බුද්ධඝෝෂ හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(බුද්ධගෝෂ හිමි වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
Bhadantācariya Buddhaghosa
වෘත්තිය Religious commentator
කාලසීමාව 5th century
විෂයයන් Theravada Buddhism
සංගණ්‍ය කෘතිය(න්) Visuddhimagga

බුද්ධ ධර්මය
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

මූලාශ්‍ර හා සබැඳි

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

බුද්ධඝෝෂ හිමි බු.ව. 10 වන සියවසේ (ක්‍රි.ව. 5 වන සියවසේ) විසූ පඬිවර භික්‍ෂුවකි. භාරත බෞද්ධ සාහිත්‍යයේ අතිශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කර්‍තෘවරුන් අතර බොහෝ විචාරකයන්ගේ පැසැසුමට ලක්වූ කීර්තිදරයෙකි.

රීස් ඩෙවිඩ්ස් ප්‍රකාශ කරන පරිදි "ඔහුගේ දක්ෂතාව ගැන කිසිම සැකයක් නොවේ. එයට සම වූයේ ඔහුගේ ප්‍රතිභාව (originality) නිදහස් චින්තනය ගැන දැනට කිසිම සාධකයක් නොවේ "දෙදහස් පන්සිය වසරක බොදු සමය (2500 years of Buddhism) යන ග්‍ර‍න්ථය ලියන පී.ටී.බාප්ට් සදහන් කරන පරිදි "බුද්ධඝෝෂ හිමි වැනි තවත් ශ්‍රේෂ්ඨ නාමයක් නැති බව බෝහෝ දුරට ස්ථීරව කිව හැකිය. එම හිමියන් විසින් රචිත පොත්පත් සංඛ්‍යාව මෙන්ම එහි වටිනාකම ගැන සැලකීමේදී තනි පුද්ගලයකු ‍ මෙවැනි සේවයක් කිරීමට සමත් වූයේ කෙසේද යන වග විශ්වාස කිරිම අසීරු වේ." මහාවංශය තුළින් බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ තරමක ජීවන තොරතුරු දැනගත හැකිය.එමෙන්ම බුද්ධඝෝසුප්පත්ති, ගන්ධවංශ, ශාසනවංශ ආදි කෘතිවලද කරුණු ස්වල්ප වශයෙන් සදහන් ඇත.මහාවංශයේ සදහන් පරිදි බුද්ධඝෝෂ හිමියන් උපත ලබාතිබෙන්නේ බුද්ධගයාව ආසන්නයේ බව සදහන් වේ.

"බෝධි මණ්ඩ සමීපම්හි ජාතො බ්‍රාහ්මණ මාණවො"

තවත් සමහරෙක් උන්වහන්සේ බුරුමයෙ හෝ තායිලන්තයේ උපත ලැබු බව පවසයි.කෙසේ නමුත් බුද්ධගයාවේ දීර්ඝ කාලයක් වාසය කර ඇත.

"විජ්ජාසිප්පකලා‍වෙදී-තීසු වෙදේසු පාරගො"

ගිහි කාලයේ ත්‍රිවේදයේ පරතෙරට ගිය විද්‍යා ශිල්ප කලාවන් පිළිබද මනා දැනුමක් ඇති බමුනෙක්ය.විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂ යන සැදුන සැටි විස්තර කර තිබේ.

"බුද්ධඝොසොති ගරූහි ගහිත නාමදෙ‍යෙන"

බුදුරජාණන් වහන්සේගේ මෙන් මුඛ ශබ්දය ඇති හෙයින් බුද්ධඝෝෂ යන නම තැබූ බව කියවේ.

"බුද්ධඝොසොති ඝොසොහි බුද්ධො විය මහීතලෙ"

බුද්ධඝෝෂ හිමියන්ගේ මව සහ පියා කේසි බමුණා සහ කෙසිනි බැමිණිය බව මහාවංශයේ දක්වා තිබේ. මේ දෙදෙනා "ඝෝෂ" නම් ගමේ ජීවත් වූ නිසා ‍ඝෝෂ යන කොටස යොදා ඇති බව සිතිය හැකිය. මේ හිමියන් ලංකාවට පැමිණීමට පෙර නාගර්ජුනීකොණ්ඩ වල සිටි බව "බුද්ධඝෝසුප්පත්ති" කෘතියෙහි සඳහන් වේ. මහාවංශයේ සඳහන් කරන්නේ උතුරු දඹදිව ජීවත් වූ බවය. එයට හේතුව නම් ඒ ප්‍රදේශය දැක පැහැදිළිව විස්තර කර තිබීමය. සම්මෝහවිනෝදනී විභංගට්ඨකථාවේ සඳහන් කරනනේ මේ හිමියන් දෙමළ බවය.

"මාතා දමිළී පිතා අන්‍ධකො කෙසං ජාතො ධාරකො සචේ මාතු කථං පඨමං සුනාති දමිළ භාසං භවිස්සතිසචේ පිතු කථං පඨමං සුනාති අන්‍ධක භාසං භවිස්සති"

යනුවෙන් හෙළටුවාවලද මේ හිමියන් දෙමළ සහ බ්‍රහ්මණ වංශිකයෙක් බව සඳහන් වෙයි. බුද්ධඝෝෂ හිමියන්ගේ චරිත කථාව මහාවංශය, බුද්ධඝෝසුප්පත්ති කථාව,ගන්‍ධවංශය ආදී කෘති වල සඳහන් පරිදි පාලි සාහිත්‍යයේ ද සඳහන් කර ඇත. ඝෝෂ ග්‍රාමයේ කේසි යන පවුල ගම් ප්‍රධානියන්ය. මේ කාලයේ රහත් තෙරනමක් සිංහල අටුවා පාලි බසට හරවා ගැනීමට සමර්ථයෙක් සොයමින් සිටියි. එහිදී දිව්‍ය ලෝකයේ ඝෝෂ නම් දෙවියෙක් පිළිබඳ දැනගෙන සක්‍ර දෙවියන්ට මේ පිළිබඳ දන්වා ඝෝෂ දෙවියන්ට මනුලොව උපදින ලෙස ආරාධනා කරයි. ඊට පසුව කේසිනීට දාව මෙම ඝෝෂ උප්පත්තිය ලැබුවාය.

" සත්වෙනිදා ඝෝෂ දෙව්පුත් කේසිනී බැමිනියගේ කුසැ පිළිසිඳ ගති. දස මසක් ඇවෑමෙන් ඒ කුමරු ඒ කුමරු බිහි වූ විට ගෙදර කව්,බොව් ආදී ශබ්දයන් නැගු බැවින් ඒ කුමරුට ඝෝෂ යැයි නම් තැබූහ" යනුවෙන් බුද්ධඝෝසුප්පත්තියේ සඳහන්ව ඇත. "පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය" නම් කෘතියේ අදිකාරම් මහතා පවසන පරිදි බුද්ධ ශාසනය තව කාලයක් පවත්වාගෙන යෑම සඳහා උන්වහන්සේ පහළ වූ බවය. ඝෝෂ කුමරුගේ උප්පත්තියෙන් අනතුරුව ත්‍රිවේදයේ පර‍තෙරට ගොස් රජුට පවා අපසු වචන තේරුම් කරදීමට තරම් සමත් වූහ. දිනක් ඝෝෂ කුමරුගේ නිවසට පැමිණි තෙරනමක් තමන්ගේ පුටුවේ වාඩිවී සිටිනවා දැක උන්වහන්සේට බැනවදිනවා.

"ඔබ වේදය හෝ අන්කිසි මන්ත්‍රයක් දනී දැයි ඇසීය" පැමිණෙන තෙරුන් වහන්සේ වේදය දන්න බව කියමින් ඔබ අභිධර්මය දන්නව ද? යනුවෙන් විචාරයි. ඒවාට පිළිතුරු දීමට නොහැකි වන කුමරු දෙමාපියන්ට ඒ පිළිබඳ පවසා ඉගෙනගෙන සිවුරු අරින බව කියමින් පැවිදි වීමට අවසර ඉල්ලාගෙන පැවිදි වී තුන් මාසයකින් මුළු ත්‍රිපිටකයම කළේය. බුද්ධඝෝෂ නමින් රහත් තෙරනමක් උපාධ්‍යාය වශයෙන් සිට පැවිදි වී විසි වයස් සම්පූර්ණ වීමෙන් උපසම්පදාව ලබානෙ ඇත. ඉන් අනතුරුව එක් අවස්ථාවක තම ආචාර්ය්‍යවරයා ධර්මයෙන් පැරදවීමට උත්සහ ගෙන ඇත. රහත් තෙරුන් මෙය කල් ඇතිව දැනගෙන බුද්ධඝෝෂ හිමියන්ට එසේ කිරිම වැරදි වැඩක් බව පවසා ලංකාවට ගොස් බුද්ධ වචනය පාලියට හරවා ගෙන එවයි කියා නියෝග කර ඇත.

බුද්ධඝෝෂ හිමියන් මහානාම රජ දවසේ (ක්‍රි.ව.407-429) ලංකාවට පැමිණී බව අනුමාන හැකි වූ නමුත් පාලි සාහිත්‍යය කෘතියේ බුද්දත්ත හිමියන් පවසන්නේ මෙසේය. "සිරිනිවාස නම් රජුගේ රාජ්‍යෝද‍යෙන් 20වැනි වර්ෂයෙහි විශුද්ධි මාර්ගය ලියන්නට පටන්ගෙන 21 වෙනි වර්ෂයේදී නිමකළ බවයි. බුද්ධඝෝෂ හිමියන්ගේ විනය අටුවා‍වෙහි මේ බව සඳහන් වන බව බුද්ධදත්ත හිමියන් පවසයි. මහාචාර්ය මලලසේකර මහතා පවසන්නේ සිරිනිවාස සිරිකුණ්ඩ නම මහානාම රජුටම භාවිතා කර ඇති බවය. මේ අනුව බුද්ධඝෝෂ හිමි ලංකාවට වැඩම කළ කාල සීමාව සැක සහිත වූ නමුත් ක්‍රි.ව.5 වැනි සියවසේ ලංකාවේ වාසය කළ බවට සාක්‍ෂි ඇත.

බුද්ධඝෝෂ හිමියන්ගේ ශාස්ත්‍රීය සේවාව[සංස්කරණය කරන්න]

රීස් ඩේවිඩ්ස් සහ ඩී.ටී.බාප්ට් ප්‍රකාශ කරන ආකාරයට බුද්ධඝෝෂ හිමියන් මෙවැනි අටුවා රැසක් කෙලෙස ලීවාද යන්න පිළිබඳ පුදුම සහගත දෙයක් ලෙස කරුණු දක්වා ඇත. බුද්ධඝෝෂ හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුන බවට සාක්‍ෂි මහාවංශයේ ඇත. මේ හිමියන් මුළු ත්‍රිපිටකයටම අටුවා ග්‍රන්ථ රචනා කර ඇත. එම කෘති නම්


ත්‍රිපිටක ග්‍රන්ථය අටුවා ග්‍රන්ථය
විනය පිටකය සමන්තපාසාදිකා විනය අටුවාව
ප්‍රාතිමෝක්‍ෂය කංඛාවිතරණී අටුවාව
දීඝ නිකාය සුමංගලවිලාසිනී අටුවාව
මජ්ඣිම නිකාය පපඤ්චසූදනී අටුවාව
සංයුත්ත නිකාය සාරත්‍ථප්පකාසිනී අටුවාව
අංගුත්තර නිකාය මනෝරථපූරණී අටුවාව
ඛුද්දක පාඨය විනයත්‍ථප්පකාසිනී අටුවාව
ධම්මපදය ධම්මපදට්ඨකථාව
සුත්තනිපාතය පරමත්‍ථජෝතිකා අටුවාව
ජාතක ජාතකට්ඨකථාව
ධම්මසංගිනී ප්‍රකරණය අත්‍ථසාලිනී අටුවාව
විභංග ප්‍රකරණය සම්මොහවිනෝදනී අටුවාව
කථාවත්‍ථු ප්‍රකරණය
පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණය
ධතුකථා ප්‍රකරණය පඤ්චප්පකරණට්ඨකථාව
යමක ප්‍රකරණය
පට්ඨාන ප්‍රකරණය

ඉහත සඳහන් කෘති ලිවීමට පෙ‍ර බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණි අවධියේම ලි‍යන ලද කෘතිය වන්නේ විශුද්ධිමාර්ගයයි එයද අටුවා ස්වරූපයෙන් රචනා කර ඇත. ඉහත කෘති අතරින් ඇතැම් කෘතිවල කතෘ පිළිබඳ ගැටලු පැවතුන ද බොහෝදෙනාගේ පිළිගැනීම බුද්ධඝෝෂ හිමියන් මේ සියලු කෘති රචනා කළ බවය. බුද්ධඝෝෂ හිමියන් මුලින්ම සම්පාදනය කරන ලද විශුද්ධිමාර්ගය අනුරාධපුර විහාරවාසී ආචාර්ය සංඝපාල තෙරුන්ගේ ආරධනාවෙන් ලියා ඇත. අටුවා පාලි භාෂාවට පරිවර්ථනය කිරීමට පෙර බුද්ධඝෝෂ හිමියන්ගේ දැණුම පරික්‍ෂා කිරීමට මේ කෘතිය ලිවීමට පැවරූ බව සඳහන් වේ. මේ සඳහා

"සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො"

යන ගථාව ප්‍රස්තුතය වශයෙන් තබාගෙන මේ කෘතිය රචනා කර ඇත.

සමන්තපාසාදිකා විනයට්ඨකථාව[සංස්කරණය කරන්න]

විනය පිටකය සඳහා කරන ලඳ අටුවාව සමන්තපාසාදිකාව නම් වේ. සිරිනිවාස නම් රජුගේ විසිවෙනි රාජ්‍ය වර්ෂයේදී බුද්ධසිරි නම් තෙරැන් වහනසේගේ ආරාධනයෙන් මේ කෘතිය රචනා කර ඇත. මෙහි නිදාන කථාවේ බුද්ධ ශාසනයේ සංක්‍ෂිප්ත ඉතිහාසය සඳහන් සඳහන් වේ. ධර්ම සංගායනා තුන සිදු වූ ආකාරය, ලක්දිවට බුදු දහම ගෙනා සැටි අනුරාධපුර මහා විහාරය පිහිට වූ සැටි, ලාංකික භික්‍ෂු සංඛ්‍යාව අධික වීම සමඟ මිහිඳු හිමියන් ලාංකීය භික්‍ෂූන් හා ධර්ම සංගායනයක් පැවැත්වීම ආදී තොරතුරු එහි සඳහන්ය.

සුමංගලවිලාසිනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

මෙය දීඝ නිකා‍යට කරන ලඳ අට්ඨකථාවයි. සුමංගල පිරිවෙ‍නේ වාසය කළ දාඨානාග මහ තෙරුන්ගේ ආධනාවෙන් කරන ලදි. "සුමංගල පිරිවෙනේ නම මුල්කොට "සුමංගලවිලාසිනී" යැයි නම තැබුවා සේ පෙනේ"

පපඤ්චසූදනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

මජ්ඣිම නිකායට කරණ ලඳ අටුවාව පපඤ්චසූදනී යයි. මෙම කෘතිය ලිවීමට ආරධනා කරන්නේ බුද්ධඝෝෂ හිමියන් දඹදිව වැඩ වසන සමයේ මයුර රූප පටුනෙහි එක්තැනක විසූ බුද්ධමිත්ත නම් තෙරුන් වන්‍හසේය.

සාරත්‍ථප්පකාසිනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

සංයුත්ත නිකායට ලියන ලඳ අටුවාව සාරත්‍ථප්පකාසිනිය වන අතර ජොතිපාල නම් තෙරුන්ගේ ආරාධනාවෙන් මෙය ලියාඇත. මෙහි බණවර හැත්තෑ අටක් ඇත. මෙහි තෙරුන් වහන්සේලාගේ චරිත කථා සහ කොසොල් රජු අල්ලස් ගත් සැටි මෙහි අවසානයේ සඳහන් වේ.

මනෝරථපූරනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

අංගුත්තර නිකායට ලියන ලඳ අටුවාවට ජෝතිපාල හිමියන්ගේ සහ ජීවක උපාසකයාගේ ආරාධනය ලැබී ඇත. මෙහි බණවර 84 කි.

පරමත්‍ථජෝතිකා අට්ඨකථාව[සංස්කරණය කරන්න]

මෙය ප්‍රමාණයෙන් ඉතා කුඩා අටුවා ග්‍රන්ථයකි. මෙය ඛුද්දක නිකායට අයත් ඛුද්දකපාඨ ග්‍රන්ථයට සම්පාදනය කර ඇත. ඇතැම් පිරිස් මෙය බුද්ධඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි.

ධම්මපදට්ඨකථාව[සංස්කරණය කරන්න]

ධම්මපදයට ලියන ලඳ අට්ඨකථාව ධම්මපදට්ඨකථාවයි. මෙහි අඩංඟු ගාථා 423 ට කථා වස්තු දෙසිය අනූනවයක් රචනා කොට ඇත. ධම්මපදය බෞද්ධයනගේ හස්තසාර ග්‍රන්ථයයි.

ජාතකට්ඨකථාව[සංස්කරණය කරන්න]

බුද්ධමිත්ත තෙරුන් විසින් සහ මහිංසාසක නිකායෙහි බුද්ධදේව තෙරුන්ගේ ආධනාවෙන් මෙම කෘතිය ලියා ඇත. පන්සිය පනස් ජතකකථා හා එහි ගාථාවන් ඇතුලත් කරමින් ලියන ලඳ මෙය විශාම අටුවා ග්‍රන්ථයයි.

කංකාවිතරණී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

ප්‍රාතිමෝක්‍ෂය හෙවත් භික්‍ෂූන් වහන්සේලා සඳහා පණවා ඇති විනය ශික්‍ෂාපද විග්‍රහ කරමින් ලියන ලඳ කෘතිය කංකාවිතරණී අට්ඨකථාවය. මෙය සෝණ නැමති තෙර කෙනෙකුගේ ආරාධනාවෙන් ලියා ඇත.

අත්‍ථසාලිනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

ධම්මසංගනී ප්‍රකරණයට ලයන ලඳ අටුවාව අත්‍ථසාලිනියයි. මහාචාර්ය බාපන් මහතා‍ මෙය බුද්ධ‍ඝෝෂ හිමියන්ගේ කෘතියක් නොවන බව කියයි. මෙය බණවර විසිතුනකින් සමන්විතය.

සම්මෝහවි‍නෝදනී අට්ඨකථාව[සංස්කරණය කරන්න]

විභංගප්‍රකරණය සඳහා ලියන ලඳ අටුවාව සම්මොහවිනෝදනියයි මෙහි බණවර හතළස් එකක් ඇත.

පඤ්චප්‍රකරන අට්ඨකථා[සංස්කරණය කරන්න]

කථාවත්‍ථු, පුග්ගලපඤ්ඤත්ති, ධාතුකථා, යමක, හා පට්ඨාන යන ප්‍රකරන ග්‍රන්ථ පහටම ලියන ලඳ අටුවාව ඤ්චප්‍රකර අට්ඨකථාවය. මෙලෙස අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ඉහත දැක්වූ අටුවා පරිවර්තනය කරමින තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් "අයං පන මෙ අත්තනොමති" යනුවෙන් යොදා තමඅදහස ප්‍රකාශ කර ඇත.බුද්ධඝෝෂ හිමියන් අටුවා කරණයේදී ලක්දිව තමා වැඩි ස්ථාන රාජ්‍ය පාලනය පිළිබඳව දඅඳහස් ඇතුලත්කර ඇත. විදේශිකයෙකු වූ බුද්ධඝෝෂ හිමියන් ලංකාවට පැමිණ තමා ලබා සිටි ත්‍රිවේද දැණුම, ත්‍රිපිටක දැණුම උපයෝගී කරගෙන ත්‍රිපිටකයෙන් අඬකටත් වැඩිය අටුවා රචනා කර ඇත. බුද්ධඝෝෂ හිමියන් සියලු පඬිවරුන් අගය කරන ශ්‍රේෂ්ඨ පඬිවරයා බවට පත් වූයේ මේ නිසාය.

අන්තික සටහන්[සංස්කරණය කරන්න]

  1. කලුපහන, ඩි.ජේ, ‍බෞද්ධ දර්ශන ඉතිහාසය, පියසිරි ප්‍රින්ටින් සිස්ටම්, නුගේගොඩ, 2003, පිටුව 213.
  2. ගුණසේකර, පද්මා, දෙදහස් පන්සිය වසරක බොදු සමය, සුනෙර, නුගේගොඩ, 2000,ලිටුව 213.
  3. ඌණපූර්ණ සහිතො මහාවං‍සො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 221
  4. ඌණපූර්ණ සහිතො මහාවං‍සො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 221
  5. ඌණපූර්ණ සහිතො මහාවං‍සො, ඒ.පි. බුද්ධදත්ත සංස්කරණ, කොළඹ, ගුණසේන සහ සමාගම, 1959, පිටුව 222
  6. ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර ‍කොළඹ 10, 2002, පිටුව 145-146
  7. ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර ‍කොළඹ 10, 2002, පිටුව146
  8. ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, ථෙරවාදී බෞද්ධාචාර්යෝ, කොළඹ, 1960, පිටුව 18.
  9. ශ්‍රී බුද්ධදත්ත, පොල්වත්තේ, පාලි සාහිත්‍යය, රත්න පොත් ප්‍රකාශකයෝ, මරදාන පාර ‍කොළඹ 10, පිටුව 165.

මෙයද බලන්න[සංස්කරණය කරන්න]

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]


"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධඝෝෂ_හිමි&oldid=336360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි