භාෂාවට නැඹුරු වී ඇති බවත් ය.[23] ලේඛන ත්‍රිත්වය වචනයෙන් වචනය ගැළපිය නොහැකි වීම නිසා එහි අර්ථ නිරූපණය මුලින් අපේක්ෂා කළාට වඩා දුෂ්කර වූ බව නිසැක ය. විශේෂයෙන්ම එය ඊජිප්තු රූපාක්ෂර සඳහා නිශ්චිත ද්වීභාෂා යතුරක් ලෙස භාවිත කිරීමට සිතූ මුල්කාලීන විද්වතුන්ට එය පැටලිලි සහගත වන්නට ඇත.[68]

මත ගැටුම්[සංස්කරණය]

"ප්‍රංශයේ ෆිගියැක්හි ගොඩනැගිල්ලක මැද මිදුලක් රොසෙටා පාෂාණයේ විශාල අනුරුවකින් අතුරා ඇති අයුරු නිරූපිත ඡායාරූපයක්"
ප්‍රංශයේ ෆිගියැක්හි ජීන්-ෆ්‍රංෂුවා චැම්පොලියන්ගේ උපන් ස්ථානයේ ජෝසෆ් කොසුත් විසින් ඉදිකළ දැවැන්ත රොසෙටා පාෂාණයේ අනුරුව

සැල්වොලිනිගේ සම්බන්ධයට පෙර සිටම, අර්ථ නිරූපණ උත්සාහයන්ගේ ප්‍රමුඛතාවය සහ රචනා චෞරත්වයන් පිළිබඳ මතභේද පැවතිණි. බ්‍රිතාන්‍ය විචාරකයන් අනුව, චැම්පොලියන්ගේ 1822 Lettre à M. Dacier කෘතියේ යන්ග් පිළිබඳ කෘතඥතාව සටහන් කොට ඇත්තේ අසම්පූර්ණ වශයෙනි. උදාහරණයක් ලෙස, බ්‍රිටනිකා විශ්වකෝෂයේ (යන්ග්ගේ 1819 ලිපිය පලකළ) උප-සංස්කාරකවරයකු වූ ජේම්ස් බ්‍රවුන් විසින් අඥාත ලෙස 1823දී Edinburgh Reviewහි ලිපි මාලාවකට දායකත්වය සපයා තිබේ. එහි යන්ග්ගේ කාර්යය ඉහළින් වර්ණනා කොට ඇති අතර, "ප්‍රතිපත්ති විරහිත" චැම්පොලියන් එහි චෞරත්වයක් සිදු‍කළ බවට දෝෂාරෝපණය කර තිබේ.[69][70] මෙම ලිපි ප්‍රංශ බසට පරිවර්තනය කොට ජුලියස් ක්ලැප්‍රොත් විසින් 1827දී පොතක් ලෙස මුද්‍රණය කරන ලදී.[N] යන්ග්ගේ 1823 ප්‍රකාශනය මගින් ද ඔහුගේ දායකත්වය යලි සනාථ කොට තිබේ.[L] යන්ග් (1829) සහ චැම්පොලියන් (1832) ගේ අකල් මරණ නිසා මෙම මතභේද නැවතුණේ නැත. පාෂාණය පිළිබඳ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පාලක ඊ. ඒ. වැලිස් බජ් (1904) විසින් සිදුකළ ප්‍රාමාණික කෘතියෙහි චැම්පොලියන්ට සාපේක්ෂව යන්ග්ගේ දායකත්වය වඩාත් අවධාරණය කොට දක්වා ඇත.[71] 1970 දශකයේ මුල් භාගයේ, ප්‍රංශ නරඹන්නන් චෝදනා කළේ යාබද තොරතුරු පුවරුවේ චැම්පොලියන්ගේ රුව, යන්ග්ගේ රුවට වඩා කුඩාවට දක්වා ඇති බවටයි. ඉංග්‍රීසි නරඹනන්නන් චෝදනා කළේ එයට විරුද්ධ දෙයයි. නමුත් සැබැවින්ම එම දෙදෙනාගේම රූ එකම ප්‍රමාණයෙන් යුතු විය.[49]

නැවත ඊජිප්තුවට ගෙන්වා ගැනීමට අභියාචනය[සංස්කරණය]

රොසෙටා පාෂාණය නැවත සිය රටට ගෙන්වා ගැනීමට ඊජිප්තුව පළමුවරට අභියාචනා කළේ 2004 ජූලි මස බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 250වන සංවත්සරයට සමගාමීව ය. ඊජිප්තුවේ ශ්‍රේෂ්ඨ පුරාවස්තු මණ්ඩලයේ ප්‍රධානියා වූ සාහි හවාස් ඉල්ලා සිටියේ ශිලා ස්තම්භය ඊජිප්තුව වෙත නැවත රැගෙන ආ යුතු බවයි. ඔහු වාර්තාකරුවන්ට මෙසේ අදහස් දක්වා ඇත: "බ්‍රිතාන්‍යයන්ට සිහිපත් කිරීමට අවශ්‍ය නම්, ඔවුනට සිය කීර්තිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය නම් ඔවුන් ස්වෙච්ඡාවෙන්ම අපගේ ඊජිප්තු අනන්‍යතාවය වන රොසෙටා පාෂාණය යළි ලබා දිය යුතුයි".[72] පසුව පැරිසියේ දී දෙවරක්ම නැවත නැවත මෙම ඉල්ලීම සිදු කොට තිබේ. ඔහු මෙම පාෂාණය ඊජිප්තුවේ සංස්කෘතික උරුමය ලැයිස්තුවට අයත් ප්‍රධාන අංගයක් ලෙස දක්වා ඇත. එම ලැයිස්තුවේ සෙසු වස්තූන් අතර: බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරයේ ඇති සුප්‍රකට නෙෆර්ටිටිගේ උඩුකය, ජර්මනියේ හිල්ඩෙෂයිම්හි රෝමර්-අන්ඩ්-පෙලිසේයස්-කෞතුකාගාරය තුළ තබා ඇති මහා පිරමිඩයේ වාස්තු විද්‍යඥයා වූ හෙමියුනුගේ ප්‍රතිමාව, පැරිසියේ ලූවර්හි ඇති ඩෙන්ඩෙරා දෙවොලේ රාශි චක්‍රය සහ බොස්ටන් ලලිත කලා කෞතුකාගාරයේ ඇති අන්ඛ්හෆ්ගේ උඩුකය රුව වැනි පුරාවස්තූන් ඇතුළත් විය.[73]

2005දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය විසින් ඊජිප්තුව වෙත රොසෙටා ශිලාවේ සම්පූර්ණ ප්‍රමාණයේ අනුරුවක් ප්‍රදානය කරන ලදී. මෙය පාෂාණය සොයාගත් භූමියට ආසන්න පෙදෙසක පිහිටි නවීකරණය කළ රෂිඩ් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරිණි.[74] 2005 නොවැම්බර් වන විට, රොසෙටා පාෂාණය නැවත ස්ථිරව ගෙන්වා ගැනීමේ අරමුණේ සමාරම්භක පියවරක් වශයෙන් හවාස් එය මාස තුනකට ලබාදෙන මෙන් ඉල්ලා සිටියේ ය.[75] 2009 දෙසැම්බර් මස ඔහු යෝජනා කළේ 2013 ගිසාහි ප්‍රධාන ඊජිප්තු කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය රොසෙටා පාෂාණය ඊජිප්තුවට මාස තුනකට ලබා දෙන්නේ නම් ස්ථිර ආපසු ගෙන්වා ගැනීම පිළිබඳ අදහස අත්හැරීමට තමන් සූදානම් බවයි.[76]

"රොසෙටා පාෂාණයේ අනුරුව දැක්වෙන ඊජිප්තුවේ රෂිඩ් (රොසෙටා) හි මහජන චතුරස්‍රයක ඡායාරූපයක්"
ඊජිප්තුවේ රෂිඩ් (රොසෙටා) හි ඇති රොසෙටා පාෂාණයේ අනුරුවක්

ජෝන් රේ පවසා ඇත්තේ, "‍පාෂාණය රොසෙටාවට වඩා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කාලය ගතකළ දිනයක් උදා වේවි" යනුවෙනි.[77] රොසෙටා පාෂාණය වැනි අන්තර්ජාතික සංස්කෘතික වැදගත්කමක් ඇති වස්තූන් ඒවායේ මව් රටවලට භාරදීම පිළිබඳ ජාතික කෞතුකාගාරවල දැඩි විරෝධයක් ඇත. පාතිනන් දෙවොලේ එල්ජින් කිරිගරුඬ ප්‍රතිමා නැවත භාරදෙන මෙන් ග්‍රීසිය ලොව පුරා කෞතුකාගාරවලින් සිදුකළ නිරන්තර ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් 2002දී ලොව ප්‍රධාන කෞතුකාගාර 30කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම කෞතුකාගාර අතර බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, ලූවර්, බර්ලිනයේ පර්ගැමොන් කෞතුකාගාරය සහ නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය ද විය. එමගින් නිවේදනය කෙරුණේ "පැරණි කාලවල අයත් කරගත් වස්තූන් ප්‍රදර්ශනය කළ යුත්තේ එම යුගය සිහිපත් කරන වෙනස් සංවේදීතාවන් සහ අගයයන් සහිත ආලෝකයෙනි." එසේම "කෞතුකාගාර සේවය කරන්නේ එක් ජාතියක ජනතාවට නොවේ. නමුත් සෑම ජාතියකම ජනතාවටයි."[78]

ව්‍යවහාරානුකූල භාවිතය[සංස්කරණය]

රොසෙටා පාෂාණය යන යෙදුම වර්තමානයේ ව්‍යවහාරානුකූලව, කේතාංකිත තොරතුරක් නිරවුල් කිරීමේ ක්‍රියාවලියේ දී, සමස්තය හඳුනාගැනීමට භාවිතා කළ හැකි සුළු නමුත් සම්පූර්ණ නියැදියක් වැනි තීරණාත්මක යතුරක් හැඳින්වීමට භාවිතා වේ.[79] ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය අනුව, මෙම වදනේ පළමු රූපික භාවිතය බ්‍රිටනිකා විශ්වකෝෂයේ 1902 සංස්කරණයේ ග්ලූකෝස්හි රසායනික සංස්ලේෂණයකට අදාළව දක්වා ඇත.[79] මෙම යෙදුම එච්. ජී.‍ වෙල්ස්ගේ ජනප්‍රිය 1933 නවකථාවක් වූ The Shape of Things to Come තුළ ද දක්නට ලැබේ. මෙහි කථා නායකයා විසින් සොයාගන්නා ලඝුලේඛනයක් මගින් අත්අකුරින් සහ යතුරු ලියනයකින් ලියැවුණු අමතර තොරතුරු සොයාගැනීමට ඉඟිය වශයෙන් භාවිතා වේ.[79] ඇතැම්විට මෙම යෙදුමේ වඩාත් වැදගත්ම සහ ප්‍රමුඛම භාවිතය නොබෙල් සම්මානලාභී තියොඩෝර් ඩබ්. හෑන්ෂ්ගේ 1979 වර්ණාවලීක්ෂවේදයට සම්බන්ධ සයන්ටිෆික් ඇමරිකන් ලිපියේ දක්නට ලැබේ. මෙම ලිපියේ ඔහු සඳහන් කොට ඇත්තේ "හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය නූතන ‍භෞතික විද්‍යාවේ රොසෙටා පාෂාණය බඳු බව සනාථ වී තිබේ: මෙහි රේඛා රටාව කියවා වටහාගත් පසුව, බොහෝ දේ වටහාගත හැකි වනු ඇත" යනුවෙනි.[79]

එතැන් සිට, මෙම වදන වෙනත් පාඨ සම්බන්ධයන්හි පුළුල්ව යොදා තිබේ. උදාහරණයක් ලෙස, මානව සුදු රුධිරාණු ප්‍රතිදේහජනකය නිපදවීමට අදාළ පදනම් ජාන කට්ටලය හඳුනා ගැනීම "ප්‍රතිශක්ති විද්‍යාවේ රොසෙටා පාෂාණය" ලෙස හඳුන්වා ඇත.[80] Arabidopsis thaliana නැමැති සපුෂ්ප ශාකය "පුෂ්පීකරණ සමයේ රොසෙටා පාෂාණය" ලෙස විස්තර කොට තිබේ.[81] සුපර්නෝවා සංගමනය වීමේ දී හමුවන ගැමා කිරණ නිපාත (GRB) සඳහා GRB වල සම්භවය හඳුනාගැනීමට වැදගත්වන රොසෙටා පාෂාණය ලෙස පැවසේ.[82] ඩොප්ලර් ප්‍රතිධ්වනි කන්තුකරේඛය හැඳින්වීමට චිකිත්සකයින් විසින් රොසෙටා පාෂාණය යන යෙදුම භාවිත කරති. එයට හේතුව නොයෙකුත් විස්තාර දුෂ්කෘත්‍යයන් හේතුවෙන් මානව හෘදයේ වම් කෝෂිකාව පිරී යා හැකි සංකීර්ණ ආකාරය අනාවරණය කරගැනීමට එය උපකාර වීම නිසායි.[83]

රොසෙටා පාෂාණය යන නාමය විවිධ පරිවර්තන මෘදුකාංගවල භාවිතයට ගැනේ. රොසෙටා ස්ටෝන් යනු එක්සත් ජනපදයේ අර්ලිංටන් ජනපදය, වර්ජිනියාහි ප්‍රධාන ගොඩනැගිල්ල පිහිටි රොසෙටා ස්ටෝන් සීමාසහිත සමාගම විසින් ප්‍රකාශිත භාෂා-ඉගෙනුම් මෘදුකාංගයකි. "රොසෙටා" යනු PowerPC සකසනවල ධාවනයට නිර්මිත යෙදුම් මෘදුකාංග, ඇපල් පරිගණක පද්ධතිවල x86 සකසනවල භාවිතයට ගැනීමට අවස්ථාව සලසන "ලුහුබර ගතික පරිවර්තකය"කි. එසේම ලෝන්ච්පැඩ් ව්‍යාපෘතියේ කොටසක් ලෙස කැනොනිකල් සමාගම විසින් සංවර්ධනය කළ මෘදුකාංග ස්ථානගතකරණයට උපකාර වන මාර්ගස්ථ භාෂා පරිවර්තක‍ මෙවලම ද "රොසෙටා" නම් විය. මීට සමාන, Rosetta@home යනු ඇමයිනෝ අම්ල අනුපිළිවෙලවල ප්‍රෝටීන ව්‍යූහය (නැතහොත් ඇමයිනෝ අම්ල අනුපිළිවෙල ව්‍යූහයක් බවට පරිවර්තනය කෙරෙන) පුරෝකථනය කෙරෙන ව්‍යාප්ත පරිගණකකරණ ව්‍යාපෘතියකි. රොසෙටා ව්‍යාපෘතිය නැමැති ව්‍යාපෘතිය යනු ක්‍රි.ව. 2000 සිට 12,000 දක්වා පවත්වාගෙන යාමට අපේක්ෂිත භාෂා විශේෂඥයින් සහ ස්වදේශික කථිකයින් දායක කරගනිමින් ආසන්න වශයෙන් පරිපූර්ණ, භාෂා 1,500කින් සමන්විත ලේඛනාගාරයක් ගොඩනැගීමේ ව්‍යාපෘතියකි‍. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ රොසෙටා අභ්‍යවකාශ යානය දියත් කෙරුණේ 67P/චුරියුමොව්-ගෙරසිමෙන්කෝ ධූමකේතුවේ සංයුතිය නිර්ණය කොට එමගින් සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය පිළිබඳ තොරතුරු දැනගත හැකිවේය යන අපේක්ෂාවෙනි.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

රොසෙටා පාෂාණය පිළිබඳ මුල්කාලීන ප්‍රකාශනවල කාලරේඛාව[සංස්කරණය]

  1. ^ 1799: Courrier de l'Égypte අං. 37 (2 Fructidor year 7, i.e. 1799) පි. 3 සම්ප්‍රවේෂණය ජූලි 14, 2010 (බලන්න පි. 7)
  2. ^ 1802: "Domestic Occurrences: March 31st, 1802" තුළ The Gentleman's Magazine වෙළුම. 72 කොටස 1 පි. 270 සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  3. ^ 1802: සිල්වෙස්ටර් ඩි සැසි, Lettre au Citoyen Chaptal, Ministre de l'intérieur, Membre de l'Institut national des sciences et arts, etc: au sujet de l'inscription Égyptienne du monument trouvé à Rosette. පැරිස්, 1802 සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  4. ^ 1802: ජොහෑන් ඩේවිඩ් ඒකර්බ්ලැඩ්, Lettre sur l'inscription Égyptienne de Rosette: adressée au citoyen Silvestre de Sacy, Professeur de langue arabe à l'École spéciale des langues orientales vivantes, etc.; Réponse du citoyen Silvestre de Sacy. පැරිස්: L'imprimerie de la République, 1802
  5. ^ 1803: "Has tabulas inscriptionem ... ad formam et modulum exemplaris inter spolia ex bello Aegyptiaco nuper reportati et in Museo Britannico asservati suo sumptu incidendas curavit Soc. Antiquar. Londin. A.D. MDCCCIII" තුළ Vetusta Monumenta වෙළු. 4 ඵලක 5–7
  6. ^ 1803: හියුබර්ට්-පැස්කල් ඇමේල්හන්, Éclaircissemens sur l'inscription grecque du monument trouvé à Rosette, contenant un décret des prêtres de l'Égypte en l'honneur de Ptolémée Épiphane, le cinquième des rois Ptolémées. පැරිස්: ඉන්ස්ටිටුට් නැෂනල්, 1803 සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  7. ^ 1803: සී. ජී. හෙයින්, "Commentatio in inscriptionem Graecam monumenti trinis insigniti titulis ex Aegypto Londinum apportati" තුළ Commentationes Societatis Regiae Gottingensis වෙළු. 15 (1800–1803) පි. 260 ff.
  8. ^ a b 1811: මැතිව් රේපර්, එස්. වෙස්ටන් ඇතුළු පිරිස, "Rosetta stone, brought to England in 1802: Account of, by Matt. Raper; with three versions: Greek, English translation by S. Weston, Latin translation by Prof. Heyne; with notes by Porson, Taylor, Combe, Weston and Heyne" තුළ Archaeologia ‍වෙළු. 16 (1810–1812) පිටු. 208–263
  9. ^ 1817: තෝමස් යන්ග්, "Remarks on the Ancient Egyptian Manuscripts with Translation of the Rosetta Inscription" ; Archaeologia තුළ වෙළු. 18 (1817) සම්ප්‍රවේෂණය ජූලි 14, 2010 (බලන්න පිටු. 1–15)
  10. ^ 1819: තෝමස් යන්ග්, "Egypt" ; බ්‍රිටනිකා විශ්වකෝෂය තුළ, ඌනපූරනය වෙළු. 4 කොටස 1 (එඩින්බර්ග්: චැම්බර්ස්, 1819) සම්ප්‍රවේෂණය ජූලි 14, 2010 (බලන්න පිටු. 86–195)
  11. ^ 1822: ජේ.-එෆ්. චැම්පොලියන්, Lettre à M. Dacier relative à l'alphabet des hiéroglyphes phonétiques (පැරිස්, 1822) ගැලිකා තුළ: සම්ප්‍රවේෂණය ජූලි 14, 2010 ප්‍රංශ විකිප්‍රභවය තුළ
  12. ^ 1823: තෝමස් යන්ග්, An account of some recent discoveries in hieroglyphical literature and Egyptian antiquities: including the author's original alphabet, as extended by Mr. Champollion, with a translation of five unpublished Greek and Egyptian manuscripts (ලන්ඩන්: ජෝන් මරේ, 1823) සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  13. ^ 1824: ජේ.-එෆ්. චැම්පොලියන්, Précis du système hiéroglyphique des anciens Égyptiens. පැරිස්, 1824 මාර්ගස්ථ ප්‍රභේදය archive.org 2වන සංස්. (1828) ගැලිකා තුළ: සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  14. ^ 1827: ජේම්ස් බ්‍රවුන්, Aperçu sur les hiéroglyphes d'Égypte et les progrès faits jusqu'à présent dans leur déchiffrement (පැරිස්, 1827; අං. 55න් (පෙබරවාරි 1823) ඇරඹි එඩින්බර්ග් රිවිව්හි ලිපි මාලාව ඇසුරෙනි. පිටු. 188–197) සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  15. ^ 1837: ෆ්‍රංෂුවා සැල්වොලිනි, "Interprétation des hiéroglyphes: analyse de l'inscription de Rosette" ; Revue des deux mondes තුළ වෙළු. 10 (1937) ප්‍රංශ විකිප්‍රභවය තුළ
  16. ^ a b 1841: ඇන්ටොයින්-ජීන් ලෙට්‍රොන්, Inscription grecque de Rosette. Texte et traduction littérale, accompagnée d'un commentaire critique, historique et archéologique. පැරිස්, 1840 (නිකුත් කරන ලද්දේ කැරොලස් මූලරස්, සංස්., Fragmenta historicorum Graecorum තුළ වෙළු. 1 (පැරිස්: ඩිඩොට්, 1841)) සම්ප්‍රවේෂණය ජූලි 14, 2010 (වෙළුමේ අවසානය බලන්න)
  17. ^ 1851: එච්. බෘග්ෂ්, Inscriptio Rosettana hieroglyphica, vel, Interpretatio decreti Rosettani sacra lingua litterisque sacris veterum Aegyptiorum redactae partis ... accedunt glossarium Aegyptiaco-Coptico-Latinum atque IX tabulae lithographicae textum hieroglyphicum atque signa phonetica scripturae hieroglyphicae exhibentes. බර්ලින්: ඩූම්ලර්, 1851 ස්මප්‍රවේෂණය ජූලි 14, 2010
  18. ^ 1853: මැක්ස් අහ්ල්මාන්, Inscriptionis Rosettanae hieroglyphicae decretum sacerdotale. ලෙයිප්සිග්: ලයිබ්‍රරියා ඩයිකියානා, 1853 සම්ප්‍රවේෂණය ජූලි 14, 2010
  19. ^ 1858: Report of the committee appointed by the Philomathean Society of the University of Pennsylvania to translate the inscription on the Rosetta stone. ෆිලඩෙල්ෆියා, 1858

සටහන්[සංස්කරණය]

  1. බයර්බ්‍රයර් (1999) පිටු. 111–113
  2. 2.0 2.1 පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 23
  3. සයිනොප්සිස් (1847) පිටු. 113–114
  4. මිලර් ඇතුළු පිරිස (2000) pp. 128–132
  5. 5.0 5.1 මිඩ්ල්ටන් සහ ක්ලේම් (2003) පිටු. 207–208
  6. 6.0 6.1 6.2 ද රොසෙටා ස්ටෝන්
  7. 7.0 7.1 7.2 රේ (2007) පි. 3
  8. පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 28
  9. 9.0 9.1 9.2 9.3 පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 20
  10. බජ් (1913) පිටු. 2–3
  11. බජ් (1894) පි. 106
  12. බජ් (1894) පි. 109
  13. 13.0 13.1 පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 26
  14. පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 25
  15. ක්ලැරිස් සහ වැන් ඩර් වෙකන් (1983) පිටු. 20–21
  16. 16.0 16.1 16.2 පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 29
  17. ෂෝව් සහ නිකල්සන් (1995) පි. 247
  18. ටිල්ඩෙස්ලි (2006) පි. 194
  19. 19.0 19.1 ක්ලේටන් (2006) පි. 211
  20. බෙවන් (1927) පිටු. 252–262
  21. ඈස්මාන් (2003) පි. 376
  22. කිචන් (1970) පි. 59
  23. 23.0 23.1 පාකින්සන් (2005) පි. 13
  24. 24.0 24.1 බෙවන් (1927) පිටු. 264–265
  25. රේ (2007) පි. 136
  26. පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 30
  27. ෂෝව් (2000) පි. 407
  28. වෝකර් සහ හිග්ස් (සංස්කාරකවරුන්, 2001) පි. 19
  29. බැග්නල් සහ ඩරෝව් (2004) (මාර්ගස්ථ සංස්කරණයේ අං. 137)
  30. සිම්ප්සන් (n. d.); සිම්ප්සන් (1996) ගේ ප්‍රතිශෝධිත සංස්කරණය; පිටු. 258–271
  31. බෙවන් (1927) පිටු. 263–268
  32. පාකින්සන් (2005) පි. 14
  33. පාකින්සන් (2005) පි. 17
  34. 34.0 34.1 34.2 පාකින්සන් (2005) පි. 20
  35. 35.0 35.1 35.2 බජ් (1913) පි. 1
  36. බෙන්ජමින්, ඩොන් සී. (මා‍ර්තු 2009). ස්ටෝන්ස් ඇන්ඩ් ස්ටෝරීස්: ඇන් ඉන්ට්‍රොඩක්ෂන් ටු ද ආකියොලොජි ඇන්ඩ් ද බයිබල්. ෆ්‍රෝට්‍රස් මුද්‍රණාලය. පි. 33. ISBN 978-0-8006-2357-9. https://books.google.com/books?id=OBcG8phWFMYC&pg=PA33. Retrieved 14 ජූලි 2011. 
  37. ඇඩ්කින්ස් (2000) පි. 38
  38. ගිලිස්පී (1987) පිටු. 1–38
  39. විල්සන් (1803) වෙළු. 2 පිටු. 274–284
  40. 40.0 40.1 40.2 පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 21
  41. බර්ලී (2007) පි. 212
  42. බර්ලී (2007) පි. 214
  43. බජ් (1913) පි. 2
  44. පාකින්සන් (1999) පිටු. 21–22
  45. 45.0 45.1 ඇන්ඩෲස් (1985) පි. 12
  46. පාකින්සන් (2005) පිටු. 30–31
  47. 47.0 47.1 පාකින්සන් (2005) පි. 31
  48. පාකින්සන් (2005) පි. 7
  49. 49.0 49.1 49.2 පාකින්සන් (2005) පි. 47
  50. පාකින්සන් (2005) පි. 32
  51. පාකින්සන් (2005) පි. 50
  52. පාකින්සන් (2005) පිටු. 50–51
  53. රේ (2007) පි. 11
  54. පාකින්සන් ඇතුළු පිරිස (1999) පිටු. 15–16
  55. එල් ඩාලි (2005) පිටු. 65–75
  56. රේ (2007) පිටු. 15–18
  57. රේ (2007) පිටු‍. 20–24
  58. ඇන්ඩෲස් (1985) පි. 13
  59. බජ් (1904) පිටු. 27–28
  60. පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 22
  61. රොබින්සන් (2009) පිටු. 59–61
  62. රොබින්සන් (2009) පි. 61
  63. රොබින්සන් (2009) පිටු. 61–64
  64. පාකින්සන් ඇතුළු පිරිස (1999) පි. 32
  65. බජ් (1913) පිටු. 3–6
  66. ඩිවොච්ටර් (1990) පි. 45
  67. ක්වර්ක් සහ ඇන්ඩෲස් (1989) පි. 10
  68. පාකින්සන් ඇතුළු පිරිස (1999) පිටු. 30–31
  69. පාකින්සන් ඇතුළු පිරිස (1999) පිටු. 35–38
  70. රොබින්සන් (2009) පිටු. 65–68
  71. බජ් (1904) වෙළු. 1 පිටු. 59–134
  72. එඩ්වර්ඩ්ස් සහ මිල්නර් (2003)
  73. "කෞතුක වස්තු අපේක්ෂා ලැයිස්තුව" (2005)
  74. "රෝස් ඔෆ් ද නයිල්" (2005)
  75. හටින්ජර් (2005)
  76. "රොසෙටා ස්ටෝන් රෝ" (2009)
  77. රේ (2007) පි. 4
  78. බේලි (2003)
  79. 79.0 79.1 79.2 79.3 ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (1989) s.v. "ස්ටෝන්" වේබැක් මැශින් මගින් Archived ජූනි 22, 2011
  80. "ඉන්ටර්නැෂනල් ටීම්"
  81. සිම්බ්සන් සහ ඩීන් (2002)
  82. කූපර් (2010)
  83. නිෂිමුරා සහ ටජික් (1998)

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Wikisourcelang

මෙම ලිපිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති ප්‍රදර්ශන අංගයක් පිළිබඳ වේ. එහි භාණ්ඩ සැඳහුම BM/Big number: 24, බ්‍රිතාන්‍ය කෞතුකාගාර භාණ්ඩ දත්තසමුදාය සැඳහුම් අංකය: YCA62958
"https://si.wikipedia.org/w/index.php?title=රොසෙටා_පාෂාණය&oldid=389964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි