නිවන
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |
මෙය ලිපි මාලාවක කොටසකි, |
බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ |
---|
![]() |
නිබ්බාන පරිවර්තන | |
---|---|
ඉංග්‍රීසි | Nibbana |
පාලි | නිබ්බාන |
සංස්කෘත | निर्वाण (නිර්වාණ) |
බුරුම | နိဗ္ဗာန် (neibban) |
චීන | 涅槃 (පින්යින්: nièpán) |
ජපන් | 涅槃 (rōmaji: nehan) |
කොරියානු | 열반 (yeolban) |
මොංගෝලියානු | γasalang-aca nögcigsen |
සිංහල | නිවන |
ටිබෙට් | mya-ngan-las-'das-pa |
තායි | นิพพาน (nibpan) |
වියට්නාම | Niết bàn |
බුදු දහම ශබ්ද මාලාව |
නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තුවන උසස්ම ධර්මතාවයි. පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණය වේ[තහවුරු කරන්න]. නිවන පිළිබඳව කියැවෙන ඕනෑම ත්‍රිපිටක දෙසනාවකින් මේ බව තහවුරුකර ගත හැක.
පස්කම් සැපයට ඇති ඇල්ම ආශාව හා බැඳීම රාගය ලෙස හැඳින්විය හැක. ඇස, කණ, නාසය , දිව , ශරීරය සහ මනස යන මේ ඉන්ද්‍රියයන් තුල නිරන්තරයෙන්ම ඇතිවන්නාවූ හා පවතින්නාවූ රුප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ, සහ අරමුණු පිලිබඳ දැඩිව අල්වාගැනීමේ කැමැත්ත ඒවා නැවත නැවත ලබා ගැනීමට දක්වන බලවත් උනන්දුව කාම රාගය හෙවත් කාමච්චන්දය ලෙස හැඳින්විය හැක.
තමා නොකැමැති දෙයට නොඑසේනම් විරුද්ද දෙයට හෝ කෙනාට දක්වන නොකැමැත්ත හෙවත් තරහව ද්වේශය ලෙස දැක්විය හැක.ඇතැම් විටෙක මෙය තමා තමා කෙරෙහිම වුවද ඇතිකරගන්නා අවස්ථා ඇත.
මෝහය හෙවත් මුලාව නම් දහමට පටහැනි මාර්ග තුලින් මෝක්ෂය හෝ සැනසීම අපේක්ෂා කිරීම වේ. සුනක, ගව , වැනි වෘත සමාදානය තුලින් හෝ දේව විශ්වාස තුලින් සදාකාලිකවූ සැනසීම ප්‍රාර්ථනා කිරීම මෝහය හෙවත මුලාව වේ. මේ ක්ලේශ දර්ම සිත්හි තදින් පවතින තාක් කල් සත්වයා සසර ඉපදෙමින් මැරෙමින් භව ගමන දිගු කර ගනී. ඉදින් යමෙක් මේ ක්ලේශ ධර්ම ප්‍රහාණය කරයිද හෙතෙම උතුම්වූ නිවන' 'අවබෝධකර ගනී.
නිවන් අවබෝධකර ගැනීමට කැමති තැනැත්තේ තමා ප්‍රථමයෙන් මේ සංසාරය දුකක් ය යන නිවැරදි අවබෝදයට පැමිණිය යුතුය. නොඑසේනම් නිවනක අවශ්‍ය තාවය හෙතෙම අව්බෝදකරගැනීමට සමත් වන්නේ නැත . බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසව සිටියදී නිවන් අවබෝධ කරලීමට සමත් ප්‍රඥාව ඇතිව සිටි නමුත් සියලු ලෝක සත්වයා කෙරෙහි පතලාවූ අප්රමාණ දයා කරුණාව හේතුවෙන් බුද්ධත්වය ලැබීමට අදිටන් කොට නියත විවරණ ඉල්විය. එතැන් පටන් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය දක්වා එතුමෝ ඇස් ඉස් මස් ලේ පමණක් නොව සරීරය පවා දන්දෙමින් අප්රමාණ දුක් විඳිමින් බුදුබව පතා පැමිණියාහුය. එතුමෝ සිද්ධාර්ථ කුමාරව සිටි අවදියේ අසීමිත සැප සම්පත් වින්දාහ. නමුත් කම් සැප විඳීමේ අස්ථිර බව නොහොත් අනියත බව එතුමෝ නුවනින් (ප්‍රඥාව) දුටහ. එබැවින් සැප සම්පත් අලුයම ලු කෙලපිඩක් සේ සලකා එතුමෝ භව නිරෝධය පතා වන වැදුනාහ. එතුමෝ නිවන පතා කෙනෙකුට විඳීමට තබා සිතීමටවත් නොහැකි තරම් අප්රමාන දුක් වින්දාහ. අපමනවූ සැප විඳීමහෝ දුක් විඳීම අනර්ථවත් බව නුවණින් අවබෝධ කල එතුමෝ මැදුම් පිළිවෙත අනුගමනය කොට සියලු දුකින් මිදුනාවූ නිවන් අවබෝධ කළහ. එසේ අසීමිත සැප සම්පත් හා අසීමිත දුක් විඳීමේ අතදැකීම තමාම අත්විඳි එතුමෝ නිර්වාණයේ සුවය තමා අවබෝධ කොටගෙන අන් අයටද එහි අගය දෙසනා කළහ. ඒ මග කියා දුන්හ. උන්වහන්සේ දෙසනා කල ඒ සදහම් මග අදද සන්දිට්ඨිකව හා අකාලිකව පවතින බැවින් ඕනෑම අයෙකුට නුවනින් විමසා බලා අවබෝධ කර ගැනීමේ අවස්තාව ඇත. ඒ සඳහා තමා තුල විස්වාසය හා අවශ්‍ය තාවය තිබිය යුතුය.
- සසර දුක බව නිවැරදිව අවබෝධ කර ගැනීම .
- මේ දුක නැතිකර ගත යුතුය යන දැඩි උවමනාව ඇතිකර ගත යුතුය.
- මේ දුක නැතිකර ගත හැක්කේ සදහම් මගට පැමිනිමෙන්ම පමණක්ය යන තද බල විශ්වාසයට පැමිණිය යුතුය
- මේ සම්බුද්ධ සාසනය තුලදීම නිවන් අවබෝදකල යුතුය යන විස්වාසය ඇතිකරගත යුතුය.
- බුදුපියාණන් වහන්සේ විසින් ඉතා පහත් යැයි සලකු සැපයෙහි ඇලීමත්
- දුක් දීමෙන් මොක්ෂයට පැමිණිය හැකිය යන මිත්‍යා විශ්වාසයන් ගෙන් වෙන්විය යුතුය
- සියලු දේ කෙරෙහි උපාදානය හෙවත් ඇලීම දුරුකරගැනීම තුලින් මේ භවගමනින් නිදහස් වීම නම් වූ නිවන සාක්ෂාත් කරගත යුතුය.
සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම (ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය. නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.
- අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි (කිසිවක් නොමැති හිස් බව නොවේ).
- සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.
- සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.
- චතුකෝටික ශුන්‍යතාවයකි. එනම් ආකාර හතරකින් (ඇත්තේ නැත, නැත්තේ නැත, ඇත්තේ නොවන්නේ නොවේ, නැත්තේ නොවන්නේ නොවේ) ශුන්‍ය තත්වයකි.
- අවේදයිත සුඛ ලෙස දැක්වේ. එනම් නොවිඳීමෙන් ලබන සැපය යන්නයි.
- මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.
- බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.
- බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.
- තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.
- මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.
- නිර්වානයේ අළුත් පරණ ආදී වශයෙන් බේදයක් නොමැත. (වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)
වදන[සංස්කරණය]
නිර්වාණය (Nirvāṇa) යනු නිවන යන්නට සංස්කෘත බසින් යෙදෙන පදයයි. පාලි බසින් නිබ්බාන යනුවෙන් හඳුන්වයි. සත්වයා භවයෙන් භවයට වියන තණ්හාව නැමැති ගෙතුමෙන් ඉක්මීම නිබ්බාන වේ.
- නි = නැති කිරීම
- වාන = තෘෂ්ණාව
- නි = නැති කිරීම
හැඳින්වීම[සංස්කරණය]
නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. නිර්වාණය පිළිබඳ හීනයානිකයින් සහ මහායානිකයින් අතර වෙනස්කම් පවති. නිර්වාණය පිළිබඳ සහ නිර්වාණය යනු භාව රූපයක් ද නැතහොත් අභාව රූපයක් ද යන්න පිළිබඳ බුදු දහමේ සෑම සම්ප්‍රදායක්ම සෑහෙන තරම් විමසීමක් කර තිබේ.
නිවන් මග[සංස්කරණය]
නිවනට සපැමිනිමේ පළමු පියවර වනුයේ සෝවාන් ඵලය ලැබිමය. ඒ සඳහා සක්කාය දිට්ටි , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන අවබෝදයෙන් දුරු කල යුතුවේ.
යමෙක් තුල තමා පිළිබඳව හෝ අන් වස්තුන් පිළිබඳව ආසාව බැඳීම තදින් පවතීනම් ඔහුට මේ දුකින් පිරුනාවු සංසාරයෙන් ගැලවීමක් ඇත්තේ නැත.
නැවත නැවත සසර ඉපදෙමින් අනන්ත දුකටම පත්වේ. එසේනම් සසරින් එතර වීමට හෙවත් දුකින් මිදීමට කැමැත්ත ඇති අය විසින් අනිවාර්යයෙන්ම තමා පිළිබඳව හෝ වෙනත් වස්තුන් පිළිබඳව ඇති ආසාව ටිකින් ටික දුරු කරගත යුතුවේ. එවිට සක්කාය දිට්ටිය නම් වූ සංයෝජනය දුරුකර ගත හැක. එය සෝවාන් මගට තබන පළමු පියවර වන්නේය.
යමෙක් තුල බුදුන් දහම් සඟුන් යන තිසරණය පිළිබඳවත්, පෙර භවය මතු බවය පිළිබඳවත් , දෙවියන් බඹුන් පිළිබඳව හෝ මාපිය ගුණ පිළිබඳව හෝ සැකයක් පවතී නම් එය විචිකිච්චාව ලෙස හඳුන්වනු ලැබේ. සෝවාන් මගට පැමිණෙන්නහු විසින් මෙකි සැකය නැතිකරගත යුතුය. විස්වාසය දැඩිකරගත යුතුය. එසේම මන්දබුද්ධික නොවන ඕනෑම අයෙකුට සෝවාන් මගට පැමිණිය හැකිය යන්න දැඩිව විස්වාස කලයුතුය. එවිට වීචිකිච්චාව නැතිවේ සෝවාන් මගට පැමිණීමට එය ඉමහත් රුකුලක් වන්නේය.
නොයෙක් ආකාරයේ ශිල සමාදානයන් කෙරෙහි හෝ වෘත සමාදානයන් පිළිබඳව විස්වාසය තුලින් දුකින් මිදියහකියයි විස්වාසකිරීම තුන්වන සංයෝජනයයි. නිවනට මග වන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ නිවැරදි අවබෝදය පමණක්ම බවත් ඒ සඳහා වෙනත් සීල වෘත සමාදන් වීම නිවැරදි මග නොවන බවත් විස්වාස කල යුතුවේ. ගෞතම බුද්ධසාසනය තුල දීම නිවන් මගට පැමිණීමට බලාපොරොත්තුවන බුද්ධශ්‍රාවකයා මෙසේ තම අවබෝදය නිවැරදි කරගතයුතු වන්නේය. එසේම සෝවාන් මගට පැමිණ මිස මේ බවයෙන් ඉක්ම නොයන බවට දැඩිව තීරණය කරගත යුතුය . සක්කාය දිට්ටිය , විචිකිච්චා , සීලබ්බත පරාමාස, යන මේ සංයෝජන දුරුකොට මේ බවයෙදීම සෝවාන් මගට පැමිණිය යුතුමය.
නිවනේ මූලික අවස්ථා දෙක[සංස්කරණය]
- සෝපාදිසේස නිබ්බානය
- නිරූපාදිසේස නිබ්බානය
සෝපාදිසේස නිබ්බානය[සංස්කරණය]
රාග, ද්වේශ, මෝහ යන අකුසල් මුල් ක්‍ෂයකිරීම නිවනයි. ජීවත්ව සිටියදී නිර්වනාවබෝදය කිරීම, මෙයින් අදහස් කෙරේ.
නිරූපාදිසේස නිබ්බානය[සංස්කරණය]
නිරුපාදිශේෂ නිර්වාණය යනු මේ භවයේදී නිවන් අවභෝධ කල උත්තමයින් මේ ජීවිතයෙන් සමු ගැනීමයි. හෙවත් පිරිනිවීමයි (පිරිනිවන්පෑම)
ථේරවාද බුද්ධ ධර්මය අනුව නිර්වාණය[සංස්කරණය]
හීනයාන සම්ප්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි.
- දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්, (ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්රියයන්හා එක වීම, කැමතිදේ නොලැබීම ගලක මුලක පය පැටලීම වැනි එදිනෙදා ජීවිතයේ අප ලබන කටුක අත්දැකීම් මෙනයින් දැක්විය හැකිය)
- සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්, (නැවත නැවත උපදිමින් මැරෙමින් යන සසර ගමන වේ.)
- විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්, (මොහොතක් පාසා ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීම වයසට යාම මෙනයින් අදහස් වේ.)
චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද,ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද හීනයාන සම්ප්‍රදායට අනුව මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැක. මෙය නිර්වාණය වන අතර නිර්වාණය ක්ලේශාභාව රූපයක් සහ සුඛ රූපයක් ලෙස හීනයානය දක්වා තිබේ.
බොහෝ හීනයාන නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප්‍රකාෂ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්‍ය ශ්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නොඇලෙයි. එසේම එය සතුටක් ලෙසද නොගනී. එහි ප්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි.
සංසාරයේ හටගන්නා සියලුම වස්තුන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත්‍රිකාලාතීත, ඉන්ද්‍රයාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ක්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ.
නිර්වාණය - ථේරවාදයට අනුව[සංස්කරණය]
තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය (මමත්වය) සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි.
යමෙක් මේ සංසාරය හෙවත් නැවත නැවත ඉපදීම දුකක් බව ඉතා පැහැදිලිව හා අවබෝදයෙන් යුතුව පිළිගත් කල්හි නැවත ඉපදෙමට හෝ පස්කම් සැප විඳීමට ඇති ඇල්ම දුරුකර ගනී. සියලු ආකාරයේ විඳීම් ඉතා සුළු මොහොතකට පමණක් සීමාවන බවත් සියල්ල අනිත්‍ය බවත් ප්‍රත්‍යක්ෂ කරගනි. මෙලෙස සියලු ආකාරයේ ඇලීම් සහ ගැටීම් වලින් නිරුද්ධ වීමෙන් ලබන්නාවූ නිරෝධය නිර්වාණය හෙවත් නිවන නම් වේ.
නිවන තම තම නැණ පමණින් අවබෝධ කටයුතුවේ. තමාම නුවනින් විමසා බලා අවබෝධ කලයුතු තත්වයකි නිවන.
උදාහරණයක් ලෙස රෝගයක සුවවීම සලකමු.[සංස්කරණය]
රෝගයක සුවවීම (නිවීම) සැපයකි. සුවයේ හටගැනීම යනු රෝගයේ විනාශයයි. දුක් වූ සංසාරය රෝගය වන අතර එහි නැවැත්ම නිවීම් සැපය ලැබීමකි. රෝග සුවය, රෝගය අනුවම ලැබෙන්නක් වන අතර වෙන්කර දැක්විය හැකි යමක් නොවේ.
මහායානයට අනුව නිර්වාණය[සංස්කරණය]
හීනයානිකයින් විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් නිර්වාණය ලෙස මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්‍ලේශාවරණයේන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි.ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම දෙයාවරණයම දුරු කිරිම වේ.
නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන සමානතා[සංස්කරණය]
- මෙය වචනවලින් ප්‍රකාෂ කල නොහැක. මෙය අසංකෘත ධර්මයකි. එනිසා උත්පත්තියක්, විනාශ වීමක්, පරිවර්තනය වීමක් නොමැත.
- මෙහි අනුභූතිය තමා විසින්ම ලබා ගත යුතුය.
- මෙය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් බුදුවරුන් සඳහා එකක් වේ. එසේම සම වේ.
- මාර්ගය තුලින් නිර්වාණය ලැබිය හැක.
- නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි.
- බුදුන්ගේ ඥානය සහ ලෝකෝත්තර තත්ත්වය රහතුන්ගේ ඥානයට සහ තත්ත්වයට වඩා ඉතාමත් උසස් වේ.
නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන අසමානතා[සංස්කරණය]
ථේරවාදය | මහායානය |
---|---|
නිර්වාණය සත්‍ය නිත්‍ය දුක්ඛාභාව සහ පිවිතුරුයි | නිර්වාණය දුක්ඛාභාවයක් නොවන අතර සුඛස්වරූපයෙන් යුක්තයි. මාධ්‍යමිකයින් සහ යෝගාචාරින් නිත්‍ය, අනිත්‍ය, සුබ සහ දුක්ඛ පිළිනොගන්නා අතර නිර්වාණය අනිර්වචනීය වෙයි. |
නිර්වාණය ලබා ගැනීමේ වස්තුවකි (ප්‍රාප්තම්) | නිර්වාණය අප්‍රාප්තයි |
නිර්වාණය භික්ෂුන්ගේ ධ්‍යාන සහ ඥානය සඳහා අරමුණු වන්නකි | ඥාතා-ඥෙය, විෂයි-විෂය නිර්වාණය සහ භික්ෂුවකගේ කිසම අයුරකින් අන්තරයක් නොවේ. |
නිර්වාණය ලෝකෝත්තර තත්ත්වයකි. සත්වයන්ට සියල්ලට වඩා උසස් තත්ත්වය මෙයයි | ලෝකෝත්තර තත්ත්වයට වඩා උසස් තත්ත්වයකි. යෝගාචර සහ හීනමාන මත දරන්නන් විමුක්තිකාය (මෝක්ෂය) ලබයි. මහායානිකයෝ ධර්මකාය සහ සර්වඥත්වය (නිර්වාණය) ලබති. |
නිර්වාණයේ කොටස් දෙකකි. සොපධි ශේෂ (ප්‍රතිසංඛ්‍යා නිරෝධ) සහ නිරුපධි ශේෂ (අප්‍රතිසංඛ්‍යා නිරෝධ) | යෝගාචරයන්ගේ මතයට අනුව නිර්වාණය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රකෘති ශුද්ධ සහ අප්‍රතිෂ්ඨීත |
නිර්වාණය සහ සංසාරයේ ධර්ම සමතාව පිළි නොගනී | මාධ්‍යමිකයින්ට අනුව නිර්වාණය නිරාකාර පරමාර්ථ භූතයයි. අනෙක් පදාර්ථ හුදෙක් සිතේ විකල්ප මාත්‍රයි. එහෙයින් නිර්වාණයේ සහ සංසාරයේ ධර්ම සමතාවක් වේ. |
ලෝකයේ පදාර්ථයන්ගේ සත්තාව පිළිගනී. නිර්වාණය සේම ලෝකය ද සත්‍යයි | මාධ්‍යමිකයින්ට සහ යෝගාචාරින්ට අනුව නිර්වාණය අද්වෛතයි. ලෝකයේ ප්‍රපංචයන් මායාවෙන් සහ මිත්‍යාවෙන් යුක්තයි. |
දෙවැදැරුම් ආවරණයන් පිළිනොගනී. | දෙවැදැරුම් ආවරණයන් පිළිගනී. ඒවා නම් ක්ලේශාවරණය සහ ඥෙයාවරණයයි. මහායානික මතය අනුව ඔවුන්ට මේ ආවරණ දෙකෙන්ම මිදිය හැකි අතර හීනයානිකයින්ට මිදිය හැක්කේ ක්ලේශාවරණයෙන් පමණි. |
සත්වයා සසර දිගින්දිගට ගමන්කරන්නේ අවිද්‍යාව හෙවත් අනවබෝදය නිසාවෙනි. නිවැරදි අවබෝදයට පත්වූ කල්හි සියල්ල අනිත්‍ය බව වටහා ගනී.
ඒ අවබෝධය ලැබීම නිවනට පැමිණීමයි.නිවන එවන් අවබෝධයක් නිසා ලැබෙන්නාවූ ඉතා උසස් තත්වයකි. ලබන ස්ථානයක් හෝ දෙයක් නොමැත.
වෙනත් කරුණු[සංස්කරණය]
නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.'නි' යන්නෙන් නැතිවීම, අභාවයට යාම යන අර්ථ ලැබෙයි.'රෝධ' යන්නෙන් සිරගෙය යන අර්ථය ලැබෙයි . ඒ අනුව නිරෝධ යනු සිරගෙයින් නික්මීම, නිදහස් වීම, වෙන් වීම යන අර්ථය ලැබෙයි. එනම් තෘෂ්ණාව නමැති සිරගෙයින් නිදහස් වීමයි. තෘෂ්ණාවෙන් නිදහස් වීම යනු නිවන් දැකීමයි. විමුක්ති සාධනයයි."
තත්ථ කතමං දුක්ඛ නිරෝධං අරිය සච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චතී භික්ඛවේ දුක්ඛං නිරෝධං අරිය සච්චං........."
(දුක්ඛ නිරෝධ සත්‍යය යනු කවරේද යත් දුක් ඉපදීමේ හේතුව වූ තෘෂ්ණව ඉතිරි නොවන සේ මුළුමනින්ම නැති කෙරේද (අසේස විරාග නිරෝධෝ ) තෘෂ්ණාව දුරු කෙරේද(චාගෝ) තෘෂ්ණව බැහැර කෙරේද (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමක් වෙයිද (මුත්තී) තෘෂ්ණාව පිළිබඳ ඇල්මක් නොවේද (අනාලයෝ) එය නිරෝධ ආර්‍ය්‍ය සත්‍යය නම් වේ.) තෙවැදෑරුම් වන තණ්හාව මුළුමනින්ම ප්‍රහාණය කිරීමෙන් විමුක්තිය සැලසෙයි. එම නිවනේ ස්වභාවය පෘතග්ජන සත්වයන්ට තේරුම් ගත නොහැක. පැහැදිලි කළ නොහැක. සෝවාන් ආදී මාර්‍ග ඵල සිත් වලටම අරමූණු වනු ඇත. නිවන යනු පරම සුවයයි. කවර කලෙකවත් වෙනස් නොවන ලෝකෝත්තර සුවයයි. අවේදයිත හෙවත් නොවිඳින සුවයක් වීම මෙහි උත්තරීතර බව පිණිස මූලික හේතුවයි. වේදයිත හෙවත් විඳිනා සැප වෙනස් වේ. දුකට පෙරළෙයි. නොවිඳින සුවයක් බැවින් එය ස්ථීරය. නිත්‍යය. සදාකාලිකය.
සැප පිළිබඳ ප්‍රභේද 02 කි.
- කාම සුඛ(කම් සැප)
- විමුක්ති සුඛ(ලෝකෝත්තර සැප)
- කාම සුඛ -පසිඳුරන් පිනවීම තුළින් ලබන සැපය
- විමුක්ති සුඛ-සදාකාලික සැප දෙන නිවන තුළින් ලබන සැපය
නිවන් ලැබීමේ අවස්ථා 02 කි.
- සෝපධිසේස නිර්‍වාණය -මෙහිදී නිවන් අවබෝධය කරගන්නේ පඤ්චස්කන්ධය සයිතවයි.
- අනුපදිසේස නිර්‍වාණය- පඤ්චස්කන්ධය රහිතව නිවන් අවබෝධ වීම (රහත් වීමෙන් පසු පිරිනිවන් පෑම)
- Downloadg.jpg
- Parinibbanaසම්මා.jpg
තණ්හා නිරෝධය හෙවත් තණ්හාව දුරලීම නිර්‍වාණය බව බුදුන් වහන්සේ වදාළහ."තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං"යනුවෙන් තණ්හාව ක්ෂය කිරීම රාගය නැති කිරීම නිර්‍වාණය බව දේශනා කළහ."නිරෝධස්ස නිස්සරනට්ඨෝ විවේකට්ඨෝ අසංඛතට්ඨෝ අමතට්ඨෝ" යනුවෙන් පටිසම්භිධා මග්ගපාළියෙහි එන විග්‍රහයට අනුව නිරෝධ සත්‍යයේ විශේෂ ලක්ෂණ 04 කි.
- නිස්සරනට්ඨ
- විවේකට්ඨ
- අසංඛතට්ඨ
- අමතට්ඨ
නිස්සරනට්ඨ[සංස්කරණය]
සකලක්ලේශයන්ගෙන් හා සංසාර ගත සියලු දුක්වලින් පහවීම නිදහස් වීම පෘතග්ජන සත්වයෝ ලෝභ, දෝස, මෝහ, ඉස්සරිය, මායා, සාඨෙය්‍ය, ථම්භ, මද, මාන, අභිමාන, මක්ඛ, ඵලාස ආදී 1500 පමණ වන කෙලෙස් වලින් යුක්ත වෙති. නිවන් අවබෝධ කිරීම තුළින් එම සියළුම කෙලෙස් වලින් ප්‍රහීණ වෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී අප්‍රමාණ දුක්වලින්නිදහස් වීමක්ද සිදුවන බැවින් නිස්සරනට්ඨ නමින් හැඳින්වේ. කිසිඳු බියක් වේදනාවක් ඔහුට නැත.
විවේකට්ඨ[සංස්කරණය]
සන්තානගත සියලු කෙලෙසුන්ගෙන් හා සංසාරික සියලු දුක්වලින් හිස් වූ අර්ථයෙන් විවේකට්ඨ යයි පවසයි. නිවන් ලබන තෙක් කෙලෙස් වලින් හා දුක්වලින් නිදහස් වීමක් නැත. කෙලෙස් නිසාම දුක් සහගතව පීඩාවිඳින්නකු වෙයි. නිර්‍වාණ ධාතුව කෙලෙස් වලින් හා දුක්වලින් හිස් වූවකි. කිසිඳු ක්ලේශයක් නැත. කිසිඳු දුකක් නැත. ඒ නිසාම බියක් ද නැත.
අසංඛතට්ඨ[සංස්කරණය]
හේතූන්ගෙන් හට නොගත් බැවින් අසංඛතට්ඨ වේ. කාම ලෝක, රූප ලෝක ,අරූප ලෝක යන ලෝක වල සියලු ධර්මයන් කර්‍මාදී හේතූන්ගෙන් හටගත් ධර්‍ම වනු ඇත. ඒ නිසාම ඒවා සංඛත ධර්‍ම ගනයට අයත් වෙයි. සංඛත ධර්‍ම වල ස්වභාවය අනිත්‍යය, දුක, අනාත්ම යන ත්‍රිලක්ෂණයන්ගෙන් යුක්ත වීමයි. එහෙත් නිවණ අසංඛතය. ඒ නිසාම අනිත්‍යය නොවේ. නිත්‍ය වේ. දුක් සහගත නොවේ. අනාත්ම නොවේ. ස්ථීරය. සදාකාලිකය. සංඛාර ධර්‍මයන්ගෙන් තොර වූ බැවින් අසංකතට්ඨ යැයි නම් කෙරේ.
අමතට්ඨ[සංස්කරණය]
මෙයින් නොමැරෙන බව අදහස් කෙරේ. නොමැරෙන බව , විනාශ නොවන බව, කැඩී බිඳී වෙනස් නොවන බව නිවණෙහි ලක්ෂණයකි. ලොව පවත්නා ජීවී, අජීවී සියලු වස්තූන්ගේ ස්වභාවය ඇති වු නිසා නැති වීමයි. උපත ලද නිසාම මිය යයි. උප්පාද ,ඨිති ,භංග යන ලක්ෂණයන්ට යටත් වෙයි. එහෙත් නිවණ යනු එබඳු ලක්ෂණවලින් තොර වූ ධර්‍මයක් වන බැවින් අමතට්ඨ යයි නම් කෙරේ. නිවණ ඇසුරින් මෙබඳු ලක්ෂණ දැකිය හැකිය. නිර්‍වාණය යනු තමන් විසින්ම අවබෝධ කරගත යුත්තකි. අධිභෞතික සන්තාවක් හෝ දේවධර්‍මවාදයක් නොවේ. දුක්ඛ නිරෝධයකි. උදානපාළියේ ද නිර්‍වාණය පිළිබඳව අර්ථකථනයක් දැක්වේ."අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං........." යනුවෙන් අජාත, අභූත, අකත, අසංඛත යන ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ධර්‍මතාවයක් ලෙස නිවණ හඳුන්වා දී ඇත.
- නිවණ යනු ඇති වූවක් නොවේ(අජාතං)
- පහළ වූවක් නොවේ(අභූතං)
- කරන ලද්දක් නොවේ(අකතං)
- හේතූන්ගෙන් හට ගත් තත්වයක්ද නොවේ(අසංඛතං)
" ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති....."චතුභාණවාර පාළියේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වන මෙම පාඨයෙන්ද නිවණෙහි ස්වභාවය පෙන්නුම් කෙරේ. සියලු සංඛාරයන්ගේ සිඳීමක් වෙයි. සියලු උපධීන්ගේ දුරලීමක් වෙයි. තෘෂ්ණාව ක්ෂය වීමක් වෙයි. නොඇලීමක් වෙයි. එබඳු සුවිශේෂී ලක්ෂණ නිවණ කෙරෙන් ප්‍රකට වෙයි. අධ්‍යාත්මික ශික්ෂණය තුළින්ම සාක්ශාත් කර ගත යුතු නිවණ සදාචාර ධර්‍ම පද්ධතියක උපරිම අවස්ථාවයි. තණ්හක්ඛය-දෝසක්ඛය-මෝහක්ඛය යනුවෙන් නිවණ හඳුන්වන්නේ තෘෂ්ණාව ක්ෂය කිරීමයි."භව නිරෝධො නිබ්බාණං "-භවයෙහි නිරෝධය හෙවත් නැවැත්වීම නිර්‍වාණයයි.(සංයුක්ත නිකාය) ඉපදීමෙහි හා මරණයෙහි කෙළවර නිවණ බව "ජාති මරණස්ස අන්තං" යන සංයුක්ත නිකායේ එන පාඨයෙන් පැහැදිලි වේ. නිවණෙහි ස්වභාවය නම් ජරාවට පත් නොවීමයි(අජරං). රෝගී නොවීමයි(අබ්‍යාධිං). නොමැරෙන සුළු බවයි(අමතං). ශෝක රහිත වීමයි(අසෝකං). කෙළෙස්මලින් තොර වීමයි(අසංකිලිට්ඨං). නිවන් ලැබූ පසු පෘතග්ජන සත්වයින් සැප ලෙස සලකන ලෞකික සැප කෙරෙහි ඇල්මක් නැත. එම සැප හා සම්බන්ධ අස්සාද (ආශ්වාද) අදීනව(ආදීනව) හා නිස්සරණ යන අවස්ථානුරූපීව දකිති. අනාර්‍ය්‍ය සුඛයෙන් තොරව ආර්‍ය්‍ය සුඛ වින්දනය කරති. පෘතග්ජනයන් මානසික රෝග වලින් පීඩා විඳින මුත් නිවන් පසක් කර ගත් විට (චේතසික රෝගං) මානසික රෝග කිසිවක් නැති තත්වයකට පත් වේ.කායික මානසික සියළු දුක් වලින් තොර වෙති. නිවන් ලැබීම තුළින් සියළු ශෝක දුරු වෙයි.
'සබ්බ සෝකං අතික්කන්තෝ අසෝකං හෝති නිබ්බුතෝ'
යනුවෙන් සංයුක්ත නිකායේ විස්තර වේ. සියළු බිය දුර ලූ අයෙකු වෙයි. (අකුතෝභයං) ලෝක ධර්‍මතාවලදී කම්පාවට පත් නොවෙති. "පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති"- මංගල සූත්‍රය
නිවන් අවබෝධයෙන් සියල්ල දැනගත් අයෙකු බවට පත් වේ. යථාභූත ඤාණය ලැබීම තුළින් එය සිදු වෙයි. නිවණ යනු (පච්චත්තං වේදිතබ්බෝ) ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් වන බැවින් පෘතග්ජනයන් වශයෙන් එහි යථා ස්වභාවය තේරුම් ගැනීම අපහසුය. සිව්සස් දහම් අවබෝධ කළ පුද්ගලයාගේ විශෙෂත්වය "'''අරහං ඛීණාසවෝ වුසිතවා කත කරණීයෝ ඕහිරතෝ අනුප්පත්ත සදත්තෝ පරික්ඛීණ භව සංයෝජනෝ සම්මදඤ්ඤාවිමුත්තෝ......." ආදී වශයෙන් පැහැදිලි කෙරේ. ඒ අනුව ආශ්‍රවයන් ප්‍රහීණ කළ වසන ලද බඹසර ඇති, කළ යුතු දේ කොට නිම කළ ,බහා තැබූ බර ඇති, පරමාදර්ශී තත්වයට පත් වූ භව සංයෝජන බිඳ දැමූ මැනවින් මිදුන තත්වයක් දැකිය හැකි වෙයි. නිවණ කෙරෙන් කෙසේවත් දැක්විය නොහැකි ලක්ෂණ 04 කි.
- රූප(රූපය)
- සන්ඨාණ(හැඩය)
- වය(පවත්නා කාලය)
- පමාණ(ප්‍රමාණය)
සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් අවස්ථා මාර්‍ග හා ඵල තත්වයන්ට පත් වීමෙන් නිවන් සුවය සැලසේ.දස සංයෝජන ධර්‍ම ප්‍රහීණ වීම ද ඒ සමඟම සිදු වේ.
- සෝවාන් වීම - සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහීණ වෙයි.
- සකෘදාගාමී වීම - කාමරාග, ව්‍යාපාද තුනී වෙයි.
- අනාගාමී වීම- කාමරාග, ව්‍යාපාද ප්‍රහීණ වෙයි.
- අර්හත් වීම -රූප රාග, අරූප රාග,මාන ,උද්ධච්ච, අවිජ්ජා ප්‍රහීණ වෙයි.
සංයෝජන ධර්‍ම මෙසේ මුළුමනින්ම ප්‍රහීණ වීමත් සමඟ පෙර විසූ ආත්ම දැන ගැනීමේ නුවණ(පුබ්බේ නිවාසානුස්සති) දිවැස් (දිබ්බ චක්ඛු) කෙලෙස් ප්‍රහීණ වී ඇති බව දන්නා නුවණ(ආසවක්ඛය) යනාදී ත්‍රිවිද්‍යා පහළ වෙයි. රහත් බව ලබයි. දම්සක් පැවතුම් සූත්‍රයේදී චක්ඛුං උදපාදී- ඤාණං උදපාදී-පඤ්ඤා උදපාදී- විජ්ජා උදපාදී-ආලෝකෝ උදපාදී යනුවෙන් දේශනා කරන ලද්දේ නිර්‍වාණ අවබෝධ වීමත් සමඟ ය.
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රීත ග්‍රන්ථ[සංස්කරණය]
- මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
- ධර්ම සංග්‍රහය - නාරද හිමි
බාහිර සබැදි[සංස්කරණය]
- damruwana.org Dhamma Desana in Sinhala, Guide to attain Nibbanic bliss
- Nibbana - more excerpts from the Pali Tripitaka defining Nibbana
- "Nirvana Sutra": full English translation of the "Nirvana Sutra" and appreciation of its teachings.
- Buddha - A Hero's Journey to Nirvana
- Salvation Versus Liberation, A Buddhist View of Paradise Worlds
- In-depth explanation of Nibbana according to the Pali Canon
- Mind Like Fire Unbound - a discussion of fire imagery as used in the Buddha's time
- https://www.dharmayaiobai.org